ජාතික විමුක්ති පෙරමුණ හා සිංහල බුද්ධාගම (JVP & Buddhism)-part 2
Posted on December 2nd, 2023

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

මාක්ස්වාදය හා ලංකාවේ පන්සල

ලංකාවේ මාක්ස්වාදීන් විසින් සිංහල බෞද්ධ සමාජය සමඟ ඇතිකරගත් තකතිරු ඝට්ටනය අවසාන (අවම?) කර ගැනීමට අනගි අවස්ථාවක් දැන් 2023 අගවනවිට JVP නායකයින්ට උදාවී තිබේ. නෝත් ආණ්ඩුකාරයාගේ සිටම පන්සල (සිවුර) සමඟ සුද්දන්ට තිබූ හිසරදයට සමානම මානසික ලෙඩක් ලන්ඩන් සිට ආපසු පැමිණි තරුණ මාක්ස්වාදීන්ට 1930ස් ගණන්වල සිටම ගමේ පන්සල සමඟ තිබුණේය. දලයිලාමා කෙරෙහි කොමියුනිස්ට් චීනයේ තිබු වෛරය, ඉඩම් හිමි රදල නෂ්ටාවශේෂයක් ලෙස මල්වතු-අස්ගිරි ප්‍රමුඛ පන්සල් ඉඩම් යනාදිය පිළිඹඳවද ආරෝපණය කිරීම නාගරික මාක්ස්වාදීන්ගේ විනෝදය (hobby) විය. ලංකාව ක්‍රිස්තියානි රටක් නොවී බේරුණේ පන්සල (මුරදේවතා සංකල්පය) නිසා නොවේද යන කරුණ පොදුවේ වාමාංශික වරිගයට අදටත් අදාල නැති බව සමසමාජ, කොමියුනිස්ට්, පෙරටුගාමි, JVP පිරිස් වල හැසිරීමෙන් හා කතාවලින් පෙනීයන්නේය. ඒවාට හා වෘත්තිය සංගම් පස්සේ පෙලපාලි යන කොණ්ඩේ වවාගත් සිවුරු දමාගත් ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචකන්ධ වලටද මේ ගැන කිසිම හෝඩුවාවක්  නැත.

 එහෙත් තම පක්ෂය, UNP/SLFP පක්ෂ දෙකට අඩතබමින් සියේට තුනක් ලෙස චන්දදායකයින්ට දොස් කියමින් සිටියා වෙනුවට, අනිකුත් දේශපාලක පංචස්කන්ධ මෙන් කුමණ හෝ උප්පරවැට්ට්වි මඟින් බලය අල්ලා ගැනීමට ක්‍රියාකරණ පිරිසක් නොවන බව JVP විසින් රටේ සිංහල බෞද්ධ චන්දදායකයින්ට ක්‍රියාවෙන් ඔප්පු කලයුතුය. ලංකාව සිංහල බෞද්ධයින්ට ලෝකයේ ඇති එකම ඉඩම් කැබැල්ල බව පිළිනොගන්නා කිසිවෙකුට මහජන චන්දයෙන් ලංකාවේ අගමැති/ජනාධිපති වීමට ඉඩක් දැනට නැත,

ලංකාවේ ගමක/ටවුමක පන්සලකට නොයන්නේ හා දරුවන් ඉරිඳා දහම් පාසැලකට නොයවන්නේ සමසමාජ-කොමියුනිස්ට් කාරයින්ගේ පවුල් යයි 1978 ට පෙර තිබූ මතය තවමත් එසේම පවතින්නේ කොණ්ඩේ වවාගෙන සිවුරු දමාගත් ජල ප්‍රවාහ හා කදුළු ගෑස් කමින් අන්තරේ පෙලපාලිකාරයින් මුළු සංඝ සංහතියටම ලබාදෙන නිග්‍රහය නිසාය. පෙරටුගාමි පක්ෂය කෙසේවෙතත් මේ අශෝභන ක්‍රියාව නවත්වන්නටවත් JVP පක්ෂයට නොසිතෙන්නේ ඇයි? මීටම ඈඳුන තවත් කරුමයක් නම් JVP/පෙරටුගාමී පිරිස් උතුරේ/නැඟනහිර හැර අනිත් විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය නිදහස මරා දමා ඒකාධිපති පාලනයක් ගෙනයනවා යන්නය. 1950, 1960 ගණන්වල තිබුණේ සමසමාජ පක්ෂයේ අධිකාරිය වුවත් අනිකුත් පක්ෂද පැවතියේය. ශිෂ්‍යාවන්ගේ ඇඳුම්, ගවුමේ පාට, රබර් සෙරෙප්පු සපත්තු යනාදිය ගැන රතු පොලිසි ඒ කාලවල නොවීය.

බත්කඩ

රටේ විශ්ව විද්‍යාල බත්කඩ වගේ බවත් (මෙම බත්කඩ-rice boutique-කතාව මුලින්ම කිව්වේ පෙරාදෙණියේ උපකුලපති සර් නිකුලස් ආටිගල විසින්ය) පර්යේෂණ නොකරණ ගුරුවරු පඩියට පරණ නෝට්ස් කියවන අය බවත් රටේ පවතින මතයය. මෙයට හොඳ උදාහරණයක් වූයේ සර් අයිවෝර් ජෙනින්ස්ගේ නම නේවාසිකාගාරයකට දමන්නට ගියවිට රතු බලකාය ඒ වෙනුවට ඉදිරිපත්කල නම්ය. ජෙනින්ස් කල සේවය ලංකාවේ සිංහල බෞද්ධයින්ට අනාගාරික ධර්මපාලතුමා කල මෙහෙවර හා කිසිසේත්ම සමාන කල නොහැකි නමුත් ජෙනින්ස් මහතාට රටේ කෘතඥතාවය පෙන්විය යුත්තේ සිංහල බෞද්ධයින් මොන අඩුපාඩු තිබුණත් කර්නල් ඕල්කොට්තුමාට ගරුකරණවා පරිදිමය.

නවක වදය

මේ කාරණා දෙක හා අමානුෂික නවක වදය නතර කිරීම JVP ට ඉතාම පහසුවෙන් කල හැකි වෙනස්කම් වන අතර එය හුදෙක් බලයට ඒම සඳහා කරණ ඇස්බැන්ඳුමක් නොවන බව ඊට සමගාමීව ගත හැකි ප්‍රතිපත්ති සංශෝධන මඟින් රටට ඔප්පු කල හැකිය. මෙය කල හැක්කේ දැන් අපි දිනලා යන මානසික සිරගෙට අසුනොවීමෙන් පමණය. සරත් ෆොන්සේකා හදන්නේ JVP ට හවුල්වී ආරක්ෂක ඇමතිකම ගන්නට නිසා (වෛරය/ පලිගැනීම?) ඔහුගේ ප්‍රකාශද  මේ අවස්ථාවේ JVP ට අවාසියක් විය හැකිය.

විජේවීර හා බර්ලින් බෞද්ධ විහාරය

පසුගිය දිනක මගේ මිත්‍රයෙක් කිව් කතාවක් මෙහි ඉහතින් සඳහන් කල ඉල්ලීම් තුනට පදනම විය. මගේ මිතුරා ජර්මනියේ සිටියදී විජේවීර නැවතීමට ආවේ ඔහුගේ නවාතැනටය. දිනක් ඔහු විජේවීරට බර්ලින් පන්සලට යමුයයි යෝජනා කල විට විජේවීර එය තරයේම ප්‍රතික්ෂේප කලේය. ඉතාමත් දිග වාදයකින්/සංවාදයකින් පසු දෙන්නම එකට පන්සලට ගියේය. විජේවීර, ෂන්මුගදාසන්, බාලාතම්පෝ, ඩොරික් ද සූසා, පීටර් කේනමන්ලාට වඩා වෙනස් චරිතයක්වූයේ මාක්ස්වාදයට ඔහුගේ බෞද්ධ නැඹුරුව, ආභාෂය මකා දැමීමට නොහැකිවූ නිසාය. 1935 සිට අවුරුදු 30 කට පසු 1964 දී, NM-Colvin-Leslie ලා මල්වට්ටි අරගෙන දළදා මාළිගාවට ගියේ බොරුවටය. විජේවීර, වික්ටර් අයිවන්ලා මෙන් පල්ලියේ සැඟවුනු අනුග්‍රහය  ලැබුවාද යන්න සැකසහිතය. තම දරුවන් බෞතීස්ම නොකරණ ලෙස අවසාන මොහොතේදී ඔහු සිය ක්‍රිස්තියානි බිරිඳගෙන් ඉල්ලා සිටියේය. උවිඳු විජේවීරගේ වත්මන් බෞද්ධ මධ්‍යම ප්‍රතිපදා සමාජ දේශපාලන දර්ශණය එහි ඝෘජු ප්‍රතිඵලයකි. එය ලංවන්නේ විමල් වීරවංශ හා සෝමවංශ අමරසිංගේ මානසික පරිවර්තන වලටය.

lanka C news | උවිදු විජේවීර ගැන බලගතු කතාබහක්.. ඒඩ්ස් රෝගයට පෙන්වා දුන් විසදුමට පලමු තැන..  (2019/10/03)

මෙම ලිපියේ පලවෙනි කොටසෙන් පෙන්වාදුන් JVP පක්ෂයේ ප්‍රධාන අඩුපාඩු දෙකක් වන (1) ලංකාව බහු ජාතික සමාජයක් හා (2) පලාත් සභා දෙමළ ජනයාගේ  අයිතියක් යන මත දෙකේ ඇති බරපතල ප්‍රතිපත්තිමය වරද, අනුර කුමාර මහතා විසින් අවභෝධ කර ගත් බවක්, ඔහු 2024 අයවැය ගැන කරණ කතාවලින් පිළිඹිඹු නොවේ. මෙම කාරණා දෙක අනුව අනුර කුමාර හා රනිල්, චන්ද්‍රිකා, සජිත් ප්‍රේමදාස හා දැන් අළුතින් මහින්ද රාජපක්ෂ, චම්පික රණවක, සරත් ෆොන්සේකා යනාදීන් අතර වෙනසක් නැත.

ඉතිහාසය හා ජාති වාදය

තිස්ස ජනනායකගේ විස්තර අනුව සිතනවිට අනුර කුමාර කැළණි විශ්ව විද්‍යාලයේදී ඉගෙන ගන්නවා වෙනුවට දේශපාලනය කළ ශිෂ්‍යයෙකි. ඔහු විද්‍යා විෂයයන් මිස ඉතිහාසය-භූගෝල විද්‍යාව හදාරා නැත. එහෙත් ඔහුටද පාඨලී චම්පික රණවක වගේම ප්‍රායෝගිකව එකතුකරගත් යම් දැණුමක් ඇත. ප්‍රශ්ණය වන්නේ එය අසම්පූර්ණ මාක්ස්වාදය නිසා නිසා බොඳවුන අසම්පූර්ණ ගමනක් වීමය (not a holistic approach).

මෙම පසුබිමට, ලංකාවේ භාවිතාවන දේශපාලන ෂේප් න්‍යායද එකතුවූ විට, ලංකාවේ ඉතිහාසය ගැන යථාර්ථය නොවන නිගමන වලට ඒමත්, එම නිගමන සත්‍යය වශයෙන් ඉදිරිපත් කිරීමත් හැර වෙන විකල්පයක් නැත. ලංකාවේ මාක්ස්වාදීන් කෙස් පැහෙන කල්ම කරන්නේ මේ කරගන්නේ මේ ස්වයං හානියය. අනුර කුමාර හා උවිඳු විජේවීර යන දෙදෙනා යන දෙදෙනාගේ දේශපාලන අදහස් (විඥාණය?) සසඳන විට මෙම අඩුව/හානිය පැහැදිලිවේ. ඇමෙරිකාවට යාමට උල්පන්දම් දීමෙන් ජුලී චං jvp ට කලේ උපකාරයක්ද යන සැකය මතුවන්නේ එහිදී අනුර කුමාර කල කතා වලින් ඔහුගේ සිත තුල කිඳා බැස තිබෙන  මතවාද/තර්ක ඔහු නොදැන ඔහුටත් හොරා වරින් වර එලියට පැනීම නිසාය.

ජාති වාදය හා ජාතික වාදය යන අදහස් දෙකේ වෙනස අනුර කුමාරට දැන් 2023 අගදී වත් නොතේරෙන්නේ, 1930 1940 දශක වලදී එවකට කම්කරු පක්ෂයේ නායක A. E. ගුණසිංහ මහතා සින්ධි-බෝරා වෙළද ඒකාධිකාරයට විරුද්ධව කතා කිරීම ජාතිවාදය ලෙස එකල මාක්ස්වාදීන් විසින් හංවඩු ගැසුවා පරිදිමය (ගාන්ධි ලංකාවට පැමිණි අවස්ථාවේදී මේ ගැන ඔහු ඉන්දියන් වෙළඳුන්ට අවවාද කලේය).

ලංකාවේ දේශපාලකයින්ගේ මෙම හෘදය ශක්ෂිය පිළිඹඳ පරීක්ෂණයක් (test) මෙම ලිපි මාලාවේ මීලඟ ලිපියෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

කෙසේ වෙතත් මෙහිදී ඇති සතුටට කරුණක් නම් JVP විසින් නිවැරදී මාවතක් කරා යාමට දරණ උත්සාහයය (විලිරුදාව?). උදාහරණ වශයෙන්:

(1) ඔවුන් විසින් ගෙනා ජාතික ජන බලවේගය යන පියවර මාක්ස්වාදී අරටු වෙන් ඉවත්ව, පෙරටුගාමීකාරයින් අභිභවා, සමාන්‍ය ජනයා අතරට යෑමේ පියවරකි. එහෙත්, එයට එක්වී ඇති විශ්‍රාමික ආමිකාරයින් ගැන පුරසාරම් කීමෙන් චන්දදායකයා තුල භීතියක් ඇතිවන බව JVP නායකයින්ට  නොවැටහේ.  පොලිසිය හා යුද හමුදාව ඔවුන් හා එක්වන ලෙස පාරේ උද්ඝෝෂකයින් කරණ කෑගැසීමට සමානම ඉල්ලීමක් හා තර්ජනයක් jvp නායකයින් වේදිකාවලදී කිරීම මධ්‍යස්ථ චන්ද දායකයාගේ සිත චංචල කරවයි. බලය යනු බලයය, බලය බලය වර්ධනය කරයි, ආරක්ෂා කරයි” යනුවෙන් අනුර කුමාර ඇමෙරිකාවේදී දුන් පිළිතුරු jvp අතීතය සමඟ සළකණ විට ඔවුන්ට හානිකරය.

(2) තවද එසේ එකතුවීමට කැමති පිටස්තර අයට, විශේෂයෙන් පරාදයට හැකිලී සිටින අනිත් පක්ෂවල දේශපාලකයින්ට, JVP විසින් කරන්නේ සරදමක් සහිත ටොකු ඇණීමකි: අපිට චන්දය දෙනවාට අපි කැමතියි, ඒ වුනාට ඔබලාගේ යෝජනා භාරගන්නට අපි බඳී නෑ වැනි කතාය. මෙය වැරදි පිළිගත් අයෙකුට කරණ සම්ච්චලයක් නොවේද? මේ වනාහි අපි දැනටමත් දිණුම්ය යන අහංකාර මනසකි.

(3) ලංකාව දැනට වැටී ඇති  නරා වලෙන් ගොඩට ගැනීම ඉතාමත් වේදනාකාරී ක්‍රියාවකි. ඒ සඳහා මුළු රටම, හැම පවුලක්ම, හැම පුද්ගලයෙක්ම සමස්ත පරිවර්තනයකට ලක්කල යුතුය. එහෙත් මෙය කල යුත්තේ හැකි අවම මානසික (mental) අගතියක් බලපෑමක් මේ සියළුම ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචකන්ධවලට සිදුවන ලෙසටය. එහෙත් රටේ සෑම පුරවැසියෙකුටම බරපතල ලෙස භෞතික (physical-material) වශයෙන් කැපකිරීම් කරන්නට සිදුවීම වැලැක්විය නොහැකි බව  පිළිගැනීමට සිදුවේ. (උදාහරණයක් මහජනයා සූරා කන නීතීඥ, දොස්තර වෘත්ති, ටියුෂන්කාරයින්, ග්‍රාම සේවකගේ සිට ජනාධිපති ලේකම්ලා දක්වා දූෂිත නිලධාරී පරම්පරා ගැන සිතා බලන්න). මුළු රටම, දේශපාළුවා-නිලධාරියා-බිස්නස්/ngoකාරයා යන කුඩා හා මහා පරිමාණ දුෂ්ඨ ත්‍රිකෝණ වලින් මුදවා ගැනීමට නම් කඩුව හා කරුණාව යන දෙකම අවශ්‍යය.

JVP රැස්වීම් වලින් දැනට ලැබෙන සිග්නල් එක නම් ඒය JVP පක්ෂයේ සාමාජිකයින් විසින් ගම් මට්ටමින් සිදුකරන්නට යන බවය. අතීත 1970 දශකයේ ජනතා කමිටු, සේවක කමිටු (people’s committee/ workers councils) වල අත්දැකීම නම් එම සංකල්ප දේශපාලකයින් විසින් දූෂණය කල අයුරුය. ගැමි දිරිය නමින් දේශපාලකයාගේ බලපෑමෙන් ස්වාධීනව 2000 දී පමණ ක්‍රියාත්මකවූ  වැඩසටහන කඩකප්පල් කර දැමීමට බැසිල් රාජපක්ෂ/ ඩිලාන් පෙරේරා වැනි අය පිරිස ක්‍රියා කලේ සමෘධි නිලධාරී හා ගම නැඟුම නම් හුචක්කුවක් අටවාය. ගම් මටටමින් සාර්ථකවූ කිරිවන්දෙණිය මහතාගේ සණස ව්‍යාපාරය මේ අතින් සර්වෝදයට වඩා ඉදිරියෙන් සිටින්නේ සර්වෝදයට යම් දේශපාලන න්‍යායපත්‍රයක් හා විදේශ ඩොලර් ආධාරයක් තිබෙනවාද යන සැකය නිසාය.

(4) පක්ෂ දේශපාලනය රට විනාශ කලේය. අදටත් පක්ෂ දේශපාළුවන් ගෙනයන ගේම් එක දියවන්නා හෝටලයේ සිදුවන නාඩගමෙන් දිනපතාම එලියට ඒ. JVP ද කාලයක් පුරා සිටම මෙම ගේම් එකේ සිටින්නේය. මේ නිසා ගම් මට්ටමින් පක්ෂ දේශපාලකයාගෙන් තොරව ජන සභා සංකල්පය ක්‍රියාත්මක කලයුතුය. මේ සඳහා යොජනා මා විසින් 2005 සිටම බලයේ සිටි දේශපාලකයින්ට ඉදිරිපත් කලත් ඔවුන්ගේ ආත්මාර්ථකාමය නිසාම එය නොසළකා හැරියේය. මේ නිසා තමන්ගේ අදහස මෙසේ වෙනස් කර ගැනීම JVP ට රටේ මහජන අනුමැතිය ලබා ගැනීමට හේතු උපකාර වන්නේය.

(5) මගේ යෝජනා වල එක් මූලික අංගයක්වූයේ පක්ෂ දේශපාලනයෙන් තොරව (1) චන්දයෙන් පත්කර ගන්නා ජන සභාවට, (2) පන්සල/පල්ලිය/කෝවිල හා (3) පොලිසිය හා (4) යුද හමුදාවද සහභාගී කර ගැනීමය මෙම කොටස් මඟින් ජන සභාවක කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් යම් සංවරණ හා තුලන ක්‍රමයක් නිරායාසයෙන්ම ඇතිවන්නේය. කුමණ අන්දමේ සාකච්චා කලත් අන්තිමේදී සංවර්ධන කටයුතු (1) චන්දයෙන් තෝරාපත්වු අය විසින් ඒකමතිකව සම්මත නොකලොත්, 2,3,4, කොටස් විසින් සිය නිශේධ බලය යොදා ක්‍රියාවට නගන්නේය. මේ නිසා JVP විසින් මගේ මෙම අදහස දැන හෝ නොදැන අනුගමණය කිරීමට ගත් තීරණය පිළිඹඳව රට වෙනුවෙන් මට ඇත්තේ සතුටකි.

(6)

1. රට කැබලි නොකර සිස්ටම් චේන්ජ් කිරීම (බුදු දහම හා ජන සභා සංකල්පය) – 2022

2. සුද්දගෙ නීතිය අපිට එපා– 2022

3. ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, 1948-2019 (නොහොත් මන්ත්‍රී ප්‍රජාතන්ත්‍ර (නාස් ලණූ වාදය) – ප්‍රථම භාගය (2023)

ඉහත සඳහන් මූලාශ්‍ර තුනේ මගේ යෝජනා දීර්ග වශයෙන් පැහැදිලි කරදී තිබේ. මෙහිදී කෙටියෙන් සඳහන් කල යුතු වැදගත් කරුණක් නම් යෝජිත ජන සභා බල ප්‍රදේශ දැනට පවතින ග්‍රාම නිලධාරී (GSN) වසම් 14,022 පරිසර නිර්ණායක (ජල ද්‍රෝණි) වශයෙන් යළි බෙදා, එම අළුත් GSN  එකතුකර ගනිමින් ජන සභා බල ප්‍රදේශ මායිම් කිරීමය.

(7) මෙවැනි ජන සභා ක්‍රමයක් යටතේ දැනට  ඇති පලාත් සභා බොරු ප්‍රජාතන්ත්‍රවාදය හා දූෂිත පලාත් පාලන ආයතනන (ප්‍රාදේශීය සභා) වෙනුවට, ජන සභා- ජන සභා ජාතික සභාව- පාර්ලිමේන්තුව- යන ආයතන තුනක් බිහිවේ. දියවන්නා හෝටලය ක්‍රමයෙන් පක්ෂ දේශපාලනයෙන් නිදහස් වෙනු ඇත්තේ අනිත් ආයතන දෙක පක්ෂ දේශපාලනයෙන් තොර නිසාය.

(8) පරිසරයට අනුකූල ග්‍රාම සේවා නිලධාරී වසම් පදනම් කරගෙන රටේ සියළුම පරිපාලන ඒකක (අධ්‍යාපන, කෘෂිකර්ම, සෞඛ්‍ය, පොලිස්, උසාවි, ගොවිජන සේවා, ආපදා කළමනාකරණය, වනාන්තර යනාදී) අළුතින් මායිම් කරගත හැකිය.

(9) මෙම GSN අනුව මුළු රටේම සම්පත් හා සම්පත් පරිභෝජන දත්ත  (data) හා සිතියම් (maps) වශයෙන් මධ්‍යගත කල හැකිය. GSN ඒකකයක් ලංකා සිතියමක තිතක් වශයෙන් පිලිඹිඹුවෙන අතර ජන සභා මට්ටමින් සවිස්තර ලොකු පරිමාණ සිතියම් සදාගත හැකිය.

cwije77@outlook.com

=============

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress