දේශපාලකයින්ගේ හෘදය ශාක්ෂිය පරීක්ෂා (test/ examine) කල හැකිද?
Posted on December 23rd, 2023

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

හුනුවටයේ කතාවේදී මෙන් හෝ උණු තෙල් කටාරමේ අත දැමීමෙන් හෝ වෙනුවට යමෙකුගේ අව්යාජ, නියම අභ්‍යන්තරය එලියට ඇදගත හැකි උපාය මාර්ගයක් නැද්ද?

හැඳින්වීම

නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අනුර කුමාරට (හා අනිත් දේශපාලකයින්ට) නැතැයි පුන පුනා කියන හෘදය ශාක්ෂිය නමැති මිනිස් ගුණය විමසා බැලීමට මට සිතුනේ අනුර විසින් jvp එක ජාතික ජන බලවේගයට (NPP) <අධ්යාත්මය> සපයනවා යන ප්රකාශණය නිසාය. අධ්යාත්මය සපයනවා කියන්නේ යම් දෙයකට ඔක්ෂිජන් සපයනවා වැනි දෙයක් නොවේ. මාක්ස්වාදීන් ලඟ සමහරවිට මානව දයාව කියා ව්යවහාරයක් තිබිය හැකිය.

JVP හා බුද්ධාගම යනුවෙන් මා විසින් ලියු ලිපි තුනෙන් පෙන්වා දීමට සිතුවේ සමහර jvp නායකයින් විසින් මෑතක සිට බුද්ධාගම, බෞද්ධ රාජ් පාලන ප්රතිපත්ති යනාදිය ගැන සඳහන් කරන්නේ උවිඳු විජේවීර තරුණයා මෙන් බෞද්ධ ආභාෂය නිසාය කියා මට සිතුන නිසාය. එම පක්ෂයට සිංහල බෞද්ධ චන්ද ලබාගැනීමට නම් ඔවුන් විසින් මාක්ස්වාදය අතහැර, ඇමෙරිකන් තානාපතිව අමතක කර, වෙනස් වියයුතු අන්දම පෙන්වා දීමටය.

පසුගියදා සේන තෝරදෙණිය  විසින් ලියන ලද ලිපියේ jvp ගැන සඳහන් කර ඇති තොරතුරු මෙන්ම

LankaWeb – JANUS-FACED JVP: FALSE CONCEPTIONS AND HARINI AMARASURIYA FACTOR   (14/12/23)

අනුර කුමාර විසින් ඔහු සෝමවංශට පසුව jvp නායකයාවී මිහින්තලේ පන්සලට ගියවිට  හාමුදුරුවන් අතට බැන්ඳ පිරිත් නූල පන්සලෙන් එලියට සැණින්ම ගලවා විසිකලා යන ප්රවෘතියද, නොබෝදා ලාල් කාන්ත සේපාල් සමඟ එකතුව ඥානසාර හිමියන් ඔහුගේ අතේ බැන්ඳ පිරිත් නූල ගැන අවඥාවෙන් කල සාකච්චාවද, අනිත් බොරු බෞද්ධයින් මෙන් අනුරලාද වංක ගේම්කාරයින් නොවේද යන සැකය වර්ධනය කරලන්නේය. ලාල් කාන්ත නම් අඩුතරමින් එය එක රැයක්වත් අතේ  බැඳගෙන සිටියේය!

නොසල්ඩාල කටවල්

අවුකන බුදුපිළිමයට එසේ කියන්නේ අව්ව කන නිසායයි මිනිසුන් කියනවා යයි ටියුලින් සිල්වා කිව්වේය. බුදුහාමුදුරුවෝ බෝගස වෙනුවට කොස් හෝ දෙල් ගසක් තෝරා ගත්තා නම්  මිනිසුන්ට බඩගින්නේ ඉන්න වෙනවා වැනි අවලං කතාවක් තවත් jvp  කාරයෙක් කිව්වා යයි හිරුණිකා පෙන්වා දුන්නේය. තමන් සන්නද්ධ අරගලයකට ගම්මට්ටමින් සංවිධානය වෙමින් සිටිනවා යයි jvp වේදිකාවලින් අසන්නට ලැබේ.

2024 ලංකාව, අනුරලා සජිත්ලා ඩලස්ලා, බැසිල්ලා, චම්පිකලා, දයාසිරිලා, GL පීරිස්ලා, දිනේෂ් ගුණවර්ධනලා වැනි පරණ දේශපාලකයින් අළුත් මුහුණු දමාගෙනත්, තවත් අළුතෙන්ම එන පංචස්කන්ධත් ජවුසම් නටන නාඩගම් පිටියක්වී තිබේ. පරණ පිරිස් කැලි කෑලි වලට කැඩී නන්නත්තාරවී සිටී. මෙම කළුසුද්දන් රංචු කුමණ අංශයකින් බැලුවත් රටට කර ඇත්තේ බලවත් විනාශයකි. දේශපාලනය ජීවිකාව කරගෙන රට සූරාකණ  පවුල් 5,000 ක් පමණ මීට හවුල්ය. මින් පසු එන ඕනෑම චන්දයකදී මේ හැම අපේක්ෂකයෙකුටම සම්පූර්ණ කිරීම සඳහා ප්රශ්ණ මාලවක් සකස්කර එය රට පුරා බෙදා හැරිමේ ව්යාපාරයක් ආරම්භ කළයුතුය. චන්ද හිඟමණේ එනවිට මෙම ප්රශ්ණ ඔවුන්ගෙන් ඇසිය යුතුය.

ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි මූලධර්මවාදය

1873 පානදුරා වාදයෙන් බුද්ධාගම කියන්නේ බොරුවක් යන මතවාදය යටපත් වුවත් සුද්දන්ට ගැතිවූ ක්‍රිස්තියානි සිංහල-දෙමළ බලවේගය රට තුල යටත් විජිත යුගයේ පමණක් නොව දැන් 2023 අගදීත් මොරල් රිආමමන්ට්, බෝන් අගේන්, පෙන්තකොස්ත, ජෙහොවාස් විට්නස් යනාදී වශයෙන් ගජරාමෙට විදේශ ඩොලර් සමඟ දිය යටින් හා උඩින් සංවිධානාත්මකව ක්‍රියාත්මකවේ.

වඳුරන්ට දැළිපිහි දීම

ඩොනමෝර් කොමිෂම විසින් ලංකාවේ ජනයාට සර්වජන චන්දබලය දීමට යෝජනා කලවිට කම්කරු පක්ෂයේ නායක A. E. ගුණසිංහ හැරුණුවිට අනිත් සියළුම කළුසුද්දන් එයට විරුද්ධවූයේ එය වඳුරන්ට දැළිපිහි දීමක් වැනියයි පවසමින්ය. දෙමළ වෙල්ලාල මන්ත්‍රීන් උතුරේ පහත් කුල යයි සැළකෙණ අයටත්, මුස්ලිම්වරු ස්ත්‍රීන්ටත් එය දීමට විරුද්ධ විය. එහෙත්, 1931 දී වැඩි චන්දයෙන් හා 1936 දී නිතරඟයෙන්, විශ්‍රාමික දිසාපති H. R. ෆ්‍රීමන් මහතාව  අනුරාධපුරයේ මන්ත්‍රී වශයෙන් පත්කලේ විශේෂයෙන් එහි සිංහල බෞද්ධ ගැමියා ජනයා ඔහුගේ හෘදශාක්ෂිය හඳුනාගෙන තිබූ නිසාය. දකුණේ සිංහල මන්ත්‍රීන් වූයේ ඩොනමෝර් බෞද්ධයින් යයි පසුව හංවඩු ගැසුණු, කැඩිච්ච සිංහල කතාකල, සුද්දන්ට පින්සිදුවන්නට බලය හා ධනය එකතුකරගත් කළු සුද්දන් පිරිසක්ය. CWW කන්නන්ගර, W දහනායක මින් වෙනස්වූ මන්ත්‍රීන් දෙන්නෙක් විය.

1931 න් ආරම්භවූ රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයෙන් පසු දැන් 2023 දෙසැම්බර් වල තිබෙන පාර්ලිමේන්තුව (දියවන්නා හෝටලය) දෙස බලනවිට සිතෙන්නේ එහි ඉන්නේ පිහි නොව කඩු ගත් වඳුරන් රැළක් නොවේද කියාය. මෙම වඳුරන් ආරම්භයේ සිටම රාජ්‍ය මන්ත්‍රණ සභාව දූෂණය කලේය. ඩොනමෝර් ක්‍රමය පක්ෂ දේශපාලන ක්‍රමයක් නොවූ අතර, 1915 සිංහල-මුස්ලිම් ගැටුවේ ප්‍රතිඵලයක් වශයෙන්, අමධ්‍යප ව්‍යාපාරය නමැති දේශපාලනය කල අය ඒ වෙනුවට ජනවර්ග වශයෙන් සිතීමට පෙළඹී සිටියේය. 1832 සිටම සුද්දන් විසින් 1931 දක්වාම (communal) ජාතිවාදී නියෝජන ක්‍රමයක් අනුගමනය කරමින් බෙදා පාලනය කිරීමේ උපක්‍රමය උපරිම ලෙස තම වාසිය සඳහා භාවිතා කලා පමණක් නොව, 1924 වනවිට මැනිං ආණ්ඩුකාරයා එලිපිටම සුළු ජනවර්ග කුලප්පු කලේය. G.G. පොන්නම්බලම් 50-50 ඉල්ලුවේ මෙම හයිය/තල්ලුවද නිසාය. ලෝකයේ විසිරී සිටින දෙමළ ප්‍රජාවට UNO දෙමළ කොඩියක් සහිත රටක් ලබා ගැනීම දක්වා ව්‍යාප්තව ඇති දෙමළ ජාතිවාදය ආරම්භවුයේ මැඩ්‍රාස් ප්‍රාන්තයේදී 1917 දීත්, එහි ආභාෂය මත ලංකා කොලනියේදී 1923/4 දීත්ය (පොන්නම්බලම් අරුණාචලම් විසින්).

සිංහල ජාතිකවාදය

මෙහිදී අපට වැදගත්වන කරුණ නම් සිංහල කළු සුද්දන් දෙමළ ජාතිවාදය බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව මඟින් මතවාදීව පැරදවීමට නොදැන සිටීමය. ඔවුන් කලේ, සිංහල බෞද්ධ ජාතිකවාදය වෙනුවට, මැත්ප්‍රොපෙසර් සුන්දරලිංගම් ලවා තනිකර සිංහල අමාත්‍ය මණ්ඩලයක් සඳහා සූත්‍රයක් සදවා ගැනීමය. 1910 පමණ සිටම රටේ කෙරුම්කාරයින්ව (කයිවාරුකාරයින්) සිටියේ ඉන්ගිරිස් කතාකරණ ක්‍රිස්තියානි සිංහල පිරිස හා උගත් දෙමළ අය කීපදෙනාදය. ඔවුන්ගේ <නිදහස් සටන> වූයේ සුද්දන්ට හා බර්ගර්ලාට සීමාවූ ආණ්ඩුවේ රක්ෂා ඔවුන්ටද ලබාදෙන ලෙස කල ඉල්ලීමය. ඉන්දියාවේ නිදහස් අරගලයට මුවාවී හිට්ලර්ට, ජපානයට, සුබාස් චන්ද්‍ර බෝෂ්ට පින්සිදුවන්නට ලංකාවේ කළුසුද්දෝ පෙත්සම් මඟින් කොළඹ වසන ඔවුන්ට නිදහස කියන දෙයක් ලබාගත්තේය.

1956 වනවිට සුද්දා හිටියනම් මීට වඩා හොඳයි කියන තරමට මේ කළුසුද්දන් පිරිස රට කා දැම්මේය. සුද්දා කලාටත් වඩා ශූක්ෂම ලෙස මොවුන් රටවැසියා බෙදා පාලනය කලේය. කොල, රතු, නිල් පක්ෂ වශයෙන් ගෙවල්, පවුල්, පන්සල්, ගම් දනව් බෙදීමට පක්ෂ දේශපාලකයා සමත්විය.

නැවෙන් කටට ආර්ථික ක්‍රමය

යටත් විජිත ආර්ථික රටාවෙන් රට ගලවා ගැනීම සඳහා අනාගාරික ධර්මපාලතුමා හෝ ඔහු අනුව ගිය කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන්ගේ අපරාද මර්දන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට D.B ජයතිලක, DS සේනානායක, SWRD බණ්ඩාරනායක යන ඇමතිවරු සහයෝගයක් නොදුන්නේ ඔවුන් ඕල්කොට් බෞද්ධයින්-ඩොනමෝර් බෞද්ධයින් එසේ නැත්නම් ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් කියන බුදු අම්මෝ නොව ඕ මයි ගෝඩ් බෞද්ධයින් වූ නිසාය (යම් හදිසි ඇබ්බැද්දියකදී කළු සුද්දන්ගේ කටින් ඉබේටම පණින්නේ බුදු අම්මෝ කියා නොවේ). මැලේරියා ප්‍රදේශවලට ලොරිවලින් බඩු ගෙනගිය, දුටුගැමුණු රජතුමාට ගඩොල් මෝඩයෙක් යයි (රුවන්වැලි මහාසෑය සැදූ නිසා) කී සූරියමල් මාක්ස්වාදීන් ගැන කුමණ කතාද?

සම්මුතිවාදය-සභ්‍යත්ව රාජ්‍යය

එංගලන්තයේ පක්ෂ දේශපාලන ක්‍රමය හා නියෝජිත මන්ත්‍රී ක්‍රමය පරිනාමය වූයේ රජු හා රදලයින් හා පසුව රජු-රදලයින් හා මහජනයා (වානිජ/නාගරික මහජනයා අතර සිදුවූ දීර්ග අරගලයක ප්‍රතිඵලයක් වශයෙනි (ඒ රටේ මෙන්ම ඇමෙරිකාවේත් මෙම ක්‍රමය මේ වනවිට බලවත් අර්බුදයකට මුහුණ දෙමින් සිටී). සිංහලේ නම් රටේ පැවතියේ සම්මුතිවාදී පාලන ක්‍රමයකි. එය ගම-වැව-දාගැබ යන සමාජ-දේශපාලන-ආර්ථික ත්‍රිත්වයක් විය. 1505/1551 සිටම මෙම සංකල්පය විදේශ බලවේග තුනකින් එල්ලවු ප්‍රහාරයන්ට ලක්විය. අනිකුත් යටත් විජිත මෙන් නොව මෙම දිවයින එහි ශිෂ්ටාචාරය රැක ගත්තේ  පන්සල හා ගම අතර තිබූ ගහට පොත්ත වැනි බැඳීමත් මුරදේවතා සංකල්පයත් නිසාය. ගම් සභාව තීරණ ගත්තේ හැමදෙනාගේම එකඟතාවය උඩ මිස දෙකට තුනට  බෙදී නොවේ.

කුල භේදය හා මැර බලය

කාරිගේ චැනල් 1 යන යූටියුබ් නාලිකාවේ පෙන්වූ 1936 දැදිගම හා 1985 මුල්ගිරිගල යන චන්ද කොට්ඨාශ දෙකේ  සිදුවූ බිහිසුණු ක්‍රියා 1931 සිට ලංකාවේ දේශපාලනය භාරගත් පිරිස, එංගලන්තයේ පක්ෂ දේශපාලන ක්‍රමය වඳුරන්ට දැළිපිහිදීමක් බවට හරවාගත් බවට උදාහරණ දෙකක් පමණය. දැදිගම ඩඩ්ලි හා මුල්කිරිගල ආනන්ද කුලරත්න දිනුවේ මැර බලයෙන් පමණක් නොවේ. දෙකේම කුලභේදය මතුවුනත්, මුල්කිරිගලදී ජනාධිපති JR විසින් වහුම්පුර කුලයේ එකාට චන්දය දෙන ලෙස චන්ද රැස්වීමේදී ඉල්ලා සිටියේය. 1982 ජනාධිපති චන්දයේදී කොබ්බෑකඩුව අපේක්ෂකයා චන්දය දාන්නට ගියවිට වෙන හොරෙක් එම චන්දය දමා තිබුණි! 1982/12/22 ජනමත විචාරණය ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල, ප්‍රජාතන්ත්‍රවාදය මඟින්ම සිඳ දැමීමකි! චන්ද්‍රිකාගේ සමයේ වයඹ පලාත් සභා වන්දයේදී කාන්තාවක් නිරුවතින් පාරේ ඇදගෙන ගියේය.

ප්‍රජාතන්තර වාදය-ඥාති සංග්‍රහය

1948 වන විට පක්ෂ දේශපාලනය පවුල් බුදල් ක්‍රමයක් බවට පත්වීම ආරම්භවිය. මෙම පක්ෂ දේශපාලනය අන්තිමේදී ගමක, ටවුමක පවුලක්, ගෙයක් තුල පවා බෙදීම් අති කිරීමට හැකිවන සේ බෝකිරීමට කොල, නිල්, රතු පක්ෂ කළුසුද්දන් සමත්විය. ඉතාමත් ස්වල්ප පිරිසක් හැරුනුවිට මේ දේශපාලකයින් තමන්ගේ පුද්ගලික වාසිය මිස රට ගැන සිතුවේ නැත. D.S සේනානායකගේ සිට හැම දෙනාම බැලුවේ තමන්ගේ පුතාට, ඥාතියාට තැනක් හදාදීම ගැනය.

DSS සිට හැම දේශ-පාලකයාමවාගේ අයථා (විෂමාචාර) ක්‍රියාවලට චෝදනා ලැබූ අයය.  තමන්ගේ ගොවිපලේ වැඩට ආණ්ඩුවේ කම්කරුවන් යොදවා ගැනීම ගැන කෘෂිකර්ම ඇමති DSS ට විරුද්ධව, බණ්ඩාරනායක පවුලේ ඥාතියෙක්වූ කෘෂි නිලධාරියා බලධාරීන්ට වාර්තාකර ලොකු කලබගෑනියක් සිදුවූ බව නොදන්නා අය යැස්මින් ගුණරත්න-බණ්ඩාරනායක ගේ රිලටිව් මෙරිට්ස් (1986) යන පොත කියවිය යුතුය.

1947 ව්‍යවස්ථාව

පක්ෂ දේශපාලකයින් විසින් රටට කල අපරාධය ගැන මෙසේ සඳහන් කරන්නේ දැන් 2024 වනවිට ඔවුන්ව විශ්වාස කරන්නේ කෙසේද යන කරුණ ඉස්මතුකර දැක්වීම පිණිසය. ශාස්ත්‍රීය වශයෙන් ගත්තොත් ඔවුන් සුද්දා විසින් ඇතිකරදී ගිය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නමැති පාලන ව්‍යුහය එකින් එක කෙලෙසා දැමුවේය. 1947 ව්‍යවස්ථාවේ 29 වගන්තිය හා ඊට බාහිරව තිබූ එංගලන්තයේ ප්‍රිවිකවුන්සිලයට ඇපැල් ගැනීමේ රීතිය හැර, එය අදට වුවත් ගැලපේ. ස්වාධීන අධිකරණය, ස්වාධීන රාජ්‍ය සේවය, සෙනේට් සභාව, පත්කල මන්ත්‍රීන් යන බලතුලන ලක්ෂණ එකින් එක පක්ෂ දේශපාලකයා විසින් තම වරිගයාගේ වාසිය තකා විනාශ කලේය (structural democracy).

මෙම ගමනේදී මගේ මතකයට එන එක උදාහරණයක් නම් ජයා පතිරණ නම් SLFP පක්ෂයේ මන්ත්‍රී (1961-64) හා නීතීඥයාව ෆිලික්ස් ඩයස් විසින් සුප්‍රිම් උසාවියට පත් කිරීමය (1972). අනික නම් 1964 SLFP-LSSP-CP සභාග ආණ්ඩුකාලයේදී ආණ්ඩුවේ රක්ෂාවලට ඉල්ලුම් කිරීමේදී මන්ත්‍රීගෙන්/ පැරදුණ අපේක්ෂකයාගෙන් සහතිකයක් ගෙන ඒමට නියම කිරීමය 1978 දී JR විසින් කලේ බහුභූත, පිස්සු පාලන ව්‍යුහයක් හා සමාජ-ආර්ථික-සදාචාර ඝාතනයක් රටට පැටවීමය. 1978 බහුභූත ව්‍යවස්ථාව JR විසින්ම තම වාසිය සඳහා සංශෝධනය කලේය. ඉන් පසුව ගෙනා 17, 18, 19, 20, 21 යන සංශෝධන වලින් ගම්‍යවන්නේ මෙම කළුසුද්දන්ගේ පාලන ක්‍රමයෙන් රටේ ජනයා ගලවා ගැනීමේ දැඩි අවශ්‍යතාවය.

මේ වනවිට රටේ පැවති භූමිය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය (territorial democracy) හෙවත් වැසියාට තමන් කැමති නියෝජිතයෙක් පත්කර ගැනීමට තිබූ අයිතියද විනාශ කර  දමා ඇත.

අවිනිශ්චිත අනාගතය

බොහෝ අය ජනාධිපති සූට් මසමින් සිටියත්, 2024 දී මැතිවරණ පැවත්වේවිද එසේ නැත්නම් UNO සාමහමුදා ගොඩබස්සවා ගනීවිද යනුවෙන් ප්‍රශ්ණ දෙකක් මතුකල හැකිය. ඉදිරි චන්දයකින් කිසිම පක්ෂයකට, සංධානයකට 51% ලබාගන්නට ඉඩක් නැත. 1956 දී මතුවී නැතිවී ගිය සිංහල බෞද්ධ බලවේගය සතුරු ආක්‍රමණවලට ගොඳුරුවී අසරණව සිටී. සෝම හාමුදුරුවන්, මාදුළුවාවේ සෝභිත හිමියන් සැකකටයුතු ලෙස  පරාජයට පත්විය. බොදු බල සේනාවේ ඥානසාර හිමියන්, මූලධර්මවාදී ක්‍රිස්තියානි ආක්‍රමණය, ශාරියා වහාබී ව්‍යාප්තවාදය, ඊළම් පිල්ලිය රාජ්‍ය මර්දන යන්ත්‍රය හා සිංහල බෞද්ධයයි කියාගන්නා සෑම දේශපාලකයෙකුගේම වෛරයට පාත්‍රවී සිටී.   

මුර දේවතා කොටස් අතරමංවීම

ලංකාව ක්‍රිස්තියානි රටක්වී යාමෙන් බේරාගත් පන්සල්/සංඝ සංස්ථාව බලවත් පිරිහීමට ලක්වී ඇත. බුද්ධාගමට වටකරගෙන පහරදීම ඉතාමත් ශූක්ෂම ලෙස සිදුවෙමින් පවතී. අවුරුදු 70 ක්ම බලා සිට බර්ලින් තාප්පය කඩා දැම්මා මෙන් ඩොලර් බලය ගම හා පන්සල අතර තිබූ ගහට පොත්ත වැනි බැඳීම පළුදු කරමින් සිටී. ලංකාවේ මීට සමාන කල හැකි උදාහරණයක් නම් අවුරුදු පනහකටත් වැඩිකාලයක් බලා සිට jvp එක දමණය කර ගැනීමට ඇමෙරිකන් තානාපති කාර්යාලය සමත් වීමය!

කොසොල් රජතුමාගේ සීන සැබෑවීම

විවිධ කුඨ බලවේග විසින් රංජන් රාමනායකව බළල් අතක්සේ යොදා ගනිමින් ආරම්භකල සිවුර බාල්දු කිරීමේ ව්‍යාපාරය මේ වනවිට උඩුදුවා ගොස් ඇත. තිත්තගල්ලේ හිමි නාමල් රාජපක්ෂ හා D.V. චානකට දෙසූ බණ, බල්ලෙකුට සිවුරක් ඇන්ඳවු සිවුරු හොරා  වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර යෝජනා කරණ සේපාල් අමරසිංහ, නටාෂා නාඩගම, ජෙරොම්ගේ දෙවියා ඔහුව හිරගෙට දැමීම, සෝවාන් සහතික (12-15 ශතවර්ෂවල යුරෝපයේ කතෝලිකයින් ස්වර්ගයට යාමට සල්ලිගෙවා පූජකයාගෙන් ලබාගත් සහතික මෙන් indulgence), රහත්වූ හාමුදුරුවරු යන විපරිනාම ඉදිරියේ ඓතිහාසිකව රට බේරාගත් මුරදේවතාවරුත් අන්ද මන්දව හැසිරෙමින් සිටී. එක් හාමුදුරුවරු පිරිසක් සිය නිකාය ආරක්ෂා කිරීම මිලින්ද මොරගොඩට පවරුවේය. තව හාමුදුරුවරු කීපදෙනක් රනිල් විසින් ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත්කල GLF සමඟ ඊළම සඳහා ඉණිමඟක් බඳින හිමාලයා ගිවිසුමක් ගැසුවේය. රනිල් හා ජුලි චුං ප්‍රීතියෙන් පිනා ගියේය.

මේ සියල්ලටමත් වඩා සිදුවූ ප්‍රාතිහාර්යය නම් ආසියාවට ශාරියා පූජකයින් බිහිකිරීමට අරාබි රජෙකුගේ නමින් ආරම්භකල යෝධ ආයතනය ටෙක්නොලොජි  ආයතනයක්වී හාමුදුරුවරුන් දෙන්නෙක් ලවා පිරිත් කියවා ගෙන විවෘත කිරීමය. හිස්බුල්ලා විසින් වෙන කිසිම ආගමික වතාවතක් සිදු  නොකලේ ඔහු ඉන්ටර්ෆේත් ජරමරය (සර්වාගමික) ජරමරය විශ්වාස නොකරණ නිසාය යයි ප්‍රකාශ කලේය!  හිස්බුල්ලා විසින් මඩකලපුවේ මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ට ආරාධනාකලා නම් උන්වහන්සේ අවුරුදු 30 කටත් වැඩි කාලයක් සිංහල ජනයා මුස්ලිම් හා දෙමළ දේශපාලකයින්ගෙන් හා නිලධාරීන්ගෙන් කල ජීවන සටන ජයගත්තා සේ වන්නේය. හිස්බුල්ලා නියම නායකයෙක් වන්නේය. හිස්බුල්ලා තෝරාගත් සිංහල බෞද්ධ උපකුලපතිට එය සිතුනේ නැත,

සිංහල බෞද්ධයින්ට ඉන්නට රටක් නැතිවන තරමට සිංහල බෞද්ධ ජනයා අතරමංවී සිටී. මෙහි ඉහතින් සටහන් කලේ මෙම අවාසනාවන්ත කතාවේ උදාහරණ කීපයක් පමණය. දැන් අවදානම් ඉරණම ඉදිරියේ මේ සිංහල (බෞද්ධ) යයි කියාගන්නා  කළු සුද්දන් දමණය කිරීමට උපකාරවන ප්‍රශ්ණ පත්තරයක් මීළඟ ලිපියෙන් ඉදිරිපත් කරමි.

පර සුද්දා-පර කළු සුද්දා

වංක දේශපාලන කළු බළලුන්ගේ බෙල්ලේ ගෙජ්ජි බැඳීමක් වන මෙම උපක්‍රමය ගැන මට සිතුනේ කාදිනල්තුමා මුස්ලිම්වරු විසින් බයිබල් බෙල්ට් එකේ ඉඩම් අල්ලාගැනීම වලක්වන්නට ගත් සාර්ථක හා අහිංසක උපාය ගැන අසාය. හැම කතෝලික ගෙදරකම ඌරු පැටියෙක් ඇතිකරණ ලෙස කාදිනල්තුමා කල යෝජනාව, පඹයෙක් සදා, එයට සුදුහුනුගා, ගේ ඉදිරිපස තබා, උදේ හවස පර සුද්දා-පරසුද්දා යයි කියමින් පහර ගසන්නට යයි අනාගාරික ධර්මපාලතුමා 1930ස් 1940ස් ගණන්වල සිංහල මිනිසුන්ගේ නැතිවීගිය ආත්මාභිමාණය ගොඩනඟන්නට කල ව්‍යාපාරයට සමානය.

රටේ ගම්වල  ඉන්නා බෞද්ධ පවුල් එළදෙනෙක් හදන ගමන් ක්‍රිස්තියානි පවුල් ඌරු පැටියෙක් හැදුවොත් ඉන් ආදායමක්ද ලබාගත හැකිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress