ආවරණය වන 2024 වර්ෂයේ විමධ්‍යගත අය-වැය සංවර්ධන වැඩසටහන දියත් කෙරේ….
Posted on January 11th, 2024

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

-සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනාට ම සමානව ලැබෙන අයුරින් විමධ්‍යගත වැඩසටහන ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි…

-නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි 

රටේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන 2024 වර්ෂයේ විමධ්‍යගත අය-වැය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක රැස්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී 2024.01.11 දින පැවැත්විණි.

ප්‍රාදේශීය හා දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටු හරහා අදාළ සංවර්ධන ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කරනු ඇත. 2024 ජනවාරි 31 වැනිදා වන විට දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීම අවසන් කරන අතර, අනුමත වූ ව්‍යාපෘති ජූලි 31ට පෙර අවසන් කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණී. දිස්ත්‍රික්ක 25 සඳහා ම ව්‍යාපෘතිවලට විමධ්‍යගත අය-වැය වැඩසටහන වෙනුවෙන් වෙන්වූ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,250ක්. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති අමාත්‍ය මණ්ඩල අනු කමිටුව මගින් සමස්ත වැඩසටහන ම අධීක්ෂණය කරනු ඇත. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රගතිය සතිපතා සමාලෝචනය කෙරෙන අතර ජාතික මට්ටමේදී මහා භාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධික්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක්වනු ඇත. එම තොරතුරු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනාට ම සමානව ලැබෙන අයුරින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ජනාධිපතිතුමා ඇතුළු රජයේ අපේක්ෂාව බව, මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. දරිද්‍රතාවය, ජනගහනයේ ව්‍යාප්තිය, වර්ග සැතපුම් ප්‍රමාණය සලකා බලමින් දිස්ත්‍රික්කය තුළ සමතුලිත සංවර්ධනයක් කළයුතු බවද ඔහු කියා සිටියේය. මෙම සංවර්ධන වැඩසටහනට කිසිදු බාධාවක් සිදු නොවිය යුතුය යන්න නිලධාරීන්ට අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා, එවැන්නක් සිදුවන්නේ නම් සම්බන්ධීකරණ කමිටු ප්‍රධානීන් ඒ බව වහා ජනාධිපති කාර්යාලය දැනුවත් කරන්නැයි විශේෂයෙන් දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් මේ වනවිට රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙන බවද එබැවින් එම ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන ගොස් රජයේ සංවර්ධන ඉලක්කය ජය ගැනීමට සියලු ම දෙනා තවදුරටත් කැපවී කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේ, සංවර්ධන කටයුතු සඳහා මුදල් නොලැබෙන බවට චෝදනා එල්ල නොකර, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට සහභාගී වී සංවර්ධන යෝජනා ඉදිරිපත් කිරීමෙන් සියලුම දෙනාට ම අදාළ ප්‍රතිලාභ ලබාදිය හැකි බවය. මේ වනවිට පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවන බැවින් එම ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලැබූ පළාත් සභා සවංර්ධන ව්‍යාපෘතිද මෙම වැඩපිළිවෙළටම අනුගත වන බවද දැනට මෙහි නියාමන වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අමාත්‍යවරු, මන්ත්‍රීවරු, නිලධාරිහුද මෙහිදී අදහස් දැක්වූහ.

මෙම රැස්වීමට අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු මෙන්ම දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු වන මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති කාර්යාලයේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ, මුදල් අමාත්‍යංශයේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ, ආණ්ඩුකාර කාර්යාලයන්හි ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීහු, සහභාගී වී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress