ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල අඩු කරන ලෙස මිලින්ද මොරගොඩ ඉල්ලා සිටී
Posted on January 18th, 2024

පාත්ෆයින්ඩර් පදනම

කාලීන අවශ්‍යතාවයක් සේ සලකා ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල අඩු කරන ලෙස යෝජනාවක් පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කරයි. නවීන තාක්ෂණය වඩාත් පහසුවෙන් භාවිතා කර සම්බන්ධතා ගොඩනැගිය හැකි ගෝලීයකරණයක් ඉදිරියේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පරිවර්තනය කළ හැකි බව ඔහු ස`දහන් කරයි.

 
ශ්‍රී ලංකාවේ පරිපාලන ව්‍යුහය නවීකරණය කිරීම, කාර්යක්ෂමතාවයක් ඇති කිරීම සහ සීමිත සම්පත් උපරිම වශයෙන් භාවිතා කිරීම සඳහා හදිසි අවශ්‍යතාවයක කොටසක් ලෙස, විදේශයන්හි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීම පිළිබඳව බරපතල ලෙස සලකා බලන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටී. හැටකට වැඩි තානාපති හා මහ කොමසාරිස් කාර්යාල ශ්‍රී ලංකාන පවත්වාගෙන යන  අතර, ඉන් වැඩි ප්‍රමාණයක් කාර්ය මණ්ඩල හි`ගය සහ සම්පත් හි`ගයෙන් පෙලෙන බව ද පෙන්වා දෙන මොරගොඩ මහතා ඩොලර් බිලියන 325 කට ආසන්න විදේශ විනිමය සංචිතයක් පවත්වාගෙන යන සිංගප්පූරුව නඩත්තු කරන දූත මණ්ඩල ප්‍රමාණය පනහක් පමණ බව ද දක්වයි.


වර්තමානයේ පවතින තත්ත්වය අනුව සෑම අංශයකම පැවැත්ම සාධාරණීකරනය කළ යුතු අතර වියදම සීමා කරන ප්‍රවේශයක් ඉදිරියේ විදේශ දූත මණ්ඩල දහයක්වත් අවම වශයෙන් අඩු කළ හැකි බවත්, මෙම ඉතුරුම්වලින් කොටසක් අනෙක් දූත මණ්ඩලවල ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට යොදා ගත හැකි බවත් මොරගොඩ පෙන්වා දෙයි. තානාපති කාර්යාල සහ  මහ කොමසාරිස් කාර්යාලවල ක්‍රියාකාරීත්වය, දැරිය හැකි මිල සහ ජාතික අවශ්‍යතාව සැලකිල්ලට ගෙන රාජ්‍ය තාන්ත්‍රික නියෝජනය සහ කාර්යාලයක අවශ්‍යතාවය අපක්ෂපාතීව තක්සේරු කළ යුතු බව ඔහු ප්‍රකාශ කරයි.

කලාපීය මට්ටමේ ක්‍රියාකාරකම් නොසලකා හැරිය නොහැකි තෝරාගත් දූත මණ්ඩල සවිබල ගැන්වීම සහ ඒවාට අමතර සම්පත් වෙන් කිරීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් දක්වන අතර ශක්තිමත් ආර්ථීකයක් සහිත සිංගප්පූරුවේ මෙන්, තානාපතිවරුන් කලින් සූදානම් කළ ක්‍රියාකාරකම් සැලැස්මකට අනුව ඔවුන් වෙන්කර ඇති රටවලට වරින් වර සංචාරය කරමින් රාජකාරි කිරීමට ඉඩදිය හැකි බව ද යෝජනා කර සිටී. ඓතිහාසික හා සමාජීය තත්ත්වයන් යටතේ පිහිටුවන ලද ආයතන සහ ප්‍රතිපත්ති අලුතින් ප්‍රතිසංස්කරණය කර නැවත ඇගයීමට ලක් කිරීමට පවතින ආර්ථීක අර්බුදය හොඳ අවස්ථාවක් ලබා දී ඇති බවත් ඕනෑම පද්ධතියක් කාලයට පරිණාමය වී නවීන යුගයට අනුගත විය යුතු බවත් මොරගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress