චීනයේ ෂැංහායි සහ කොළඹ සහෝදර නගර සම්බන්ධතාවය වේගවත් ඉදිරි ගමනක..
Posted on March 29th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය  

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.03.29) චීනයේ ෂැංහායි නගරයේදී ෂැංහායි නගරාධිපති ගොන්ග් සෙන්ග් (Gong Seng) මහතා සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

ලොව වරාය නගරවලින් ප්‍රථම ස්ථානයට පත්ව ඇති චීනයේ ෂැංහායි සහ ඉදිරි කාලයේදී නැගෙනහිර සහ බටහිර අතර නාවික ගමනාගමන කේන්ද්‍රස්ථානයක් වීමට සැලසුම් කර ඇති කොළඹ සහ හම්බන්තොට නගර අතර සවිමත් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට මෙහිදී එකඟත්වය පළ කෙරිණි.‍

කොළඹ සහ ෂැං හායි අතර සහෝදර නගර ගිවිසුම අත්සන් කර බොහෝ කාලයක් ගත වී ඇති අතර තම සහෝදර ප්‍රසන්න ගුණවර්ධන නගරාධිපති ධුරයේ සිටින කාලයේ අත්සන් කළ මෙම ගිවිසුම යටතේ  තවදුරටත් විශාල වැඩ කොටසක් සිදු කළ හැකිබව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ෂැං හායි නගරය භාණ්ඩ ප්‍රවාහනයේදී කන්ටේනර් ප්‍රවාහනය අතින් මිලියන 49.5 ක් සම්පූර්ණ කර පසුගිය වසරේ භාණ්ඩ ප්‍රවාහන ලෝකයේ ප්‍රථම ස්ථානයට පත් වී ඇති අතර එම ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම් අතිමහත් බව මෙහිදී අවධාරණය කෙරිණි.

යුවාන් ට්‍රිලියන  4.72ක වාර්ෂික නිෂ්පාදන ආදායමක් ලබන ෂැංහායි නගරය ඊට අමතරව ලොව පළමු පෙළේ ව්‍යාපාරික මධ්‍යස්ථානයක්ද මූල්‍ය ගනුදෙනු සඳහා වූ කේන්ද්‍රස්ථානයක් වශයෙන්ද ලබා ඇති අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබාදීමට ෂැංහායි නගරාධිපතිවරයා මෙහිදී සහතික විය. මිලියන 25ක ජනතාවක් සහිත ෂැං හායි නගරය සැලසුම් සහගත නාගරික සංවර්ධනයෙන් ලබා ඇති ප්‍රගතිය තුළින් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි පාඩම් අති විශාල බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එම සෑම ක්ෂේත්‍රයක් සඳහාම ශ්‍රී ලංකාවට සහය දීමට ෂැංහායි නගරාධිපතිවරයා මෙහිදී එකඟත්වය පළ කළ අතර ඒ ඒ ක්ෂේත්‍රවල නිලධාරීන් ෂැංහායි වෙත පැමිණ එම ක්ෂේත්‍රයන් අධ්‍යයනය කරන ලෙසටද ආරාධනා කළේය.

යුනෙස්කෝ උරුම ගණනාවක් සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට චීන ජනතාව දක්වන උනන්දුව වැඩි වී ඇති අතර දැනට කොළඹ සහ ෂැංහායි අතර සිදු කෙරෙන ගුවන්ගමන් වැඩි කිරීමේ හැකියාව සොයා බැලීමටද මෙහිදී එකඟත්වය පළ කෙරිණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේම සිංහ, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු පිරිස සහභාගී වූහ.

           

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress