අගමැතිගෙන් විමසන ප්‍රශ්න, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන්ට අනුකූල විය යුතුය — අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on June 6th, 2024

olhp.media

අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ, පාර්ලිමේන්තුවේ ප්‍රශ්න විමසීමේදී අදාළ සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුගමනය කිරීමට කටයුතු කරන්නැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කථානායක, විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේදී 2024.06.05 දින අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීමේදී වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර, පැහැදිලි කිරීමක් කරමිනි.  විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද ඒ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ නිලධාරින්ට සිහිපත් කිරීමක් කළේය.

 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

“මේ පිළිබඳ අපේ රාජ්‍ය ඇමතිතුමා පිළිතුරු දෙයි. නමුත් මම ඔබතුමාගේ හා සභාවේ අවධානයට ගෙන එන්න කැමතියි. මම සභානායකතුමාටත් දැන් කිව්වේ මේ ස්ථාවර නියෝගය හා එහි ඇතිවුණු හේතු සාධකය යළි අවධානයට ගත යුතුයි. බ්‍රිතාන්‍යයේ මේ සම්ප්‍රදාය ඇති කළේ අග්‍රාමාත්‍යවරයාගෙන් හදිසි වැදගත් කාරණාවක් ගැන විමසීමට. දැන් ඊයේත් අපි යම් යම් ප්‍රශ්න ගැන විපක්ෂ නායකතුමා නඟපු දේ, අදත් මේ යළි repeat වෙනවා.

ඒ අතරතුර මේ ප්‍රශ්න සමුදායට අපි උත්තර දෙන්න ලෑස්තියි. මම ඉල්ලා සිටිනවා කතානායකතුමාගෙන් ඒ ස්ථාවර නියෝගය අනුව මීට පස්සේ කටයුතු කරන්න ඔබතුමාලා බැඳී සිටිනවා අපි වෙනුවෙන්. මොකද පැහැදිලිව අපි ගත්තේ House of Commons වලින්. ඒක ඇතිවුණු හැටි හා මෑත කාලයේ, ගිය පාර්ලිමේන්තු කාලයේත් යම් යම් සංශෝධනයන් කරලා ඊට පිළිතුරු දීම පවා, වේලාව ඕනේ නම් දවසේ ඕන වෙලාවක, ප්‍රශ්නය අහන මන්ත්‍රීතුමා ඉන්න වෙනවා අග්‍රාමාත්‍යතුමා ඇවිල්ලා පිළිතුරක් දෙනවා නම්.

දැන් අපි අමාත්‍යාංශ 10ක විතර තියෙන ප්‍රශ්නයක්  මේ ප්‍රශ්නය ඇතුළට දාලා තියෙනවා. මූලාසනයට තියෙන අයිතියක්, අදාළ නැති දේ කපා හරින්න. These are rights of the chair. Standing Order එකට පටහැනි නම් කපා හරින්න පුළුවන්. But still allow the question.

ඉතින් මේක කතානායකවරු කිහිප දෙනෙක් මීට කළින් කළා. මම කියන්නේ කිසිම මන්ත්‍රීවරයෙක්ගෙන්,  ප්‍රශ්න අහන්න එපා කියන එක නෙවෙයි.  අමාත්‍යංශ 10ක විතර ප්‍රශ්න ගෙනල්ලා ඇහුවහම අපිට උත්තර දෙන්න පුළුවන්, නමුත් අද කටයුතු, අනිත් එක්කොම කටයුතු  ඇණහිටිනවා. මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ විපක්ෂ නායකතුමාත්, සභානායකතුමාත්, විපක්ෂ සංවිධායකතුමාත්, විශේෂයෙන් කථානායකතුමත්.

මම  රාජ්‍ය ඇමතිතුමාට උත්තර දෙන්න කියනවා. මම විශේෂයෙන් සභාගත කරන්නම් දැනට. මෙයට අදාළ Prime Ministers question මේක ඇති කළේ අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අගමැති කාලයේ. ඔබතුමා (ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා වෙත) සභානායක කාලයේ. You all followed certain procedure. Now we have gone totally outside that procedure as well as the Standing Order and I feel it is being miss use. We can answer anything under the sun we have to allocate whole day for it.”

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්විය.

 “ඊයෙත් සමාන ප්‍රශ්න දෙකක් දීලා තිබ්බා. ඇත්ත වශයෙන්ම දෙවැනි ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන්න තිබ්බා. ඊයෙත් පාර්ලිමේන්තු ඇතුළේ ප්‍රශ්න ඇති වුණේ, සමාන ප්‍රශ්න දෙකක් නිසා. එතකොට පළවෙනි ප්‍රශ්නය පිළිගත්ත නම්, දෙවැනි ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන්න තිබ්බා. දැන් දෙකම පිළිඅරගෙන. ඒ පිළිගත්ත නිලධාරීන් ස්ථාවර නියෝග අනුව දෙවැනි ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන්න තිබ්බා. ඉතින් දෙකම පිළිගත්ත නිසා තමයි ඒ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වුණේ.

ඉතිං ගරු අග්‍රාමාත්‍යතුමා කියන්නේ ස්ථාවර නියෝග ගැන මීට වඩා, පාර්ලිමේන්තුව තුළ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැතුව, කාර්යාලවල විසඳන්න මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෑ.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress