අපේ ඉතිහාසය – රාවණා, සිංහබාහු, විජය, දෙවන පෑ තිස්/මිහිඳු හිමි, අධිරාජ්‍යවාදීන්  
Posted on June 6th, 2024

චානක බණ්ඩාරගේ

පුරාණ ශ්‍රී ලංකා ඉතිහාසය/සිංහල බෞද්ධත්වය මහා පරිමාණයෙන් විකෘතියට/අපහාසයට ලක් කරන පිරිසක් දැන් බිහිව සිටී. මේ බොහෝ අය සිංහලයෝමය. මොවුන් රටට (ශ්‍රී ලංකාව), සිංහල ජාතියට/බෞද්ධාගමට ආදරය නොකරන, ඒවා නොසලකා හරින හෝ ඒවා ගැන තරහක් ඇති අයයි. මේ සමහර අයට විදේශ NGO වලින් මුදල් ලැබේ. මේ අයගේ මුළීක යටි අරමුණ මෙය සිංහල බෞද්ධ රටක් නොවේය, sසිංහලයාට පෙර මේ රටේ ද්‍රවිඩයන් වාසය කළේය වැනි මතයන් ස්ථාපිත කිරීමයි; ඒ බව සිංහල මහ ජාතියට, විශේෂයෙන්ම වර්තමාන දරුවන්ගේ  සහ තරුණයන්ගේ මනසට කා  වැද්දීමයි. වෙනත් කිසිදා සිදු නොවූ අයුරින් ශ්‍රී ලංකාව තුල පුද්ගලික විද්‍යුත් මාධ්‍යය, යු ටියුබ් අවකාශ ඔස්සේ මෙය දැන් ඉතා සාර්ථකව සිදුවේ. දෙමළ බෙදුම්වාදයට ජාත්‍යාන්තර තලයේ අනුකම්පාව/මුල්‍ය ආධාර ලබා ගැනීම සහ ජාත්‍යාන්තර නිතිය යටතේ ද්‍රවිඩ ඊලාම් රාජ්‍යය මෙහි ස්ථාපිත කර ගැනීමද ඔවුනගේ අරමුණු අතර වේ.

බටහිර සහ ආසියාවේ සමහර රටවල් (උදා: ජපානය, තායිවානය, දකුණු කොරියාව) බොහෝ දියුණු වී තිබෙන්නේ තම රටට   ආදරය කරන දරුවන් එම රටවල පාසැල් පද්ධති මඟින් බිහි කිරීමයි. ශ්‍රී ලංකාවේද කළින් මෙය සිදු විය. දැන් සිදු නොවේ, විශේෂයෙන්ම 1994 පමණ පසු.

රටට ආදරය කරන පුරවැසියන් වීමට නම් ඔවුන් තම රටේ නිවැරදි ඉතිහාසය දත යුතුය. 

දියුණු රටවල් තම ඉතිහාසය විකෘති කිරීමට කිසිසේත් ඉඩ නොදේ. නාට්සින් විසින් යුදෙව්වන් සමුලඝාතනය සිදු නොකළේය යයි කෙනෙක් පැවසීම යුරෝපයේ සිරගත වන වැරද්දකි.

වංචා,  දුෂණ, සොරකම්, පරිසර දූෂණය/විනාශය වැනිදේ ඉතා නරක බව දියුණු රටවල ළමුන්ට නිවෙස්වල/පාසැල්වල උගන්වති. දරුවනට බොරු කීම, සොරකම් කිරීම පුරුදු කරන දෙමව්පියෝ -දුප්පත්/මධ්‍යම/ඉහළ පන්ති සියල්ලේම, මෙහි වෙත්.

විකෘති කරන ලද, ව්‍යාජ ඉතිහාසයක්  ඉගැන්වීම නිසා මේ රටේ ළමා මනස් අවුල්/අතරමං වී ඇත. අද දකුණේ සහ උතුරේ පාසැල් වල උගන්වනුයේ එකම ඉතිහාසයද?

ළමුනට තාර්තිකව (rational) සහ තර්කානුකුලව (logical) සිතීමේ හැකියාව වර්ධනය කරන ඉගැන්වීමේ ක්‍රමයන්  අපේ පාසැල් වල නොමැත හෝ ඉතා අඩුය. විශ්ව විද්‍යාල වල තත්වයද බොහෝ විට මෙයයි.

රාවණා සංකල්පය සත්‍යයක් බව, බුදු රජාණන් වහන්සේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ උපන් බව, මිහිඳු හිමි වැඩම කිරීමට පෙර මෙහි බුදු සසුන තිබු බව, විජය/පන්ඩුකාභය/දෙවන පෑ තිස් ගෙන් මෙහි බිහිවූ සිංහල/සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට  වඩා ඉපැරණි, ඉතා ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් මෙරට විය, දේවානම් පියතිස්ස සිංහල නොව දෙමළ දේවානම් පියතිස්සම් බව වැනි ඉතිහාසය විකෘති කිරීම් මොවුන් දැනුවත්ව කරන්නේ  කළින් සඳහන් ද්‍රවිඩ බෙදුම්වාදී අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමේ චේතනාවෙනි. ඉතා නිරවුල්, අසංකීර්ණවූ අපේ ලිඛිත සහ වාචික  ඉතිහාසය අවුල් කිරීමටය.

සිංහලයෝ මේ ගැන කිසිම ප්‍රතිචාරයක් නොදක්වති.  බුදුන් වහන්සේට පවා පරිභව කිරීමට ඉඩ හැර ඔවුහු කිසිදු ප්‍රශ්ණයක් නැතිවාක් මෙන් සිටිති.

මෙරට ක්‍රිස්තු/ඉස්ලාම්/හින්දු භාක්තිකයනට ඔවුන්ගේ ආගම/ජාතිය මෙවැනි නින්දා/පරිභව/ විකෘති කිරීම් වලට බඳුන් කරන්නේ නම්?

මෙරට සිංහල ජනගහනයද  ක්‍රමානුකුලව පල්ලම් බසිමින් තිබේ. අද උතුර, නැගෙනහිර, කඳුරටද ඇතැම් ප්‍රදේශ සිංහලයෙක් ‘බෙහෙතකටවත් සොයා ගැනීමට’ බැරි තත්වයක් පත්වී ඇත. පිටකොටුව, කොටහේන, වැල්ලවත්ත, මෝදර, මට්ටක්කුලිය කොම්පඥ වීදීය,  මාලිගාවත්ත  වැනි ප්‍රදේශවල කථා කරන ප්‍රධානම භාෂාව බවට දෙමළ පත්වී ඇත – ඒවායේ වන අධික  දෙමළ/මුස්ලිම් ජනගහනය නිසා. මේ ප්‍රදේශවල සිංහල ජනගනය 30%ක් වත් වේද? කොළඹ සෙසු ප්‍රදේශවල?

එදා (මේ මෑතක් වන තුරු) බොරැල්ලේ වනාතමුල්ල, මට්ටක්කුලියේ සමිට් පුර  90% පමණ ඉතා විශාල සිංහල බෞද්ධ ජනයා ජීවත් වූ ප්‍රදේශයි.  අද ඒවායේ ඔවුන් 60%ක් වත් ඇද්ද? පොදු පෙරමුණ රජයන් කාලයේ මේ ප්‍රදේශවල ඉදි කල දැවැන්ත රජයේ මහල් නිවාස වල සිංහල/දෙමළ/මුස්ලිම් ජනයා පදිංචි කලේ 33% බැගින් වූ වැනි අනුපාතයෙනි. R ප්‍රේමදාස ජනාධ්පති තුමා නිවාස සහ රජයේ රැකියා දුන්නේ සිංහල/දෙමළ/මුස්ලිම් ජන අනුපාතය අනුවය (70%, 20%, 8%).

ප්‍රධාන සුපර් මාර්කට් ජාලා ඒවායෙහි සේවය සඳහා වතු කරයේ, උතුරු/නැගනහිර තරුණ තරුණියන් විශාල වශයෙන් කොළඹට ගෙන්වා ගනී. මේ සමහර සේවකයනට සිංහල කථා කර ගැනීමටවත් නොහැක.

සිංහලයාට උතුරේ, නැගෙනහිර (බොහෝ ප්‍රදේශ) වාසය කිරීම අකැප වී ඇත.

මෙය අද රටේ තිබෙන ප්‍රධානතම මානව හිමිකම් ප්‍රශ්ණයයි – සිංහලයාට ජිවත් වීමට උතුර, නැගෙනහිර ‘තහනම්’ ව තිබීම.

උතුරට සහ නැගෙනහිරට ඇතුල්වන ප්‍රධාන මහාමාර්ග බොහෝ  දොරටුවල රෞද්‍ර පෙනුමැති  තනි තරුණ පිළිරුවක්/දෙමළ නිජබිම සංකේතවත් කරන නිර්මාණ දක්නට ලැබේ. සමහර ඒවායේ එම තරුණයා කඩුවක්ද අතැතිව සිටී. මේ, ඒ පලාත්වල මෑතක සිටී දෙමළ මහ ඇමතිවරුන්ගේ වික්‍රමය.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා විහිදෙන රාවණා මාවතක් (Ravana Trail) මෙහි ගොඩ නැගීමට යයි. මේ සඳහා කෝටි ගණනින් මුදල් දෙන්නේ ඉන්දියාවයි.

ඉන්දියාවේ ඇතැම් හින්දුවරුන් විශ්වාස කරන රාමායණය කථා වස්තුව මෙරට වාසින් විශ්වාස නොකරත්. අපේ දෙමළ සොහොයුරන් පවා මෑතක් වන තුරු රාමා, සිතා නොඇදහුහ. ඔවුන් අදහනුයේ ශිව, විෂ්ණු, ගණ, පාර්වතී වැනි දෙවිවරුන්ය. මෙම ලියුම්කරුගේ දැනුම පරිදි අතීතයේදී රාවණා මෙරට ද්‍රවිඩයන් අතර පිළිගත් රජෙක්/දෙවිවරයෙක් නොවීය. නමුත්, දැන් සමහර දෙමළ කෝවිල් වල රාවණා දෙවි කෙනෙක් ලෙස අදහති.

ශිව දෙවියන් සඳහා කැපවුණු ත්‍රිකුණාමලයේ කෝනේස්වරන් කෝවිල් ස්ථානය ඉපැරණි හින්දු  කෝවිලක් ලෙස මෙරට ද්‍රවිඩයන් සළකත්. බොහෝ ද්‍රවිඩ හින්දුන් දැන් එම ස්ථානයට රොක් වෙති. රාවණා රජු ශිව දෙවියන්ට  වඳින දැවැන්ත පිළිමයක් දැන් එහි, මුහුද අසළ, සාදා ඇත.

මහාවංශය සහ මහාචාර්ය සෙනරත් පරණවිතානට අනුව කොනේස්වරන්හි පැවත ඇත්තේ මහසෙන් රජ (ක්‍රිව 334 – 361) විසින් ඉදිකරන ලද බෞද්ධ පන්සලකි. එම කෝවිලේ අද දක්නට ලැබෙන චෛය්ත්‍ය 3 එකී පන්සලේ නටඹුන්ය යන්න බෞද්ධ මතයයි.

ප්‍රතිකාල් සෙන්පති ජෙනරාල් අසවේදු මෙහි තිබු පන්සල කඩා බිඳ දමා එහි තිබු වටිනා දේ රැගෙන ගිය බව ඉතිහාස ග්‍රන්ථ වල දැක්වේ. ඔවුන් එහි වූ බෝධියට හානි නොකලත් 1958 දී පමණ එහි වූ බෝධි රාජයාණන් විනාශ මුඛයට පත් කල බව 1984 සන්සෝනි කොමිසම ඉදිරියේ ලබා දුන්  සාක්ෂි වලින් පැවසුණි.   

1968 දී ෆෙඩරල් පක්ෂය ඩඩ්ලි සේනාණායක රජයෙන් ඉවත් වුනේ (එයින්, ඉතා දුර්වල එජාප රජයක් 1968 – 1970 දක්වා පැවතියේ) මෙම කෝනේස්වරන් කෝවිලේ අයිතිය පිලිබඳ වූ මතභේධයය. ඩඩ්ලි සේනාණායකගේ දැඩි මතය වුයේ එය බෞද්ධ පුරාවස්තුවක්ද බවයි.

1958දී SWRD බණ්ඩාරනායක රජය විසින් (ප්‍රකෝපකාරී ලෙස) ශ්‍රී අකුර රථ වාහනවලට හඳුන්වා දීම යාපනයේ වැසියන් ආවේගයට පත් කල කරුණක් විය. රට පුරා දෙමළ – සිංහල කෝළාහල ප්‍රථම වරට මේ වසරේදී සිදු විය. මෙම ජාතිවාදී කෝළාහල වලදී යාපනයේ, ත්‍රිකුණාමලයේ සහ මඩකලපුවේ සිටී සිංහලයන් විවිධ වධ හිංසා වලට ලක් විය. බොහෝ සිංහලයනට එම ප්‍රදේශ අත් හැර දකුණට යාමට සිදු විය.  දකුණේ, වැල්ලවත්ත, දෙහිවල ප්‍රදේශවල අහිංසක දෙමළ ජනයාද වද හිංසාවලට භාජනය විය.

බෞද්ධයන් හින්දු දෙවිවරුන් අදහන බව සත්‍යයකි. ඒ ප්‍රධාන වශයනේ කන්ද උඩ රට සිටී වඩුග රජවරුන්  (නායක්කර් රජවරු 4 දෙනා)  ඔවුනගේ තමිල්නාඩු දෙමළ බිසවුනට වන්දනා කිරීම සඳහා මහනුවර දළදා මාලිගා සංකීර්ණයේ හින්දු දේව කෝවිල් ස්ථාපිත කිරීම නිසාය.

අද කර්ණාටක ප්‍රාන්තය (බැංගලෝර් අග නගරය) ප්‍රදේශයේ සම්භවය ලත් මේ වඩුග රජවරුන් සැබෑ ලෙසම බෞද්ධ රජවරුන් බවට පත් වුහ. සිංහල කථා කළහ. ඔවුන්ගේ විජනගර් මහා අධිරාජ්‍යයේ කේන්ද්‍රස්ථානය වුයේ තමිල්නාඩුවයි. ඒ නිසා කන්නඩා භාෂාවට අමතරව දෙමළද කථා කළහ, කළින් කී පරිදි, ඔවුනට දෙමළ බිසෝවරුන්  සිටීයහ.

අවසන් සිංහල රජු වූ නරේන්ද්‍ර සිංහ හට දරුවන් නොසිටීම මෙම නායක්කර් රජවරු බලයට ඒමට හේතුව විය.

සැබෑ බෞද්ධයන් වූ මේ නායක්කර් රජවරුන් හින්දු දෙවි වරුන්ද වන්දනා මාන කළා විය හැක. බුද්ධාගම තුලින් එයට ඉඩ සැළසේ. රජු සතුටු කිරීම/ රජුට පක්ෂපාත බව පෙන්වීම  වස් රජුගේ සිංහල ඇමතිවරුන්, සිංහල රදලයන් සහ වෙනත් සිංහල වංශාධිපතීන් දෙමළ දෙවිවරු ඇදහීමට  පෙළභූනා විය හැක. මේ නිසා කන්ද උඩ රට රාජධානියේ සාමාන්‍ය ජනයාද දළදා මාලිගාවේ සිය වතාවත් අවසන් කර එම භූමියේම පිහිටුවා තිබු මේ කෝවිල් වලටද ගොස් දේව ආශිර්වාද පැතුහ.  අදද මේ දේ සිදුවේ.

නමුත්, කිසිම හින්දු දෙවි කෙනෙක් නොඅදහන බොහෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ වෙත්.

කතරගම, දැඩිමුණ්ඩ, සමන්, අයියනායක යනු සිංහල දෙවි වරුය. එම දෙවි වරුන් අප මහත් භක්තියෙන් පුදමු.

බුදු රජුන් කලද දෙවිවරු සිටීහ. ඔවුහු උන්වහන්සේට වැඳ නමස්කාර කළහ.

බුද්ධාගමේ සියළු බලගතු, අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ කෙනෙක් නොමැත.

නමුත්, බෞද්ධ සංස්කෘතියේ දෙවිවරු පිළිබඳව සඳහන් වේ; අප ඔවුන් වෙනුවෙන් පින් අනුමෝදන් කළ යුතුවේ.  දෙවිවරුනට පැවතිය හැක්කේ එවිටය.

කතරගමද (හෙළ, සෙනරත් රජුගේ පුනරුප්පත්තිය)  දෙමළ දෙවි කෙනෙක් බව පෙන්වීමට බොහෝ උත්සාහයන් දරත්.  මෑතක ඒ බව සනාථ කෙරෙන චිත්‍රපටයක්ද සෑදුනි.

කළින් කීවාක් මෙන්, අප බෞද්ධයන් සමහරෙක් විෂ්ණු, ගණ, ශිව වැනි හින්දු දෙවිවරුන්ද අදහන බව සත්‍යකි. නමුත් සිංහලයන් බොහෝ දෙනෙක් ඔවුන්ව අදහන්නේ ඔවුන් සිංහල දෙවිවරුන් ලෙස සළකාය/සිතාය.

කිසිම බෞද්ධයෙක් රාවණා දෙවි කෙනෙක් ලෙස නොඅදහයි. අද තත්වයද මෙයයි. පුද්ගලික රුපවාහිනි සහ යු ටියුබ් නාළිකා වලට ස්තුති වන්තව රාවණා රජෙක් බවට පිළිගන්නා සිංහලයෝ නම් දැන් ඉතා බොහෝය.

වසර 2,000ට ආසන්න පැරණි ග්‍රන්ථාරූට ඉතිහාසයක් අපට ඇත. අප දන්නා ඉතිහාසය වනුයේ මේ රටේ ප්‍රාරම්භකයා විජය කුමරායි. රාවණයෙක් මේ රටේ රජ කළේය යනුවෙන් ඉතිහාසය ප්‍රබලව වෙනස් වන්නේ මේ ශත වර්ෂය (21) ආරම්භයත් සමඟ පමණය. මේ සඳහා, තමිල්නාඩු සබඳතා ඇති ජනප්‍රිය පුද්ගලික රූපවාහිනී නාළිකා තදින්ම ක්‍රියා කළහ/අදත් කරති. ‘ජීවමාන රවාණා’ වැනි වැඩසටහනක් එක් දෙමළ ආධිපත්‍ය ඇති පුද්ගලික රුපවාහිනී මාධ්‍යක දැනුත් සතිපතා කොටස් වශයෙන් විකාශණය කරන බව සැළයි.  

යුධමය ලෙස LTTEය අප පරාජය කලත් ඔවුන් සිංහලයාගේ  විඥානය ජය ගත් බවත්, ඒ නිසා අප දැන් රාවණා වැන්නන් පිළිගන්නා බව උගතුන් යයි සම්මත සිංහල ඇතැමුන් පවසති. මෙය නිෂ්පල තර්කයකි. සිංහලයෝ කිසි දා ප්‍රභාකරන්ව විශ්වාස කලේ නැත.

1977 පසු මේ දක්වා බිහි වූ රජයන් නම්, විශේෂයෙන්ම 1994 පසු,  සිංහලයාගේ  විඥානය මොට කිරීමට කටයුතු කර ඇති බව සත්‍යකි.

අපේ කිසිම පැරණි ඉතිහාස පොතක රාවණා රජෙක් ගැන සඳහන් නොවේ. රාවණයෙක් මෙහි සිටී බවට පිළිගත හැකි කිසිදු සෙල් ලිපියක් හෝ වෙනත් පුරා විද්‍යා සාධකයක් මෙතෙක් හමුවී නැත.

විජය ඒමට පෙර මෙහි මිනිසුන් වාසය කළහ. බලන්ගොඩ මානවකයා සිටියේ මීට වසර 40,000ට පෙරය.

අති පැරණි මහාවංශයට අනුව ඒ අය රාක්ෂ, යක්ෂ සහ නාග ජන කොටස් වුහ. පොදුවේ ඔවුන් හෙළයන් වශයෙන් අප සළකමු.  

දඹදිව වංග දේශයේ ලාට රටේ සිංහබාහු රජතුමාගේ පුත් විජය, මෙහි හෙළයන් සමඟ එකතුවී සිංහල ජාතිය බිහි විය (සිංහ + හෙළ = සිංහල). ඒ මීට වසර 2,500ට අසන්නවය.

කුවේණිය (නොහොත් ලීලාවතී) යක්ෂ ගෝත්‍රයට අයත් විය. ඇය එකළ අද  පුත්තලම/අනුරාධපුර ප්‍රදේශයන්හි  වූ යක්ෂයන්ගේ රැජින විය.

විජය කුමරු සහ බුදු දහම ඉදිරියේදී නිත්‍ය වශයෙන්ම රැකීම පිණිස ශ්‍රී ලංකා දේශය  බේරා දිය යුතු බවට සිය පිරිනිවන් මංචකයේදී, බුදු රජුන් සක්‍ර දෙවීදුන් හට පැවසූහ. මේ බව මහාවංශයේ ග්‍රන්ථාරූටය.

 අපේ සමහරෙක් නොපිළිගත්තත්, ඉන්දියාව මහාවංශය පිළි ගනී.

බුදු රජුන් පිරිනිවන් පෑ දින විජය කුමරු මෙරටට 700ක් පිරිවර සමඟ තම්බපන්නියෙන් ගොඩ බතී.

බුදු රජුන්ගේ ඉල්ලීම පිළිගත් සක් දෙවිඳු ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සමන් දෙවිදුන්ට මෙන්ම දැඩිමුණ්ඩ දෙවියන්ට පවරන ලදී. සමන් දෙවිඳු වනාහි කුවෙනියගේ මාමා කෙනෙකි.

අද වැද්දන් (ආදිවාසින්) කුවේනිව මහ කිරිමැල්ඇත්තෝ යන ළබැඳි නාමයෙන් හඳුන්වති. වැදී පරපුර පටන් ගත්තේ විජය සහ කුවේනිගේ දරුවන් වූ ජීවහත්ත සහ දිසාලා ගෙනි. මේ අනුව, විජය වැද්දන්ටද  සිය ‘ජාතියේ පියා’ය.  

සිංහ රජුගේ (මොහුට සිංහයෙකුගේ මෙන් නිය විය) දරුවන් – සොහොයුරන් – සිංහබාහු සහ සිංහසීවලී අඹු සැමියන් සේ හැසිරුණු බවට වූ  ප්‍රබන්ධයක් මෑතක සිට සාර්ථකව ගොඩ  නැඟී ඇත.

සිංහබාහු නමින් දැනට තිරගත වන චිත්‍රපටයකද සිංහබාහු සහ සිංහසීවලී අතර ලිංගිකමය සම්බන්ධයක් වූ බවට යෝජිත ජවනිකා ඇත. එක් උදාහරණයක් නම් මහා වැසි සහිත රාත්‍රියක කළුවර ගල් ගුහාවක අතරමං වන මේ තරුණයා සහ තරුණිය අතර වන ලිංගික/රගාධික ඉඟි ප්‍රදර්ශනයයි. සිංහබාහු සිංහසීවලීව වැළඳ ගනිද්දී ඇය ඔහුට පවසනුයේ – බිය නම් නොවෙමි සතුනට; නමුත් ඇත යම් දෙයක් සිත යට” වශයෙනි.  චිත්‍රපටය අවසානයේ සිංහබාහු සහ සිංහසීවලී වෙන් වෙන් දෙමව්පිය දෙදෙනෙකුගේ දරුවන්ය යන අදහසක් ඉදිරිපත් කෙරේ.

මෙවැනි චිත්‍රපටයක්ය පාසැල් සිසුන් විසින් නැරභිය යුතුම යයි රටේ ඉතා වැදගත් පිරිමි සහ බාලිකා පාසැල් වල විදුහල්පති වරු ප්‍රසිද්ධියේ පවසත්. පාසැල් සිසුන් දැන් සිය ගණනින් සිනමා ශාලා කරා ඇදෙති.

මේ උදාහරණය බලන්න:

නිරුවතින්  තනිව දිය නෑමට දියට බසින තරුණ සුප්පා දේවිය සිය පිරිවරට (එහි ඈතින් පිරිමිද සිටිත්) කියනුයේ හැඩ ඇතිනම් ගත, හොඳම ඇඳුමයි නිරුවත” කියායි. සිංහ රජු පැමිණි විට සුප්පා දේවිය ඔහු ඉදිරියේද කැමැත්තෙන් නිරුවතින් සිට ගනී. සිංහ රජු පසුව ඇයට නවීන කාන්තා රෙදිපිළි පිළිගන්වයි.

චිත්‍රපටයේ සැබෑ නිරුවත් ජවනිකා නැතත් ඇය ඒ අවස්ථාවේ නිරුවත් බව ප්‍රේක්ෂකයෝ දනිත්.  

දෙමව්පියන් තම දරුවන් (විශේෂයෙන්ම පාසැල් යන ගැහැණු දරුවන්) සමඟ මෙවැනි චිත්‍රපටයක් නැරඹීම උචිතද?

මුල් සිංහබාහු කථාව වෙනස් කිරීම පිළිබඳව චිත්‍රපටියේ නිෂ්පාදකයන් පවසනුයේ ඔවුන් මුල් සිංහබාහු කථාවට නව අර්ථ කතනයක් ලබා දුන් බවය.

සිංහබාහු යනු සිංහලයාගේ වංශ කථාවයි. එවැන්නක් මඟින් ප්‍රබන්ධයක්, විශේෂයෙන්ම ආන්දෝලාත්මක නිර්මාණ ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රවේශම් විය යුතුයි, විශේෂයෙන්ම සිංහල ජාතියේ ප්‍රාරම්භාකයා – විජය, බිහි වන්නේ සිංහබාහු කථාවෙන් වන නිසා.  නව පරපුර මෙය සත්‍ය සිංහබාහු කථාව යයි සිතනු ඇත.

දියුණු රටවල මෙවැනි විකෘති වලට ඉඩ දෙනු නොලැබේ.

මහාවංශයේ, සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ එවැනි සිංහබාහු/සිංහසීවලී බන්ධනයක් ගැන සඳහන් නොවේ. සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යයේ පෙන්වනුයේ මේ දෙදෙනා අතර වූ  තදබල සහෝදර බැම්මයි. සත්‍ය කථාව මෙයයි.

දුටු ගැමුණු දුෂ්ට ගාමිණි ලෙස කුඩා ළමුන් ලවා හැඳින්වූ ජාත්‍යාන්තර සම්මාන දිනු ළමා චිත්‍රපටයක් මීට වසර 24ට පමණ පෙර තිරගත වූ බව මෙය කියවන ඔබට මතක ඇත.

සිංහලයාට, සිංහල බෞද්ධත්වයට පහර ගසන චිත්‍රපට වලට ජාත්‍යාන්තර සම්මාන හිමිවීමේ තදබල ප්‍රවනතාවක් ඇත.

අද ප්‍රබුද්ධ යයි සම්මත සෑම සිංහල චිත්‍රපටියකම වාගේ නිරුවත රිංගා ඇත. එදා ලෙස්ටර් ජේම්ස් පිරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර විශිෂ්ට සිනමා නිර්මාණ බිහි කලේ නිරුවත විකුණා නොවේ.

විජය දෙවන කසාදයක් කර ගත් නමුත් (උතුරු ඉන්දීය කුළ කාන්තාවක්) එයින් දරුවන් නොවීය. විජයගෙන් පසු ඔහුගේ ඥාති පුත් පන්ඩුවාසුදේව (ඔහුට පෙර ඉතා කෙටි කලකට උපතිස්ස) මෙරට රජකම් කළහ.

පන්ඩුවාසුදේවගේ බිසව වුයේ බුදු රජුනට සමීප ඥාති වූ ශාක්‍ය  වංශයේ බද්ධකච්චායනා කුමරියයි (බුදු රජුන් සිංහල අපට ඥාති වන්නේ මේ ලෙසිණි).

මේ දෙදෙනාගේ පුත් අභයගේ (සහ අභයගේ බිසව උන්මාද චිත්‍රාගේ) පුතා පන්ඩුකාභය (පඬුවස්දෙව්) රජතුමාය. මෙරට ශ්‍රේෂ්ට සිංහල ශිෂ්ටාචාරය පටන් ගැනුනේ ඔහුගෙනි. ඔහු වසර 70ක් සාර්ථක ලෙස රජකම් කළේය (වසර 107ක් ආයු වැළඳිය).

පන්ඩුකාභය දෙමළ යයි එක් පුරා විද්‍යා මහාචාර්ය වරයෙක් කියා ඇත. එය එසේ නොවේ. සිංහලෙන්  ’නොනවතින ඉතිහාසය’ වැනි නමක් ඇති (ඉංග්‍රීසියෙන් වෙනත් නමකි) යු ටියුබ් වැඩසටහනකට ඔහු නීති පතා සහභාගී වේ.

පන්ඩුකාභයගෙන් පසු මුටසීවද ඉන් අනතුරුව දේවානම් පියතිස්සද මෙහි රජ විය.

මෙරට ශ්‍රේෂ්ට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ඇරම්භියේ දෙවන පෑ තිස් රජතුමාගෙනි. ඔහු වසර 40ක් සාර්ථකව රාජ්‍ය පාලනය කළේය.

අපට අදත් ළබැඳි/සබැඳි වූ  වැව, පන්සල, දාගැබ ජීවන ක්‍රමය මේ ශ්‍රේෂ්ට ශිෂ්ටාචාරය නිසා බිහි විය.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යක්ය යන්න අදත් අප පිළිගන්නේ  දෙවන පැ තිස්/මිහිඳු හිමි සුසංයෝගයෙන් මෙහි  ගොඩ නනගන ලද ඒ ශක්තිමත් සිංහල බෞද්ධ අඩිතාලම නිසාය. 

එය, මේ රටෙහි ස්ථාපිත වුයේ  මීට වසර 2,000ට පෙරය.  

දෙවන පෑ තිස් රජ සමයේ මුළු රටම පාහේ බෞද්ධ විය (වැද්දන් සමහරෙක් හැර).

රාවණා සිටියා නම් ඒ විජය ඒමට වසර 2,000 2,500 ට පමණ පෙරය. ඔහුද හෙළයෙක් යයි අප කියන්නෙමු. නමුත් මෙවැන්නෙක් සිටියාය කියා කිසිදු පුරා විද්‍යා සාක්ෂියක් මෙරට නොමැත. රාවණා ඇල්ල, රාවණා ලෙන, සිතාඑලිය, සීත ගඟුල රාමායණය හා බැඳුනු නම් නොවේ.

සිංහලෙන් රාවණා යනු ශබ්ධ යන්නයි, සිත යනු සීතල යන්නයි.

කුවේණිය දෙමළ බව හෝ දෙමළ සම්භවයක් ඇති බව කළින් සඳහන් කල පුරා විද්‍යා මහාචාර්ය වරයා පවසයි. මෙය බොරුවකි. ඔහුගේ සොයාගැනීම පිළිබඳව සාක්ෂි දක්වා නැත.

සිගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් නොවන බවද මොහු කියා ඇත. එසේ කියන ඔහු සිගිරිය පෙන්වීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් එහි  රැගෙන යයි. ගොස්, දින 14 පමණ කඳවුරු බැඳ එහි සිටී. ඔහු උගන්වන සිගිරි ඉතිහාසය කුමක්ද?

ඔහුට පිවිසීමට වෙනම සීගිරියේ  දොරටුවක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇතැයි පැවසේ. මේ සංචාරකයක් ගෙනා ඩොලර් මධ්‍යම සංස්කෘතික අරමුදලට බැර වීද?

මේ පුරා විද්‍යා මහාචාර්යවරයා මෙරට පාසැල් සිසුන් සඳහා ඉතිහාසය පෙළ පොත් සකසන මඩුල්ලේ ප්‍රබල සාමාජිකයෙකි. අපේ පාසැල් පෙළපොත් වල මෙරට ඉතිහාසය පුදුමාකාර ලෙස විකෘති කිරීමට ලක් කර ඇත. විජය වෙනුවට අපේ ජාතියේ ප්‍රාරම්භකයා අප්‍රිකාවේ (උගන්ඩාවේ?) පහළ වූ හෝමෝ සපියෙන් බව මෙම මහාචාර්යවරයා සිංහල පෙළ පොත් වල වෙනස් කර දක්වා ඇත. එසේ කිරීමට ලැබීම තමන් ලැබූ පුද්ගලික ජයග්‍රහණයක් යයි ඔහු පාරම් බාමින් කියයි.

ඔහුසම්පාදිත පෙළපොත් වලට අනුව ජාතියේ පියා ‘හෝමෝ සපියෙන්ය’.

මේ ඉතිහාසය පෙළ පොත් නව පරම්පරාවේ ළමුන්ගේ මොළ සෝදා පාළුවට ලක් කර ඇත. විකෘති කරන ලද ව්‍යාජ ඉතිහාස කරුණු ඒවායේ බොහෝය.

ලොව අන් සියල්ලටම පෙර වාගේ (ඉන්දු වැලි/මොහෙන්දජාරෝ/චීනය පරයා?) සහල්, බාර්ලි, ඕට්ස්, යකඩ සොයා ගත්තේ අප යයි මේ පුරා විද්‍යා මහාචාර්යවරයා පවසයි. ශ්‍රී ලංකාව පුරා සිංහයෝ සැරිසරුවාලු. ඔහුගේ සොයාගැනීම් අප දන්නා තරමින් ජාත්‍යාන්තරය පිළිගෙන නැත.

දේවානම් පිය තිස්ස රජු සමය වැනි ඉපැරණි ඉතිහාසයේ අනුරාධපුර නගරයේ ද්‍රවිඩයන් වාසය කල බවට මෙතුමා සම්බන්ධවී සම්පාදීතිත පාසැල් ළමුන්ගේ ඉතිහාසය පෙළ පොත් වල දැක්වේ.

පැරණි ශ්‍රී ලංකාවේ උතුර, උතුර මැද සමහර ප්‍රදේශ එළාර, චෝල, මාඝ වැනි ආක්‍රමණිකයන් කෙට් කාලවලට පාලනය කල බව සැබැවි. නමුත්, සිංහලයන් යුධ වැද ඔවුන් යළි දකුණු ඉන්දියාවට පළවා හරින ලදී.

උතුරේ දෙමළ ජනගහනය බොහෝ වැඩි වීමට පටන් ගත්තේ ඕලන්ද සමයේදීය. ඔවුන්ගේ දුම්කොළ වගාවට දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් තීරයෙන්, මලබාර් වෙරළ අසබඩින් ද්‍රවිඩයෝ මේ රටට ආහ. ඔවුනගේ කඳු රට කෝපි වගාවටද මේ අය යෙදවූවා විය හැක.

ඔවුන් සතුටු කිරීමට ලන්දේසීහු කොරමැන්ඩල් තීරයේ/මලබාර් හි වූ තේසවලාමේ නිතියද මෙහි උතුරු පළාතේ හඳුන්වා දුන්හ. මේ නිතිය අදාළ වන්නේ නොබෙදූ/සීමිත ඉඩම්වලටය. සිංහලයාට උතුරේ ඉඩම් මිලදී ගැනීමට හෝ ඉඩම් අයිතිය ලබා ලබා ගැනීමට තේසවලාමේ ප්‍රධාන බාධාවක් නොවේ.

කොරමැන්ඩල් තීරයෙන්, මලබාර් වෙරළ අසබඩින් මෙසේ පැමිණි අයගෙන් සුවිශේෂ පුද්ගලයන් වශයෙන් සඳහන් කල හැක්කේ මේ රටේ තම්බි මුදියන්සේ සහ නීල පෙරුමාල් පරම්පරා වල ප්‍රාරම්භකයන්ය. ඔවුන් උතුරෙන් නොනැවතී දකුණටම ආහ. දකුණේ සිංහල කාන්තාවන් සරණ පවා ගත්හ. තම්බි මුදියන්සේ සිය බිරිඳගේ වාසගම යොදා ගත්තේය. මේ අය ලන්දේසීන් සහ ඉංග්‍රිසීන් දෙවර්ගයටම සිංහල රට (සිංහලේ) ඉතා දැඩිව පාවා දුන් අයයි. මේ පරම්පරා දෙකේ මී මුණුපුරන් පසුව මුළු රටම ජය ගත්හ.

20වෙනි ශත වර්ෂයේදී දකුණු ඉන්දියාවේ සිට මෙරටට බොහෝ කල්ලතෝනින් (නොරටුන්) පැමිණියහ. සමහරෙක් මෙරට අති සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත් විය.

සිරිමා බණ්ඩාරනායක සිරිමා – ශාස්ත්‍රී ගිවුසුම (1964) යටතේ සුද්දන් (ඉංග්‍රීසින්) විසින් මෙරට වතුවල වැඩට ගෙන්වන ලද බොහෝ ද්‍රවිඩයන් ආපසු දකුණු ඉන්දියාවට පිටත් කර හැරීයාය. JR ජයවර්ධන සිරිමා – ශාස්ත්‍රී ගිවුසුම 1977 දී පමණ නවතා, 1988  දී පමණ S තොන්ඩමන් සමඟ එක්වී, සියළු ඉන්දියානු වතු ද්‍රවිඩයනට ශ්‍රී ලංකාවේ පුරවැසිකම ලබා දුනි. මෙයින් එක් සැනෙකින් ලක්ෂ සංඛ්‍යාත ද්‍රවිඩ චන්ද දායකයන් පිරිසක් චන්ද හිමි නාම ලේඛනයට ඇතුලත් විය.

සිගිරිය ශ්‍රී ලංකාවේ සිටි ද්‍රවිඩ රජ කෙනෙකුගේ (රාවණා) නිර්මාණයක් බව පෙන්වීමට ද්‍රවිඩ බෙදුම්වාදීන් කාලයක සිට උත්සහ දරත්. ඒ වෑයම තවත් සපල වන ලකුණු මේ නව ‘රාවණා මාවත’ වැඩපිළිවෙල යටතේ සිදු වේද?  

සීගිරියේ සිංහ රුවේ නියපොතු සිංහයෙකුගේ නොව රාවණාගේ ගුරුලාගේ පාදයේ නියපොතු යයි කියන තරමට රාවණාවාදීහු  බලවත් වී ඇත.

රාවණයෙක් සිටියා නම් ඔහු සිංහල නොව දෙමළ යයි ශ්‍රී ලංකාවේ හින්දුන් දැන් කියති. ලෝක මතයද දැන් සැකසී ඇත්තේ එලෙසිනි. විකිපීඩියා, BBC, Encyclopedia of Britannica, Oxford , Encyclopedia වැනි වෙබ් අඩවි/පොත් සඳහන් කරන්නේ රාවණා දැඩි හින්දු භක්තිකයෙක් බවයි – එනම් ඔහු ශ්‍රී ලාංකික දෙමළ බවයි. දකුණු ඉන්දීය ආක්‍රමණික චෝල රජුද ඔහුට (රාවණා දෙවිඳුට) ගරු බුහුමන්/පුද සත්කාර කළා යයි ජාත්‍යාන්තර ඉතිහාස පොත් දැන් කියයි.

රාවණා යනු ශිව දෙවියන්ගේ හොඳම භක්තිවන්තයා බව ලෝක ඉතිහාස පොත් ස්ථාවර කර හමාරය.  

රාවණා දෙමළ බවට පිළිගැනීම නිසා හෙළයන්ද දෙමළ බව ඒ අය තදින් පවසති (විග්නේස්වාරන් වැන්නෝ). ඔවුන්ගේ මේ මතය ජාත්‍යන්තරයේ බිඳ හෙළීම ඉතා අපහසුය.

ඔවුන්ගේ මතය/තර්කය සත්‍ය නම් මේ රටේ මුල් ජනයා දෙමළයි. ඒ නිසා, මෙය සිංහල බෞද්ධ රටක් නොවේ යයි ඔවුන් කියත්.

අප නම් කියන්නේ හෙළයෝ ද්‍රවිඩ නොවූ බවත් පසුව සිංහල බෞද්ධයන් වු බවය; මෙය සිංහල බෞද්ධ රටක් බවය.

පෘතුගීසින් පැමිණි පසු සමහර සිංහල බෞද්ධයෝ සිංහල කතෝලික වුහ.

සිංහලයන් මර නින්දේ පසු වෙද්දී ද්‍රවිඩ බෙදුම්වාදීන් ලොව පුරා මෙවැනි බොරු මතයන් පහසුවෙන් ස්ථාපිත කර ගැනීමට සමත් වී ඇත. ඔවුන් පිරසිඳු/නොකැළැල් සිංහල ඉතිහාසය උවමනාවෙන් අවුල් කර ඇත.

අප අප අතර කුලල් කා ගනිම්න් සිටිමු. බෙදුම්වාදීන් ඉතා කදිමව ඔවුනගේ ඉල්ලකයන් කරා යත්.

Ravana Trail  වැඩ පිළිවෙල මඟින් (මෙයට උණවටුන (රූමස්සල), ත්‍රිකුණාමලය, හලාවත, සීගිරිය, නාගදීපය, ඇල්ල, බණ්ඩාරවෙල/නුවර එලිය ආදී ප්‍රදේශයන් අයත් වේ) අප තැත් කරන්නේ විග්නේශ්වරන් වැනි ජාතිවාදී, බෙදුම්වාදීන්ගේ මතය සාක්ෂාත් කිරීමද?

දුප්පත්කමේ පතුලටම වැටි සිටින අප මුදල් වෙනුවෙන් ඕනෑම පවා දීමක් කිරීමට සුදානම්ය.

රාවණා මාවතේ ගමන් කිරීමට දහස් ගණනින් (උතුරු) ඉන්දියානුවන් මෙහි පැමිණෙනු ඇත. ඔවුන්ගේ ආගමට අනුව වතාවත් සිදු කර ගියාට අපට කම් නැත. අපට විදේශ විනිමය ලැබෙනු ඇත.

නමුත්, ඒ නිසා අපේ පිළිගත් ඉතිහාසය වෙනස් කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැක.

මුදලට ගිජුව ඕනෑම පාවා දීමකට අප සුදානම් නොවිය යුතුය.

මේ රටේ සෑම තැනකම රාවණා  නටඹුන් තිබේ යයි කථා දැන් පැතිරේ. මේ, ඉන්දියාවෙන් පැමිණීමට බලාපොරොත්තුවන දහස් ගණන් ඉන්දීය සංචාරකයන්ට පෙන්වීමටය, ඔවුන් සතුටු කිරීමටය.

කළින් කීවාක් මෙන් මේවා කිසිවක් පිළිගත හැකි සාක්ෂි නොවේ. මෑතක බිහිවූ හුදු කට කථාය/බොරු සෙල් ලිපිය.

2009 යුද්ධයෙන් පසු නැගෙනහිර පළාතේ කැලෑ වල වූ සිංහල රජ සමයට අයත් ඉපැරණි ගල් කුළුණු වල (දේවානම් පියතිස්ස රජ සමයේ වැනි) ත්‍රී ශූල කොටා, ඒවා භාවිතා කර නව හින්දු කෝවිල් නිර්මාණය කර තිබේ. මේවා ඉපැරණි හින්දු කෝවිල් යයි දැන් ඔවුහු පවසත්.

නැවතත්, මේ රටේ ඉතිහාසය විකෘති කිරීම, සිංහල බෞද්ධත්වයට පහර ගැසීම සිමා විරහිතව සිදුවේ. සිංහලෙන් ‘නොනවතින ඉතිහාසය’ යන නමින් පවත්වා ගෙන යන  පුරාවිද්‍යා මහාචාර්ය වරයාගේ  යු ටියුබ් ඉතිහාස ‘ෆැක්ටරිය’ මඟින් ඉතාම සුක්ෂමව කරන ඉතිහාසය විකෘතී කිරීම  ඉතා බලවත්ය. අංගොඩ ගාල් කල යුතු පිස්සන්ද  දැඩි කුණු හරුප වපුරවමින් ඉතිහාසය විකෘති කර යුටියුබ් වැඩසටහන් කරති; ඉමහතත් අවාසනාවට, බොරු කියන හොර ශ්‍රමණ වේශධාරින්ද වේ.

බොරු කියා යු ටියුබයෙන් මේ අය ඩොලර් දහස් ගණනින් උපයති. මේ අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවකි. මේ සමහරෙක් ඍජුව  ICCPR පනත හෝ ඒ හා සමාන නිතී උල්ලංගනය කරන්නෝය. 

අවසානයට, රාමා, සීතා ඇතැම් ඉන්දියානු හින්දුන්ට ඉතා පුජනීය වස්තුන්ය. අප එයට ගරු කරමු.  ඔවුන් මෙහි පැමිණ ඊනියා Ravana Trail හි ගියාට අපගේ කිසිදු විරෝධයක් නොමැත.

නමුත්, ඔවුනගේ ආගම, විශ්වාස, ඇදහිලි අප රටේ ආරෝපණය කළ යුතු නොවේ.

ඔවුන් වෙනුවෙන් අපේ ඉතිහාසය විකෘති කළ යුතුද නොවේ.  

වැරදි ඉතිහාසයක්/ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමක් වේ නම් ඒවාට ඉඩ නොදිය යුතුයි.

ඉන්දියාව අද බලවත් රටකි. මුදල් අතින් ධනවත්ය. නමුත් ඒ නිසා, අප අපගේ ඉතිහාසය වෙනස් කර ගත යුතු නැත.

අපේ දරුවනට් සත්‍ය ඉතිහාසයම ඉගැන්විය යුතුය.  

අපට නම්, රාමා, සීතා, රාවණා යනු මහාභාරතයේ රාමායනය යන පරිච්චේදයේ එන ප්‍රබන්ධමත් චරිත (fictional characters) පමණක් වන බව අමතක නොකළ යුතුය.

(මෙම ලියුම්කරු සිංහල සංවර්ධන සංවිධානයේ සභාපති වේ; sinhalasanvardhanasanvidhanaya@gmail.com)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress