ශ්‍රී ලංකාව හා මුරුසිය අතර වෙළෙඳ හා ආයෝජන අවස්ථා වර්ධනය කිරීමේ සාකච්ඡා
Posted on June 6th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

• සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය එකමුතුව සමඟ සබඳතා ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවට මුරුසියේ සහාය…
ශ්‍රී ලංකාව හා මුරුසිය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මුරුසියේ මහ කොමසාරිස් හේමන්ඩෝයල් ඩිලුම් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (05) අරලිය ගහ මන්දිරයේදී  පැවැත්විණි.
විදුලිබල හා බලශක්ති ඇතුළු නව ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පවතින් බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස එහිදී අග්‍රාමාත්‍යවරයා, මහකොමසාරිස්වරයාට යෝජනා කළේය.  
ඉන්දියානු  සාගර වටද්දර රටවල සංගමය (IORA) වැනි දෙ රටම ආරම්භක සාමාජිකත්වය දරණ බහුපාර්ශ්වික සංවිධාන සහ මුරුසිය සාමාජිකත්වය දරන අප්‍රිකානු සංගමය වැනි බහුපාර්ශ්වික සංවිධානවල සමීප සහයෝගීතාව පිළිබඳව ද එහිදී සාකච්ඡා විය.
පසුගිය වසර හයක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් මුරුසියට වාර්ෂික භාණ්ඩ අපනයනය 37.7% කින් ඉහළ ගොස් ඇත. 2017 දී ඩොලර් 768000ක් වූ අනයනය ආදායම 2023 වන විට ඩොලර් මිලියන 7.5 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් දෙරට අතර වෙළඳාම තවදුරටත් විවිධාංගීකරණය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් මුරුසි රජයට  සිය ස්තූතිය පුද කළේය.
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වේගවත් දියුණුව පිළිබඳව මහ කොමසාරිස් ඩිලම් සිය සතුට පළ කළ අතර මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය තුළින් සංචාරක ව්‍යාපාරය තවතවත් නගා සිටුවීමේ අවස්ථාව පවතින බව ද පැවසිය.  
දෙ රටේම සුන්දර වෙරළ, නිවාඩු නිකේතන වැනි පොදු සංචාරක ආකර්ෂණ ස්ථාන ඇති බව පැවසූ මහකොමසාරිස්වරයා,  ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නම් දරා ඇති ශ්‍රී ලංකාවට ඒ සම්බන්ධයෙන් වූ විශේෂඥ දැනුම මුරුසියට ලබා දීමේ හැකියාව ඇතැයි ද කීය.
මුරුසියෙහි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් සිය රටේ ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳව ද මහකොමසාරිස්වරයා සතුට පළ කළේය.

සිංගප්පූරුව, මුරුසිය, මාලදිවයින ඇතුළු දූපත් රාජ්‍යන් 29කින් සැදුම්ලත් සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන්  (SIDS) ගේ එකමුතුව හා එක්වන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි  මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට  එහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා මුරුසියේ සහාය ලබාදෙන බවට සහතික විය.
මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress