සංවර්ධනය ගැන කොයිතරම් කතා කළත් වැඩියෙන්ම ජනතාව ගමන් කරන්නේ බස්‌වල -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා-
Posted on June 9th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලයේ අනුමත කර ඇති බඳවා ගැනීම් හා උසස් කිරීමේ පටිපාටිය අනුව අන්තර්ග්‍රහණය කිරිමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024.06.09) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා,

1957 ලංගමය ජනසතු කරන්න බණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටවලා ඒ පනත පිලිප් ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. ඒ අවස්ථාවේ ලංගම කෑල්ලෙන් කෑල්ල ගමු කියලා විශාල විවාදයක් පාර්ලිමේන්තුවේ තිබුණා.පිලිප් ගුණවර්ධන මැතිතුමා පැවසු පරිදි  එක දවසින් ගන්න ඕනේ කියන තේමාව යටතේ මහ රාත්‍රිය පුරා උදේ පාන්දර වෙනකන් ලංකාව පුරා තිබුණු ඒ ඩිපෝ සේවක මහත්වරුන් ජන සතු කළා.

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්  ජනසතු පළ පළමු බස් රථය තවම තියෙනවා. ඈත එපිට ගම්මානවල ජනතාව එදිනෙදා ප්‍රවාහනයටත් කුඩා බඩු ප්‍රවාහනයටත් ලංගමය දැවැන්ත ශක්තියක් වීම නිසා ආර්ථිකය අතිශය වැදගත් කර්තව්‍යක් ශ්‍රී ලංගම හැමදාම ඉටු කළා. අපි පාසල් සේවයට ප්‍රමුඛත්වය ලබා දීලා තිබෙනවා. එදා බන්දුල ඇමතිතුමයි මමයි ශිෂ්‍යාධාර සීසන් ටිකට් පත අවලංගු කරන්න හදනකොට උසාවි ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දුන්නා මෙය ජනතාවට අයිති දෙයක් ලෙස ආරක්ෂා කරන්නට කටයුතු කරන්න කියලා. ඒ නිසා සීසන් ටිකට් පත්‍රය ආරක්ෂා වුණා අපේ දරුවන් ලක්ෂ ගණනකගේ.

අපි විශ්වාස කරනවා දැන් ලංගමයේ  දියුණුවට පරිවර්තනය කරන විශාල ජීවයක් වෙනවා ඇති කියලා. දැන් අපිට විවිධ කලකිරීම් තිබුණ යම් යම් අංශ ඒ මගින් ඉවර වෙලා අපේ සිත අපේ ශක්තීන් අපේ  ඒකාබද්ධතාවයන් ඇති කර ගෙන අපට ලබා දිය හැකි උපරිමය ජනතාවටත් විශේෂයෙන් ජනතාවගේ දරුවන්ටත් ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මමත් ලංගමය භාර අමාත්‍යවරයා ලෙස බොහෝ කාලෙකට පෙර හිටියා. ඒ කාලෙත් මේ වගේ ඉල්ලීම් සටන් රාශියක් තිබුණා. අපි එකින් එක ඒවා හැම වෘත්තිය සමිතියක් සමග සාකච්ඡා කර විසඳා ගැනීමට හැකි වුණා.  විශේෂයෙන් මම හිතන්නේ  පාරිතෝෂිකය ලංගමයේ අය භුක්ති වින්ද  සුවිශේෂී තත්ත්වයක්.එවැනි සුවිශේෂී තත්ත්වයන් ශ්‍රී ලංගමයට ඇතිකර දෙන්න අපිට පුළුවන් වුණා.

ඒ නිසා අපිට විශේෂයෙන් මේ ආයතනය ආරක්ෂා කර ගත යුතුයි. මේ ලංගම කොඳුනාරටිය අපේ රටේ පොදු ජනතාව එදිනෙදා ගමන් කරන මාර්ගයයි. කොයිතරම් අපි සංවර්ධනය හා දියුණුව ගැන කතා කළත් අදත් වැඩියෙන්ම ජනතාව ගමන් කරන්නේ බස්‌වල. මේක තමයි යථාර්ථය. මේ කොඳුනාරටිය  ආරක්ෂා කලොත් ඈත එපිට ගම්මානවල බස් ටික ඉදිරියටත් දුවයි. එම නිසා මෙය ආරක්ෂා කරගන්න ඕන.”

මෙහිදී අදහස් දැක්වු ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මැතිතුමා,

අද අපේ රටේ 67 වසරක ලංගම ගමනාගමන මණ්ඩල ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් තීරණය කරන දිනයක්. ලංකා ඉතිහාසයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ තිබෙන නිශ්චිත ආකාරයකට තනතුරු ලැබෙන උසස් වීම් ලැබෙන ස්ථාවර ක්‍රමයකට ලංකා ගමනාගමන මණ්ඩලය පත් කරපු ඓතිහාසික දිනයක්.

අපි හැමෝම දන්නවා රජයක් මාරු වෙනකොට මැතිවරණ  ප්‍රතිඵලවලින් පස්සේ මුලින්ම සිදුවෙන්නේ පැරදුනු කට්ටිය පන්නලා දිනපු කට්ටිය ඒ පුටු අයිති කරගන්න එක. ඒ ක්‍රමය අදින් පස්සේ නැති වෙනවා.

1956 දරුවෙක් විදිහට ලංගමය ඇතිවුණේ එවකට ලෝකයේ පැවතුණා. සමාජ ක්‍රමයක් මූලික ප්‍රශ්න විසඳගැනීම සඳහා ලෝකයේ ක්‍රම දෙකක් තිබුණා. එකක් වෙළඳපොළ ක්‍රමය ඇමරිකා එක්සත් ජනපදය  ප්‍රංශයේ ජර්මනිය වගේ රටවල්වල ජනතාව අතර අනෙක  ‍විමධ්‍යගත සැලසුම් ක්‍රමය යටතේ ජනතාවගේ ප්‍රශ්න විසඳාගැනීම.

අගමැතිතුමාගේ පියා පිලිප් ගුණවර්ධන මැතිතුමා තමයි සවුත් වෙස්ටන් බස් වැඩවර්ජනය  හරහා  ලංගම පිහිටුවන්න මුලික වුණේ. පොදු ප්‍රවාහන සේවය වෙනුවෙන් සිරගත වෙලා හිටිය එකම දේශපාලන නායකයා තමයි පිලිප් ගුණවර්ධන මැතිතුමා.”

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, යදාමිණී ගුණවර්ධන, ශ්‍රී ලංගම සභාපති ලලිත් ද අල්විස් ඇතුළු ශ්‍රී ලංගම නිලධාරීන්, ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතියේ ලේකම් නුරාජ් සිං සහ පත්වීම්ලාභීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress