සියලු දරුවන්ට ටියුෂන් යන්නේ නැහැ. ඒ නිසා පාසල් අධ්‍යාපනය ඉතා වැදගත්…පාසල් කාමරය තුළ දරුවන්ට විශ්වාසයෙන් හා සතුටෙන් ඉගෙනීමේ පරිසරය නිර්මාණය කළ යුතුයි…-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on June 10th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය


අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.06.10)කොට්ටාව උතුර, ධර්මපාල විද්‍යාලයේ ශ්‍රවණාගාරය සහ ගෘහස්ථ ක්‍රීඩාගාරය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –
ධර්මපාල යන නාමය ජාතියක ජීවයයි.  ධර්මපාල  මහා විද්‍යාලය සියක් වසරකට එහා ආරම්භ වී ධර්මපාලතුමන්ගේ අතිශය උතුම් ජාතික චින්තාව පාසලට එක් වෙන දරුවන් මගින් අනාගතයට ගෙනයනවා.  විශිෂ්ටයන් අතර අද බැබළෙනවා. එයින් පිටවෙන දරුවෝ පාසලේ ගෞරවය ජාතියට හිමිකාරීත්වය ලබාගත හැකි දැනුම  සම්පූර්ණ වූ ක්‍රියාදාමයට එක්විය හැකි පුරවැසියන් බවට පත්වෙනවා. අපේ දෙමව්පියෝ දීර්ඝ කාලයක් මේ සාර්ථකත්වය ගෙන ඒම සඳහා කරන ලද ඉල්ලීම් මා හොඳින් දන්නවා. අග්‍රාමාත්‍යවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා කියන නාමයට වඩා මම කැමතියි මහරගම මන්ත්‍රීවරයා වශයෙන් ඉටුකළ සේවයට. මේ හැම පාසැලකටම සේවය  ඉටු කර දෙන්නට පුළුවන් වුණේ ඔබේ මහජන මන්ත්‍රීවරයා හැටියටයි.  
ගොඩනැගිලි පමණක් නොව විවිධ ක්ෂේත්‍රයන්ට පිවිසිය හැකි පාඨමාලා වලින් පාසල් ශක්තිමත් කිරීම අනාගතයට යන දරු පරම්පරාවට අප ඇතිකර තිබෙන පදනමයි. අද මේ පාසලෙන් පළමු වරට උසස් පෙළ දරුවන් තිදෙනෙක් විශ්ව විද්‍යාලයට තේරීමට සුදුසුකම් ලබා තිබෙනවා. කොයිතරම් ආඩම්බරයක්ද. අද දරුවන් පෙන්වූ හැකියාව දක්ෂතාවය මනුෂ්‍යයෙක්ගේ ජීවිතයට සරළ බවක් ඇතිකළ හැකි ඒ දායාදය පාසැලෙන් පෙන්නුම් කරනවා. මේ පාසල කෙරෙහි දෙමාපියන් තබා තිබෙන විශ්වාසය පාසැල ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ දායාදයක් වෙලා තිබෙනවා.
ධර්මපාලතුමාගේ කාලේ මේ පැත්තේ පොල් අතු මඩුවල පාසැල් පැවතුණා. දෙමව්පියෝ ගුරුවරු හැටියට ඇවිල්ලා ඒ වගේ උගන්නලා අපේ දරුවන්ට දියුණුවට ගමන් කළ හැකි දැනුම එකතු කළා.   ඒ යුගයෙන් පස්සේ  ඒ වගේ පාසැල් ලංකාවේ දහස් ගණන් රාජ්‍ය පාසල් බවට පරිවර්තනය වුණා. එයින් ඉගෙන ගත් පිරිස අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල සහ විශ්ව විද්‍යාල හරහා රටට සේවය කරන්න පුළුවන් වුණා.
අපි අභියෝගාත්මක අනාගතයට යන්නේ. ඒ දරුවන් මුහුණ දෙන අනාගතයයි. දරුවන්ට ඒ අනාගතයට ගමන් කරන්නට පාසැල් කාමරය තුළ විශ්වාසයෙන් යුතුව  හා සතුටින් ඉගෙනීමේ පරිසරය අපි ඇති කළ යුතුයි. ඒ විශ්වාසය සතුට හා පූර්ණ දායාදය මත තමයි  දරුවන් තව දුරටත් වර්ධනය වෙන්නේ. ලංකාවෙ පාසැල් වල ඉගෙන ගන්න සියලු දරුවෝ ටියුෂන් යන්නේ නැහැ. ඒ නිසා මේ ටියුෂන් මගින් පමණයි උගන්වන්නේ කියන කතාව පිළිගන්න බැහැ.
හතළිස් ලක්ෂයක් දරුවන්ගෙන් විභාගයට ඉදිරිපත් වෙන දරුවෝ කීදෙනෙක් ටියුෂන් ගිහින්ද කියලා හිතනකොට සංඛ්‍යාත්මකව එය සම්පූර්ණ නැහැ.  
දියුණු වන ලෝකයක අපේ රටත් දියුණු වෙන්නට ඕනෙ. දියුණුවට මුහුණ දෙන පරම්පරාවක් බිහි කරන්නට ඕනේ. ඒ පරම්පරාව දිනන ජයග්‍රාහී පරම්පරාවක් කිරීමට තමයි මේ පාසැල් එකිනෙක ගොඩනැගෙන්නේ. අලුත් දේ නිෂ්පාදනය කරන්නට, අලුත් දේට යොමුවන පරම්පරාවක් පාසැල් ජීවිතය තුළම ඇති කරගැනීමේ ඕනෑකම ට අපි කැපවෙමු. අනිත් හැම දරුවටම පාසැල් ජීවිතයෙන් පසු අතිරේක නව තාක්ෂණික දැනුම තැන්පත් කිරීමේ වැඩ පිළිවෙලක් රට පුරාම දියත් කිරීමට රජය තීරණය කරලා ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. සෑම පාසැලකින්ම පිටවෙන දරුවෙක්ට ඒ අනාගත විශ්වාසය ලබාදීම සඳහා ආණ්ඩුව ප්‍රතිපාදන හා ප්‍රතිපත්තිමය ආයතන බිහි කරලා ආරම්භ කරලා තියෙනවා.
මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා
නගරයෙන් පිට මෙවැනි පාසැල්වලට උදව් කිරීම ඉතා වැදගත්. මේ පාසලෙන් විශ්ව විද්‍යාලයට ළමයි තේරීම ඒකට හොඳම උදාහරණයක්. පළාත් සභාවේ මුදල් නිසි විදිහට භාවිත කර මෙවැනි කර්තව්‍යයන් සිදුවීම ගැන මම සතුටු වෙනවා. ළමයි එක්දහස් හත්සිය ගණනක් සිටින පාසැලක ළමයින්ට විශ්වවිද්‍යාලය දක්වා පිවිසීමට සහාය වීම අපේ යුතුකමක්. පාසල්වල අඩුපාඩු සොයා බලලා ඒවා සම්පූර්ණ කිරීම අපේ වගකීමක්.මේ ක්‍රීඩාගාරය වායු සමීකරණය කරන්න අපි පියවර ගන්නවා. මේ පළාතේ තිබෙන පාසැල් සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් ගැටලු සම්බන්ධයෙන්ද  අග්‍රාමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් අපව නිතර දැනුවත් කරනවා.”
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්  ඒ. ඩි. එස්. සදීකා ඇතුළු නිලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන්, දරුවන් හා  ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress