ඉංග්‍රීසි ගැන
Posted on August 6th, 2025
චානක බණ්ඩාරගේ
ලෝකයේ ප්‍රධානම භාෂාව ඉංග්‍රීසිය. සෑම කෙනෙක්ම එය ඉගෙන ගත යුතුය, විශේෂයෙන්ම විදේශගත වීමට අදහස් කරන අය.
ඉංග්‍රීසි ඉගෙනීමට වයස් සීමාවක් නොමැත. රාත්‍රී පාසලක වුවද ඉංග්‍රීසි ඉගෙන ගත හැකිය. අන්තර්ජාලය භාවිතයෙන් බොහෝ මාර්ග තිබේ.
බොහෝ දෙනෙක් ඉංග්‍රීසි කතා කිරීමට ලැජ්ජා වෙති. එහෙත්, කතා නොකර සිටියොත්, ඔවුන් කිසි විටෙකත් එය ඉගෙන නොගනිති. වැරදි සහිතව වුවද ඉංග්‍රීසි කථා කිරීම හරි බව අප තේරුම් ගත යුතුය. එසේ නොමැති නම්, අප කිසි විටෙකත් ඉංග්‍රීසි ඉගෙන නොගනු ඇත.
ඉංග්‍රීසි ඉගෙන ගැනීම ඔබේ පරම හීනය නම් දවසකට අඩු තරමින් පැය 2ක් වත් ඒ වෙනුවෙන් වැය කලයුතු වේ.
හැකි තරම් තම සිතුවිලි/අදහස් කොලයක ඉංග්‍රීසියෙන් ලියන්න, ඉන්පසු එය නැවත නැවතත් කියවා වැරදි නිවැරදි කරගන්න. ඉංග්‍රීසි දැනුම ඇති යහළුවන්, පවුලේ සාමාජිකයන් සමඟ ඉංග්‍රීසියෙන් කථා කරන්න, ඔවුන්ට වැරදි නිවැරදි කරන්න කියන්න.
හැකි තරම් ඉංග්‍රීසි පොත් පත් සඟරා බලන්න/කියවන්න, ඉංග්‍රීසියෙන් ප්‍රවෘත්ති අහන්න, BBC වැනි. ඉංග්‍රීසි වාර්ථා වැඩසටහන් බලන්න. නිවේදකයා වචන උච්චාරු කරන හැටි බලන්න.
ඉංග්‍රීසි (- සිංහල) ශබ්ධ කෝෂයක් භාවිතා කරන්න, අලුතින් ඉගෙන ගන්නා වචන එහි පෑනෙන්/පන්සලෙන් සටහන් කරගන්න. නිතර නිතර ශබ්ධ කෝෂය පෙරලා ඒ වචන බලන්න.
ඉංග්‍රීසි යනු භාෂාවක් පමණි; සිංහල ද එසේමය.
කිසිම භාෂාවක් වෙනත් භාෂාවකට වඩා උසස් හෝ පහත් නොවේ.
නමුත්, අපි ඉංග්‍රීසි භාෂාවට විශාල ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ ඇයි?
ජපානය, කොරියාව, චීනය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඥ්ය, ඉතාලිය වැනි ධනවත් රටවල බොහෝ දෙනෙක් හොඳ ඉංග්‍රීසි කථා නොකරති. එම රටවල කිසිවෙකු ඔවුන්ට සිනාසෙන්නේ නැත. ඔවුනට ඉංග්‍රීසි බැරි හෝ වැරදි කරනවා කියා සිංහල අපද ඔවුන්ට සිනාසෙන්නේ නැත.
නමුත්, අපගෙන් කෙනෙකු වැරැද්දක් කළ විට, අපි එය විශාල ප්‍රශ්නයක් බවට පත් කරමු. අප එම පුද්ගලයාට සිනාසෙන අතර ඔහුව/ඇයව සමච්චලයට හා නින්දාවට පත් කරමු. මේ පෙන්වන්නේ අප තුල තියෙන කුහකත්වයද?
මෙම රජයේ ඇමතිවරුන් දෙදෙනෙක් වැරදියට ඉංග්‍රීසි කථා කර රටට අපකීර්තිය රැගෙන ආවේය කියා ඇතැම් යු ටියුබ් මාධ්‍ය කරුවන් එම ඇමතිවරුන් දෙදෙනාට නොනැවතී පහර දෙත්. මෙය එම යු ටියුබ් කරුවන් ද්වේශ සහගතව කරන වැඩකි.
අපහසුවෙන් හෝ ඉංග්‍රීසී බසින් රට නියෝජයනය කර රටට ප්‍රගතියක් ලඟා කිරීමට උත්සහවන්ත වීම ගැන අප ඔවුනට ස්තුති කළ යුතුය. තවත් දිරි ගැන්විය යුතුය. රටට අවංකව ආදරය කරන්නා, රටේ ඉදිරි දියුණුව අපේක්ෂා කරන්නේ, හැසිරෙන්නේ එළේසයි.
මෑතකදී, හිටපු රාජ්‍ය නායකයෙක්ව එක්තරා ජාත්‍යාන්තර මාධ්‍යක් විසින් ‘බිත්තියට හෙත්තු වෙන්නම’ දමා ගසනු ලැබීය. ‘සුපිරි’ ඉංග්‍රීසී දන්නවා යයි ප්‍රකට ඔහු එදා කැඩුණු ඉංග්‍රීසියෙන්ද වචන මිමුනුවේය. ඒ සිද්ධිය ගැන මෙම යු ටියුබ් කරුවන් ‘මික්’ කීවේ නැත.
ප්‍රශ්නය ඇත්තේ ඉංග්‍රීසි උච්චාරණය (pronunciation) හෝ ව්‍යාකරණයට (grammar) වඩා කථා වස්තු බීජයේය. කෙතරම් හොඳින් ඉංග්‍රීසි කථා කලත් එම කතාවේ හරයක් (substance) නොමැති නම් එය අසාර්ථකය.
සමහරුන් ඉංග්‍රීසි ‘ස්’ ශබ්ධය උච්චාරණය කරන්නේ ‘ඉස්’ වශයෙනි (ස්කුල් වෙනුවට ඉස්කුල් කියති – අපි සිංහලෙන් ඉස්කෝලේ කියන නිසා). සමහර අයට කිසිම ලෙසකින් ඒ වැරැද්ද හදා ගැනීමට අපහසුය. අපි මේවා අල්ලා බොහෝ සිනාසෙන්නෙමු, ඒ පුද්ගලයාගේ මුහුණට හෝ ඔහු නැති නැති තැනදී අපි ඔහුට සිනාසෙමු. එම පුද්ගලයාව ‘පහත්’ කොට සැලකීමක් අප කරන්නෙමු. නමුත් සුදු ජාතික විදේශිකයෙක්, උදාහරනයක් වශයෙන් නෝර්වේ/ස්පාඥ්ය් ජාතිකයෙක්, මේ වැරැද්දම කළහොත් අප ඔහුට සිනාසෙනවාද? නැත. මේ අනුව, ප්‍රශ්ණය/අඩුපාඩුව තිබෙන්නේ ‘වැරැද්ද’ කල කෙනා තුල නොව සිනාසෙන අප තුල නොවේද?
අප එංගලන්තයේ, ඇමරිකා එක්සත් ජනපදයේ හෝ ඕස්ත්‍රේලියාවේ සිටින විට (ශ්‍රී ලංකාකිකයන්), ඉංග්‍රීසි වැරදියට භාවිතා කරන්නේ නම් – ව්‍යාකරණ වැරැද්දක් කළහොත්, එම පුද්ගලයින් කිසි විටෙකත් අපට සිනාසෙන්නේ නැත. නමුත්, ශ්‍රී ලංකාවේදී අප අපගේම කෙනාට එදිරිව සිනාසෙන්නෙමු.
වියට්නාම් ජාතිකයින් දෙදෙනෙකු, පාකිස්තානුවන්, කොරියානුවන්, ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් දෙදෙනෙක්, බංග්ලාදේශ්වරු මුලින්ම හමු වූ විට ඔවුන් කතා කරන්නේ ඔවුන්ගේ මව් බසින් ය. නමුත් අප සිංහලයන්, බොහෝ විට ඉංග්‍රීසියෙන් කථා කරමු (සිංහල භාෂාවෙන් නොවේ). සිංහලට ‘වැටෙන්නේ’ ටිකක් පසුවයි.
සිංහල යනු ලෝකයේ වර්ධනය වූ භාෂාවලින් එකකි. සිංහල භාෂාවෙන් පුද්ගලයෙකු කථා කරන දේ ඒ ආකාරයෙන්ම ලිවීමට හැකිය. සිංහලෙන් බොහොමයක්ම ශබ්ධ ලියන්න පුළුවන. මෙය දුර්ලභත්වයකි. මෙයට හේතුව අපේ භාෂාවේ වැඩි ස්වර ප්‍රමාණයක් තිබීමේ වටිනාකමයි. ඉංග්‍රීසි වල ඇත්තේ ස්වර පහක් පමණි – A, E, I, O, U.
කණගාටුවට කරුණ නම් ශ්‍රී ලංකාවේ අප අපේම භාෂාව වූ සිංහල ගැන ‘පහත්’ ලෙස සිතීමට නැඹුරු වී සිටීමයි.
සමහර වැදගත් රාජ්‍ය ආයතන, සමහර රජයේ/පෞද්ගලික රෝහල්, උසාවි පවා ඉංග්‍රීසි වලට ප්‍රමුඛත්වය දෙන බව පෙනේ. මෙය ඉංග්‍රීසි නොදන්නා අයට (සේවා අපේක්ෂා කරන කාර්යාලවලට පැමිණෙන අයට) සිදුකරන විශාල අසාධාරණයකි.
සෑම ගුවන් සමාගම් වලම පළමු තැන දෙන්නේ ඔවුන්ගේ මවු බසට/බස් වලට. නමුත් අපේ රටේ?
බ්‍රිතාන්‍යයන් අපව මොළ සෝදා පාළුවට ලක් කර, ඉංග්‍රීසි කථා කිරීමට හා බටහිර සංස්කෘතිය අනුකරණය කළ හැකි අය අන් අයට වඩා ‘උසස්’ යන මතයක් රට තුල ගොඩ නැගුහ. චතුර ලෙස ඉංග්‍රීසි කථා කල හැකි, බටහිරකරනය වූ අය වෙනම ‘උසස්වූ’ පන්තියකට ආදේශ කළහ. (පෘතුගීසින් සහ ලන්දේසි පාලකයන් මෙවැන්නක් ඔවුන්ගේ භාෂා සහ සංස්කෘතින් සම්බන්ධව අපට ඒතරම් සිදු නොකළහ).
පෘතුගීසින්, ලන්දේසින් සහ ඉංග්‍රීසින් ක්‍රිස්තියානි ආගම වැළඳ ගත් අයට, ඔවුන්ගේ නම් ගත් අයට සමාජයේ උසස් තැන් පිරිනැමුහ.
ඉංග්‍රීසි භාෂාව සහ සංස්කෘතිය පිළිබඳව අපට හීනමානයක් ඇති බව දැන ගත් මෙහි සිටී බ්‍රිතාන්‍යයන් ඉංග්‍රීසි කථා කිරීමට නොහැකි අය දෙස පහත් ලෙස බැලිය යුතු බවට අපට ධර්මතාවක් මෙන් ඉගැන්වුහ. ඔවුන් පිටත්ව ගොස් දැන් වසර ගණනාවක් ගත වී ඇතත්, අපි තවමත් ඔවුන්ගේ එම වැරදි ‘මන්ත්‍රය’ බොහෝ සෙයින් අනුගමනය කරන්නෙමු.
ගම් වලින් පැමිණි ‘ගොඩයෝ’ සිටිනවා ඉංග්‍රීසි දන්නවා කියා ලොකු කම් පෙන්වන අයට වඩා ඉතා හොඳින් ඉංග්‍රීසි කථා කිරීමට සහ ලිවීමට දන්න. වෙනස – ඒ අය ඉංගිරිසි ‘කඩුවක්’ ලෙස භාවිතා නොකිරීමයි.
උදාහරණයක් වශයෙන් ගමේ වෛද්‍යවරුන් (ආයුර්වේද වෛද්‍යවරු), සිංහල ගුරුවරුන්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය ලිපිකරු/කම්කරුවන් අතර ඉතා චතුර ලෙස ඉංග්‍රීසි කථා කිරීමට හා ලිවීමට හැකි අය ඕනෑතරම් ඇත. අපේ නාගරිකරණය වූ ‘සුපිරි ’ සහෝදර සහෝදරියන් මෙන් නොව ඔවුන් මේ ගැන අහංකාර නොවෙත්. මෙයට හේතුව ඔවුන් ඉංග්‍රීසි ආයුධයක් ලෙස නොව පලිහක් ලෙස භාවිතා කිරීමයි.
අප දන්නා කෙනෙක් සේවය කළේ කොළඹ පාර්සන්ස් පාරේ මහජන බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් හැටියටයි. ඔහු නිතරම කියා සිටියේ එම රැකියාවට එන්නට පෙර නැව්වල සේවය කළ නිසා ඔහුට ඉංග්‍රීසි භාෂාව ‘වතුර වගේ’ කතා කරන්න හැකි බවයි. ඔහු හැමදෙනාටම නිතර කිවේ ‘විවේක වෙලාවක එන්න මම ඉංග්‍රීසියෙන් කථා කරන්නම්, ඕගොල්ල නිකම්ම පුරුදු වේවි’ කියාය. ඔහුගෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන අද චතුර ලෙස ඉංග්‍රීසි කථා කරන අය සිය ගණනක්.
දුර්වල ඉංග්‍රීසි කුසලතා හේතුවෙන් ඉහළ තනතුරු/උසස්වීම් ප්‍රතික්ෂේප වෙන ඉතා බුද්ධිමත්/ දක්ෂ වෘත්තිකයන් බොහෝ වෙත්. ඉංග්‍රීසි අඩුව හේතුවෙන් සමහර ඉහළ පෙළේ නීතිඥවරුන්ට ඉහල උසාවි කටයුතු පිලිබඳ නඩු නිමිති භාර ගැනීමට නොහැකි තත්වයන් ඇත.
බොහෝ සිංහල FM ගුවන් විදුලි මධ්‍යස්ථානවල සිංහල වෙනුවට ඔවුන් ‘සිංග්ලිෂ්’ කතා කරති. ඔවුන් කතා කරන සෑම වාක්‍යයක්ම ඉංග්‍රීසි වචන 2 ක් හෝ 3 ක් ඇත. බොහෝ ඇමතුම් මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ද ඒ හා සමානයි, යමෙක් හොඳ සිංහල භාෂාවෙන් කතා කරන්නේ නම් ඔවුන්ට රළු ප්‍රතිචාර ලැබේ. මේ අයගේ වැඩසටහන් බලන්නන්/අසන්නන් හිසේ අමාරුව නොසාදා ගන්නවා පුදුමයි.
සිංහල කෙනෙක් සිංහල බැරි විදියට කථා කරන කොට එය ඉතා අප්‍රසන්නයි.
තමන්ගේ භාෂාවට ලැජ්ජා වෙන කෙනා තමන්ගේ දෙමවිපියන් ගැනත් ලැජ්ජා වෙන්න පුළුවන්. ඔවුන් ආත්මයක් නැති අය නොවේද?
අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය වසර දෙදහස් පන්සියයකට වඩා පැරණිය. නමුත් මීට වසර 200 කට වඩා එපිට දී මේ රටට හඳුන්වා දුන් ඉංග්‍රීසි භාෂාව අපේම සිංහලට වඩා ඉහළ ස්ථානයක් මේ රටේ භුක්ති විඳී.
ඕස්ත්‍රේලියාවේ සහ කැනඩාවේ සමහර සිංහලයන් ‘අපේ දරුවන්ට සිංහල කථා කළ නොහැකි නිසා ඔවුන් නිවසේ සිංහල කථා නොකරන බව’ කියයි. මේ දෙමව්පියන් තම දරුවන් ගැන මෙසේ කියන්නේ හරියට එය ආඩම්බර විය යුතු දෙයක් ලෙසයි.
තම දරුවන්ට ඉංග්‍රීසි බසින් කතා කිරීමට/ඉගෙනගැනීමට අවශ්‍ය නිසා ඔවුනට සිංහල කථා කිරීමට ඉඩ නොදෙන සමහර සිංහල දෙමව්පියන් ගැන මෙම ලේඛකයා දනී. එහි කිසිදු වරදක් නැත. නමුත් විදේශ රටවල හැදෙන අපේ සිංහල දරුවන් අනිවාර්යයෙන්ම සිංහල බසද ඉගෙන ගත යුතුය. දෙමව්පියන් මෙය නොකරන්නේ නම්, මෙම දරුවන් කවදා හෝ ඔවුනට දොස් පවරනු ඇත.
දරුවන්ට සිංහල කථා කරන්න එපා කියා ඔවුන් සමඟින් ඉංග්‍රීසියෙන් පමණක් කථා කරන නව සීලන්තයේ ජීවත්වෙන දෙමව්පියෙක් එසේ කිරීමට හේතුව කිවේ අපි දෙන්නටත් ඕන ඉංග්‍රීසි ඉගෙනගන්න, අපේ දරුවන්ගෙන්’ කියාය. ඔවුන් බුද්ධිමත් දෙමව්පියන්.
ශ්‍රී ලංකාව තුලද තම දරුවන්ට සිංහල කථා කරන්න ඉඩ නොදී ඉංග්‍රීසි පමණක් කථා කිරීමට දරුවන් මෙහෙයවන දෙමව්පියෝ වෙත්. මේ දරුවන් කෙසේ හෝ සිංහල කථා කරන්න ඉගෙන ගන්න බව ඔවුන් දනී (බාහිර සමාජයෙන්).
සමහර අය උවමනාවෙන්ම ඉංග්‍රීසියෙන් කථා කර, ඒ පිටින් පුහු තත්වයක් ආරෝපණය කර ගන්න උත්සහා කරති. සමහර ජ්‍යෙෂ්ට මන්ත්‍රීවරු පාර්ලිමේන්තුදී ඒ ආකාරයෙන් හැසිරෙන සැටි පෙනේ. මෙය රටට දෙන හොඳ ආදර්ශයක් නොවේ.
මෑතකදී මෙම ලේඛකයා යම් වැඩක් සඳහා පෞද්ගලික බැංකුවකට ගොස් කාන්තා නිලධාරිනියක් සමඟ සිංහල බසින් කතා කළේය. ඇය රළු ලෙස ඔහු දෙස බලා උඩඟු ලෙස කතා කළාය. ගණුදෙනුකරුවකු ලෙස මෙම ලේඛකයා බැංකුවට කෙතරම් වැදගත් දැයි ඇය සැලකිලිමත් වුයේ නැත. සති දෙකකට පසු මා එම බැංකුවට ගොස් එම කාන්තාවම සමඟ ඉංග්‍රීසියෙන් කතා කලෙමි. එදින ඇය මා හට ප්‍රභූ සේවාවක් ලබා දුන්නාය. මා පිටත්ව යාමට පුටුවෙන් නැගිටින විට ඇයද නැගිට්ටාය – ගෞරවය පෙන්වීමට.
ඕස්ත්‍රේලියාවේ සිට නිවාඩුවකට ශ්‍රී ලංකාවට ආ වෙලාවක දවසක් මා එක්තරා රජයේ කාර්යාලයකට ගියේ පොඩි වැඩකටය. මම එහි උන් උසස් නිලධාරිනියකට ඉංග්‍රීසි බසින් මා ආ කාරණය පැහැදිලි කලෙමි. සාකච්චාව අවසානයේ මා යාමට හදන විට ඇය මගෙන් ඉංග්‍රීසියෙන් ඇසුවේ ‘ඔයා ලංකාවෙද, පිටරට එක්කෙනෙක්ද කියලා’. මට තදබල ලැජ්ජාවක් පැමිණීය.
(නම්, ස්ථාන, රටවල් ප්‍රබන්ධනාත්මක විය හැක)