‘ප්‍රේමකීර්ති  ඝාතනයේ සුලමුල‘ ග්‍රන්ථය 27 බදාදා එළිදකී.
Posted on August 25th, 2025

ධර්මන් වික්‍රමරත්න

ජවිපෙ 2වැනි කැරලි සමය පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ‘ප්‍රේමකීර්ති  ඝාතනයේ සුලමුල‘ කෘතිය 27 බදාදා පස්වරු 3ට කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ජනගත වේ.

මෙම ග්‍රන්ථයට පාදක වන්නේ  මෙයට වසර 36කට පෙර 1989 ජූලි 31 සිදුවූ ප්‍රවීණ ගුවන්විදුලි සන්නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය සහ ඒ ආශ්‍රිතව පැනනැඟුණු සත්‍ය සිදුවීම් මාලාව පාදක කරගෙන එක්රැස් කරගන්නා ලද ගවේශනාත්මක කරුණුය. පිටු 256කින් යුත් මෙම ග්‍රන්ථයට ඡායාරූප 168ක් ඇතුළත්ය. ජවිපෙ 2වැනි කැරැල්ලේදී 60,000ක් පමණ ඝාතනය වූ අතර ඉන් 17 දෙනෙකු ප්‍රේමකීර්ති ඇතුලු කලාකරුවන්ය.  ධර්මන් වික්‍රමරත්නගේ ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථ මාලාවේ සිව්වන කෘතිය වන මේ නව්‍ය නිර්මාණය ඔහුගේ 55වන ග්‍රන්ථයද වේ.

මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන නීතිඥ ජාලිය සමරසිංහ හොබවන අතර දෙසුම් පවත්වනුයේ බුද්ධදාස ගලප්පත්ති, ධම්මික බණ්ඩාර සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් විසිනි. ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව සැමට විවෘත අතර ඒ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 071-2733986 යන දුරකථනයෙන් විමසිය හැකිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress