බුදුන් අනුදැන මාර්ගයේ යන රජුන් තැනීම දුෂ්කරයි
Posted on September 6th, 2025

මතුගම සෙනෙවිරුවන්

               මේ දිනවල සාකච්ඡාවට බඳුන්වන කාරණා කීපයක් ඇත. ආණ්ඩුව විසින් මුදල් අච්චු ගැසීම පිළීබඳව පාර්ලිමේන්තුව තුළ මතුකළ ප්‍රශ්නය ඉන් ප්‍රධානය. මහ බැංකුව විසින් එම චෝදනා  ප්‍රතික්ෂේප කර ඇත. එසේම සංචාරක ආකර්ෂණය දිනා ගැනීම උදෙසා මහනුවර දළදා වීදිය තුළ නොනිදන සැණකෙළි තීරුවක් නිර්මාණය කිරීම මත අස්ගිරි මල්වතු ප්‍රධාන විහාර පාර්ශවයන්ගෙන් ඊට විරෝධය එල්ල වීම නිසා ශාසනික පැත්තෙන් ඇතිව තිබෙන නොසන්සුන්තාවය බරපතල තත්වයකි. අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුව තුළ නීතිය සම්බන්ධ රෝම නීතියේ දෙවියන්ගේ ආඥාව පිළිබඳ පාඨ කියැවීම නිසා චාමර සම්පත් මන්ත්‍රීවරයා සඳහන් කළ පසුබිම පාර්ලිමේන්තුව තුළ නිර්මාණය වන්නේ දැයි බියක් ද බෞද්ධ සමාජය තුළ නිර්මණය වෙමින් පවතී. මේවාට උත්තර නැත.

          ජනපතිවරණය ආරම්භ කළ කාල වකවානුවේ දී බුද්ධ ශාසනය පිළිබඳව හෝ මෙරට ජාතිකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට කිසිවෙකු ගේ උනන්දුවක් නොවීය.එයට හේතුව වූයේ 2019 දී බලයට පත් වූ ගෝඨාභය ජනපතිවරයා විසින් මෙරට බහුතරයකගේ බලාපොරොත්තු සුන් කල බව දැනෙන බැවිනි යැයි කල්පනා කළ හැකිය. එහෙත් ජනපතිවරණ සටන අවසාන සමයේ මේ මාතෘකාව යළි කරළියට පැමිණියහ. එයට හේතු වූයේ අපේක්ෂකයන් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වල සටහන් වූ යම් යම් වගන්ති හේතු කොට ගෙනය. දේශපාලන රැස්වීමක දී කියන දේට වඩා යම් ප්‍රකාශනයක සටහන් ව ඇති කාරණා වල වලංගුතාවය වැඩිය. ඒ නිසා බුද්ධ ශාසානය සුරක්ෂිත කොට පවත්වාගෙන යෑම පිණිස ව්‍යවස්ථාවේ දැනට දී තිබෙන බලය හීන කරාවි යන සැකය මතු වීම ස්ළුභාවිකය.මාස එකොළහකට පසු දැනට සිදු වෙමින් පවතින යම් යම් සිදු වීම් මත ආණ්ඩුව ක්‍රමානුකූලව එතැනට ගමන් කරන්නේද යන්න ගැන සාකච්ඡාවක් ඇතිව තිබේ.

          මිහිඳු මහ රහතන්වහන්සේ මිහින්තලේ ට වැඩම කර දේවානම් පියතිස්ස රජ දවසදී මෙරට බුද්ධ ශාසනය ස්ථාපිත කළ පසුව රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලද්දේ මහා විහාරීය සම්ප්‍රදාය පදනම් කොට ගනිමිනි . බුද්ධ ශාසනය යනු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවු වනක් පිරිසගෙන් සැදුම් ලද්දකි. උපාසක උපාසිකාවන් වන මහජනයා බුදු සසුන පිහිටුවීමටත් පෙර සිටම මෙහි විසූහ. එකල ඔවුන් ගේ පැවති සිරිත් විරිත් සහ පාලන මූල ධර්ම පිළිබඳ වර්තමානයේ දී සම්පූර්ණ අවබෝධයක් නැති වුවද යම් ශික්ෂණයක් ඇති පිරිසක් ජීවත්ව සිටි බව පැහැදිලිය. මෙරට වාපී ශිෂ්ඨාචාරය පිළිබඳ සලකා බලන කල්හි පූර්ව අනුරාධපුර අවදියේ දී වැව් තනා බත බුලත් සපයා ගත් සශ්‍රීක ජීවිතයක් ගත කළ පිරිසක් සිටි බව කිව යුතුය. මහින්දාගමනයෙන් පසුව මේ පිරිස බුදු සසුන හා බැඳි පවතින්නට උත්සාහ කළහ. අතැම් පැරණි මූලාශ්‍ර සලකා බලන කල්හි යක්ෂ ජනයා ගිරි දිවයින් වලට පළවා හරින්නට සිදු වූයේ එවැනි මත ගැටුම් හේතු කොට ගෙනයැයි සිතිය හැකිය. කෙසේ වෙතත් රජවරුන් සමීපයේ සිටිමින් ඔවුන්ට අවවාද අනුශාසනා කරලීමට භික්ෂූන් වහන්සේ ලා නිරන්තතරව කැප වූහ.

    පිටකත්‍රයට අයත් බුද්ධ දේශනා කීපයකම ගිහියන් හැසිරිය යුතු ආකාරය දක්වා තිබේ. සිඟාලක සූත්‍රය ඉන් ප්‍රධාන වේ. එහි 10 වන ගාථා සමුච්චයේ ගිහියන් රැස් කළ යුතු ආදායම ගැනද පරිභෝජනය ගැනද සඳහන් වේ.

එකෙන භොගෙ භු‌ඤෙජය්‍ය ද්වීහි කම්මං පයොජයෙ

චතුත්ථඤච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති

(මල නොතලා මල් පැණි රැස් කොට මී බඳින බඹරක්හු සෙයින් මෙරමා නොපෙළා  භෝග රැස්කරන්නහු ගේ  භෝග සම්පත්හු  වැඩිමට යෙත්.ක්‍රමයෙන් සුඹසක් පස් කැට රැස් කොට බඳිනු ලබන්නාක් මෙනි. මෙසේ භෝගයක් එක් රැස් කොට ගිහිගෙයි වසන්නට සමර්ථ වූ ගෘහස්ථ තෙමෙ භෝගයක් සතර කොටසකට බෙදන්නේය.  හේ ඒකාන්තයෙන් මිතුරන් බැඳ ගනී. බිඳීයනු නොදී රැකගනු සමත් වෙයි. එක් කොටසකින් භෝග සම්පත් වළඳන්නේය. කොටස් දෙකකින් කර්මාන්ත යොදන්නේය. විපතක් පැමිණි කල්හි  ප්‍රයෝජනය පිණිස වන්නේය. යැයි සලකා සතර වන කොටස නිදහන් කොට තබන්නේය.)

ලංකා වාසී සිංහල බෞද්ධයන් මේ බුදු වදන අකුරටම අනුගමනය කළහ. ඔවුන් ගේ සෑම ගෙදරකම වී බිස්සක් හෝ අටුවක් හෝ වී පෙට්ටියක් විය. ඒවා සතර කොටසකට බෙදනු ලැබූහ. බිත්තර වී වලට කොටසක් ප්‍රයෝජනයට කොටස් දෙකක් සහ ඊළඟ කන්නය වන තෙක් සුරක්ෂිත කොට තැබීමට කොටසක් වශයෙන් විය. රජවරු මේ පිළිවෙත රටේ ආර්ථක සුභ සිද්දියට උපයෝගී කොට ගත්හ.රාජ්‍ය භාණ්ඩාගාරයේ වස්තු දෙකොටසක් විය. එකක් මුදල්මය වශයෙනි. අනෙක ධාන්‍යමය වශයෙනි. රන්කාසි සහ තඹ කාසි වශයෙන් මුදල් අච්චු ගැසූහ.විදේශ වෙළෙඳාමට ද යොදා ගත්හ.රටේ විවිධ ප්‍රදේශ වලින් ලැබෙන අයබදු සතර කොටසකට බෙදා ප්‍රයෝජනයට ගත්හ. මිහින්තලේ පිහිටුවා තිබෙන ශිලා ලේඛනයකින් හෙළිදරව් වන්නේ වැවකින් ලැබෙන දිය බද්ද සතර කෙටසකට බෙදා එක් කොටසක් චෙතිය ගිරියට පූජා කළ ආකාරයයි.

වවිය දකපති චතර බකහි -එක බග …….චෙතගිරි මහ විහරහි දිනි.

තිඹිරිවැව ශිලා ලේඛනයෙහි දක්වා තිබෙන්නේ මෙයට වෙනස් ක්‍රමයකි.

සිද්ධම් අමෙතය මතුල සියරහි – ගගවි වවි තිණි මහ පතය එක මහ පතික තිණි කොටසහ කොටු එක කොටසක තුමහ අසනක ගග පවත විහරහි බිකු සඟනට දිනෙ

ගංගා වාපිය නම් වැවේ ආදායම කොටස් තුනකට බෙදා ඉන් එක් කොටසක් යළිත් තුනකට බෙදා අමාත්‍ය මතුල සියර ට අයත් කොටස ගංගා පබ්බත විහාරයට දී තිබේ.මෙහිදී අපට හෙළි වන්නේ අමාත්‍යවරයා ලබන ආදායම රජයේ අදායම සහ ගැමියන්ගේ ප්‍රයෝජනය සඳහා ලැබෙන ආදායම යන කොටස් තුන බව කල්පනා කළ හැකිය. අයබදු ගැන්මේ දී රාජ්‍ය ආර්ථිකය දියුණු කිරීමත් ගැමියා පෝෂණය කිරීමත් ප්‍රධාන වශයෙන් බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමත් සිදු වූ ආකාරය පැහැදිලි වේ.

මුදල්මය වන වස්තු මෙන්ම ධාන්‍යමය වශයෙන් ලැබෙන වස්තු ගැන ද ශිලා ලේඛන කොටවා තිබේ. වවුනියාව අසළ තෝනිගල තිබෙන ලේඛනයෙහි දක්වා තිබෙන්නේ ධන්‍ය බැංකුවෙන් ලැබෙන පොළියෙන් කඨින සමයේ අරියවංශ දේශනාව සඳහා ධනය වෙන්කල බවකි. රාජ මහා විහාර ආශ්‍රිතව විශාල වී අටු පිහිටා තිබුණි. ගොවි ජනතාව විසින් කන්නය අවසානයේ දී මේ අටුව පුරවනු ලබති. මෙම ධන්‍ය කොටසද සතරකට බෙදා එකක් විහාරයේ පරිභෝජනයට ද එකක් රාජ්‍ය භාණ්ඩාගාරයට ද එකක් ආයෝජනය ද නැතිනම් බිත්තර වී සඳහාද තව එකක් මතු ප්‍රයෝජනයට ද යොදවනු ලැබූහ.

දීඝ නිකායේ සීලෙඛන්ධ වර්ගයේ එන කූඨ දත්ත සූත්‍රයේ රජුගේ කාර්ය භාරය මැනවින් දක්වා තිබේ.මහා විජිත නම් රජ කෙනෙකුට  පුරෝහිත බමණෙකු දුන් උපදෙස් මෙහි අන්තර්ගතය රාජ්‍යය සොර බියෙන් පිරී පැවතුණු විට සොරුන් අල්ලා දඩුවම් කිරීමාදිය කිරීමෙන් පසු යම් සොර කෙනෙකු ඉතිරි වත්ද ඉන් පසු කාලයක ඔහු ශක්තිමත් වී රට පෙලන්නට පටන් ගන්නා බවද ඒ නිසා සොරබිය නැති කිරීම ලෙහෙසි නොවන බව ද කියා තිබේ. ඒ වෙනුවට  සිය රටෙහි යම් කෙනෙකු ගොවිතැනෙහි දක්ෂ නම් ඔහුට ධානය බිජුවට දිය යුත්තේය.යම් කෙනෙකුන් වෙළෙදාමට දක්ෂ වී නම්  ඔහුට රජු විසින් බඩු මිල දිය යුතුය.  රාජකාරිය කරන ඇත්තන්ට බත් වැටුප් දිය යුතුය.එවිට මිනිසුන් තමන්ගේ වැඩ පලෙහි යෙදුණේ  රට පෙළන්නේ නැත. රාජ්‍යය භාණ්ඩාගාරය පිරී යන්නේය.  සොර උවදුරුද නැත්තේමය යයි කියා ඇත.

   පැරණි සිංහල රජවරු මේ කාරිය අකුරටම ඉටු කළහ. මහාවැව් සාදා දී ජල පහසුව ඇති කළහ. බිජුවට තැන් තැන් වල ගබඩා කර තබා කන්නයක් පාසා මිනිසුන් වෙත බෙදා දුන්හ. වෙළෙදාමේ නියුක්ත වූවන් ට දිරි දුන්හ. හේවා පන්න ලේකම් ආදී රාජකාරියෙහි නියුක්ත වූවන්ට බත් වැටුප් දුන්හ.

දෙවනි සියවසට අයත් සෝමාවතී චෛත්‍ය ස්ථානයේ පවතින ශිලා ලේඛනයෙහි ඉතා වැදගත් අර්ථයක් දක්වා තිබේ.

මෙම රජ විහරහි මණි අගිය පොහොතකරහි අරක නිචිද කට වටනක බවිනි මෙ වෙහෙර අසනක සඟ බොගයි වසන කුලෙ මහ අවරනහි බලි කඩය වෙහෙරහි අරකෙහි  දනෙකෙහි.

මේ වෙහෙරට අයත් සංඝයා සතු ඉඩම් වල සිටිනා ජනතාව මහ අමුණෙහි ( වැව් තැනීමේ කාර්යයෙහි )  වැඩ කිරීම අවලංගු කොට  එසේම වැඩ නොකරන කල්හි ගෙවිය යුතු ගාස්තුව ද අවලංගු කොට  මණි අගිය නම් උපෝසතාගාරයෙහි ආරක්සාව සඳහා යෙදවීම මෙහි අදහසයි. රටේ අර්ථ සිද්දිය උදෙසා කරන කාර්යෙන්ද මුදවා ශාසනයෙහි ආරක්ෂාව පිළිබදව ජනතාව යෙදවීමට පවා රජවරු මහන්සි වූයේ ශාසනය නටහොත් ජාතික ආරක්ෂාවද විනාශ වන බැවිනි.එදා උතුරේ දහසක් රහතුන් වහන්සේලා වැඩ සිටියේ මුහුදට ඔබ්බෙන් වූ දේශ වලින් එන සතුරන් මෛත්‍රීයෙන් දමනය කරවීම පිණිසය.වර්තමානයේ දී උතුරේ විහාර තැනවීම සංහිඳියාවට බාධකයක් ලෙසට සැළකීමට පවතින රජයයන් උත්සාහ කරති.

        නවීන වෙළඳ පළ ආර්ථිකය තුළ සිදු වන්නේ මුදල් මගින් මුදල් මැවීමයි. ණයට දීම පොලියට දීම.මූල්‍යම වෙළඳ පළට අවශ්‍ය මුදල් සැපයුම ආදී කරුණු එයට ප්‍රධාන වේ.ඇමරිකාව වැනි රටවල් බලවත්ව තිබෙන්නේ මුදල් අච්චු ගැසීමත් ඒවා ආසියාතික රටවලට බෙද හැරීම .ඉන් ලැබෙන පොලිය දෙගුණ තෙගුණ කර ලබා ගැනීමත් නිසාය.තෙල් තිබෙන රටවල් තෙල් නිසා පොහොසත් වෙති.යළි ඒවා මූල්‍ය වෙළඳ පලේ ආයෝජනය කරති.ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට පටන් ගැණුනේ මූල්‍යමය වෙළඳ පළ සඳහා ඔරොත්තු නොදෙන ලෙසට ණය ගැනීම නිසාවෙනි. එය යළි යථාවත් කිරීමට ජනතාවගෙන් අධික අයබදු ගත්හ. වර්තමාන ආණ්ඩුව දුවන්නේ ඒ අයබදු මතින් ගත් සංචිත වලිනි.දැන් මහ බැංකුව ස්වාධීනය. ඔවුහු නිෂ්පාදන ආර්ථිකය පීළිබඳ තැකිමක් නොකරති. රටේ  මෙට්රික් ටොන් මිලියන 4.5 ක වී සංචිතයක් තිබෙන නමුත් ඒ වටිනාකම ආර්ථිකයට සම්බන්ධ කර නොගනිති. මේ ක්‍රමය බෞද්ධ ආර්ථික සංකල්පයට විරුද්ධය.රට හිගමනට පත් වී ශාසනය අර්බුදයට පත්ව තිබෙන්නේ ඇයිද යන්න අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත.පසුගිය ආණ්ඩු වලට ව්‍යාපාරිකයන් පිරිසක් සහාය ලබා දුන්හ. මූල්‍යමය ශක්තිය ලබා දුන්හ. ඒ පාලකයන් ඔවුන්ට විශේෂ වරප්‍රසාද අත්පත් කර දුන්හ. බදු සහන දුන්හ.වර්තමාන ආණ්ඩුවටද තමන්ට හිතැති ව්‍යාපාරිකයන් පිරිසක් අවශ්‍ය වී තිබේ.කෝටිපති ව්‍යාපාරිකයන් ගේ ශක්තිය මත ආණ්ඩුව පවත්වාගෙන යා හැකි යැයි දැන් දැන් ඔවුහු කල්පනා කරති.වංචාව හා දූෂණය නැවත හිමින් හිමින් හිස ඔසවන්නේ මේ නිසාය.අපි බුදුන් වදාළ මාර්ගයේ යෑමට මැළි කමක් දක්වන තාක් මේ ව්‍යසනයන්ට මුහුණ දීමට සිදු වනවා නියතය.රජය ඒ මාර්ගයට තල්ලු කිරීම අතිශයින් දුෂ්කරය.නමුත් එය කළ යුතුය.බුදුන් වහන්සේට දළදා වහන්සේට පූජා කළ රටක ඒ මාර්ගය නැවත විවර නොවේවි යැයි නොසිතිය යුතුය.

 මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress