අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (2 කොටස)
Posted on September 16th, 2025

චානක බණ්ඩාරගේ

කුණු දමන පෙට්ටියක් හම්බුවෙන තෙක්  කිමි 2ක් තම බස් ටිකට් එක කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන  පයින් ගිය විශ්‍රාම ලත්  ඉස්කෝලේ මහත්තයෙක් හමු උනා. ඇහුවහම කිවුවා පාර අවට වෙන මොන කුණු කන්දරාවක් තිබුනත් තමන්ගේ කුණු (බස් ටිකට් එක) පාරේ විසිකරලා පරිසරය තවත් අපවිත්‍ර කරන්න හිත ඉඩ දුන්නෙම නැතිලු.  කොච්චර හොඳ මහත්මයෙක්ද?

අපට 1948 නිදහස ලබන විට රටින් 49% මහා වනය.  2012 දී මේ ප්‍රමාණය 16.5% දක්වා අඩුවී තිබුනා. මේ ප්‍රමාණය එන්න එන්නම ක්ෂය වෙනවා.

හරියටම ගණන් හැදුවොත් අද 10% වත් ඇද්ද? මන්ද, බොහෝ ඝන කැලෑ යයි අප සිතන කැලෑ මතුපිටින් පමණයි. ඇතුලට ගියහම පේනවා ඒවත් ජනාවාස කරගෙන, සමහරු විශාල හෝ කුඩා ප්‍රමාණයේ වගා ව්‍යාපාරයන් කරනවා (උදා: පුත්තලම, මහව, කැකිරාව, වැලි ඔය, මුලතිව් ඝන කැලෑ තුල). මේවා අතර තමා අලි සහ අනෙක් සත්තු ඉන්නේ. මේවා නිසයි අලි රෑට ගම් වදින්නේ.

2019 – 2023 රජයන් විශාල ලෙස ගොවීන්ට සහ වෙනත් අයට තුවක්කු ලයිසන් නිකුත් කළා. මේ නිසා අද සිදුවන අලි ඇතුන්, වඳුරන්, මොනරු  වැනි සතුන් ඝාතන අති මහත්.

කැලයේ ජීවත්වන බොහෝ අලින්ගේ වෙඩි වැදුණු තුවාලයක් දක්නට තියෙනවලු. ජාතියක් වශයෙන් අප ලැජ්ජා විය යුතු දෙයක්.

රිටිගල කන්ද මහා පුදුම තැනක්. කන්දේ පාමුල තියෙන්නේ වියලි කර්කෂ දේශගුණයක්, කඳු මුදුන නුවරඑලිය වගේ සීතලයි.  රිටිගලට පමණක් ආවේනිකවූ ශාක වර්ග 5ක් තියෙනවා, ලෝකයේ වෙන කොහෙවත් (ලංකාවද ඇතුළුව)  ඒවා නැහැ. 

ඈත මුහුදේ යන නැව් වලට දැන් ජනාධිපති කාර්යාලය ලස්සනට පේනවා; ප්‍රථාපවත් අපේ ඒ ගොඩනැගිල්ල.  ඒකත් වැහිලා යන විදියටයි පෝට් සිටිය නිර්මාණය වන්නේ. ගෝල් ෆේස්  එකේ ජනාධිපති කාර්යාලය අසළ මුහුද දෙසට යොමු කල කාලතුවක්කු අවුරුදු 70ට වැඩියි. ඒ ස්ථානවල සාඩම්බරව ස්ථාපිතව තිබුනා. ගලවා කිසි අරමුණක් නැතිව දැන් හයි කරලා. එක කාලතුවක්කුවක් ඒ ළඟ තරු 5  හෝටලයක් ගාව  හයි කරගෙන.

පෝට් සිටි නව නගරයට අවශ්‍ය වන බලශක්තීන් සෝලර්, සුළං, මුහුදු රැල්ල, සුළං මෝල්,  වැනි පරිසර හිතකාමී මාර්ගවලින් ද ලබාගැනීමට පියවර ගත යුතුයි. කැලි කසළ බැහැර කිරීමද කැලි කසල ප්‍රතිචක්‍රීයකරණය වැනි පරිසර හිතකාමී මාර්ගවලින් ද විය යුතුයි.  පුරවනු ලබන වටිනා ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් වාහන නැවත්වීමට නොයොදවා බිහි කල පොලවේ  උස, මහල් ගොඩනැගිලිවල වාහන නැවත්වීමේ පහසුකම් ඉදි කල යුතුයි.

පෝට් සිටි නව නගරය තනිකරම හෝටල, සමාජ ශාලා, ඩිස්කෝ, කැසිනෝ, ඇමරිකන් වැනි කෑම  විකුණන ආපනශාලා  වලින් පිරි, බටහිර සංස්කෘතියේ අංගෝපංග වලට පමණක් මුල් තැන දෙන තැනක් නොවිය යුතුයි. සුපිරි මහල් නිවාස බිහි කිරීම අවශ්‍යයි.

අපේ දේශීය සංස්කෘතිය,  සභ්‍යත්වය, ප්‍රෞඩ ඉතිහාසය, බුද්ධාගමට, හින්දූනට, මුස්ලිම්වරුන්ටද නිසි තැන ලැබෙන පරිදි එය නිර්මාණය කිරීමට දැන්ම සිටම වග බලා ගනිමු.  උද්‍යාන, සක්මන් මාර්ග, ජල පොකුණු, වතුර මල්, භාවනා/යෝගා සඳහා ස්ථානයන්, ලංකාවට ආවේනික විවිධ ශාක වර්ග එහි විය යුතුයි. දැනට නැහැ හෝ අඩුයි.

ඉස්සර බේරේ වැවේ පල්, ජරා වතුර ජනාධිපති කාර්යාලය අසලින් බැස ගොස් ගෝල්ෆේස් එකට ඔබ්බෙන් මුහුදට වැටුනා කිසි අවහිරයක් නොවී. දැන් පෝට් සිටියේ නව ගල් බැම්මවල හැපී, නැවතී, ඒ වතුර සේරම ගෝල් ෆේස් පැත්තේ මුහුද දෙසට හරවා යැවීමෙන් ඒ පැත්තේ (කොළඹ  3, 4) වෙරළ ආසන්න මිනිසුන්ගේ සෞඛ්‍ය්යට අයහපත් කාරක ඇතිවන්නට පුළුවන්.

පෝට් සිටිය පුරවන්න ටාපොලින් වැසූ කළුගල් පිරවූ ලොරි 100ක් වත් දවසකට  බත්තරමුල්ල පැත්තේ සිට කොටා රෝඩ්  පැත්තෙන් කොටුවට ගියා. දැනුත් යනවා, හැබැයි අඩුයි.

පෝට් සිටියට මුහුද පුරවන්න කළු ගල් ගෙනල්ලා තියෙන්නේ ඔරුවල, අරංගල, අතුරුගිරිය, මීගොඩ පැත්තේ විශාල කළු ගල් පර්වත කඩා.  දැන් ඒ පැත්තේ රස්නෙ වැඩියි, බොහෝ ලිං වල වතුරත්  හින්දිළලු.  වෘක්ෂ ලතා, වනජීවී හානිය කියා නිම කරන්න බැහැ. දුර දිග නොබලා කරන වැඩවල විපාක. තව අවුරුදු 20 – 25කින් තමා නියම ආනිසංස තේරෙන්නේ.

බේ‍රේ වැව අවට නිවාස, කර්මාන්තශාලාවලින් පිටකරන බොහොමයක් මිනිස් සහ වෙනත් අපද්‍රව්‍ය කෙලින්ම එම වැවට මුදාහරිනවා.  මේ අතර  තදබල රසායනික ද්‍රව්‍යත් තිබෙනවා. මේවා නතර කරන්න වැඩපිළිවෙළක් ගෙන නැහැ. 

බේරේ වැවේ සමහර ස්ථානවල  ජලය ගලාගෙන යන්නේ නැහැ. මේ නිසා වැවේ ඉහළ ස්ථරයේ නීලහරිත ඇල්ගී හැදෙනවා. එවිට වැව් ජලයේ ඒ ප්‍රදේශ වලට සූර්යාලෝකය කිඳාබසින්නේ නැහැ.  ජලයේ ‍පහළ ප්‍රදේශයට හිරු එළිය නොලැබීම නිසා එහි නිර්වායු බැක්ටීරියා සක්‍රීය වෙනවා. මේ නිසා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. මේ නිසාත් දුර්ගන්ධය ඇතිවෙනවා. දැන් කරන්නේ ඇල්ගී නැතිවෙන්න ඒවා උඩට අළුහුණු දානවා.   එයින් ඇල්ගී ඉවත් වෙනවා. එහෙම කළාම ගඳ අඩුවෙනවා.  නමුත් මාළු සහ අනෙක් ජීවින් මැරෙනවා. ඒ වතුර අල්ලන්න සුදුසු නැහැ. අළු හුණු දැමීම ප්‍රශ්නයට පැලැස්තර දැමීමක් පමණයිද?

එදා මිනිසුන් කෙතරම් බේරේ වැවේ මාළු බෑවාද.  අද කිසිවෙක් නැහැ.

කොළඹ සහ වෙනත් ප්‍රධාන නගරවල කානු, ඇල දොළ වල් ඉතා අපවිත්‍රවී කුණු ගඳ ගසයි.  

මේවා අද  ඊයේ ඇතිවූ ප්‍රශ්ණ නොවේ – වසර ගණනාවක් තිස්සේ. දැන් පවත්නා ආණ්ඩුවට බැනීම වැරදියි.

උදාහරණයකට, බේරේ වැව කොළඹ නගරය මැද සමහර ස්ථානවල දරා ගන්න බැරි තරම් අප්‍රසන්න ගඳක් වහනය කරනවා; විශේෂයෙන්ම  මිනිස් වැසිකිලි අපද්‍රව්‍ය බේරේ වැවට වහනය වීම නිසා.  මේවා වැව උඩ පාවෙනවා පේනවා විශේෂයෙන්ම තදින් පායන දවස්වලට.  

කිරුලපොන ඇලෙත් හැව්ලොක් ටවුන් වලට එන්න කළින් පැතිවල තත්ත්වය මෙයයි.

අද කොටුවේ කස්ටම්ස්, ලේක් හවුස් බිල්ඩින් තියන පැතිවල සමහර දිනවල බේරේ වැව ලඟින් යනකොට නහය වසාගෙනයි ඕන කෙනෙක් යන්නේ. මුළු කොළඹම මිනිස් අසුචි මෙතනට එක් වෙලාද කියලා හිතෙන තරමට අසුචි ගඳ උහුලන්න බැහැ. ඒ විධියට නම් අපිට ආසියාවේ ආශ්චර්යය වෙන්න බැහැ. දවසකට  දහස් ගණනක් සංචාරකයෝ පයින් මේ ස්ථාන පහු කරගෙන යනවා නේද. ජාතියක් හැටියට අපට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් නොවේ.  

විසදන්නම ඕන ප්‍රශ්න මේවායි, බොරුවට ගාලු පාර වගේ ප්‍රදේශවල හොඳට තියෙන පේව්මන්ට් කඩ කඩා වටිනා රතු පාට වගේ ගඩොල් වර්ග නැවත ඇල්ලීමට වඩා.

නගරයක්/ටවුමක් වූ විට උස ලස්සන බිල්ඩින්, බඩු පිරිච්ච සාප්පු, පාරේ දෙපැත්තේ නවත්තපු ලස්සණ කාර් වගේ දේවල් පමණක් තියෙලා වැඩක් නැහැ. ඉස්සෙල්ලම බලන්න ඕන කානු පද්ධතිය දිහා.  හොඳට බැහැලා යන  කුණු ජරාව නැති කානු/ඇලවල් තියෙන්න ඕන.  පිරිසිඳු කානු  කොන්ක්‍රීට් පියන්වලින් වසා තිබිය යුතුයි.

තැනින් තැන ගොඩ ගහපු කුණු විසිකරන ස්ථාන නැතිවෙන්න ඕන.  කැඩිච්ච නැති පිරිසිඳු පේව්මන්ට් තියෙන්න ඕන.  ආපන ශාලා පිරිසිඳු වෙන්න ඕන. කාක්කෝ, අපිරිසිඳු බල්ලෝ,  වල් බළල්ලු අඳුරු තැන් වල හැංගිලා ඉන්න ඌරු මියෝ වගේ සත්තු නැති හෝ අඩු වෙන්න ඕන.

කැඩුණු පාරවල වැසි දිනවල වතුර වලවල් සෑදෙනවා. මේවා නිසා පාරේ යන මිනිසුන් පල් වතුර, මඩ නානවා. 

මහජන සෞක්‍යය පරීක්ෂක වරු, පරිසර පොලිසිය හරියට, අකුරට රාජකාරි කරනවානම්  නගර/ටවුම් වල තත්ත්වය ගොඩාක්  සතුටුදායක කරගත හැකියි.

ජපානයේ නගරවල කානු වල ගලන ජලය බීමට වුවත් ගත හැකි තරමට පිරිසිඳුයි. හැබැයි කිසිවෙක් බොන්නේ නම් නැහැ.

අලුතින් සැදු රුසියානු තානාපති කාර්යාලය අසලින් බැස යන විශාල කානුව (බෝක්කුව) ලඟින් යනවිට එන්නේ අසුචි මිශ්‍ර පල් වතුර ගඳක්. මෙය එන්නේ ග්‍රෙගරි පාරේ විශාල බෝක්කුවෙන්. ප්‍රධාන පෙලේ තානාපති කාර්යාල කිහිපයක්ම ග්‍රෙගරි පාරේ තිබෙනවා.

වේරහැර, කටුවාවල පැත්තේ  මහා මාර්ගයේ පැත්තක හොඳට බෝක්කු ලොකුවට හදලා කොන්ක්‍රීට් පියන් වලින් වැසුවත් කාණුවලින් තදබල් මිනිස අසුචි දුඟදක් හැමුවා. සමහරු හොරෙන් ටොයිලට් හරවලා වගේ. නැත්නම් වැහි වතුර බහින්න හදපු කාණුවලට මලාපවහන වතුර එක් වුනේ කොහොමද?

මාතර මහ රෝහලෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍ය සහ මිනිස් මලාපවහන කෙලින්ම නිල්වලා ගඟට මුදා හැරීමට කටයුතු කර තිබුනා.  පුදුම ගඳක් ගඟේ ඒ පැත්තෙන් ආවේ. දැන් කොහොමද දන්නේ නැහැ.

ගම්පහ මූලික රෝහලේ අසූචි මිශ්‍ර මළ ද්‍රව්‍ය ගංවතුරට යටවූ අවට නිවාසවලට ගලා ඒම නිසා ප්‍රදේශවාසීහු දැඩි දුෂ්කරතාවකට පත්ව සිටියා. මේවා මඟින් ප්‍රදේශවාසීන්ට ලෙඩ රෝග වැළඳීමේ අවදානමක්‌ තියෙනවා.   

ගල්කිස්ස, වටරප්පල පාරේ, හුළුදාගොඩ මංසන්දිය අවට මාර්ගයේ  දෙපස ජලය බැසයන කානු පද්ධතිය පිරිසිදු නොකිරීම නිසා ඇති දැඩි අපවිත්‍රතාවයෙන් ප්‍රදේශවාසීන්, විශේෂයෙන්ම කුඩා දරුවන්, මොනතරම් ප්‍රමාණයක් ලෙඩවෙන්න ඇද්ද කියා වෙලාවකට සිතෙනවා.

නල්ලතන්නියේ හෝටලයක වැසිකිළි අපද්‍රව්‍ය සීත ගඟුලට හරවලා. ශ්‍රීපාද රක්‍ෂිතයේ සිට මාවුස්‌සාකැලේ ජලාශයට ගලා බසින සීත ගඟුල ඔයේ ජලය, ශ්‍රීපාද වන්දනාකරුවන් හා ප්‍රදේශවාසීන් දහස්‌ ගණනක්‌ දිනපතා ප්‍රධාන අවශ්‍යතාවන් සඳහා පාවිච්චියට ගන්නවා.

බොරැල්ල වනාතමුල්ලේ ජීවත්වෙන මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි – මොවුන් දිනපතා ගමන් කරන්නේ කුණු කසළ වලින් පිරි පාරවල්, කාණු, බෝක්කු, වීදි සුනඛයන් පසුකර. කිසිම ආණ්ඩුවකට මේ ප්‍රශ්ණ නිසියාකාරව විසදන්න බැරි වුනා. මාලිමාවට පුළුවන් වේද?

සහශ්‍ර පුර ප්‍රදේශය ශ්‍රී ලංකාවේ නොව දකුණු සුඩානයේ හෝ සෝමාලියාවේ කොටසක් වැනියි.

වසර දෙදහසකට අධික ඉතිහාසයක් ඇති ඓතිහාසික රංගිරි දඹුල්ල ලෙන්විහාරය ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙනවා. මෙහි ලෙන් විහාරයේ‍ චිත්‍ර විනාශවීමේ බලවත් තත්ත්වයකට මතුවී තිබේ,  වැහි වතුර කාන්දුවීම නිසා. 

ඉස්සර ගෝල් ෆේස්, විහාරමාහාදේවි පාක්  දරු පවුල සමඟ ගියේ සාමකාමී, නිහඬ වින්දනයක් ලබන්නයි, ස්වාභාවික පරිසරයේ ආශ්වාදය රස විඳින්නයි. සියළු දෙනා සමඟ ලැබූ ඒ ආශ්වාදය ඉතා මහඟුයි; රසවත්.    

ඒ ස්ථාන එදා සුද්දා හැදුවේ කෑම කන්න යන්න නෙවෙයි, ඒවාට වෙන තැන් නගරයේ තියෙනවා. අද ඒ ස්ථාන කෑම කඩ දාගෙන, විශේෂයෙන්ම මස් කෑම විකුණන ප්‍රධාන තැන් බවට පත් වෙලා. මේ නිසා වෙනදා නොතිබුණු කසළ හා අප ද්‍රව්‍යය, වෙනදා නොසිටි තඩි බලලුන් තරම් වූ උරු මියෝ, කැරපොත්තෝ, මැස්සෝ, කාක්කෝ (දඩාවතේ යන බල්ලෝ පවා) ආදී ලෙඩ බෝ කරන සතුන්ගේ තෝ තැන්නක් වෙලා, මේවා  ඉතාම වැදගත් අපේ ස්ථාන.

සවසට ගෝල්ෆේස් පැත්තේ දැන් ඇවිදින්න, දුවන්න යන්න හිතෙන්නේ නැහැ, කෑම සංස්කෘතිය මුළු තනනිල්ලම වගේ අල්ලලා ඉවරයි. සවස 7ට පමන මස් පිලිස්සීමෙන් වහනය වන්නේ දැඩි තෙල්/ග්‍රීස් මිශ්‍රිත වාතාශ්‍රයක්. කොහොමද පිරිසිඳු වාතාශ්‍රයක් ලබා ගන්න ඇවිදින්නේ, දුවන්නේ ?  බොහෝ කෑම කඩ පිරිසිඳු බවින් ඉහළ ගුනාත්මයකට ඇවිත් නැහැ.

ගෝල් ෆේස් තන බිම මත සරුංගල්, ළමා ප්ලාස්ටික් බෝනික්කෝ වගේ සෙල්ලම් බඩු මහා පරිමාණයෙන් විකුනනවා. මේ අය මේ අල්ලා ගෙන තිබෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට නිදහසේ ගමන් කිරීමට තිබෙන ඉඩ ප්‍රදේශයි. සරුංගල් කඩ  ලඟින් රෑට යන්න භයානකයි, මොකද ඒ සරුංගල්වල නුල්  වලට පය පැටලිලා වැටෙන්න පුළුවන්.

කොල්ලුපිටිය පැත්තේ සිට එන විට, ගෝල් ෆේස් තන බිම ආරම්භ වෙන තැනම එය තුළ දැවැන්ත රෙස්ටොරාන්ට් එකක් හදා ගෙන – හරියට ගාලු මුවදොරට අයත් කොටසක් වාගේ එය. එහි වාහන නැවතුමට ගාලු මුව දොර තන පිටියෙන්  ලොකු කොටසකුත් අල්ලා ගෙන. මේවාට අවසර දුන්නේ කවුද?

ගෝල් ෆේස්, විහාරමාහාදේවි උද්‍යානයේ කෑම විකුණන පැති කුණු කෑම, කුණු බක්කි නිසා ඒ පැති විනාශ වෙලා. ජනාකීර්ණ දවස්වල කළුවර වැටුණු පසු සමහර මිනිස් කණ්ඩායම් ගෝල්ෆේස් තන බිමේ බිම වාඩිවී හංගාගෙන අරක්කු, විස්කි, බියර් වගේ ජාති  බොන බව පේනවා. සිගරට් බොනවා. මේ වැඩවලින් මේ  ස්ථාන විනාශ වී යනවා.  හොඳ, යහපත් මිනිසුන් ඒම අඩු වෙන්න පුළුවන්. පොඩි ළමයිනට සරුංගලයක් යවන්න, දුවන්න පනින්න සෙල්ලමක් කිරීමට, නිදහසේ ගත කිරීමට සුදුසු පරිසරයක් බිහි කල යුතුයි.

විහාර මහාදේවි උද්‍යානය හැදුවේ නගර මැද කලබලකාරී පරිසරයෙන් ඈත්වී නගරයේ ජනයාට කිසියම් මානසික සුවයක්, නිදහස් වූ වින්දනයක් ලබාදීමටයි.  එය අතිශය  චමත්කාර ජනක උද්‍යානයක් වුවා. බොහෝ ගස්වැල්, අඳුරු ස්ථාන,  නුග, නා, මාර  වැනි වසර සිය ගණන් පැරණි දැවැන්ත වෘක්ෂයන්, පොකුණු, ගුහාවල් ආදියෙන් පිරි, ජනාකීර්ණ නොවූ, කොලඹ හරි මැද පිහිටි  නිසංසල පරිසරයක්.  අහිංසක පෙම්වතුන්ගේ නිසල පාරාදීසයක් වුවා.

අද,  එහි එදා තිබු ඒ ගුප්තාත්මක සහ විවිධාකාර භාවය නැහැ හෝ අඩුයි. ගොඩාක් ගස් කපලා, තැනිතලා තෘණ භුමි මතුවී පේනවා. ඇවිදින මං තීරු නිසා එය ව්‍යායාම කරන්නන්ගෙන් යම් තරමකට පිරිලා; ළමා පිටිය ඉතා ජනාකීර්ණයි; ඒ අතර කෑම කන්න එන අයගෙන් ඒ ප්‍රදේශය පිරිලා.  මේවා නිසා පාක් එක බිහිකිරීමේ මුලික පරමාර්ථය වෙනස් වෙලාද?

විඩා පත් නගර වැසියාට හෝ පිට පලාතකින් කොළඹට පැමිණි කෙනාට එදා මෙන් නොව අද විහාරමාහාදේවි උද්‍යානයේ තන බිම මත හෝ උද්‍යාන බැංකුවක් මත එදා මෙන් පැයක් දෙකක් නිදා ගෙන යාමේ හැකියාව බොහෝ දුරට අවහිර වෙලා.

විහාරමහා දේවිය යනු අප රටේ පහලවූ උසස්තම කුල කාන්තාවක්. දුටු ගැමුණු රජතුමාගේ මව.

ඇගේ නමින් පිහිටවා තිබෙන එම ඉතා දැකුම්කළු උද්‍යානයේ ඇගේ පිලිරුවෙන් ඇය වැඳ ගෙන සිටින්නේ එම උද්‍යානයේම පිහිටුවා සිටින දර්ශනීය බුදුන් වහන්සේගේ පිළිමයට නොවේ; ඇය වැඳ ගෙන සිටින්නේ වෙනත් ආගමික සිද්ධ ස්ථානයකටද?

ඒ කාලයේ හිටපු කොළඹ පුරපති කවුද කියා සෙව්වොත් සමහර විට මේ කාරණය තේරුම් ගත හැකි වේවි?

විහාරමහා දේවි උද්‍යානය පිරිලා ගිහින් – ඉතුරුවූ/කැලි කසල පිරි බඳුන්වල ආහාර කෑමට කාක්කන් දැන් සිය දහස් ගණනින් එනවා. ඒ වගේමයි මී උවදුර. කොකුන්, හංසයන් වගේ සතුන්ට නිදහසේ සැරිසැරීමට කිසිම අවකාශ නැහැ.

කාක්කෝ නිසා විහාරමහාදේවි උද්‍යානයේ උස ගස් වල වහලා ඉන්න වවුලන්ට තර්ජනයක්.

කාක්කන් බහුල වෙන්න වෙන්න වෙනත් පක්ෂීන්ට බෝවෙන්න බැරි වෙනවා.

කාක්කන් මුළු විහාරමහාදේවි උද්‍යානයම යම් දිනකදී ‘අල්ලා’ ගනු ඇත.

විහාරමහාදේවි, පේරාදෙණිය, නුවර එළිය, හක්ගල, නුවර වේල්ස්,  හෙනරත්ගොඩ, සීතාවක මෙවැනි මාහැඟි උද්‍යාන නගර මධ්‍යයන්හි  පිහිටවුයේ විඩාපත් ජනයාට ඒවාට පිවිස, විඩාව නිවා, නිස්කලන්කව  ඔවුනට ඒවා තුල කාලය ගත කිරීමට ඉඩ දීමටයි; ස්වභාව සෞන්ධර්යයේ රස විඳීමටයි. අප උවමනාවට වඩා මේවායේ  ඇවිදින මං තීරු, කෑම කඩ, ළමා ක්‍රීඩා පිටි ආදිය බිහිකලොත් මේ උද්‍යාන පිහිටුවීමේ මුල් අරමුණ නැති කර ගන්නවා. ඒ මුල් අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා එන පුද්ගලයන් අඩුවී, නව අරමුණු සාක්ෂාත් කරගැනීමට එන අයගේ සංඛ්‍යාව වැඩි වෙනවා.

උදේ පාන්දර 6ට විතර ගාලු මුවදොරට ඇවිදින්න යන්න බලන්න. කුණු කෑම කන්න ඇවිත් ඉන්න කාක්කෝ රංචු බලන්න පුළුවන්. සිය, දහස් ගණන් කාක්කෝ නිසා මුහුද අද්දර පාරේ කෑම කඩ පැත්තෙන් ඇවිදින්නවත් යන්න බැරි තරම්. ඉදිරියේදී ගාලුමුවදොර, විහාරමාහාදේවි පාක්  එකේ තවත් කෑම කඩ දානවට සැකයක් නැහැ. වරාය අධිකාරියට, කොළඹ නගර සභාවට වඩ වඩා ආදායම් ලැබෙනවා නම් තමයි.

කාක්කා කසල වාහකයෙක් මිස කසල ශෝධකයෙක් නොවෙයි. කුණු කා දමන නමුත් කුණු එක් තැනක සිට තවත් තැනකට ගොස් දමා අත්  හැරීමෙන් කරන හානිය අපමණයි,  කොතරම් පිරිසිඳුවට තබා ගත් මිදුලකට වුනත්.

නිතරම කොළඹ ඇවිදින කෙනෙකුට සතියකට දෙතුන් වරක් වත් කාක් වසුරු තම ඇඟ මත වැටෙනවාමයි.

කොළඹ සෑම ගහක්ම, ලයිට් කණුවකම වාගේ කාක්කන් ආක්‍රමණය කර ඉවරයි.

කාක්කෙකුට  ඉතා පහසුවෙන් මැරුණු මී කුනක්, මස් කඩෙන් අහක දාපු සත්ව බඩවැල්/හම් ආදිය ගෙනවිත් අතහැර යන්න පුළුවනි.  මෙයින් ඒ අවට පරිසරයම අපවිත්‍ර වෙනවා. වෙනත් පක්ෂීන්, මාංශ භක්ෂක නැති/අඩු  ඔවුන්ගෙන් මෙවැනි ප්‍රශ්නයක්‌ නැහැ.

කොටුව දුම්රිය ස්ථානය ඇතුලේ ඉස්සර හිටියේ පරෙවියෝ විතරයි. දැන් ක්‍රම ක්‍රමයෙන් කාක් ආක්‍රමණය පටන් අරං. තව ටික කලකින් කාක්කෝ සිය  ආධිපත්‍ය එම ස්ථානයෙත් විහිදුවයි වගේ.

කාක්කන් අද අපේ ප්‍රධාන නගර අල්ලාගෙන ඉවරයි. මුන් කරන පරිසර හානිය, කුණු කසල ප්‍රවාහනය නිසා ඇතිවෙන සෞ ඛ්‍යය සහ පවිත්‍රතා ප්‍රශ්න කියා නිම කල නොහැකියි.  උන් කුණු කසල යම් ප්‍රමානයක් කා දමනවා වෙන්න පුළුවන්, නමුත් ඉතා පිරිසිඳුව තබා ගන්නා ස්ථානවලට ඒ කැලි කසළ ගෙනත් දානවා. සමහර අය හොරෙන් මේ සතුන්ව මරා දමනවා විවිධ ක්‍රම වලින්. එය ඉතා වැරදියි – අප බෞද්ධ රටක්.

මේ සතුන් නවීන ජාන විද්‍යා ක්‍රම උපයෝගී කරගෙන ඒ අයගේ බෝවීම අවම කල හැකියි. කොළඹ  නගර සභාව මඟින් විදී බල්ලන්ගේ පැතිරීම දක්ෂ ලෙස ඔවුන් වන්ධ්‍යාකරණයට බඳුන් කර පාලනය කරනවා වගේ.

අපේම දේශගුණය තිබෙන සිංගප්පුරුවේ දැන් කාක්කෝ දක්නට ලැබෙන්නේ නැහැ.

බල්ලන්ට, පූසන්ට පාරේ කෑම දමන අය උන් කෑ පසු ඉතුරු ඉඳුල් ඉවත් කර යා යුතුයි.

ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව නම් වෙන කවරදාටත් වඩා වේගයෙන් ලෝකයේ කුරුල්ලන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත.

ලංකාවේ ඉස්සර ගෙවල් වල කුඩු හදාගෙන ජීවත්වූ ගේ කුරුල්ලන්ට කුමක්ද වුනේ?

සුද්දන්ගෙන් අපට ලැබුණු යහපත් දායාදයක් ගාලු මුවදොර තන නිල්ල. ඒ අය අපට දීලා ගියේ සැබවින්ම එක, සම මට්ටමේ, දිග තන නිල්ලක්.  ලෝක උරුමයකට පවා සුදුසුකම් ලබනවා මේ බිම් තීරුව. අද අපි එය හැමතැනම මැද්දෙන්/පැතිවලින් කඩා දාලා, හරියට කුඹුරුවල නියරවල් හදලා වගේ. ඉස්සරහට මේ අය තව නොයෙක් අට මගල් ඕකේ මැද ගහයිද? 

ගාලු මුවදොර තන නිල්ල පාලනය කරන වරාය අධිකාරිය කිසි සොයා බැලිල්ලක් නැතිව, ප්‍රමිතියක් නැතිව එම භුමිය විවිධ සංදර්ශණ වලට බදු දෙනවා – සංගීත, රැස්වීම්, කානිවල් වැනි. දරුණු වැසි කාළ වල පවා. මේවා අවසන් වූ පසු  භුමියේ තනකොලවලට ඒ බදු ගත්  අය සිදු කර ඇති හානිය අති විශාලයි.

මෙය නැවත කොළඹ නගර සභාවේ පාලනයට නතු කළ යුතුයි.

ගාලු මුවදොර තන බිම කියන එක ගාලු මුවදොර පස් බිම කියන තත්වයට යළි පත් වෙමින් පවතිනවා.

මතු සම්බන්ධයි  ……..

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress