අලගල්ල සංරක්ෂිත කදුකර වනාන්තරය බිල්ලට යයිද?.
Posted on September 17th, 2025

කීර්ති හේවාගොඩ පරිසර ක්රියාකාරී

මැතකදී ලැබුණ යම් හොඩුවාවකට අනුව,  යම් ආගමික  කණ්ඩායමක් විසින්,  අලගල්ල කදු වැටියේ පූජා ගල ආශ්‍රිතව ඉදි කර ඇති කොන්ක්‍රීට් ඉදිකිරීම් ආශ්‍රිතව යම් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වැඩම කොට එම භූමියේ මල් පැල සහ වෙනත් ශාක පැල කිරීමට යන බව දැන ගැනීමට තිබේ. 

අලගල්ල වැනි ජෛව විද්‍යාත්මකව ඉතා සංවේදී පාරිසරික වපරිසරයක් තුලට , උක්ත පරිසරයේ ස්වභාවිකව වාසස්ථාන ගතව නැති ශාක විශේෂ හෙවත් ශාක රටා සමයන් ආගන්තුක ලෙස ගෙන විත් පැල කිරීම විශාල ගැටලුවකි.  ඒ නිසා දැනට පවතින අනන්‍ය වූ ශාක විශේෂ සමග මේ ආගන්තුක ශාක විශේෂ තරග කරන අතර ආක්‍රමණික ශාක ලෙස රක්ෂිතය පුරා පැතිර යාමේ අවධානමද ඇතිවේ. 

මෙම අලුත් මල් ගස්, බෝ ගස්, නුග ගස්, ජලජ ඕලූ විශේෂ මගින් තිබෙන ආවේණික භූ දර්ශනය වෙනස් කරන අතර, උක්ත පාරිසරික පද්ධතියේ ජෛව පරාමිතක ( biological vectors) විසංතුලනයට ලක් කරති.  උදාහරණයක් වශයෙන් යම් යම් දලඹු විශේෂ,  මෘද්වංගීන් විශේෂ සහ කෘමි විශේෂ තම ජීවන චක්‍රයේ මුල් අවධීන් තුල වාසස්ථාන කොට ගන්නා ( ආහාර/ පදිංචිය) ශාක විශේෂ ඉවත් වීමයි. මෙය කන්දේ වෙසෙන පක්ෂි විශේෂ සහ උරග විශේෂ වලට ආහාර ජාල ඔස්සේ බලපාති.  මේවා දාම ප්‍රතික්‍රියා වන අතර කාලාන්තරයක් තුලදී සමස්ත පාරිසරික පද්ධතියම හායනයට බලපානු ඇත . ( degradation)

අලගල්ල යනු ඉතා වටිනා කදුකර වනාන්තර සහ පතන බිම් මෙන්ම පහතරට වැසි වනාන්තර උප ලක්ෂණ දරණ බෑවුම් වන ගහන ඇති කදු වැටියකි.  මහා ඔය ආදි ගංගා වලට ජල පෝෂණය සපයන අතර පහල ඇති ජනාවාස සහ වානිජ මෙන්ම යැපුම් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල පෝෂණය සපයයි. 

ජෛව විවිධත්වයෙන් ඉතා අධික වනාන්තරයක් වූ මෙහි විවිධාකාර පාරිසරික නිකේතන දක්නට ලැබේ.. ලංකාවට ආවේණික මිරිදිය කකුලු විශේෂ, හූනන් විශේෂ සහ පක්ෂී විශේෂ දක්නට ලැබේ.  අතීතයේ මෙහි අග්‍ර විලෝපිකයන් ලෙස ලංකා කොටියා,  පිඹුරා සහ රාජාලියන් දක්නට ලැබුනද. මේ වන විට කොටියා මේ කදු වැටියෙන් තුරන්ව ගොසිනි. 

මේ අලගල්ල කදු වැටියේ ඇති ඉහත කී සුවිශේෂීතා නිසාම, මේ කදු වැටියේ හෙක්ටයාර 142.192 ක භූමි ප්රමාණයක් වන රක්ෂිතයක් ලෙස වර්ෂ 2013 ජනවාරි 7 වන දින ගැසට් කොට සංරක්ෂණය කොට ඇත. නැවත වරක් වර්ෂ 2024  අගෝස්තු 7 වන දින ගැසට් අංක 2396/48 යටතේ අලගල්ල රක්ෂිත වනාන්තරයේ සංරක්ෂිත තත්ත්වය සහ වපරිසරය උසස් කොට ඇත.

යම් ආගමික කණ්ඩායමකට වේවා, ඕනෑම සංවිධානාත්මක පිරිසකට, අලගල්ල වැනි ඉතාමත්ම සංවේදී කදුකර වනාන්තර පාරිසරික පද්ධතියක් විනාශ කිරීමට ඉඩ දීම හෝ අනුබල දීම මෙ රට වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත උල්ලංඝනය කිරීමක් වන අතර, මෙරට පොදු ජනතාවගේ සහ සතා සිවුපාවන්ගේ පවා පාරිසරික උරුමය කොල්ල කෑමකි.  

මේ සම්බන්ධව රජයේ අදාල දෙපාර්තමේන්තු වල, පරිසරවේදීන්ගේ,  මාධ්‍ය වේදීන්ගේ සහ වියතුන්ගේ අවධානය ඉක්මණින්ම යොමු වනු ඇතැයි බලාපොරොත්තු වෙමු..

එමෙන්ම,  එම භූමියට ක්ෂේත්‍ර චාරිකාවක් (a field visit) කොට සිදුව ඇති විනාශය, එහි ගොඩ ගසා තිබෙන මහා කසල තොගය,  ගිනි දැල්වීම් බලා ගන්නා ලෙස ද වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම කලින් අවස්ථා වල මෙහි කොට ඇති පුරා වස්තු කොල්ලයක් ගැන කසු කුසු ඇති බැවින් මේ අලුතෙන් කිරීමට යන්නේ කුමක්ද යන්නත්,  ඒ කවුරුන්ද යන්නත් සොයා බැලීම වටී..

අලගල්ල ආශ්‍රිතව සංරක්ෂණ අභියෝග ගැන සහ පාරිසරික සාක්යතා වාර්තා ( EIA) නොමැතිව ඉදිකරන ලද ආගමික ගොඩනැගිලි ගැන පුවත් පත් වාර්තාවක යොමුව පහත දක්වා ඇත. මේ පුවත්පත් වාර්තාවේ  වැදගත් සියලු තොරතුරු අඩංගු වේ .

https://www.sundaytimes.lk/200202/news/alagalla-has-the-rape-of-forest-reserve-begun-389959.html

අදාල ඡායරූප මේ සමග අමුණා ඇති අතර ඔබගේ කාරුණික අවධානය සහ විමර්ෂණය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

ස්තූතියි.

කීර්ති හේවාගොඩ පරිසර ක්රියාකාරී

whatsapp  0094 762974774

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress