අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (3 කොටස)
Posted on September 20th, 2025
චානක බණ්ඩාරගේ
කතරගම – ත්‍රිකුණාමල (කොළඹ හරහා) බසයේ මාගේ අසුන ලඟින් වාඩිවී ගිය තරුණිය බසය තේ බොන්න නැවැත්වූ වෙලේ සිසිල් බීම බෝතලයක් පමණක් අරගෙන මා සිටින මේසයේම පුටුවේ වාඩි විය. මාද සිසිල් බීම බෝතලයක් පමණක් බොන බව දුටු ඇය කථා කරමින්, ‘මමත් අයියේ කවදාවත් මේ හෝටලෙන් කන්නේ නැහැ. කාටද පුළුවන් මේ කෑම කන්න. තිබහා යන්න ඔය කූල් එකක් බීලා ආයේ බස් එකේ නගිනවා; නිකන් මොනවටද ජරාව කාලා ලෙඩ හදා ගන්නේ. මං සතියකට සැරයක් මේ පාරේ යනවා’කියා කිවා.
මා එම හෝටලයේ මුලුතැන් ගෙය මැදින් පිලිකන්නට ගියේ ටොයිලටයට යාමටය. හෝටලේ කෝකියා හෝ ඔහුගේ ගෝලයෙක් යයි සිතිය හැකි කොන්ඩය සහ රැවුල අපිළිවෙළට වවා ගත් නිරුවත් උඩුකයෙන් සහ කිළිටි සරං කඩමාල්ලක් ඉණට දවටාගෙන, දාඩියෙන් මුළු ගතම වෙලාගත් අයෙක් මට මෙසේ කෑගසන්නට විය – ‘හා හා, මේ පැත්තෙන් නෙමෙයි එළියෙන් යන්න, ඔහේලා ඔක්‌කොම මේ කුස්‌සිය මැදින් ගිහිං බිම ජරා කරාම?’ කියා මා දෙස ඔරවා බැලීය. ඇත්තටම ඒ මුළුතැන්ගෙයි මැදින් ගියාට එහි අලුතින් ජරා වෙන්නට දෙයක් තිබුනේ නැත. කැඩුණු කළු පැහැ ගැන්වුනු සිමෙන්ති පොළවම වතුර හැලී මඩ වී තිබු අතර තැන් තැන් වල අපිළිවෙලට කපා දාමා ඇති එළවළු වර්ගය. මේසය මත එකෙක් කිළටි දෑතින් කොත්තු සඳහා රොටි කපයි. තවකෙක් බිම දමාගෙන කුකුල්ලු හත් අට දෙනෙක් කුට්‌ටි කරමින් සිටී. ඔහු වටේ පූසෙක් සහ බල්ලෙක් කැරකුන අතර ඈතින් කාක්‌කන් කරෝ කරෝ ගා බොකු බඩවැල් තරඟෙට ඉල්ලමින් සිටියහ. තවත්, කාන්තාවක් පිළිකන්නේ හිඳගෙන කූඩයකට කුණු වෙච්ච ළුනු, හොඳ ළුනු වලින් තෝරමින් කුනුවෙච්ච ඒවා මිදුලට විසි කරමින් සිටියාය. මගීන්/සේවකයන් සඳහා වෙන්වුනු ටොයිලටයෙන් හමන දුගඳ නැතිකරන්නට හෝ ගාලා ඇවිලෙන රබර් දර ලිපෙන් සහ තේ වතුර බොයිලේරුවෙන් හමන දුම් ගඳට නම් කිසිසේත්ම නොහැකි විය. මා ‘ටොයිලට් යාම කල් දමමි’ යයි මටම කියා බසය තුලට ගොඩ වැදුනෙමි.
තංගල්ල – අනුරාධපුර බස් රූට් එකේ කෑම කන්න නවත්වන සමහර හෝටලවල ටොයිලට් නැත. ඇති ඒවායේ ඇත්තේ යාමට නොහැකි තත්ත්වයකි. එක් තේ බොන්න/කෑම කන්න නවත්වන මහා හෝටලයක වැසිකිලියට යන මාර්ගය එක දිගටම මඩ, පස් සහ මුත්‍රා වලින් පිරී තිබුණි. එහි බොහෝ විට සමහර වැසිකිලි වල මගීහු අපවිත්‍ර කර, එසේම තියෙන්නට හැර පිටව ගොස් තිබුනේ වතුර නැති කම නිසායි. මෙම වැසිකිලි වලින් හමන දුගඳ සෘජුවම කෑම කන අයටද බලපායි. වැසිකිලිවලින් පියඹා එන මැස්සෝ/නිල මැස්සෝ පසුව අවුත් කෑමට වහති. බොහෝ දෙනෙක් බත් මුලක්, පාන් බාගයක් හෝ රොටියක්, පැටිසක් කන්නේ සිත් සතුටෙන් නොවේ, හුදු බඩගින්න නිවා ගැනීමට පමණි.
මෙම රූටයේම (තංගල්ල – අනුරාධපුර ) තේ බොන්න, බත් කන්න අතරමග නවත්වන සමහර කඩවල තවත් ‘අමුතු වැඩ’ සිදුවෙන බව බස් මගියෙක් පවසා තිබුනා. ඒ අතර මගීන් සඳහා වැඩි මිලට මත්පැන් සැපයීම සහ වෙනත් දේ සඳහා කාමර පහසුකම් සොයා දීම වෙනවලු. මත්පැන් අලෙවියට ඔවුන්ට නිත්‍යානුකුල අවසර නැතත් හොර රහසේ ඒවා විකුණනවාලු. එක් ස්‌ථානයක ‘මත්පැන් පානය කිරීම තහනම්’ කියා පඩිපෙල අසල මේසය ලඟ උඩට නගින ඊතලයක් සහිත බෝර්ඩ් ලෑල්ලක් ගසා තිබුනාලු, නමුත්, එයින් ඉඟි කර ඇත්තේ එහි අරක්‌කු ඇති බවත්, ඒවා අවශ්‍ය අය උඩු මහලට යා යුතු බවත්ලූ.
පොළොන්නරුව පළාතේ මුව මස්, ගෝන මස්, මොණර මස්, ඉබි මස් වැනි දේ සුලබ බව අයෙක් අප සමඟ කීය. මස් සපයන්නෝ කවුද කියා ඇසුවාම කීවේ වන ජිවියේ අය තමයි කියායි.
රාජකාරි ඩබල් කැබ් වලින් මහ වනය ඇතුලේ රජයේ තුවක්කු වලින් කරන වැඩද මේ? රහසේ, වහා සොයා බැලිය යුතුයි. ඇල්ලුවොත්, ඇත්තනම්, හිරේ යවලත් මදි නේද?
පසුගිය කාලයේ පරාක්‍රම සමුද්‍රය එහා පැත්තේ, ඒ වගේම පහත දැක්වෙන වැව් වල ඉස්මත්තේ හැදුනු සුපිරි හෝටලවලට දේශපාලනඥයයෝ හෝ ඔවුන්ගේ ඥාතින් ද සමහරවිට සම්බන්ධ බව කවුරුත් දන්නවා. මේවායින් විශාල පරිසර හානි සිදු වුනා කියා කියනවා: අනුරාධපුරයේ නුවර වැව, කළාවැව, නාච්චියාදුව, තබ්බෝව, අග්බෝ, හම්බන්තොට රිදීයගම.
මෑත කාලයේ හැම වසරකම වගේ මිනිසුන් 25 – 100ට එහා මැරුණා නාය යාම් නිසා. මේ 21වෙනි ශත වර්ෂයේ කිසිසේත් නොවිය යුතු දෙයක්.
අපේ රටත්, පරිසරයත්, ජනතාවත් ගංවතුර, නාය යාම් වැනි අපදා වලින් නිදහස් කර ගැනීමට නම් රජය නිසි වැඩ පිළිවෙලක් සකස් කරලා; දැඩි නීති දාල අනවසරයෙන් පස් කපන (දේශපාලනඥයයෝ ඇතුළුව), ගල් කඩන, මැණික් ගරන, පහත් බිම් ගොඩ කරන, ගස් කපන මිනිසුන්ට අමතක නොවෙන දඬුවම් ලබා දිය යුතුයි. අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳව යස කථාවක් කළා පාර්ලිමේන්තුවේ, 2016 මැයි 25 වෙනිදා.
කළ යුතු යයි එදා කිවූ වැඩ කරන්න දැන් කාළය ඇවිල්ලා – බලය ලබා දීලා තියෙනවා.
සියළු සංවර්ධන යෝජනා ක්‍රම පරිසරයට, සොබා දහමට පමණක් නොව මානසික අධ්‍යාත්මයටත් එකඟව සිදුවිය යුතුයි. පහත් බිම් ගොඩ කරලා තට්ටු ගොඩනැගිලි හදනවා – ‘ලක්ෂරි’ මහල් නිවාස ඇතුළුව, හයිවේ කියලා වෙල් ගොඩකරලා පාරවල් හැදුවා. දැන් පොඩි වැස්සක් ආවත් ඒ වතුර ටික උරා ගන්න පොළොවක් නැහැ.
නුවර අධිවේගය නිසා කවදාවත් යට නොවුණු ගම්පහ නගරය දැන් ලොකු වැස්සකින් මුළුමනින්ම වාගේ යට වෙනවලු.
වැලිසර නාවික හමුදා කඳවුර ඉදිරිපිට තිබෙන පරාක්‍රම පාරේ නිවෙස් හිමියන් හමුවී බලන්න. කටුනායක අධිවේගය නිසා දැන් විශාල වැස්සක් වැස්සොත් ඒ අයගේ ගෙවල් වල වැඩිහිටියෙක්ගේ පපුව ලඟට වගේ වතුර පිරෙනවලු. ඉස්සර කිසි කරදරයක් තිබිලා නැහැ. මේ ප්‍රශ්න කියන්න/අහන්න කෙනෙක් නැහැ කියලයි ඒ අය කියන්නේ. රස්සාවට ගියත් කොයි වෙලෙත් බයෙන් ඉන්නේ වැහලා ගංවතුර ගෙට එයිද කියා එක් අහිංසක අම්මෙක් කිවා.
කඩුවෙල, ජා ඇල ප්‍රදේශ දැන් පොඩි වැස්සකටත් යට වෙන්නේ කටුනායක අධිවේගය උදෙසා මුතුරාජවෙල විශාල වශයෙන් විනාශ කිරීම නිසාලු.
යහපාලන කාලයේ දේශපාලුවෝ ගොස් මුතුරාජවෙල ප්‍රදේශ අල්ලා ගත් සැටි සැමට මතකයි.
නුවර අධිවේගයට කියා කඩවත සිට මිරීගම දක්වා බිහි කරනවා නව කොන්ක්‍රීට් වනාන්තරයක්.
එදා කෝච්චියෙන් නුවර යනකොට වේයන්ගොඩ සිට මීරීගම දක්වා දෙපැත්තේම තිබුන අති දර්ශනීය පරිසරය – අනන්තය දක්වා දිවෙන නිල්වන් අහස, අක්කර සිය ගණනින් පැතිරුණු කොළ පැහැති කුඹුරු යායවල්/කෙත් වතු, ලස්සන දිය දහරවල්, විවිධාකාර ගස් කොලන්, ජල ඇනිකට්, කුරුල්ලෝ, දිය කබරයෝ, තලගොයන්, මී හරක් වැනි සතුන්, වෙල් ඉපනැල්ලේ සරුංගල් යවන සහ වෙනත් නොයෙක් සෙල්ලම් කරන ළමුන්.
සාගර පලන්සුරියගේ (කේයස්) සුදෝ සුදු කවි පෙළේ තිබෙන්නේ එයාගේ ගම ගැන, ශ්‍රී ලංකාවේ සෑම ගමක්ම එහෙමයි.
නමුත් මෙවැනි මෙඝා ප්‍රොජෙක්ට් නිසා දැන් දකින්න ලැබෙන්නේ ඒ වටිනා පරිසරය විනාශ වී, අති දැවැන්ත කොන්ක්‍රීට් වනාන්තර බිහි වීමෙන් පවතින බවයි.
අර තිබුණු ලස්සන පරිසර දර්ශනය ක්‍රමයෙන් වැහෙමින් යනවා නිමක් නොදක්නා කොන්ක්‍රීට් පාලම්, දැවැන්ත පස් කඳු, නව රථ වාහන පාලම් වලට.
නුවර අධිවේගය නිමවූ පසු මොනතරම් පරිසර විනාශයක් මේ අති සුන්දර ප්‍රදේශ වලට සිදු වේවීද? වාහන ශබ්ධ, කළු දුම්, වාහන වලින් ඉවත්වන තෙල්, ඉන්ධන ….
අධිවේගයෙන් ලැබෙන ආර්ථික වාසිය මේ සිදු කරන පරිසර විනාශයෙන් වසා ගත හැකි වේද?
නැත.
විදේශ සංචාරකයෝ එන්නේ අපේ රටේ ලස්සන – තද කොළ පාට පරිසරය බලන්න. ඒ රටවල එය නැහැ.
කෝච්චියේ පාපුවරුවේ සිට ගෙන ගොස් දෙපැත්තෙන් වැදෙන සිහිල් සුළඟ, තෙත් කළාපයේ සීතල වැස්ස, කොළ පාට ස්වභාව ධර්මය ඔවුන් උපරිමව රසවිඳිනවා පමණක් නොවේ, ශ්‍රී ලංකාවටද නොමඳව ආදරය කරන්න පටන් ගන්නවා. ශ්‍රී ලංකාවේ ලස්සන මුළු ලොවටම ඔවුන් කියනවා.
කොන්ක්‍රීට් කඳු බලන්න නෙවී ඒ අය නුවරට යන දුම්රියට ගොඩ වෙන්නේ.
දැන් තියෙන නුවර පාර හැකි තරම් එක් පැත්තකට ලේන් 2ට (සමහර පැතිවල 3ට) පළල් කරලා මේ වැඩය කළා නම් පරිසරය පමණක් නොවේ ඉතා වටිනා කුඹුරු, අඹ, කොස්, කරාබු, සාදික්කා, ගම්මිරිස්, කෝපි, කොකෝවා වැනි වගා ඉඩම්, ඉතා වටිනා රබර්/පොල් වතු, දර්ශනීය/වටිනා ගෙවල් බේරා ගන්න තිබුනා.
දේශපාලකයෝ මේ රට කෑවා කියා ජනතාව කියන්නේ මේ නිසයි.
ඔවුන් බනින්නේ 225ට මයි, ජවිපෙත් ඇතුළුව.
පසු ගිය වසර 76 තුල ශ්‍රී ලංකාවේ ලස්සන අපි ක්‍රම ක්‍රමයෙන් මරා ගත්තා. ඉදිරීයේදී තවත් මරා ගනු ලබනු ඇත.
අන්තිමට අපටත්, ලෝකයටත් බලන්න කිසිවක් මේ රම්යභුමියේ ඉතුරු නොවනු ඇත. ලංකාවත් තවත් මැද පෙරදිගක් වැනි වේවි.
කොළඹ – මාතර, කොළඹ – කටුනායක, කොළඹ – නුවර අධිවේග කමක් නැත කියුවත් මාතර – හම්බන්තොට, නුවර – යාපනය වැනි මාර්ග අධිවේග තනන්න තරම් වාහන තදබදයක් තියෙන මාර්ග නොවෙයි.
මාතර සහ ඉන් එහා දක්වා දිවෙන දක්ෂිණ අධිවේගය නිසා ලෝක උරුමයක් වූ සිංහරාජ වනෝද්‍යානය දෙපලකින් දෙකඩ වූ බවයි වාර්තා වුනේ.
එක් ඇමතිවරයෙකුගේ ගෙදරට යන්න අවශ්‍ය නිසා මෙම අධිවේගයේ පිවිසුම් පොළක් (මාතර) වෙනස් කළාලු.
අනාගතයේදී හදන විවිධ නව අධිවේග මාර්ග නිසා උඩවලවේ වන උද්‍යානය, විතාරකන්ද, ලුණුගම්වෙහෙර, මදුනාගල, වීරවිල, නිමලව, බුන්දල, උස්සන්ගොඩ, කතරගම, යාල, බුද්ධන්ගල, උල්පස්ස, එගොඩයාය මහකන්දරාව, අනුරාධපුරය, මිහින්තලේ, රිටිගල, පල්ලෙකැලේ, සිගිරිය, මින්නේරිය, ගිරිතලේ, සෝමාවතිය, ඇලහැර, බකමුණ, කවුඩුල්ල, චුන්ඩිකුලම, විල්පත්තු, යෝධවැව, මුතුරාජවෙල, මඩු රක්ෂිතය, කලමැටිය, බිබිලේ නිල්ගල යන ප්‍රදේශ සහ ඒවාට අදාළ සහ අවට වනෝද්‍යාන සහ කැලෑ රක්‍ෂිතයන් තදබල ලෙස විනාශ වී යාමට ඉඩ ඇතැයි පරිසර විද්යාඥයයෝ අනතුරු අඟවත්.
යුද්ධයෙන් පස්සේ 2012 පමණ, යාල මැදින් නව පාරක් කපුවා B35; බුත්තල – කතරගම පාර කියා. යාල වනෝද්‍යානය නැති කරන අදහසින්ම කපපු පාරක්?
මේ පාරේ ගියොත් අනිවාර්යයෙන්ම අලි ඇතුන් පාර අයිනේ දක්නට ලැබෙනවා.
අධික වේගයෙන් යන වාහන නිසා වන ජීවීන් හැපී මැරෙනවා.
වල් අලීන් මේ මාර්ගයේ යන මිනිසුන්ගෙන් කෑම ඉල්ලා හිඟා කන්න පාර අද්දර හිට ගෙන සිටිනවා. අලින්ගේ බඩ ගින්න නිවීමට රජයේ පිළියම මෙයද?
මේ නව පාරේ අලින් වාහනවලට පහර දුන් අවස්ථා බොහෝයි.
මේ පාර නිසා ශ්‍රී ලංකාවේ වන ජීවි සම්පතට කරන ලද හානිය කියා නිම කල නොහැකියි.
පරිසරවේදීන්ගේ දැඩි විවේචනයට ලක්වුනත් විල්පත්තු වනෝද්‍යානය මැදින් පුත්තලම සිට මන්නාරම දක්වා මාර්ගය යළි විවෘත කරන බවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ සටනේදී මැතිවරණ ප්‍රතිඥ්යාවක් ලබාදී තිබුනා. ගරු සුප්‍රීම් උසාවියට ස්තුතිවන්ත වෙන්න කැපීමට නියමිත මෙම නව පාර පසුගිය මැයි මාසයේදී ස්ථිරව වැළකුනා. නැත්නම් තවත් මහා විශාල පරිසර/වන ජීවී විනාශයක් වෙන්න තිබුනේ.
බදුර්දීන් ද මතක් වෙනවා.
ශ්‍රී ලංකාව ඉතා පුංචි දිවයිනක් – වර්ග සැතැප්ම 25,0000 පමණයි. අධිවේග බොහෝ දුරට හරියන්නේ විශාල රටවලට.
අනෙක පැ කිමි 100 වේගයෙන් යන්න තරම් ශ්‍රී ලංකාව ලොකු රටක් නොවෙයි. අධිවේග නැතිව දැන් පැය 8 න් පමණ කොළඹ සිට යාපනයට යා හැකියි. ඒ හොඳටම ඇති.
අධිවේග භාවිතය ගැන අපේ මිනිසුන් දැනුවත් නැහැ. බොහෝ රිය අනතුරු සිදු කර ගන්නවා. අධිවේගයන් හී කී සියක් පසුගිය වසර 12 ඇතුලත අනතුරු වලින් මැරෙන්න ඇද්ද?
අධිවේගයේ වෙනත් වාහනයක් ඉස්සර කරන විට ඒ ඉස්සර කල වාහනයට ගොඩාක් ඉඩදී තමා තම වාහනය නැවත වම් පස ලේන් එකට දමා ගත යුත්තේ. බොහෝ දෙනෙක් ඉස්සර කල විගසම මෙය කරනවා; ඉතිං හැප්පෙනවා. මන්ද, පසු පසින් එන වාහනය එන්නේත් ඉතා වේගයෙන් නිසා. ඒ අයට සැලකිය යුතු ඉඩක් දිය යුතුයි.
ඔය මෙගා ප්‍රොජෙක්ට් නෙවෙයි, දුප්පත් මිනිස්සුන්ට අඩු පොලියට මය්ක්‍රෝ ලෝන් දෙන ක්‍රමයක් දිවයින පුරා පුළුල් ලෙස ව්‍යාප්ත කළ යුතුයි. විශේෂයෙන්ම, කාන්තාවන්ට ස්වයං රැකියා පටන් ගැනීමට වැනි. ඒ අයට මහන මැෂිමක්, සිල්ලර කඩයක්, මාළු ලැල්ලක් දාගන්න පොලී නැති හෝ අඩුම අඩු පොලි ණය ක්‍රමයක් හොඳට හැදුවොත් (බැංකු ලියාපදිංචි ගාස්තු/ගෙවීම් ආදියත් නැතුව), ඒ අය කාටවත් බරක් නොවෙන විදියට ජිවත් වේවි. ගත්තු ණය පොලියත් සමඟ අන්තිම සතේට ගෙවාවී. රට බලා ඉන්දිද්දී දියුණු වේවි.
බංග්ලාදේශයෙන් (අපේ මුතුන් මිත්තන් ආ රට (විජය කුමාරයා) හඳුන්වා දුන්, ග්‍රාමීන් බෑන්ක් සංකල්පය ලොව හොඳම මය්ක්‍රෝ ක්‍රෙඩිට් ව්‍යාපෘතියයි. ලංකාව දියුණු කිරීමට නම් රටට ඔබින්නේත් ඒ සංකල්පයයි. ග්‍රාමීන් බෑන්ක් නිර්මාතෘ, යුනුස්, මහතා අද බංග්ලාදේශයේ නායකයා.
සමෘද්ධි/සණස ග්‍රාමීය බැංකු ඉතා හොඳයි. නමුත් මහා පරිමාණයෙන්, පුළුල් වශයෙන් ව්‍යාප්ත වී නැහැ. එය එසේ විය යුත්තක්.
වටිනා කෑලෑ කපා කුඹුරු/වතුපිටි යට කර, වනජීවි දහන් විනාශ කර, පරිසර දුෂණය උපරිම කර, ලෝකෙටම ණය වී හදන අධිවේග වලින් ප්‍රයෝජන ගන්නේ රටේ 25% පමණ වන ජනගහනයක්. ශ්‍රී ලංකාවේ අධිවේග සැදීමට යන මුදල ඇමරිකාවේ ඒවා හදන්න යන මුදල හා සමානලු.
කටුනායක අධිවේගය විවෘත කරන දවස්වල පාරේ තියා කිරිබත් කපා, දන්සැලක් කල අහිංසක මිනිහෙක් හම්බුනා වසන්ත කියලා. සරදියෙල්ගේ නෑයෙක්. ඒ දවස්වල මිනිහාගේ සතුට ඉහ වහා ගිහිල්ලා. ලඟදි මිනිහාව හම්බුවෙලා ඇහුවා ‘කී සැරයක් අධිවේගේ පාවිච්චි කලාද’ කියලා, මිනිහා කියනවා ‘එක සැරයක් වත් නෑ සර්. මගේ මෝටර් සයිකලේට, මං යන සාමාන්‍ය බස් එකට අධිවේගේ තහනම්’ කියලා.
අධිවේග තිබුනට වැඩක් තියෙනවද හයි ලෙවල්, ගාලු, මීගමු පාරවල තවමත් අතුරැ සිදුරු නැතුව වාහන. කොළඹ සිට මීගමුවේ කොච්චිකඩේට මීගමු පාරේ රෑක මෝටර් රථයෙන් යන්න පැය 3ක් ඉක්මුනා පසුගිය දෙසැම්බරයේදී.
අනෙක, කොළඹදී දක්ෂිණ, කටුනායක අධිවේග මාර්ග පිවිසුම් කරා ලඟා වෙන්න බොහෝ වෙලාවක් යනවා, අධික ඉන්ධන වැය වීමක් සිදු වෙනවා. උදා: බොරැල්ල ඉඳලා – කොට්ටාව හෝ අතුරුගිරිය පිවිසුම්වලට යන්න විනාඩි 75 – 90 විතර යනවා. ඉදින්, ගාල්ලට යන කෙනෙකුට පැය ½ක – විනාඩි 45 පමණ වාසියක් තමා අන්තිමට තියෙන්නේ.
අධිවේග භාවිතය විශාල ලෙසින් අඩු වෙලා බව වාර්තා වෙනවා, මිනිසුන්ට ඒ ගාස්තුව ගෙවන්න තියෙන අපහසුතාවය නිසා වෙන්න ඇති. රෑට වාහන නැතිම තරම්. අධිවේග වල උපරිම වේගය අඩු කරලා (පැ කිමි 70 – 80 පමණ) ඒවායේ සැමට යන්න සලස්වන්න ඕන. ඉන්ටර් සිටි බස්, මෝටර් ස්යිකල්/ස්කූටර්, ත්‍රි වීලර් භාවිතයට ඉඩ දිය යුතුයි (සෙමින් යන කන්ටේනර් ට්‍රක් රථ වලට යන්න දෙනවා නම් ඇයි මේවාට යන්න බැරි?).
අධිවේගවල සෑම විටම රථවාහන ගමන් කල යුතුයි (24/7) – ඉඳ හිට නොවේ.
අධිවේගවල ට්‍රැෆික් ලයිට් නොමැති නිසා සැමට නොනැවතී ඉක්මනට යන්න පුළුවන්. ඒ වාසිය මේ රටේ සෑම වාහන හිමියෙකුටම/බස් මගියෙකුටම හිමි විය යුතුයි.
අධි වේග හදන්න ගත්ත ණය ගෙවන්නේ ඒ පාරවල වේගයෙන් රථවාහන පදවන අය පමණක් නොවෙයි, මුළු රටේම ජනතාව.
අධිවේග සැමට විවෘත කිරීමෙන් ඒ ‘දුප්පත්’ මිනිස්සුන්ටත් මහඟු ප්‍රයෝජනයක් ලැබෙනවා පමණක් නොව, රජයට ලැබෙන ආදායමත් ඉතා විශාල ලෙස ඉහල යනවා.
මේවාගේ තීරණ ගන්න පුළුවන් නිර්භීත රජයකට පමණයි.
ලෝකයේ සමහර රටවල් තියෙනවා මාස ගණන්, සමහරවිට අවුරුදු ගණන් වහින්නේ නැති. නමුත් අපේ මේ පින්බර රට අධි වර්ෂාව ලැබෙන රටක්. තෙත් කලාපයට ලැබෙන වර්ෂාව ලෝකයේ ඉහලම වර්ෂා පතනයක්. සමහර විට සති මාස ගණන් අහස කඩා වැටෙන්න වහිනවා. නමුත් ඊට මාස කිහිපයකට පස්සේ නියන් කාලය අවාහම කුඹුරු මැරෙනවා, වතුර/ලයට් කපනවා කියනවා.
මේ අපට ලැබෙන මහා වැසි ජල කඳ වියලි කාලයේ ප්‍රයෝජනයට ගැනීමට සුරක්ෂා කර ගත යුතුයි. අලුතින් වැව්, ජලාශ, පොකුණු හදා ගන්න ඕන; වැඩි වතුර බැහැලා යන මනා ක්‍රම වේද සමඟ. කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල උනත් එහම කලොත් කොච්චර අමතර සිසිලසකුත් ලැබේවීද?
දියුණු රටවල හැම ගෙදරකම වැසි ජලය ගබඩා කරන ටැංකි තියෙනවා. ඒ ජලය වත්තේ වැඩවලට, ලෝන්ඩ්රි, වාහනය සෝදන්න වගේ දේවලට පාවිච්චි කරනවා. වැස්ස අඩු ඕස්ත්‍රේලියාවේ සමහර ගෙවල් වල ලීටර් 2000, 5000, 10,000 වගේ ලොකු වැසි ජල ටැංකි තියෙනවා, මෝටර සවී කරපු.
ලෝකයේ වියලිම මහාද්වීපය වන ඕස්ත්‍රේලියාවේ සමහර ප්‍රදේශවලට අවුරුද්දකට වත් වහින්නේ නැහැ. වැස්ස නැතුව වගාවන් පාලු වෙලා, මිනිස්සු අතහැර දමා ගිය ප්‍රදේශ තියෙනවා. බුද්ධිමත්ව වැඩ කරන රටක් නිසා මරේ – ඩාර්ලින් ගංගාව, වැස්ස නැතත් ඒ අය මරා නොගෙන රැක ගත්තා. ඒ අය එය සජීවීව තියාගෙන තියෙනවා; තදබල නීති පැනවීම සහ ඒවා අකුරට ක්‍රියාත්මක කිරීම මඟින්.
වැව් වල වතුර අඩු කාලෙට අපට තියෙන ඒ අගනා වැව්වල රොන්මඩ ඉවත් කරලා, බැකෝ වලින් හොඳට හාරලා, හොඳට වැව් බැමි බැඳලා, ඇල වේලි හරියට හදා ගෙන, අපේ වාරි පද්ධතිය හදා ගන්නවා නම් ඔය වාන් දානවා කියලා මහා ජල කඳන් පාරවල්, ඉඩම්, පැසුණු කුඹුරු හරහා ඉවත් කිරීම නතර කරන්න පුළුවන්. අහසින් ලැබෙන සෑම දිය බිංදුවක්ම සංරක්ෂණය කර ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ජවිපෙ සහෝදරවරු 2000 ගණන්වලදී ආණ්ඩුවේ කොටසක්ව ඉන්න කාලේ මේ පිළිබඳව හොඳට වැඩ කළා, විශේෂයෙන්ම රජරට ප්‍රදේශවල.
නිතරම වාන් දමන වැව් වඩා විශාල කර, දැනට තිබෙනවාට වඩා දෙගුණයක් උනත් විශාල කර ගන්න බලන්න ඕන. පුද්ගලීක ඉඩම් උනත් මේ සඳහා පවරා ගන්න වෙනව නම් කරන්න දෙයක් නැහැ. රජ කාලේ විශාල වැව් හැදුවා නම් මිනිස් ශ්‍රමයෙන් නවීන යන්ත්‍ර සුත්‍ර තිබෙන මේ කාලයේ ඕවා සුළු දේවල්.
වටිනා වැහි වතුර ගලා ගෙන යාමට වැව්වල වාන් දොරටු ඇරලා දානවනම්, ඒ වැව් වලින් ඇති පලය කීම? ගංවතුර ඉවරවෙලා, ආයි මාස 3-4 කින් වැව් හිඳිලා, නියං ආවා කියලා කෑ මොර දෙන්නෙත් අපිම නේද?
ගංවතුර කාලෙට ඒ ප්‍රදේශවල ටොයිලට් වලවල් බොහොමයක් උතුරා යනවා. මෙයින් සිදුවෙන අයහපත් සෞඛ්‍යාරක්ෂණය අති මහත්. කොළඹට නැතත් බොහෝ ප්‍රධාන නගරවලට මේ ප්‍රශ්ණය තදින්ම බලපානවා. ඩ්රේනේජ් මළාපවාහන පද්ධතියක තියෙන වටිනාකම මෙයින් පැහැදිලි වෙනවා (කොළඹ සහ යාපනයේ පමණක් තියෙනවා).
ගං වතුර තත්වයන්ගෙන් පසු එය බලපෑ ප‍්‍රදේශවල විශාල වශයෙන් තැන තැන කැලි කසල එක් රැස් වී තිබෙනවා. තදින් දුගඳ පැතිරෙනවා. මේ හේතුවෙන් එම ප‍්‍රදේශයන් මිහිපිට අපායන් බවට පත් වෙනවා. ඉතාම දැඩි දුර්ගන්ධයක් හමා යනවා. මිනිසුන් විශේෂයෙන්ම වයෝවෘධ අය සහ කුඩා ළමුන් ලෙඩ වෙන්න පුළුවන්.
ගංවතුර/නාය යාම් නිසා විනාශ වෙන්නේ ඒ ගෙදර තිබුන ඇඳන්, මෙට්ට, tv, ෆ්‍රිජ්, රය්ස් කුකර්, වොෂින් මෙෂින්, වාහන, මහන මැෂින්, පොත් පත්, ලිපි ලේඛන, සහතික පත්, ෆොටෝ ඇල්බම් පමණක් නොවේ, ඒ පවුලේ අයගේ ‘ආත්මයමත්’ ඒ සමඟ විනාශ වෙනවා. ගංවතුර/නාය යාම් පිඩාවෙන් අත් විඳී කෙනෙක් තමා දන්නේ මොන තරම් දුකක්ද, සාපයක්ද ගංවතුර අරන් එන්නේ කියා.
නගරවල පාරවල්, කඩ සාප්පු, බස්/කෝච්චි නැවතුම් පල වල් අපිරිසිඳු, අපවිත්‍ර නම් අපට ඒ ප්‍රදේශ සංචාරක පාරාදීස බවට පත් කරන්න බැහැ. කවුරුත් කැමති පිරිසිඳු, ලස්සණ පරිසරයකට යන්න.
අද ලෝක සංචාරක කර්මාන්තය ඉතාම තරඟකාරියි. ලොව රටවල් 200ක් පමණ තම රටට සංචාරකයන් ඇද්ද ගැනීමට කල හැකි බොහෝ දේ කරනවා. අනිත් රටවලට යන සංචාරකයන් ශ්‍රී ලංකාවට කඩලා ගන්න නම් අපේ යටිතල පහසුකම්, පිරිසිඳු කම මීට වඩා බොහෝ ගුණාත්මයෙන් වැඩි වෙන්න ඕන.
ශ්‍රී ලංකාවට එන බොහෝ හොඳ රටවල සංචාරකයන්ට ඔන් අරයිවල් විසා දුන්නාට කමක් නැහැ, හැබැයි ඉන්දියාව, පකිස්තානය, මාල දිවයින, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, මියන්මාරය වැනි රටවල් ගැන අපි කල්පනාකාරී වෙන්න ඕන.
ඔන් අරයිවල් විසා කල්ල්තෝනීන්ටට අත් වැළක් වේද?
ඔන් අරයිවල් විසා එක නොමිලේ දෙන එකයි තේරුම් ගන්න බැරි. සමහර විදේශිකයෝ එනවා බනිස් ගෙඩිය කා ප්ලේන් ටී එක බී ඉන්න අය. යන්නේ පාරේ බස් එකේ. බැලුවහම, සති දෙකක් හිටියොත් ඩොලර් 500වත් වියදම් කරලා නැහැ. දේශීය සංචාරකයෝ ඊට වඩා වියදම් කරනවා.
අඩුම වශයෙන් ඩොලර් 50ක් වත් අය කරන්න ඕන සෑම විදෙස් සංචාරකයෙක් ගෙන්ම ශ්‍රී ලංකා වීසාව ලබා ගැනීම සඳහා. හැමදේම පිනට දෙන්න බැහැ.
එන කෙනා කොහොමත් එනවා, ඩොලර් 50 රටට ලොකු, විශාල ආදායම් මාර්ගයක්.
ඕන නම් SAAC රටවලට ඩොලර් 35 කරන්න පුළුවන්.
සංචාරකයෝ මේ රටේදී ගෙවපු VAT බද්ද එයා පෝට් එකේදී ආපසු ඒ අයට ගෙවනවා.
ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් රුපියල් 2000ට කටුනායකින් නිකුත් කරනවා.
මේ රජයේ පිස්සුම පිස්සු වැඩ.
පළපුරුද්දද නැති කම.
මෙහෙම කරලා රටේ ආදායම වැඩි කරගන්නේ කොහොමද?
රනිල් වික්‍රමසිංහ මහතා සංචාරකයෙක් ගෙන් ඩොලර් 75 වැනි මුදලක් ගන්න වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න හැදුවා – හොඳ වැඩක් හැබැයි බැරි වුනා. ඒ ක්‍රම වේදයේ වංචා දුෂණ තිබුන බවත් පැහැදිලිවම පෙනෙන්නට තිබුනා – මුජිබර් මන්ත්‍රීතුමා පැහැදිලිව එය විග්‍රහ කළා.
ලක්ෂ සංඛ්‍යාත ගණනින් විදේශ සංචාරකයන් මේ රටට ගෙන්වා ගැනීමට නම්, වරක් පැමිණි සංචාරකයන් නැවත නැවතත් ගෙන්වා ගත යුතුයි. අපේ ප්‍රධාන නගර වල පිරිසිඳු බව, ආපන ශාලා, වැසිකිලි වැනි පොදු පහසුකම්, මගී ප්‍රවාහන සේවා මීට වඩා බොහෝ දියුණු විය යුතුයි.
කොළඹ සහ වෙනත් ප්‍රසිද්ධ නගරවල තිබෙන ගරා වැටුණු සහ අබලන්වූ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර තීන්ත ගා නව එළියක් ලබා දෙනමෙන් ඒ ගොඩනැගිලි අයිතිකාරයන්ගෙන් රජයන් ඉල්වා සිටින්න ඕන.
අධික වැස්ස සමයක, නගරවල පාරවල්, කඩ සාප්පු, බස්/කෝච්චි නැවතුම් පල වල් අපිරිසිඳු, අපවිත්‍ර නම් අපට ඒ ප්‍රදේශ සංචාරක පාරාදීස බවට පත් කරන්න බැහැ. කවුරුත් කැමති පිරිසිඳු, ලස්සණ පරිසරයකට යන්න.
කොළඹ සහ වෙනත් ප්‍රධාන නගරවල හොඳ, පිරිසිඳු වැසිකිලි පද්ධති ගොඩ නැගුනා ගොටාභය මහතා ආරක්ෂක ලේකම් කාලේ (2010 – 2015). ඉතාම හොඳ දෙයක් එතුමා කළේ.
රුපියල් 20ක් වගේ මුදලක් දෙන්න වෙන උනත් එවැනි පහසුකම් ඇති කිරීම ඉතා වැදගත්. හිඟන්නෝ වගේ දුප්පත් මිනිස්සුන්ට නිකං ප්‍රසිද්ධ වැසිකිලි පාවිච්චි කිරීමට වවුචර් ක්‍රමයක් හදන්න ඕන, නැත්නම් ඔවුන් නගර කිලුටු කරනවාමයි. ස්වභාව ධර්මයාගෙන් එන අවශ්‍යතා මිනිසුන්ට තියෙන බව රජයන් අවබෝධ කර ගැනීම හොඳයි.
සමහර නගර තාම තියෙනවා එකම පොදු වැසිකිලියක්වත් නැහැ. මිනිසුන් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නේ කෙසේද, විශේෂයෙන්ම කාන්තාවන්? සමහර පොදු වැසිකිලි තිබෙන බව මිනිස්සු දන්නෙවත් නැහැ, අදාළ සඥ්යා, නාමපුවරු සවි කර නැති නිසා.
රුපියල් 50ක් අයකරන සමහර පොදු වැසිකිලි තියෙනවා – අනුරාධපුරයේ දුම්රිය ස්ථානය උදාහරණයක්. එම ගණන වැඩියි. විවෙකාගාරයත් පාවිච්චි කරන අයට නම් ඒ ගණන කමක් නැහැ.
පොදු වැසිකිලි ඉතා ඉක්මනින් අපිරිසිඳු වෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල බහුල වතුර භාවිතය නිසා. ඒවාට වැසිකිළි බලා ගන්නන් පත් කල යුතුයි.
බොහෝ දුරස්ථ කෝච්චි වල වැසිකිලි පහසුකම් තියෙනවා. නමුත් මගීන් සතුටින් වැසිකිලි පාවිච්චි කරන්නේ ඒවා පිරිසිඳු නම් පමණි. උදාහරණයක් වශයෙන් කොළඹ – යාපනය ඉන්ටර්සිටි දුම්රිය – වැසිකිලි පහසුකම් ඉතා හොඳයි. නමුත්, සවස 430ට පමණ කොළඹින් පිටත්වෙන උඩරට මැණිකේ, කොළඹ – නුවර. දුම්රියේ නම් වැසිකිලි අන්තිමයි, මිනිස්සු ඒවාට යනවත් ඉතා අඩුයි.
සවස 730ට කොළඹ කොටුවෙන් පිටත්වෙනවා ගාල්ලට සිග්‍රඝාමී දුම්රියක් – සමුද්‍ර දේවී, රාත්‍රී තැපැල් දුම්රිය. මෙම දුම්රිය ගැන කළිනුත් සඳහන් කර ඇත.
පිරිසිඳු කමින් නම් අන්තිම දුම්රියකි එය. වැසිකිලි ළඟ අසුනක් ගෙන දිගටම ගාල්ල බලා ගියොත් ඒ මගියා රෝගියෙක් වේවි. ඒ දුම්රියේ සමහර අඳුරු මැදිරිවල ඇති මලකඩ කාපු ජනෙල් හරියට ඇර ගන්න වත් බැහැ.
යාපනයට කෝච්චියෙන් කිහිප වරක් ගියා. එහි ශබ්ධ විකාශනයෙන්, සිංහලෙන්, කෝච්චිය පැමිණී බව නම් කීවේ නැහැ. හැබැයි බෙලිඅත්තෙත් දෙමළෙන් කියනවා.
සීගිරිය මොන තරම් විශ්මිතද? සමහරු කියනවා ලොව 8වෙනි පුදුමය කියලා. මේ තරම් වැදගත් නිර්මාණයක් අප රැක ගන්නවා මදි; මුළු ලොවටම කියන්න ඕන සිගිරිය ගැන.
සීගිරියේ බඹර ප්‍රශ්නය විසඳා ඇති බව පෙනේ, මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට මල් මිටක්.
අධික වැස්ස සමයක, මෑත කාලයකදී, සීගිරියේ වතුර මල් (water fountains) ඉහලටම අහසේ නැඟ ක්‍රියාත්මක උනා කියා අප හිත මිත්‍ර ඕස්ත්‍රේලියාවේ පිලිප් ඇඩම්ස් මාධ්‍යවේදී තුමාව දැනුවත් කළා. ඔහු එය ABC රූපවාහිණියට අභිමානවත්ව පැවසුවා.
අවුරුදු 1,500කටත් පස්සේ ක්‍රියාත්මක වන වතුර මල්. ලෝකයේ වෙන කොහෙද තියෙන්නේ?
ඉතා හොඳට පොලිෂ් කරපු, කාශ්‍යප රජුගේ මුහුණ බලන ගල් කන්නාඩිය තවම තියෙනවා සීගිරියේ.
සීගිරියේ ගල මුදුනටත් එදා අප වතුර ගත්තා. අද, අපට ඉතා අගනා, වටිනා, වැහි වතුර ටික පාලනය කර ගන්න බැරිව, පරිස්සම් කර ගන්න බැරිව ඒවා කුඹුරු උඩින්, පාරවල් දිගේ, පුද්ගලික ඉඩම් උඩින් මහා පරිමාණයෙන් වාන් යවනවා.
එදා අනුරාධපුර රාජධානි සමයේ (මීට අවුරුදු 2500ට පමණ පෙර – බටහිර ශිෂ්ටාචාරයන් කොළ අතු වගේ ඇඳගෙන ගල් ගුහාවල සිටි අවධියේ), අපේ නිවෙස්වල ජල මුධ්‍රිත වැසිකිලි තිබුනා, නිවෙස්වල නාන්න වතුර මල් තිබුනා.
පණ්ඩුකාභය/දේවානම් පෑ තිස් රජ සමයන්වල ශ්‍රේෂ්ට අනුරාධපුර නගරය දිනපතා ජල බට මගින් සේවකයින් පැමිණ දිවා රාත්‍රී පවිත්‍ර කළා. යම් තරමින් වීදී ආලෝක පවා තියෙලා තියෙනවා.
පිරමිඩ් වලටත් වඩා උසයි අපේ සමහර ඉපැරණි චෛත්‍යයන්. මේවා ගැන, අපේ ඉපැරණි, උසස් ශිෂ්ටාචාරය ගැන ලෝ වැසියන් දන්නවා මදි.
අපේ අනුරාධපුර ශිෂ්ටාචාරය, හය්ද්‍රෝලික් වාරිමාර්ග තාක්ෂනය, පොළොන්නරුවේ ගල් විහාරය සහ අනෙක් නටඹුන් විශේෂයෙන්ම වටදාගේ, අවුකන සහ සමාධි බුදු පිළිම, විවිධ අගනා පොකුණු, මිසරයේ පිරමිඩ් ශිෂ්ටාචාරයටත් වඩා උසස් සහ දියුණුයි. මේවා ජාත්‍යාන්තරව මිට වඩා ‘මාර්කට්’ කරන්න ඕන. මුළු ලොවම ඇවිල්ලා මේවා බලන්න ඕන. ලෝවැසියන් පුදුමයෙන් පුදුමයට පත් වේවි.
මිගමුවට කියන්නේ පුංචි රෝමය කියලා. සංචාරක පාරාදීසයක් කරන්න පුළුවන් ප්‍රදේශයක්. ලුවිස් ප්ලේස් අවට ප්‍රදේශයේ ඇති කැතිද්‍රල් වැනි දැවැන්ත කතෝලික පල්ලි දකින සංචාරකයන් විශ්මිත වෙනවා. මේවා ලොව පුරා දැන ගන්න සලස්වන්න ඕන.
මිගමුව කලපුව, ලෙල්ලම පැත්තේ ගිහිල්ල බලන්න. පාලම උඩ වැනි තැන් කුණු ගඳ ගහන ප්‍රදේශ. යාපනයේ කලපුව ඉතා හොඳින් නඩත්තු කර තිබෙනවා. කුණු පොදක් නැහැ.
තිතක් වැනි පුංචි ලංකාව ඇමරිකාව, චීනය , ඉන්දියාව, රුසියාව, UK, යුරෝපය හෝ ලෝකයේ වෙනත් කිසිම රටක ගැත්තෙක් නොවී සියලු රටවල් සමඟ සාමයෙන්, සහයෝගයෙන් සතුටින් සිට සැමගෙන් උදව් ගෙන, අපේ ආර්ථිකය සහ පරිසරය හදා ගන්න ඕනේ.
ඇමරිකාව, එංගලන්තය, රුසියාව, යුරෝපය මේ සෑම රටකම කිල්ලෝටවල හුණු තියෙනවා. ඕවා අපට හදන්න/ඉවත් කරන්න බැහැ. අපට විරුද්ධව ආ ජාත්‍යාන්තර කුමන්ත්‍රණ නවත්තා ගන්නේ නැතුව ඒවා අවුල් කරගත්තේ අපිමයි.
මෑත කාලයේ හොඳටම, උපරිම මානව හිමිකම් සහිතව යුද්ධය කර එය කදිමට, ශිෂ්ට සම්පන්නව අවසන් කල ලොව එකම රට අපයි. නමුත්, ඒ බව ‘මාර්කට්’ කර ගන්න බැරි වෙලා නිකං පරිප්පු කනවා අදටත් මුළු රටම.
මතු සම්බන්ධයි ……