අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (4 කොටස)
Posted on September 24th, 2025
චානක බණ්ඩාරගේ
කෙසෙල් වගා කරන්න කියා සෝමාවතිය මහා වනයේ අක්කර දහස් ගානක තට්ටේ ගෑවාලු, පස්සේ කරන්න බැරිවෙලා හකුලාගෙන ගිහිල්ලා. හැබැයි විනාශය කරලා ඉවර උනාට පස්සේ. රටේ ප්‍රසිද්ධ අය සම්බන්ධ වෙලා තියෙනවා වැඩේට.
වනයක් මැදින් රථ වාහන යන ප්‍රධාන පාරක් (බස් පවා යන) කපනවා කියන්නේ යම් දිනක ඒ වනයේ අවසානයයි. විල්පත්තුවෙත්, යාලේත් පවා මේ දේවල් පසුගිය දා කරලා තියෙනවා.
ලෝක උරුමයක් වන සිංහරාජ මහා වනය දෙකඩ කරමින් අඩි 28ක් පළල මාර්ගයක් මැදින් ඉදි කිරීමට 2013 දී රජය අවසර දී තිබුනා.
ඊට පසු, 2020, රටේ වූ පාලානාධිකාරිය උග්‍ර මහජන විරෝධය නොසළකා සිංහරාජයට තදබල ලෙස හානි වෙන කිමි 11ක පාරක් කැපුවා ලංකාගමට බස් රථයක් ධාවනය කිරීමටය කියා. නමුත් මෙම පාර කැපීමේ ඔවුනගේ සැඟවුණු අරමුණ වුයේ සිංහරාජය තුල අනවසරයෙන් ඉදි කරන ලද ඒ අයගේ පවුලේ හෝටලයක් සඳහායි.
එම හෝටලය අරගලය අවසාන කාලයේදී ගිනිබත් ව විනාශ වුනා.
1970දී තුනී ලෑලි සංස්ථාව බිහි කරන්න ලෑලි ගන්න සිංහරාජයේ හෙක්ටයාර් 2,000 පමණ ඩෝසර් කරලා තියෙනවා. අවුරුදු 100 වඩා පරණ ගස් කපලා තිබෙන්නේ.
අද සිංහරාජයට ඇත්තේ හෙක්ටයාර් 11,000 පමණ භූමියක්.
නකල්ස් ලෝක උරුම වනාන්තරය තුල අනවසරයෙන් ලොකු ගස් කැපීම නිසා ගිං ගඟට, මා ඔයට හා කරඹකැටියේ ජල මුලාශ්‍රවලට දැඩි හානි සිදු වී තිබෙනවා. කැන්ද,ඇකේසියා, මාර,ලුණු ම්දෙල්ල වැනි ඇතැම් ගස් වට අඩි 10-12ට වඩා වැඩියි. මේවාද අවුරුදු 100ට වඩා පැරණි ගස් විය හැකි නොවේද?
නකල්ස් ලෝක උරුම වනාන්තරය තුල කොළඹ සල්ලි කාරයෝ නිවාඩු නිවාස තනාගෙනලු. සමහරක්, කළු සල්ලි කියලයි කියන්නේ.
රාගම යනු ප්‍රධාන රෝහලක්, කාර්ය බහුල දුම්රිය පොලක් තිබෙන බස්නාහිර පළාතේ තිබෙන අවලස්සනම, අපිරිසිඳුම නගරයක්.
වැඩිය අවශ්‍ය නැහැ රාගම නගරයේ, හොරපේ පාරේ දුම්රිය පාලම යට තියෙන කැළිකසළ, ඉටි අපද්‍රව්‍ය, යෝගට් කෝප්ප,. ලොරි ගණනින් ගොඩ ගැසී තිබෙන හැටි බලන්න.
පරිසරය සුරැකීම, පරිසරය පිරිසිඳුව සහ ලක්ෂණට තබා ගැනීමේ වැඩ; රජයකට සෑම දෙයක්ම කරන්න අමාරුයි. පොදු මහ ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව හවුල් කර ගත යුතුයි.
උදාහරණයක් වශයෙන් පවත්නා රජයක ප්‍රබල ඇමතිවරයෙක් කොළඹ නගරයේ ව්‍යාපාරික ප්‍රජාව පුද්ගලිවකම ඔවුන්ගේ ප්‍රදේශවලට ගොස් හමුවී ඔවුන්ගේ වියදමින්, ඔවුන්ගේ ව්‍යාපාරික ගොඩනැගිලි පිළිසකර කර, තීන්ත ආලේප කිරීම වැනි දේ කර, ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානය සහ අවට පරිසරය/මාර්ග වටරවුම් ආදිය පිරිසිඳුව සහ දර්ශනියව තබා ගැනීමට උදව් වෙන ලෙස ඉල්වා සිටියොත් ඒ අය එම ඉල්ලීම ඉතා සතුටින් භාර ගත්නවා පමණක් නොව කියු පරිදිම කටයුතු කරනු ඇත. මේ සඳහා අදාළ ඇමතිවරයා ඉතා කැපවීමෙන් කටයුතු කල යුතු අතර ව්‍යාපාරික ප්‍රජාව පිළිගත්, ඔවුන්ගේ විශ්වාසය දිනු කෙනෙක් විය යුතුයි. මේ සිද්ධාන්තය අනිත් ප්‍රධාන නගරවලටද ආදේශ කල හැකියි.
R ප්‍රේමදාස මහතා කොළඹ නගරයේ අස්සක් මුල්ලක් නෑරම ගොස් සොයා බැලුවා. කොළඹට ගුවන් පාලම් (overhead bridges) හඳුන්වා දුන්නේ එතුමා.
ඔහුගේ පුතා?
ඉතාම කාරුණික, අතිශයින් වැදගත්, අවංක, බුද්ධිමත්, බොහෝ ඇසු පිරු තැන් ඇති කෙනෙක්.
ඒත්, තාත්තාගේ ලඟින් තියන්න වත් බැහැ.
තාත්තා මෙන් අති දක්ෂ වැඩකාරයෙක් බව, දුප්පතුන්ගේ සැබෑ හිතවතෙක් බව තවම රටට ඔප්පු කර පෙන්වා නැහැ.
එසේ පෙන්වීමට ඔහුට මහඟු අවස්ථා උදා වුනෙත් නැහැ.
එදා 1980 ගණන් වල ‘ගම්උදා’ මඟින් වරිච්චි/කටු මැටි ගහපු අයට ඒ අයගේ ඉඩමේම අලුත් ගෙවල් සාදා දුන්නා; ඉඩම් නැති අයට ‘උදාගම්’ මඟින් නිවාස ලැබුනා. ඒවා එදාට හොඳයි. ඒ ක්‍රමය 21 වෙනි සියවසට හරි යන්නේ නැහැ.
දැන් ඉඩම් හිඟයි, මහ නගරවලින් පිට පලාත්වල උනත් පර්චස් 10 – 15 ඉඩම් නැහැ තනි පවුලකට ගම් උදා නිවාස හදන්න. 2015 – 2019 කාලයේ පුරාවස්තු ඉඩම්වල පවා ඉඩම් හැදීමට උත්සහ කල බව වාර්ථා උනා. සහශ්‍ර පුර වගේ අහස උඩට යන මහල් නිවාස තමා ඒ පලාත්වල පවා හදන්න වෙන්නේ යන ඥානය සහ අවබෝධය දේශපාලනඥයට තිබීම වැදගත්.
රජයක් විසින් නිවාස හද හදා ජනතාවට තැටියක තබා පිරිනැමිම නිවාස ප්‍රශ්නයට විසඳුම නෙවෙයි. එය හරියට හිල්වු බාල්දියකට වතුර වක්කරනවා වගේ වැඩක්. එක් නිවාස නැති පවුලකට නිවසක් පරිත්‍යාග කරන කොට තව නිවාස අහිමි පවුල් 10ක් අලුතෙන් ලියාපදිංචි වෙනවා. ඒ විධියට මෙම ප්‍රශ්නය විසධන්න බැහැ. මේවා නිවාස ඇමතිවරුන්ට තේරෙන්න ඕන.
නිකන් දෙන නිවාසයේ අගයක් ඒ නිවාස ලභින්ටත් නැහැ.
නිවාස අධිකාරිය විසින් නිවාස සාදා දුප්පතුන්ට අඩු මුදලට/සාධාරණ කුලියට දුන්නාට කමක් නැහැ. වසර 10කින් පසු මේ නිවාස ඒ හිමියන්ට මුදල් දී මිලදී ගන්න ක්‍රමවේදයක් හදන්න පුළුවන්. රජය වැය කල මුදල පමණක් උපයා ගන්න ඕන.
බොහෝ දුරට සුදුසුකම් නැති අයටයි පසුගිය කාලයේ නිවාස ලැබී තිබෙන්නේ කියලා දැනගන්න ලැබී තිබෙනවා, විශේෂයෙන්ම 2010 – 2015 අතර.
නිවාස ඇමතීන්ගේ පවුලේ අයටත් රජයේ නිවාස දී තිබුන බව වාර්ථා උනා.
සහශ්‍ර පුර ඉන්නවාලු නිවාස දෙක තුන අයිති අය එහිත් ෆ්ලැට් ලැබිච්ච.
බොහෝ ආණ්ඩුවල නිවාස ලබා දීමේ ක්‍රියාදාමයෙන් දුප්පත්ම මිනිස්සු මඟ හැරී ගියා.
සජිත් ජනාධිපති වුවහොත් ඔහුට ඉතා හොඳින් ජාත්‍යාන්තර සම්බන්ධතා ගොඩ නඟා ගත හැකි බව නිසැකයි.
ආරක්ෂක ලේකම් ලෙස 2010 – 2015 දක්වා ගෝටාභය මහතා කොළඹ ලස්සණ කළා (ධනපති ප්‍රදේශ), කෝටි ගණන් වියදම් කර.
කොළඹ 8 සිට 15, වනාතමුල්ල වැනි ප්‍රදේශ දෙස ඔහු ඇසක් ඇරලා වත් බැලුවේ නැහැ. ඒ ප්‍රදේශ වල සමහර පැති අදටත් මිහිපිට අපායන්.
හනීෆ් මොහොමඩ්, බස්නාහිර පළාතේ ආණ්ඩුකාර, අද කොළඹට ඉතා හොඳ වැඩ කොටසක් කරමින් යනවා.
දිනපතා වගේ වැලනොකැඩි එන දේශීය සංචාරකයන් නිසා ඉංගිරිය පරෙයිතොට තොටුපළ කැළි කසළින් පිරිලා ඉතිරිලා; අලුතින් ඉදි කල හෝටල් අයිති කරුවන් දිසා ලේකම්ටවත් සවන් දෙන්නේ නැද්ද?
රජ කාලේ හදපු (දෙවැනිපෑතිස් රජ දවස) අත්තනගල්ලේ රත්මල්ගහ ජලාශය අද හොඳටම ගොඩ වෙලා, කොච්චර කිව්වත් පිළිසකර කර දෙන්නේ නැහැ. හැදුවොත්, අලුතින් කුඹුරු අක්කර සිය ගානක් වපුරන්න පුළුවන්.
කතරගම වන්දනාවේ යන දේශීය සංචාරකයින් විසින් තිස්සමහාරාමයේ යෝධ වැවට කැලි කසල දැමීම නිසා ඒ වැව නිතරම කසල ගොඩක් බවට පත්වෙනවා.
තිස්සමහාරාම පුස්තෝලමුල්ල ජයවික්‍රම කනිෂ්ඨ විද්‍යාලයේ දුවලා පුතාලා පුරා දවසක් තිස්සේ මහන්සි වෙලා යෝධ වැවේ කුණු කසළ ඉවත් කිරීමේ මහා ශ්‍රමදානයක් පැවැත්වූවා. එදා ඒ අය දේශීය සංචාරකයින් විසින් පරිහරණය කරන ලද ප්ලාස්ටික් බෑග්, පොලිතින්, හිස් වතුර බෝතල් වැනි අපද්‍රව්‍ය මොන තරම් කන්දරාවක් ඉවත් කලාද? තිස්සමහාරාම නගර සභාව මේ ස්ථානවල කැලි කසළ බඳුන් තැබීමට පියවර ගත යුතුයි.
නීති විරෝධී ලෙස ආරම්භ කල හෝටල් ව්‍යාපෘති නිසා යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක හතරේ කැලෑ ඉඩම් විනාශ මුඛයටම ඇද වැටී තිබුනා. මෙම ඉඩම් කොටස් තුළ හෝටල් හා කදවුරු බිම් සකස් කරමින්, එම ස්ථානවලට ළගාවීම සදහා වනාන්තර විනාශ කරමින්, මහාමාර්ග තනා තිබෙනු දක්නට ලැබුනා. මේවා තවමත් සිදු වෙනවාද?
යාල ඇතුලේ තවත් අළුත්ම 5 ස්ටාර් හෝටලයක් ඉදිවෙමින් පවතිනවාලු. යාලේ සතුන්ට අබ සරණයි.
යාල ඇතුලේ කුඩාරම් ගසා, රෑට,විදේශ/දේශීය සංචාරකයන්ට පෙන්වන්න දිවියන්ව ලඟට ගෙන්වා ගත් අය හිටියා, ඒ සතුන්ට උන්ට හරක් මස් ආදිය විසි කර. මේ කරන දෙයින් ඒ දිවියන්ට සතුන් දඩයම් කිරීමේ හැකියාවත් නැතිවෙලා යන බව මේ අයට තේරුනේ නැද්ද?
වල් අලි ඉන්න මින්නේරියේ මහා ඝන කැලය කපලා සංචාරක හෝටලයක් හදපු නළු දේශපාලනඥයෙක් ගැන ඒ දවස්වල පත්තරවල ගියා නේද. බිලා හිස් කරපු බියර් බෝතල් සිය ගණනක් එහෙමත් හම්බ උනාලු. ඒත් මුකුත් උනේ නැහැ නේද?
ගොල්ෆ් පිටි අවශ්‍ය නැහැ කියනවා නොවේ; ජල පෝෂක අවහිර කරලා බදුල්ලේ හදන්න හදපු ගොල්ෆ් පිටියට අවසර නොදීම නම් හරි. මේ සම්බන්ධයෙන් කැපවී වැඩ කල පරිසර සංරක්ෂණ වේදීන්ට ජාතියේ ප්‍රණාමය!
අතහැර දමන ලද විශාල ගල්වලවල්වල පතුළ, පිලිගත් ක්‍රමවේද අනුව සකසා, රටේ එකතුවෙන කුණු (පොලිතීන් සහ ප්ලාස්ටික් ඉවත් කරන ලද) සහ පස් ක්‍රමානුකූලව තට්ටු වශයෙන් ඒවායේ පුරවා, ඒ අතරට යෙදූ නල පද්ධතියක් මගින් එම කුණු මගින් නිපදවෙන ගෑස්, පොළව මතුපිට පිහිටවූ ගෑස් ටර්බයින් මගින් දහනයකර, විදුලිය සහ වෙනත් බලශක්ති (ගෑස් වැනි) නිපදවිය හැකියි.
දැනට කුණු දාන්න තැන් නැතිව, මහජනයාට මහත් විනකරන කුණු කඳුවල වගකීම භාරව ඇති නගරසභාවලට, ප්‍රාදේශීය සභාවලට, ඒ කුණු, ක්‍රමවේදයන් මත, පහත් බිම් ගොඩකිරීමේ ව්‍යාපෘති, මුහුද ගොඩ කරන ව්‍යාපෘති වලට යොමු කරවීමට සැලැස්වීමෙන්, එම ඉඩම් ගොඩකරන්න යන විශාල මුදල් ඉතිරි කරගන්න පුළුවන් වෙනවා පමණක් නොව, ඉතා පලදායි අතුරු ප්‍රයෝජනත් ලබන්න පුළුවන්.
උදාහරණයක් වශයෙන් විශාල මුහුදු තීරයක් ගල් බැමිවලින් වෙන්කර, හිස්කර, එම ප්‍රදේශය ගල්, පස් සමඟ ක්‍රමානුකුලව කුණු පුරවා රටේ කුණු ඉවත්කිරීමේ ප්‍රශ්නයට විසදුමක් ලබාගතහැකි වෙනවා පමණක් නොව, අවශ්‍ය කරන නව බිම් තීරයන් බිහි කරගැනීමට පුළුවන.
අප රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආශ්වාදය ලැබුවත් අහිංසක සතුන් මොන තරම් බිය වෙනවද? දියුණු රටවල රතිඤ්ඤා පත්තු කිරීම තහනම් කරලා තියෙන්නේ මේ නිසයි.
ස්වභාව ධර්මයට විරුද්ධව යමින් (බොහෝවිට හුදු දේශාපාලන උවමනා මත), ගඟවල් හරවන්න ගිහින් ඒ ගඟවල් අපි ‘මරාගෙන’ තියෙනවා. ගඟක් හරවන විට අලුතින් හදන මාර්ගයේ, ස්වභාවික ගංගා මාර්ග තුල තිබෙන ඉබේටම යටින් උනන වතුර උල්පත් ඒවායේ නැහැ. ඉතින් කෘතිමව ගලා යාමට හදන ගඟක් කවදාවත් ස්වභාවික ගඟක් වගේ නැහැ.
පායන කාලයට මධ්‍යම කඳුකරයේ අධික වියළි කාලගුණය නිසා මහවැලි ගඟ ඉක්මනට සීඳී යනවා. 1970 පොල්ගොල්ල වේල්ල නිසා මේ තත්ත්වය වැඩිපුර ඇති නොවුනත්, 1985 වික්ටෝරියා ජලාශය විවෘත කිරීමෙන් පසු මේ තත්ත්වය ඉතා වැඩි වුනා.
මහනුවර තැන්නේකුඹුර ප‍්‍රදේශයට ගිහින් බලන්න, ගල් පර මතුවෙලා මහවැලි ගඟ සීඳී ගොස් තිබෙන අයුරු. හරවන්න ඉස්සර මහවැලි ගඟේ මෝරු වගේ ලොකු මාළු පීනලා තියෙනවා, අද මාලුවෙක් නැති තරම්. තැනින් තැන ගඟ හරස් කර වේලි බැන්දහම කොහොමද ලොකු මාළු ජල ධාරාව සමඟ පිහිනා යන්නේ?
සමහර මාසවලදී මාසයේදී වික්‌ටෝරියා ජලාශයේ වාන් දැමීමට තරම් ජලය පිරී තිබෙනවා, ඒ පැත්තේම මහවැලි ගඟේ ජලය පතුලටම සිඳීලා.
නුවර පැරැන්නෝ දන්නවා අද මහවැලි ගඟ පතුලටම සිඳී ගොස් ඇති තැන්නේකුඹුර පාලම යටින්, 1985 පෙර, මොන තරම් වතුර කන්දරාවක් හාරගම, කුණ්ඩසාලේ පැත්තට ගලාගෙන ගියාද කියා. අද ස්ථිර ලෙස මතුවී ඇති ගල්පර එදා මතුවුනේ ඉතා තදබල නියං කාලයකදී පමණයි – වසර ගනණාවක් තුළයි.
වලවේ, කැළණි, කළු ගංගා මාර්ග අවහිර කර නොයෙක් වාරි සහ ජල විදුලි ව්‍යාපෘති පටන් ගන්න යන බවට ප්‍රවුර්ති තියෙනවා. තැනින් තැන වේලි බැඳලා. මේ ගංගාත් ‘මරා’ දමන්නද හදන්නේ?
උමා ඔය දැන් සාර්ථක යයි කියන්න පුළුවන් – වැල්ලවායට, හම්බන්තොටට ඒ වතුර ලැබෙනවා. ඒත් එම ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල පැත්තේ මිනිස්සු වින්ද දුක්, කරදර (ලිං හිඳී යාම, ගෙවල් කැඩී යාම වැනි) දන්නේ ඒ මිනිස්සු විතරයි.
මීරියබද්ද නාය යාමට උමා ඔය ව්‍යාපෘතිය (ගල් කැඩීම සහ උමං ඉදිකිරිම) සම්බන්ධ බව පරිසර විද්‍යාඥයයෝ පෙන්වා දෙනවා.
විදුලි ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවේ අතිශයින්ම සුන්දර සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල බාගෙට මරා ගත්තේ අපි නේද මේ මෑතකදී (2016). පරිසර හානිය/ස්වාභාව සෞන්ධර්ය කෙසේ වෙතත් සංචාරක ආදායම අඩු වීමෙන් පමණක් අපට කොපමන ආදායමක් නැති වෙයිද?
රයිගම් උඩුගහපත්තුව සතු එකම වැව ලෙස සැලකෙන පනංගල වැව ශීඝ්‍රයෙන් ගොඩ වී යාමේ තර්ජනයකට මුහුණ තිබෙනවා. ඉංගිරියේ පිහිටි මෙම වැව ගොවිතැන් කටයුතු සඳහා මෙන්ම අලංකාරය අතින්ද වැදගත් තැනක් උසුලන අතර, ජල මූලාශ්‍රයක තිබිය යුතු ‘රිසවේෂන්’ කොටසද නොසලකා හැර ඇතැම් පුද්ගලික ඉඩම් හිමියන් මේ වැව ගොඩ කරගෙන යනවා.
ගල් අඟුරු තාපක හොඳයි කියනවා නොවෙයි, නමුත් ජල විදුලි ව්‍යාපෘති වලින් වෙන ගංගා මැරීයාම, මත්ස්‍ය වර්ග ක්ෂය වීම ඒවායින් කෙරෙන්නේ නැහැ.
ලෝකෙට බන කිය කිය දියුණු රටවල් අදත් ගල් අඟුරු තාපක වලින් විදුලිය නොකඩවා ජනනය කරනවා.
චීනය සහ ඉන්දියාව වසරකට නව ගල් අඟුරු තාපක 100 පමණ ඉදි කරනවලු ඔවුන්ගේ වැඩිවෙන විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට.
අප?
ලෝකෙට බියවී ඉතා අධික මිලට, සුළු විදුලියක් උත්පාදනය කරන සෝලාර්, සුළං විදුලි බලාගාර ගැන සැළසුම් කරමින් ඉන්නවා.
සෝලාර්, සුළං විදුලි බලාගාර සඳහා විශාල ඉඩම් වපසරියක් අවශ්‍යයි. උපදවන මෙග වොට් ප්‍රමාණය ඉතා අඩුයි.
අප වහාම සාම්පුර් හෝ මුතුර් හෝ වෙනත් සුදුසු ස්ථානයක් ගල් අඟුරු විදුලි බලාගාර/ය ආරම්භ කල යුතුයි. මෙග වොට් 1,000 ක් පමණ එක් වර උත්පාදනය කර ගත හැකි වේවි. සොලාර්, සුළං බලාගාර 10ක් විතර අවශ්‍ය වෙනවා මේ මෙග වොට් 1,000 උත්පාදනය කරන්න. නැවතත්, ඒවාට යන වියදමත් ඉතා වැඩියි.
ඕස්ත්‍රේලියාව දැන් ‘ක්ලීන් කෝල් ‘ නිපදවනවා.
අප න්‍යෂ්ටික විදුලියට අත නොගැසිය යුතුයි. න්‍යෂ්ටික විදුලි බලාගාර අනතුරක් සිදුවුවහොත් විය හැකි ව්‍යසනය කියා නිම කල නොහැකියි. අරපරිස්සමින් අඩු සමාජයක් වන අපට චෙරෝනොබිල්, ෆුකොෂීමා වැනි වූ අනතුරක් සිදුවුනොත් ඒවා පාලනය කරගත නොහැකි වීමේ සම්භාවිථාව ඉතා වැඩියි. දහස් ගණනින් අහිංසක මිනිස්සු මැරී යාවි (බිහාර් නගරයේ භෝපාල් ඛේධවාචකය මතක් වෙනවා).
දියුණු රටවල පාරවල් අද්දර, ඉඩම් වල කුණු ගොඩවල් ගසා නැහැ. ඉතා ලස්සනට ඒ රටවල කසළ ඉවත් කරන, ප්‍රතිචක්‍රි කරණ ක්‍රම වේද තියෙනවා.
රට දියුණු කරන්න නම් ඉස්සෙල්ලම නිරෝගී ජනතාවක් බිහි කල යුතුයි.
අවට පරිසරය සැම විටම් පිරිසිඳුව තබා ගනිමු; ඩෙංගු මදුරුවා මර්ධනය කරමු.
ලංකාවේ රාජ්‍ය නායකයෝ, හිටපු රාජ්‍ය නායකවරු, මැති ඇමතිවරු, නීති ක්ෂේශ්ත්‍රයේ අය ඉඳලා හැමෝටම එකම විදියට නිතිය ක්‍රියාත්මක වෙනවා නම් – පොලිසියට මල් මිටක් පුදන්න පුළුවන් විදියට ඒ අය රාජකාරිය ඉටු කර පෙන්වාවි. දේශපාලනඥයෝ තමයි බොහෝ වෙලාවට හැමදේටම හොට දාලා විනාශ කරලා දාන්නේ.
තවමත් මේ නරක සංස්කෘතිය තියනවා දෝ කියා ඇතැම් වර්තමාන දේශපාලනඥයන්ගේ ගේ කථා වලින්, චර්යාවෙන් සැක පහළ වෙනවා.
උසස්ම රාජ්‍ය නායකයාගේ ඉඳලා පහලටම 100% පිරිසිඳු වෙනවා නම්, පොලිසි සහ වෙනත් නීති රක්නා ආයතන තුල නීතිය මුළුමනින්ම ක්‍රියාත්මක වෙන තත්වයක් බිහි වුනොත්, සියළු රජයේ අනෙක් ආයතන වංචා විරහිත වෙනවා නම්, මේ රට සුරපුරයක් වෙනවා නොඅනුමානයි.
මාලිමාව දෙස මිනිසුන් මහත් බලාපොරොත්තුවෙන්, කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ මේ නිසායි.
යු ටියුබ් කරුවන් සාධාරණ ලෙස රජය විවේචනය කළ යුතුයි – හොඳ/වැරදි දෙකම එක ලෙසින්. නියම දේශප්‍රේමියෙක් වන්නේ එවිටයි.
සමහරු ප්‍රසිද්ධියේ කියනවා ඒ අයට අවශ්‍ය මේ රජය පෙරළා දැමීම කියා. ඔවුන් රටට ආදරය නොකරන්නෝ.
පසුගිය වසර 77 තුල ශ්‍රී ලංකාව තරම් දේශපාලනයකරණිය වූ රටක් තවත් මේ ලොව නැති තරම්.
රාජ්‍ය උත්සවයකට සැපත් වුන ඕස්ත්‍රේලියාවේ අගමැතිටත් පොලිස් කාරයෙක් දඩ කොලයක් දුන්නා සීට් බෙල්ට් නොදා ගිය නිසා.
සමහර විට එම පොලිස් නිලධාරියාට උසස් වීමක් ලැබෙන්න ඇති.
පැති පනින දේශපාලනය නවත්වන්න මේ රජය පියවර ගන්නවා කීවා. තාම මුකුත් නැහැ.
ජනාධිපති පදවිය අහෝසි කරනවා කීවා නේද?
සත්‍ය නොකියන්නාට වෙනත් කළ නොහැකි වරදක්, අපරාධයක් නැතිලු.
පැති පනින දේශපාලනය මේ රටේ පටන් ගත්තේ 1951දි එවකට රජයේ ඇමතිවරයෙක්ව සිටී බණ්ඩාරනායක මහතා රජයෙන් ඉවත්වී කණ්ඩායමක් සමඟ වෙනත් දේශපාලන පක්ෂයක් පටන් ගැනීමෙන්. DA රාජපක්ෂත් ඒ පිරිසේ සිටියා.
මේ රටේ බොහෝ ඍනාත්මක දේ ආරම්භ කල කෙනෙක් බණ්ඩාරනායක මහතා – පැය 24න් සිංහල රජ බස, පුද්ගලික දේපළ රාජ්‍යට පවරා ගැනීම්, පෞද්ගලික අංශය මරා දැමීම, DSගේ උතුරේ සිංහලයා පදිංචිවීමේ ව්‍යාපෘති නතර කිරීම වැනි.
මේ රටට සිංහල – දෙමළ ජාතිවාදී කෝළාහල හඳුන්වා දුන්නේ එතුමා – 1958දී රථ වාහන අංක ලෙස ශ්‍රී අකුර හඳුන්වා දීමෙන්.
රට දුප්පත් කිරීමේ ක්‍රියාවලියේ ආරම්භකයා බණ්ඩාරනායක මහතායි.
ඊට පෙර රටේ තිබුනේ එක් ප්‍රධාන දේශපාලන පක්ෂයක් පමණයි – එක්සත් ජාතික පක්ෂය. මෙසේ ප්‍රධාන පක්ෂ 2ක් බිහිවීමෙන් රටේ ජනතාව දෙකට බෙදුනා පමණක් නොව ඔවුන් අතර ආරාවුල්, කුලල් කා ගැනීම් පටන් ගත්තා.
බොහෝ දෙනෙක් දේශපාලන භේද නිසා මිය ගොස් තිබෙනවා. දැන් අඩුයි.
1948දී අපේ රටේ ආර්ථිකය ජපානයට පස්සේ ආසියාවේ 2වැනී තැනට තිබුනේ. අදුරධර්ශි, දුෂිත දේශපාලනය නිසා අපි අද අන්තිම ණය භරිත; තවමත් 3වන ලෝකයේ වූ රටක් හැටියට පවතිනවා.
1950 ගණන් වලදී ලී ක්වාන් යු කිවේ සිංගප්පුරුව ශ්‍රී ලංකාව වගේ විය යුතුය කියා. 1980 ගණන් වලදී එතුමා කිවේ සිංගප්පුරුව ශ්‍රී ලංකාව වගේ නොවිය යුතුය කියලා. අපේ දේශපාලනඥයන්ගේ හපන්කම් ඒ ප්‍රකාශ දෙකෙන් මොනවට පිළිබිඹු වෙනවා.
ධනවාදී ආර්ථික ක්‍රමය හොඳයි කියනවා නොවෙයි, නමුත් සමාජවාදී/කොම්යුනිස්ට් ආර්ථික ක්‍රමත් දුෂිත වෙලා නේද තිබුනේ. මිනිස්සුන්ට කොමියුනිස්ට් ක්‍රමයෙන් ලැබුනේ දිළිඳු වූ ජිවන මට්ටමක්.
අද කොම්යුනිස්ට් යයි කියා ගන්නා චීනය ලෝකයේ වැඩියෙන්ම ධනවාදී ආර්ථික මුලධර්ම ක්‍රියාත්මක කරන රටක්. චීන ක්‍රමය ඉතා සාර්ථකයි; ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම වලට වඩා.
උතුරු කොරියාවේ කිම් ජොන් අං දක්ෂ, රටට ආදරේ ඇති නායකයෙක්. ඔහු උතුරු කොරියාව දියුණු කරනු ඇත.
කියුබාව පොහොසත් නොවුනත්, යම් තරමකට සාධාරණ සමාජ ක්‍රමයක් බිහි කලා වූ රටක්. නමුත් ඇමරිකාව එම රටට උඩට ඒමට ඉඩ දුන්නෙම නැහැ; අදත් එහෙමයි. දැන් අන්තිමටම වැටිලා. වෙනිසියුලාවටත් ඒ දේම ඇමරිකාව කරනවා, ට්‍ර්ම්ප් සමහරවිට වෙන ක්‍රියා මාර්ගයක් ගන්න පුළුවන්.
1956 සිට 1970 මැද කාලය විතර වෙනකම් ‘සමාජවාදී’ ලේබල් අලවගත්ත රජයන් අත්තනෝමතික ලෙස පෞද්ගලික අංශයේ ව්‍යාපාර රජයට පවරා ගත්තා. සමහරක් කලේ දේශපාලන පලිගැනීම් ලෙස. ඒ ව්‍යාපාර බොහොමයක් පස්සේ වැහිලාම ගියා – ෂෙල් කොම්පැනිය වැනි. BCC, යුනයිටඩ් මෝටර්ස් වගේ විශාල පරිමානයේ කොම්පැනි රජයට පවරා ගත් ඒවා කිහිපයක්. ලීවර් බ්‍රදර්ස් (යුනි ලීවර්) පවරා ගන්න බොහෝ උත්සහ කළා. මරදානේ බුහාරි හෝටලය පවා රජයට ගත්තා සිරිමා රජය.
හොඳ, විශාල තේ, රබර් වතු රජයට අරගෙන පොඩි කෑලි කෑලි වලට කඩලා දැම්මා – අක්කර 50ට වගේ. වතු ආර්ථිකය නැතිකරලම වගේ දැම්මා. 1948 ආසියාවේ දෙවෙනියට හොඳම ආර්ථිකය තිබුණු රට, බලා ඉන්දැද්දී දුප්පත් උනා.
කිසිම තේරුමක් නැතිව ඕපනායක දක්වා දිවූ කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් නතර කළා. කොළඹ ට්‍රෑම් කාර් (ට්‍රොලි බස්) නතර කළා, අපට එවකට තිබුණු ඉතා හොඳ ප්‍රවාහන පද්ධතියක්.
තවත් 1970 -77 සිරිමාවෝ රජයේ වික්‍රමයක් නම් පුවත් පත් ආයතන රජයට පවරා ගැනීම ලේක් හවුස්. පුවත් මුඛ වාඩම් දැම්මා, රජයක් සාධාරණ ලෙස විවේචනය කල පත්තර සමාගමකට (දවස). පත්තර ඒවට මුද්‍රණ කඩදාසි දුන්නේ නැහැ. සමහර පත්තරවල උසස් කතුවැකි (ඇත්ත) ‘බල්ලෝ කෑමට’ ලක් කළා.
අද අපි විදේශ ආයෝජන එනතෙක් කට ඇරගෙන බලා සිටිනවා. ලොව පිළිගත් බහුජාතික හෝ බහු ජාතික හා ළබැඳි සමාගම් කීයක් බොහෝ දුරට අපේ සමහර ‘සමාජවාදී’ රජයන්වල ප්‍රතිපත්ති නිසා වැසී ගියාද? මතකයට එන සමහර එවන් බහු ජාතික හෝ විදේශ සම්බන්ද්ධතා තිබු සුප්‍රකට සමාගම් නම්: ලිප්ටන්, බ්රුක් බොන්ඩ්, විටෝල් බවුස්ටඩ්, වොලංකා, කාසන් කම්බබැච්, කොලට්ස්, රෝලන්ඩ්ස්, වෝකර්ස්, වෝකර් ඇන්ඩ් ග්‍රෙග්, ලුවිස් බ්‍රවුන්, ජේ එල් මොරිසන් සන් ඇන්ඩ් ජෝන්ස්, බාට්ලිට්ස්, මුලර් ඇන්ඩ් පිප්ස්, ඇන්ග්ලෝ ඒෂියන්, CV බ්හාට්, මිලර්ස්, ඇපොතිකරිස්, මොරිස් රෝච්.
1956 රජය වරායන්/ ගුවන් තොටුපොල ජනසතු කිරීමෙන් ඒවායේ සේවක අයතීන්/වරප්‍රසාද ඉහල ගියා, වෘත්තීය සමිති හදාගැනීම වැනි. නමුත්, ජනසතු කරලා අවුරුද්දක් වගේ ඇතුලත වරායන්හි නිෂ්පාදන/පලදායි හැකියාවන් 50%ක් දක්වා පමණ අඩුවෙලා ගියා. කොළඹ වරාය, රත්මලාන ගුවන් තොටුපොල (එවක තිබු ජාත්‍යාන්තර ගුවන් තොටුපොල) පාඩු ලබන්න පටන් ගත්තා.
ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වරායේ කාර්යක්ෂම බව ඉහළ නැංවුවා. කන්ටේනර් මඟින් භාණ්ඩ ප්‍රවාහන කටයුතු වරායේ පටන් ගත්තේ එතුමා.
දුක් මහන්සින් වී, දිවා රෑ නොබලා වැඩ කර, තම ව්‍යාපාරය ගොඩනඟා ගත් බස් ව්‍යාපාරිකයෙක් පිළියන්දල, ජාලියගොඩ සිටියා. 1958 දි ඔහුගේ බස් සියල්ල පැය 24න් රජයට පවරා ගත්තා; වන්දි මුදල් හැටියට ලැබුනේ සොච්චමක්.
මීගමුවේ සිටී දුක් මහන්සිවෙලා දිවා රෑ මහන්සි වී වැඩ කර නිවාස 25 -30 ගණනක හිමි කරුවෙකුට 1971/2 විතර ඒ නිවාස ඔක්කොම වගේ රජයට පවරා දෙන්න සිද්ධ වුනා. දරුවන් නොසිටි ඒ මහත්මයා සහ නෝනා දෙන්නම මලේ තදබල සිත් අමාරුවෙන්.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි කිරීම පුදුම ලෙස වැඩි වෙනවා; මිනිස්සු කන බොන දේවලින් බදු අය කිරීම අද මෝස්තරයක් වෙලා. වර්තමානයේ ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් වන ආහාර පාන, රෝහල් බෙහෙත් ආදියෙන් රජය අධික ලෙස රේගු බදු අය කිරීම නිසා කබලෙන් ලිපට වැටෙන්නේ ජීවිතය ගැට ගසා ගන්න හා දුක් විඳින අහිංසකම දුප්පත්, අසරණ මිනිස්සු.
ඩුබායි රටේ ආදායම් බදු ඇත්තෙම නැහැ.
සෑම වසරකම වාගේ මහා ගංවතුරක් ඇවිල්ලා ලක්ෂ ගණන් ජනයා අවතැන් වෙනවා, කඳවුරු යනාදියේ සිට නැවත ගෙවල් බලා යනවිට අත්‍යාවශ්‍ය බඩු මිල සේරම වගේ වැඩි වෙලා, පාන් ගෙඩියේ ඉඳලා. නැවත ගෙවල් හදාගන්නේ කොහොමද කියලා ඒ මිනිස්සු හිතනකොට සිමෙන්ති කොට්ටෙක මිල තව රුපියල් 100 කින් පමණ ඉහල ගිහිල්ලා. පහුගිය වසර 25 තුලම සිද්ධ වුනේ මේ දේයි.
අපේ රටේ බොහෝ කාන්තාවන් මැද පෙරදිග ගොස් ඉතාම දුක් ගැහැට විඳිනවා. කාන්තාවන් ගෘහ සේවයට මැද පෙරදිග යවනාවානම් ඔවුන් ආරක්ෂා කිරීමට සහ ජිවන තත්ත්වය නංවාලීමට රජයන් මීට වඩා බොහෝ දේ කල යුතුයි. ඇත්තවශයෙන්ම ඔවුන්ව නොයවනවා නම් වඩාත් හොඳයි. ඉන්දියාව ඔවුන්ගේ කාන්තාවන් මැද පෙරදිග යවන්නේ නැත.
අලි – මිනිස් ඝට්ටනයෙන් බැට කන මිනිස්සුන්ගේ ජිවිත ඉතා දුක්ඛිතයි. හැමදාම රෑට නිදාගෙන්නේ මොන තරම් බයකින්ද; ‘අද අලියා එයිද, ගේ කඩයිද, වගාව හානි කරයිද, මගේ අඹුව/ළමයි සුරක්ෂිතද’, ආදී නගරබද වැසියාට නැති ප්‍රශ්ණ මේ අයට තියෙනවා. මේවා ජීවිතය, මරණය අතර ප්‍රශ්ණ. නමුත්, මේ අයගේ ප්‍රශ්ණ විසඳන්න මේ දක්වා කිසිම රජයකට නොහැකි වුනා. ඒ නිසා ඉතා වටිනා මිනිස් ජිවීත සහ වන අලි සිය ගණනක් සෑම අවුරුද්දකම මැරී යනවා. තවමත් සිද්ධ වෙනවා.
අලි-මිනිස් ඝට්ටනයට දොස් කිව යුත්තේ එයට මැදිවී සිටින මිනිස්සුන්ටවත්/අලින්ටත් නොවේ, රජයන්ට. මේ සා විශාල ප්‍රශ්නයක් විසඳන්න පැහැදිලි ප්‍රතිපත්තියක් නැතිකම සහ ඒ පිළිබඳව දිවා රෑ නොතකා විසඳුම් නොසොයවීම. මෙයින් ප්‍රත්‍යක්ෂ වන්නේ මෙතෙක් වූ රජයන්ට මිනිසුන්ගේ බොහෝ දැවෙන ප්‍රශ්නවලටද පැහැදිලි, සාර්ථක විසඳුම් විසඳුම් ලබාදීමට නොහැකිවී ඇති බව සහ තදබල කැපවීමක් සහ උවමනාවක් නොමැතිකමයි.
මේ රජය පැමිණ දැන් වසරයි.
අලි තවමත් මඩකලපුව කෝච්චියට පවා හැප්පෙන්නවා.
වන ජීවී ප්‍රශ්ණ විසදන්න භාර දී සිටින දැන් ඉන්න කෘෂිකර්ම ඇමති හොඳ වැඩ කාරයෙක් වීම කෙසේ වෙතත් හොඳ කථාකාරයෙක් බව නම් ඔප්පු කර තිබෙනවා.
මේ අලි මැරෙන විදියට නුදුරු අනාගතයේදී අලි අපේ අභය භුමි වලට පමණක් සිමා වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා; යාල, විල්පත්තුව, උඩ වලවේ වැනි.
නැත්නම්, අපේ අනාගත පරම්පරාවලට ලියෙන් කැපු අලි බලා සැනසෙන්න වෙයිද?
කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර දිස්ත්‍රික්ක අපේ අලින්ට ඉතා හොඳටම අපලයි.
මහසෙන් මරා දැම්මා 2023 මැයි වල දී. ඔහු ශ්‍රී ලංකාවේ සිටී විශාලතම දල යුගල හිමි ඇතා. වාසය කලේ සෝමාවතී රක්ෂිතයේ.
මහව වෙසෙන කාවන්තිස්සටත් වැඩ වරදීද?
උඩවලවේ යනු අලින් වෙනුවෙන් බිහි කල අභය භූමියක්. එය තුලට අවට ගම්වාසින් තම කිරි ගවයන් දක්කනවා. මේ ගවයන් කන්නේ අලි, විශේෂයෙන්ම අලි පැටවුන්, කන තනකොළමයි. වනජිවියේ මහත්තුරු/මහත්මීන් ගවයන් දාන්න ඉඩ නොදෙන කොට සමහර දේශපාලනඥයෝ කෑ ගහනවා. ගවයන්ව අභය භුමිය තුලට දැමීමට ඉඩ දිය යුතුයි කියා. ඒ අය බොහෝ දුරට කෑ ගහන්නේ චන්ද ගැන සිතායි; අපේ පරිසරය සහ වනජීවීන් ආරක්ෂා කරගත යුතු යයි නොසිතන නිසායි.
අද ලංකාවේ වනාන්තරවල අලි 2,000ක් වත් ඉතුරුව නැතැයි එක් පරිසර විද්යාඥයෙකුගේ උපකල්පනය වුනා. අලි සංගණනයක් කියා කලේ අමු මුලාවක් බවයි ඔහුගේ අදහස, එකම අලියා දෙතුන් වතාවක් ගැන්නාලු.
අලියෙක් අඩු තරමින් රුපියල් ලක්ෂ 60 – 70 වටිනවා. ළපටි/තරුණ අලියෙකුට ලෝක වෙළඳ පොලේ ඇති වටිනාකම ඉතාම ඉහලයි; රුපියල් ලක්ෂ 120 පමණ වේවි. මෙවන් තත්ත්වයක, අලියා යනු අධි ආර්ථික වටිනාකමක් ඇති සතෙක් බවට හෝ සලකා හෝ, අලින්ව ආරක්ෂා කිරීමට අප මීට වඩා බොහෝ සැලකිලිමත් විය යුතුයි.
තායිලන්තය අලි හදා පිටරටවලට විකුනනවා. අති විශාල ආදායම් උපයනවා.
අපටත් මෙය කළ හැකියි – අහිංසාකාරී සහ විද්‍යාත්මක ලෙස.
ශ්‍රී ලංකාවේ පෙරහැරවලට බුරුමයෙන් අලි ගේනවා යයි කතාවක් ඇහුනා.
පින්නවල අලි කිහිප දෙනෙක් තෝරා පුරුදු කරන්න වෙයි අත්‍යවශ්‍ය පෙරහැර සඳහා.
පෙරහරේ අලි යාමට විරුද්ධව කථා/කටයුතු කරන්නේ නරුමයෝ, බෞද්ධ විරෝධීන්. අපේ ඉතිහාසය, සංස්කෘතිය, සභ්‍යත්වය ගැන මුකුත් නොදන්නා අය.
අලි පෙරහරේ යන්නේ ඉතා සතුටින්, අභිමානයෙන්.
ශ්‍රී ලංකාව තරම් හිලෑ අලි ඇතුන් හොඳින් බලා ගන්නා තවත් රටක් මෙලොව නැහැ.
තායිලන්තය මුතු රාජා අපෙන් නැවත ගත්තා (පැහර ගත්තා). වැරදි වැඩක් කලේ.
එදා සිටී අපේ නායකයා එයට ඉඩ දුන්නා.
එදා සිය දහස් ගණනින් ලංකාවේ සැරි සැරූ වලහා, දිවියා, කිඹුලා, ගෝනා, උකුස්සා වැනි සතුන් අද නැත්තටම නැතිවී ගෙන යනවා. අතලොස්සක්වූ ඉන්න සතුන් ටික දෙනාවත් ඇස් දෙක වගේ බලාගන්න කටයුතු නොකරන්නේ ඇයි?
නරියාට මොකද උනේ? නැත්තටම නැතිවී ගොසින්.
තේ වතු ආශ්‍රිතව සැරිසරන, ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දිවියන් විශාල ගණනින් පුදුමාකාර ලෙස මිය යන්න පටන් අරං. හැටන්, වටවල, ආගරපතන, කොටගල හා නොර්වුඩ් හි දිවියන් ගණනාවක් බාහිර තුවාල නොමැතිව මිය යාමට හේතුව උන්ට මස් වලට වස දමා සහ උගුල් වලට අසු කර මරා දැමීම බව වනජිවි නිලධරයෝ කියත්. මෙහෙම ගියොත් මේ දිවියෝ නැවත අපිට දකින්න ලැබෙන එකක් නැහැ.
මේ මෝඩ වැඩ කරන වතු කම්කරුවන්ගෙන් මේ දිවියන් රැක ගැනීමට අවශ්‍ය සියළු කටයුතු කල යුතුයි. වතුකරයේ තිබෙන කුඩා කෑලෑ අතෝරක් නැතිව එලි පෙහෙළි කිරීම මෙයට එක් ප්‍රධාන හේතුවක්.
ඇත්ත වශයෙන්ම අපේ වනජීවී දෙපාර්තමේන්තුවෙන් වියදමට සරිලන සේවයක් සිදු වෙනවද?
ගමට අලි ආවා කියා කෝල් කලාට ඒ අය යන්නේ ගම්මු අලි ටික එලෝලා දැම්මට පස්සේ නම්, වෙඩි වැඩිච්ච, තුවාල වුනු වන ජීවින්ව බලන්න යන්ණේ ක්ෂණිකව නොවේ නම්, එය බරපතල ප්‍රශ්ණයක්.
අලි වෙඩි, අලි වැටවල් අපතේ යන විදියට වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
දඩ මස් බිස්නස් කරන වනජීවී නිලධාරීන් ඉන්නවලු – වනජීවින්ව රකින්න දාපු අය!
අක්කර 70 ක පමණ නුවර එලිය දිස්ත්‍රික්කයේ (නෝට්න් බ්‍රිජ්) රජයේ කැලෑ වගාවක් යහපාලනය කාලයේදී යන්ත්‍ර දාලා කපලා සුද්ද කරලම දාලා තියෙනවලු. ඒ අය ඇවිල්ලා තියෙන වාහනවල රාජ්‍ය වන ආයතනයක බෝඩ් බොරුවට ගහගෙන. මේ විස්තරය කියපු කෙනා කිවේ කඳුරට වතුකරයේ බලගතු දේශපාලනඥයෙක් කෙලින්ම සම්බන්ධයිලු මෙම වැඩයට, ඒ නිසා රාජ්‍ය නිලධාරින් නීතිය ක්‍රියාත්මක කිරීමට බය වුනාලු.
ට්‍රැෆික් ප්‍රශ්නයට හේතුව රටේ වාහන වැඩි කම කියා කාලයකට පෙර කීවා. ඒ කියලා වාහන ගෙන්වීම සිමා කලා. මේක හිසේ රදේට කෝට්ටේ මාරු කරනවා වගේ වැඩක්.
ඉතා අධි මිලට වුනත් ජනතාවට වාහන මිලදී ගැනීම පිණිස වසර 6 පමණ පසු වාහන යළි ආනයනය කිරීමට වත්මන් රජය ආර්ථිකය විවෘත කළා. මේ නිසා ඩොලර් සංචිත පහත බැස්සත් රජය නොබියව ගත තීරණයට ‘ඩබල් සැලියුට්’.
අපේ ට්‍රැෆික් ලයිට්ස් පරිගණක තාක්ෂනය යොදාගෙන උපරිම ලෙස කළමනාකරණය කළ යුතුයි, ට්‍රැෆික් අඩුකර ගන්න. පුළුවන් තරම් වාහන ට්‍රැෆික් ලයිට් එකක් ළඟ ගොඩ නොගහා නිදහස් කරන්න බලන්න ඕන. උදාහරණ වශයෙන් කෙලින් යන වාහනවලට පුළුවන් තරම් එක දිගටම, පේලියේ තියෙන සෑම ට්‍රැෆික් ලයිට් එකකින්ම ‘කොළ’ දෙන්න බලන්න ඕන, නොනැවතීම එම වාහනවලට යන්න.
ට්‍රැෆික් ලයිට් තියෙන සතරමං හන්දියකදී වාහනයක් දකුණට හරවන්න. ‘කොළ’ පමණක් තිබුනම ඇති නොවේ; ඉදිරියෙන් වාහන එන්නැති බව බලලා ප්‍රවේශමින් දකුණට හැරවිය හැකි කම තිබිය යුතුයි. දකුණට කොළ ඊතලයම අවශ්‍ය නැහැ.
ඒ වගේමයි දකුණ බලලා, ඕනෑම වෙලාවක වාහනය ට්‍රැෆික් ලයිට් හන්දියෙන් වමට හැරවීමේ හැකියාව රියදුරුට ලබා දිය යුතුයි. ඒ කියන්නේ හතර මං හන්දිවලදී ඉදිරිපස ‘රතු’ තිබුනත් ප්‍රවේශමින් බලා, වමට හරවන්න ඕන වාහනවලට වමට හරවන්න ඉඩ දෙන්න ඕන.
ට්‍රැෆික් ලයිට් වලින් පමණක් සාමාන්‍යන් පාලනය වන හතර මං හන්දියක් ට්‍රැෆික් කන්ට්‍රෝල් රාලහාමි කෙනෙක් විසින් කරනවා කියන්නේ එතන වෙනදට වැඩිය දීර්ඝ ට්‍රැෆික් ජෑම් එකක් අනිවාර්යයි බොහෝ විට. ඇති කරන්නේ ඒ රාලහාමියි.
රාළහාමිලා දාලා මේක කරන්න ඉතා අමාරුයි; අතිශයින් යල් පැනගිය මේ ක්‍රම වේදය අද කාලයට සුදුසු නැහැ. රථවාහන බොහෝ රාලහාමිලව හප්ප ගෙන ගොස් තිබෙනවා. රාළහාමිලා පාරවල් මැද හැප්පිලා මැරිලා තිබුන බව වාර්ථා වෙලා තියෙනවා.
අද දැවැන්ත ටිපර්, කන්ටේනර් රථ, තඩි බස් වලින් පාර වල් පිරිලා. තඩි බසයක් (උදා: මගී ගෙනියන ලංගම හෝ ප්‍රයිවෙට් ලේලන්ඩ් බසයක්) කොළඹ පාරකට දානවා කියන්නේ එම රථය මුළු පාරම වාගේ ගිල ගැනීමක්. ට්‍රැෆික් රාලහාමිව පේන්නෙත් නැහැ.
තනි රාලහාමි කෙනෙකුට මුළු ප්‍රශ්නයේ බැරෑරුම භාරදී පොලිසියේ උසස් නිලධාරින් පොළීසියට වී සිටිනවා.
වාහන සිය ගණනක් එන හන්දියක් එක රාලහාමි කෙනෙකුට විතරක් කොන්ට්‍රෝල් කරන්න අපහසුයි. එයා සියල්ල ජයගත්ත් කෙනෙක් නෙවේ එසේ කරන්න. මනා ලෙස සුදානම් වූ පොලිස් කණ්ඩායමක් අවශ්‍යයි එම වැඩයට.
සමහර සතියේ දිනවල උදේට වැලිකඩ සිට බත්තරමුල්ල මාර්ගයේ එක මං තීරුවක් වසා අධික ලෙස කොළඹට වාහන යන බත්තරමුල්ල – වැලිකඩ මාර්ගය වාහන සඳහා විවෘත කර දෙනවා. පොලිස් කණ්ඩායමක් එකතුවී කරන හොඳ ප්‍රශ්න විසඳීමක්.
සතියේ දිනවල හවස වාහන තදබදය ඉතා අධික වෙලාවට ගාලු පාරේ, බම්බලපිටිය පැත්තේ සිට කොටුව බලා යන මං තීරු එකක් හෝ දෙකක් කොටුව – දෙහිවල දෙසට යන වාහන වලට යාමට විවෘත කල යුතුයි. ඒ මන්ද, කොටුවේ සිට දෙහිවලට යන්න තියෙන ප්‍රධානම මාර්ගය වන ඩුප්ලිකේෂන් පාර වාහන වලින් හොඳටම පිරිලා ඉතිරිලා ගිහිල්ලා.
බොහෝ ට්‍රැෆික් රාළහාමිලා හුඟක් වෙලාවට බලන්නේ එක මාර්ගයක වාහන පේලිය අවම කරලා, 0ට වගේ අඩු කරලා, ඊළඟ මාර්ගය වාහන වලට විවෘත කරන්න. සමහරු අන්තිම වාහනයත් ඉවර කරන්න අත වන වනා ඈත එන වාහනවලට අඬගහනවා. මේකෙන් වෙන්නේ අනිත් මාර්ග 3නේ ඉතා දිග වාහන පෝලිම් හැදීමයි. රියැදුරෝ නොසන්සුන් වෙනවා – විනාඩි 10 – 15 ඉන්න වෙනකොට.
කරන්න තියෙන්නේ වාහන 30% – 35% විතර අඩු කර ගත්තට පස්සේ තවත් මාර්ගයක් විවෘත කිරීමයි. එවිට, අනිත් මාර්ග 3 ඇතිවෙන දීර්ඝ රථවාහන තදබදය නතර වෙනවා. ඉක්මනට වාහන ‘ක්ලියර්’ වෙනවා.
නැවතත්, තනි රාලහාමි කෙනෙකුට 25% – 30%ක් විතර අඩු වූ පසු වාහන ගමන් කරන මාර්ගය වහන්න අමාරුයි (උදා: බොරැල්ල හන්දිය, ඔරුගොඩ වත්ත, පිත්තල හන්දිය, නාරාහේන්පිට වැනි බැරෑරුම් හන්දී). ඔවුන්ව හප්පගෙන වගේ වාහන යන්නේ මෙසේ කරන්න හදන විටයි. මන්ද, වාහන බලන්නේ කෙසේ හෝ ලැබුණ අවස්ථාවෙන් එලියට පැණ ගන්න – ඔවුන් මේ සඳහා අධික වේගයෙන් තම වාහනය ධාවනය කරනවා.
ගම්බද දුෂ්කර ප්‍රදේශවල තියෙන පාරවල් අඩුම තරමින් කොන්ක්‍රිට් දාලා හරි හදන්න ඕන. ගොවියන්ට තම නිෂ්පාදන ප්‍රධාන මාර්ගවල යන ලොරිවලට පැටවීම සඳහා ගෙන ඒමට හොඳ මාර්ග පද්ධතියක් තියෙන්න ඕන. ඔය අධි වේග වලින් උද්ධමනය අඩු උනේ නැහැනේ, ගම්බද ප්‍රදේශ වල අලි නාවන වලවල් වලින් පිරි බොරළු/පස් පාරවල්, කොන්ක්‍රීට් දාල හදලා දුන්නොත් දළ ජාතික ආදායම බලන් ඉන්දැද්දී ඉහල යයි.
බොරැල්ල ඔලම්ස් පෙදෙසේ දැන් අලි නාවන තරමේ වලවල් සැදී ගෙන එනවා. කවුරුවත් බලන්නේ නැහැ තාර ටිකක් දාලා හදල දෙන්න.
වවුනියාවේ කැලෑ බෝගස්වැව ඉඳලා ජනකපුරට යන මාර්ගයේ ගිහිල්ල බලන්න – km 40ක් විතර ඇති. පැය 3ක් විතර යනවා බස් එකෙන් යන්න. පිස්සු හැදෙන මාර්ගයක්. හදන්න කවුරුවත් උනන්දු වෙන්නේ නැහැ වගේ.
සමහර රටවල නීති රීති අකුරට පිළිපැදීම සහ ආර්ථික දියුණුව නිසා ජනතාවගේ ජීවන මට්ටම යහපත් කරගෙන තියෙනවා. හැබැයි හොඳ/නරක, සාධාරණ/අසධාරණ දේ, දියුණු/නොදීයුනු කොයි රටෙත් තියෙනවා. ධනපති, 1වැනි ලෝකයේ රටවල් දිව්‍යලෝක නොවෙයි.
වර්ණ භේධ වාදය, වාර්ගික වාදය යනු පිළිකා වැනි ඉතා නරක ගතිගුණ. එවැනි නරක දේ එවැනි සමාජවල සමහර තැන්වල සැඟවී ඇත්තේ කාටවත් නොපෙනෙන, සොයන්න බැරි විදියට. හැබැයි අවශ්‍ය වෙලාවට ඒ ජරාව එලියට එනවා.
අපේ රටේ සැවෝටම කොච්චර ලස්සනට ජිවත් වෙන්න පුලුවන්ද, අප ඉතා ලස්සනට ජීවත් වෙනවා නේද? අප බිහි කර ඇති ‘සැවොම ඇතුලත් කරගන්නාවූ’ මේ සමාජ ක්‍රමය ගැන අපට සැබවින්ම ආඩම්බර විය හැකියි. අප දුප්පත් රටක් වුවත් අපේ උතුම්, සාමාජශීලි, ගුණ ගරුක ගති ගුණ ගැන අපට නිහතමානිව උදම් විය හැකියි. විදේශිකයෝ වැල නොකැඩි අපේ රටට එන්නේ අපේ රටේ ලස්සන බැලීමට විතරක් නොවේ, අපේ මිනිසුන්ගේ අභ්‍යන්තරයේ ඇති ලස්සනත් බැලීමටයි.
අපේ රටේ ඇත්ත තත්ත්වය ගැන කීවාම ඒක රටට ගැරහීමක් වෙන්නේ නැහැ, හැබැයි සංවේදී වෙන්න ඕන. කවුරු නමුත් ජාත්‍යන්තරය ඉදිරියේ රට අසාධාරණ අයුරින් පවා දීම වැරදියි.
රට දියුණු කරන්න මෙගා ප්‍රොජෙක්ට්ස්ම අවශ්‍යමය යන සිද්ධාන්තය මිත්‍යාවක්. බොහෝ රටවල බොහෝ මෙගා ප්‍රොජෙක්ට්ස් අසාර්ථක වෙලා තියෙනවා.
‘ස්මෝල් ඉස් බියුටිෆුල්’ කියන සංකල්පය රජයන් කරන ව්‍යාපෘති වලටත් අදාලයි. රජය කරන සැම ව්‍යාපෘතියක්ම මහා පරිමාණයෙන් කල යුතුය යන්න වැරදි සංකල්පයක්.
ස්වභාව ධර්මයට විරුද්ධව කරන වැඩ, විශේෂයෙන්ම මෙගා ප්‍රොජෙක්ට්ස්, බොහෝ විට අසාර්ථක වෙනවා. ලෝකය පුරාවටම මේ පිළිබඳව නිදසුන් තියෙනවා.
වැල්ලම්පිටිය,කොලොන්නාව, අංගොඩ, කඩුවෙල, හංවැල්ල වැනි ප්‍රදේශවල හයියෙන් වැස්සහම සිදුවෙන ගංවතුර උවදුර නිම වුනාද? නැහැ. මේ රටේ තිබෙන ඇත්තම ප්‍රශ්ණ මේවා නොවේද?
මේ ප්‍රශ්ණ විසඳීමට මේ රජයවත් අවංක කැප වීමක් කරයිද?
අවශ්‍ය විසඳුම් දිවා රෑ නොබලා සෙවිය යුතුයි.
9 ශ්‍රේණියෙන් ඉහල සියළු පාසැල් සිසුන්ට සහනදායි ලෙස ලැප්ටොප් පරිගණක ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරන්න හැකි වේද? චීනයෙන් අහන්න, උදව් කරයි.
අද අපේ ළමයි කිලෝ ගණන් බර පොත් බෑග් අරගෙන යන කොට කොරියාවේ ළමයි පාසැලට ගෙනියන්නේ ටැබ් එකක්/නෝට් බුක් එකක් විතරයි.
ආණ්ඩුවේ බොහෝ රෝහල් වලින් ලෙඩ්ඩුන්ට ප්‍රය්වෙට් ෆාමසිවලින් බේත්/බැන්ඩේජ්/ඉන්ජෙක්ෂන් ආදිය අරං එන්න යයි කියන කාලයක් තිබුනා. රෝහල් එසේ කියන්නේ ආණ්ඩුවට සල්ලි නැති නිසාලූ. නමුත් කිසි තේරුමක් නැති ප්‍රොජෙක්ට්ස්, විදේශ ණය අරගෙන කිරීමට ආණ්ඩුවලට සල්ලි තිබුනා.
දඹුල්ල රෝහලේ මෙට්ට වල ලේ උරා බොන මකුණු ප්‍රශ්නය තවමත් තියෙනවාද? මොනතරම් දරුණුද කියනවානම් ලෙඩ්ඩු නිකම්ම බිම නිදිය ගත්ත කාලයක් තිබුනා.
අම්පාර දිස්ත්‍රික්කයේ පැරැණිතම රෝහල වන මහඔය රෝහලේ රෝගීන්ට ඉඳ ගන්ඩ පුටු තිබුනේ නෑ, වෛද්‍යවරුන්ට නිල නිවාස නෑ, හෙද කාර්ය මණ්ඩලය 70 ක් විය යුතු වුවද මේ මෑතක් වන තුරු සිටියේ හෙද හෙදියන් 39 කි. මේ අඩුපාඩු පුරවන්න රජයට සල්ලි නැහැයි කියන්න බැහැ.
නෙළුම් කුළුණ හදනකොට පම්පොරී ගැහුවා ශ්‍රී ලංකාවේ තිබෙන සියළුම විදුලි සංදේශ කුළුණු ඉන් පසු අවශ්‍ය නොවන බව, ඒවා ඉවත් කරන බව. සියල්ලම තාම එහෙමම තිබෙනවා.
කොළඹ නගරසභාව සතුව පැවති අති දර්ශනීය විශාල, නෝමැඩ්ස් ක්‍රිකට් ක්‍රීඩා පිටිය වසා දමායි නෙළුම් පොකුණ හැදුවේ. හරිම දුකක්.
BMICH හදන්න කොළඹ ගොල්ෆ් ක්‍රීඩා පිටියෙන් අක්කර 500 ගත්තා, රූපවාහිනනී සංස්ථාව හදන්න කොළඹ 7 කාන්තා හොකී ක්‍රීඩා පිටිය වහන්න වුනා, හයිඩ් පිටියේ දේශපාලන රැස්වීම් වේදිකාව හදන්න එහි සවසට තරුණයන් ෆුට් බෝල් ගැසූ විශාල ඉඩ ප්‍රමාණයක් පවරා ගත්තා. ඒ විතරක් නොවේ එම පිටියේ නම පවා වෙනස් කළා. බොරැල්ලේ කැම්බල් පිටියේ විශාල පිට්ටනි 5ක්වත් තිබ්බා එක ළඟ හවුල්ව (අක්කර 250ක පමණ උද්‍යාන පොකුරක්), දැන් ඉතිරිව තියෙන්නේ උද්‍යාන 2යි. එදා රේස් කෝර්සය අක්කර දහස් ගණනක තනි තන බිමක් අද තැනින් තැන පිට්ටනි 4 -5 ක් පමණයි ඉතිරිව තිබෙන්නේ. කොළඹ 5 කැප්පෙටිපොල පාරේ මැද තිබු විශාල, හවසට ළමුන් විවිධ ක්‍රීඩා කල ක්‍රීඩාංගනය පවරා ගෙන එහි සිරිමාවෝගේ නමින් පාසැලක් ඉදි කළා.
ආසියාවේ උද්‍යාන නගරය (Garden City) ලෙස හැඳින්වූ කොළඹ නගරය එහි තිබු බොහොමයක් දර්ශනීය උද්‍යාන නැති කර ගත්තේ ඒ අයුරින්.
කොළඹ අද ගහ කොළ නැති හෝ ඉතා අඩු කොන්ක්‍රීට් වනාන්තරයක්.
නෙලුම් පොකුණ, නෙළුම් කුළුන හොඳයි කියමුකෝ.
නෙලුම් කුලුනෙන් රටේ වැසියන්ට ආත්ම අභිමානයක් සහ තම රට ගැන ආඩම්බරයක් එනවා නම් ඒක ධනාත්මක දෙයක්. මෙය දැකීම නිසා, ඔවුන් ධෛර්යමත් වී, රටට තිබෙන ආදරය, ගෞරවය වැඩි වුනොත්, එයින් හොඳ පුරවැසියෝ, රාජ්‍ය /පෞද්ගලික අංශයේ සේවකයෝ බිහිවුනොත්, රටේ සමාජ/ආර්ථික වර්ධනයටත් එය ඉවහල් වෙනවා.
නෙලුම් කුළුන, විදේශ සංචාරකයෝ ඇදී එන තෝතැන්නක් කරගත යුතුයි – අපේ රටේ අයිෆල් ටවරය.
දැන් විදෙස් සංචාරකයෝ එය බලන්න එනවා අඩුයි. ඔවුන් වැඩියෙන් ආවොත් අධිකව විදේශ විනිමය උපයා ගත හැකියි.
දේශීය සංචාරකයන්, විශේෂයෙන්ම කොළඹට දුරස්තරයෙන් එන අය, ඇදී ආවොත් එතනින්ද ඉතා හොඳ ආර්ථිකයක් ගොඩනගා ගන්න පුළුවන්.
මෙවැනි දේ කරන්න සුදුසුකම් බලා දක්ෂයන්ව ඒ තැන්වල විධායක තනතුරුවලට පත් කළ යුතුයි.
මේ ස්ථානයේ විදේශිකයෝ බැලීමට ප්‍රියකරන අපේ කෞතුකාගාරයක්, දේශීය කළා මධ්‍යස්ථානයක්, චිත්‍ර ප්‍රදර්ශනාගාරයක් හෝ අත්කම් භාණ්ඩ අලෙවි ස්ථානයක්, දේශීය ආරයට ආහාර සපයන ස්ථාන වැනි දේ පිහිටවෙවොත් විදේශිකයෝ සෑහෙන්න ඇද ගන්න පුළුවන් වේවි. මේ සඳහා සංචාරක හෝටල් සමඟ කිට්ටුවෙන් කටයුතු කරන්න වෙනවා. නමුත් නෙළුම් කුළුන උසට ගහනවා හැර අලෙවි සල් ගොඩක් දාන්න තරම් ඉඩක් එහි බිහිකරන විදියට සැලසුම් කර නැති බවයි පෙනෙන්නේ.
අපේ රටට එන සංචාරකයන්ට බලන්න ඇති ස්ථාන වැඩි කරගන්න ඕන, විශේෂයෙන්ම කොළඹ නගරයේ.
අර නැව් අඩු වරාය, ප්ලේන් එන්නේ නැති ගුවන් තොටුපොල, ඔපෙරා අඩු ඔපෙරා ශාලාව, ක්‍රිකට් ගහන්නේම වගේ නැති ක්‍රිකට් ක්‍රීඩා පිටි බොහෝ දුරට අසාර්ථක උනේ සුදුසුකම් මත දක්ෂයන් වෙනුවට, අදක්ෂ, තේරෙන්නේ නැති, දේශපාලන හෙන්ච්චයින්ව එවන් උසස් තැන්වල පාලනයට පාලනාධිකාරීන් විසින් පත් කිරීමයි. මුදල් වියදම් කරලා ස්ථාන පමණක් හදලා මදි, ඒවා හොඳට ‘මාර්කට්’ කරන්නත් ඕනා.
සිංගප්පුරුව,හොංකොං වගේ වරායවල ඒකාධිකාරිය බිඳලා, ඔවුන්ගේ බිස්නස් කඩලා අපේ වරායන්ට අළුත් බිස්නස් ගන්න නම් (නැව් ගෙන්න ගන්න නම්) ජාත්‍යාන්තරව එවැනි වැඩ කරලා හොඳ පළපුරුද්දක් ඇති, උගත්,හොඳ පෞරෂයක් ඇති, හොඳ ඉංග්‍රීසි දැනුමක් ඇති විධායක නිලධාරින් පත් කල යුතුයි. මේ රජයවත් එවැන්නන් පත් කලාද?
දැන්නම් හම්බන්තොට වරාය අපිට අහිමියි අවුරුදු 99ට. ගාල්ල වරායටවත් නැව් ගෙන්න ගන්න බලමු. ගාලු වරායට ඉතා මඳක් පහලින් තමා මුහුදේ විශාලම නැව් සංඛ්‍යාවක් දිනපතා ගමන් කරන්නේ.
ගාල්ල කියන්නේ රජ කාලේ ඉඳන් තිබ්බ වරායක්. පෘතුගීසි යාත්‍රා 9ත් මුලින්ම ගොඩ බැස්සේ ගාල්ල වරායට (පෘතුගීසින් එන්න පරම්පරා දෙකක කාල පරිච්චේදයකට පෙර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිය පරෙවි සංදේශයේ 84වැනි කවියෙන් ගාලු පුරය වර්ණනා කර තිබුනේ එහි ‘සාප්පුවල මුතු, මැණික්, රත්‍තරන් ප්‍රදර්ශනයට තබා තිබු අයුරින් කෙනෙකුට සිතෙනුයේ මුළු මහත් මුහුදු පත්ලම හරා ඇද්දෝයි’ කියායි).
ඇත්තම කියනවනම් කරන්න තිබුනේ ගාල්ල වරාය ලොකු කරලා, හොඳ මාර්කටින් ව්‍යාපාර කරලා ජාත්‍යන්තර මුහුදේ යන නැව් එහාට ගන්න බලන්න. මොකද හම්බන්තොටට වැඩිය ගාල්ල, දවසකට නැව් 1,000ට වඩා ගමන් කරන ජාත්‍යන්තර දක්ෂිණ මුහුදු මාර්ගයට හුඟක් ලඟයි.
1980 අග 1990 මුල ශ්‍රී ලංකාවේ ගාර්මන්ට් කර්මාන්තය දියුණු වේගන ගිය විදියට අපිට ලෝකයේ 1වැනි තැන ලැබේයයි බොහෝ අය සිතුවා. ඊට පසුව ආ රජයන්හි අදුරධර්ශී ප්‍රතිපත්ති නිසා අපේ රටේ ගාර්මන්ට් කර්මාන්තය අද නැතිවෙන තැනටම වගේ පත් වෙලා. එදා අපට ගන්න බැරිවූ තැන අද අපේ සහෝදර බංග්ලාදේශය අරං.
කොළඹ ප්‍රධාන විද්‍යාලයකට නව තට්ටු 7ක ගොඩනැගිල්ලක් රජයෙන් අනුමත උනේ වැඩි ඈතක නොවේ (අනේ වාසනාවන්). මේ කාලෙම, මාතලේ කුඹල්ඔලුව කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන් ජලය, විදුලිය වැනි මූලික පහසුකම් පවා අහිමිව, ඉතා දුෂ්කර සේ ඉගෙනුම ලැබුවා. ඇතැම් ගුරුවරු වෙනත් විකල්පයක් නොමැති නිසා ගොඩනැගිල්ලෙන් බැහැරව ගස් යට පන්ති පවත්වා ගෙන යනවා. මේ අයව රජයන්ට පෙන්නේ නැහැ?
මෑතක – පසුගිය වසර 30 පමණ සිට, සෑම ඇමති මණ්ඩලයකම රෝයල් කොලිජියට ගිය මැති ඇමතිවරු 10 – 15 ක් විතර සිටියා; සමහර ඒවායේ 20 විතර.
මෑතක – පසුගිය වසර 30 පමණ සිට, 80% පමණ පිරිමි ඇමතිවරු කොළඹ, නුවර හෝ ගාල්ලේ උසස් පිරිමි විද්‍යාල වල ඉගෙන ගත් අය – රෝයල්, ආනන්ද, නාලන්ද, සෙන්ට් තෝමසස්, ට්‍රිනිටි, ධර්මරාජ, රිච්මන්ඩ්, රාහුල වැනි. රට ‘නැති කරලා’ තියෙන්නේ කවුද කියා දැන් පේනවා.
දැන් නම් ඒ තත්ත්වය (මාලිමාවේ) වෙනස්.
නමුත් අදත් බොහෝ මැති ඇමතිවරු ඒ අයගේ පුත්තු දමන්නේ කොළඹ රෝයල් කොලීජියටලූ. ඒ අනුව බැලුවොත්, තව අවුරුදු 25කින් මුළු ඇමති මණ්ඩලේ 50% – 60% වගේ රෝයල් කොලෙජ් එකේ ඉගෙන ගත්ත අය වෙන්න පුළුවන් (ඇයි, මැති ඇමතිවරුන්ගේ දරුවන්ට/ඥාතින්ට නේ අන්තිමට නොමිනේෂන් වරම් ලබදෙන්නේ. මාලිමාවෙත් ඥාති, ගජ මිත්‍ර සංග්‍රහ තදින්ම වගේ තියෙනවනේ).
මෙම ලිපිය ලියන ලේඛකයාත් ගියේ රෝයල් ප්‍රාථමිකයට සහ එම කොලීජියට – ඔහු එයට ඉතා ආදරෙයි; නමුත් මෙය කිව යුතුයි – රෝයල් කොලීජියට වෙනත් පාසල් වලට නැති අති විශේෂ සංග්‍රහ/මුදල් ප්‍රධාන අනුමත කිරීම වැරදියි.
මේ වැරැද්ද පටන් ගත්තේ 1970 අග දශකයේ බලයට ආ JR.
සෑම රජයේ පාසලකටම එක සමාන හැන්දෙන් බෙදිය යුතුයි – එකී පාසලේ පවත්නා අවශ්‍යතා අනුව.
ළමයි ඔක්කොම එකයි, හැම දෙනාටම එක හා සමාන පහසුකම් සැලසීමට රජයන් බැඳී සිටිනවා.
පොහොසත් දෙමව්පියන්, පොහොසත් ආදී සිසුන් ඉන්නා පාසල්, ඒ අය දෙන මුදල්වලින් සංවර්ධනය කරගත්තාට කමක් නැහැ.
මතු සම්බන්ධයි ……..