අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (5 කොටස)
Posted on September 28th, 2025
චානක බණ්ඩාරගේ
රටක නායකයා විය යුත්තේ හොඳට දුක් විඳලා, ‘කට්ට කාලා’, මහා පොලවේ හොඳට අඩිය තබලා හිටිය කෙනෙක් (ස්වයං රැකියාවල යෙදුනු අය වගේ අය ඉතා හොඳයි). ඒ අයට පොදු ජනතාවගේ ප්‍රශ්ණ තේරෙනවා, මොකද, ඒ අයත් ඒ දුක විඳලා තියෙන නිසා.
පුංචි දෙයක් උනත් අස්සක් මුල්ලක් නෑර බලා, ප්‍රශ්නවල මුලටම ගොස් සොයා, විසඳපු, පොඩි කාලේ හොඳට දුක් විඳලා පන්නරය ලබාගත් ජනාධිපති වරයෙක් සිටියා 1990 මුළ. ඔහුගේ කෙටි කාලය තුල රට ඉතා සීග්‍රයෙන් දියුණුවට පත් වුනා.
ජීවත්ව සිටින අයගේ නමින් මහාමාර්ග නම් කිරීම දැන් පුරුද්දක් කරගෙන. හොඳ දෙයක් නොවේ. ඔය දේ පිස්සුවක් උනොත් රටේ තියෙන මහාමාර්ග ටික මදි වේවි එහෙම නම් කරන්න.
බොහෝ ප්‍රතිමා, ස්මාරක තැනෙන්නේ, මාහාමාර්ග, උද්‍යාන නම් කරන්නේ, මුද්දර නිකුත් කරන්නේ මියගිය දේශපාලනඥයෝ නමින්. මේවාට මුල්වී වැඩ කරන්නේ ඔවුන්ගේ දැන් සිටින දේශපාලනඥ දරුවන් සහ පවුලේ ඥාතින්. සමහරුන් ජීවත්ව සිටියදී කල ක්‍රියා දෙස බලනවිට ඒ අය නොසැමරිය යුතුය කියායි බහුතරයක් ජනයා කියනු ඇත්තේ.
රටේ ජාතික වීරයෝ යනු මියගිය දේශපාලනඥයෝ පමණක් නොවේ. යුධ භටයෙක්, කළාකාරයෙක්, ආගමික පුජකවරයෙක්, ලේඛකයෙක්, ක්‍රීඩකයෙක්, ගත් කතුවරයෙක්, හොඳ ගුරුවරයෙක්, හොඳ පුරවැසියෙක් (කාන්තාවන්ද ඇතුළුයි) ජාතික වීරයින් විය හැකියි. ඒ අය අතරින් අති විශිෂ්ටයන් අතලොස්සක් තෝරා ස්මාරක/මුද්දර/පාරවල් බිභිකල හැකියි. නමුත් එය එසේ සිදු වන්නේ ඉතා කලාතුරකින්.
ධර්මසිරි සේනානායක වෙනුවෙන් පමණක් නිර්මාණය වූ ස්මාරක ප්‍රතිමා රටේ කෙතරම්ද? මොනවද ඔය තරම් කළේ?
1970 දශකයේ ‘පුංචි පවුල රත්තරන්’ කියා පවුල් සංවිධානය කිරීමට මහත්සේ කැපවී මහන්සි වී වැඩ කල හොඳ දොස්තර මහතෙක්ගේ නමින් මාවතක් නම් කර තිබෙනවා. අවසානාවකට වගේ එතුමා එකල නොදැන සිටියත්, ඒ වැඩපිළිවෙලින් පුංචි වුයේ`වුයේ එක් ජනකොටසක ජනගහනය පමණයි.
විශිෂ්ටතම ගුරුවරයෙක් වන නාලන්දයේ හිටපු විදුහල්පති ගුණපාල වික්‍රමරත්න මැතිතුමා (මෑතකදී මිය ගොස්) මැරුණු පසු නොව ඔහු ජීවත්ව සිටියදී ඔහුගෙන් සිප් සතර හැදෑරුවෝ, ඔහුගේ අනූ වැනි උපන්දිනය දා, ඔහුට උපහාර දැක්වූවා. ඉතාම හොඳ දෙයක්. මැරුණු පසු කෙනෙකුට උපහාර දැක්වීමෙන් ඇති පලය කිම?
අනගාරික ධර්මපාල තුමා තරම් එකළ බැනුම් ඇසු තවත් කෙනෙක් නැහැ අද එතුමාට තියෙන තැන.
1980 අග සහ 1990 මුල දස දහස් ගණනින් දකුණේ තරුණ තරුණියන් දස වධ දී මරා දැමීම අනුමත කරන්න බැහැ. ටයර් සෑය වල මියගියේ අපේම අයියලා, මල්ලිලා, බාප්පලා, මිතුරන් නේද? ඒ වගේම තමයි 1971 දී දහස් තරුණයන් මරලා ගඟවල් වල පා කර හැරිය හැටි. කන් වලට ඉලෙක්ට්‍රික් ෂොක් ඇල්ලීමෙන් මරපු තරුණයෝ ගැන විස්තර දන්නවා.
ඒ, සංවිධානය විසින් කල ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කරනවා නොවෙයි. ඒත්, රජයකට තම වැසියන් නීතියෙන් පිටත ක්‍රියාමාර්ග වලින් මරා දමන්න අයිතියක් නැහැ. ඔවුන්ව අත් අඩංගුවට ගෙන නීති මඟින් කටයුතු කිරීමයි කරන්න තිබුනේ. ශිෂ්ට සම්පන්න රජයන් හැසිරෙන්නේ එසේයි.
රජය නමගිය අපරාධකරුවන් මරා ආයුධ පෙන්වන්න යද්දී ඔවුන් මැරුණා කියා බොරු කියනවා. එහෙම කරන්න බැහැ. මේ රජය තවම නම් එවැනි දේ කර නැහැ; එසේම වේවා.
බොහෝ සිඟන්නන්ට අස්වැසුම ආධාර ලැබෙන්නේ නැහැ. හේතුව අස්වැසුම ආධාර ලබන්න ස්ථිර ලිපිනයක් තියෙන්න ඕන. චන්ද අයිතිය තියෙන්න ඕන. තව, දරු පවුල් කාරයෝ වෙන්න ඕන කියලත් කියනවා. ග්‍රාම සේවක අනුමැතිය අවශ්‍යයි. ඇත්තම කියනවානම් ඔවැනි දේවල් කරගන්න පුළුවන් අයෙකුට අස්වැසුම ආධාර අවශ්‍යත් නැහැ.
මෙයින් පෙනී යන්නේ රාජ්‍ය ආධාර අවශ්‍යම කරන සමාජයේ කොටසට කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. ඉදින්, අපේ සමාජ සේවා යාන්ත්‍රණයම අසාර්ථකයි නේද?
සාමාජ සේවා ආධාර කිසිත් නොලැබෙන අන්ත දුප්පතුන් තමා අපේ පාරවල, පේව්මන්ට් වල රෑට බුදියන අය, සෑම සියලු දේ අත් හල අය. එදාට එදාට ජිවත් වෙන අය. ඒ අය අස්වැසුම පමණක් නොවෙයි කිසිම රාජ්‍ය හෝ වෙනත් ආධාරයක් සොයා යන්නේ නැහැ, පාරේම මැරිලා යනවා. මැරුණහම රජයට වළලන්න සිද්ධ වෙනවා.
කාත් කවුරුවත්ම නැති අපේම ඒ අය පාරේ ලගින්නේ වෙන යන්න කිසිම තැනක් නැති නිසයි.
මේ අය අතර හිටපු විදුහල්පතිවරු, ගුරුවරු, ලිපිකරුවෝ, පියන්ලා, මුදලාලිලා පමණක් නොව දොස්තරලා, ලොයර්ස්ලා වැනි සමාජයේ ‘උසස්’ ජීවිත ගත කල අය පවා ඉන්නවා කිවුවොත් කෙනෙක් පුදුම වෙයි. අපි කැමති නැහැ ඒ අය ගැන දැන ගන්න හෝ කථා කරන්න; මේක ශෝචනීය තත්ත්වයක්. දියුණු රටවල තත්ත්වය මෙහෙට වඩා ගොඩක් හොඳයි.
සතොසට බඩු ගන්න ගියහම හාල් ටික, කඩල, මුං, කවුපි, මිරිස් මේ සේරම පිටරටින්, බොහෝ විට, ඉන්දියාවෙන්, පකිස්තානයෙන් ගෙනාපුවා. ලංකාවේ කියලා නිෂ්පාදනයක් නැති තරම්. කෙන්යාවේ තේ, පිලිපීනයේ පොල් එහෙමත් කාලයකට ඉහතදී තිබුනා. අනාගත පරම්පරාවට සමහරවිට රම්පෙ කරපිංචා, මයියෝක්කා, කොස්, පොලොස්, පපඩම් එහෙමත් පිටරටින් ගෙන්න වෙයි වගේ.
දැන් දියලුණු කැටය, හඳුන්කුරු පැකට් එකත් එන්නේ ඉන්දියාවෙන්. අල්පෙනෙත්තක්, ඉඳිකටුවක් වත් හරියට මේ රටේ නිපදවා ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා; සේරම එන්නේ චීනයෙන් නැත්නම් ඉන්දියාවෙන්. එදා තිබුණු ලක්ෂපාන බැටරිය, උෂා ෆෑන් එක, යුනික් රේඩියෝව, මැස්ඩා කාරය, කැළණි ටයරය, ඩියුරෝ සරම, තුල්ටෙක්ස් සාරිය, සියල් පෑන, පර්මා ෂාර්ප් බ්ලේඩ් තලය අද අභාවයට ගිහින් හෝ පන අදින තත්ත්වයක තියෙන්නේ.
1970 – 1977 රජය පටි තද කරගන්න කියා ජනතාව දැඩි පීඩනයකට සහ අපහසුතාවයන් ලක් කල බව ඇත්ත, නමුත් යම් ප්‍රතිපත්තියක් ඇතුවයි රට පාලනය කලේ. 1977 වනවිට රට බොහෝ ආහාර ද්‍රව්‍යවලින් ස්වයංපෝෂිත වෙලා. රට තුල දේශීය කර්මාන්ත සහ වෙනත් නිෂ්පාදනයන් ඉතා ඉහල මට්ටමකට දියුණු වී තිබුනා. ඉතා සුළු වශයෙන් තමයි විදේශ වලින් භාණ්ඩ ආනයනය වුනේ. 1977දී පිළිවෙලක් නැතිව හඳුන්වා දුන් නිදහස් ආර්ථිකය නිසා ඒ ලබා ගත් දියුණුව නැත්තටම වගේ නැතිවී ගියා. අද අප සෑම දේම පිටරටින් ගෙන්වනවා.
රුපියල් බිලියන් ගණනින් වියදම් කර රට පුරා අධිවේගී මාර්ග, නවීන පාලම්, ගුවන් පාලම්, ඉදිකළත් බුලත්සිංහල මිනිස්සුන්ට පෝරුතොට – බොරලැස්ගමුව යා කරමින් පැළැන් ගඟ හරහා පාලමක් තනා දෙන්න රජයන්ට බැරි වෙලා තිබුනා. තේ දළු ටික, රබර් ටික නගරයට රැගෙන යන්න, සිමෙන්ති කොට්ටයක් ගෙදරට ගෙන්න පමණක් නොවෙයි හදිසියේ රෝගියෙකු රැගෙන රෝහලට යන්න ත්‍රීරෝද රථයක් යන්න වත් ක්‍රමයක් නැහැ.
ප්‍රාදේශීය පාලකයෝ ජනතාවගේ දුක/අවශ්‍යතා හරියට දන්නවා නම්, ඒ අයත් එක්ක ඉන්නවා නම්/ගැවසෙනවා නම් මෙහෙම වෙන්න බැහැ නේද?
ලංකාවට විදුලි දුම්රිය හඳුන්වා දෙන බවට හිටපු ප්‍රවාහන ඇමති කෙනෙක් පවසා තිබුනා මතකයි. හොඳ වැඩක් – හැබැයි ඩොලර් බිලියන ගණනක වැඩක්.
මේ මෑතක් වෙනතෙක්ම විදුලි මෝටරය ක්‍රියා විරහිත වීම නිසා හීන්දෙණිය-පට්ටිගොඩ දුම්රිය ස්ථානයට ජල සැපයුමක් නොමැතිවීම නිසා එහි ඇති එකම වැසිකිළියද පාවිච්චියට ගත නොහැකිව වසා දමා තිබුනේ. මඟීන්ට මොන තරම් කරදරයක්ද? අලුත් විදුලි වතුර මෝටරයකට යන මිල කීයද? වැඩිම වුනොත් රුපියල් 35,000ක්. දුම්රිය විදුලි කිරීම කෙසේ වෙතත් මේ වැඩේවත් කරලා දුන්නානම් නරකද?
රුපියල් ලක්ෂ 5කට වඩා වියදම් කර ‘ගම නැගුම’ ව්‍යාපෘතිය යටතේ පොල්ගහන්ගොඩ, හල්මිල්ලවැව, දුම්මීය ගම්මානයේ ඉදි කළ වාහන ගමනාගමන පාලම අවුරුදු දෙකක් යන්නටත් මත්තෙන් සම්පූර්ණයෙන්ම, දෙකට මැදින් කඩා වැටුනා. ‘ගම නැගුම’, ‘දිචි නැගුම’ කියන විට කාවද මතක් වෙන්නේ?
සමහර අමාත්‍යාංශ පවත්වාගෙන යාම සදහා මාසිකව රුපියල් ලක්ෂ ගණන් කුලී ගෙවනවා. ඉබ්බන්වල හන්දියේ තට්ටු 15 ක මහවැලි අමාත්‍යංශයේ කොටසක් නිකං වේලෙනවා. සමහර තට්ටු වල දෙතුන් දෙනයි ඉන්නෙ. ඒකේ තට්ටු දෙක තුනක් අස් කරල අමාත්‍යාංශයක් දාගන්න බැරිද. බත්තරමුල්ලේ සව් සිරිපායේත් ඕන තරම් ඉඩ කඩ තියෙනවලු.
කූට වෙළදුන් පාරිභෝගිකයන්ව පුදුමාකාර විදියට ගසා කනවා. අධ්ක මිලක් දී ගත්ත ලෙදර් සපත්තු ජෝඩුවක් 4-5 පාරක් දැම්ම පසු නිකම්ම කැඩී ගියා. කොළඹ ලෙදර් සපත්තු හදන ෆැක්ටරිය නොමිලේ රිපයාර් කර දෙන්නම් කීවත් සපත්තු දෙක අරගෙන යන්න ආවේම නැහැ. මාස 6ක් බොරු කියා කියා එම පාරිභෝගිකයාව මුලා කළා. පාරිභෝගිකයන්ට පැමිණිලි කරන්න පුළුවන්, කූට වෙළදුන්ට විරුද්ධව නිරන්තරයෙන් නඩු පවරන්න පුළුවන් බලගතු පාරිභෝගික ආරක්ෂක අධිකාරියක් පිහිටවිය යුතුයි.
ඒ වගේම, පාරිභෝගිකයින් උසාවි නොගොස් කූට වෙළඳුන්ට, ව්‍යාපාරයනට විරුද්ධව තමන් විසින්ම පුද්ගලිකව නඩු පැවරිය හැකි, ට්‍රයිබුනල් මණ්ඩල පළාත් පුරා බිහි කල යුතුයි.
කොළඹ කොන්ක්‍රීට් කණු උඩ දුවන, වටරවුම් පාරවල් මඟින් සියළු අධිවේග යා කරන බව කිවා, හොඳ අදහසක්, බුද්ධිමත්ව පරිසරය සහ අනෙක් දේපල විනාශ නොකර කරනවානම්.
උමං දුම්රිය, කොන්ක්‍රීට් කණු උඩ දුවන දුම්රිය/වාහන, යලිත් කොළඹට ට්‍රෑම් කාර්, පොලොව යට මෙට්‍රෝ – මේවා ආකර්ශනීය අදහස්. තියෙන සම්පත් හදාගෙන ඉදිරියටම යමු, බොරු නාස්තිකාර අත්හදා බැලීම් නැතුව.
ඔය අලුත් සමහර ව්‍යාපෘති සඳහා ගොඩාක් ඉඩම් අවශ්‍යයි, කොළඹ දැන් ඒවා නැහැ. පොලව උඩ සහ/හෝ යට කැනීම් වලින් තියෙන යටිතල පහසුකමුත් නැති වෙන්න පුළුවන්; ඒ නිසා එවැනි වැඩ ඉතා ප්‍රවේශමින් කරන්න ඕන.
ඔවැනි මහා පරිමාණ වැඩ කොළඹ නගරය තුල පටන් ගත් විට මහජනයා අධික ලෙස පීඩනයට ලක් වෙනවා, පාර වල කොටස් වසා තැබීම වැනි. වසර ගණනාවක් ඒවා අවසන් කරන තුරු.
පොඩි රෙපයාර්, පොඩි සංවර්ධන වැඩ, පොඩි ණය ආධාර/සහානාධාර දීම තුලින් තමයි රට හදන්න පුළුවන්, මිනිස්සු නගා සිටුවන්න පුළුවන්. නමුත් පාලකයෝ බලන්නේ මහා පරිමානයේ මෙගා ප්‍රොජෙක්ට්ස්. ඉස්සර ආණ්ඩුවල ඔය වගේ වැඩවලින් ඒ ගොල්ලන්ට හම්බවෙච්ච කොමිස් ගතමනාවන් හරි හොඳයිලු. අද තත්ත්වය?
සමහර යු ටියුබ් කාරයන්ට ඕන ආණ්ඩුව වට්ටන්න. ඒ නිසා හොඳට රට හදන වැඩ වලට කැමති නැහැ. රට අඝාධයට යනවා නම් ඒ අය කැමතියි.
කොළඹ නගරයේ, විශේෂයෙන්ම කොළඹ 3, 7 පාරවල් අනවශ්‍ය ලෙස ‘වන් වේ’ කරලා. මේ නිසා ඉන්ධන පුච්චාගන වාහන වටේ දුවනවා. උදාහරණයකට බලන්න, බොරැල්ලේ සිට එන වාහනයක් හෝර්ටන් පෙදෙසින් වමට මේට්ලන්ඩ් ක්‍රසන්ට් එකට හරවලා, කුරුඳු වත්ත පොලිසිය ලඟට යන්න යනවා නම් එම වාහනයට කෙළින්ම යන්න බැහැ. මන්ද කිසි තේරුමක් නැතුව වම් පසින් පිහිටී ග්‍රෙගරි පාරට හැරෙන හන්දියේ සිට මේට්ලන්ඩ් පෙදෙස/මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියට (සෙන්ට් බ්‍රිජට්ස් මොන්ටිසෝරිය අසල) මීටර් 25ක පමණ පාර වන් වේ කරලා. ඒ නිසා කිලෝ මීටර් 3ක විතර අමතර රවුමක් ගහන්න වෙනවා එම මේට්ලන්ඩ් පෙදෙස/මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දිය කරා එන්න: වාහනය වම් පස ග්‍රෙගරි පාරට හරවා කිලෝ මීටරයක් විතර පෙට්‍රල් පුච්චගෙන සම්බෝධි විහාරය පහු කරලා දකුණට විජේරාම පාරට පැමිණ නැවත දකුණට SSC එක ලඟින් මේට්ලන්ඩ ප්ලේස් එකට හරවා මේට්ලන්ඩ් පෙදෙස/මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියට පැමිණීම.
රෙස්කෝස් එකේ KFC සිට කටුගෙය ගාවට තියෙන දුර KM 2 පමණ වුනත් වාහනේකට යන්න අමතර KM 3ක පමණ බොරු රවුමක් යන්න ඕන. KFC සිට කුරුඳු වත්ත පොලිසිය අසලින් ගිල්ෆ්රඩ් චන්ද්‍රවංකයට යන්න බැහැ රීඩ් මාවත වන් වේ කරලා නිසා. ඒ නිසා කොළඹ කැම්පස් එක ලඟින් දකුණට හැරිලා තර්ස්ටන්/රෝයල් ප්‍රයිමරි පසුකර තමයි කටුගෙයට යන්න වෙන්නේ. Km 2 ½ක විතර අමතර ධාවනයක්.
පාරවල් ‘වන් වේ’ කරන්න එපා කියනවා නෙවයි (ඉස්සර ‘වන් වේ’ කලේ කොටුවේ පාරවල් පමණයි), නමුත්, එය ඉතා කල්පනාකාරීව, කල යුතු දෙයක්. ආවට ගියාවට නොකළ යුතුයි.
සුද්දා පාරවල් නිර්මාණය කර වාහන ගමනාගමනය පිලියෙල කලේ කිසියම් සැලැස්මක් මතයි. දැන් සැලැස්මක් නැතුව පාරවල් ‘වන් වේ’ කරනවා. ත්‍රි රෝද රියදුරන්ට නම් හොඳයි – මීටරය හොඳට වැඩ කරනවා. බස් මඟින් කිලෝමීටර් ගණන් අමතරව පයින් ගාටනවා.
කොටුවේ සුද්දගේ කාලේ දැමු ‘වන්වේ’ නිතිය ඉතාම හොඳයි යෝර්ක් විදීය වගේ පාරවල. අදත් හොඳට ක්‍රියාත්මක වෙනවා.
2010 පමණ ගාලු පාර ‘වන් වේ’ කිරීම නිසා (කිසි තේරුමක් නැති වැඩක්) ඒ පාරේ තිබු බොහෝ ව්‍යාපාරික ස්ථාන ‘මැරී’ ගියා. අදත් මැරෙමින් පවතිනවා.
දැන් සති කිහිපයකට උඩදී ගාලු පාරෙන් බම්බලපිටිය හන්දියෙන් දකුණට බෞද්ධාලෝක මාවතට හරවන්න ඉඩ දී තිබෙනවා. කළින් වන් වේ. හොඳ දෙයක්.
පාරවල් ‘වන් වේ’ කිරීමෙන් බොහෝ විට අමාරුවේ වැටෙන්නේ අසරණ බස් මඟින්. ඔවුන්ට සමහරවිට බොහෝ අමතර දුර පයින් ගමන් කරන්න වෙනවා. වියපත් වැඩිහිටියන්, ළමුන් උස්සා ගෙන යන මවු වරුන් සහ අබාධිතයින් මේ නිසා තදබල අපහසුවට පත්වෙනවා.
පේරාදෙණිය කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන එක් දිශාවකට ගමන් කිරිම සඳහා වන නීතිය වෙනස් කල කල යුතුයි. ඒ මාර්ගයේ වාහන දෙපත්තටම ධාවනය කලොත් ගොඩක් මාර්ග තදබදය අඩු කරගන්න පුළුවන්.
පිටකොටුවේ බැස්ටියන් පාරේ කඩ සිය ගානක් නොදන්වා කැඩීම, සෙන්ට් ජෝන් මාළු මාර්කට්, සුප්‍රසිද්ධ මැනින් මාකට් ආදිය වෙනත් ප්‍රදේශ වලට රැගෙන යාම නිසා වුනේ පිටකොටුව ක්‍රමයෙන් ‘මැරී යාම ’. පිටකොටුව යනු අපගේ ප්‍රධාන බස් නැවතුම, කොටුව දුම්රිය ස්ථානය තිබෙන, ජනයා බොහෝ ගැවසෙන, කොළඹ නගරයේ ජනාකීර්නම තැනයි. එය ජනාකීර්ණවම තිබිය යුතුයි. පිටකොටුව පාළු කර ‘මරා’ දැමුවහොත් එය මෝඩ අදහසක්. වෙනත් බොහෝ ව්‍යාපාරද ‘මැරී’ යනු ඇත.
පිටකොටුවේ නව පාවෙන සාප්පු සංකීර්ණය (එක සාප්පුවක් වත් පාවෙන්නේ නම් නැහැ), මේ ව්‍යාපෘතිය අද අසාර්ථක වෙලා වගේ. නමුත් හොඳට හදලා ගන්න පුළුවන්. එතන තියෙන බේරේ වැව, පිරිසිඳුවට හදලා ගත්තොත් තියෙන සංචාරකමය වටිනාකම කියා නිම කරන්න බැහැ.
කෝටි ගානක් වියදම් කරලා හදපු මේ පාවෙන සාප්පු ව්‍යාපෘතිය අද මේ තරම් අසාර්ථක වෙන්නේ එදා බැස්ටියන් පාරේ කඩ සිය ගානක් කඩලා, පාරට ඇදලා දාපු මිනිස්සුන්ගේ සාපය වැදිලා වද්ද? මන්ද, සමහර මිනිසුන්ට විකල්ප වෙළඳ කුටි ලබා දී නැහැ.
අවුරුදු 100ට වැඩි කාලයක් පිටකොටුවේ ඒ ස්ථානයේ පැවති සෙන්ට් ජෝන් මාළු මාර්කට් එක එහිම තියාගෙන එතන අළුතින් පිහිටවපු රත්තරන් මධ්‍යස්ථානය හෙට්ටි විදිය අසල නව ගොඩනැගිල්ලක විවෘත කරන්න තිබුනා.
සෙන්ට් ජෝන් මාළු මාර්කට්, මැනින් මාර්කට්, පිටකොටුවේ පදික වෙළඳුන් ලෝක ප්‍රසිද්ධයි. මේවා පිටකොටුවටම ආවේනික වූ දේවල්. කොටින්ම පිටකොටුව පැවතුනේ එවන් දේ නිසායි. මේවා පිටකොටුවෙන් ඉවත් කර ඈතට ගෙනියන්න විවිධ හොඳ හේතු තිබුනත් (නව ව්‍යාපෘති වලින් එන කොමිස්) , ඒවා නැති කමින් පිටකොටුව නමැති අපේ වාණිජ මධ්‍යස්ථානයට හිඩැසක් එක් කර තිබෙනවා.
කලක් කදිමයට නඩත්තු කර පවත්වා ගෙන ගිය කොටුවේ ‘පැරණි කච්චේරිය’, නැවත තදින්ම අභාවයට ගිහින්. කුමාර විදියේ ඕලන්ද කෞතුකාගාරයද මීට වඩා උසස් තත්ත්වයෙන් තිබිය යුතුයි. එවිට මේවා සංචාරක තෝතැන් බවට පත් වේවි.
රජකාලේ, සුද්දාගේ කාලේ හදපු පැරණි, ලස්සණ ගොඩනැගිලි ජාතික උරුමයන් සේ සලකා රැක ගැනීමට නීතිමය පියවරන් ගත යුතුයි. රජයට අයත් ගොඩනැගිලි පමණක් නොව, පුද්ගලික ගොඩනැගිලි/ගෙවල් පවා ලැයිස්තු හදා සංරක්ෂණය කල යුතුයි. අනාගත පරපුරේ අභිවුර්ධිය තකා ඒවා කඩා බිඳ දැමීමට ඉඩ නොදිය යුතුයි.
කොම්පඥවීදියේ මුස්ලිම් පුස්ථකාලය තිබු පැරණි බ්‍රිතාන්‍ය රාජ්‍ය සමයේ බිහි කල ගොඩනැගිල්ල (දුම්රිය පොළ ඉදිරිපස පැත්තේ) අති දර්ශනීයයි. සංරක්ෂණ වටිනාකමක් තිබු ගොඩනැගිල්ලක්. එය පසුගියදා රේල් පාර උඩින් යන ගුවන් පාලමක් ඉදි කිරීමට කියා මුළුමනින්ම කඩා දමා තිබුනා. එම ගොඩනගිල්ලේ වැදගත් කම දැන සිටියෙක් සිටියා නම් බේරගන්න තිබුනා.
කොටුවේ පැරණි ඕලන්ද රෝහළ කඩලා රෙස්ටෝරාන්ට් සඳහා එම ගොඩනැගිල්ල බදු දුන්නා. නමුත් පැරණි ඕලන්ද රෝහළ ඒ විදියටම තැබුවා නම් විදේශ සංචාරකයෝ වැළ නොකැඩී එය බලන්න යනු ඇත.
මහනුවර බෝගම්බර සිර ගෙදර ගැනත් කියන්න තියෙන්නේ ඒ දේමයි. නවීන පන්නයේ රෙස්ටෝරන්ට්, කඩ, සසාප්පු ඕනෑම තැනක දමා ගන්න පුළුවන්, කෞතුක වස්තු එහෙම නැහැ.
අප කළ යුත්තේ වසර සිය ගණන් පැරණි කෞතුක වස්තු කඩා බිඳ දැමීම නොව අනාගත පරපුරන් සඳහා ඒවා සුරක්ෂා කිරීමයි.
කෝට්ටේ ප්‍රදේශයේ (ඇතුල් කෝට්ටේ, පිට කෝට්ටේ, ජුබිලි කණුව, මිරිහාන, ඇඹුල්දෙණිය) පුරාණ කෝට්ටේ රාජධානියට අයත් සහ එය විසින් තැනු, අදත් ඉතිරිව ඇති ගොඩනැගිලි, පුරාවස්තු, බලකොටු රාශියක් අප බලා සිටිද්දීම අපට අහිමිව යනවා.
පෞද්ගලික ඉඩම් හිමියන්ට වන්දි ගෙවා කෝට්ටේ රාජධානියට අයත් ගොඩනැගිලි, කොටුව අප ආරක්ෂා කර ගත යුතුයි.
කලින් පදික වෙළෙන්දන්ව සිට දැන් ඔවුන්ව පිටකොටුවේ බෝ ගහ පිටිපස ගාල් කර තිබෙන, ගෑස් පහ හන්දිය පැත්තේ ඉදිකර ඇති නව ගොඩනැගිල්ල. ඉතා අඩු පහසුකම් සහිත දුප්පත් පෙනුමයි. විශේෂයෙන්ම එළවලු/පලතුරු වෙළෙන්දන්ව දමා තිබෙන කොටස. හරියට අම්බලං වගෙයි. තද වැස්සක් ආවොත් හිරිකඩට වෙළෙන්දන් සහ ඔවුන්ගේ වෙළඳ භාණ්ඩ තෙමෙනවා. ඒ අයට තමන්ගේ බඩු තියාගන්න පමණක් නොවෙයි, එළවලු/පලතුරු හොදා ගන්න හොඳ ටැප් පද්ධතියක් වත් නැහැ. කඩවල එළියේ සේවකයෝ කුණු එළවලු තෝරනවා.
දැන් ඔන්න මල්වත්ත පාර මැදිනුත් ‘අම්බලමක් හදලා’ පදික වෙළෙන්දෝ දාන්න කියලා. ඒ පැත්තම කළුවර වෙලා ගිහිල්ලා. අවට කඩ සාප්පු වලටත්, ගොඩනැගිලි හිමියන්ටත් කරන අසාධාරණයක්, මොකද ඒවා මේ කඩවලට වැහෙනවා.
පිටකොටුවේ ඇතැම් හරස් විදී පදික වෙළෙන්දන් සඳහා විවෘත කිරීම හොඳයි. ඉතා අඩු මිලට පාරිභෝගිකයන්ට බඩු ගන්න අවස්ථාව ලැබී තිබෙනවා. හැබැයි MD ගුණසේන සාප්පුව පැත්තේ පේව්මන්ට් මුළුමනින්ම අවහිර කරගෙනයි ඒ අය වෙළදාම් කරන්නේ. මිනිස්සුන්ට ඇවිදින්න වෙලා තියෙන්නේ තඩි බස් සමඟ මහ පාරේ.
1, 2 3 හරස් වීදි සහ අවට විදී වල සාප්පු වලට පහරක් උනත්, සමහර පදිකයන්ට අපහසුතාවක් උනත්, පොදුවේ ගත්තොත් මේ ප්‍රදේශයේ පදික වෙළෙන්දෝ සිටීම හොඳ දෙයක්. ඒ ප්‍රදේශයට පිරිපුන් ජීවයක් ඔවුන් ලබා දෙනවා. මිනිසුන්ට තෝර තෝරා අඩු මිලට බඩු ගන්න පුළුවන්.
කොළඹ අනිත් ප්‍රදේශවලත්, මෙය ප්‍රවේශමින් නැවත පටන් ගන්න පුළුවන්. කුඩු ගගහා ඉන්න කොල්ලන්ව පදික වෙළෙන්දන් කරලා හොඳ දෙයකට දාන්න පුළුවන්.
හැබැයි පදික වේදිකා බදු අරගෙන, පදිකයන් පාරට ඇද දමන පදික වෙළඳුන් හඳුනා ගත යුතුයි. පොලිසිය ‘මොනිටර්’ කරන්න ඕන.
කොටුවේ YMBA සිට කොටුවේ රේගු මුලස්ථානය දක්වා පයින් යන පදික වේදිකාවේ ලොකු ඉඩ ප්‍රමාණයක් සමහර වෙළඳ කුටි (පදික වෙළඳුන් නොවේ) අල්ලාගෙන. මිනිස්සුන්ට පාරට බැහැලා යන්න වෙලා තියෙන්නේ. මගී ආරක්ෂාවට තර්ජනයක්.
කළින් නිවැසියන්ගේ කාර් පමණක් වගේ ගිය කොළඹ 3, 5, 7 වටිනා ගෙවල් තියෙන මාවත් – බගතලේ, ඇල්ෆ්‍රඩ්, මේට්ලන්ඩ්, නිදහස් මාවත වැනි පාරවල්, අද තඩි බස්/ලොරි වලට පමණක් නොවෙයි කන්ටේනර් පවා යාමට හැකි පරිදි විවෘත කරලා. ඒ නිවෙස්වල වූ මුල්‍යමය වටිනාකම් සහ ප්‍රදේශයේ තිබු සුන්දරත්වය මේ නිසා අහෝසි වී ගොසින්. නමුත්, ට්‍රැෆික් ප්‍රශ්නය විසඳන්න මේ දේවල් කරන්න වෙනවා කියා තමා රථවාහන පොලිසිය කීවේ.
අද වෝඩ් පෙදෙසේ, බොරැල්ල හරස් පාරේ මංසන්ධියේ සිට බොරැල්ල හන්දිය දක්වා ‘වන් වේ’ කරලා. මෙයින් මරදාන පාරේ, බොරැල්ල පැත්තට තිබෙන්නේ උග්‍ර වාහන තදබදයක්. මෙය ටිකක් හෝ අඩු කරගත හැකියි ඇස් වාට්ටුව පැත්තේ සිට එන වාහන, අඩුතරමින් ලොකු බස් වත්, වෝඩ් ප්ලේස් එක දිගේ කෙලින්ම බොරැල්ල හන්දියට ඇවිත් (එතන නව ට්‍රිලියම් මධ්‍යස්ථානය (කළින් දාස) ළඟ පාර තව පොඩ්ඩක් පළල් කල හැකියි) වර්ණ සඥයා මගින්, බොරැල්ල හන්දිය තුලින්, කොටා රෝඩ්හි බස් ස්ටෑන්ඩ් එකට යාමට සැලැස්වීමෙන්.
බොරැල්ල හන්දිය තරම් රථ වාහන තදබදය ඇති වෙනත් හන්දියක් නැත. 1994 රජය පොළව යටින් සාප්පු සහිත උමං පාරවල් හැදුවේ දුර දිග නොබලා. දැන්, ගුවන් පාලමක් හදන්න බැහැලූ යට තිබෙන උමං නිසා (කොන්ක්‍රීට් කණු හයි කරන්න විදියක් නැහැ). ගොඩාක් පහළට බැසිය යුතු මේ උමං තුලට ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට, අබාධිතයන්ට ගොඩ වෙන්න බැහැ. විදුලියෙන් පාවෙන පඩි පෙළවල් (එස්කලේටර්ස්) බිහි කිරීම අවශ්‍යයි.
නවීන තාක්ෂනය් උපයෝගී කරගෙන බොරල්ල හන්දියේ පාර 5 සඳහා ගුවන් පාලම් දැනුත් දැමිය හැකි බවයි සමහරු කීවේ. නැත්නම් පොලොව උඩින් යන පාරවල් සෑදිය යුතුයි. එය නම් අධි වියදම් සහිත වැඩක්.
දෙමටගොට ඉඳලා එන වාහන වලට රාජගිරිය දෙසට යන්න සය්කල් බසාර් එක ලඟින් වමට මැගසින් පාරට යන්න සැලස්වූවා චම්පික ඇමතිතුමා කාලේ. හොඳ වැඩක්. එය නිසා බොරැල්ල හන්දිය මඟ හැර එලියට් පාරෙන් කොටා පාරට වැටෙන්න පුළුවන් – රිට්ස් ෆිල්ම් හෝල් එක ඉදිරියට. නමුත් වැඩි දෙනෙක් මේ නව පාර දන්නේ නැහැ.
ආයුර්වේදේ, රාජගිරිය පැත්තෙන් එන වාහනවලට කොටා පාරෙන් බොරැල්ල නගර සභාවේ සුපර් මාර්කට් එකේ ගේට්ටුවෙන් වම් අතට හැරිලා කනත්ත පාරට යන්න පුළුවන් විදියට අලුත් වන් වේ පාරක් හදන්න ඕන.
නැත්නම්, ඔලම්ස් පෙදසේ (NAB බැංකුව, ලිඩෝ සිනමාහල ඉදිරිපිට පාර) අවසන් වන තාප්පේ කඩලා එය සම්නර් පාරට යා කරන්න ඕන – රාජගිරිය පැත්තෙන් එන වාහනවලට බොරැල්ල හන්දිය මඟ හැරලා කෙලින්ම කනත්ත හන්දියට යන්න. පීඩා වන නිවැසියන්ට වන්දි ගෙවිය යුතු වේවි. එවිට, බොරැල්ල හන්දියේ රථ වාහන තදබදය ගොඩාක් අඩු වේවි.
එදා කොළඹ 3, 5 7 සහ 8 සමහරක් ප්‍රදේශවල විසු නිවෙස් අයිතිකරුවන් බොහෝ දෙනක් තම ඉඩම් විකුනලා බත්තරමුල්ල, නිට්ටඹුව, ජාඇල වැනි පැතිවලට ගිහිං.
මේවා කොළඹ ජීවත්වීමට හොඳම ප්‍රදේශ.
එදා කොළඹ 3, 5 7 සහ 8 (සමහරක් ප්‍රදේශ) කළින් නිවෙස් අද බොහෝ නිවෙස් කාර්යාල/ආපන ශාලා වෙලා බවට පත් වෙලා. එදා හැම ගෙයකම අක්කර ¼, අරික්කාල, වගේ විශාල ඉඩම් තිබුනා, අද පර්චස් 5-6 වගේ පොඩි කෑලි වලට කෑඩි ගිහින්. මෙයින් විද්‍යාමාන වන්නේ බස්නාහිර පළාතේ, විශේෂයෙන්ම කොළඹ ඇති තදබල ඉඩම් හිඟ කමයි.
රටේ ජනගහනය පාලාත් 9ම ව්‍යාප්ත විය යුතුයි. බස්නාහිරට පමණක් මිනිස්සු හිර කලොත්; රටේ වෙනත් ප්‍රදේශවල ජනයා බස්නාහිරට ගෙනාවොත්, දැන් තියෙන ප්‍රශ්ණ දෙගුණ, තෙගුණ වේවි. රටේ සෑම ප්‍රදේශයකම රැකියා අවස්ථා බිහි කල යුතුයි; බස්නාහිර පමණක් නොවෙයි.
කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව යුනියන් ප්ලේස්හි සළාකා අසළ පාරේ තිබුණු බස් හෝල්ට් ඒක ඉවත් කළා. මේ නිසා වැඩිහිටියන්ට ඉමහත් හිරිහැරයක්. ඇස් වාට්ටුව හන්දියේ (විෂන් කෙයා) සිට ඉබ්බන්වල බස් ස්ටෑන්ඩ් එකට පයින්ම ඇවිදගෙන යන්න වෙනවා – කිමි ¾ වගේ.
ඒ වගේම කොටුවේ හිල්ටන් හෝටලේ අසල තිබුණු බස් ස්ටෑන්ඩ් එක ඉවත් කළා පමණක් නොවෙයි බොරැල්ල සිට එන බස් කොටුව YMCA එක ලඟට යාම වැලක්වුවා මෑතකදී. ඉතාම වැරදි වැඩ.
දැන් ඒ බස්, කොටුව දුම්රියපොළ අසලින් ගමන අවසන් කර, කස්ටම් බිල්ඩිම ලඟින් U ටර්න් එකක් දමා නැවත පිටකොටුවට යනවා, බොරැල්ල පැත්තට.
මේ නිසා කොටුවේ චැතම් විදියේ දිනපතා වැඩ කරන කෙනෙකුට බොරැල්ල/නාරාහේන්පිට බසය අල්ලන්න එතැන සිට කස්ටම් බිල්ඩින් එක දක්වා කිලෝ කිමි ¾ වීතර පයින් යන්න වෙලා තියෙනවා.
මරදානේ පැත්තේ සිට ටෙක්නිකල් හන්දිය පසු කර උසාවියට යන බස් මාර්ගය (171) නතර කළා. අද අලුත්කඩේ උසාවියට යන සෑම කෙනෙක්ම ටෙක්නිකල් හන්දියේ සිට උසාවියට පයින් යායුතුයි – km ¾ පමණ. නඩු හබ වලට යන අයට, තියෙන කරදර මදිවට.
වෙන රටවල් බස් මගීන්ට, පදිකයින්ට මුල් තැන දෙනවා අන් සියළු වාහනවලට වඩා. අපේ රටේ කොළඹ රථවාහන පොලිසිය ඒ අයට කුඩම්මාගේ සැලකිළි ලබා දී තියෙනවා.
තියෙන බස් හෝල්ට් ගලවන, බස් රූට් කැන්සල් කරන වෙනත් රටවල් තිබේද?
වාහන නැති දුප්පත් ජ්‍යෙෂ්ට පුරවැසියන්ට/ආබ්ධිතයන්ට මොන තරම් පීඩාවක්ද මේ අමතර පයින් ගමන් කිරීම් නිසා සිදුවී තිබෙන්නේ.
දුර්වල මගී ප්‍රවාහන සේවා නිසා වැඩියෙන්ම බැට කන්නේ අපේ ජ්‍යෙෂ්ට පුරවැසියන්, අබාධිතයන්, පොඩි දරුවන් අරං යන අම්මලා, ගැබිණි කාන්තාවන් වැනි අය. රටේ මිනිසුන් පෝලිම් සංස්කෘතියකට හරියට පුරුදු වී නැති නිසා (පෝලිම් පනින සංස්කෘතිය නම් හොඳට තියෙනවා), මෙවැනි, සමාජයේ දුර්වල අය, ඉමහත් අපහසුවට පත් වෙනවා.
අප අමතක කරන්න හොඳ නැහැ අපේ ජ්‍යෙෂ්ට පුරවැසියන් නිසායි, ඒ කාලේ ඒ අය දුක් මහන්සි වී වැඩ කල නිසායි, අපේ රට මේ තත්ත්වයෙන් දියුණු වී තියෙන්නේ.
ඉස්සර තිබු සමහර බස් මාර්ග අද අවලංගු කරලා හෝ නැත්තටම නැතිකරලා – 104 බම්බලපිටිය – වත්තල, කොටුව – සීවලී ලේන් (146) උදාහරණ. මේවා ඉතා ජනාකීර්ණ බස් රූට් වෙලා තිබුනේ, විශේෂයෙන්ම, 168 නුගොගොඩ – කොටහේන බස් රූට් එක. මේවා ‘මරා’ දැම්මට ඒවාට විකල්ප, ඒ බස් රූට් භාවිතා කල මගීන්ට සපයලා නැහැ.
මේ ප්‍රධාන රූට් වහලා දාලා තියෙන්නේ ප්‍රයිවෙට් බස් කාරයන්ගේ ඕන කමට?
මේ ලිපි පෙළේ කළින් ලිපියක සඳහන් කලා 155 රූට් ඒක (ගල්කිස්ස – මට්ටක්කුලිය) යළි විවෘත කිරීම ඉතා හොඳයි කියා, පොඩි උත්සවයක් ගත්තට කමක් නැහැ.
ජනගහනයේ වැඩි වීමක් සිදුවෙද්දී තියෙන බස් රූට් කැපීම නොව කල යුත්තේ ඒවා වැඩි දියුණු කිරීම සහ මහජන අවශ්‍යතා අනුව නව රූට් ඇතිකිරීමයි.
බස් මඟින් 2වැනි පන්තියේ පුරවැසියන්ද? අදත් මේ රටේ 75% – 80%ක් පමණ ජනතාව ගමනාගමනය පිණිස භාවිතා කරන්නේ බස් ප්‍රවාහන සේවයයි.
ඔය අධිවේග නිසා ඒවාට පිවිසුම් මාර්ග සහ අසබඩ මාර්ගවල වාහන තදබද වැඩි වුනා. අධිවේග හැදීම නිසා හොඳ රබර් වතු දෙකට මැදින් කපා ගොස් තියෙන හැටි. පරිසර දුෂණය, උරගයින්, මොනරු වගේ සත්තු විශාල පරිමාණයෙන් මැරෙන විදිය දැක්කහම දුක හිතෙනවා.
දැන් හුංගම, අම්බලන්තොට, හම්බන්තොට පැත්තේ ජනාකීර්ණ තැන් වල පවා මොනරු, වඳුරන් සහ වෙනත් දුර්ලභ කැලෑ සතුන් දකින්න ලැබෙනවා. ඒ, ඒ සතුන්ගේ වාසභුමි වූ කෑලෑ එලි කර, විනාශ කරදෑමිම නිසායි.
ප්ලේන් එන්නැති මත්තල ගුවන් තොටුපොළ නිසා විශාල කැලෑ ප්‍රමාණයක් නැතිව ගියා. එදා වල් අලින්, මොනරුන්, වඳුරන් බහුලව තිබු සුරිය වැව කැලය අද නැහැ.
කවදාවත් මොනරුන් නොසිටී බොරලැස්ගමුවේ, අතුරුගිරියේ, පමුණුගම, ජා ඇල, ගම්පහ දැන් මොනරු.
බෙල්ලන්විල රක්ෂිතය බොහෝ දුරට එලි කිරීම, ඉඩම් ඇල්ලීම වැනි ක්‍රියා නිසා එහි සිටි වඳුරන්, රිලවුන් දැන් බොරලැස්ගමුව පැත්තේ පුද්ගලික වතුවලට පැන වගා හානි කරනවා. රක්ෂිතයේ ඇලේ හිටපු කිඹුල්ලු අද නැතිම වෙලා යන තත්වයකට ඇවිල්ලා.
රජ කාලේ ඉඳන් තදින් ආරක්ෂා කල, මිල කල නොහැකි වටිනාකමක් ඇති, මුතුරාජවෙල රක්ෂිතය අද ගොඩාක් දුරට නැති වෙලා, වැඩියෙන්ම කටුනායක අධිවේගය නිසා. අනිත් පැත්තෙන්, තුඩැල්ල – බෝපිටිය/පමුණුගම පාරේ දෙපස මේ රක්ෂිතය නැතිවෙලාම වගේ ගිහිල්ලා – අද සීමාවී තිබෙන්නේ ඉතා කුඩා බිම් තීරුවලට පමණයි. දේශපාලනඥයයෝත් එහි ඉඩම් අල්ලා ගත්තා කියා ප්‍රවුර්ති පලවී තිබුනා.
2010 – 2015 තුල පුදුමාකාර ලෙස ස්වාභාවීක පරිසරය විනාශ කිරීමක් වුනේ. ආයිත් 2019 – 2022 කාලයේදී.
ඇමරිකාව, ඕස්ත්‍රේලියාව වගේ රටවල රජයේ එක ඉඩම් අඟලක් හරි හොරෙන් කොල්ලා කා තිබ්බොත් අවුරුදු 5න් එහා හිරේ.
හැමිල්ටන් ඇල සහ ඒ අවට ප්‍රදේශය මොනතරම් සුන්දරද? ඒත් අප අද ඇලකන්ද /හැඳල/මෝදර පැති වලින් යන්නේ නහය වහගෙන නේද? ඕලන්ද කාලයේ හැදු මේ ඇල හොඳින් පිරිසිඳු කර බලාගත්තොත් එය සංචාරකයන් අද්දවාගන්නා වූ කාන්දමක් වෙනවා නිසැකයි. එපමණක් නොවෙයි, ඒ පළාත්වල වැසියන් නිරෝගීව තබා ගැනීමටත් උදවු වෙනවා.
මේ කිසිම ‘වැඩකට නැති’ පළාත් සභාවලින් මේ පුංචි රටට ඇති පලය කීම?
පළාත් සභා එන්න කලින් මේ රටේ පරිපාලනමය කටයුතු මැනවින් සිදු වුනා නේ.
අහිංසක සුළු ජාතින් මේවා ඉල්ලුවේ නැහැ; ඒ අයට ඕන මහ ජාතිය සමඟ සමඟියෙන් ජිවත් වෙන්න. නමුත් සමහර සුළු ජාතික ජාතිවාදී නායකයෝ තම ජනතාවගේ නම විකුණා රට කඩන ඉල්ලීම් ඉල්ලනවා.
1987 හඳුන්වා දුන් 13 වන සංශෝධනය තමයි මේ රටට ගොඩාක්ම වින කලේ. අපේ රටේ ස්වෛරීභාවයට තදබල පහරක්.
ජවිපෙ ආයුධ අතට ගත්තේ මෙයට විරුද්ධ වීමටයි.
ඔවුන් එදා පළාත් සභා පිහිටුවීමේ විරෝධයට ගත් ක්‍රියාමාර්ග සාධාරණයි. හැබැයි පසුව දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවලට යොමු වුනා – 1989, 1990. ඒවා වැරදි.
මුළු රටටම ඇඳිරි නිතීය දමලා, බස්/ගොඩනැගිලි ගිනි තියලා අති බලවත් මහජන අප්‍රසාදය මැදයි JR ඉන්දියාව සමඟ පළාත් සභා ඇතිකරන ගිවුසුම අත්සන් කලේ. එදා එයාගේ දෙපැත්තෙන් හිට ගත්තේ ACS හමීඩ්, දේවනායගම් සහ ගාමිණි දිසානායක.
එවකට හිටපු අගමැතිත් (R ප්‍රේමදාස මහතා) අරලිය ගහ මන්දිරයෙන් පිටතට අවුත් විරෝධය දැක්වූ ජනතාවට එක් වුනා කියලායි ආරංචි උනේ. එවකට සිටි, පසුව වෙඩි තැබීමකට ලක්ව අභාවප්‍රාප්ත වූ, ගරු වෙළඳ ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතාත් ගිවුසුම අත්සන් කරන උත්සවය වර්ජනය කළා. පළාත් සභා වලට විරෝධය පල කරමින් සෞඛ්‍ය ඇමති ගාමිණි ජයසුරිය මහතා ඇමති මණ්ඩලයෙන් ඉල්ලා අස් වුනා. එතුමා අනගාරික ධර්මපාලතුමාගේ ඥාති පුතෙක්. සිරිල් මැතිව් මහතාත් කැබිනෙට්ටුවෙන් පසු කාලයකදී ඉවත් වුනා.
13 වන සංශෝධනය ගෙනාවත්, ඉඩම් සහ පොලිස් බලතල මධ්‍යම රජය තියා ගත්තා. JR කල එක් හොඳ වැඩක් ඒ. නමුත්, එක් පළාත් සභාවක් කටයුතු කලේ ඒ අයට ඉඩම් බලතල ලැබිලා තිබුනා වගේ.
2009 මැයි 19 වෙනිදා යුද්ධය දිනපු ගමන් බුද්ධිමත් නායකයෙක් නම් කරන්නේ ‘මේ රටේ තිබුනේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක්, දැන් එක ඉවරයි’ කියලා 13 වන සංශෝධනය අහෝසි කරලා දාන එකයි (පළාත් සභා ක්‍රමය එතනින්ම හාන්සියි).
ඉන්දියාවට ගැලපුනාට (ඒ අය විසින් බලෙන් අපිට ස්ථාපිත කල 13 වන ව්‍යවස්ථා සංශෝධනය) මේ අපේ පුංචි රටට පළාත් සභා අවශ්‍ය නැහැ. අපේ රට පුංචි වැඩියි. සියළු ජාතින්, සාමයෙන්, සමගියෙන් එක ධජයක් යටතේ එක දේශයක ජිවත් විය යුතුයි.
ලංකාවටයි ඉන්දියාවටයි එකම පාලන ක්‍රමයෙන් කරන්න බැහැ. ලංකාවේ ජනගහනය මිලියන 22යි, ඉන්දියාවේ මිලියන 1200යි. තමිල්නාඩුවේ පමණක් මිලියන 70යි.
ඉන්දියාවේ ක්‍රමේ මෙහෙ කරන්න ගිහිං අපි අන්තිමටම එරිලා, නහය ළඟටම. පළාත් සභා නඩත්තු කරන්න (පඩි නඩි, වාහන. බොඩි ගාඩ්ස්, නිල නිවාස, කාර්යාල විදේශ සංචාර). කිසිම වැඩක් නොකරන පළාත් සභා වල (කරන වැඩ කලින් තිබු කච්චේරි/ප්‍රාදේශීය සභා මඟින් කල හැකියි), මේ දේවල්වලට වැය කරන්නේ මහජන මුදල් රුපියල් බිලියන් ගණනින්. ප්‍රාදේශිය සභා, මහා නගර සභා වලින් තමා මහජනයාට සේවයක් සිදුවන්නේ, පළාත් සභා වැඩක්ම නැහැ.
නමුත්, දැන් නම් පළාත් සභා අහෝසි කරන්න පුළුවන් වේය කියා හිතන්න අමාරුයි. අති දැවැන්ත වෘක්ෂයක් බවට එය පත් වෙලා. අහෝසි කරන්න පුළුවන් වෙලාවල් වලදී කලේ නැහැ විශේෂයෙන්ම 2009 සහ 2012 දී.
උතුරු නැගෙනහිර පමණක් තබා ගෙන ඉතිරි 7 අහෝසි කරමු කියන අයත් ඉන්නවා. ප්‍රවේශමින් සළකා බැලිය යුතු යෝජනාවක්.
පළාත් සභා ඕනම නම්, අපට ඒමට හැකි ජාත්‍යාන්තර මානව හිමිකම් තහංචි ගැන හිතලා උතුරට සහ නැගෙනහිරට පමණක් පළාත් සභා 2ක් දිය හැකියි. ජන්දදායකයින් ලක්ෂ 10 ක් වත් නැති වයඹ, සබරගමුව, උතුරු මැදට, දකුණට මොන පළාත් සභාද? ඒවාට වෙනම නිතී?
යුද්ධේ දින්න ගමන් අපේ හිටපු නායකයා ඉන්දියාවට ගොස් පොරොන්දු වුනා පූර්ණ 13 විතරක් නොවෙයි 13+ දෙනවා. UN ලොක්කා, බැන්කී මුන්ට පොරොන්දු වුනා හමුදාවේ යුධ අපරාධ පිළිබඳව විමර්ශනය කරනවා කියා. කිසි තේරුමක් නැති ප්‍රතිඥ්යා ඒවා.
රට ඇතුලෙන් විරෝධය එන නිසා පොරොන්දු වූ 13+ නොදී සිටීන විට ඉන්දියාව තරහ වූනා. ජෙනිවා වලදී අපට විරුද්ධව යෝජනා ගෙනාවා පමණක් නොවෙයි අහිංසක දෙමළ වැසියන් 40,000ක් යුද්ධය අවසන් වෙලාවේදී අපේ හමුදාව විසින් මරා දැමුවා කියන බොරු චෝදනාවෙන් අපව නිදහස් කරන්න ඉන්දියාව සහයෝගය දුන්නේ නැහැ.
අද හරි ඉන්දියාවෙන් සහයෝගය ලබා, මේ අමුළික පට්ටපල් බොරු චෝදනාවෙන් අපි නිදහස් වෙන්න බලන්න ඕන. මන්ද, ඉන්දියාව සත්‍ය දන්නා නිසා.
රටේ නායකයා දැන ගන්න ඕන විදේශ රටවලට ගිය විට 13+ දීම වැනි මෝඩ කථා කථා නොකර සිටීමට. වර්තමාන සහ ඉදිරියට එන නායකයනට මේවා හොඳ පාඩම්.
ලංකාවට වඩා 125 ගුණයෙන් විශාල වූ, මහාද්වීපයක් වූ, ඕස්ත්‍රේලියාවෙත් තියෙන්නේ පළාත් ආණ්ඩු 6යි (අමතරව, ටෙරිටරි 2යි). අපේ පුංචි රටේ පළාත් ආණ්ඩු 9ක්.
නැවතත්, ජනගහනය මිලියනයක් වත් නැති සබරගමුව, ඌව, වයඹට වෙනම ආණ්ඩු! ඒ කියන්නේ වෙනම නීති පද්ධතීන්, වෙනම පොලිසී, වෙනම උසාවි ….
කුරුනෑගල වැව රවූමේ රජය සතු වටිනා, දර්ශනීය නිවෙස් දැන් පළාත් සභා නියෝජිතයන් පරිහරණය කරනවා, මොකද ඒවා සතු වයඹ පළාත් සභාවට.
සෑම පළාත් සභාවක මන්ත්‍රීවරු පිටරට ගියා සවාරි, පළාත් සභාවල සල්ලි වලින්. ඒ පළාත් වල ඉස්කෝල ළමයිට පුටු මේස සහ රෝහල් වාට්ටු ප්‍රතිසංසකරණය කරලා, ඇම්බියුලන්ස් එකක් හෝ දෙකක් අරගෙන, ගම්වල වලවල් තියෙන පාරවල් ටිකක් කොන්ක්‍රීට් කරලා දාන්න තිබුනා නේද ඒ සවාරිවලට ගිය කෝටි ගණන් සල්ලි වලින්. යන්නම ආස නම් තමන්ගේ සල්ලිවලින් යන්න කියන්න තිබුනා.
මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 20 ක් සහ නිලධාරි කණ්‌ඩායමක් එම පළාත් සභාවේ සල්ලි වලින් චීන රටේ සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැරව ගියේ 2016 ජුනි මාසයේදී.
ලංකාවට හරියන්නේ බලවත් වූ මධ්‍යම ආණ්ඩුවක්. සෝල්බරි ව්‍යවස්ථාව කදිමෙට මේ රටට වැඩ කළා. දැන් ව්‍යවස්ථාව අවුල් වූ නූල් බෝලයක් වගෙයි.
1970දි මුදියන්සේ තෙන්නකෝන් මහත්තයා නිකවැරටිය ආසනය දිනුවේ ශ්‍රී ලංකා, යුඑන්පී දෙකම පරද්දලා ස්වාධින අපේක්ෂයෙක් ලෙස. තවත් හිටපු ස්වාධින මන්ත්‍රිවරු තමයි ආර් ජි සේනානායක (කැළණිය), ඩොනල්ඩ් ජේ රණවීර (මස්කෙළිය), විජයානන්ද දහනායක (ගාල්ල) වගේ මහත්වරු. මේ අයට යු එන් පී, ශ්‍රීලනිප දොගොල්ලම පැරදුනා. අද?
අද ආසනේකට කියලා මන්ත්‍රී වරයෙක් නැහැ. දැන් තියෙන ව්‍යවස්ථාවෙන් ස්වාධින මන්ත්‍රීවරයෙක් වෙනවා පමණක් නොව ස්වාධීනව, තනිවම චන්දෙ ඉල්ලනවත් බැහැ – මේවාටත් වඩා ප්‍රජාතන්ත්‍ර විරෝධී චන්ද ක්‍රමයක් වෙයිද?
ඒ දවස්වල ඔය මනාප තිබුනේ නැහැ. ආසනවලට අපේක්ෂකයෝ ඉදිරිපත්වෙලා වැඩි චන්ද ලබාගෙන පාර්ලිමේන්තු ගියා. ඉතා තියුණු තරග පැවතුනා. චන්දේ දිනන්න නම් චන්දේ ඉල්ලා ගෙන් ගෙට යාම ඒ කාලේ අනිවාර්යයයි. අති තියුණු සටන් වලින් පසුව චන්ද 45, 103, 300, 500 න් වගේ දිනපු මන්ත්‍රීවරු හිටියා. පරාජිතයෝ පරාජය පිළිගෙන නම්බුකාර විදියට ගෙදර ගියා.
ඒ දවස්වල චන්ද දායකයෝ දන්නවා ඒ අයගේ මන්ත්‍රි හරියටම කවුද කියලා. නරක අයව ඊ ලඟට එන මැතිවරණයෙන් පරාද කර ගෙදර යවනවා. ලංකාව වගේ පොඩි රටකට හරියන්නේ මේ ක්‍රමයයි.
අද බොහෝ විට සල්ලිකාරයෝ දිස්ත්‍රික්කය පුරාම සල්ලි වියදම් කරලා මනාප අරගෙන පාර්ලිමේන්තුවට රිංගනවා. බලයට ආපු දා ඉඳලා ලබන චන්දෙ දිනන්න වියදම් කරන්න සල්ලි හොයනවා. ඒ අය ඉන්නකම් මේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර වූ ක්‍රමය වෙනස් කරන්න දෙන්නේ නැහැ.
එක් පළාත් සභා ආන්ඩුකාරවරයෙක් 2000 මැද ගණන් වල මහජන මුදල් රුපියල් මිලියන 18.55 ක් වැය කර, පුද්ගලික තෑගී මිලදී ගෙන, තමන් දෙන තෑගී හැටියට දීලා. මැරුනහම, මිනිහගේ පිළිරුවක් එහෙමත් හදයි.
චන්දෙට ඉස්සෙල්ලා නොයෙක් පොරොන්දු දෙනවා. එහෙම කියලා චන්දෙය දිනනවා. දින්නට පස්සේ ඒ දේ හරියටම කරන්නේ නැහැ. කාවද මේ අය රවටන්නේ; තමන්ව දිනවපු චන්දදායකයින්ව. කුඩා දරුවන් මේවායින් ඉගෙන ගන්න පාඩම මොකක්ද?
බොරු කීම හොඳයි කියලා කියන එක මේ රටේ පාලකයෝ ඔප්පු කලේ ඔය ‘හඳෙන් හරි ගෙනල්ලා හාල් නිකන් දෙන්නම්’, ‘ඇට අට දෙන්නම්’ වගේ බොරු පොරොන්දු වලින්.
1950 ගණන් වල පැය 24න් රාජ්‍ය භාෂාවක් ඇතිකරලා රටේ නැති ප්‍රශ්න ඇති කරලා, දින කිහිපයක් ඇතුලත u- ටර්න් එකක් ගත්තා පෙඩරල් ක්‍රමයක් දෙනවා කියලා. ආපසු, හාමුදුරුවරු සත්‍යග්‍රහ කරන කොට ඒ පෙඩරල් යෝජනාව හකුලා ගත්තා. මේ අය දේශපාලනඥයයෝද, මඩේ හිටවපු ඉනිද?
1983 ජාතිවාදී කෝලාහල ඇතිවුනේ එවකට හිටපු පාලකයන්ගේ අනුදැනුම මත කියලා සමහරු කියනවා. අහිංසක දෙමල මිනිස්සුන්ගේ ගෙවල් හොයාගෙන ගිහින් ගිනි තියලා තියෙන්නේ ග්‍රාමසේවක ලැය්සිතු අතේ අතිවලු.
එදා 1983 කල ඒ ‘ගොන්’ වැඩය නිසා අදත් අප ජාත්‍යාන්තරයේ විඳවනවා.
ජාතියේ පියා එදා කෘෂිකර්මාන්ත ඇමති සහ පසුව අගමැති අවධියේ බිහිකළ පදවිය, ශ්‍රී පුර, ගල් ඔය, ගෝනගල, අරන්තලාව, කනතලේ, කන්දකඩුව වැනි ගොවි ජනපද නොවන්න අප අද විදේශ වලින් සහල් ගෙන්වනවා මහා පරිමාණයෙන්. එතුමා නැතිනම්, මායිම් ගම් කියන ගම් පටන් ගැනෙන්නේ අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර වගේ තැන් වලින්.
1972 දී මැරෙනකොට තමන්ගේ බැංකු පොතේ රුපියල් 350ක් පමණක් තිබු හිටපු අගමැති කෙනෙක් හිටියා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු නිරතුරුවම වෙනස් කරන ලියවිල්ලක් නොවිය යුතුයි. ‘බල්ලන්’, ‘පුසන්’ සඳහා වූ පනත් නම් නිරතුරුව වෙනස් කලාට කමක් නැහැ.
ඇමරිකාව, කැනඩාව, ඕස්ත්‍රේලියාව, සිංගප්පුරුව වැනි දියුණු රටවල් ඒ අයගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ අපේ විදියට වෙනස් කරන්නේ නැහැ.
ලී ක්වාන් යු (සිංගප්පුරුව) සහ ජෝන් හවර්ඩ් (ඕස්ත්‍රේලියාව), දෙන්නම කිවුව දෙයක් ‘බලන්න ශ්‍රී ලංකාව දිහා, ඒ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා ආමරුවේ වැටුන අය, අප ඒ අයගෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි’.
ඉස්සර අමාත්‍යංශයකට වෙන් කරන මුදල් වලට අත තියන්න පුළුවන් අමාත්‍යංශයේ ලේකම්තුමාට පමණයි, ඇමතිට බෑ. අද ඔක්කොම ඇමතිට යටයි වගේ.
මහජන කටයුතු සඳහා වෙන්කරන මුදල් අද ඇමතිලා පිටරට සවාරි (තම හෙන්චයියන් සමඟ), භෝජන සංග්‍රහ, ගෙදර විදුලි බිල/ජල බිල ගෙවන්න පවා පාවිච්චි කර තිබෙනවා. මාලිමාව මේ සංස්කෘතිය වෙනස් කලොත් ඉතාම හොඳයි, බලා හිඳිමු.
ඉස්සර රජයේ වැඩ කෙරුනේ දෙපාර්තමේන්තුවලින්. අමාත්‍යංශ තිබුනේ ඉතා පොඩි ආයතන හැටියට. අද දෙපාර්තමේන්තුවලට තැනක් නැහැ, සෑම දේම වගේ වෙන්නේ අමාත්‍යාංශයෙන්.
1948 ශ්‍රී ලංකාවේ ප්‍රථම රජයේ කැබිනට් මණ්ඩලය සමන්විත වුනේ සාමාජිකයන් 18 දෙනෙක්ගෙන් විතරයි.
2000 ගණන්වල 100 අසන්න ඇමති මණ්ඩල තිබුනා.
අද මාලිමාව යටතේ නැවතත් හොඳයි. 1970 මැතිණිගේ කැබිනට් මණ්ඩලයට අයත් වුනේ 21 දෙනායි.
ශ්‍රී ලංකාව මෙන් 120 ගුණයක් විශාල ඕස්ත්‍රේලියාවේ කැබිනට් මණ්ඩලයට අදත් ඉන්නේ සාමාජිකයන් 20 දෙනෙක්විතරයි.
රජය ශක්තිමත් කරගන්න කියලා තමයි හැම මන්ත්‍රී කෙනෙකුටම වගේ කැබිනට්/රාජ්‍ය/නියෝජ්‍ය ඇමතිකම් දුන්නේ. ශක්තිමත් රජයක් අවශ්‍ය බව ඇත්ත, නමුත්,
ජනතා නියෝජිතයන් හැටියට මන්ත්‍රීවරු දැනගන්න ඕන තමන්ගේ පුද්ගලික අභිමතාර්ථයන්ට පෙර රට, ස්වකිය ප්‍රතිපත්ති, ජනතාවට දුන් පොරොන්දු ගැන හිතන්න.
කැබිනට් මණ්ඩලය ඉතා විශාල වීම නිසා ඒ අය නඩත්තුවට අති විශාල මහජන මුදලක් වැය කරන්න වුනා. කට්ටිය වැඩි වුනහම ඇතුල අවුල්, පාලනය කරගන්න අපහසුයි. කැබිනට් රහස් ලෙහෙසියෙන් එලියට ‘ලීක්’ වෙනවා. හොරකම්/අක්‍රමිකතා කරන අයට ලෙහෙසියි.
මැති ඇමතිවරු සීමාවක් නැතිව පිටරට සංචාරය කලා. ගොඩක් හිටපු ඇමතිවරුන්ට පිටරටවල (බටහිර) ගෙවල් තියෙනවා. කොපමණ නම් හොරකම් කරන්න ඇද්ද?
අමාත්‍යංශවල මුදල් වලින් පිටරට හෝටල වල මත්පැන් බිල් පවා ගෙවා තියෙනවා හිටපු ඇමතිවරු. මේවා දැන් ඉහලින්ම සොයා බලා නවත්වන්න ඕන දේවල්.
දේශපාලනඥයන්ගේ වංචා දුෂණ හොයනවා නම්, සිය විරුද්ධවාදීන් හෝ තමන් සමඟ තරහා අයගේ පමණක් වංචා දුෂණ හොයනවා නම් ඒකත් වංචාවක් සහ දුෂණයක්.
මේ මාලිමා ආණ්ඩුව ඇතුලේ ඉඳන් වංචා දුෂණ කරන අයවත්, කොයිතරම් බලවත් උනත්, කොයි තරම් තද මිතුරන් උනත්, අල්ලන්න ඕන. නැත්නම් මේ අයවත් හොරුන්ගේ ගණයට තමා අපට දාන්න වෙන්නේ.
වංචා දුෂණ කරපු දේශපාලනඥයන් අල්ලස් සහ දුෂණ කොමිසමට අරගෙන යන එක හොඳ දෙයක්. නඩු පවරා වැරදි කරුවන්ව හිරේ යැව්වහැම තමා උපරිම මහජන විශ්වාසය රජයට ලැබෙන්නේ.
දේශපාලනඥයින් ස්වකිය බිරියන්, දරුවන්, ඥාතින් සිය පුද්ගලික ලේකම්ලා, සම්භන්ධීකරන ලේකම්ලා කරගත්තා. සමහර අයට සංස්ථා සභාපතිකම්/අධ්‍යක්ෂකම් අරං දුන්නා. ඒ වගේමයි ලිංගික අල්ලස් ප්‍රශ්ණ. මේවා වංචා දුෂණ වලට ඉනිමං තැනීම්. මේ වැරදි වැඩ තහනම් කර පමණක් මදි. යාළු, මිත්‍රයෝ, ඥාති වුනත් සියළු හොරුන් ඇල්ලිය යුතුයි.
එසේ කරයි කියා හිතන්න අමාරුයි, බොහෝ කරන දේවල් ජනතාව මුළා කරන මාධ්‍ය සංදර්ශන.
ඔක්කොම යාළුවො මල්ලි!
මේ රජයේත් ඥාති සංග්‍රහ, ගජ මිතුරු සත්කාර තියෙනවනේ. තදබල වැරදි වැඩ.
වංචා දුෂණ, අල්ලස් ගණන් ගන්නේ නැති හෝ ඒවායේ බරපතලකම අවතක්සේරු කරන අය බොහෝ විට තාන්න මාන්න ලැබුනොත් ඒ වගේ දෙවල් කරන අය.
නව ආචාර්යධර්ම පද්ධතියක් දේශපාලනඥයන්ට සහ රාජ්‍ය සේවකයන්ට හඳුන්වා වංචා දුෂණ වැඩ මුළුමනින්ම තහනම් කල යුතුයි..
බොහෝමයක් රජයේ කාර්යාල වලට ගියහම ඒවායෙහි නිලධාරින් අදත් කටයුතු කරන්නේ වැඩේ කරලා දෙන්න නෙවි, වැඩේ නොකෙරෙන්න. සුළු වැඩකට අපිව තුන් හතර වතාවක් බොරුවට ගෙන්වනවා. මේ, එම නිලධාරීන් ඔවුන්ගේ ‘බලය’ අපට පෙන්වීමක්.
උඩින්ම හොඳ නායකත්වයක් පෙන්වනවා නම් මේ අඩුපාඩු ‘ටක්’ ගාලා හදා ගත්තැකි, දැන් පඩිත් වැඩි කරලා තියෙන හන්දා.
දුෂණ, වංචා තිබුනට කමක් නැහැ, ඒවාත් එක්ක රට දියුණු කරන්න පුළුවන් කියන සංකල්පය මුලාවක්. දුෂණ, වංචා හරියට කිරි කලයට ගොම එක් කළා වගේ.
දුෂණ, වංචා නොමැති රටක් ලොව නොමැති තරම්. නමුත් දියුණු රටවල ඒවා ‘සංස්කෘතියක්’ බවට පත්වී නැහැ. තවද, අහු උනොත් නිතිය අකුරටම ක්‍රියාත්මක වී ඒ අයට දැඩි දඬුවම් දෙනවා, හිරේ යවනවා.
දුෂණ, වංචා කරන කෙනා ඒ දේවලට ඇබ්බැහි වෙනවා, හරියට අබිං කෑ කෙනා වගේ. ඒ අයගෙන් තමන්ගේ වැඩ කොටස/රාජකාරිය හොඳින් ඉටු වේ යයි කවදාවත් බලාපොරොත්තුවන්න බැහැ. කොටින්ගෙන් හොරට සල්ලි අරන් සිමෙන්ති, කටුකම්බි, කම්බි ඇණ උතුරට ගෙනියන්න දී, ඒවායින් හැදු බිම් බෝම්බවලින් තමන්ම මැරුණු වංචනික හමුදා නිලධාරින් සිටියා.
රටේ දුප්පත් කමට/ඉදිරියට නොයාමට තවත් හේතු කිහිපයක් තමයි අපරිපාලනය, අකලමනාකරණය, නාස්තිය, උකටලිභාවය සහ ආත්මාර්ථකාමිත්වය.
දුප්පත් කම නැති කිරීමට නම් පාලකයන් තුල දුප්පත්කමට නිවැරදි හේතු සහ දුප්පත්කම තුරන් කරන නැණවත්, බුද්ධිමත් මාර්ග දැන සිටිය යුතුයි. ‘දුප්පත්කම තුරන් කරමි’ යන දැඩි කැපවීම සහ මතය ඔවුන් තුල තිබිය යුතුයි; එය මන්ත්‍රයක් මෙන් නිතර නිතර කිව යුතුයි.
මතු සම්බන්ධයි ……..