අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (8 කොටස)
Posted on October 8th, 2025
චානක බණ්ඩාරගේ
මම කිසියම් වැරැද්දක් කර ඇත්නම් සමාවෙන්න දෙවියනේ. මාව මරන්න එපා. මට දරුවන් තිදෙනෙක් සිටිනවා. ළමයින් පාසලෙන් නිවසට පැමිණ මා සොයා නොගත් විට ඔවුන් ද සාගින්නෙන් මිය යනු ඇත”. මේ මැදිවියේ මවක් අලියාට කිවූ දෙයක්.
මර බිය නිසා ඇයගේ මුවින් මේ එක් වදනක් වත් පිට නොවීය. ඇයට කළ හැකි වූයේ බිම වැතිර අලියාගේ දෑස් දෙස ආයාචනාත්මකව බලා සිවීම පමණි.
එවිට, අලියා (ඇතින්න) කාන්තාවගේ ඇඟ උඩින් තබා තිබු වන්ගෙඩියකට වඩා විශාල වූ සිය කකුල ඉවතට ගත්තාය. සිය පුංචි දෑස් තවත් පුංචි කර, මිනිත්තු 2ක් පමණ අලියා කාන්තාව දෙස බලා සිටියාය.
ඇයව පාගා ඇට කටු කුඩු කර දැමීම සඳහා නැවතත් කකුල ඔසවා, එය කාන්තාවගේ ඇඟ මත තැබුවාය.
කාන්තාව බොහෝ අමාරුවෙන් අත්දෙක එකතු කර අලියාට යළි වැන්දාය. අලියා ඇයගේ කකුල ඉවත්කර, එයින් දුහිවිලි අවුස්සා, කාන්තාවගේ මුහුණට විසිකර, සෙමෙන් කාන්තාවගෙන් ඉවත්ව ගියාය.
‘නුඹ විසින් මරා දමනු ලැබූ මගේ දරුවන්/නෑදෑයින් /මිතුරන් කොපමණ නම් ඇද්ද? අධි විදුලි කම්බි රැහැන්, හක්ක පටස්, තුවක්කු යොදා කරන වෙඩි තැබීම වලින් නුඹලා අපව මරා දමනවා. අපට ඉන්න හිටින්න නැති වෙන්න අප ජීවත්වෙන කැලෑ කපා ඒවා අල්ලා ගන්නවා. – කෲර, නපුරු මිනිසුන්’; ඒ ඇතින්න එම කාන්තාව දෙස විනාඩි 2ක් තිස්සේ කල්පනාකරමින් සිතුවේ මෙය නොවේද?
ඒ ශ්‍රේෂ්ඨ අලියා කාන්තාව නොමරා, ඇගේ ජීවිතය බේරා දී යාමෙන් අපට ඉගැන්වුවේ ඉතා කදිම පාඩමකි – අලියා අපට වඩා උතුම් බවද?
ටියුෂන් නවත්වන්න කියනවා නෙවෙයි; එය මාෆියක් වගේ තවදුරටත් වර්ධනය වීම නතර කළ යුතුයි කියායි ඉල්ලන්නේ. නියාමනයන් ගෙන ආ යුතුයි.
මේ අය ළමුන්ට, දෙමව්පියට පෙන්වන්න හදන්නේ ‘ඉස්කෝලේ ගිහිල්ලා වැඩක් නැහැ, අපි ලඟට ආවොත් විතරයි විභාග පාස් වෙන්නේ කියලා.
කෑම කනවා මෙන් ටියුෂන් යනු ළමුන්ට අත්‍යාවශ්‍යම, නැතිවම බැරි දෙයක් බව දැන් ඉදිවී ඇති ටියුෂන් සංස්කෘතිය ළමුන්ට, දෙමව්පියන්ට සුක්ෂම ලෙස සාක්ෂාත් කර ඇත. මේවා කිරීමට ගුරුවරු, විදුහල්, රජයන් අනියමින් අනුබල දේ.
O ’L වැඩ 9ටම A සහ A’L වැඩ 2ට A, ඉතිරිය B ගත් ශිෂ්‍යාවක් – දුප්පත් පවුලකින් පැවත එන එම දියණිය කිසිසේත් ටියුෂන් නොගියේ හුදු ආර්ථික අපහසුකම් නිසායි. පාසැලේ උගන්වන දැනුමෙන් තමා ඇය පාස් වුනේ. ඇගේ පන්තියේ සියළු යහළුවෝ වගේ රැල්ලට අහුවෙලා ටියුෂන් ගියා. අද ඈ විශ්ව විද්‍යාලයේ.
තව ටිකක් කල් යනවිට විශ්ව විද්‍යාල ලමයිටත් ටියුෂන් ක්ලාස් දමයි, ටියුෂන් කාරයෝ.
සමහර ටියුෂන් ගුරුවරු කැමති කැමති විදියට මුදල් උපයති. මුලදී එක් මුදලක් පවසා පන්ති ආරම්භ කල පසු ගාස්තු ක්‍රමානුකූලව වැඩි කරති. ඔවුන්ට සිතැඟි පරිදි එක් වරම What’s Up පණිවුඩ මඟින් පන්ති කැන්සල් කරති. සමහර විට ඒවාට නැවත පන්ති නැත. මුදල් රිෆන්ඩ් කිරීමක්ද බොහෝ විට නැත.
සමහරු විෂය මාලාව උගන්වා අවසන් නොකරති. ඒ වෙනුවට, මුද්‍රිත නෝට්ස් පිටු සිය ගණන් ළමුන්ට What’s Up මඟින් යවා, තම වගකීම ඉටු කලේ යයි පවසත්.
ළමා කාලය සෙල්ලමට සහ විනෝදයටද යන දරුවා පසුව අන් සෑම දෙනා අභිබවා ඉදිරියට යන්නෙකි.
1950 -70 දශකවල ළමෝ පාසැල් අවසන් වූ පසු පාසලේ විවිධ බාහිර ක්‍රියාකාරකම් වල යෙදුනහ. එදා පාසැල් ක්‍රීඩා පිටි විවිධ ක්‍රීඩා සඳහා පුහුණු වන ළමුන්ගෙන් පිරී තිබුණි.
අද මළල ක්‍රීඩා උත්සවයකටවත් ළමුන් සොයා ගත නොහැකි බව එක් ගුරුවරයෙක් මේ ලියුම්කරු සමඟ පැවසීය. එදා ඉතා උත්කර්ෂවත් ලෙස පැවති පාසැල් තෑගී ප්‍රධාන උත්සව, පාසැල් විවිධ ප්‍රසංග අද ඉතා ඇල්මැරුණු තත්ත්වයට ගොසිනි. මේ බිඳ වැටීම් වලට ටියුෂන් පන්ති අඩු/වැඩි වශයෙන් දායක වී ඇත.
එදා සති අන්තය ළමුන් නිවසේ ගත කලේ ඉතා විවේක සුවයෙනි. පොත් පත් කියවීම එකළ සෑම ළමයෙකුගේම ජිවිතයේ කොටසකි. පොත් සොයමින් ළමුන් පුස්ථකාල පීරා ගියහ. අද?
1960 -80 දශකවල පාසැල් ළමෝ අද අය මෙන් ඉතා බෙහෙවින් සිය දිවි නසා ගත්තේ නැත. කොළඹ පමණක් නොව ප්‍රාදේශීය පාසැල්වල පවා බොහෝ ශිෂ්‍ය සිය දිවි නසා ගැනීම් වාර්ථා වෙනවා.
පැරණි, දැන් විශ්‍රාමික, ටියුෂන් මුදළාලිලා සමාජ ජාලා මාධ්‍ය මඟින් ටියුෂන් සංස්කෘතිය රැක ගැනීමට, තව තවත් එය වර්ධනය කිරීමට නිතර කථා කරත්. ටියුෂන් යනු ඉතා අනගි, විශිෂ්ට, රටට ඉතා වැඩදායක, නැතිවම බැරි දෙයක් බවට පෙන්වා දීමට මේ අය තදබල ලෙස උත්සහ කරයි. ටියුෂන් වල ඍනාත්මක පැත්ත, සහාසික පැත්ත ගැන මොවුහු කථා නොකරත්.
මේ අය සමාජ ජාලා මාධ්‍ය හරහා ටියුෂන් ආදී ශිෂ්‍ය හමු/සංගම් පවත්වති. කළින් පන්ති වල වූදේ රස කර කර පවසති. නුදුරේදී පාසැල් ආදී ශිෂ්‍ය සංගම් පරයා මෙවැනි සංගම් බිහිවෙනු නිසැකය.
මේ සියල්ල කරන්නේ ළමුනට ටියුෂන් නැතිවම බැරි දෙයක් බව පෙන්වීමට විය හැක.
අද 10 වසරෙන් පසු බොහෝ ළමයිගේ ප්‍රධාන පාසැල ටියුෂන් කඩයයි, දෙවැන්න පාසැලයි.
A/L කරන ළමුන් ඔවුන්ගේ 80% පැමිණීම පෙන්විය යුතුය යන නිතිය නිසා එම පන්ති වලට ළමුන් යම් තරමින් යත්.
මේ නිතීය O/L කරන ළමුන්ටද පැනවිය යුතුයි.
දියුණු රටවල මෙවැනි ටියුෂන් පිස්සුවක් නැත. ඒ ළමුන් තමනට අවශ්‍ය අධ්‍යාපනය සිය පාසලෙන් ලබා ගනී.
නමුත්, ඕස්ත්‍රේලියාවේ මෙල්බර්න් නුවර දකුණු ඊසාන ප්‍රාන්තයේ නම් ටියුෂන් පිස්සුවක් වර්ධනය වෙමින් එන බවක් පෙනෙන්නට තිබේ. ඒ වෙන කිසී දෙයක් නිසා ශ්‍රී ලංකාවෙන් ගොස් සිටින අයගෙන් එම ප්‍රදේශ පිරී ඉතිරී යාමයි.
දියුණු රටවල පාසැල ඇත්තේ නිවසට ආසන්නවය. ඒ ළමුන් අපේ ළමුන් මෙන් නිතරම පීඩනයෙන් බරව ජිවත් වන්නන් නොවේ. ඒ ළමෝ ඉතා හොඳින්, සතුටින් සිය ළමා/යෞවන විය ගත කරත් (අපේ 1960 -70 අය මෙන්).
ටියුෂන් නොමැති නිසා පාසැලෙන්ම ඔවුන් අවශ්‍ය ඉගෙනුම ලබා ගනිත්.
ඔවුහු පුස්ථකාල පොත් පත් විශාල වශයෙන් පරිශීලනය කරති. වයස වැඩි ළමුන් කාණ්ඩ වශයෙන් එක්වී විභාග විෂයන් සාකච්චා කරති.
ටියුෂන් පිස්සුව නිසා විනාශ වන්නේ මල් කැකුළු වන අපේ දරු පරපුර පමණක් නොවේ, දෙමව්පියන්ද ඇතුළු මුළු පවුල් සංස්ථාවමය. ඒ නිසා, රටද අඳුරු, විනාශ මුඛයට යයි.
අද දෙමව්පියන්ට ටියුෂන් සම්භන්ධව පැමිණිලි කිරීමට ස්ථානයක් නැත.
‘ටියුෂන් ඔම්බඩ්ස්මන්’ වරයෙක් බිහිකිරීම ඉතා කාලෝචිතයි – ළමයි 100 එහා ඇති ටියුෂන් ආයතන සම්භන්ධව. මේවා කිරීමට ‘කොන්ද පන’ ඇති රජයන් තිබිය යුතුයි.
පාසැල් ගුරුවරු ළමුන්ට ගහන්න අවශ්‍ය නැහැ.
ගෙදර බිරිඳ/සැමියා සමඟ තරහ වී පාසලට පැමිණ ඒ තරහ පාසැලේදී ළමුන්ගෙන් ගන්න පිරිමි/ගැහැණු ගුරුවරු ඕන තරම් ඉන්නවා.
ගෙදරදී ආදරයෙන් දෙමව්පියන් විසින් හදන, කිසිදා ඔවුන්ගෙන් ගුටි නොකන දරුවා පාසැල් ගොස් ගුරුවරකුගෙන් ගුටි කනවා නම් එය විරුද්ධාභාශයකි (paradox).
මේ රජය වරින් වර හොඳ ප්රතිපත්තිද ගේනවා, විරුද්ධවාදීන්, යු ටියුබ් කාරයෝ කෑ ගහන කොට හකුලා ගන්නවා.
තම හොඳ ප්‍රතිපත්ති රටේ ජනතාවට තේරේන ලෙස පැහැදිලි කිරීමට රජයේ ඇමතිවරු අසමත් වෙලා.
ජනාධිපති හොඳයි කියල කියමුකෝ. ඒත් වැඩක් නැහැ ඔහුගේ බහුතර ඇමති මණ්ඩලය දුර්වල නම්/වැඩ බැරි නම්. අද ඒකයි වගේ වෙලා තියෙන්නේ.
මෙයට පිලියමක් අප අපගේ 7වෙනි ලිපියෙන් යෝජනා කළා.
රජයේ පරිවාස කාලය ගෙවී ගිහිං දැන් බොහෝ කල්.
රජය සමුපාකාර චන්දත් පරදිනවා.
පළාත් සභා චන්ද මේ අවස්ථාවේ නොතියා සිටීමයි ගුණ.
නවීකරණය කරනවා කියලා කොටුව දුම්රිය පොළේ පීලි ගලෝලා කොන්ක්‍රීට් කණු දාලා නැවත හයි කරනවා මේ දිනවල. කෝටි ප්‍රකෝටි ගානක වැඩක්. ඇහුවහම කියනවා දුම්රියේ වේගය වැඩිකරන්නලු.
ස්ටේෂන් එකක් ඇතුලේ දුම්රියකට වැඩි වේගයක් අවශ්‍යද?
අප දන්නා පරිදි නම් මේවා හොඳ සිල්පර කොටන් තිබුණු හොඳ දුම්රිය පීලී. බොරුවට පිලී ගලෝගන වටිනා මහජන මුදල් නිරපරාදේ වැය කර දමනවා වගේ.
ආණ්ඩුවට සල්ලි වැඩි නම්, කර කියා ගන්න වැඩි තරමට සල්ලි ඇත්නම්, ඔය දැවැන්ත දුම්රිය විදුලීකරණය කිරීම වැනි වැඩකට අත ගසන්න. බොරු වැඩවලට සල්ලි වියදම් කරන්න එපා.
අවශ්‍යම කරන්නේ කොටුව දුම්රිය ස්ථානය ඇතුලත ලස්සණ, පිරිසිඳු කිරීම සහ කළුවර නැතිකර ආලෝකමත් කිරීමයි. කැන්ටින් වල පිරිසිඳුකම සහ ගුණාත්මය වැඩි කිරීම, ලොකු, විශාල කපුරු බෝල යොදා සැර ගඳ නිවාරණය කල පිරිසිඳු ආලෝකමත් වැසිකිළි, දුර ගමන් මගීන්ට – ගැහැණු, පිරිමි වෙන වෙනම, විවේක ගැනීමට නිසල විවේකාගාර (එය තුල තමන්ගේ ආගම ඇදහිය හැකි පරිසරයක්/ස්ථානයක්), ඔරලෝසු සහිත ඩිජිටල් දුම්රිය කාලසටහන් පුවරු, කුඩා පුස්ථකාලයක්/පොත් කඩයක් වැනි දේ තමා අවශ්‍ය. අබාධිත අයගේ සහ ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ පහසුව සඳහා දැනට තිබෙන තරප්පු පඩි පෙළවල් විදුලි එස්කලේටර් බවට පත් කල යුතුයි.
අප කලින්ද කීවා ප්‍රධාන දුම්රිය මාර්ග වල, ඉතා ජානාකීර්ණ වෙලාවලට, (කොළඹ – පොල්ගහවෙල, කොළඹ – පානදුර, කොළඹ – හලාවත, කැළණිවැලි) විනාඩි 5න් 5ට දුම්රිය ධාවනය කරවන්න, දැන් වගේ සෑම විනාඩි 20 – 30 වගේ නැතුව. දියුණු රටවල එහෙමයි.
මේ සඳහා නව එන්ජින් කට්ටල, මැදිරි කඩිනමින් මිලදී ගැනීම අවශ්‍ය වේ. ඒ වගේම තමා ආදායමත් වැඩි වෙනවා.
රත්මලානේ දුම්රිය අංගනයේ සේවකයන් 50% – 60% පමණ යොදවා තිබෙන්නේ ඇල්ල ඔඩේසි දුම්රිය තනන්න. මෙයින්, සෙසු අත්‍යවශ්‍ය වැඩ පමා වෙනවා.
ඇල්ලට සුද්දෝ යන්න ඕන තමයි. නමුත්, අපේ අය?
දිනපතා යාපනයේ සිට කොළඹට එන දුම්රියන් ගල්කිස්සෙන් මගීන් බස්සා, හිස්ව ආපසු දෙමටගොඩ අංගනයට එක පිම්මේ එන්නේ. මොන තරම් ඉන්ධන අපතේ යැවීමක්ද, සේවක පඩි නඩි, OT. කොළඹ සිට ගල්කිස්සට යන කොටත් එහෙමයි – හිස්වයි යන්නේ.
ගල්කිස්ස අයින් කරලා දුම්රිය කොටුවෙන් පටන් ගන්න ඕන. ඕනම නම්, කොටුව – ගල්කිස්ස සහ ගල්කිස්ස- කොටුව ස්ලෝ, මගී දුම්රියක් බවට එය පත් කල යුතුයි.
මොරගහකන්ද ජලාශයෙන් එන ජලය නිසා මින්නේරි වැව දැන් සැමදා පිරී පවතී. මෙය වී ගොවියනට ආශිර්වාදයකි. නමුත්, අගෝස්තු/සැප්තැම්බර් මාසවල මෙම වැව සිඳී පැවතිය යුතුය. මන්ද අලි පැටවුනට අත්‍යාවශ්‍ය විල්ලු තණ මෙසේ ජලය අඩුකම නිසා නිරාවරණය වන වැවේ හට ගනී. සිය ගණනින් අලින් ඒ කාලයට මෙම වැවට එක් රොක්වන්නේ එහෙයිනි. නමුත් දැන් මෙය සිදු නොවේ හෝ සිදුවන්නේ අඩුවෙන්
මෙය මේ රටේ සංචාරක කර්මාන්තයට තදබල පහරක් විය හැකියි. ලෝකයේ ලොකුම වන අලි එකතුව වන මෙය නැරභීම සඳහාම ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයන් මෙහි නොපැමිණෙනු ඇත.
සංචාරක කර්මාන්තය දියුණු කල යුතුයයි රජයන් පුන පුනා කියයි. සංචාරකයන් මේ රටට එන්නේ කැලයේ සිටින අලින් සහ අනෙක් වන ජීවින් බැලීමට බවද රජයනට අමතකවීද?
රටේ අලි සහ වන ජීවී සම්පත අප නැති කර ගතහොත් සංචාරක කර්මාන්තයද අප නැති කර ගන්නෙමු.
එය රටවැසියාට තේරෙන විට සියල්ල සිදුවී හමාර වේ.
මේ රජය පැමිණි විගස මහව, තඹුත්තේගම පැත්තේ සිටී ලොකු අලි ජනගහනයක් ඔයා මඩු ප්‍රදේශයට පළවා හැරියා මෝඩ විදියට (ඒ ප්‍රදේශවල ජනයා සතුටු කිරීමට?). එයින් වුනේ ඔයා මඩුවේ නැති අලි ප්‍රශ්ණ ඇති වීමයි.
වන ජීවී දෙපාර්තමේන්තුවට තව දුරටත් අපගේ අලියා ආරක්ෂා කර ගැනීමට නොහැකි බව ඔවුන්ගේ ක්‍රියා කළාපයන් මඟින් පැහැදිලිවම අපට පෙන්වා දී තිබේ. ඔවුන්ගේ සේවා සංස්කෘතිය ඉතා ඉක්මනින් හොඳ මාර්ගයට වෙනස් කර ගත යුතුවේ.
දැන් ඉන්නා වන ජීවී ඇමති දන්නවද අඩුම තරමින් ඔහු කථා කරන්නේ කුමක්ද කියාවත්?
වන ජීවී දෙපාර්තමේන්තුව ගැමියන්ට අලි වෙඩි බෙදා හරිනවා නම් එය ඉතා ප්රවේශමින් සිදු කල යුතු කටයුත්තකි. සමහර ගැමියෝ අලි වෙඩි පත්තු කර තරහට වල් වැදුන වල් අලින්ගේ ඇඟට විසි කරත්. මෙයින් අලින්ගේ ශරීර පිච්චේ.
අලි වෙඩි වලට අලින් ඉතා බයය; අලි වෙඩි වලට බියෙන් බියෙන් මර හඬ දී දිව යන අලින්ගේ වීඩියෝ තිබේ.
1995 මැදිරිගිරියේදී අලි වෙඩි පත්තුකර අලියෙකුට ගසා අලියාව පිළිස්සු කාන්තාවක් 2011දී එම අලියා විසින්ම ගසා මරා දමනු ලැබුවා.
මිනිසාටත් වඩා හොඳ මතක ශක්තියක් අලියාට තිබෙනවාලු.
අලි වැට අඩු ධාරිතාවයකින් යුත් විදුලි රැහැනකින් (වෝල්ට් 110) විය යුතුය. සමහර ගම්මු මේවා වෝල්ට් 220 ක දක්වා හොරෙන් වැඩි කර, එවැනි රැහැන් මඟින් අලි ඇතුන් විදුලි සැර වද්දවා මරා දමා ඇති බවට වූ කථා මෙම ලේඛකයා අසා තිබේ.
අග්බෝට වෙඩි තබා මරපු අය තවමත් අල්ලා නැහැ නේද?
අලි කොරිඩෝවන් අවුරුදු දහස් ගණනක් තිස්සේ පවතින්නාවූ දේය. අලි ඇතුන් අප විසින් සාදන නව අලි කොරිඩෝ භාවිතා කිරීමට පටන් ගනී යැයි අප අපේක්ෂා කිරීම මෝඩකමකි.
අවමංගල්‍ය කටයුතු වලදී මිනී පෙට්ටි අසල ඇත්දළ ප්‍රදර්ශනය කිරීම නැවැත්වීමට නීති හඳුන්වා දෙනු ලැබුවහොත් වඩාත් සුදුසුය. මෙම භාවිතයෙන් කිසිදු සෙතක් කිසිවෙකුට ඉටු නොවන අතර එය අද සමාජයට සුදුසු ද නොවේ.
අධික වටිනාකමක් ඇති ඇත්දළ සඳහා නිරන්තරයෙන් අලින් මරා දමනු ලැබේ.
වනෝද්‍යාන වල ඉන්නා දල ඇතුන් පවා කෙතරම් වෙඩි තබා/වසදී/හක්ක පටස් ගසා මරා දල දෙක පැහැර ගෙන යත්ද?
අවමංගල්‍ය කටයුතු සඳහා කෘතීම ඇත් දල (ලීයෙන් කැපු ඇත් දල වැනි) භාවිතයට ජනතාව හුරු කළ යුතුයි.
පන්සල් වලද ඇත් දළ මහ ඉහළින් ප්‍රදර්ශණය කෙරේ. දැනට තිබෙන ඒවා එසේ තිබුනාවේ, ඉදිරියට නොකර ඉඳිමු.
අලි ඇතුන්ට ආදරය කළ සුදු ජාතිකයෙක් දකුණු අප්‍රිකාවේ වනාන්තරයක් මැද පිහිටි නිවසක ජීවත් ව මිය ගියේය. ඔහුගේ අවමංගල්යදා අලි 50 කට අධික පිරිසක් පැමිණ ඔහුගේ ගෙදර වට කර, එයට සහභාගී වී තිබුනාලු.
ඇතින්නක් තම පැටියාට දුන් උවදෙස – ‘මිනිසයි කියනා දෙපා සතාගේ ලඟින් ගියත් ඇති පොඩි පුතුනේ ….‘ (ඇත් ගාලේ දරු පෙම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ).
නයා හොඳ බුද්ධිමත් සතෙකි. නිකරුනේ මරා දමාන්න එපා.
නයෙක් ගෙදරට ආ විට මරා දමනවාට වඩා වෙනත් ප්‍රදේශයකට (කැලෑවකට ) ගෙන ගොස් දමන්න. අනුරාධපුරය පැත්තේ නයි අල්ලා ගෙන යන කාරුණික මහතෙක් ඉන්නවා, ඔහුට ටෙලිෆෝන් කරන්න (076 415 0566).
බොහෝ සතුන්, සමහර විට සර්පයන් පවා අප සමඟ මිත්‍ර වීමේ අදහසින් අප නිවසට පැමිණේ. බොහෝ විට අපි ඔවුන් පලවා හරිමු හෝ මරා දමන්නෙමු.
ගැරඬියෙක් ඔබේ මිදුලට පැමිණියහොත් ඔවුන්ට ඉන්න අරින්න. හරිම අහිංසක සතෙක්. බයම නම් සතාගෙන් ඈතට භූමිතෙල් විසි කරන්න, එවිට ඔවුන් ඉවතට යනු ඇත. නමුත් කරුණාකර භූමිතෙල් තෙල් ඔවුන්ගේ සිරුරට විසි නොකරන්න – ඔවුන්ගේ සම පිලිස්සී යන නිසා.
අප සමඟ ආදරයෙන් බැඳී සිටින ඩොල්ෆින්වරු අපගේ ධීවර බෝට්ටු සමඟ පීනති. එය ප්‍රයෝජනයට ගෙන අප ඔවුන්ව මරා දමා මසට ගන්නෙමු. හදවතක් නැත්තේ කාටද?
දේශපාලනඥයන් සතුන්ගේ විශේෂයෙන්ම වන සතුන්ගේ සුභසිද්ධිය ගැන සැලකිලිමත් බවක් නොදක්වන්නේ වනාන්තරයේ හෝ ගෘහස්ථයේ සතුන්, වන ජීවින් හට ඡන්දය නොමැති බව ඔවුන් දන්නා නිසාය.
තියෙන අහිතකර ගස් කපා සතුන්ට කා හැකි ගස් ආහාර කැලෑ වල වගා කරන බව රජය පවසයි. ගස් පැල හිටවලා විතරක් නොවෙයි ඒවා ලොකු වෙනකම් බලා ගන්න ඕන. සමහර කාලවලට දිනපතා වතුර දැමිය යුතුයි. ඕවා එලෙසින් කරයිද? තියෙන ගසුත් නැතිවෙන වැඩක්?
කැලෑ අභ්‍යන්තරයට මිනිසාට වැඩි වැඩියෙන් යන්න දෙනවා කියන්නේ වනජීවින්ට අසුබම කාලයක්. දඩ මස් ජාවාරම්, දැව සහ අලි පැටව් හොරකම් මතක් වේ.
කිරි ගොවියන් කැලෑ ඇතුලට හරකුන් දැක්කීම නැවැත්විය යුතුය. මන්නාරම පැත්තේ මෙලෙසින් එළුවන් දක්කනවා. මේ හරක්, එළුවෝ කන්නේ කැලේ ඉන්න අලි, මුව, ගොනුන්, හාවන්ට කෑමට තිබෙන තණකොළ.
එක් ප්‍රබල දේශපාලන චරිතයක් තමනට අවශ්‍ය ලක්ෂණ බල්ලෙක් (සෙන්ට් බර්නාර්ඩ් හෝ ලැබ්රඩො විය යුතුයි) ස්විට්සර්ලන්තය වැනි රටකින් ගෙන්වා ගනීමට ශ්‍රී ලන්කන් එයා ලයින් ගුවන් යානයක් ඒ වෙනුවෙන්ම යැවූ කථාවක් අසන්නට ලැබුනා.
ආනයනික වර්ග සොයනවාට වඩා අපේම සුනඛයන්/බළලුන් ඇති කළ යුතුයි. ඔවුන් අපේ රටට ආවේනික බැවින් නිවසේ හැදීමට ඉතාම ඉතාම සුදුසුයි. ඔවුන් අප උපන් භුමියෙහිම කොටසක්.
විදේශීය සුනඛ/ බළලුන් මිලදී ගැනීම සඳහා මිනිසුන් විශාල මුදලක් වැය කරති. මෙය හාස්‍යජනකයි – මෙම සතුන් මඟින් සමජයේ උසස් තැනක් නිර්මාණය කර ගැනීමට හැකිවෙතැයි ඇතැම් මෝඩ මිනිසුන් සිතති (කාර්, ගෙවල්, ළමයාගේ පාසැල මෙන් සතුන් මඟින්ද මිනිස් සමාජයේ උසස් බවක් ලබා ගන්නා තැතක්; තමන්ගේ හොඳ ගතිගුණ වෙනුවට).
මෙම විදේශ අභිජනන බොහෝ විට අසනීප වේ. ඔවුන් සත්ව මස් හා උසස් තත්ත්වයේ ආහාර මත වැඩිපුර යැපේ. ඇත්ත,
විදේශීය සතුන් (බල්ලන්, පූසන්) ලස්සනයි. නමුත් අපේ සතුන් ඒ සියල්ලටම වඩා ලස්සනයි.
ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙක් වරක් මෙම ලේඛකයාට පැවසුවේ අපේ දේශීය සුනඛයන් මනා පුහුණුවක් ලැබුවහොත් ඔවුන් විදේශීය සුනඛ අභිජනන වලට වඩා හොඳින් පොලිස් රැකියාව කරන බවයි. සියල්ල රඳා පවතින්නේ පුහුණුව මත වන අතර අප ඔවුන්ව කොතරම් හොඳින් හසුරුවන්නේද යන්න වැදගත් බව ඔහු පැවසීය.
වනයේ වෙසෙන මුවන්, ගෝනුන් ඉත්තැවන් වැනි සතුන් මරා දමන අයට එරෙහිව නඩු පැවරීමට අපට නීති තිබේ; නමුත් ඔවුන්ගේ මස් හෝටල්වල පිස ආහාරය පිණිස තැබීම, මිනිසුන් ඒවා අනුභව කිරීමට එරෙහි නිතී අපට නොමැතිය. මෙය අපගේ නීතියේ ඇති අඩුවකි.
දිවියා ඝාතනය කිරීම තහනම් නමුත් පුළුන් පිරවූ දිවියෙකු නිවසේ තබා ගන්නා වංශාධිපතියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවේ.
කිසි පාලනයක් නොමැතිව වායු රයිෆල් අලෙවි කිරීමට රජය අවසර දීම නිසා එදා ගම් වල රෑට නිදහසේ සැරිසැරූ වල් ඌරා අද වඳවී යන තරමට අතුරුදහන් වෙලා. ඉත්තැවාටත් ඒ ආනිශංසයම අත් වෙලා.
වල් ඌරාව මරා දැමීමට තිබු තහනමත් මෑතක රජයක් විසින් ඉවන්ත් කළා නේද?
මෙම ලිපි පෙලේ කළින් ලිපියක අප සඳහන් කළා පොලිසිය විසින් තදින් විමර්ශනය කරමින් යන, රටේ නමගිය අපරාධ පිළිබඳව ඇතැම් යු ටියුබ් කරුවන් හුදු විව්ස් ගැනීමේ හෝ වෙනයම් සදාචාර විරෝධී අරමුණින් යු ටියුබ් වැඩසටහන් කර මහජන ප්‍රදර්ශනයට ඒවා දමන බව.
මෙය පොලීසිය විසින් සිදු කරගෙන යන අපරාධ විමර්ශනයනට හානියක්, බාධා අවුල් කිරීමක්ද විය හැකියි.
සමහරවිට අපරාධ චූදිතයන්, අපරාධයට සම්බන්ධ සාක්ෂිකරුවන් පවා මේ යු ටියුබ් කරුවන් බිය, සැක නැතුව ප්‍රසිද්ධියේ ස්වකීය වැඩසටහන් තුලින් ප්‍රශ්ණ කරනවා.
ඇත්තටම, පොලිසියට ඉස්සෙල්ලා යු ටියුබ් කරුවා විසින් අපරාධය ප්‍රසිද්ධියේ විමර්ශනය කරනවා පමණක් නොවෙයි අපරාධ ගවේෂණය නොමඟ යවන ප්‍රකාශ පවා මේ වැඩ සටහන් තුලින් කෙරෙනවා.
මේ ලඟදි එක පවුලේ සහෝදරියෝ රැසක් ප්‍රසිද්ධියේ ප්‍රශ්ණ කළා නේද, අප දන්නා තරමින් ඔවුන්ව පොලිසිය විසින් ප්‍රශ්ණ කිරීමටත් පෙර?
මේ යු ටියුබ් මඟින් සිදු කරන අපරාධ විමර්ශන; ශ්‍රී ලංකාව නිසා හොඳයි.
ජනතාව තුල ත්‍රාසය, කුතුහලය අවුස්සා ඔවුන් තම යු ටියුබ් ගිණුම් මාර්ගයෙන් උපරිම ලෙස මුදල් හම්බ කරගන්නවා.
99%ක් පමණ අපේ යුටියුබ් කරුවන් මේ වැරදි දේ කරන්නේ නැහැ, ඔවුන් ඉතා ප්‍රවේශමෙන්, සදාචාරාත්මකව රටේ දැනට සිදුවන අපරාධ පිළිබඳව වාර්ථා කරනවා; චුදිතයන්, නොවීසිදුණු අපරාධයට සම්බන්ධ සාක්ෂිකරුවන් ගෙන්වා සිය වැඩ සටහන් තුලින් ප්‍රශ්ණ කිරීම මේ අය කරන්නේ නැහැ.
පොලිසිය තමන් මෙහෙය වන අපරාධ/වංචා විමර්ශන පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා විටින් විට මාධ්‍ය දැනුවත් කරනවා. ඒවා මාධ්‍යය විසින් ප්‍රසිද්ධියේ වාර්ථා කිරීම නිවැරදියි.
මේ තැනැත්තා මේ දෙය කරන්නේ ඔවුන්ගේ ක්රියාවේ බරපතළ බව නොදැන වෙන්න ඇති.
නැත්නම් අදෘශ්‍යමාන බලවේගයක් ඔහුව ආරක්ෂා කරනවා?
කෙසේ වෙතත් යු ටියුබ් කරුවා පොලිස් පන්නයේ විමර්ශණ ප්‍රසිද්ධ අවකාශයේ සිදු කිරීම වරදක්.
ඔහුගේ වැඩ සටහන් වලට සහභාගී වී ආපසු ගියවුන් ඝාතනයට පවා ලක් වුනා.
ඒත් පාඩම් ඉගෙන ගෙන නැහැ.
වටිනා මිනිස් ජීවිත අවධානමේ දානවා මොහු.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට භාධා කිරීම (perverting the course of justice) දියුණු රටවල ඉතා බරපතල අපරාධමය වරදක්. වසර ගණනාවක් හිරේ යන වැඩක්.
යු ටියුබ් කරුවා රටේ බුද්ධි අංශ වල කළින් සේවය කල නිලධාරින් තම වැඩ සටහනට ගෙන්වා රටේ ජාතික ආරක්ෂාවට බලපාන ඉතා සංවේදී කරුණු සිය වැඩ සටහන මඟින් විකාශනය කරනවා. ඇත්තවශයෙන්ම විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියා කරන්නේ බලවත් නීති විරෝධී දෙයක් බව ඔහුටවත් නොවැටහේද?
අතිශය සංවේදී බුද්ධි රහස් – ඒවා නිරාවරණය කරන්නා පමණක් නොව අදාළ යු ටියුබ්කරු පවා Sedition (දේශ ද්‍රෝහිත්වය) යන බරපතල අපරාධමය වරදේ සහ ජාතික ආරක්ෂාවට එරෙහි වූවා වැනි අවශේෂ අපරාධයන් යටතේ අමාරුවේ වැටිය හැකියි.
දැන්වත් මේ කරන වැරදි වැඩ නවත්තන්න.
මෙසේ යු ටියුබ් වැඩ සටහන් ප්‍රචාරණය කිරීමෙන් අති විශාල ලෙස ඔවුන් මුදල් හම්බ කරනවා විය හැකියි, නතර කරන්න අමාරු ඒ නිසා විය හැකියි.
අනාගතයේදීවත් මෙවැනි දේ නොකිරීමට ඔහු වග බලා ගත්තොත් ඉතා මැනවි.
එම යු ටියුබ්කරු ඉතා ශික්ෂාකාමී රටේ ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව මේ ළඟදී ඉතා අපහාසමය වැඩ සටහනක් ප්‍රචාරය කරනු ලැබීය. මෙය ඉතාම බරපතළ වරදක්. පාප කර්මයක්.
හරි අපහාස නඩුවක් වැටුනදාට තේරෙයි – කෝටි ගණන් වන්දි ගෙවන්න වෙනකොට.
අවුරුදු 80 පැනපු වයෝවෘද්ධ කතරගම දේවාලයේ කපු මහතා තම විකාශණාගාරයට ගෙන්වා ඔහුව ඉතා අපහසුතාවයට පත් කළා. එය සදාචාර සම්පන්න ප්‍රශ්ණ කිරීමක් නොවීය.
පසුව, ඒ කපු මහතා යම් කලක් රිමාන්ඩ් භාරයේ පවා සිටියා විය හැකියි (එදා මතු කල, ප්‍රශ්ණ කරන ලද වැරැද්දට).
මේ වැඩ සටහන් වලින් පසුව මිනිසුන් කතරගම යාම අඩු කරලද? ලඟදි ඒ පැත්තේ ගියා, මුළු කතරගමම හේදිලා ගිහිල්ලා වගේ දැන් එහි සෙනග ඇත්තෙම නැහැ.
දේවාලයට වැඩ ගොඩාක්ම අඩුයි, මිනිස්සු පුජා වට්ටියට සල්ලි තියන්නේ නැතිලු. තිබ්බත් පොඩි ගණන්ලු.
තැලෙන යකඩේමයි තලන්නේ කියනවා වගේ හැමෝම ගහන්නේ සිංහලයාට, බෞද්ධයාට සහ අපේ ගරුතර සංඝයා වහන්සේලාට, කතරගම, වැනි දේශීය දෙවිවරුන්ට.
අනිත් ආගමික ස්ථානවල වැරදි කෙරෙන්නේ නැද්ද; ඇයි ඒවාත් වාර්ථා නොකරන්නේ?
දැන් පවත්නා කැනඩා සහ මහා බ්‍රිතාන්‍යය රජයන් ශ්‍රී ලංකාවට එරෙහිවූ ක්‍රියාවල තදින්ම යෙදී සිටිනවා. ඔවුන් පසුගිය සතියේ අපට එරෙහිව ගෙනා ජෙනිවා යෝජනා එක් උදාහරණයක්.
කැනඩාව තම රට තුල ද්‍රවිඩ ජන සංහාරක ස්මාරක තැනීමට පවා ඉඩ දුන්නා. ඉදිරියේදී මෙය මුළු කැනඩාව පුරාම ව්‍යාප්ත වෙන්න පුළුවන්. අනෙක් බටහිර රටවලටත් පැතිර යන්න පුළුවන්.
අපේ රජයන් මීට වඩා ඒ රටවල් 2ට සිය අප්‍රසාදය සහ විරෝධය පළ කල යුතුයි.හැකි නම් ඔවුන්ගේ මහ කොමසාරිස් වරු විදේශ අමාත්‍යංශයට කැඳවා.
විජිත හේරත් මහතා හොඳ විදේශ ඇමතිවරයෙක්.
එම රටවල් දෙකේ සිටින සිංහලයන් ගැන ඇත්තටම ඇත්තේ කණගාටුදායක හැඟීමක්. මේ අයගේ සංඛ්‍යාව ඒ රටවල සිටින බෙදුම්වාදී අදහස් ඇති දෙමළ ඩයස්පෝරාවට වඩා බොහෝ වැඩියි. හැබැයි මීක් නැහැ.
අපට උගන්වා තිබෙන්නේ රට යනු අම්මා කියායි.
බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව එක් උද්ගෝෂණයක් කරණවා නම් එවැනි උද්ගෝෂණ 5ක් කරන්න තරම් අපේ අය මේ රටවල ඉන්නවා නේද?
උද්ගෝෂණ කරන්න බැරි නම් ඒ රටවල අගමැතිවරු, ඇමතිවරු ගොස් පුද්ගලිකව හමුවී සිය අප්‍රසාදය ප්‍රකාශ කර සිටිය යුතුයි. මින් ඉදිරියට මෙවැනි ශ්‍රී ලංකා විරෝධී කටයුතු නොකළ යුතු බව, නැත්නම් අපේ චන්දය නොලැබෙන බව නිර්භව කියා සිටිය යුතුයි.
තම මවු රට වෙනුවෙන් ඉදිරියට නොඑන මේ අය ගැන, කොයි තරම් උසස් රැකියා ඒ රටේ කළත්, අපට ආඩම්බර වෙන්න බැහැ.
තමන්ට තිබෙන අඩුපාඩු ගැන සිතා සමහරු සමාජයෙන් කොන් වෙන්න බලනවා. මට හොඳ ඇඳුම් නැහැ, හොඳ ජොබ් එකක් නැහැ, ගෙයක් නැහැ, කාර් එකක් නැහැ, බැඳලා නැහැ, ළමයි නැහැ, ඩිවෝස්, මට කවුරුවත් සලකන්නේ නැහැ, ලෙඩයි, පවුලක් නැහැ, වයස වැඩියි, සල්ලි නැහැ, කැතයි, මෝඩයි, තේරෙන්නේ නැහැ, නෝනා බනිනවා, මහත්තයාගෙන් කිසි වැඩක් නැහැ, ළමයි ආදරේ නැහැ, බස් එකේ යන්නේ, කමිසේ ඉරිලා, හොඳ ස්මාර්ට් ෆෝන් එකක් නැහැ, හන්දියේ ත්‍රී වීල් පාක් එකේ අය මට හිනාවෙනවා ආදී විවිධ හේතු.
සමහරවිට නිෂ්පල වූ නිදහසට කරුණු තමන් විසින්ම මනසේ හදාගෙන සමාජයෙන් කොන් වෙන්න බලනවා, යාළුවන්ගෙන් ඈත් වෙනවා, පවුලෙන් ඈත් වෙනවා. හොඳ මානසිකයක් වර්ධනයක් කර ගෙන සිටින අය ඒ වගේ හිතන්නේ නැහැ.
අප ධාරණය කර ගත යුතුයි – මේ ලෝකේ කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ. අද මා ලග නැති දේ නොවෙයි ඇති දේ ගැනයි හිතන්න ඕන, හෙට ඒවාත් නැති වෙන්න පුළුවන්නේ කියා.
ඒ නිසා බිය නැතිව, අනිත් අය මොනවා සිතයිද, කියයිද යන පුහු මෝඩ අදහස් ඇතිකරගන්නේ නැතිව ඉදිරියටම අප යා යුතුයි.
සමාජයට බය නැතිව මුහුණ දෙන්න ඕන. අද මගේ මොලේ, අත්පා වැඩ කරනවා, අද මා ගාව බස් එකට සල්ලි තියෙනවා හෙට ඒකත් නැතිවෙන්න පුළුවන් කියලා වගේ හිතන්න.
හෙට, අද මට නැති පිළිකාවක් එන්න පුළුවන්.
ඕනෑම කෙනෙකුට ශ්‍රේෂ්ඨයෙක් වෙන්න පුළුවන් – තමන්ගේ දක්ෂතාව හඳුනාගෙන, ඒවා උපරිම තත්ත්වයට දියුණු කරගෙන, ඉතා තදබල කැපවීමෙන් වැඩ කරන්න ඕන. මනස ඒ වෙනුවෙන් ‘කන්ඩිෂන්’ කරගෙන ඒ තත්ත්වය රඳවා ගන්න ඕන.
ශ්‍රේෂ්ඨ ගායකයෝ, නළුවෝ, වඩුවෝ, ගත්කතුවරු, වෛද්‍යවරු, කරනවෑමියෝ, රියදුරුවරු, නීතිඥවරු, දේශපාලනඥයෝ, පයිප්ප බාස්ලා නිවේදකවරු ආදීන්; ඒ අයගේ අංශවලින් අන්තිම ඉහලට ආවහම අපට ශ්‍රේෂ්ඨයයි කියා කියන්න පුළුවන්.
මෙය දවසින් දෙකෙන් වෙන දෙයක්වත්, කෘතීමව වෙන දෙයක්වත් නොවෙයි, ස්වභාවිකව කාලයත් සමඟ වෙන දෙයක්. හොර පාරවලින් ගොස්, බොරු කර, තමන් ශ්‍රේෂ්ඨයි කියා හිතා ගන්න අය ඉන්නවා – විශේෂයෙන්ම දේශපාලනඥයයෝ. ඒ පුද්ගලයාමයි මුලා වෙන්නේ , මොකද ජනතාව එසේ යයි කියා පිළිගන්නේ නැති නිසා.
අන්තිමට ඔබට ඉන්නේ ඔබ පමණයි. ඊට පෙර, ඔබට (ආදරය කරන) ඔබේ පවුල සහ ඔබට ආදරය කරන ඔබ වටා සිටින සුළු පිරිස.
ප්‍රශ්නයක් ආවිට, ඔබ ඔය බියෙන් සැඟවෙන, හැමවිටම ධනාත්මක අගයක් ඔබ විසින් දීමට උත්සහා කරන සමාජය, ඒ වෙලාවට පළාතකවත් නැහැ.
තමන් හීනෙන්වත්, නොහිතපු, නොකියපු දේවල් හිතා සමහරු අමනාප වෙනවා. ගණන් නොගත යුතුයි; ඉදිරියටම යා යුතුයි. ඒ අයටම කවදා හරි තේරේවි. නොතේරුණත් කමක් නැහැ මොකද ඔබේ සිත සුද්ද නිසා.
අපේ රටේ බොහෝ දෙනෙක් කාරණා උපකල්පනය කර, ඒවා සත්‍යයයි කියා තදින්ම ප්‍රසිද්ධියේ අනෙකාට කියා සිටිනවා. තම උපකල්පන බොරු බව ඔවුනට වැටහෙන ප්‍රශ්ණ බොහෝ දුර දිග ගොසින් හමාරයි.
සිත තදීන්ම කියනවානම ඕක හොඳ වැඩක් නොවෙයි කියලා, කරන්න එපා ඒක.
ඔබේ සිත අවංක නම්, ඔබ වරදක් කරලා නැත්නම් කිසි දෙයකට බිය නොවිය යුතුයි; මුළු ලෝකේම ඔබට ගල් ගැහුවත් නොබියව, හිස කෙලින්කර ඉදිරියටම යන්න. හිතින් තැවෙන්නේ ඒ බොරුකාර අයයි.
ජීවිතේ ගොඩාක් දුරයි. ගිරිදුර්ග, වන දුර්ග, ජල දුර්ග අතරින් ගෙනියන ජීවිතේ පාර වැරදෙන වාර අනන්තයි. ඒත් පාර වැරදුණා කියලා ජීවිතේ නතර කරන්න පුළුවන්කමක් නැහැ. නව, තව පාරක් සොයා ගන්න උත්සාහ ගන්න ඕන.
සතුට සම්පත වාසනාව ආවහම, කාටවත් කරදරයක් නැත්නම්, ඒවා ආදරයෙන් වැළඳ ගන්න; අවස්ථා පැහැර යන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මන්ද, ධානාත්මක අවස්ථා නිතරම නොඑන නිසා.
මිත්‍රත්වය රැක ගෙන, එය ඉදිරියට ගෙනයාම මිත්‍රයන් දෙදෙනාගේම වගකීමකි, එක්කෙනෙකුට පමණක් එය කල නොහැක.
ඔලු ගෙඩිය අවුල් කරගත්තොත්, කඩා වැටෙන්නේ ජීවන ඉනිමගයි.
එක බොරුවක් වහන්න බොරු 10ක් කියන්න වෙනවා.
අධ්‍යාපයනය යනු පාසැල් ගොස් පොත පත ඉගෙනීම පමණක් නොවේ. පරිසරය සුරැකීම, ආගමානුකුලව ජිවත් වීම, වැඩිහිටියන්ට සැලකීම. සතුන්ට නපුරු නොවීම, සමගියෙන් සමුහ ක්‍රීඩා කිරීමට හැකියාව; මෙවැනි දේ ඉගෙනුමත් අධ්‍යාපනයයි.
මේ ලෝකේ හැමෝටම මොනයම් දෙයකට හරි දක්ෂතාවය තියෙනවා. ඒවගේමයි අදක්ෂතාවයත්.
දියුණු බටහිර රටවල rational reasoning (තාර්තික තීරණ ගැනීම) හොඳින් ක්‍රියාත්මක වෙනවා; ඒ නිසා හැමෝටම වගේ අවස්ථා ලැබෙනවා. ඒ රටවල Win Win අවස්ථා වැඩියි.
කාර්මික විප්ලවය (1750 – 1900) චීනයේ නොවී එංගලන්තයේ සිදු වීමට එක් ප්‍රධාන හේතුවක් වුයේ ඔවුන්ගේ වූ මේ තාර්තික තීරණ ගැනීමයි. ඔවුන් තාක්ෂණික දැනුම/රහස්, ඒවායේ තම අයිතිය නිතීමය ලෙස තහවරු කර ගන්නා අතර (copy rights), ඒවා එකිනෙකා අතර බෙදා ගත්තා. එකළ චීනයේ අය ස්වකීය දැනුම සඟවා ගත්තා. ඒ නිසා, බොහෝ දැනුම එකී පුද්ගලයා සමඟම මැරී ගියා.
අපේ රටේ, සමහර අය ඉන්නවා හැසිරීම නිසා අන්තිම ‘කාලකන්නි’ වගේ පේන්නේ. නමුත් දක්ෂ නායකයා දන්නවා ඕනෑම කෙනෙකුගේ දක්ෂතා හඳුනාගෙන, කාලකන්නියාගේ පවා හොඳ ගතිගුණ හඳුනාගෙන, ඒවායින් දෙදෙනාටම හොඳ, වාසිදායක පල ප්‍රයෝජන ලබා ගන්න.
අද, එංගලන්තේ වගේ රටවල වාහනයක් හෙඩ් ලයිට් සංඥාව දෙන්නේ ‘ඔබ යන්න, මම නතරවෙන්නම්’ කියන්නයි. ලංකාවේ හෙඩ් ලයිට් සංඥාව දෙන්නේ ‘මම යනවා, ඔබ ඉන්න’ කියන එකයි. උපරිම ආත්මාර්ථකාමිත්වය විදහා පෑමක් ලංකාවේ.
මෙහෙ වගේ පෝලිම් පනින මිනිස්සු ඒ රටවල නැහැ.
මේ රටේ සමහරු පාරේ ඇවිදින්න දන්නේ නැහැ, උවමනාවෙන් හෝ නොසැලකිලිමත් බැවින් ඇඟේ හැප්පෙන්නමයි එන්නේ. අනෙකාට ඉඩ දීමක් නැහැ. ආත්මාර්ථකාමී ඒ අය ගාල කඩා යන හරකුන් හා සමානයි.
පෙව්මන්ට් එකේ, සමහර විට නිදාගෙන වගේ ඇවිදින අය ඉන්නවා. ඇඟේ හැප්පුනහම කඩාගෙන පනිනවා. මේ අයගෙන් විද්‍යාමාන වන්නේ විනයක් නැති, ගුණමකු සමාජයක්.
අපි බස්/දුම්රියට නගින්නේ අනිත් අය පෙරලගෙන. හැමදාම වැඩිහිටියෝ, ආබාධිතයෝ මඟ නතර වෙනවා නැග ගන්න බැරුව.
අපි බස් එකේ ඉඳ ගන්නෙත් ඊළඟ එක්කෙනාගේ පැත්තෙනුත් ඉඩ අල්ලාගෙන. ලඟින් කෙනෙක් ඉඳ ගත්තවිටත් අයින් වී සිට් එකේ ඉඩෙන් කොටසක් දෙන්නේ නැහැ.
ගොඩාක් වෙලාවට මේ ආත්මාර්ථකාමීන් සමඟ කකුල් වද්දමින් තමයි බසයේ යන්න වෙන්නේ. ලංකාවේ අයට මෙය සාමාන්‍ය දෙයක්, දියුණු රටවල කිසිදා සිදු නොවෙන දෙයක්.
පාරේ ඇවිදින්න නොදන්නා, බස් එකේ හරියට වාඩිවී යන්න නොදන්නා ගේ චරිතය කොයි වගේද කියලා ඒ අයගේ ඒ කල් ක්‍රියා වලින් අපිට නිරාවරණය කර දෙනවා.
අද කාලේනම් දුර ගමන් සේවා බසයකට ගොඩ වුණොත් නින්දයන කතාව හරි පොතක් කියවන එක නම් බොරු. බස් රථයේ ඇසෙන සින්දුවල කන්දොස්කිරියාවට ඔලුවේ කැක්කුම හැදෙනවා. හොඳ සංවර සින්දුවක් හිමිහිට වාදනය කලාට කමක් නැහැ. නමුත් මේ බස් වල දමන වීඩියෝ බලන්නවත් හිතෙන්නේ නැහැ: තරුණයෝ පාරේ නටන පරණ සංගීත සංදර්ශනවල වීඩියෝ සමඟ ඒවායේ කර්ණකටුක සංගීතය, (නොහොත් ඝෝශාව), උගුර යටින් කෑ ගහන, කිසි චාරයක් නැති නිවේදකවරු.
බස් එක ඇතුලේ දුරකථන ඇමතුමක් ආන්සර් කරන එක බොරු. ඒ තරමට සංගීතේ ඝෝෂාව සහ එන්ජිමේ සද්දේ.
අපි හරිම කැමතියි කාගේ හරි අඩුපාඩුවක්, වැරැද්දක් අල්ලාගෙන, පුළුවන් තරම් දොස් කියන්න; බොහෝ විට දොස් කියන්නේ ප්රශ්නය හරි හැටි නොදැන මතුපිටින් පමණක් බලා.
සමහරු, විශේෂයෙන්ම කාන්තාවෝ කුඩ ඉහලාගෙන උජාරුවට පාරේ අව්වේ යනවා, අනිත් අය ගැන හිතන්නේ නැහැ. බැරිවෙලාවත් කුඩ කූරක් ඇහැක එහෙම වැදුනොත්.
‘කෙනෙක් දියුණුවේ ඉහලට යනවා’ ……. ‘නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙත්සම්’ – ෆ්‍රෙඩි සිල්වා මහතා කදිමට මෙසේ පෙන්වා දුන්නේ මිනිසත් කමේ තියෙන ඉතා නරක ගතිගුණයක්.
ලෝකයේ තිබුනු යල් පැනගිය බහු බූත මත සීග්‍රයෙන් ක්ෂය වී යන කාලයක් මේ. ඉදිරියේදී ජිවත්වන අය අද ඉන්න අපට වඩා වාසනාවන්තයි, ඒ මොකද සමාජය පරිනාමය වීමේදී, තිබෙන විෂම අදහස්/ ක්‍රම ක්‍රමයෙන් තුරන් වෙනවා, හොඳ අදහස්, හොඳ නීති උඩට එනවා.
අපි අනෙකාට උදවු නොකලොත් අපිට ඕනා වෙලාවට උදවු කරන්නත් කෙනෙක් නැති බව වටහා ගනිමු.
සත්‍යය ගරුකව, සොබා දහම සමඟ ජීවත් වන පුද්ගලයාගේ සිත කලාත්මක හැගීම් වලින්ද පරිපුර්ණයි.
අපේ රටේ පගාවක් ගන්නේ නැතිව මනුස්සයකුට වැඩක් කරලා දෙන රජයේ නිලධාරින් ගොඩාක් ඉන්නවා. පගාව දීගන්න බැරි අහිංසක මනුස්සයන්ට කාගේ පිහිටක්ද?
දෙපාර්ශවයක් ඉන්න ප්‍රශනයක් නම් මේ ගොල්ල දෙපැත්තෙන්ම පගාව අරං ප්‍රශ්නේ තවත් උග්‍ර කරනවා.
ඉස්සරනම් පගාව දුන්නොත් කොහොමහරි වැඩේ කරලා දෙනවා. නමුත්, දැන් කාලේ පගාව අරං වැඩේ නොකරන අය ඉන්නවා. එක් අතකින් මෙය පගාව දෙන අයට දෙවරක් සිතා බැලීමට වූ හොඳ පාඩමක්.
අද පඳුරක්, පඳුරක් ගානේ මහාචාර්යවරු, ආචාර්යවරු, ශාස්ත්රපතිලා, දර්ශනපතිලා වැහි වැහැලා. මේ සමහර අය අචාර්ය, මහාචාර්ය උපාධි ගත්තේ කොහෙන්ද, විස්තර ඇහුවහම ඉක්මනට මග හැරලා යනවා.
වංචාවෙන් මැරකමෙන් ජිවත් වීම වැඩි වෙලා. ඒ නැති බැරි කමට නොවෙයි. අනුන්ගේ දේවල් කඩා වඩා ගැනීම සමහර අයගේ එකම ආදායම් මාර්ගයයි. සමහරුන්ගේ ජාන වල මේ ලක්ෂණ තියෙනවද?
වැරදි කරන අය දුප්පත්කම, නුගත්කම නැත්නම් සමාජයේ ඇති වැරැද්ද වැනි හේතු තමන් කල වැරැද්දට හේතු සාධක වශයෙන් දැක්වීම නිදහසට කාරණා නෙවෙයි. වරදට දඬුවම් කිරීමේදී නම් මේවා බලපානවා.
සිරකරුවන්ට සමාව දීමේදී, චුදිතයන්ට ඇප දීමේදී සමාජයේ අහිංසක ජනයාගේ ආරක්ෂාව ගැනත් සිතන්න වෙනවා. ඇප ලබා එලියට පැමිණ නැවත මිනිමරණ අය කොතෙකුත් ඉන්නවා.
එක දරුණු මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් ඇප ලැබුන දවසේම වගේ රටින් පැනලා. ඔහු මොනතරම් විනාශයක් දැන් පිට රට සිට මේ රටට කරනවද?
ගරු අධිකරණයට දොස් කීමෙන් වැඩක් නැහැ. එය කරන්නේ පවත්නා නිතීය ක්‍රියාත්මක කිරීමයි.
ජීවත්වන ජනතාවගේ සුභ සිද්ධිය ගැන සිතා රජයන් දරුණු අපරාධකරුවන්ට ලෙහෙසියෙන් ඇප ලබා නැවත සමාජයට යාම වැලක්වීමට ඇප පනත සංශෝධනය කළ යුතුයි.
රටේ ජීවත්වෙන සාමකාමී ජනතාවගේ සුභ සිද්ධිය තකා බරපතල අපරාධ වලට මුහුණ දෙන්නන් (චූදිතයන්) දැන් ගරු අධිකරණ වලින් ලබා ගන්නා ලිහිල් ඇප කොන්ද්දෙසී ඉතා දැඩි කල යුතුයි. ඇප පිට නිදහස් කරන්නන් දිනපතා ප්‍රදේශයේ පොලිස් ස්ථානයට වාර්ථා කිරීම වැනි කොන්දේසි අවශ්‍යයි.
රිමාන්ඩ් සිර මැදිරි පිරෙනවා, රජයට කන්න දෙන්න බැහැ කියා දරුණු අපරාධකරුවන් රිමාන්ඩ් නොකර නැවත සමාජයට නිදහස් කරනවා. ඔවුන් එළියේ ඉන්න තාක් කල් දරුණු අපරාධ යළි යළි කරනවා.
මිණීමැරුම්, කප්පම් ගැනීම්, කුඩු බිස්නස්, බරපතළ ආයුධ සන්නද්ධ සොරකම් බොහොමයක් කරන්නේ ඇප ලබා එළියට ඇවිත් සිටින අය බව පොලිසිය කියයි.
ඇප ලබාගත් පසු මේ අයගේ නඩු ඇසෙන්නේ බොහෝ ප්‍රමාද වී නිසා මේ අය ඒ කාලය තුල බොහෝ වෙනත් බරපතල අපරාධ කරත්.
මෙයට විසඳුම: ඇප නොදී, දරුණු අපරාධකරුවන්ගේ නඩු ඉක්මනට අසා අවසන් කල යුතුයි. එතෙක් ඔවුන්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තැබිය යුතුයි.
කෙනෙකුගේ ආත්ම ගරුත්වය ඉන්න පළාත අනුව වෙනස්වෙන දෙයක් නොවේ. උසස් ලෙස ජීවත්වන පුද්ගලයා කොහේ සිටියත් ඒ විදීයට ජීවත් වේ.
අපිට මහත්සේ ආඩම්බර විය හැකි, වසර දහස් ගණනක සිට එන අපේ ශිෂ්ට සම්පන්න ගති පැවතුම්, සිරිත් විරිත් ක්‍රමයෙන් ක්ෂයවී යනවා. රැක ගනිමු, නව පරපුරට ඒවා කියා දෙමු.
ශ්‍රී ලංකා ඉතිහාසය පාසල් වල ඉගැන්වීම නතර කලේ එක් අධ්‍යාපන ඇමතිවරයෙක් 1972 දී විතර. ඉන්පසු මෑතක සිට නැවත ඉගැන්වෙනවා, නමුත් ‘සැර’ බාල කරපු ශ්‍රී ලංකා ඉතිහාසයක්. ජාත්‍යාන්තර පාසැල් වල, උතුරේ පාසල් වල ශ්‍රී ලංකා ඉතිහාසය උගන්වන්නේම නැහැල්ලු; තව හොයලා බැලිය යුතු දෙයක්.
මැක්ඩොනල්ඩ්ස්, KFC, පිඩ්සා හට් – මේවා ඇබ්බැහි වෙන කෑම. කුඩා ළමුන්ට පවා දියවැඩියාව හැදෙන්න පුළුවන් ඕනාවට වැඩිය චිප්ස්, බර්ගර්ස්, බේකන් කන්න ගියොත්, කෝක්, පෙප්සි. ෆැන්ටා බොන්න ගියොත්. හැමදේම ප්‍රමාණයක් සහ ක්‍රමයක් තියෙනවා.
බටහිරෙන් එන සැම දේම පිළිනොගත යුතුයි. හොඳ දේවල් පමණක් තොරා බේරා අපේ ශිෂ්ට සම්පන්න ගති පැවතුම්, චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම්, වලට හානි නොකර ඒ දේවල් තෝරා ගමු.
සුද්දා (ඉංග්‍රීසීන්) අපේ රට යටත් කර ගත්තට පස්සේ අපට වෙනස්වූ, අමුතුම සදාචාරයක්, සාරධර්ම, නීති අපිට පුරුදු කරන්න හැදුවා, පුරුදු කලා. ඒවායේ හොඳ තත්ත්වයන් මෙන්ම අවුල් වියවුල්ද ගොඩාක් තියෙනවා.
සමහරවිට, මේ සංස්කෘතීන්, නීති පද්ධතින්, සාරධර්ම අතර ගැටුම් වලට අපි අදත් මැදි වෙලා – අවුල් ජාලයක ඉන්නවා. සමහරු, ‘අපි කවුද’ කියා නොදන්නා තත්ත්වයකට පත්වෙලා.
ගොඩක් දේවල්, විශේෂයෙන්ම නීතිමය, සංස්කෘතිමය, සභ්‍යත්වය ට අදාළ කටයුතු අපි බොහෝ දුරට අවුල් සහගත කරගන්නේ මේ නිසා.
‘අපි වමේ – දක්ෂිණාංශික ලිබරල්; අපේ රටට සම්ප්රදාය, සභ්‍යත්වය, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර, සාරධර්ම, ඉතිහාසය, ආගම අවශ්‍ය නැහැ. අපි මේ සියල්ල වෙනස් කරනවා’ කියා මෝඩ වදන් ප්‍රකාශ කරන්නේ මෙසේ අතරමං වුවන්ගෙන් ඇතැමෙක්.
ඒ අයට අප අනුකම්පා කරමු. ඔවුනට නැණස, බුද්ධිය පහළ වී, සත්‍යය අවබෝධ වේවා!
උග්‍ර වාම/කොමියුනිස්ට් වාදී, සම්ප්රදා විරෝධීන් වූ ස්ටාලින්, මාඕ, පොල් පොට්, කිම් ඉල් සුං, විජේවීර* වැන්නන් නිසා එම රටවල මහා ජන/ආගම් සංහාර සිදු වුනා.
*විජේවීර යම් තරමකට සිංහල බෞද්ධ සම්ප්‍රදායට, ගතාණුගතිකත්වයට ගරු කළා.
එදා අපේ කුල කාන්තාවෝ ආදර්ශවත්, ඉතා උසස් වූ දිවිපෙවතක් ගෙවා මුළු ලොවටම ආදර්ශයක් වුනා. උඩරට කාන්තාවෝ මෙහිදී ප්‍රමුඛත්වය ගත්තා.
බටහිර අධිරාජ්‍යවාදීන් අපේ රටේ මුතු මැණික්, අලි ඇතුන්, කුරුඳු, කොප්පරා, කළුවර, බුරුත, මැහෝගනී වැනි වටිනා දැව රට පටවා ඔවුන්ගේ ආර්ථිකය හදා ගත්තා. අපේ කුරුඳු, ගම්මිරිස් වැනි කුළු බඩු රට පැටෙව්වා අපට මුදල් නොදී. අපේ කඳුකරයේ වන සම්පත කපා හෙලා වැවිලි ආර්ථිකයක් ස්ථාපිත කර ඒ ආදායමද තම මවු රටවලට යැව්වා.
යම් දායාදයක් අපට ඉතිරි කර ගියා නම් ඒ වැවිලි ආර්ථිකය, අගනා පාරවල්, දුම්රිය මාර්ග පද්ධතිය, ක්‍රමවත් සිවිල් සේවය (අද අවුල් ජාලාවක්), නීති පද්ධතිය, හොඳ සෞඛ්‍ය සේවය සහ විධිමත් අධ්‍යාපන ක්‍රමයයි. මෙයින් කිසි ලෙසකින් වත් අදහස් කෙරෙන්නේ නැහැ ඊට පෙර පැවති අපේ දේශිය ජිවන රටාව (සෞඛ්‍යය, අධ්‍යාපනය, නීති ඇතුළු), මේ බටහිර ක්‍රම වලට දෙවෙනි වූ බව.
වැඩියෙන්ම අපව මොළ සෝදා පාලුවකට ලක් කලේ, අප තුල හීනමාන අදහස් ඇති කරවන්න උත්සහ කලේ, කළු සුද්දන් බිහි කලේ (මේ කළු සුද්දෝ අදත් අප සමාජය රජ කරනවා) ඉංග්‍රීසි කාරයායි.
පෘතුගිසින් සහ ලන්දේසින්, විශේෂයෙන්ම පෘතුගීසින්, ඉතා දරුණු වූ බව ඇත්ත; ඒ වාගේම ඔවුන් අප ජනතාව සමඟ කිට්ටුවෙන් මුසු වුනා. අන්තර් – විවාහ ලිස්බන් අධිරාජ්‍යය අනුමත කළා. බර්ගර් නමැති අලුත් ජාතියක් මෙහි ඇති වුනේ ඒ නයින්.
කෙනෙක් තම බුද්ධියෙන් සිතා බලා තම ආගම වෙනස් කරනවානම් එහි වරදක් නැහැ. නමුත් දුප්පත්කම වැනි දේ දඩමීමා කරගෙන, නැත්නම් බලහත්කාරයෙන්, ආගම් වෙනස් කරන්න හදනවා නම් එය වැරදියි.
තායිලන්තය ලංකාවටත් වඩා බෞද්ධ රටක් – 95% විතර බෞද්ධ. අවාසනාවකට, අධි බටහිරකරණය වීම නිසා එහි ප්‍රධාන නගර ආසියාවේම කාම පුර වගේ බවට පත් වෙලා. කාම්බෝජය, ලාඕස් වැනි බෞද්ධ රටවලටත් මේ තත්ත්වය උදාවෙමින් තියෙනවා. බුරුමයත් ඉදිරියේදී ඒ පාරේ යන්න බොහෝ ඉඩ තියෙනවා.
ඒ නිසා, මේ පින්බර දිවයිනේ ඉන්න අප බොහෝ පාඩම් ඉගෙන ගන්න ඕන, පරෙස්සම් වෙන්න ඕන.
ගණිකාවන්, කුඩු බොන අය, සැම ලිංගිකයන් අප ජීවත්වන සමාජයේම කොටස්. මේ කිසි වෙකුට ආසාධාරණ නොකළ යුතුයි.
මෙයින් කියන්නේ නැහැ ගණිකා වෘත්තීය මේ රටේ නීතීගත කරන්න, සම ලිංගික විවාහ අනුමත කරන්න කියා.
රාත්‍රී විදී ගණිකාවන්ට ආරක්ෂාව ලබා දීම, සෞඛ්‍ය පහසුකම් සැලසීම, කිසියම් මූළික අධ්‍යාපනයක්/වෘත්තීය පුහුණුවක් ඔවුන්ට ලබා දීම (ඒ මඟින් ඔවුන් ගණිකා වෘත්තීයෙන් බැහැර කිරීම) හොඳ දෙයක්.
කුඩු කාරයන්ටත් එහෙමයි – ඒ අය ඒ ප්‍රශ්ණ වලින් ගොඩ ගන්න අප සමාජය ක්‍රියා කළ යුතුයි. සැමදා ඔවුන්ට ගැරහීමෙන් පළක් වන්නේ නැහැ.
අපේ රාජ්‍ය නොවන සංවිධාන මීට වඩා පණ ඇතිව වැඩ කළ යුතුයි.
බොහෝ වැඩ කිරීමට තිබෙනවා.
රජය වැඩ කරන්නේ නැහැ කියා එය විවේචනය කරනවා යු ටියුබ් කරුවන්, ෆේස් බුක් කරුවන්.
ඒ කියන අයමයි රජය කරන හැම වැඩකටම අකුල් හෙලන්නේ, රජයට කකුල් මාට්ටු දාන්නේ. මොවුන් ඉතා භායනක අය.
රටේ ප්‍රශ්ණ තිබේ නම් රජය ඒවා විසදන්න ඕන, ප්‍රශ්ණ නැහැ වගේ මෙතෙක් කල් සෑම රජයක්ම සිටියා. දැන් විසදන්න හදන කොට කෑ ගසනවා.
උපන්දින සාද ගන්න, උත්සව පවත්වන්න. එදාට නටන්න, වයන්න, ගයන්න. කිසි වරදක් නැහැ.
හැබැයි ඒ එක්කම මතක් කර ගන්න, අප ඒ දිනයේදීත් තව එක දිනයකින් මරණය වෙත ලං වුන බව.
නමුත්, මරණය ගැනම මෙනෙහි කර කර ඉන්න ඕන නැහැ. බුද්ධාගමේ කිසි ලෙසකින් එවැන්නක් කියා නැහැ.
හැකිතරම් නීතිය ඉගෙන ගැනීමට පුරවැසියන් උත්සහ ගත යුතුයි, වෘත්තියක් වශයෙන් නොකලත්. නිතිය දන්නා කෙනාට බොරු කරන්න අමාරුයි, ජීවත්වෙන සමාජය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා, ප්‍රශ්න විසඳීමේ හැකියාව ලැබෙනවා. ආත්ම ධෛර්යය/ශක්තිය ලැබෙනවා.
බටහිර රටවල නිතීය විෂයක් ලෙස පාසැල් විෂය මාලාවේ තිබෙනවා.
දියුණු බටහිර රටවල දැන් නඩුවලින් 30%ක් පමණ දැන් කථා කරන්නේ නීතිඥවරු නැතුව පාර්ශවයන් තමන් විසින්මයි. ඒ රටවල උසාවි, නීතිඥ සමිති ඒ ක්‍රමවේදය සඳහා තදින් අනුබල දෙනවා, සහාය වෙනවා.
බටහිර රටවල් දැන් ‘නීති භාෂාව’ සාමාන්‍ය ජනතාවට තේරෙන ඉතා සරළ බසින් සිදු විය යුතු ලෙසට ප්‍රතිපත්ති සකසා තියෙනවා.
කෙනෙකුගේ අදහස් තවත් අයෙකුට පැවසීමේදී ඒ පුද්ගලයා එය තේරුම් ගන්නේ බොහෝ දුරට තමන්ටම ආවේණික අත්දැකීම් අනුවයි. ඒ නිසා සමහර විට යම් පුද්ගලයෙකු පවසන යම් දෙයක් එය අසා සිටින තැනැත්තා විසින් බොහෝ වෙනස් විදියට තේරුම් ගන්නා අවස්ථා බොහෝයි. මෙයින් මතුවෙන ප්‍රශ්ණ/ආරවුල් ද බොහෝයි.
නොදන්නා අය තමයි වැඩිපුර දන්නා බව පෙන්වීමට හා ප්‍රදර්ශනය කිරීමට ආසා කරන්නේ.
මරාගෙන කන්න බැරි සතාවත් විකුණගන කන තරම් මිනිසුන් ඉන්න ලෝකයකයි අප ජීවත් වන්නේ.
මානසිකව සහ කායිකව තරුණව සිටින්න බලමු, මහලුකමට ජීවිතය යට කරන්න ඉඩ නොදිය යුතුයි.
වයස යනු හුදු අංකයක් පමණි.
අපේ සිතේ පිරෙන අදහස් නිසා තමයි බොහෝ දේ සිද්ධවෙන්නේ. අවාසනාවකට, අද සමාජයේ, අපේ ජනතාවගේ, හිත් පිරෙන්නේ නරක දේ වලින්.
මනස මහා බලගතුයි. මහත්මා ගාන්ධි, හිට්ලර්, මාර්ටින් ලුතර් කිං, මැන්ඩෙලා, ඔබාමා, ප්රභාකරන්, තෙරේසා මවු තුමිය, තැචර්, නෙතනියාහු, සෙලෙන්ස්කි, පූටින්,ට්‍රම්ප්; මේ අයත් සාමාන්‍ය මිනිස්සු, ගැහැණු; නමුත් මොන තරම් පෙරළියක් (හොඳ හෝ නරක අතට) මේ අයට කරන්න පුළුවන් උනාද?
තම උත්සාහය අසාර්ථක වුවත් ඉන්දියාව වෙන් වීමට එරෙහිව ගාන්ධි තුමා වැඩ කළා. නේරු, ජින්නා ඉවසීමෙන් කටුයුතු කළා නම් ඉන්දියාව බේරා ගන්න තිබුනා කියා කියනවා, ඒකීය රාජ්‍යයක් හැටියට.
20 වෙනි සියවසේ පහල වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා මහත්මා ගාන්ධි කියලා කියන්න පුළුවන්. මන්ද, එතුමා අවිහිංසාවෙන් බලගතු බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදය පැරදවුවා.
21වෙනි සියවසේ, මේ දක්වා – සමහර විට ට්‍රම්ප් වෙන්න පුළුවන්. ඔහු ලෝක යුධ බිය සමනය කර ගෙන යන විදියට. ඉන්දීය-පකිස්ථාන, ආර්මේනියා/අසර්බයිජාන්, යේමනයේ හුතී, නිරිතදිග කොන්ගෝ ප්‍රශ්ණ ඔහු සාර්ථකව විසඳුවා. පලස්තීන, යුක්රේන යුද්ධත් ට්‍රම්ප්ට තමා සුව කරන්න පුළුවන්.
බයිඩන් (හිටපු ජනපති), දැන් සිටින යුරෝපයේ නායකයෝ – රාමුවෙන් පිටතට බලන්න අදක්ෂ වුනා; ට්‍රම්ප්ට කිට්ටුවෙන්න වත් බැහැ පෞරුෂත්වයෙන් සහ ක්‍රියාවෙන්.
හොරකම්, බොරු, චාටු, වංචා වලට නිරතුරුවම අහුවෙන අවංක, හොඳ කෙනෙක් උනත් ක්‍රමයෙන් එවැනි නරකදේ කරන්න පෙළඹෙන්න පුළුවන්. බොරු නොකියනම අය බොරු කියන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේමයි නරක අය හොඳ ආශ්‍රය නිසා හොඳ වෙන්න පුළුවන්.
පියෙක් පුතෙකුට දුන් ඔවදන් 2ක්:
‘පුතා දන්නවද අර ගිරව් දෙන්නගේ කතාව.තාපස ගිරවයි,අලුගෝසුවාගේ ගිරවයි. ඒ කියන්නේ ආශ්‍රය කරන අයගේ ගොඩ අනුවයි කෙනෙක්ගේ පැවැත්ම.’
‘නරක’ සමාජය තුල හැදෙන හොඳ පුද්ගලයෙක් කාලයක් යනකොට ‘නරක’ වෙනවා. මේ සිද්ධාන්තය අනිත් පැත්තටත් එහෙමයි’.
මැණික් ගලක් ඔපවත් වන්නේත්, ඉතා මිල අධික වන්නේත් එය නිකන් ෂෝ කේස් එකේ තබා තිබීමෙන් නොවෙයි; හොඳට කපා, මැද, පොලිෂ් කර ෂෝ කේස් එකේ දැමු පසුයි. හුඟක් වෙලාවට මැණිකෙන් පෝසත් වෙන්නේ එය ගැරු හෝ එය මුලින්ම අලෙවි කල තැනැත්තා නොවෙයි, එය, ‘ඔප දමා මැද, පොලිෂ්’ කර විකුණු තැනැත්තායි.
අපේ සහජ දක්ෂතා ගැනත් කිව යුත්තේ එයමයි. ඒවා හොඳට ‘මැද, පොලිෂ් කර’ සමාජයට අලෙවි කලොත් කෙනෙක් බලාපොරොත්තුවන ප්‍රසිද්ධිය, මුදල් හදල් ඒ මඟින් උපරිමව ලබා ගන්න පුළුවන්.
අතීත වේදනාකාරී මතකයන් ගෙන් තොරව ජීවිතය ගත කරන්න බලමු.
ගැහැණිගේ ශාරීරික ශක්තිය මිනිසුන්ට වඩා දුර්වලයි, නමුත් දෙගොල්ලම මනසින් එකවගේ ශක්තිමත්.
ප්‍රශ්නවලට, ද්රරිධතාවයට එකම විසඳුම විෂ මත්පැන්, විෂ කුඩු නොව උත්සාහයෙන් ජීවිතය ජය ගැනීමයි. රැකියාවක් සොයා ගත නොහැකි නම් ස්වයං රැකියාවක් පටන් ගන්න – මාළු ලෑල්ලක්, ත්‍රී වීලරයක්, කඩවලට කඩයප්පන් හදා දැමීමක්, ස්වීප් ටිකට්/වඩේ විකිණීමක් හෝ මහන මැෂිමකීන් මැසීමක් උනත් කමක් නැහැ.
සල්ලි නැහැ හෝ වෙන කිසියම්ම හේතුවකට හොරකම් නම් කරන්න එපා. නැතිම නම් හිඟා කන්න.
ලෝකයේ විශාල ලෙස දන් දෙන මිනිස්සු මේ අප ඉන්නා පුණ්‍ය භුමිය, ශ්‍රී ලංකාවේ ඉන්නවා.
විශාල වශයෙන් බඳ ප්‍රදේශය ප්‍රදර්ශනය වන අයුරින් ඇතැම් කාන්තාවන් දැන් සාරි/ඇඳුම් අඳිනවා. නව ප්රවනතාවක්. බොහෝ දුරට දකුණු ඉන්දීය අභාෂය නිසා විය හැකියි.
පොඩි දරුවන්ටත් මෙය පුරුදු කරනවා.
කුඩා/තරුණ කාලයේදීම ඇඳුම් වරද්දගත්තොත්, ලොකු වෙලා හදන්න අමාරුයි.
තෙරපුණු/මිරිකුණු බස් තුල මිනිසුන් ගියත් ඔවුන් අතර රන්ඩු සරුවල් නැත්තේ/අඩු අපේ මිනිසුන්ගේ ඇති හික්මීම සහ කොයිදේත් සතුටින් ඉවසීමට හැකිවූ හොඳ කාරණායි/ගතිගුණයි.
බස් රථයක් තුල අමුතුම ‘සංස්කෘතියක්’ තියෙනවා; එය දන්නේ බස් වල යන මගීන් පමණයි. උදාහරණ සමහරක්:
වැඩිහිටියෙක්, ආබාධිතයෙක්, ගැබිණි මවක් නැග්ගහම දුර ගමන් සේවා බසයක් වුනත් නැගිටලා තම අසුන ඒ කෙනා වෙනුවෙන් පිරිනමනවා, තදබද වුනු බසයක හිටගෙන යන මගියෙකුගේ භාණ්ඩ අසුනක ඉඳන් ඉන්නා කෙනෙක් ඉල්ලා සුරක්ෂිතව එවා ඒ තැනැත්තා වෙනුවෙන් බලා ගන්නවා.
තව, මගියෙක් හෝ ඒ කෙනා අත තියෙන බඩු භාණ්ඩයක් ඇඟේ හැපුනත් මුකුත් නොකියා ඉවසීම පෙන්වනවා, ඩ්‍රයිවර්/කොන්දොස්තර මොන තරම් ගමන ප්‍රමාද කලත් ඔවුන්ට බනින්නේ ඉතාමත් කලාතුරකින්. මේවා ඉතා උසස් ගුණාංග. තියෙන අඩුපාඩු හදාගෙන මේ හොඳ ‘බස් සංස්කෘතිය’ තවත් දියුණු කර ගනිමු.
මත්පැන්, මත් ද්‍රව්‍යය සමාජයට කරන්නේ මහා විනාශයක්.
මාර්ග අනතුරුවලට මුලිකම හේතු නොසැලකිලිමත්බව, මත්පැන්, අබලන් වාහන සහ අයහපත් මාර්ග/යටිතල පහසුකම්.
බීලා රිය පදවන්න නම් එපා, අනතුරක් කරගන්නවාමයි; අද බැරිවුනොත් හෙට.
මත්පැන් සහ රිය පැදවීම කවදාවත් නොගැලපේ. අනුන්ගේ පමණක් නොව ඔබේ ජිවිතයද අවදානමේ තබනවා.
මත්පැනින් හොඳටම පදම් වූ කෙනෙක්ව තව දෙදනෙක් උස්සා ගෙන ගොස් වාහනයේ දොර ඇර සුක්කානම ඉදිරියේ තැබුවා. එයා වාහනය එලවාගෙන ගියා. එයාට වාහනයක් එලවනවා තියා පයින් යන්නවත් බැරි තත්ත්වයක් තිබුනේ. කී දෙනෙක් අහිංසකයන්ව එයා මැරුවද දන්නේ නැහැ එදා රාත්‍රියේ.
බිලා රියපදවන්නා අන්තිම මෝඩයෙකි, වසලයෙකි.
මෝටර් සයිකල් අනිත් වාහන අස්සෙන් අස්සෙන් රිංගලා යනවා; වාහන අනතුරු බොහෝමයයි. හැප්පුනහම වැඩියෙන්ම තුවාල වෙන්නේ ඒ ගොල්ලන්ට.
හෙල්මට් එකක් නොදා කිසිදා මෝටර් සයිකලයක, පා පැදියක නොයන්න.
බිලා මෝටර් සයිකලයක්, පා පැදියක් එලවන්න එපා.
වසරකට මෝටර් සයිකල් අනතුරුවලින් පමණක් 1,000ට වැඩිය මැරෙනවා. ඒ කියන්නේ සතියකට 20ක්!
1951 වසරේදී අප රටේ ඒ මුළු අවුරුද්දටම වූනේ රිය අනතුරු මරණ 286යි. 2024 වසරේදී පදිකයන් පමණක් වාහන අනතුරු වලින් 1,000ක් පමණ මිය ගියා.
උගතටයි නූගතාටයි (විශේෂයෙන් සැකය වැනි ලෙඩ තියන) එකට ඉන්න බැහැ. උගතා බොහෝවිට අකාලයේ මැරෙන්නත් පුළුවන්.
නූගතා/උගත් මෝඩයා කරන මෝඩ වැඩ වලට ප්‍රෙෂර්, හාට් ඇටෑක්, දියවැඩියාව හැදෙනවා. තව කෝටි ගණන් මුදල් නාස්ති වෙන වැඩ ඒ අය කරන්නේ. මේ අයගෙන් නම් මුල් අවස්ථාවේදීම වෙන්වීම හොඳයි.
උගතා කියන්නේ ඩිප්ලෝමා/ඩිග්‍රී ගහ ගත්ත කෙනා නොවෙයි; යහපත් අදහස්, ආකල්ප හා පෞරුෂය ඇත්තායි,ශුභවාදිව ප්‍රශ්න දෙස පළල් දෘෂ්ටිකෝණයකින් බලන්නායි. අනුන්ට වැරද්දක් නොකර තමන්ටත්, රටටත් යහපතක් කරගන්නායි.
සමහරු වැරදි තීරණ අරගෙන ඒවා හරියි කියා සිතාගෙන ඒවයේ දැඩිවම එල්ලී සිටිනවා, විශේෂයෙන්ම පවුලක. මේවායින් අමාරුවේ වැටෙන්නේ වැඩිහිටියන් පමණක් නොවේ දරුවන්.
මිත්‍රත්වයක් පවත්වා ගෙන යාමට නම් දෙදෙනාම ධනාත්මකව කටයුතු කරන්න ඕන. එක්කෙනෙක් විතරක් මිත්‍රත්වය පවත්වා ගෙන යන්න කටයුතු කරනවානම් එය සැබෑ මිත්‍රත්වයක් නොවේ.
අඹ ගෙඩියට මැරෙනතුරු මෙන් සටන් කල ‘අඹ යහළුවෝ’හි සුනිල් අප්පෝට තැලුණු, බෙරිවෙච්ච අඹ ගෙඩිය ආපසු දීමෙන් දුප්පත් නිමල් අපට පෙන්නුම් කලේ තන්හාව, ලෝභ කම, ආසාව යනු හුදු පුස්සක් බව නොවේද?
මේ ලෝකේ එලිය දකින්න තාත්තා අම්මා දෙන්නනෙක් ඕනේ. දෙන්නවම අමතක කරන්න බැහැ.
ගෙදර බුදුන් අම්මා; ගෙදර දෙවියෝ තාත්තා.
ඉර හඳ කුමටද අම්මා නැත්නම්.
පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්න එපා.
එකිනෙකාට ආශිර්වාද කරගැනීම,, සුභ පැතීම, සමාව අයැදීම, කණගාටුව ප්‍රකාශකර ගැනීම, නිහතමානි මිනිසුන් විසින් කරන හොඳ දේවල්.
100% ප්රත්යක්ෂභාවය තමන්ට දෙන්නත් බැහැ, අනුන්ගෙන් අපේක්ෂා කරන්නත් එපා.
කතාවකට කියනවා ළදරුවෙකුට පමනක්ලු දෙව්ලොව යන්න හැක්කේ. මන්ද, ඔවුන් පමණයි පිරිසිඳු සහ ශාන්ත. ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය ඔවුන් තුල නැත.
ලේ පිරිසිදු වෙන ඕනෑම දෙයක් කියන්න; ලේ කෝප වෙන දේ කියන්න එපා.
ගමක පොලිස්කාරයෙක් ඉන්නවා නම් එයාට හැම කෙනෙක්ම වගේ බයයි, මේ ඉස්සර ඉඳන්ම ආපු තත්ත්වය හොඳ නැහැ.
වැරදි කරන බොහෝ අය කියන්නේ සමාජය ඒ අයට එහෙම කරන නිසා ඒ අයත් එහෙමලු. මේක බොහෝම අවාසනාවන්ත තත්ත්වයක්.
අප ඒ අයට පෙන්නලා දෙන්න ඕන සමාජයේ කොච්චර හොඳ අය ඉන්නවද, කොච්චර හොඳ දේවල් වෙනවද, පටු විදියට හිතන්න හොඳ නෑ විශේෂයෙන්ම උසස්, ගුණ ගරුක සමාජ ක්‍රමයකින් එන අප.
1970 සිරිමා බණ්ඩාරනායක රජයේ ‘සුදුස්සාට සුදුසු තැන දෙන’ ප්‍රතිපත්තිය මත, කවදාවත් දේශපාලනය නොකළ, ශ්‍රී ලංකාවේ නුතන කළමනාරණයේ පියා (Father of Modern Management) – වසර 20කට වැඩි කාලයක් ලීවර් සමාගමේ (Uni Lever) පිරිස් කළමනාකරු, පසුව සාමාන්‍යාධිකාරී, ශ්‍රී ලංකාවේ ප්‍රථම කළමණාකරන උපදේශක (Management Consultant) සහ ප්‍රසිද්ධ සමාගම් අධ්යක්ෂ තුමාට ජාතික පේෂකර්ම සංස්ථාවේ සභාපති කම පිරිනැමුවා. පාඩුවට තිබු සංස්ථාව ඔහු අවුරුද්දකින් වගේ ලාභ ලබන ආයතනයක් බවට පත් කළා.
පෞද්ගලික පාවිච්චිය සඳහා දී තිබුණු සංස්ථා වාහනේ පාවිච්චි කලේ බොරැල්ල ගෙදර ඉඳලා හෝර්ටන් ප්ලේස් වල තිබුණු සංස්ථා ප්‍රධාන කාර්යාලයට යාමට පමනයි. තුල්හිරිය, වේයන්ගොඩ, පූගොඩ (එවකට තනා නිමකළනොකළ) වැනි කම්හල් වලට ඔහු නිතරම ගියා – සති අන්තයේ පවා. ඒ ගියේ, පෞද්ගලික පාවිච්චිය සඳහා දී තිබුණු සංස්ථා වාහනේ හෝර්ටන් ප්ලේස් කාර්යාලයේ දාලා, ඩබල් කැබ් එකකින්.
ගමනට අවශ්‍ය කරන කොළඹ ප්‍රධාන කාර්යාලයේ කළමනාකරුවන්, ගනඛාධිකාරීන්, ක්ලාක්ලා ඔක්කොකම එකේ දාගෙන යනවා සංස්ථාවට පෙට්‍රල් ඉතුරු කරලා දෙන්න.
වරක් ඔහුට විදේශ රජයක තානාපති කාර්යාලයකින් වටිනා විස්කි, වයින් ඇතුළු නොයෙක් රට මත්පැන් සහිත (පුද්ගලික) පෙට්ටි කිහිපයක් තැගී ලැබුනා හිතවත්කමට. ඒක සංස්ථාවට කපු නූල් සපයන රටක්. ඔහු වහාම සිද්ධිය අදාළ ඇමතිවරයාට වාර්තා කරලා (TB සුභසිංහ) තෑගි භාණ්ඩ සංස්ථාවේ තුල්හිරියේ ‘අමුත්තන්ගේ නිවාසයට’ භාර දුන්නා, ඉන්වෙන්ට්රියක් එහෙම හරියට හදලා.
දෙවිවරුන් වැනි මෙවැනි සංස්ථා සභාපතිවරු අද කෝ?
උදේට නැගිටලා මේ භාවනාව කරන්න – ‘මගේ පෙනීම කවදාවත් හිරු එලිය නොදුටු මිනිසකුට දෙන්න කැමතියි , මගේ හදවත නිමක් නැති වේදනා බර දවස් ගෙවන මිනිසකුට දෙන්න කැමතියි, මගේ රුධිරය රිය අනතුරකින් ඔත්පොලව ශල්‍ය කර්මයට බදුන් වුවෙකුට දෙන්න කැමතියි, මගේ දේපල ගෙදර සුන් බුන් වී නැවත ගෙදර හදන මිනිසාට දෙන්න කැමතියි, මගේ වකුගඩුව වකුගඩු යන්ත්‍රය මත දිනපතා ලේ පිරිසිඳු කරන ජීවිතයක් ගෙවන්නකුට දෙන්න කැමතියි, මගේ ඇටකටු , නහර , නාඩි හැමදේම මැරුණු පසු වෛද්‍ය පර්යේෂණ වලට දෙන්න කැමතියි, මගේ කකුල් දෙක අබ්බගාත පොඩි ළමයෙකුට ඇවිද යන්න දෙන්න කැමතියි, මගේ මළකඳ කුණු පණුවන්ට ආහාරයක් වෙන්න අරින්න කැමතියි, මගේ දුර්වලකම්/වැරදි මගේ මිතුරන්ට අදාර්ශයක් නොවෙන්න ඉඩ හරින්න කැමතියි.’
උපන් බිමට කිසිදා ගරහන්න එපා,දේශය යනු මවයි.
හැමවිටම මේ සංකල්පයේ සිට වැඩ කරන්න – ‘මට පෙර මාගේ රට’.
වැදගත් ඕන මහත්මයෙක්/මහත්මියක් කියන කතාවක් – ‘ මාව මැරුවත් කමක් නැහැ. මගේ චරිතය, නම් විනාශ කරන්න එපා’.
ඉවසීම අඩු අයට භාවනාව ඉතා හොඳයි. හොඳ තැන් – රන්ගිරි-දඹුලු භාවනා ආරාමය, රාජගිරියේ තපෝවනය, කඳුබඩ හෝ හිඳගල භාවනා අසපු, මැකාර්ති පාරේ විපස්සනා භාවනා අසපුව හෝ මහරගම ධර්මායතනය. අන්‍ය ආගමිකයන්ටත් එවැනි විශේෂ වූ ස්ථාන තියෙනවා.
යොගා ජිවන ක්‍රමයට අදාළ කරගන්න; කිසිදාක වරදින්නේ නැහැ.
හැකි සෑම විටම පාරේ දකුණු පැත්තේ ගමන් කරන්න, ඔබේ ජීවිතය බේරෙන මඟක්. පේව්මන්ට් තියෙනවා නම් පේව්මන්ට් එකේම ගමන් කරන්න.
අපේ රටට ආදරේ වැඩි අයයි, රට ගැන හුඟාක් දුකින් ඉන්නේ. රට ගැන නිතර ලියන්නේ, කියන්නේ.
විටෙක පෙලපාලි නොගිහින් බැරි බව ඇත්ත. ඒත් පොලිස් කදුළු ගෑස් වලට, ජල ප්‍රහාර වලට සුදානමින් හිටියොත් හොඳයි.
යාළුවෝ බොහෝ වෙලාවට නෑයින්ට වඩා හොඳයි. යාලුවන්ගෙන් ප්‍රයෝජන ගන්න, ඉල්ලුවොත් ඔවුන් උදවු කරනවා.
නොඉල්ලුවොත් කොහොමද උදව් ලැබෙන්නේ? ජේසුස් වහන්සේ කීවා ‘තට්ටු කරන්නාටයි දොර ඇරෙන්නේ කියා’.
පොඩි පොඩි විරසකට හොඳ යහළුවෝ අහක දාන්න එපා, මහා අවාසනාවක්. පාඩුව ඔබටයි, යහළුවටයි.
කුඹුරේ, තේ වත්තේ වැඩකරන අය සීතල ගතිය මගහරවා ගැනීමට, නිදිමත දුරු කර ගැනීමට බුලත් හැපීම කරනවා. බුලත් කෙල මහ පාරේ ගැසීම නම් වැරදියි.
අද අප රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් වන්නේ බොහෝ දෙනෙක් තමන්ගෙන් විය යුතු වැඩේ හරියට නොකර, මතුපිටින් පමනක් කිරීමයි; මුලටම ගිහිල්ලා යමක් කරන්නේ නැහැ.
සාර්ථකත්වය කෙටි මං (shortcuts) වලින් හොයන්න බලනවා, හරියන්නේ නැහැ.
දුක් විඳලා, ‘කට්ට කාලා’, ‘හම’ ගොරෝසු කරගන්න බලන්න. හදවත දැඩි කරගන්න. ඉන් පසු ඕන ප්‍රශ්නයකට මුහුණ දෙතෑකි.
උදේට හිස තියන් ගොස් කඩයප්පන් විකුනලා, ඒ සල්ලි අම්මාට දීලා ඉස්කෝලේ ගිය, පස්සේ දක්ෂ, සාර්ථක ජනාධිපතිවරයෙක් වූ කෙනෙක් හිටියා.
අවස්ථානුකූලව තීරණ නොගෙන දැඩිව තම මතයේම සිට, විසදුම් සොයන්න හදන කෙනෙකුගේ හැසිරීම නිසා සිදුවන පාඩුව අපමණයි. ඒ පුද්ගලයා තමන් විසින්ම පරිහානිය ලඟා කරගන්නවා. අනුන්ටත් ඒ දෙය අත් පත් කර දෙනවා.
මහා පාරේ මුත්‍රා කිරීමට පිරිමින්ට ලයිසන් බලපත්‍රයක් ලැබිලද? පායාන කාලෙට පලාතම කුණු ගඳ ගස්වන මේ නරක පුරුද්ද නැවත්වීමට දැන් කාලය ඇවිත්. දියුණු රටවලනම් නඩු දානවා.
මතු සම්බන්ධයි …..