අපිපරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (9කොටස)
Posted on October 11th, 2025
චානක බණ්ඩාරගේ
සමාජයේ කවුරුත් එකයි. හැමෝගෙම ලේ රතු පාටයි.
හැම දරුවෙක්ම (රාජ කුමාරයෙක් හෝ සිඟන දරුවෙක්) මේ ලොවට බිහිවෙන්නේ අහිංසකව හඬා, එතැන උස් පහත් භේදයක් නැත. විෂම සමාජයයි ඒ දරුවන්ව විෂම වැඩිහිටියන් බවට පත් කරන්නේ.
බොහෝ වේලාවට ගමේ පොලිස්කාරයා, ග්‍රාම සේවක, සමෘධි නිලධාරි දුප්පත් මිනිස්සුන්ට තමා ‘පාර්ට්’ පෙන්වන්නේ.
මේ අයගේ බලය නිසා පළාතේ පොලිසිය, දිසා ලේකම් පිළිගන්නේ මේ අය කියන දේයි.
නීතියෙන් මොන දේ කීවත්, යටින් අර ‘ජරාව; කියන දේ හිස්මුදුනින් – දෝතින්ම පිළිගෙන, රාජ්‍ය නිලධාරින් සමහර විට යථාර්තය උඩු යටි කුරු කර පෙන්නනවා.
මොන තරම් අයුක්තිය, අසාධාරණය රජයන සමාජයකද/ලොවකද අප සිටින්නේ?
අහිංසක හොරකමක්, අහිංසක මිනි මැරුමක්, අහිංසක ස්ත්‍රී දුෂණයක් කියා වරදක් අවතක්සේරු කරන්න වැරදියි.
හොරකම් කරන්නේ දුප්පත් කම නිසා නම්, හොරකම් කල රාජ්‍ය නායක දේශපාලනඥයොත් හොරකම් කලේ දුප්පත්කමටද?
දෙන්නා දෙමහල්ලන්ගේ අඩ දබර බත් හැලිය ඉදෙන තුරු පමණක් විය යුතුයි.
අපි කවුරුත් ගුණ දහමින් ජිවත් විය යුතුයි. අනුන්ට අසාධාරණ/අයුතු විදියට නොගැරහිය යුතුයි.
යම් අකරතැබ්බකට ලක් වූ විට සිතින් මවාගත් පූර්ව නිගමන මත සැකමුසු බිය ඇතිකර නොගත යුතුයි. ආපසු හැරි විමසා බැලීමෙන් හෝ කාලයට ඉඩ දී සිටීමෙන් සැබෑ ස්වරූපය/තත්ත්වය වැටහී යනවා.
නගරයක පොත් සාප්පු විතරක් තිබී බැහැ, බාබර් සාප්පුත් තිබිය යුතුයි, තේ කඩත් තිබිය යුතුයි. රටක ඔක්කොම මහාචාර්යවරු විතරක් ඉඳලා බැහැ. ටැක්සි ඩ්‍රයිවර් ඉන්න ඕනෑ. මේසන් බාසුත් ඉන්න ඕන. මහාචාර්යතුමාගේ සේවයත් අවශ්‍යයි.
කසලශෝධකතුමාගේ සේවයත් අවශ්‍යයි. හැබැයි වැදගත්ම දේ, මේ ඔක්කොමලා එක හා සමානයි.
සිඩ්නි වල පබ් එකකට ගිහින් බලන්න. ඩොක්ටර්, ලෝයර්, පාර අතුගාන්නා, ටොයිලට් සුද්ද කරන්නා, විශ්ව විද්‍යාල මාහාචාර්ය, ප්ලම්බර්; මේ සේරම එකම මෙසේ ඉඳගෙන හිනා වේවි එකට බොනවා.
හැමෝම හිතන්නේ දොස්තර, නීතිඥ වගේ රැකියා වගකීමෙන් වැඩිම රැකියා කියලා; ඒ අයට හරියට සලකනවා/ගරු කරනවා. ඒවා මොලය පාවිච්චි කරලා කරන රැකියා. මෙහි වරදක් නැත. නමුත්, හැම රැකියාවේම ලොකු වගකීමක් තියෙන බව අපි පිළිගන්න ඕන – අත් දෙකෙන් කරන රැකියා පවා.
අපි ගණන් ගන්නේ නැති රේල් ගේට්ටු මුරකරු රක්ෂාව ගැන බලන්න; බැරිවෙලාවත් මිනිහා වෙලාවට රේල් ගේට්ටුව නොවැසුවොත්? පයිප්ප බාස් නාවොත් සමහර විට මුළු සති අන්තයේම ගෙදර ටැංකියේ වතුර නැතිවේවි. මේසන් බාස් නැත්නම් නැණවත් ලෝයර්ට ඉන්න ගෙයක්වත් නැහැ.
අපේ ජනගහන වර්ධනය ගැන අපට සතුටු වෙන්න බැහැ. 2018දී මේ රටේ දරු උපත් සංඛ්‍යාව 328,000යි. 2024දි එය 220,000යි. ඒ කියන්නේ වසර 6ක් තුල දරු උපත් 108,000ක අඩු වීමක්.
මෙය අති විශාල අඩු වීමක් – 33% ක්.
ආසියාවේ වෙනත් කිසිම රටක නැහැ මෙවැනි අඩු වීමක්.
ධනවත් ඕස්ත්‍රේලියාවේ 2023 වසර තුල දරු උපත් 287,000 සිදු වුනා. මීට අමතරව ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණිකයන් සහ තාවකාලික විසා ධාරීන් ඒ රටට ඇතුල් වුනා.
තරුණ දෙමව්පියන්ට කිසියම් සහනාධාරයක් දී හෝ මේ රටේ දරු උපත් වැඩි කර ගැනීමට රාජ්‍ය ප්‍රතිපත්තියක් සැළසුම් කිරීමට සිදුවේ.
ළඟ එන අය වැයෙන් මෙය කළ යුතු දෙයක්.
මෙවැනි අයහපත් ජනගහන වාතාවරණයක් උඩයි අපේ රටේ ශ්‍රමිකයින්ව කොරියාව, මලයාසියාව, ඊශ්‍රායල්, මැද පෙරදිග වැනි රටවලට පටවන්න රජයන් (මේ රජය ඇතුළු) නොගන්නා උත්සහයක් ගන්නේ.
ඒ අය අපට විදේශ විනිමය එවන එක ඇත්ත. නමුත්, අප රට තුලත් දැවැන්ත ශ්‍රම හිඟයක් තිබෙනවා නේද?
එය එන්න එන්නම වැඩි වෙනවා.
රට තුල උග්‍ර වෘත්තීකයන්, තාක්ෂණවෙදීන් පමණක් නොව පුහුණු/නුපුහුණු කම්කරුවන්ගේ පවා අඩුවක් ඇත.
රටේ බොහෝ පුහුණු/නොපුහුණු කම්කරු තරුණයෝ ඉතා බලගතු ලෙස මත් ද්‍රව්‍ය පානය කරන්නෝ බවට පත්වී ඇත.
අපේ නුපුහුණු තරුණියෝ ලංකාවේ ගාර්මන්ට් ෆැක්ටරි හෝ මැද පෙරදිග නිවෙස්වල මෙහෙකාර සේවයේය.
මේවා රැකියාවන් අතර පහළම ස්ථරයේ ඒවාය.
ඇත්ත වශයෙන්ම මෙම ජනගහන ප්රශ්නයේදී අප රට දැන් ඇත්තේ ඇවිලෙන ගිණි කන්දක් මතය.
තව අවුරුදු 25කින් රටෙන් භාගයකට වඩා වයස 50 ඉක්මවුවෝ විය හැකියි.
අපේ රටට වීශාල විද්වත්, තාක්ෂණික, කම්කරු හිඟයක් තිබියදී රටේ හොඳම මොළ, ශ්‍රමය – හොඳම තරුණ සහ මැදී වියේ ජවය, වෙනත් රටවල් දියුණු කිරීම සඳහා අප රජයන් ඉතා උවමනාවෙන් යවන්නේ ඇයි?
ඔවුන් එවන කුඩා ඩොලර් ප්‍රමාණයට රජයේ තියෙන කෑදර කම නොවේද?
අපේ තරුණ තරුණියන් පිටරට පටවා වෙනත් රටවල් දියුණු කිරීමට උදව් කරනවා වෙනුවට රජයන් කළ යුත්තේ මේ මහඟු සම්පත අප රටේම තබා ගැනීමට හැකි ක්‍රම වේදයන්, වාතාවරණයන් නිර්මාණය කිරීමයි. එවිට, ඔවුන් එවන විදේශ විනිමයට වඩා සිය ගුණයක ආර්ථික වාසියක් අප රටට ලැබේ.
ඇමරිකාව, කැනඩාව, ඕස්ත්‍රේලියාව වැනි රටවල් අපට සිදුකර තිබෙන සේවයට වඩා වැඩි සේවයක් අප ඒ රටවලට කර ඇත, අපේ හොඳම මිනිස් ශ්‍රමය ඒ අයට සැපයීමෙන්.
අද අප රටේ චීන, ඉන්දියන් සේවකයන් විශාල පරිමාණයෙන් විවිධ සංවර්ධන සහ පෞද්ගලික ව්‍යාපෘති වල වැඩ කරත්. සංචාරක විසා හොබවන රුසියන්, යුක්රේන්, ඊශ්‍රායල් ජාතිකයෝ සංචාරක රෙස්ටොරන්ට් ව්‍යාපාරයේ යෙදෙති. මේ කිසිවෙක් මේ රටට ගෙවිය යුතු බදු නොගෙවති. මෙය ඉතා අසාධාරණය.
මෙයින් පෙන්නුම් කරන කරුණක් වන්නේ අප රටේ උග්‍ර ශ්‍රම හිඟයක් සහ ව්‍යාපාරිකයින්ගේ හිඟයක් තිබෙන බවයි. නැත්නම්, විදේශිකයෝ මෙහි නතරවී මේ වැඩ නොකරත්.
ඇත්ත වශයෙන්ම අප රට මීට වඩා ආර්ථිකව දියුණු නම්, ශ්‍රමිකයන් පිට රට රැකියා සඳහා ස්ථිර පදනම මත (ඇමරිකාව, කැනඩාව, ඕස්ත්‍රේලියාව වැනි රටවල්වලට), අප රට අත්හැර දමා යාම අවශ්‍ය නැත.
පිටරට ගිහින් සිටින අය කොයි වේලේත් සිටින්නේ තමන් උපන් රට ගැන සිත සිතායි.
කෙනෙකුට තම පවුල, ඥාතින්, මිතුරන් වටා ජීවත්වෙන්න තිබේනම් නම් එය තමා ඔහුට/ඇයට ලැබිය හැකි උපරිම සන්තුෂ්ටිය. ලංකාවේ හිටියොත් තමා තමන්ගේ වයසක දෙමව්පියන්ව ඔවුන්ගේ අන්තිම කාලේදි බලා ගැනීමට පුළුවන් වේ.
අළුත් යමක් නිර්මාණය කරන්න පුළුවන් ඉන්ජිනේරුවෝ, නව නිපැයුම් කරුවෝ විද්‍යාඥයෝ අපේ රටෙන් දැන් බිහිවෙන්නෙම නැති තරම්, ඉතා අසතුටුදායක තත්ත්වයක්.
උඩින්ම යන අය දැන ගන්න ඕන ඒ අය බිම වැටුනොත් වැටෙන්නේ අනිත් අයට වඩා වැඩිය උසකින්; එතකොට රිදෙනවත් වැඩියි.
මතුපිටින් පමණක් බලා කෙනෙකුගේ හොඳවත්, නරකවත් දකින්න අමාරුයි.
ධර්මපාලතුමාගේ කාලේ දෙමාපියෝ ළමයින්ට හොද අර්ථවත් නම් දුන්නා – ධර්මදාස, ගුණසේන, කරුණාවතී, නන්දනී වගේ. දැන් ඒ ලස්සණ, අර්ථවත් නම් දාන්නේ නැහැ.
දැන් කාලේ සමහර නම් නම් දිව උලුක්වෙන, විපරිත ඒවා.
තමන් ඉදිරියේ පෙනී සිටි 14 හැවිරිදි දියෝගු ද සිල්වා දරුවාට ‘උඹ අද පටන් පියදාස සිරිසේන’ කියා එතුමා ඔහුගේ නම වෙනස් කළා. පසුව ඒ ළමයා, දේශප්‍රේමී, මහා ගත් කතුවරයෙකු වුනා.
අපේ හදවත්ද මිනිස්කම් වලින් පුරවා ගත යුතුයි.
උදේට ඇඳුම් අඳිද්දී හොඳට බලා එලියට බහින්න. සමහරු ජාති දෙකක සපත්තු දාගෙන යති.
අද වැඩට යන කාන්තාවන් එක දවසක් ඉන්දියන් ඇඳලා අනිත් දවසේ ඔසරිය අඳිනවා. එදා ඉන්දියන් නම් ඉන්දියන් පමණයි. ඔසරිය ඇන්දේ උඩරට කාන්තාවන් පමණයි. දෙජාතිය මාරු කර කර ඇන්දේ නැහැ. නමුත්, මේක ප්‍රශ්නයක් නොවෙයි.
ඉස්සර උඩරට නිලමේ ඇඳුම විවාහ මංගලොත්සවයක් වෙනුවෙන් කෙනෙක් ඇන්දේ එයා ඇත්තටම උඩරැටියෙක් නම් පමණයි.
ඉස්සර උඩරට විවාහයකදී පාර්ශවයන් විසින් එකිනෙකාට කිරි කවිච්චිය පිළිගැන්වීම, මනාලයා මනාලියට කැවිලි බන්දේසිය පිළිගැන්වීම, පෝරුවෙන් බැස්ස පසු මනාලයා විසින් අෂ්ටක කිවූ ළදැරියන්ට තුටුපඬුරු දීම, නව යුවල ශ්‍රී දළදා මාලිගයට (හෝ වෙනත් ප්‍රසිද්ධ පන්සලකට) ගොස් ගරුතර සංඟයාවහන්සේලාගේන් සෙත් පිරිත් ආශිර්වාද ලබා ගැනීම සහ පිරිත් දෙසු ගරුතර සංඟයාවහන්සේලාට පිරිකර පුජා කිරීම වැනි දෑ සිද්ධ වුනා.
අද මේ දේ වැනසී ගොස් හෝ සිදු වෙනවා ගොඩාක් අඩුයි.
සමහර මිනිසුන් මොබයිල් ෆෝන් පාවිච්චි කරන්නේ ආභරණයක් විදියට. දරන්න බැරි නම් ගොඩාක් වටිනා මොබයිල් ෆෝන් භාවිතා කරන්න එපා. ඒවා පරිස්සම් කරන්න අමාරුයි. කොහොමත් කැඩෙනවා.
අනික රැල්ල සමඟ ගියහොත් නිතරම අලුත් මොඩ්ල් එනවිට මාරු කිරීමට ගොස් ගෙදර ෆෝන් ගොඩ ගැහෙනවා විතරක් නෙවෙයි වටිනා මුදල් අපතේ යනවා.
සමහර අය බස් එකේ කරන දුරකථන සංවාද මුළු බස් එකටම ඇහෙනවා. එතකොට හොරෙක් හිටියොත් ගානට වැඩේ ‘ප්ලෑන්’ කරලා, ‘ගේමක්’ දෙන්න පුළුවන්.
107 රූට් එකේ අම්මා කෙනෙක් මොනතරම් මොබයිල් ෆෝන් එකට ඇදී සිටියාද කියනවනම් පිටකොටුවෙන් යමෙක් එක්ක කතා කරමින් බස් එකට දරුවාත් සමඟ නැග්ග ඇය හැඳල හන්දියෙන් බහින තුරුත් ඒ කෝල් එකේමයි හිටියේ, ඒ මදිවට දරුවවත් අමතක කරලා බස් එකේ දමලායි බැස්සේ. කොන්දොස්තරට සිදු වුනා පස්සේ අම්මාව හොයලා දරුවාව එයාට බාර දෙන්න.
මිනිසුන් තමන්ගේ නම වෙනස් කරගන්නවා ඉතා පහසුවෙන්, ඉවක් බවක් නැතුව; මෙයින් රටේ අනෙක් අය නොමඟ යන අවස්ථා තියෙනවා.
රත්නායක මුදියන්සේලාගේ මෙත්ථා ප්‍රියමාලී – නමින් බැලුවහම නම් සිංහල බෞද්ධ. නමුත්, එයා කළින් බණ්ඩාරවෙල තේ වත්තේ ඉන්න කාලේ තිබිලා තියෙන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් නමක්.
මේ රටේ සමහර අය (උදා: නිදහස් මතධාරී ලිබරල්වාදීන්) මේ ගැන කියන්නේ -ඕස්ත්‍රේලියාව, ඇමරිකාව වගේ රටවලට ගිය සංක්රමනිකයෝයි, එහි ඉපදුනු අයයි ඔක්කොම ඕස්ත්රේලියන්/ඇමරිකන් පුරවැසියෝ. ඒ රටවලට එය ඇති. කෙනෙක්ගේ උපන් රට, ජාතිය, ආගම ආදිය දැනගැනීම ලිබරලූන් වන ඒ රටවලට අනවශ්‍ය බවයි.
ඒ මතය අනුව, මෙහි, අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ; ඒ ඇති කියායි ඔවුන් කියන්නේ.
කෙනෙක්ගේ උපන් ජාතිය දැන් වැඩක් නැති බවයි ඒ අය කියන්නේ.
අපේ සංහින්දියා යාන්ත්‍රණය (1995 පමණ සිට 2015 පමණ දක්වා) ක්‍රියාත්මක වුනේ එම පදනම මතයි.
මෙය වැරදි මතයක්/පදනමක්; විශේෂයෙන්ම අප ජීවත්වන සම්ප්‍රදායානුකූල, ගතානුගතිකත්වයට මුල් තැන දෙන සමාජ පද්ධතිය තුළ (Conservative).
බොහෝ දියුණු බටහිර රටවල් මෙන් අප සමාජය ලිබරල් නොවේ.
අප ජීවත්වෙන මේ පුංචි රටේ එකිනෙකා නිවැරදිව හඳුනා ගැනීම වැදගත් ලෙස අප සළකමු – එහිදී ජාතිය බෙහෙවින් අදාළ වෙනවා.
ඒ, එම පුද්ගලයාට අසාධාරණ ලෙස සැලකීමට නොවේ – වඩාත් සාධාරණව සැලකීමට.
අප මෙහි ජීවත්වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාති 4ක් පමණයි. ඕස්ත්‍රේලියාව මෙන් විවිධ ජාතින් මෙහි නැහැ.
තවද, අප එකිනෙකා සමඟ ඉතාම කිට්ටුවෙන් ජීවත් වන්නේ.
ඉදින්, පුද්ගලයෙක් හරි හැටි හඳුනා ගැනීමට, ඔහුට/ඇයට නිසි ගෞරවය ලබා දීමට, ඒ වගේම නිදහස්ව අදහස් පළ කිරීමට, සෑම දෙනාටම හිමි විය යුතු ගෞරවය ලබා දීමට ඒ පුද්ගලයාගේ සත්‍ය ජාතිය අප දන්නවා නම් ඉතා හොඳයි; එය සැමටම පහසුවක්.
අප අතර සිටින්නෙක් අප නොදැන ඔහුගේ/ඇයගේ නම වෙනස් කර, ඒ මඟින් තම සත්‍ය ජාතිය සැඟ වීමට උත්සහ කර ඇත්නම්, ඒ මඟින් තමන් වෙනත් ජාතියක කෙනෙක් බව අපට නිරූපණය කිරීමට උත්සහ කර ඇත්නම්, එම සිද්ධිය අසුවූ විට, එය ඉතා අමුතු එකක් ලෙසයි අප සළකන්නේ.
ඒ තැනැත්තා එසේ කළේ මන්ද කියා අප විසින් සොයා බැලේ.
ඔහු/ඇය එසේ කරන්නේ එම සමාජයේ ඇති දෝෂයක් නිසාද?
ඔහුගේ/ඇයගේ දෙමව්පියන් විසින්ද එම නම වෙනස් කරනු ලැබුවේ? එසේ නම්, ඔහුට/ඇයට එම ප්‍රථිපලය ගැන කරන්නට දෙයක් නැත.
කෙනෙක්ගේ නමින් නිරූපණය කෙරෙන්නේ විරුද්ධාභාශයක් (paradox) නම්, එය යම් දිනක හෙළිවූ විට, එයින් එම නම මාරු කල තැනැත්තා ඉමහත් අපහසුවට පත් විය හැක. ඔහු/ඇය ඇසුරු කළවුන්ද ඉමහත් අපහසුවට පත් විය හැක.
තමන්ගේ සත්‍ය ජාතිය තමන් ලඟින්ම ඇසුරු කරන අයට කියා තිබීමයි වටින්නේ.
පොදු සමාජයට සත්‍ය හෙළි වූව හොත්, ඒ තැනැත්තා ඔවුන්ව නොමඟ යැව්වා කියා චෝදනාවක් එල්ල වීම නොවැලක්විය දෙයක්.
නමුත්, කළින් කීවාක් මෙන් ඔහුට/ඇයට නිදහසට කරුණු තිබිය හැක.
නම වෙනස් කල පුද්ගලයා නිතීය පැත්තෙන් කිසිදු නිතී විරෝධී දෙයක් කර ඇත.
තමන් කැමති නමක් භාවිතා කිරීමට ඕනෑම කෙනෙකුට නිදහස තිබේ.
නමුත් තම සත්‍ය ජාතිය සඟවන නමක් භාවිතා කිරීමේ ආනිසංස ඔහු/ඇය අප වැනි සමාජයක වීඳි.
එය අප ජිවත්වන සමාජයේ විෂමතාවයි?
කළින් කී පරිදි එසේ නම වෙනස් කිරීමට ඔහුට/ඇයට හොඳ හේතු තිබුනා විය හැක, අප ඒ සියල්ල නොදනිමු.
ඇත්තටම ඕස්ත්‍රේලියාවේ තත්ත්වය වෙනස්ය. ඔවුන් සෑම වසර 5ට සැරයක්ම මහා ජන සංගණනයක් පවත්වයි. එවිට, එදාට රට තුළ සිටින සෑම කෙනාම සංගණනයට සහභාගී වීම අනිවාර්යයි.
තම තමන් පමණක් නොවේ, තමන්ගේ පිට රට සිටින පියා/මවගේ ජාතිය, ආගම, උපත් ස්ථානය විස්තර පවා ඒ පෝරම මඟින් ඕස්ත්‍රේලියා රජය ලබා ගනී. ඒවා පරිගණක ගත කර රජයේ වැඩ වලට ප්‍රවේශමෙන් යොදා ගනිත්.
ඇමරිකාව, එංගලන්තය, කැනඩාව වැනි රටවල්ද මෙසේම විය යුතුයි. තම රටේ වාසය කරන්නන් පිළිබඳව අත්‍යාවශ්‍ය තොරතුරු සියල්ල ඔවුන් එක් රැස් කර ගබඩා කර තබා ගනිත්.
අපි කියනවා අපේ රටේ 70% සිංහල. කෙසේද මේ දේ හරියටම කියන්නේ?
පුද්ගලයින්ගේ නම් දෙස බලා ඒ අයගේ ජාතිය අනුමාන කල කාළය අවසන්.
එදා, 1960 ගණන්වල කොළඹ නගර සභා සිමාවේ 70% පමණවූ සිංහළ ජනගහනය අද 40% වත් නැති තරම්ලූ? මේ වෙනස ඇතිවී තිබෙන්නේ අවුරුදු 40 ක් වැනි කෙටි කාලයක් ඇතුලතදිලු.
ඇත්ත වශයෙන්ම අද මුළු ශ්‍රී ලංකාවේ සිංහල ජනගහනය 70%ද? 65%ද, 60%ද?
නියම ගණන දැන ගැනීමයි හොඳ; එවිට සිංහලයාට තමාට ඇති අනාගත බාධා, ඒවාට අවශ්‍ය පිළියම් වලට හැඩ ගැසීම් කළ හැකියි.
සත්‍ය නොවන බොරු සංඛ්‍යා ගැන සිහින මවමින් සිටියහොත් වන්නේ සිංහල ජාතිය තව තවත් අඝාධයට වැටීමයි.
මෙය 70% යයි හරියටම කීමට සංඛ්‍යා ලේඛන රජයට තිබේද? 1981 පසු ගත් සංගණන ප්‍රථිපල හරි හැටි තවමත් නිකුත් කර නැති තත්ත්වයක් තමා තිබෙන්නේ. මෙය එසේ නොවේ නම් පවසන්න.
මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සංඛ්‍යා අනුමාණ කල යුතු දේ නොවේ – අප හරියටම දැන ගත යුතුයි.
එවිටයි, රජයන්ට අදාළ ජන කොටස් වලට මනා ලෙස ප්‍රතිපත්ති සැකසිය හැකි වන්නේ, සේවා ලබා දිය හැකි වන්නේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන් 4ක් වේ නම් ඒවායේ නිවැරදි සංඛ්‍යාව රජය සතු විය යුතුයි.
කළින් කීවාක් මෙන්, පෙර මෙන් නොවේ; දැන් මිනිසුන්ගේ නම මඟින් සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියා සෑම විටම සෙවිය නොහැක.
පසු ගිය වසර 40 තුල රටේ ජනගහනයෙන් අති විශාල සංඛ්‍යාවක් තම නම් බරපතල ලෙස (ජාතිය සඟවන ලෙස) මාරු කර තිබිය යුතුය – දිනපතාම මේ පිලිබඳ පුවත් පත් වල මුදල් ගෙවූ දැන්වීම් පළවේ. මේ දැන්වීම්වල මෙවැනි නම් මාරු කිරීම් දක්නට ලැබේ.
පසුගිය වසර 40 තුල මේ සංඛ්‍යාව දහස් ගණනින් හෝ ලක්ෂ ගණනින් වුවා විය හැකියි?
ඉහත සඳහන් රත්නායක මුදියන්සේලාගේ මෙත්ථා ප්‍රියමාලී අප සිංහල කියා සිතුවාට ඇය ඇත්තටම සිංහල නොවන බව දන්නේ ඇය සහ ඇයගේ වටේ සිටින ඉතාම සීමිත දෙනෙක් පමණයි.
ඇත්ත හෙළි වූ දාට ඇය අපහසුතාවයට පත් වෙනවා, ඉතාම සමීපව නොවන ලෙස ඇය ඇසුරු කළවුනුත් අපහසුවට පත් වෙනවා; මෙය කණගාටුදායකයි.
නැවතත්, මෙවැනි ‘කේස්’ අප්‍රමාණ ගණනක් අද ලංකාවේ තිබෙන්න පුළුවන්.
අපගේ ගෙදර, එහි වට පිට, වැඩකරුවන්, අප ඇඳන් ඉන්න (වටිනා) ඇදුම් , ආභරණ, යාන වාහන ආදිය දිහා බලලා, දේපල වත්කම් වලින් කෙනෙකුගේ චරිතය මනින, මිනිසත් බව තක්සේරු කරන සමාජ ක්‍රමයක් අප හදා ගෙන තියෙනවා. මේ තත්ත්තවය වෙනස් කර ගන්න වෙනවා.
ලංකාවට කුඩු කන්ටේනර් පිටින් ගෙන්වූ කුඩු රජෙක් කුරුඳුවත්තේ මාළිගයක සිටියා. ඉන්න ගෙදර (මාළිගාව), ඔහුගේ යාන වාහන දිහා බලලා ඒ මිනිහට ‘වැන්ද’ මිනිස්සුත් ගොඩාක් හිටියා. මිනිහා වැලිකඩ හිරගෙදර හිඳ, කොරෝනා කාලයේදී එම රෝගය සැදී මරණයට පත් වුනා.
සැබෑ මිනීමරුවෝ දහ දෙනෙක් එල්ලුවත්, එක අහිංසකයෙක් හරි එල්ලුම්ගහට යවනවා නම්, ඒ නීති පද්ධතිය ගැන අපට නැවත සිතන්න වෙනවා. ඒ අහිංසකයා එල්ලුම් ගහට නොයැවීමට අප සටන් කල යුතුයි.
ලෝකය පුරා විවිධ නඩු තීන්දු කියවන විට හිතෙනවා, විශේෂයෙන්ම දියුණු යයි සම්මත රටවල, සමහර නඩු කාරයන්ට ඕල්මොරොන්දන්ද කියලා.
අප ඔවුන් දෙසු දහම් ඇදහුවත් නැතත්, බුදු රජාණන් වහන්සේ, ජේසු ක්‍රිස්තු තුමා, නබී නායකතුමා වැනි ලොව පහලවූ ශ්‍රේෂ්ඨතම ආගමික නායක චරිතවලට සහ එම ආගම්වල උගන්වන ඉගැනුම් වලට අප ගරු කල යුතුයි.
කිසිම ආගමක් අදහන්නේ නැති අය සිටිනවා; සමහර රටවල මේ අය ජනගහනයෙන් 30%ට කිට්ටු කරනවා. හොඳ විනයක්, හැදියාවක් වර්ධනය කර ගත්තොත් මේ අයටත් හොඳ, දැහැමි ජීවිත ගත කරන්න පුළුවන්.
ඔරලෝසුවේ වෙලාව හරියට පෙන්නන්න නම් හැම ඇණ මුරුච්චියක්ම හරියට තියෙන්න ඕනේ. බැටරියත් වීදුරුවත් ඒ වගේමයි. ජීවිතයත් ඒ වගේ. වැඩ කරන්නේ නැති ඔරලෝසුවෙන් ඇති පලය කීම?
අතීතයේ ‘මැරී මැරී’ ජීවත්වෙන්න එපා.
අතීතය අමතක කරන කෙනාට වර්තමානයක් සහ අනාගතයක් නැත.
යොවුන් විය ජීවිතයේ ඉතාම රසවත් කාලයක්, මේ කාලයේදී සතුට අත්විඳින්න, හැබැයි අනුන් ගැනත් හිතන්න ඕන.
අනාගතය ගැන ‘සිහින’ දකින්න, ඒ සිහින සාක්ෂාත් කර ගන්න බලන්න.
අප රණවිරුවන්ට කොතරම් ආදරේද, එත් සමහර හමුදාවෙන් අස් වූ රණවිරුවන් දැන් අපරාධ, මිනීමැරුම් වලට පවා පෙළඹිලා.
හැම යුධ භටයෙක්ම රණවිරුවකු වන්නේ නැහැ.
සිරිපාද වන්දනාව, මඩු පල්ලි වන්දනාව සැබැවින්ම වන්දනාවක් විය යුතුයි; මත්පැන් වන්දනාවක් නොවිය යුතුයි.
හරි සේවයක් කරලා හරි හම්බ කරන තැනට අවංක වෙන්න ඕන අපි සැම විටම.
සුභවාදී විවේචන අගය කරන්න.
අම්මා පතුරන එළිය ඉර හඳ පතුරන එලියට වැඩියි.
තාත්තා ගැන ලියැවුණු ගී මදි.
විදේශ වලදී විශේෂයෙන්ම විදේශ ගුවන් තොටුපොළවල් වලදී අප කොන් වෙන අවස්ථා තියෙනවා. අපේ රටට විදේශයන්හි තිබෙන ගරුත්වය අඩු වීමත් හේතුවක්, අපේ පාස්පෝට් එකට විදේශයන්හි විශේෂයෙන්ම ධනපති යුරෝපිය රටවල තියෙන සැලකීම මදි.
මේවා ඉදිරියේදී වෙනස් වෙයි; නියම ‘යහපත් පාලනයක්’ ආවොත්.
අධ්‍යාත්මයක් නැති ජීවිතය හිස් ටින් එකක් වගෙයි.
ජීවත්ව ඉන්දැද්දී මිතුරාව ආශ්‍රය නොකර ඔහු/ඇය මැරුණු පසු මළගමට ගොස් ගෞරව කරනවා. එතකොට ‘ටු ලේට්.’
අහන්නේ නැතුව අනුන්ගේ මල් ගසක මලක්වත් කැඩිම වැරදියි.
සැම විටම අපේ දේශය රැක ගන්න වැඩ කල යුතුයි. වරද දුටුවිට අපේ හොඳ ජාතික වීරවරු වගේ රට ජාතිය වෙනුවෙන් නැගී හිටින්න ඕනා.
අගතියට පත් තැනැත්තා නිශ්ශබ්දව සිටීම වැරදි කරන්නාට අවසර දීමක්.
අහුලපු දෙයක් තම කැමැත්තෙන් නැවත අයිතිකරුව සොයා ගොස් ලබාදීමට කටයුතු කිරීම සැබවින්ම සත් ක්‍රියාවකි.
ක්‍රිකට් ටීම් එකකට කැප්ටන්ලා දෙන්නෙක් පත් කරන්න පුළුවන්, නමුත් කැප්ටන්ලා එක්කෙනෙකුට විතරයි මැච් එක මෙහෙයවන්න පුළුවන්. වාහනයක ඩ්‍රයිවර් වැඩේත් ඒ වගේ. ඩ්‍රයිවර්ලා කීප දෙනක් ඉන්න පුළුවන් වාහනේට, ඒත්, සුක්කානම අතට අරං වාහනය එලවන්න පුළුවන් එක්කෙනාටයි. රටක් ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි (කෝකියෝ වැඩි උනහම සුප් එක නරක වෙනවා කියලත් කියනවනේ).
සමහර වෙලාවට කැප්ටන් ඉන්දැද්දී වයිස් කැප්ටන්, විකට් කීපර් වගේ අය කණ්ඩායම මෙහෙයවනවා. සමහර මැචුත් ඒ විදියට දිනනවා. නමුත්, ජයග්රාහි, ප්‍රබල, සාර්ථක කණ්ඩායමක් වෙන්න නම් පත් කරපු කැප්ටන් ඉදිරියෙන්ම හිඳ, බිය නැතිව කණ්ඩායම මෙහෙයවන්න ඕන.
විදේශ ආයෝජකයන්ට ‘එන්න එන්න …’ කියපු පලියට එන්නේ නැහැ; ඒ අය හොඳට හොයලා බලලා ශක්තිමත් ස්ථාවර, අවංක ආණ්ඩුවක් පමණක් නම් තමා එන්නේ.
දැන් සමුපකාර චන්දෙත් පරදින කොට විදේශ ආයෝජකයෝ එයිද?
විදේශ ආයෝජකයෝ එන්න ගත්තොත් නම් තොර තෝන්චියක්ක් නැතිව එනවා. එතකොට රටට හොඳයි. මෑත කාලයේ දී කොරියාව, ඩුබායි, මලයාසියාව දියුණු වුනේ එහෙමයි.
විදේශ ආයෝජන – joint ventures ලෙස හොඳයි. අපේ සම්පත් විදේශිකයන්ට සින්නකර විකිණීම – foreign acquisitions/takeovers වෙනස් දෙයක්. දෙකෙන්ම ඩොලර් ලැබෙන බව ඇත්ත.
නමුත් මේ ක්‍රියා ඉතා තීක්ෂණ බුද්ධියෙ මෙහෙයවීමෙන් කළ යුතු වැඩ.
උදා: ගෝල් ෆේස්හි අපේ යුධ හමුදා මූලස්ථාන භුමිය ෂැන්ග්‍රීලා හෝටලයට විකිණීම අනුමත කරන්න බැහැ.
ඉදිරියේදී, සෙවනගලට විදේශ ආයෝජකයෝ නම් එන්නේ හොඳයි.
ආණ්ඩුව ක්‍රමවත් නොවෙයි නම්, එය දුෂණ/අක්‍රමිකතා පැත්තට නැඹුරු වීමේ ඉඩ වැඩියි.
2025 ඔක්තෝම්බර් 10 වෙනි සිකුරාදා අත්‍යාවශ්‍ය කැබිනට් සංශෝධන සිදු වුවත් ඒ මදිය. සමහර වැඩ බැරි, කට වාචාල ඇමතිවරු තවම ඒ තැන්වල.
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වනජීවී, වාරිමාර්ග, අධ්‍යාපන, සෞඛ්‍ය – මේවා මුළුමනින්ම වෙනස් විය යුතුයි.
පරණ යාළුවෝ තමයි, හැබැයි දිගටම රකින්න ගියොත් වැටෙන්නේ මුළු රජයම බව එය කරන බලවතුන් සිහිතබා ගනු වටී.
අවංක, දක්ෂයෝ ඇති තරම් පසු පෙළේ ඇත. ක්‍රමයෙන් ඔවුන්ව උඩට ගෙන ආ යුතුයි.
නාමල් කරුණාරත්න, නලීන් හේවගේ, ප්‍රසන්න ගුණසේන කැබිනට් මට්ටමට උසස් කළ යුතුයි; දැන් කාළය හරි.
ලක්මාලි හේමචන්ද්‍ර නියෝජ්‍ය ඇමති පදවියකට සුදුසුයි.
සමුපකාර චන්ද පැරදීම හොඳ දෙයක් නොවේ; මේ හොඳ අනතුරු ඇඟවීම්.
මුදල් ඇමති කෙනෙක් සිටිනවා නම් ඇයි ආර්ථික සංවර්ධන ඇමති කෙනෙක්?
පරණ ආණ්ඩුවල වැරදීම කරනවා.
රට ස්ථාවර නම්, හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් (උද්ධමනය, රැකියා විරහිතභාවය අඩු), විදේශ ආයෝජකයෝ පමණක් නොවෙයි විදේශ සංචාරකයොත් වැඩියෙන් එන්න ගන්නවා.
අපි සැවොම ස්වභාව ධර්මයේ නිර්මාණයි. කිසි කෙනෙක් කැත නැහැ. අප සැමට අපටම ආවේනිකවූ ලක්ෂණයක්, දැකුම්කළු වූ භාවයක් ලබා දී ඇත.
බාධක මැදින් ගලන ගඟේලු ලස්සන පෙණ බුබුළු නැගෙන්නේ.
තමන්ට අවංකවම ආදරය කරන ඥාති මිත්‍රාදීන්, හිතමිතුරන් සමඟ සිදුවන අමනාමපකම් සදාකාලික නොවෙන බවට වග බලාගන්න. සදාකාලික වුනහොත් පාඩුව තමන්ටමයි සහ ඒ අයටමයි; එවැනි තැනකදී කිසිම කෙනෙක් ජයගෙන නැහැ.
බොහෝවිට ඔවුන් ඔබ වෙත නොඑන නිසා, හිත දැඩි කර, මිත්‍රත්වයේ හස්තය ඔබ ඔවුන් වෙත දිගු නොකලොත් සියලු දෙනාම පරාජිතයෝ; දිගු කලොත් සියලුදෙනාම ජයග්‍රාහකයෝ.
හැමෝම අතින් වැරදි සිදුවෙනවා. සමහර අයට සමාව දෙන්න අපට සිදු වෙනවා. නැත්නම් පුද්ගලයෙක්, සමාජයක් හැටියට අපට ඉදිරියට යන්න බැහැ.
සියළු ශාස්තෘන් වහන්සේලා දෙසු දහමකි එය.
ප්‍රශ්ණ තේරුම් නොගෙන, අවුල් කරගෙන අප විශාල වශයෙන් පිඩා විඳිනවා. වෙන අයට අප බනිනවා. අපත් ඒ ප්‍රශ්ණ ඇති කරන්න කොතරම් සම්මාදම් වුනාදැයි කියා සිතන්නේ නැහැ.
ජිවිතය බොහෝ විට කටුකයි, ඒ බව තේරුම් ගන්න ඕන. කටුක ජීවිතය සතුටු සාගරයක් කරගන්න පුළුවනුත් අපටමයි.
ජිවිතය යනු එක තැනකින් පටන් ගෙන කොතෙක් දුරක් යයිදයි කිසිවෙක් නොදන්නා ගමනකි. ඇතැමෙක් බොහෝ දුර යති, සමහරුන් කෙටි ගමනක් යති.
‘ඇත්ත’ විනාශ කිරීම තරම් අපරාධයක් මේ ලොව තවත් නැහැ.
ආත්මාර්ථකාමී වන්න එපා, සැම විටම පරාර්ථකාමී වන්න.
‘මහත්මා ගති’ යන වදනට කාන්තාවන්ද අයත් වෙනවා.
සාමාන්‍ය කෙනෙක් විශිෂ්ටයෙක් වෙන එක අමාරු වැඩක්. නමුත් විශිෂ්ටයෙක් සාමාන්‍ය කෙනෙක් වෙන එක ලේසි වැඩක්.
ඊයේට වඩා අද ටිකක් හොඳයි, අදට වඩා හෙට හොඳ විය යුතු ලෙසට අපේ වැඩ පිළිවෙලක් කර ගනිමු.
නව සමාජයේ හැමෝම ඉන්ටර් නෙට්, ඊමේල්, ෆේස්බූක්, ඉන්ස්ට්‍රග්‍රෑම් පාවිච්චි කරනවා – දියුණු වෙන සමාජයේ. ගමේ කාන්තිලටත් වළන් දැලි පිහාගෙන, පොල් අතු වහලවල්, පොල් අතු වැටවල් අස්සෙන් ඉදිරියට එන්න දවසක් ලැබේවිද? තව කොපමණ කලක් යාවිද?
අතේ සල්ලි තියෙයි නම් ඉඩමක් අරං දාන්න. කවදාවත් වරදින්නේ නැහැ. රු ලක්ෂ 120, 150 වාහන ගන්න යන්න එපා.
හොඳ පොඩි ජපන් වාහනයක් පුලුවන්නම් ගන්න ටොයෝටා, නිසාන්, මිට්සුබිෂි වගේ; වරදිනවා ඉතාම අඩුයි.
අළුත්ම කාර් එකක් අරගෙන ෂෝ රූම් එකෙන් එලියට එනකොටම එහි මිල රුපියල් ලක්ෂ 4 – 5 කින් විතර වටිනාකම බැහැලා.
කරුණාකර හැමවිටම කට ඇරිමට කලින් බුද්ධියට මුල්තැන දෙන්න.
කථා කරන්න ඉස්සර ‘මා මේ මොකක්ද කියන්නේ, කිව යුතු දෙයක්ද’කියා තමා ගෙන්ම අහගන්න.
පිරිමිත් කෑම උයන්න පුරුදු වෙන්න ඕන.
කට ඇති පුතෙක් සහ රුව ඇති දුවෙක් හදන්න කියන එක වෙනස් වෙන්න ඕන; කට ඇති පුතෙක් සහ කට ඇති දුවෙක් කියා.
තමන්ට එන සමාජ අසාධාරණයන්ට විරුද්ධව සටන් කරන්න හැම කෙනාටම හැකියාව තිබිය යුතුයි.
වචන වස විස වගෙයි.
දඩබ්බර ලෙස වචන පාවිච්ච්චි කරන්නා බ්ලේඩ් තලයක් ඇතැති වඳුරෙක් හා සමානයි.
පාරේ අඳුරු අගු පිල්වල, පාලම් යට, සාප්පු වල එලීපත්තේ රැට නිදා ගන්නා, පාරේ ජිවත්වන අහිංසකයන් ගැන අප වඩාත් සංවේදී/අනුකම්පා සහගත විය යුතුයි. මේ අයත් අපේ සමාජයේම කොටසක් නොවේද?
NPP මන්ත්‍රිලා, ඇමතිලා හුඟ දෙනෙක් යුරෝපීය ටයි කෝට් වලට බැහැලා. ඇත්තටම දැක්කහම හාස්‍යජනකයි.
අපි ඉන්නේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ නෙවෙයි ශ්‍රී ලංකාවේ දියවන්නා ඔයේ බව මේ ඇත්තන්ට අමතක වෙලා?
සැහැල්ලු කපු ඇඳුමක් වත් ඇඳන් ඉන්න බැරි තරමට කොළඹ රස්නෙයි; ඒත් මේ අය ටයි කෝට් පැළඳගෙන (අධිරාජ්‍යවාදයේ සංකේතය නේද?).
අද ජාතික ඇඳුම ඇඳගත් කෙනෙක් බේතකටවත් හොයා ගන්න අමාරුයි වගේ, විශේෂයෙන්ම කොළඹ.
මේ සංසිද්ධිය ඇති වුනේ 1956න් විතර පස්සේ, අපේ වටිනා ජාතික ඇඳුම දේශපාලනඥයන් විසින් ‘සොරකම් කලාට’ පස්සේ.
ඔවුන් එය ඔවුන්ට පමණක් සීමා කර ගත්තා.
ඒ අය උදේට ජාතික ඇඳුම ඇඳලා හවසට යුරෝපිය ඇඳුම් ඇඳපු අය – තමන්ටම වගේම රටටත් බොරු කරගත්තා.
මේ හොර දේශපාලනඥයෝ නිසා හොඳ මිනිස්සු ජාතික ඇඳුම ඇඳීම නැවැත්වුවා.
ඉස්සර ජාතික ඇඳුම ඇන්ඳ වැඩිහිටියන්ගෙන් මොන තරම් ප්‍රෞඩත්වයක්, ආඩම්බරකාරී පෙනුමක් විද්‍යාමාන වූනාද?
රට ජාතිය වෙනුවෙන් සහ සමාජයේ අකටයුතුකම් කරන්නන්ට දිය යුතු වන්නේ උසස් තැන් නොව ඔවුන්ව පිළිකුලෙන් හෙලා දැකීමයි.
අපේ රටේ ඉතිහාසය එක එක් කෙනාට ඕන විදියට වෙනස් කරන්න ඉඩ දීලා.
‘නොනවතින ඉතිහාසය’ වැනි නමකින් යුත් යු ටියුබ් වැඩසටහනක් මඟින් එක්තරා පුරාවිද්‍යා මහාචාර්ය වරයෙක් නොසෑහෙන්න අපේ ඉතිහාසය විකෘති කරනවා. ඔහු පාසැල් ඉතිහාසය පොත් සකසන මණ්ඩලයේත් ඉහල තනතුරක් දරනවා. භායනක තත්ත්වයක්.
ලොව පිළිගත් වෙබ් සයිට් වලට/ඉතිහාස පොත් වලට ගිහිල්ලා/කියවලා බලන්න, හරියට දුක හිතෙනවා අපේ ඉතිහාසය විකෘති කරලා සඳහන් කරලා තියෙන විදිය.
මේවා ගැන කථා කරන්න අය නැති එක සේරටමත් වඩා දුකක්.
අපේ දේශපාලනඥයන්/උසස් රාජ්‍ය නිලධාරින් මේවාට ඉඩ දීලා බලන් හිටියා/ඉන්නවා.
සුද්දගේ කාලේ ලියපු ඉතිහාස පොත් බලන්න, අපේ ඉතිහාසය හරියටම ලියා තියෙනවා.
මේ ‘ඉතිහාස බොරුව’ පටන් ගත්තේ රටේ ඒකීය භාවය කඩන්න ඕන කියන සංකල්පය හරියටම තීරණය උනාට පස්සේ; 1980 මුල වගේ.
‘බොහොම ස්තුතියි , සමාවෙන්න’ යන වචන හැමතිස්සෙම කියන්න අපේ අය පුරුදු නැහැ.
සිංහලෙන් හුරු නැත්නම් ඉංග්‍රීසි වචනවලින් හරි කියන්න.
නූගත් කම සියලු ප්‍රශ්න වලට මුලයි, උගත් කම යනු ඩිග්‍රී ගැහිම නොවේ.
ජිවිත විශ්වවිද්‍යාලයේ ඩිග්‍රිය හැමටම වඩා වටිනවා.
ඕපා දුප කථා කිරීම, අනුන් පහත් කොට කථා කිරීම, අනුන් ගැන බොරු හදා කීම, මුහුණට එකක් සහ නැති තැන ඊට ඉඳුරාම තව එකක් කීම, වෙලාවට වැඩ නොකිරීම, පාවා දීම; අනන්තයක් දිගවූ අපේ අයගේ නරක පුරුදු වලින් සමහරක් පමණයි.
මේ අය ‘අඹරලා ගුලි කරලා’ නැවත හැදුවත් හදන්න අමාරුයි.
බොන කෙනා සහ සුදු කෙළින කෙනා ගෙදරටත් ගමටත් දෙකටම කරදරයක්. හැමෝම පිළිකුල් කරනවා.
සිගරට් බීම දිනකට එකක්වත් නොකරන්න.
මත් වතුර පාවිච්චි කරන අයගේ මතක ශක්තිය හීන වෙනවා සහ විනාශ වෙන සෛල නැවත කිසිම දිනක වර්ධනය නොවේ. කිසිම දිනක මත් පැන් බොන්න එපා.
සැමියාගේ බීමත්කම නිසා බොහෝ ගෙවල්වල ප්‍රශ්න, අඩ දබර ඇතිවෙනවා.
බීමත් සැමියන් නිසා දුක්ගැහැට විඳින කාන්තාවන් කොපමණ නම් සිටිනවාද?
බිරිඳ බලන්න ඕන බොන සැමියාව විවේචනය කරනවාට වඩා ඔහුව ඒ ව්‍යසනයෙන් බේරා ගන්න.
සැමියාගේ බේබදු කමට තමනුත් හේතුවක්ද කියා සිතා බලා ඒ අනුව හැඩ ගැසිය යුතුයි.
කොච්චර විරුද්ධ අදහස් අනෙකා පල කලත් ඉවසීමෙන් පිළිතුරු දෙන්න.
අපේ දේශපාලනඥයන් සහභාගී වන බොහෝ රුපවාහිනි වැඩසටහන් වල නම් මේ තත්ත්වය (ඉවසීම) නැහැ – හරියට පිටකොටුවේ තිබිච්ච මාළු මාර්කට් එක වගේ ගෝෂාව.
හැමෝම පිස්සෝ/(පිස්සියෝ) වගේ කෑ ගහනවා, කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ.
තැනකදී, අනෙකා ප්රකෝපකාරී වී සන්ඩුවට එන්න බලයි නම් මඟ හරින්න.
ඔබේ ආරක්ෂාව නොරැකේ යයි ඔබට සිතේ නම්, ඔබට ශාරීරක හානියක් සිදුවීමට ඉඩ ඇතැයි සිතෙන්නේ නම්, නොපමාව 119 නොම්මරය අමතා ආරක්ෂාව ඉල්ලන්න.
මිතුරන් ඇති තැනක ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධාන කාරණයක් තමයි ඊර්ෂ්‍යාව.
උපන් රටට, ගමට සමාජයට වැඩදායි මනුෂ්‍යයෙක් වෙනවා නම්, ගරුත්වය ඒ කෙනාව සොයාගෙන ඒවි.
‘හිතෙනවාට වැඩිය සොඳුරු ලෝකෙක අපි ජීවත්වන්නේ’ කියන සින්දුව ඇත්තයි කියා සිතන්න.
‘හොරි කහපන්, ගිනි පිඹපන්’, කොටියා විසින් නරියාට කියූ මේ කියමනෙන් පිළිබිඹු කරන්න හදන්නේ අප අතර සමාජයේ ඇති අසාධාරණත්වය?
ඕනෑම කෙනෙක් එකම මෝඩකම දෙවරක් කරනවා නම් එයාට තියෙන්නේ ‘මීහරක් මොලයක්’ කියලා කියනවා.
තමන්ගේ අම්මාට සැබවින්ම ආදරය කරන පිරිමියෙක් ගැහැණුන්ට අපහාස කරන්නේ නැහැ.
යු ටියුබයෙන් බන කියන එක් ස්වාමීන්වහන්සේ කෙනෙක් පුදුමාකාර ලෙස කාන්තාවන්ට අපහාස කරනවා.
අද කාලේ සමහරක් ගැහැනුන්ට, පිරිමින්ට ‘අත්තන ඇට’ කැවිලද කියලා හිතෙනවා, කරන ‘අමන’ වැඩ වලට.
කාන්තාවන් අඩුම තරමින් අප සමාජයේ 50% ක්. ඒ අයට, කාන්තාවක් වීම නිසා යම් අසාධාරණයක් වෙනවා නම් ඒක තදබල අසාධාරනයක්.
කාන්තා අයිතින්ට විරුද්ධ පිරිමියෙක් හිතන්න ඕන, ‘මම කාන්තාවක් වෙලා ඉපදුනා නම්’ මමත් කාන්තාවක් හැටියට ඒ අසාධාරනයට විරුද්ධව සටන් කරනවා නේද කියලා.
පින්ඩ පාතේ වදින හාමුදුරුවන්ට ආහාර පිළිගන්වනවා වෙනුවට සල්ලි පරිත්‍යාග කිරීම දැන් බහුලව කෙරෙනවා. මෙය හොඳ දෙයක් නොවේ,. විශේෂයෙන්ම පොඩි හාමුදුරුවරුන්ට. පව්, ඒ අයත් බලනවා මොණර කොලයක් වැටෙයිද කියලා, කෙහෙල් කොලේ ඔතලා පිරිසිඳුවට හදපු කැකුළු හාලේ බත සහ බෝංචි ව්‍යංජනයට වඩා.
චන්ද කාලේ දෙන බොරු පොරොන්දුවලට හැමදාම රැවටෙන අපි අපිටම බුවල්ලෙන් තලාගත්තොත් නරකද?
2024දිත් අප රැවටුනාද? තව ඉවසලා බලමු.
‘රෑට හෝටලයට අලි ආවා’කියලා සුද්දන්ට පේන්න පාන්දර මහා කැලේ අලි බෙටි එකතු කරගෙන ඇවිත් හෝටලේ අවට දාන්න කියලා තම සේවකයන්ව කැලේ මැදට යවන හෝටල කළමනාකාර මහත්තයෙක් හබරණ පැත්තේ සිටිනවා. මෙයා කාවද ඇත්තටම රවටන්නේ, තමන්වම නොවේද? නැත්නම්, මෙයා පාලනාධිකාරියේ අණ ක්‍රියාත්මක කරනවාද?
යාලේ, සුද්දන්ට කිඹුල්ලුයි කියලා කබරගොයි පෙන්නනවා; බුන්දල, ඈත ඉඳන්, අලි කියලා කුළු මීමෝ පෙන්නනවා.
ලෝකයේ නවක වදය තිබෙන එකම රට ලංකාවද?
නවකයන් ජ්‍යෙෂ්ටයන් අතින් විවිධ වධ හිංසා වලට ලක් කිරීම (කායිකව සහ මානසිකව), නිසා බියවන්නේ අහිංසක, නවක සරසවි සිසුන් පමණක් නොවේ; ඒ අයගේ දෙමව්පියන් ද සහෝදර සහෝදරියන් සහ අනෙක් හිතෛශී අයද වේ.
නවක වදය සම්පූර්ණයෙන් තහනම් කල යුතුයි. නවක සිසුන්ව ජෙෂ්ටයන් විසින් සුහදත්වයෙන් පිළිගන්නා උත්සව සංවිධානය කල යුතුයි. මේවාට පාලනාධිකාරියෙන් උපරිම සහාය ලබාදිය යුතුයි.
‘නවක දිනය’ක් ක්‍රියාත්මක කර, විශ්ව විද්‍යාලය තුල විවිධ හඳුන්වා දීමේ වැඩසටහන්, නවකයන්ට, ඔවුන් සමඟ එන පවුලේ අයට ආහාර පාන/තේ පැන් ආදියෙන් සංග්‍රහ කරන, උදවු උපකාර කරන, අවශ්‍ය අයට සහන සලසන, ව්‍යාපෘති එදින ක්‍රියාත්මක විය යුතුයි.
නවක වදය නොහොත් රැග් එක නිසා විවිධ පැති වල ඉදන් ළමයි දහස් ගණනකට සමානාත්මතාවයෙන් ඉගෙනගන්න, බෙදා-හදා ගන්න පුළුවන් වාතාවරණයක් හැදෙනවා කියන එක පිළිගන්න අමාරුයි. විශ්ව විද්‍යාලයන්හි අවසන් වසරන්හි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගේ ක්‍රියා කලාපය දෙස බැලුවහම පේනවා පන්ති පරතරය, ඇති නැති, දුප්පත්/පොහොසත් භේධ නවක වදයට සුව කරන්න බැරි බව.
අනුන්ට වද දෙන අය කසාද බැන්ඳහම තම සහකරු/සහකාරියටත් වදදෙනවා. දරුවන්ටත් වද දෙනවා.
සමහරුන්ගේ ඇඟේම තියෙන්නේ කාටහරි වද දෙන මානසිකත්වයක්. මේ අය සමාජයටද මහත් වූ වදයක්.
කොරහේ කිඹුල්ලෝ පෙන්නන අය ඕන තරම් ඔය කොළඹ කොටුව, පිටකොටුව පැත්තේ ඉන්නවා.
වාහන අනවශ්‍ය විදියට පාරේ නලා ශබ්ධ කිරීම නවත්වමු, මේ වැරදි වැඩේ වැඩියෙන්ම කරන්නේ ලොකු බස් රියදුරෝ. ‘ඕන් ද ස්පොට්’ ෆයින් ගහන්න ඕන; ‘රිපීට් ඔෆෙන්ඩර්ස්ලාගේ’ ලයිසන් තහනම් කරන්න ඕන.
ඉස්සර පොලේ ගිහින් බණ්ඩක්කා කරලේ අගින් කඩ කඩා, අමු මිරිස්,බෝංචි එහෙම නම් එකින් එක තෝර ගත්තේ. දැන්නම් තියෙන ඕන දෙයක් මල්ලේ දාගෙන ආපසු ගෙදර දුවනවා. ඕනාවට වඩා හොයන්න ගියොත් මුදලාලිගෙන් හොඳ දොස් මුරයක්.
එළවළු කඩෙන් කැරට් කිලෝ එකක් ඉල්ලලා, පස්සේ කිරන්න ඉස්සර, ඒ කැරට් අලවල උඩ නැට්ට කැඩුවා කියලා මුදලාලි ගැනුම්කාරියකට බැන්නා. මිනිහට තරහා ගියේ කාටවත් වැඩක් නැති කැරට් නැට්ට ඇය කැඩුව හින්දා නොවේ; මිනිහාගේ කැරට් කිලෝ එකේ බර අඩු වුන හින්දා.
වැල යන අතට මැස්ස ගහන අය වැඩියි; ඕන නැහැ, වැල අපිට ඕන පැත්තට යවලා මැස්ස ගහන්නයි ඕන.
ඕනෑම කෙනෙක්ගේ හදවතේ ලොක් එක අරින්න පුළුවන් යතුර තමයි අව්‍යාජ සිනහව.
සමහරක් අයගේ මනස යුරෝපයේ, ශරීරය විතරයි ලංකාවේ. ඒ අයට අපේ සංස්කෘතිය/සභ්‍යත්වය ගැන කිසි තැකීමක් නැහැ. මාස තුන හතරකට වරක්වත් යුරෝපයට දුවලා ගිහින් නාවොත් ඒ අයට පිස්සු හැදිලා වගෙයි.
වැරදිකාරයෝ නිදහස්වෙලා, නිවැරදිකාරයෝ මිල මුදල් නැති නිසා සිරගෙවල් වල දුක් විඳිනවා අනන්තවත්. මේක ලෝකේ ‘දියුණු’ රටවලත් වෙනවා, හැබැයි සාපේක්ෂව අඩුයි.
ඇමරිකාවේ ඉඳන් එන කොට හොඳ කමිසයක් අරං එන්න කියලා මිතුරෙක්ගෙන් බේරෙන්න බැහැ. අන්තිමට සැන් ෆ්රෑන්සිස්කෝ වල ‘ට්රූ’ සාප්පු මන්දීරයට ගිහින් ඩොලර් 60ට හොඳ තත්ත්වයේ ෂර්ට් එකක් අරං, ගෙනත් ලස්සනට ඔතලා දුන්නා. මෑන්ගේ මුහුණ පුළුටු වෙලා, බැලුවහම ෂර්ට් එකේ ලේබල් එකේ ගහලා තියෙන්නේ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ කියලා.
ඕස්ත්‍රේලියාව හැම බඩුවක්ම වගේ එන්නේ ආසියාවෙන්. ඒ ගොල්ලන්ගේ මෝටර් රථ නිපදවීමේ කර්මාන්තය සම්පුර්ණයෙන්ම වැසි ගියා.
දැන් හෝල්ඩන් කියන වාහනය නැහැ.
ඕස්ත්‍රේලියාව සල්ලි (විදේශ විනිමය) හම්බු කරන්නේ පොලොව යට තියෙන යපස්, නිකල්, යුරේනියම් වැනි ඛනිජ, අධ්‍යාපන සේවා, සහ කෘෂිකර්මික භාණ්ඩ විකුනලා. හොර, දුෂණ අඩු වීම, වැසියන් මහන්සිවී වැඩ කිරීම නිසා ඒ රට දියුණු වෙනවා.
වැරදිකරුවන්ට අච්චු කරනවා. ලංකාව වගේ නොවෙයි, හිරේට ගිය ප්‍රාන්ත දේශපාලනඥයෝ කොතෙකුත් ඉන්නවා.
හොරකම් කරපු දේශපාලනඥයෙක් අත් අඩංගුවට ගෙන ටික කලක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටීම හිරේ යාමක් නොවෙයි.
අපිට සංදර්ශන පෙන්වීමක්ද?
තමන්ගේ හොරකම් අහුවුණාම ‘කෝ මං විතරද අරයත් කළා’ කියලා කියන රටක් අපේ ශ්‍රී ලංකාව. අහුවුණ කෙනාට දඬුවම් දියයුතුයි. අනෙක් හොරුත් අල්ලා ගත යුතුයි.
වංචාකළ මුදල් නැවත අයකර ගත යුතුයි. හොරකම් කල දේපල රාජ සන්තක කල යුතුයි. ඒකත් දඬුවමක්.
ඊයේ පෙරේදා එක්කෙනෙක් දෙන්නෙක් සිරේ ගිය බව ඇත්ත, එත් පොදුවේ, හොරකම් කරපු දේශපාලනඥයන් හිරේ නොයන එකම රට ලංකාව නේද?
ඔක්කොම යාළුවො මල්ලි.
රජය බලවත් ලෙස අප්‍රසාදයට පත් වෙන කොට ආයිත් එක්කෙනෙක්, දෙන්නෙක් අල්ලලා හිරේ යවන්න බලයි.
මේගොල්ල ඔක්කොම කථා වෙලා කරන වැඩ, අපේ මෝඩ ජනතාවට තේරෙන්නේ නැහැ.
පිරිසිඳු, පෝෂ්‍යදායි, අගයෙන් සහ ගුණාත්මයෙන් ඉහල කෑම වර්ග නිපදවන රටවල් අතරින් ඕස්ත්‍රේලියාවට, නව සීලන්තයට ලොව ඉහලම තැන් හිමි වෙනවා. නුදුරු අනාගතයේදී මුළු ආසියාවටම ආහාර සපයන්නා බවට මේ රටවල් දෙක පත් වෙනවා නොඅනුමානයි.
ලංකාවට සංචාරකයෝ එන විදියට තව අවුරුදු 10කින් 15කින් කොළඹ කොටුව, කොල්ලුපිටිය පැත්තේ පාරවල ශ්‍රී ලාංකිකයනට වැඩිය සංචාරකයෝ ඉන්නවා. මෙය හොඳ දෙයක්.
නමුත් බැංකොක් වැනි ලිංගිකත්වයට මුල් තැන දෙන සංචාරක කර්මාන්තයක් අපට අවශ්‍ය නැහැ. කැසිනෝ, ඒ ආශ්‍රීත සමයං කර්මාන්ත අපට අවශ්‍ය නැහැ.
ස්වභාවධර්මයා බලාපොරොත්තු වෙනවා මිනිසා තම වර්ගයා බෝකරයි කියා- නැත්නම් ශිෂ්ටාචාරය පවත්වාගෙන යන්න බැහැ. ස්වභාවධර්මය අනුව නම් මිනිසා සතු මුළිකම කර්තව්‍යය දරුවන් බිහි කිරීමයි. යුවලක් විසින් අඩුම තරමින් දරුවන් 2ක් බිහි කල යුතුයි කියලයි කියන්නේ.
ශිෂ්ටාචාරය පවත්වාගෙන යාම සඳහා ඔබගේ වගකීම ඉටු කරන්න, බැරි උනත් කමක් නැහැ.
පොඩි පොඩි විරසකට මිනිස්සු අහක දාන්න ගියොත් අපට මේ ලොව ජිවත් වෙන්න බැරි වෙනවා. .
කසාද බැන්ඳ පළියට හැමෝම හොඳ භාර්යාවෝ හෝ හොඳ ස්වාමි පුරුෂයෝ නොවෙයි.
පොල්ගස සහ මිනිසා අතර සමානකම් – පොල්ගසක ආයු කාලය මිනිසාගේ ආයු කාලයට සමානය. මිනිස් කළලයක් වර්ධනය වී දරු උපතක් ලැබීමට යන කාලය සහ පොල් මල පරාගනය වී ගෙඩිය වේළී වැටීමට ගතවන කාලය සමානය. කප්රුක නම් වූ පොල් ගසින් ගන්නා ප්‍රයෝජන කියා නිම කල නොහැක.
දඹදිව වන්දනාව නිමවා සාප්පු සවාරි යද්දි වන්දනාකරුවන් රවටන ඉන්දීය වෙළෙන්දෝ අනන්තවත් ඉන්නවා. මේ අයව වන්දනාවේ ගෙන යන කණ්ඩායම් විසින් අවශ්‍යවූ ආරක්ෂාව ලබා නොදෙන අවස්ථා බොහෝය. වයසක උපාසක අම්මලා ඉන්දීය රුපියල් සියයේ කොළය යැයි සිතා ඩොලර් සියයේ කොළය කූට වෙළෙඳුන්ට දුන් අවස්ථා තියෙනවා.
සමහරු කියනවා වලව්කාරයෝ කියන්නේ ඉස්සර අහිංසක මිනිස්සු හුරාගෙන කාලා ජීවත්වුනු තන්හාකාරයෝ පිරිසක් ලෙසයි. සමහරු කියනවා විදේශ අධිරාජ්‍යවාදීන්ගේ (පෘතුගිසි, ලන්දේසි, ඉංග්‍රීසි) කකුල් ලෙව කාලා, ඉඩ කඩම් ලියවා ගත්ත අය කියලා. මේ ගැන පොදු වූ ප්‍රකාශයක් කිරීම අපහසුයි.
ළමා අපචාර වලින් විනාශ වන්නේ රටේ අනාගතයයි.
ගොඩාක් නිලියෝ, රුමතියන් ඔය ලස්සනට පෙනෙන්නේ හම සුදු නිසාත්, හමට යොදන මේක් අප් නිසාත්. මේක් අප් ගැලවුවහම ඇති අමුතු ලස්සනක් නැහැ අනෙක් අය වගේමයි.
මේක් අප්, හෙයා ස්ටයිල්, අඩි උස සපත්තු, වෙනත් හම/ නිය පාට කිරීම්, ලක්ෂණ කොන්ඩා මෝස්තර (විකාර ඒවා නොවේ), ලක්ෂණ ඇඳුම් වලින් සමහර අය අමුතු ආත්ම ශක්තියක් ලබා ගන්නවා. එවන් කාන්තාවෝ බොහෝ විට සිතනවා ඒ මඟින් තමන්ට අනුන් අභිබවා ජය ගන්න හැකියි, උසස් තැන් හිමි කරගත හැකියි කියා.
මෙවැනි දේ කරන්න කියනවා නොවේ, නමුත්, කරන අය සිමා/මායීම් දැනගන කරනවානම් කමක් නැහැ.
ෆේෂල් කරන්න රූපලාවන්‍යාගාර වලට දෙන සල්ලි වලින් හොඳට පෝෂ්‍යදායි දේවල් කෑවා නම් ඊට වඩා ප්‍රතිඵල තියෙන්න පුළුවන්. නැණවතා ෆේෂල් එක තමන් විසින්ම කර ගන්නවා. එයින් කාලය සහ මුදල් ඉතුරු කරගන්නවා.
දවසින් දෙකෙන් සුදු වුණ කට්ටියට මොකද වෙන්නේ කියලා පේන්නේ තව අවුරුදු ගානක් ගියාමයි. ඔය තායිවානය වගේ රටවල තහනම් කරපු රසදිය අඩංගු ආලේපන අපේ අය කුණුකොල්ලෙට අරගෙන මෙහෙ ගෙනල්ලා ලස්සන ලේබල් ගහලා රු. 10,000 ට වගේ විකුණනවා.
මොලේ අමාරුව හොදටම තද වුනොත් අංගොඩ නවත්වන්න වෙනවා, වැඩියෙන්ම ඒ කෙනාගේ හොඳට.
පුහු අහංකාරය, හිස් බව,කැපී පෙනීමට තිබෙන නොනිමි ආසාව,වැනි දේ බොහෝ දෙනා තුල තියෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ ඒ අයගේ අපරිනිත භාවයයි. සමහර උගතුන් කියාගන්නා අයත් මේ නරක ගතිගුණ පෙන්වනවා; ඒ නිසා විවිධ කෝලම් නටනවා.
කෙනෙක් මැරුනොත් මැරුණාමයි, ආයි එන්නේ නෑ.
මළගෙදරක යනකම් ඉන්න ඕන නැහැ ජීවිතයේ අනිත්‍යබව වටහා ගන්න.
පිටරට හිටියා කියලා ලංකාවට ආදරේ නැහැ කියා බොරු මතයක් ගොඩ නගන අය සිටිනවා. පිටරටවල අපේ අය ඉන්නවා ලංකාවේ ඉන්න අයට වඩා ලංකාවට ආදරේයි.
තව කාලයක් යනකොට අපේ සිංහලත්වය නැතිවෙලා යාවි කියලා හිතෙනවා; සිංහලයන් සීග්‍රයෙන් ක්ෂය වෙන ජාතියක් බව පේනවා.
ලෝකයේ හොඳම මිනිස්සු ශ්‍රී ලංකාවාසින්. එය මුළු ලොවම දන්නා, පිළිගන්නා දෙයක්.
විදෙස් සංචාරකයෝ වැල නොකැඩී මෙහි ඇදී එන්නේ ඒ නිසායි.
අප විදෙස් සංචාකරයන්ට පෙන්වන ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය, ආගන්තුක සත්කාරය අප අපටම නොපෙන්වා ගැනීමයි ඉතාමත්ම කණගාටුවට කරුණ.
අපි සුළු දේටත් ගහ මරා ගන්නවා, හැබැයි විදේශිකයන්ට පුදුම ඇල්මක් දක්වන්නේ.
පරංගි, ලංදේසි, බ්‍රිතාන්‍යයන් ඔය තරම් ලෙහෙසියෙන් මේ රට අල්ලා ගත්තේ ඒ නිසා වෙන්නැති – අපේ තියෙන ආගන්තුක සත්කාරය සහ විදේශිකයන්ව, විශේෂයෙන්ම සුදු ජාතිකයන්ව, තරයේ විශ්වාස කිරීම.
අපේ සුළු සුළු වැරදි තියෙනවා, හදා ගන්න ඕන.
ලෝකයේ රට රටවල ඇවිදන කොට ඒ ජන කොටස ගැන තේරුම් ගන්න පුළුවන්. රටින් රටට මිනිස්සුන්ගේ සිරිත්, විරිත්, චාරිත්‍ර, රීති පුදුම විදියට වෙනස්.
අපේ හිත හොඳ වැඩිකම, අහිංසකත්වය, උපරිම ආගන්තුක සත්කාරය නිසා අපි නිරතුරුවම අමාරුවේ වැටෙනවා. මෙය ඓතිහාසිකව අපට වෙන දෙයක්; අදත් සිද්ධ වෙනවා.
පතුළටම ගිහිල්ලා විශ්ලේෂණය කරලා බැලුවහම තේරෙනවා බොහෝ තුන්වෙන ලෝකයේ රටවල මිනිස්සු අහිංසක, අව්‍යාජ, කුහකත්වයෙන් අඩු වූ මිනිස්සු ; දියුණු රටවල මිනිස්සු එක්ක සංසන්ධනය කර බැලීමේදී. කපටි නැහැ. අමාරුවේ වැටුන විටදී අප තව කෙනෙකුට උදවු කරනවා, සමහරවිට ජිවිත පවා පුජා කර.
පිටරට යනවා කියන්නේ මහා ලොකු දෙයක් බව පෙන්වලා අන් අයට පුරාජේරු පෙන්වන යුගයක් තිබුනා, දැන් ඉවරයි.
කොළඹ අමු මිරිස් කිලෝ එක රුපියල් 1,500ට ගිය දවස් තිබුනා. ඉඩකඩ තියෙන හැටියට මිරිස් ගහක්, ගොටුකොළ පඳුරක්, කංකුං/ මුකුණුවැන්න ටිකක්, කරපිංචා ගහක්, දෙහි ගහක් හැම ගෙදරකම, අඩුම තරමින් මල් පෝච්චියක හරි, හිටවගන්න ඕන.
මිරිස් ගස් දහයක් පහළොවක් කුස්සිය පැත්තේ අගුපිලේ මල්පෝච්චි කිහිපයක වවා ගත්ත නම් තමන්ට කන්න පමණක් නොවෙයි පොලේ අම්මාට දීලා/විකුනලා කියක් හරි හොයා ගන්නත් පුළුවන්.
එළවළු මිල ඉහළ පහළ යන්නේ අතරමැදි සූරාකෑම් සහ කාලගුණ හේතු වලට.
උගත් කාන්තාවක් තම මිත්තණිය මිය ගිය මොහොතේ මළගෙදර කටයුතු සදහා වෙහෙසෙනු වෙනුවට තම ඇදුම් පැළදුම් සහ ආභරණ තෝරන්න බොහෝ මහන්සි වුනා.
ෆාමසි 10ක් අය්ති ලක්ෂණ කාන්තාවක් මුහුණේ පිළිකාවක් සෑදී අන්තිම, අපමණ දුක් විඳ මැරුණි. මැරෙන කොට මුහුණ කොපමණ අවලස්සනද කිවොත් ඇගේ රට ඉඳන් ආපු දරුවෙක් ඉල්ලීමක් කළා මිනි පෙට්ටිටයට සීල් තියන්න කියා. එම්බාම් වැඩපොලෙන් ආපහු මිනිය ගෙනිහින් හොඳට හදපු නිසා එහෙම කරන්න උවමනා උනේ නැහැ.
1970 මුල කාලේ, බුලර්ස් පාරේ ඉඳලා බම්බලපිටියට 104 බස් එකේ බාග ටිකට් එක ශත 10යි, අම්මට සත 15 යි. බම්බලපිටියේ ඉඳන් කොල්ලුපිටියට බාගේ ටිකට් එක ශත 8යි. අද රුපියල් 30 ක් සහ 35ක් වත් ඇති.
පිටකොටුවෙන් පටන් ගත්තු ට්රෑම් කාර් එක නැවතුනේ බොරැල්ල හන්දියේන්. එතන ෆාමසියට ‘ටර්මිනස් ෆාමසි’ යන නම ආවේ එහෙමයි.
1963දී විතර සිරිමාගේ ආණ්ඩුව, මෝඩ ලෙස, ට්රෑම් කාර් නතර කළා; ට්රෑම් කාර් වැඩ වර්ජනයෙන් පසු.
යට වෙච්ච ට්රෑම් රේල් පිලී සමහර තැන්වල තාම කලාතුරකින් උඩට මතු වෙනවා. වැසුණු පිටකොටුවේ මැනින් මාර්කට් එක එපිට පාරේ, පිටකොටුවේ බෝධිය ළඟ එහෙම නම් ඒවා හොඳට පෑදීලා තිබුනා.
ට්රෑම් කීවාට ඒවා ඇත්තටම ට්‍රොලි බස් – තට්ටු දෙකේ. කරන්ට් එකෙන් දිව්වේ.
ලංකාවේ රික්ෂෝ තහනම ආවේත් මේ කාලේමයි – සිරිමාවෝගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින්.
බංග්ලාදේශයේ ඩැකා නගරයේ, ඉන්දියාවේ කල්කටාවේ අදත් රික්ෂෝ ඉතා හොඳ මගී ප්‍රවාහන සේවයක් පවත්වා ගෙන යනවා.
ශ්‍රී ලංකා දේශය බිහි වූයේ බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් සමග (මෙයට වසර 2500 කට පමණ පෙර), උතුරු ඉන්දියාවේ සිංහපුර, වංග දේශයේ, ලාට රටේ (අද උතුරු බෙංගාලයේ) සිටි විජය කුමරුගේ ශ්‍රී ලංකාවට (තම්බපන්නිය – පහළ මන්නාරම), වූ ආගමනයත් සමගිනි. ‘සිංහළයේ’ ප්රාරම්භකයා, විජය, ඉන්දියානුවෙකි (බෙංගාලියෙකි).
මහාවංශයට අනුව විජය කුමරුගේ පියා, සිංහබාහුයි. සිංහබාහුගේ පියා සිංහයෙක් – ඔහුගේ අත්, නිය, පා, සිංහයෙකුගේ මෙන් වැඩි තිබුනාලු. සිංහබාහුගේ මව, කාලිංග දේශයේ කුමාරිකාවක්.
විජයාගමනය මේ රටේ නව ශ්‍රේෂ්ට ශිෂ්ටාචාරයක ආරම්භයයි. ඉන් රාජධානි තුනකට පමණට පසු දෙවන පෑ තිස් රජ සමයේ සිදුවූ මහින්දාගමනයෙන් අපට ශක්තිමත්, තදබල අත්තිවාරමක් වැටුනා. එදා මුළු රටම බෞද්ධ වුනා.
අපේ අද සිංහල සමාජය ක්‍රමය ගොඩ නැංවී තිබෙන්නේ ඒ ශක්තිමත් වූ අත්තිවාරම මතයි.
මේ රටේ මෙහෙණි සස්න ඇරඹු සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වැඩම කල දඹකොළ පටුන අද යාපනයයි. ඒ උත්තමිය වැඩම කරපු ස්ථානයේ චෛත්‍යක් තියෙනවා, ගිහිල්ලා බලන්න.
ඒ උත්තමිය සිය පිරිවර සමඟ මල්වතු ඔය දිගේ යාපනයේ සිට, මන්නාරම ඔස්සේ අනුරාධපුරයට වැඩී සේක.
මහාවංශය සහ වෙනත් අටුවා පොත් අනුව සිංහලයන් බුදු බුදුරජානන් වහන්සේට ඥාති සම්බන්ධතාවක් ඇත. ලංකාවේ දෙවන රජ වූ පඬුවස්දේව (ඔහුට විජය කුමරු තම මාමණ්ඩිය විය) විවාහ වුයේ බුදු රජාණන් වහන්සේගේ සමීපතම ලේ ඥාතියෙක් වූ බද්ධ කච්චානා (කපිලාවාස්තුහි, ශාක්‍ය වංශයේ) කුමරිය සමඟයි.
විජයාගමනයට පෙර යක්ෂ, නාග, දේව ගෝත්‍රික වාසින් ලංකාවේ ජිවත්වුනා. මේ ‘හෙළ’ වාසින්, විජයගේ ‘සිංහ’ පරපුර සමඟ මුසු වීමෙන් ‘සිංහළ’ ජාතියේ ප්‍රාරම්භය ඇති වුනා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් වන්නේ ඉතා පටු මුහුදු තිරයකිනිනි. තමිල්නාඩුවේ ඇතැම් ඊලාම් වාදී ප්‍රතිපත්ති හා කටයුතු හැරුණු කොට, අප දෙරට අතර ඇත්තේ වසර දහස් ගණනක් දිව යන සහෝදරාත්මක සම්බන්ධතාවයකි, බැම්මකි.
ඉන්දියාව ශ්‍රී ලංකාවට කෙතරම් කිට්ටුව පිහිටියත් (උතුරු) ඉන්දියාව කිසිදාක ශ්‍රී ලංකාව යුධමය වශයෙන් ආක්‍රමණය කර නොමැත.
මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ පැත්තෙන් අනගාරික ධර්මපාල, සිරිමාවෝ බණ්ඩාරනායක, සනත් ජයසුරිය, ජැකී ෆර්නැන්ඩස්, යොහානි ද සිල්වා ආදීන් දෙරට අතර සම්බන්ධතාව දැඩි ලෙස ශක්තිමත් කිරීමට කටයුතු කල අය වශයෙන් නම් කළ හැකයි.
විහාරමාහා දේවිය අප රටේ බිහිවූ ශ්‍රේෂ්ටතම කාන්තා රත්නය විය හැක.
කාවන්තිස්ස රජතුමාට යවන්න ගැමුණු කුමරාට ස්ත්‍රී ඇඳුම් ලබා දුන්නේ විහාරමාහා දේවියයි.
අපේ මිත්රශීලිභාවය, ඉහලම ආගන්තුක සත්කාරය, අහිංසකත්වය සමහරු දුර්වල කමක් හැටියට සලකත්, එයින් අයුතු ප්‍රයෝජන ගැනීමට බලත්. අපේ මේ උසස් ගුණාංග මෝඩකම් සේ දකිත්. නමූත්, ඒ අපට ආවේනික වූ අපගේ මනුෂත්වයයි, ශ්‍රේෂ්ඨත්වයයි.
ශ්‍රේෂ්ඨ නොවූවන් අපට බොරු කරනවා, රවටනවා.
1505දි පෘතුගීසින් නැව් 9ක් පමණක් ඇවිත් ක්‍රම ක්‍රමයෙන් අප රට අල්ලාගැනීම, 1815දි සුද්දෝ අපට බොරු කියා මුළු රටම අල්ලා ගැනීම අපේ හොඳ හිත නිසා සිදුවූ අයහපත් ප්‍රථිපල (යම් තරමකින් අපේ මෝඩ කමත් විය හැකයි – අනුන් විශ්වාස කිරීම). නමුත්, ඒවා සිද්ධ වුනේ ඔවුන්ගේ දුෂ්ට, කුහක කමයි, බොරු කීම නිසායි.
චැනල් 4 ආයතනයෙන් ශ්‍රී ලංකාවට යුධ අපරාධ චෝදනා නගා නිෂ්පාදනය කරන ලද වාර්ථා චිත්‍රපටි අමුලික බොරු වලින් පිරනු ඒවා. එදා රජයට ඔවුන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කරන්න තිබුනා, නමුත් කොන්ද පන තිබුනේ නැහැ.
ඉන්පසු, පාස්කු ප්‍රහාරය පිළිබඳව පට්ට පල් බොරු වාර්ථා චිත්‍රපටයක් සාදනු ලැබීය.
චැනල් 4 චිත්‍රපට ඇත්ත කියා කියන අයගේ මොලේ පරික්ෂා කරන්න වෙනවා.
ලෝකයේ හොඳින්ම යුධ කරලා ත්‍රස්තවාදයෙන් පෑගී සිටි ජනතාවක් බේරා ගැනීම ගැන කියනවා ‘යුධ අපරාධ’ කියලා. අපේ හමුදාව යුද්ධයට ගියේ එක අතකින් තුවක්කුවත්, අනිත් අතින් ‘මානව අයිතීන්’ පිලිබඳවූ පොතත් අරං. මෑත කාලයේ කිසිම හමුදාවක් එහෙම යුද්ධ කර තිබුනේ නැහැ.
අපත් එක්ක කලින් තරහ, දැන් යහළු, පොහොසත් රටවල් අපට මුල්‍යමය ආධාර, අඩු මිලට ණය, අප රටේ මුදල් ආයෝජයනය කරන්න පෙළ ගැසී බලා ඉන්නවා කියා කීවත් මෙතෙක් දුරට නම් එවැනි සුභදායි පෙරළියක් දකින්න ලැබුනේ නැහැ, කවදත් හිතවත් චීන, ඉන්දියන්, ජපන් ආධාර මිස.
අපේ නියම යහළුවන් අප හඳුනා ගත යුතුයි.
ඇමරිකාවත් හිටි ගමන් අපට යම් යම් ආධාර දෙනවා. අප මෝඩ සහ උද්දච්ච ලෙස ඔවුන්ගේ MCC ප්‍රතික්ෂේප කිරීම ගැන ඔවුනට තරහයි.
හරියට ලෝක ප්‍රජාව මිත්‍රත්වයෙන් තබා ගත්තොත් අපට එන බොහෝ විදේශ චෝදනා, ආඩාපාලි නවත්වා ගන්න පුළුවනි, විශේෂයෙන්ම අහිතකර ජෙනිවා යෝජනා.
දැනට සිටින අපේ විදේශ ඇමතිතුමා, අපත් සමඟ ජෙනිවාහිදී විරෝධය පෑ රටවල් – විශේෂයෙන්ම කැනඩාව, මහා බ්‍රිතාන්‍ය වැනි, කථා කර, අපේ නොමනාපය ඔවුනට පෙන්වා; ඉන්පසු ඔවුන් සමඟ දැඩි මිතුරන් බවට පත් වීමට කටයුතු කල යුතුයි.
යුධ අපරාධ නඩු මේ රටේ අහනව නම්, ඒ නඩු නඩු අහන්න විදේශ නඩු කාරයන්ට ඉඩ දෙන්න බැහැ යන අපේ ඉල්ලීම මෙවර ජෙනිවා යෝජනා මඟින් පිළිගත්තා. මෙය ලොකු ජයක්.
අපට සිදුවූ ප්‍රධානතම, අහිතකර දේ නම් ජෙනිවා මාර්තෘකාව තවත් වසර 2කට දීර්ඝ කිරීමයි – අප රටේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂාව පිළිබඳව ජෙනිවා UNHRC මානව හිමිකම් කවුසිලය විසින් දියත් කර ඇති බාහිර වූ යාන්ත්‍රණය තවදුරටත් පවත්වා ගෙන යාම දිගටම අනුමත වීමයි සිදු වුනේ.
මෙවර ඒ රටවල් 4 හෝ 5 ගෙනා ඒ ජෙනිවා යෝජනා 14 (සමහරෙක් අපට ඉතා අහිතකරයි) ඉවතලන ලෙස අප ඉල්ලා සිටියත්, දැනට වසර ගණනාවක සිට විවිධ ස්වරූපයෙන් එන මේ යෝජනා එක් වරම මෙවර ඔවුන් ඉවතලනු ඇතැයි සිතීම අපහසු කරුණක්.
මෙයට, විජිත හේරත්ට හෝ ජෙනිවාහි සිටින අපේ තානාපති තුමියට බැනීම සාධාරණ නොවන බවයි කිව යුත්තේ.
අප රට මේ ජෙනිවා යෝජනා පිළිබඳව චන්දයක් නොඉල්ලා සිටීම ඉතා බලගතු දෙයක් ලෙස රජයේ විරුද්ධවාදීන් දක්වා සිටියත් එය ඒ තරම් බලගතු කරුණක් නොවන්නේ එවැනි චන්ද විමසීමක් පැවැත්වුවත් රජයට එය කිසිසේත් දිනිය නොහැකි තත්ත්වයක් ඇති නිසායි. චන්දය දිනීමට අප චන්ද 47න් භාගයකට වඩා ගත යුතුයි; කිසිසේත්ම ලබා ගත නොහැක්කක්.
යුද්ධයෙන් පසු, මිට වසර කිහිපයකට පෙර අපේ ‘සතුරෙක්ව’ සිටි, ඉන්දියාව අද අපේ හොඳ මිතුරෙක්ව සිටීම ඉමහත් සහණයට කරුණක්.
සමහරු සිතනවා අපේ රටේ පළාත් 7යි කියලා, නෑ 9යි .
කතරගම, නුවර, අනුරාධපුර, පොලොන්නරුවේ යනවා වගේ යාපනේ, ත්‍රිකුණාමලේ, මන්නාරමේ , මුලතිව්, මඩකලපුවේ නිතරම යන්න; ගිහිල්ලා බලන්න, ළමයින්ට පෙන්නන්න.
යාපනේ යනවිට නාවට්කුලි සිංහල ගම්මානයේ පන්සලේ (යාපනයට සැතප්ම 7 දකුණින්) ලැගුම් ගන්න පුළුවන්. එහි පන්සලේ වන්දනා නඩ වලට ඉන්න පහසුකම් තියෙනවා. අපේ පුජ්‍ය හංවැල්ලේ රත්නසිරි ගරු ස්වාමීන්වහන්සේ ඔබ සැමට හොඳින් සලකාවි.
සැබෑ දේශප්‍රේමියෙකුගේ අත්දැකීමක් – ‘තදබල යුද්ධය සමයේදී, ලංකාවේ ඇමතිවරු එක්ක ඕස්ත්‍රේලියාවේ ඇමතිවරු හමු වෙන්න ගියා. සාකච්ඡාවේදී ඕස්ත්‍රේලියාවේ කොටි සංවිධානය තහනම් කරන්න කියා මා ඉල්ලුවාය කියා ‘දේශප්‍රේමී’ ලේබල් ගහගත් ඇමතිවරු මා සමඟ පසුව කථා නොකර හිටියා.’
සැබෑ දේශප්‍රේමියෙකුගේ අත්දැකීමක් – ‘එවකට (යුද්ධය සමයේ) සිටි ඕස්ත්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ මහාකොමසාරිස්තුමා එක්ක ඕස්ත්‍රේලියාවේ ඉහලම ප්‍රධානියාගේ (අගමැතිගේ) කාර්යාලයේ සාකච්චාවකට ගියා, මගේම වාහනයෙන් එයාවත් දාගෙන. සාකච්ඡාව සංවිධානය කර තිබුනේ මා විසින්. එය කොටි සංවිධානය තහනම් කිරීම සඳහා සාකාච්චා කරන රැස්වීමක් බව මහ කොමසාරිස්තුමාත් දන්නවා, අර ඉහලම ප්‍රධානියාගේ කාර්යාලයේ අයත් දන්නවා.
ආ ගිය ගමන් කතා කරලා රැස්වීම පටන් ගත්තා. මා කිවා, කලින් එකඟ වුනාක් මෙන් මේ රැස්වීම කොටි සංවිධානය ඕස්ත්‍රේලියාවේ තහනම් කිරීම පිණිස වන එකක් කියා. ඒ පිළිබඳව වාචික, කෙටි ‘දේශනයක්’ පවත්වන්න හදන කොට අපේ මෑන් හරස් කපලා කිවා, ‘මගේ රජයෙන් ඕස්ත්‍රේලියාවේ රජයෙන් එවැනි ඉල්ලීමක් කරන්නේ නැහැ’ කියා.
අර මහත්වරු, නෝනාවරු පුදුමයෙන් මගේ මුහුණ බැලුවා, මොකද ඔවුන්ටත් හොඳටම ඕන කරලා තිබුනේ අප ඉල්ලු දේ දෙන්න. ‘රැස්වීම අවසන්’ කියා මා අපේ මෑන්වත් දාගෙන ආපහු ආවා. එදායින් පස්සේ මගෙයි එයාගෙයි අතර එතරම් මිතුරු බැඳීමක් තිබුනේ නැහැ.
එයාට කෙලින් මගේ දිහා අදත් කෙළින් බලන්න බැහැ.
අදටත් කොටි සංවිධානය ඕස්ත්‍රේලියාවේ තහනම් නැහැ”.
‘සර් සර්’ ගාමින් යටහත්, බයාදු මානසිකත්වයකින් අප ඔවුන්ව ඇමතුවහොත් බටහිර නායකයන්ගෙන් අපට මුකුත් ලැබෙන්නේ නැත. එවිට, කපටි ඔවුන් අපෙන්ම ගැනීමට බලත්. ඔවුන් සමඟ කෙළින් මුහුණ දී, සම මට්ටමේ සිට කථා කළ යුතුය.
‘ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ’; ගරු මහින්ද හිමිගේ ඒ වදන එදාට වඩා අදට උචිතයි.
හවසට අපේ රටේ මත්පැන් බිම හල් රජයේ සේවකයන්, පෞද්ගලික අංශයේ සේවකයන්, ස්වයං රැකියා කරන්නන්, කම්කරුවන් ආදී නානා ප්‍රකාර අයගෙන් පිරි ඉතිරී ගොස්ය. සමහර ස්ථාන ඇඟිල්ලක් ගැසීමට බැරි තරමට මත්පැන් බොන සෙනඟය. සමහරෙක් සැමදා පැමිණ බොන අයය.
සමහර අය වයින් ස්ටෝර්ස් පරිශ්‍රයේම බෝතලයට කට තබා බී පිටත්ව වෙයි.
බේබදු කමට වැටුණු පුද්ගලයෙක් සුමඟට ගැනීම ඉතා අමාරු වැඩකි.
මෙහිදී වඩාත්ම සැලකීමට අප බඳුන් කරන්නේ මත්පැන් පානයට ඇබ්බැහිවූ අපේ සමාජයේ සහෝදර කොටස් පිළිබඳවයි. ඉඳ හිට මිතුරන් සමඟ එක්ව මත්පැන් වීදුරුවක් හෝ දෙකක් බොන කෙනා නොවේ (රාජ්‍ය පාලකයන් නම් එහෙම වත් මත්පැන් නොගත යුතුයි).
නූගත් පිරිමි පමණක් නොව උගත් පිරිමි පවා අද මධ්‍යසාර භාවිතයට බොහෝ වශයෙන් ඇබ්බැහි වී ඇත. මෙය එදාට වඩා අද ලොකු ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ විස්කි, බියර්, වයින් වැනි රට බීම බොන අය සුලබ වීමත් ඒවා බිම හොඳය යනුවෙන් සමාජයේ තිබෙන වැරදි මතයත්ය.
කොළඹ වැනි ප්‍රධාන නගරවල ජනගහනය දැන් ප්‍රධාන ජාති 3න්ම සම සමව වගේ සිටිත්. නමුත්, බාර් ඇතුලේ නම් බි බී බොහෝ දුරට ඉන්න මහා ජාතියේ අයය. මහ ජාතියේ පිරීහීම සංකේවත් කරන තවත් හොඳ සාධකයකි මෙය.
රජ කාලේ අපට තිබුණු සමාජය අද මෙන් මත්පැන් බොන සමාජයක් නොවීය. 1505 මෙරටට පැමිණි පෘතුගීසින් අපට සැර මත්පැන් හඳුන්වා දුන්හ. මස් කෑම පුරුදු කළහ.
ඕලන්ද, ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී යුගය වන විට අරක්කු වැනි අපේම මත්පැන් නිපදාවාගෙන අප මත්පැන් වලට වහල්වූ සමාජයක් බවට පත් වුනා. අද තත්ත්වය ඒ යුගයට වඩා දියුණු වෙනවා වෙනුවට එන්න එන්නම නරක් වී ඇත.
මත්පැන් වලට නුපුරුදු අප එදා පරංගි වයින් බි පාන් කන කොට කිවේ ලේ බී, ගල් කනවා කියලයි.
බොහෝ කාන්තාවන්, විශේෂයෙන්ම තරුණියන් පවා අද බිය සැක නැතිව ප්‍රසිද්ධියේ වයින්, බියර් බොති. සමහරෙක් සිතනවා සිය සමාජ තත්ත්වය නංවා ගැනීමට හෝ මිතුරියන් කියන නිසා හෝ මේවා බොන්න ඕනා කියා. වැඩි කල් යන්න මත්තෙන් මේ අය (කාන්තාවන්) සැර මත්පැන්, දුම්පානය පවා ප්‍රසිද්ධියේම කරන තත්ත්වයකට එන්න පුළුවන්.
බැංකොක් නුවර සමහර හාමුදුරුවරු ප්‍රසිද්ධියේ සිගරට් බොනවා දක්නට ඇත. ඒ අතින් අපේ හාමුදුරුවරු ඉතා හොඳය; තවම වාහනද නොඑළවයි.
මත්පැනින් තමන්ගේ සෞඛ්‍යය කෙලෙසා ගන්නවා පමණක් නොව යථාර්තවාදිව, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව නැති කරගනී. මිනිසුන් තමන් අතේ ඇති මුදල නැති කර ගනිත්. නිවසේදී තම බිරිඳට/දරුවන්ට අඩන්තේට්ටම් කරත්. සමාජය නොපිළිගන්නා ලිංගික ආශ්වාදයන් සොයා සමහරු යති.
මාලිමාවත් අලුතින් මත්පැන් පර්මිට් දෙන පාරේම යාවිද?
අද සංගීත සංදර්ෂණ, දේශපාලන පෙළපාලි වල පාරේ නැටීම සාමාන්‍ය වී ඇත. ජනයා ගෙවල්වල පොඩි පාටි වලත් නටති. දියුණු රටවල මෙවැනි නොනවතින ලෙස නටන සම්ප්රදායක් නැත.
මෙසේ නටන අපේ අය බොහෝ විට මේ දේවල් කරන්නේ හොඳටම මත්පැන් පානය කරය – හරියට, අපේ සංස්කෘතියට එක්වුණු නව අංගයක් මෙන්.
උතුරු, ගිනිකොණ දිග සහ බටහිර ආසියා රටවල යුවතියෝ ඔවුන්ගේ ටික් ටොක් වල විවිධ වෘත්තිමය, කළාත්මක සහ සංස්කෘතිමය වැඩ සටහන් ඉදිරිපත් කරත් – උසස් අගයක් ඇති වීඩියෝ. අපේ (සුන්දර) තරුණියන්ගේ නම් වැඩිපුරම ඇත්තේ විවිධාකාර නැටුම් – ඒ නටන්නේද බොහෝ විට හින්දි හෝ දෙමළ ගීත වලට. සමහර නැටීම් විකාර ස්වරූපීයි. ප්රබුද්ධ, උසස් රසාස්වාදයෙන් යුත් ටික් ටොක් වීඩියෝ ඔවුන් නිපදවනවා ඉතාම අඩුයි. අපේ ටික් ටොක් විකට වැඩසටහන් ඉහළ අගයෙන් පවතී.
මතු සම්බන්ධයි …..