අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (11 කොටස)
Posted on October 17th, 2025
චානක බණ්ඩාරගේ
ලෝකේ මිල කළ නොහැකි වටිනාම සම්පත පුංචි දරුවෝයි.
අම්මෙක් තම 18 හැවිරිදි පුතාට එයාගේ උපන් දිනය දා දුන් ඔවදන් – ‘හිතන්න එපා අත පය හතර දික් වුණා කියලා සර්ව සම්පූර්ණයි කියලා. මේ සමාජය හරි විසයි. දන්නා දේට වඩා නොදන්න දේ බොහෝයි. වැරදෙන එක පුංචි දෙයින් ඔයාගේ ලස්සන මුළු ජීවිතේම අඳුරු කරන්න පුළුවන්. එදාට ළඟ ඉන්න යාළුවන් කවුරුත් නැහැ, තමන්ට තමන් විතරයි.’
දරුවන්ට කන්න දෙන්න, උගන්වන්න දෙමව්පියෝ මොනතරම් දහදුක් විඳිනවද?
දෙමව්පියන් සැම විටම දරුවන්ට ආදර්ශයක් විය යුතුයි.
දරුවන් නොමඟ යා හැකි නරක/වැරදි වැඩ නොකර සිටීමට දෙමව්පියන් ඉතාම ප්‍රවේශම් විය යුතුයි.
1940, 50, 60 දශකවල උපන් වැඩිහිටියන් ඉතා හොඳ ජීවිත අද ගෙවති. ඒ, ඒ අය බාලවියේදීම යහමග යැවීම නිසාය. ඒ අය දැන් වැඩිමහල්/මහළු වියේදීත්, හොඳ, හරි දේම කරයි.
දරුවෙකු වැදු පළියට හැමෝම හොඳ අම්මලා තාත්තාලා නෙමෙයි.
දරුවන් බිහිකිරීම හොඳයි, නමුත් එයම මදි. ඒ දරුවන් ලොකු වෙනතෙක් හොඳින් බලාගෙන රටට වැඩදායක හොඳ, ගුණ ගරුක පුරවැසියන් හැටියට සමාජයට කල එලි බැස්වීමද ඒ දෙමව්පියන්ගේ යුතුකමක්.
තමන්ගේ ළමයා එක්ක පැය භාගයක් ගතකරන්නේ නැති කාන්තාවෝ රූපලාවන්‍යාගාර ඇතුළේ පැය ගණන් ගත කරන බව අහන්න ලැබේ.
පියා අනුකරණය කරමින් මත්පැන් පානයට, දුම් පානයට කුඩා දරුවන් ලොකු වූ පසු යොමුවේ; මෙය අද වෙනදාටත් වඩා තදින් සිදුවේ.
හොරණ පැත්තේ ගල්කඩන බාස් කෙනෙක් සිටියේය. ඔහු තමුන්ගේ අවුරුදු 16 ක විතර පුතාට කියා කසිප්පු ගෙන්වා ගත්තා. ටික කාලයක් යනකොට මේ ළමයාත් බොන්න පුරුදු විය. ගමේ අය මොහුට සුදු පරෙවියා කියා නමකුත් දැමුහ. දිනක් පුතාට සල්ලි නැතුව තාත්තාට ගෙනෙන දේන් ටිකක් මගදීම බී, මදි හරියට වෙලෙන් වතුර ටිකක් දමාගෙන ගියේය. තාත්තා කසිප්පු ටිකක් බී ‘ඈ බොල අද බඩු හොද නැහැ නේ’ කීය. ‘ඔව් බොල මාත් බීලා බැලුවා’ කියා පුතා කීය. දැන් ඒ තාත්තයි පුතයි දෙන්නම පරලොව.
කළගුණ සැළකීමක් දරුවන්ට කුඩා කල සිට පුරුදු කල යුතුයි.
1940, 50, 60 කාලේ ළමා කාලයට අනුරූපව ළමයින් හදන්න අද බැරිය, සම්පුර්ණයෙන්ම වෙනස් සමාජයක්.
දැන් ළමුන් හරිම බුද්ධිමත්ය. ඒ අයට තොරතුරු ලැබෙන මාර්ග ගොඩක් තිබේ. ඒවා ගැන දෙමාපියන් අවබෝධයෙන් සිටිමෙන් තම දරුවන් යහපත් ගමනාන්තයකට යොමු කරන්න පුළුවන. මේවා නොදැන සිටිම ඔවුන්ගේ අනාගතය අදුරු විමටත් බලපානවා.
හොඳ පාසල් සඳහා තරගය වැඩිවිමටත් එක් හේතුවක් වන්නේ ළමයින් අතර ඉගෙනීමට තිබෙන තරගයයි. මේ තරගයට සමහර ළමුන් සුදානම් නැත. ඔවුන් එය දකින්නේ කරදරයක් විදියටය. එය ළමුන්ට ප්‍රශ්න ඇති කිරීමකි.
පන්තියේ ටිචර්ගේම හවස පන්ති. අමතර පන්ති. හවසට ළමයා ගෙදර ආපුවම ගෙදරදී කරන්න දීලා තියන හෝම්වර්ක්. බලෙන්ම හරි ළමාකාලය සෙල්ලමට සහ විනෝදයට දාන දරුවෙක්, අන් සෑම දෙනා අභිබවා ඉදිරියට යයි.
පිරිමි ළමුන්ව ක්‍රිකට් ක්‍රීඩාව වෙත යොමු කරන්න. ඉතාම හොඳ ක්‍රීඩාවක්. ඒ වගේම, කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම පිළිබඳව උගන්වන ක්‍රීඩාවක්. රගර්, පාපන්දු හොඳයි; හැබැයි සිරුරේ ඇතිවෙන අස්ථි/මාංස පේශි කැඩුම් බිඳුම් වැඩියි. ටෙනිස්, පිහිනුම් ඉතා හොඳයි, නමුත් සාමුහික ක්‍රීඩාවක් නොවේ.
ගැහැණු/පිරිමි ළමයි දෙකොට්ටාශයටම හොඳයි ක්‍රිකට්, සොකර් (පාපන්දු), පිහිනීම, බාලදක්ෂ. ගැහැණු ළමයිනට විශේෂයෙන්ම හොඳයි නෙට්බෝල් සහ හොකී. ලැබෙන ප්‍රථිපල අනර්ගයි. ඉස්කෝලේ ටීම් එකට ඉන්නම ඕන නැහැ, ළමයි අතර සෙල්ලම තුලින් කණ්ඩායම් හැඟීම් ඇති වෙනවා.
බොක්සිං හොඳ ක්‍රීඩාවක් නොවෙන්නේ එයින් මොලයේ ආබාධ පසු කාලයකදී ඇතිවිය හැකි නිසාම පමනක් නොවේ, එහි තිබෙන ‘විෂම ’ භාවය ද නිසායි.
සමහර දෙමවුපියෝ කියන කතාවක් – ‘දැන් කාලේ ගැහැණු ළමයෙක් පරිස්සම් කරනවට වඩා අමාරුයි කොල්ලෙක්ව පරිස්සම් කරන එක’ කියලා.
දරුවෝ තමන්ගේ පැත්තට හරවා ගන්න, දරුවෝ අතර බෙදීම් ඇතිකර ජීවත්වෙන්න හදන දෙමවුපියෝ නරුමයෝ .
කුඩා කල ආදරයෙන් දුව පැන සෙල්ලම් කරන සහෝදර සහෝදරියෝ වැඩිමහල් වී සමාජයට ගිය පසු බොහෝ විට විරසක වෙත්. ඉතාම කනගාටුදායක තත්ත්වයක්. බොහෝ විටම මේ විරසක වීම ඇතිවන්නේ දේපල බෙදා ගැනීම සම්භන්දයෙන්. වැඩිහිටි දරුවන් අතර අසමගිය වැපිරීමට බොහෝ දෙමව්පියන් ඍජුවම හෝ වක්‍රව දායක වෙනවා. ඒ අඥනාවන්ත සහ ආත්මාර්ථකාමි දෙමව්පියෝ.
ලංකාවේ මේ සිදුවෙන දේ දියුණු බටහිර රටවල සිදු නොවේ හෝ ඉතාම අඩුයි.
දරුවාට තාත්තා කෙනෙක් ඕන නැහැ කියා සිතන අම්මලා ආත්මාර්ථකාමිය.
මොන්ටිසෝරියේ ඉඳලම දරුවන්ට සාරධර්ම උගන්නලා, රටට ආදරය කරන්න උගන්වලා, දෙමාපියන්ටත් ග්‍රාමිය මට්මමින් වැඩමුළු තියලා පන්සල් පල්ලි එකතු වෙලා සමාජය සාරධර්ම වලින් පෝෂණය කල යුතු කාලයක් මේ.
සහජයෙන්ම ළමයි බොරු කියන්න කැමති නැහැ. ඒ අයට බොරු කියන්න උගන්නන්නේ දෙමව්පියෝ/වැඩිහිටියෝ. ගොඩාක් ළමයි මුලින්ම කියන ලොකුම බොරුව තමයි පාසලේ 1වැනි වසරට ඇතුල්කිරීමේ සම්මුඛ පරීක්ෂණයේදී තමන් ජීවත්ව ඉන්නේ පාසලට හැතැප්ම 2ක් ඇතුලත වූ ලිපිනයක් තිබෙන නිවසක බව. මේ බොරුව ඔප්පු කරන්න ඒ පොඩි ළමයාට තව බොරු 50ක් විතර උගන්නනවා.
බොරුවට පුරුදු වූ ළමයාගෙන් ගන්න දෙයක් නැහැ. හොඳ පුරවැසියෙක් වෙන්න බැහැ.
දෙමව්පියන් අතර ප්‍රශ්න වලදී ළමයි අතකොළු කරගෙන, බොරු කියන්න උගන්වනවා.
ළමයි කුඩා කල සිටම, ලොකුවී ජිවිතයේ දුක්, කරදර, බාධක කම්කටොළු වලට මුහුණ දිය හැකි අයුරෙන් හදන්න . ඉල්ලන ඉල්ලන දේ දෙන්න එපා. ආදරේ උනත් පමණට වඩා; සැප, පමණට වඩා දෙන්න එපා.
මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන්, පාසල් යන වයසෙහි දරුවන් හා නව යොවුන් දරුවන්ගෙන් වැඩිදෙනකු මන්දපෝෂණයෙන් පෙළෙන බව සමීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
ළමයා ඉල්ලනදේ දුන්නට කමක් නැහැ, ළමයාට ඔබ වහල් විය යුතු නැහැ. නායකයා ඔබ බව දරුවා දැන ගත යුතුයි.
ළමයිට ගස් ගල් වගේ සලකන්න එපා. ආදරය පෙන්වන්වන්න ඕන. ළමයින් ඉඹලා, ආදරයෙන් ඔලුව අත ගාන්න. ‘මගේ රත්තරන් පුතා’, ‘මගේ රත්තරන් දුව’ ආදී වශයෙන් අමතන්න.
අඩුතරමින් ඉඳලා හිටලවත් ආදරය නොදීපු ළමයෙකුගෙන් දෙමව්පියන් පසුව ඒ ළමයින්ගෙන් ආදරය බලාපොරොත්තු වීම අසාධාරණයක් විය හැකියි.
සමහර දෙමව්පියෝ ළමයි හදනවා බලන් ඉන්න ආසයි. ඒකත් කළාවක්. ඒ දරුවෝ අඬනවත් අඩුයි.
රට පිළිගත් උගතෙක් කියූ කථාවක් – ‘මම හැදී වැඩුනේ 70/80 දශකවල. අපට කෑමෙන්, බීමෙන් නම් අඩුවක් තිබුනේ නම් නැහැ, නමුත් දෙමව්පිය සෙනහසේ/ආදරේ අඩුවක් තිබුනා. තාත්තයි, අම්මායි නිතරම රණ්ඩු උනා. පුංචි අපි ඉස්සරහා තාත්තා අම්මාට ගහනවා; අම්මාගේ හරිම කට සැරයි. කිසිම ආදරයක් නොලැබුන ඒ ගෙදර අපාය වගෙයි. කොයි වෙලෙත් මම බැලුවේ ගෙදරින් පිට ඉන්න. තාත්තයි, අම්මායි සතුටින් නොවේ සිටියේ, නමුත් පවුලේ ’දක්ෂ’ සමහර සහෝදර සහෝදරියන්ට ඒ දෙන්නා විශේෂ වරප්‍රසාද, දුන්නා, මුදල් හදල් යහමින් ඒ අය වෙනුවෙන් වියදම් කළා. හැබැයි මම වැරදි මාවතේ යනවද කියලා ඒ අය සොයා බැලුවා. පසු කාලයේ දී (ඒ අය වියපත් වුනාහම) වැඩියෙන් සොයා බැලුවේ මම; මගේ බිරිඳ ඒ අයගේ දුවලාට වඩා හොඳයි කියා කියා තිබුනා.’
ගැටවර විය පසුකල ගැහැණු සහ පිරිමි දරුවන්ට පුංචියට හෝ කෑමක් උයා ගන්න පුරුදු කරන්න.
බොරුවට අඬන ළමයා අඬන්නේ හරි විනයක් නැතිව හදලා තියෙන නිසායි.
ආරවුලක් දුරදිග ගිහිල්ලා ක්‍රිකට් පුහුණු පිටියේදී දරුවාට ක්‍රිකට් බැට් එකෙන් ගහලා මරපු තාත්තෙක් හිටියා, අම්මා ඉස්සරහදි. ඒ මෘගයා අද සිරගෙයක සිරබත් කනවා.
පොඩි දරුවන්ට පුදුම මානසික අසහනයක් තියෙන්නේ, මීට අවුරුදු 30 -40 ට එහා එක්ක සංසන්දනය කරද්දී . හරියට නොහදන නිසා සහ සමාජය කුරුවල් වීම නිසා.
අද කාලේ ගොඩක් දෙමාපියන් ළමයින්ට බයේ ජීවත් වෙන්නේ. ඉල්ලන ඉල්ලන දේ දෙනවා.
කුඩා කාලේ ඉඳලා කීකරුකමට ගුනයහපත් කමට හදා ගත්ත දරුවෙක් රටටත් වාසනා.
මෝඩ අහංකාර ළමයින්ගෙ මෝඩ තීරනවලට දෙමව්පියන් හිස නැමීම නිසා පවුල් පිටින් අමාරුවෙ වැටිලා තියෙනවා. ඒ ළමයි ලොකු වෙලා බැන්දහම තව අසරණ අය අමාරුවේ වැටෙනවා විතරක් නෙවි ඒ අය රටටත් බරක්.
තේ එකක් හදන්න, කොස්ස අරං උස්සලා අතු ගාන්න වත් බැරි දරුවෝ බැඳලා පවුල් ජිවිත අවුල් කරගන්නවා. දෙමව්පියෝ මේවාට වග කියන්න ඕන.
පොඩි කාලේ සැම දේටම ඉතා දක්ෂ ළමයා/ළමයි දෙමව්පියන්ගේ සුරතුලුන් වෙනවා. බොහෝ විට අන්තිම කාලෙට දෙමවුපියන්ට සලකන්න ඉන්නේ ඒ අය විසින් අඩුවෙන්ම සැලකුම් ලබා දුන් ළමයා හෝ ළමයින්.
දරුවන් අනිවාර්යයෙන්ම සිටිය යුත්තේ පාසැලෙයි. ගෙවල්වල දරුවන්ව වැඩකාර කමේ යොදවන හාම්පුතුන්ට දැඩි දඬුවම් නියම කල යුතුයි.
සමහරු හිතන්නේ ‘අපි පොඩි කාලේ විඳපු දුක් ළමයින්ට විඳින්න ඉඩ තියන්න හොඳ නැහැ’ කියලා ඉල්ලන හැම දේම දෙනවා. හරියට හැදුවේ නැත්නම් බිහි වෙන්නේ අකීකරු, මුරණ්ඩු, හැමවිටම අඬන ලමයෙක්.
අනාථ සිංහල දරුවන් සඳහා මන්නාරමේ අනාථ නිවාසයක් ගොඩ නැඟෙනවා, එහි මෑතකදී යළි විවෘත වූ සිංහල මහා විද්‍යාලයට සමගාමිව. මේ උතුම් කර්තව්‍යයට සම්බන්ධ වෙන්න කැමති නම් මේ නොම්මරය අමතන්න: 070 459 0227.
හුරතලේටම හදපු ළමයා මේ ‘දුෂ්ශීල’ සමාජයට ගොඩ බට දාට අතරමං වෙනවා.
දියුණු බටහිර සමාජය ළමයා හම්බ වෙච්ච ගමන් වෙනම කාමරයකට දානවා, දෙමව්පියන් සමඟ නොවේ වෙනම කොටු ඇඳක්. ළමයි පොඩිම කාලේ ගෙනිහින් වතුරට දානවා පීනන්න ඉගෙන ගන්න.
කොච්චර තිබ්බත් ඒ ගොල්ල ලමයින්ට ඉල්ලන සෑම දේම දෙන්න නැහැ. ඒ ළමයි වැඩිහිටියෝ උනාම ස්වාධීනව ඉන්න පුරුදු වෙලා ඉවරයි.
පොඩි කාලෙම හොඳ පන්නරයක් ගෙදරින්ම ලබා දීලා. ගස්, ගල් වගේ ඕන ප්‍රශ්නයකට සිනහා වී දක්ෂ ලෙස මුහුණ දෙනවා. ප්‍රශ්ණ ආවහම අපේ ළමයි වගේ අඬන්නේ නැහැ.
සමහර පුංචි කාලේ කොන්වෙලා මුළු ගැන්විල්ලා හිටපු දරුවෝ අර දෙමව්පියෝ විශේෂ සැලකිලි දක්වපු එම පවුලේ දරුවන්ට වැඩිය සමාජයේ උඩට එනවා. ඒ දරුවෝ දුක් කම්කටොලු ඒමට අත්විඳ තිබෙන නිසා අන් අයට වඩා සමාජශිලිව මුහුණ දෙනවා. බොහෝ විට ඒ අය පවුලේ අන්තිමට හම්බවෙන ළමයි.
ළමයින්ට ආදරය, කරුණාව දක්වන්න බැරි නම් හදන්න එපා.
දරුවෝ හදන කොට හැම දරුවාටම එක විදියට සලකන්න පුරුදු වෙන්න. අතේ ඇඟිලි පහ එක වාගේ නැහැ, දරුවොත් ඒ වාගේ තමයි. හැබැයි එක දරුවෙකුට විශේෂ සැලකිලිත් අනිත් අයට කුඩම්මාගේ සලකිලිත් දැක්වීම සුදුසු නැහැ.එහෙම කරන්නේ මෝඩ දෙමව්පියෝ.
දෙමව්පියන්ගේ ප්‍රශ්නවලදී ඇතිකරගන්නාවූ කැළැල් හයක් හතරක් නොතේරෙන දරුවන්ටද බලපාන බව වැඩිහිටියෝ අමතක නොකළ යුතුයි.
‘මගේ දරුවා දොස්තර කෙනෙක්ම කරමි’ කියා සිතන්නේ නැතිව දරුවාගේ දක්ෂතා හඳුනා ගෙන ඒ මාර්ගයේ යවන්න. ඉතිහාසය, සමාජ අධ්‍යනයට දක්ෂ දරුවා බලෙන්ම දොස්තරකෙනෙක්, ඉංජිනේරුවෙක් කරන්න හදන්නේ මෝඩ දෙමව්පියෝ. රවුම් කොටුවක් තුලට හතරැස් ලීයක් දාන්න හදනවා වගේ.
ඉඩකඩම්, වස්තුව බෙදා දෙන විට දෙමවුපියන් ඉතා බුද්ධීමත්, පරික්ෂාකාරී සහ සාධාරණ විය යුතුයි. ඔවුන්ගේ අමන, මෝඩකම් නිසා දු පුතුන් සදාකාලික බද්ධ වෛරක්කාරයන් බවට ඉතා ලෙහෙසියෙන් පත්විය හැකියි. එවැනි අවස්ථා බොහෝ පවුල් වල දක්නට ලැබෙනවා. මෙය ඉතා ශෝචනීය තත්වයක්, ආදරයෙන් හැදු, වැඩු දු දරුවන් දේපල නිසා තරහ වීම.
ආදාළ නීතිමය ලියවිලි සම්පුර්ණයෙන්ම නිත්‍යානුකුල ලෙස, තම උපදෙස් ප්‍රකාර ඒ අයුරින්ම සැකැසි ඇද්දැයි පරික්ෂා කර බලන්න.
ආසාධාරණයක් වී ඇතැයි සිතන දරුවන්ට කරුණු පහදා දිය යුතුයි, අසාධාරණයක් සිදු නොවී ඇතැයි කියා.
ගෙදර දොරේ පුංචි රෙපයාර් වැඩ ළමා වයසේදීම කරන්න පුරුදු කරන්න, අවශ්‍ය ආයුධ මෙවලම් ලබා දෙන්න. ඉදිරියේදී මේසන්, වඩු, පයිප බාස්ලා ඉතා මිල අධික වෙනවා. මේ වැඩ දන්නා දරුවා වැඩිහිටියෙක් වූ විට එයා සමාජය ජය ගන්නවා.
යන්තම් බතක් උයන්න්නවත් දොනියන්දෑව කුස්සියට වද්දා ගෙන නැති අම්මලා ඉන්නවා.
බොහෝ දෙමළ දරුවන් සිංහල දන්නවා; ඒත් සිංහල දරුවෝ කී දෙනාද දෙමළද දන්නේ? භාෂා දෙකම චතුර ලෙස කථා කිරීමට අනාගත පුරවැසියන්ට හැකි නම් එය රටේ සංහිඳියාව ඇතිකිරීම සඳහා මහත් ඉවහලක් වනු ඇත. අනාගතයේදී රජයේ රැකියාවක් ලබා ගැනීමේදී භාෂා දෙකම කථා කිරීමට හැකි අයට මහත්වූ ගැම්මක් ලැබෙනවා, එසේ බැරි අයට එදිරිව.
විදෙස් භාෂා ඉගෙන ගන්නවා නම් ළමයින්ට චින භාෂාව, හින්දි භාෂාව උගන්නන්න. මේ 21 සියවස, චීන සහ ඉන්දීයයන් විසින් මෙහෙයවන සියවසක් ලෙසයි සලකන්නේ, විශේෂයෙන්ම, චීන.
දැන් ඔය ෆ්‍රෙන්ච්, ස්පැනිෂ්, ජැපනීස්, උගන්නලා එච්චර වැඩක් නැහැ. ඒ කාලේ පැනලා.
හරි දේ හරි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත් දැනගෙන, නිවැරදි ලෙස මේ මහා පොළෙවේ අඩිය තියා ජීවත් වීමට කුඩා කල සිට දරුවන් ගේ මනස නිර්මාණය කල යුතුයි.
කවදාවත් දරුවන්ට බොරු කියන්න උගන්නන්න එපා. පුරුදු උනොත් එයා උපන් ගෙයි බොරු කාරයෙක් වෙනවා.
පුංචි සිත් තැලෙනවා. සමහර තැලීම් සදාකාලිකයි. පොඩි කාලෙම මානසික රෝගීන් වෙච්ච දරුවෝ ඉන්නවා දෙමව්පියන්ගේ නොසැලකිලිමත් කම, අප්‍රවේශම් බව සහ උවමනාවෙන්ම සිත් රිදවිම වැනි කරුණු නිසා.
එවැනි දරුවන් ලොකු උනාම දෙමව්පියන් ඒ දරුවන්ගෙනුත් උපරිමවම දේ බලාපොරත්තු වෙනවා, තමන් කරපු නොසැලකිලිමත් දේ මතක නෑ වගේ.
කුඩා දරුවෙක් ලිංගිකව හෝ වෙනයම් අයුරින් අපයෝජනය කලොත් එය ජිවත්වනා තුරාම ඒ කෙනාට තදබලම අපයෝජනයකි.
ගැහැණු දරුවෝ අපයෝජනය කල තාත්තාලා ගැන දැන් ඇහෙන්න ලැබෙනවා, ඉස්සරනම් මේ දේවල් සිද්ධ වුනේම නැහැ වගේ. හැම තාත්තෙකුටම හොඳ තාත්තෙක් වෙන්න බැහැ කියනවනේ.
මව්පියන්ගේ ආරක්‍ෂාව, රැකවරණය`, හව්හරණය නොලැබුණු දරුවෙකු බොහෝ විට ‘නරකාදියට’ වැටෙනවා.
දෙමාපියන් දෙදෙනාගේ විරසක වීම් පුංචි දරුවන්ගේ ජීවිත විනාශ කරන සමහරවිට මහ පාරට ඇද දාන තරමට තෝතැන්නක්.
හොඳ, සාර්ථක, සක්‍රිය පවුලක දෙදෙනාගේ අදහස් මුසු කර නිවැරදි, බුද්ධිමත් තීරණ ගෙන ඉරිදියටම, උඩටම යනවා. වැඩිහිටි, බුද්ධිමත් දරුවන් නම් ඒ අයගේ අදහස් විමසා ඒවාටද ගරු කරනවා. මේ පවුල් ලේසියෙන් වැටෙන්නේ නැහැ.
එකිනෙකාට ගරු නොකරන, නිතර සන්ඩු කරන අක්‍රිය පවුල් වලට හැමදාම බහින කලාව. ඒවා හැදෙන පවුල් නොවෙයි, පාරටම ඇද ගෙන වැටෙන්නත් පුළුවනි. ළමයින්ටයි මහාම කරදරේ.
සමහර දෙමව්පියන් තමාව කාන්දමක් කරගෙන, ළමයින් තමන් වෙත වෙන වෙනම ආකර්ෂණය කර ගන්න නොයෙක් උපක්‍රම යොදනවා. මෙය බොහෝ විට සිදු වන්නේ දෙදෙනා අතර අඩ දඹර ඇති දෙමව්පියෝ. මෙය ආත්මාර්ථකාමී, හොඳ නැති දෙමව්පියෙක් කරන දෙයක්.
හොඳ දෙමව්පියෙක් තමන් ටෝච් එකක් වී ඒ එලිය සියළු ළමයින් වෙත විහිදුවනවා. දරුවාව ටෝච් එකක් කරලා එහි එලිය තමන් දෙසටම අල්ලන්න කියන දෙමව්පියෝ හොඳ දෙමව්පියෝ නොවෙයි.
සමහරු කියනවා අද කාලයේ සමහර දෙමව්පියොත් විශ්වාස කරන්න බැහැල්ලු. ඒ කථාව කෙසේ වෙතත්, වැඩිදුර, බුද්ධිමත්ව කල්පනා නොකර කරන දේවල් නිසා ළමයින්ට විශාල අවැඩ සිදුවෙන වැඩ කරන දෙමව්පියෝ නම් ඕන තරම් ඉන්නවා.
සාමාන්‍යයෙන් පොඩි දරුවෝ ඉන්නකොට පවුල කැඩෙන්නේ නැහැ, රැකෙනවා. දරුවෝ හදන්න, හැම දේටම හොඳයි.
ලංකාවේ දැන් උග්‍ර කුඩා දරුවන්ගේ හිඟයක් තියෙනවා – තරුණ තරුණියෝ බඳින්නේ නැහැ. ඩිවෝසුත් වැඩියි. තව අවුරුදු 25කින් මේක මහළු සමාජයක්.
මේ ලෝකේ තියෙන ලොකුම සැපත දරු සුරතල් බලන්න ලැබීම.
වැඩිහිටියන් කිහිප දෙනෙක් තම ළමා කාලයේ අත්දැකීම් (රස කථා) විස්තර කලේ මෙහෙමයි:
තාත්තා කිරි කන්න ගිහින් පැණි බෝතලේ අරගෙන,’කවුද දරුවනේ මේ පැණි බෝතලේ ඉවර කළේ’ කියලා ඇහුවා. අපේ චුටි නංගි අපි කාටත් කලින් දුවලා තාත්තා ළගට ගිහින් කියනවාලු, ‘මං නම් පැණි කෑවේ නෑ තාත්තේ’ කියලා. කියලා තියෙන්නේ ගවුමෙන් කට පිහදමමින්.
මම ගැටයා කාලේ (ඒ කියන්නේ මීට අවුඋදු 35ට විතර එපිට) බඩල්කුඹුරේ පන්සලකට අයිති හේන් ඉඩමක ගොවිතැන් වැඩ කළා. රෑට සතා සීපාවා එලවන්න කෑ ගහලා සී පද කියනවා. දවසක් රෑ ගහ උඩ පැලේ ඉන්නකොට කුනකටුවෙක් කකුල හපලාල මම බිම ඇද වැටිලා කෑ ගහනවා. ලොකු හාමුදුරුවෝ කිව්වා මෙයාව මොණරාගල රෝහලටම ගෙනි යන්න කියලා. බකමුන රෝහලේ ඇම්බියුලන්ස් එකෙන් මාව මොණරාගල රෝහලට ගෙනාවේ. ඒ ඩ්‍රයිවර් ඇම්බියුලන්ස් එක එලෙව්වා නොවෙයි ඉගිලෙව්වා. ඇත්තම කියනවා නම් එතුමා හින්දායි මගේ ජීවිතය බේරුනේ. ගහට ගහක් මොරටුවේදී හම්බවෙනවා කිවාක් මෙන්, ඊට අවුරුදු 14ට පස්සේ මට එතුමාව හම්බවුනා බිබිලේ හොටලයකදී – මිනිහා එතකොට පෙන්ෂන් ගිහිල්ලා. මම එතකොට එතන ප්‍රධාන කොත්තු බාස්. ආසාවේ වැඩි කමට මම කොත්තු කොටන හැන්දෙන් කොත්තු දෙකක්ම දාලා දුන්නා, පාර්සල් කරලා ගෙනියන්න.
ඒ දවස්වල ඉරිදාට අපි බ්‍රව්න්ස් බීච් යනවා බුෆේ කන්න, මුළු පවුලත් එක්කම. දෙමව්පියෝ යන්නේ ඒ ගොල්ලන්ගේ යාලුවන්ටත් එන්න කියලා ෆෝන් එකෙන් කතා කරලා. කාර් එක පාක් කරන්න තරම් වත් ඉඩ නෑ, ඒ තරමට කොළඹින් එන වාහන මීගමුව මුහුදු වෙරළට. අපි මුදේ නාලා, හෝටලේ පූල් එකේ පිනාලා හවසට තමා එන්නේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, පළමු සේවය සහ වෙළද සේවය අපි ඒ දවස්වල හරිම ආසාවෙන් අහන්නේ. පලවෙනි සේවයේ ශාස්ත්‍රීය වැඩ සටහන් ඉහල ගුනාත්මයකින් යුතුයි. ප්‍රයිවෙට් FM නාලිකා තිබුනේ නැහැ, ඔලුව කැක්කුම හැදෙන රැප්, කර්ණ කටුක හෙවි මෙටල් සංගීත, ඉංග්‍රීසියෙන් කොපි කල සිංහල ගීත එකල තිබුනෙත් නැහැ.
දවසක් වඳුරෙක් අපේ ගෙදර කාමරයක් ඇතුලටම ඇවිත් අම්මාගේ මුහුණ බලන කණ්ණාඩිය අරගෙන මුහුණ බල බලා කොස් ගහක් උඩට නැග්ගා. ඌ හරියට මිනිහෙක් වගේ වාඩිවෙලා කණ්ණාඩියෙන් මුහුණ බල බලා හිටියා. අපි ගහ මුලට වී ගහ උඩ වඳුරා කරන කෝලම් බල බල ඉන්නකොට ඌ කන්නාඩිය දාලා දිවුවා, කන්නාඩිය සි සි කඩ ගියා.
1960 මුල ගණන් වල මම ඉස්කෝලේ යන ගමන් කැඩී කෙනෙක් හැටියට මොඩල් ෆාම් පාරේ ‘රෝයල් කලම්බෝ ගොල්ෆ් ක්ලබ්’හි ගොල්ෆ් බෑග් උස්සං යාම, ගොල්ෆ් බෝල එකතු කිරීමේ රක්ෂාව කළා. චන්දෙන් පැරදිච්ච හිටපු අගමැති තුමෙක් ගොල්ෆ් ගහන්න ඇවිත් එයාගේ සුපුරුදු කැඩී නැති හන්දා දවසක් මට කථා කළා. මම දවසම වගේ එතුමාට සේවය කළා. එදා එතුමා ගාව මට ගෙවන්න මුදල් තිබුනේ නැහැ, පර්ස් එක ගෙන්න අමතක වීම නිසා. එතුමා කොච්චර හොඳ ද කියනවානම් දවසක් ගොල්ෆ් ගහලා ඉවරවෙලා මාව හොයාගෙන වනාතමුල්ලේ මගේ ගෙදර ඇවිල්ලා, අම්මාට නෝට් එකක් දීලා ගිහිල්ලා මට ස්තුති කරලා, රුපියල් 50කුත් එක්ක.
70 ජීවන ක්‍රමය අදත් තිබුනා නම් අපි ඔය ලැප්ටොප් තියාගෙන කොට කොට ඉන්ඩ හම්බ වෙන්නේ නැ.එහෙනම් තාමත් රෑ අට වෙද්දී අල්ලපු ගෙදරට ගිහින් මුවන්පැලස්ස අහල ගෙදර ගිහින් රොටියක් පුච්චලා කාල කුප්පි ලාම්පුව් නිමලා, නිදා ගන්නවා. ඉරිදා රැ 8ට මොනරතැන්න අහනවා. පොඩි මල්ලි පොකට් රේඩියෝ එක කනටම තියාගෙන ඈපාසිංහ මහත්තයාගේ ‘බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු’ අහනවා.
1990 මැද විතර අන්තිම අමාරු කාලයක් අපට. රටේ යුද්ධේ තදටම යනවා. ඉන්නම තැනක් නැති කොට බම්බලපිටියේ විසාකා පාරේ ගාලු පාරට හැරෙන හන්දියේ ලෑලි මඩුවක කුලියට හිටියා තාත්තයි, අම්මායි මමයි, පොඩි මල්ලීයි – එයා අත දරුවෙක් එත කොට . රෑට කුප්පි ලාම්පුව ඔෆ් කරලා, ලතා මංගේෂ්කාර්ගේ කැසට් එක (බැට්රි) දාගෙන තාත්තා හැමදාම නිදා ගන්නේ. ‘වය්ශ්නාව ජනතෝ’ සිංදුව ඉවර වුනාහම කවුද දොරට ගහනවා ‘දොර අරින්න, දොර අරින්න’ කියලා. එළියේ ළාවට වැස්ස. බැලුවහම රෑ ඩියුටි යන රාලාහාමිලා දෙන්නෙක්. ‘අනේ තරහ නැතුව අර සිංදුව ආයි දාන්නකෝ හරිම රසාලිප්තයි’, කියලා කිවුවා. පස්සේ ඒ අය මුළු කැසට් එකම අහලයි ගියේ. අම්මා කහට තේ හදලා හකුරු එක්ක දුන්නා.
ඉස්සර අපේ ගෙට අල්ලපු වත්තේ සියා කෙනෙකුගේ රට අඹ ගහේ ගෙඩි ඉදිලා අතු බිමට බරවෙලා. මේවා දැක්කම චුටි නංගියි මමයි ඒ වත්තට පැනල අඹ ගෙඩි කඩාගන්නවා. මේක දැක්ක ඒ සියා අපිව ගේ ඇතුලට එක්ක ගෙනිහින් පැහිච්ච අඹ ගෙඩිය හතරට කපලා ලුණු, ගම්මිරිස් දාලා හැන්දෙන් කන්න කිව්වා. ආයි ඕනෑම වෙලාවක ඇවිල්ලා ගෙඩි දෙක දෙක දෙන්නාට කඩා ගන්න කිව්වා.
ඔය 70 දශකයේදී මම කොළඹ උසස් පිරීමි පාසැලක ප්‍රාථමික පන්තියේ ඉගෙන ගන්න සිසුවෙක්. ඒකාලේ ගෙදරට ඇවිත් ආපයින් ආපසු ටියුෂන් යන්නේ නැහැ. ශිෂ්‍යත්ව විභාගෙට ලිවුවේ ඉස්කෝලේ නෝට්ස් වලින්. හවසට ඉස්කෝලේ ස්විමින් පූල් එකට ගිහින් පිනනවා – වෝටර් පෝලෝ වැනි ජල ක්‍රීඩා, යාළුවො එක්ක මාර්බල්ස් ගහනවා ඇතිවෙන්න, නැත්නම් රෑ කළුවර වැටෙනකම් ක්‍රිකට්. සෙනසුරාදා උදේ ස්කවුටින්, පස්වරුවේ බේරේ වැවේ බෝට්ටු පුහුණුව. මගේ දරුවන්ට මේ සුන්දර ජීවිතය දෙන්න බැරිවීම මට දුකක්.
මමයි අයියල දෙන්නයි අක්කයි මහව අපේ ගමේ ඉස්කෝලේ ඇරිලා, සැතපුම් එක හමාරක් විතර පයින් එන්නේ. ගස්වලට පොලු ගගහ තමයි එන්නේ. ඒ ආපුවාම ගොඩක් දවස් වලට මඥ්ඥොක්කා තම්බලා තමා තියෙන්නේ. මට ඒකාලේ (මඥ්ඥොක්කා යුගයේ ) මඥ්ඥොක්කා පේන්ඩ බෑ.මම කන්ඩ බෑ කියල අඬනකොට අම්මා කරන්නේ නැන්දලගේ ගෙදර ගිහින් එහෙ තියෙන දෙයක් ගෙනත් දෙනවා. බොහෝ වෙලාවට ඒ ගෙදර තියන්නෙත් අපේ ගෙදර දේමයි. එතකොට කරන්නේ කඩේට ගිහින් පාන් කාලක් ගෙනත් දෙනවා. පාන් ගෙඩියම සත 34යි.
මම අදත් හරි කෙට්ටුයි. මගේ මහත්තයා කියනවා ‘ඔයාට මම අවසර දෙනවා, මොකද ඔයා මඥ්ඥොක්කා යුගයේ ළමයෙක් නේ කියලා’ (මම උපන්නේ 1972).
මාමා කෙනෙක් හිටියා රට. ඒකාලේ රට හිටියා නම් ඒ එසේ මෙසේ කෙනෙක් නොවේ. ඔය මාමා රට ඉදන් එනකොට අපේ ගෙදර ටත් ඇපැල් ගෙඩි 2ක් ලැබුනා. මම පළමු වතාවටයි ඇපැල් ගෙඩියක් දැක්කේ. ඕක 6 ට කපල කෑවා. ඒක හරියට අමුර්තේ වගේ. ඕක කාලා මම කිව්වා, සිතුවා ‘කවද හරි මාත් දවසක රට ගිහින් ඇපැල් ගෙඩියක් තනියම කනවා’ කියලා. ඔය කතාව ගෙදර සියලු දෙනා එකතු වූ විට මෑතක් වනතුරු මාව බයිට් කිරීමට යොදාගත්තා.
අපි දන්නා මොලේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හිටියා අපිට ගෙවල් 3ක් පමණ එහායින් හැව්ලොක් පාරේ. අපේ තාත්තගේ ගජ යාලුවා, දෙන්න එකට බ්‍රිජ්/චෙස් ක්‍රිඩා සෙල්ලම් කරනවා. 71 ජේවීපී කලබල කාලේ මොලේ ඔපරේෂන් එකක් කරලා මිනිහා ගෙදර එනකොට රෑ 12ට චෙක් පොය්න්ට් එකකින් නවත්තලා. බර්ගර් මහත්තයෙක් වූ උන්නැහේ අත් දෙක උස්සගෙන චෙක් පොය්න්ට් එකට ගිහිල්ලා කර්ෆිව් පාස් එක පෙන්වුවාහම සැරෙන් අහලා තියෙනවා මේ රෑ කොහෙද ගියේ, ජොබ් එක මොකක්ද කියාලා. මම නියුරෝ සර්ජන් කියලා මිනිහා කියලා. හමුදාවත් හරි බයෙන් ඒ කාලේ හිටියේ මොකද ජේ.වී.පී එකෙන් චෙක් පොය්න්ට් වලට ගහන තත්වයක් තිබුනා. සර්ජන්ව හමුදා භාරයට ගත්තා. එයාට ඇහිලා තියෙන්නේ ‘නිව් ඉන්සර්ජන්ට්’ කිව්ව හැටියට. උසස් හමුදා නිලධාරියෙක් ඇවිත් එතුමාව නිදහස් කළා.
‘තාත්තේ මරණය සමග සෙල්ලම් කිරීමට ආස නිසාද අර පුද්ගලයා පාපුවරුවේ යන්නේ? ඒක එයාට විනෝදයක් ගෙන දෙන්නක්ද’? මම දුවට කියනවා ‘දුවේ, 1970 මුල් කාලයේ මමත් ඕන හැටියේ ලංකාවේ බස් වල ෆුට් බෝර්ඩ් එකේ ගියා. එක ඇගිල්ලකින් එල්ලිලා. එක කකුලක් ෆුට් බෝර්ඩ් එකේ අනික එළියේ. ත්‍රාසජනක ක්‍රීඩාවකට තියෙන ආසාවට නෙමෙයි දුවේ, කොහොම හරි වැඩ ඇරිලා ගෙදර යා ගන්න ඕනේ නිසා’.
දවසක් 103 අංක දරන තට්ටු දෙකේ බස් එකක පාපුවරුව කඩා වැටිලා මං ඉස්සරහම පාපුවරුවේ එල්ලිලා ගිය කලිසම් කාර මිනිහක් වැටිලා මලා; උනේ මරදානේ ඇට්ලස් හෝල් බිල්ඩිම (දැන් තක්සේරු මන්දීරය) ඉස්සරහ, 1974 දී විතර. ඒ මිනිහාගේ මුහුණ වහන්න සුදු රෙද්දක් සැපයුවේ ඒ අසළ තිබු මුස්ලිම් කඩයක හිමියෙක්.
ගැටවර වයසේ ඇවිදලා, ඇවිදලා සමහර දාක රෑ වෙලා, 7 -8ට විතර, ගෙදර එන්නේ. කළුවරේ කඩුල්ල ළඟ කෙනෙක් බලන් ඉඳලා මම ගෙදරට හැරෙන පාරට ඇතුල් වෙනවත් එක්කම ඇතුලට යන චායාවක් මට යන්තමට ඈතට පේනවා. ඒ අම්මා. හිතේ මම දැක්කේ නැහැ කියලා. හැබැයි, ගෙදර ආවහම වචනයක් වත් කියලා බනින්නේ නැහැ.
සොහොන් කොත් වල අර්ථවත් වදන් ලියලා තියනවා, ඉස්සර ගිහින් බලනවා. ආගමේ සොහොන් කොත් වඩාත් රසවත්. කොත් දැක්කහම රට හොල්ලපු මිනිස්සු දැන් ඔක්කොම ඉන්නේ බොරැල්ලේ කනත්තේ නේද කියලා හිතෙනවා.
මා පාසල් යන කාලයේ රුපියල් 2.20 ක් හා බෑග් එකක් ද රැගෙන බසයෙන් ජාතික පොළට ගොස් (එතකොට තිබුනේ බුලර්ස් රෝඩ් එකේ) එළවලු තුනක් රැගෙන, කඩල ගොට්‌ටක් ද කා බසයෙන්ම ආපසු ගෙදර ආවේ, සත 82 කුත් ඉතිරි කරගෙන.
පොඩිකාලේ අලුතින් හාරන මිනි වලවල් බලන්න අපි කනත්තට යනවා, මොකද එතකොට අවුරුදු ගානකට කලින් වලලපු මිනි ඇට කටු හමු වෙනනිසා. ඒවා හොරෙන් එකතු කරගෙන සරමේ කැහපට දාගෙන ඇවිල්ලා ගෙදර බෝඩ් වෙලා හිටපු මෙඩිකල් කොලේජ් එකේ අයියාට දෙනවා.
අපේ තාත්තා රජයේ ටෙක්නිකල් කොලේජ් එකක විදුහල්ති කෙනෙක්. අම්මා ගුරුවරියක්. අපේ තාත්තා ඇන්ටි කෙනෙක් (ටීචර්) එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගත්තා. ඒ ඇන්ටි තාත්තගේ පරණ යාලුවෙක්ගේ නෝනා. අපේ තාත්තාට විදුහල්පති වෙන්න උදවු කලෙත් ඒ මාමා. අපේ අම්මාත් අපිත් මේ දේ දන්නවා. තාත්තා හැමදාම ඒ ඇන්ටිත් එක්ක ගතකරලා ගෙදර එන්නේ හොඳටම බීලා. ඇවිත් අම්මට ගහනවා. අපිටත් ගහනවා. හොදටම බනිනවා. අපට ගහ ගහා ෆෝන් එකෙන් ඒවා තාත්තගේ යාලු ඇන්ටිට අහන්න සැලැස්වුවා. කීප දවසකම මහ රෑ අපට ගහලා ගෙදරින් එළියට දාලා තියනවා. එදාට නංගීත් මමත් මල්ලීත් අම්මාත් ගෙයි එළියට වෙලා එලිවෙන කම් අඞ අඞා ඉන්නවා. අපට කන්න, ඉගෙනගන්න වියදම් කරන්නේ අපේ අම්මා. ඇය මේ ලෝකේ උතුම්ම මව. අපට දුකක් වෙන්න දෙන්නැතිව ආදරෙන් බලා ගත්තා. . අපිට උගන්වන්න අම්මා අපා දුකක් වින්දේ. අම්මා තාත්තට විරැද්ධව පොලිසි ගියේ නැහැ. අපට ලැජ්ජා වෙයි කියලා. තාත්තගේ නපුරු පහරදීම් වලින් අපේ අම්මාත් වෙලාවක මැරෙයි කියලා හරි බයක් අපට තිබුනේ. මේ ලෝකේ හිටපු නපුරුම කෙනා අපේ තාත්තා කියලයි මට හිතෙන්නේ. තාත්තා අපෙන් අයින් වෙලා අර ඇන්ටිත් එක්කම ඉන්නවා නම් අපි හැමෝම කැමත්තෙන් හිටියේ. ඒත් එයා එහෙම කලේත් නැහැ.
මම විශ්ව විද්‍යාලේ යන්න පටන් ගත්තට පස්සේ කැම්පස් හොස්ටල් එකේදී පුරුදු වුනා නානකොට ෂවර් එකේ ඉඳන් සින්දු කියන්න. නිවාඩුවට ගෙදර ඇවිත් පුරුද්දට සින්දු පටන් ගත්තාහම තාත්තා අම්මාට කියලා ‘බලන්න අර ළමයට බඩේ අමාරුවක්ද දන්නේ නැහැ, කෙඳිරි ගාන සද්දයක් එනවා කියලා’.
අපේ තාත්තාට සාමාන්‍යාධිකාරී ලෙස ලොකුම උසස්වීමක් ලැබුනා ඔහු වැඩ කල ආයතනයේ. අපේ පවුලට අළුත් වටිනා ගෙයක්, වටිනා කාර් එකක් එහෙම ගත්තේ ඔය කාලේ. තාත්තා කතරගම දෙවියන්ට වෙච්ච භාර හාර ඔප්පු කරන්න ලොකු පිරිතක් කිව්වා. ධාතු කරඬුව වැඩම්මව්වේ මගේ හිස පිට, දැවැන්ත පෙරහැරකින්. කොටා පාරෙන් භාගයක් පොලිසිය ඇවිල්ලා වැහුවා. පුංචි මට ලොකු වගකීමක්. ලොකු අයියාට දුන්නේ හාමුදුරුවරුන්ගේ දෙපා හෝදන එක, ඒ කේන්තියට එයා මහා පිරිතෙන් පස්සේ නිදා ගත්තා. පොඩි අයියානම් ආසාවෙන් තුවාවලින් හාමුදුරුවරුන්ගේ කකුල් පිහි දැම්මා.
ඉස්සර අපි, වයස 19 විතරෙදි, සම මෘදු වෙන්න නිවියා ක්‍රීම් ගාලා, කුරුලෑ වැහෙන්න මුහුණට පොන්ඩ්ස් වැනිෂින් ක්‍රීම් ගාලා, හිසකේ ගල් වගේ තියා ගන්න සහ දිලිසෙන්න යාර්ඩ්ලි බ්‍රිල් ක්‍රීම් ගානවා. මව්ලානා එකෙන් රුපියල් 7.75ට ගත් හෙන්ටලී අත් කොට කමිසය ඇඳන් එයට කැපෙන දුඹුරු පාට හීනී ලෙදර් ටයි එක බැඳ ගන්නවා. පාවහන් – ඉලස්ටෝ එහෙම නැත්නම් මැජස්ටික් බූට් වර්ක්ස්. සෙනසුරාදා හවසට අම්මාගේ ඩෝෆින් රෙනෝල්ට් එක ඉල්ලගෙන මම ඩ්‍රය්ව් කරන් යන්නේ මගේ පෙම්වතිය එක්ක ඩාන්ස් කරන්න, මවුන්ට් ලැවිනියා බීච් හොටෙල් එකේ ලිට්ල් හට් එකට. එතැනදී ගහන ගෘප් එක ජෙට්ලය්නර්ස්. ප්‍රධාන ගායකයා ඇල්ස්ටන් කොච්, ගායිකාව, මිනෝන් රත්නම්.
අපි හැම අවුරුද්දෙම වගේ පවුලේ චායාරූපයක් ගත්තා. ඒ ගන්න යන්නේ ඩොනල්ඩ්ස් නැත්නම් ප්ලාටේ එකට.
ඉස්සර මේ වගේ ටියුෂන් නැහැ. 1965 දී විතර, පාසැල ඇරිලා (විසාකා) ගෙදර ඇවිත් බත් කාලා ඉංග්‍රීසී නවකතාවක් කියවනවා. 3නේ ඉඳන් 4 වෙනකම් ‘චැනල්’ පියානෝ එක වාදනය කරවා. ගොඩාක්ම ගහන්නේ සුනිල් ශාන්ත/CT ප්‍රනාන්දුගේ ‘ඕලු පීපිලා’, ‘මා බාල කාලේ’ වැනි සින්දු. තේ එහෙම බිලා ගෙදරින් යනවා -5 ඉඳල 6 වෙනකම් වෙන්ඩි වොට්මෝර් ඇකඩමියේ එලකියුෂන්. සෙනසුරාදා උදේ අම්මා එයාගේ කාර් එකෙන්ම මාව ගිහිල්ලා බස්සනවා ග්‍රීන් පාත් එකේ ටෙනිස් පුහුණුව. ඊට පස්සේ උදේ 10ට විතර කොල්ලුපිටියේ චිත්‍රසේන/වජිරා කළායතනයට. උඩරට නැටුම්, ලී කෙලි නැටුම් එහෙම පුරුදු වුනා. දවල් 12ට අම්මා ඇවිත් අර ගන්නවා. කොල්ලුපිටිය හන්දියේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් පේස්ට්‍රි රෝල්ස්/චයිනීස් රෝල්ස්, චොකලට් කේක් වගේ රස ආහාර අම්මා අරං දීලා, කොල්ලුපිටියේ ක්‍රීම් හවුස් එකෙන් (දැන් අබාන්ස් බිල්ඩිම), අම්මා මට වැනිලා අයිස් ක්‍රීම් කෝන් එකක් අරං දෙනවා එතන ඉඳගෙනම කන්න. පස්සේ හවස් වරුවේ SSC පූල් එකට ගිහිං පීනලා, පී නට්ස් පැකට්ස් අරගෙන නෑ ගෙවල් වල (වැඩියෙනම් බාප්පාගේ) යනවා. එහෙන් කන්නේ නැති දවස්වල සවස ආපහු ගෙදර යන්නේ බම්බලපිටියේ සරස්වතී ලොජ් හෝ ග්‍රීන්ලන්ඩ්ස් එකෙන් උණු උණු තොසේ, උළුඳු වඩේ, මසල වඩේ, හොදි, සම්බෝල ආදිය අරං, පාර්සල් කර, රෑට ගෙදරදී කන්න. පහේ දාපු රසම රස ලොකු මුරුක්කු පැකට් එකක් ගන්න මා අමතක කරන්නේ නැහැ. තොසේ පාර්සල් හදන කම් අම්මා සත 10ක් කහ පැහැති ‘ඒවරි’ බර කිරණ මැෂිමට දාලා එයාගෙයි මගෙයි බර බලා ගන්නවා.
මම AL පාස් වෙලා කැම්පස් සිලෙක්ට් වෙච්ච කාලේ මගේ UN එකේ වැඩ කරපු පොඩි අක්කා නිව්යෝර්ක් ඉඳලා ලන්ඩන් ගියා පොදු රාජ්‍යය මණ්ඩලයේ මහාලේකම් කාර්යාලයෙන් ලැබුණු ආරාධනාවකට, ඒ ආයතනයේ පැවති උත්සවයකට සහභාගී වෙන්න. අක්කා මට කීවා එයා සුපුරුදු මුහුණක් දැක, කථා කරලා කිවාලූ ‘ඔබව හොඳට දැකලා පුරුදුයි’ කියලා. එවිට එම තැනැත්තිය කියා තියෙනවා ‘ඔව්,වෙන්න පුළුවන් මම චාර්ල්ස් කුමරාගේ* නංගි’ කියා.
(*දැන් රජ)
මට අවුරුදු 20 විතර ඇති, අපේ ගෙදරට වෙළද නියෝජිතයෙක් එනවිට මම උදයට ඉඳි ආප්ප කමින් සිටියා. තාත්තත් තේ එකක් අතේ තියාගෙන හිටියා. අපි දෙන්නම උඩුකයට ඇඳුම් නැතිව තාත්තා සරමකුත් මම කොට කලිසමකුත් ඇඳගෙන හිටියා. එයා ඉංගිරිසියෙන් මට සුබ උදෑසනක් කියලා අපගේ ඉඩමේ කරන ඉදිකිරීමක් සම්බන්දයෙන් ඉංගිරිසියෙන් ඇහුවා. ‘කඩුව’ දාලා අපව අල්ලා ගන්න බැලුවේ. මම අත හෝදගෙන එනතුරු තාත්තා සමග කතාකරන්න කියලා ඉංගිරිසියෙන් පිළිතුරු දීලා ගියා. තත්තාට කන ඇහෙනවා අඩු නිසා මේ කව්ද කියල ටිකක් උස් හඬින් ඉංග්‍රීසියෙන්ම තාත්තටත් කියලා දිපුහම මිනිහට තේරුණා වැරදි ගහට කෙටුවේ කියලා. එතන ඉඳල මිනිහා සුද්ද සිංහලෙන්ම කතාව පටන් ගත්තා.
අපේ තාත්තාගේ නෑදෑයින් ගිනිගත්හේනේ කිතුල්ගල පැත්තේ ටික දෙනෙක් ඉන්නවා. එයාලා ඒ පැත්තේ නෑදෑයන් මැරෙනතුරු බලා ඉන්නවා දේපල, කුඹුරු අයිති කරගන්න. පුදුම මිනිස්සු කියන්නේ අපි ගියහම ඒ වගේ දේවල්මයි කථා කරන්නේ හරි උනන්දුවෙන්.
2කේ ශිෂ්‍යයත්වයෙන් පාස් වෙලා, ගාලු දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වෙලා, ‘වැලන්ෂියා රූපසිංහ’ ශිෂ්‍යයත්වය මට හිමිවුණා, කොළඹ ආනන්ද කොලීජියට ඇතුල් වෙන්න. ඉස් ඉස්සෙල්ලම කොළඹ ආපු දිනය, හොඳ මාමා එක්ක. පරනවාඩිය කිට්ටු කරද්දී මාර චු බරක් අවා. මාමා කිවා අර කොනට ගිහිල්ලා ඉක්මනට කරලා එන්න පුතා කියලා; සුද්දගේ කාලේ නීති තද හින්ද මාමත් බයෙන් කිවුවේ. පරණ ඇට්ල්ස් හෝල් බිල්ඩිම දැන් තියෙන තැනට එහා පැත්තේ එතකොට තිබුනේ තට්ටු දෙකේ බංගලාවක්. එතන මුල්ලේ, කරනකොට, ගෙදර උඩු මහලේ කාමරයක සිට නෝනා කෙනෙක් දත් විලිස්සමින් මා දෙස තරහින් බලා සිටිනු දුටුවා. ඉක්මනට ‘වැඩේ කර’, මාමාට මුකුත් නොකියා ඔහු වෙත ගියා. ඒ, ඉන්පසු, අවුරුදු 85 ක් මා ජීවිතය ගතකල, මා ප්‍රියතම කොළඹ නගරය, එදා මා පිළිගත් හැටියි.
කුළරත්න මහත්තයා මුල් පුටුව හෙබවූ අන්නන්දයේ මා ශිල්ප හැදෑරුවේ ලක්දිව ගුරු පඬිවරුන් සේ සලකන අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමින් වහන්සේ, LH මෙත්තානන්ද, සාගර පලන්සුරිය (එවිට තලල්ලේ ඥනසාර හිමි) ගුරුභවතුන් යටතේයි. ආනන්දයේ ‘බෝසත් ළමා සමාජයේ’ සභාපති දුරන්ධරයට මා පත් කර ගත්තා. සෙසු සාමාජිකයන් අතර ආනන්ද තිස්ස ද අල්විස් (ඇමති/කථානායක), රණපාල බෝධිනාගොඩ (ලේක් හවුස් සභාපති), PL බර්ටි සිල්වා (නියෝජ්‍ය තැපැල්පති), පී වෝල්ටර් සිල්වා (ප්‍රථම සිංහල හමුදාපති), LDH පීරිස් (රාජකීය විදුහල්පති), ඩන්කන් අල්විස් (කොළඹ මහ දිසාපති) ආදීන් සිටියා.
මම අම්මත් එක්ක අපේ වෙළඳ ස්ථානයට වතුර ගන්න අදාළ ලිපිය ගන්න ගියවිට අම්මගේ විවාහ සහතිකය ඉල්ලුවා. ඇයි කියලා ඇසුවාම, ඔප්පුවේ තාත්තාගේ නම තිබෙන නිසා ,ඔහු පිටරට බැවින් කවදාහරි අම්මලා දික්කසාද වුණොත් ඒ අයට ඒක ප්‍රශ්නයක් වෙයිලු . තවම වතුර නැහැ.
අපේ පවුලටම දෙවැනි අම්මා වුන ලොකු අක්කාට දැන් වයස 67යි. බඳින්න බැරිවූ ලොකු අක්කාට හිතවත් අය අතර මුලින්ම ඉන්නේ මමයි. එයාව මම බලා ගන්නා බව එයා දන්නවා මගේ මිසිස් විරුද්ධ උනත්.
තල්දුවේ දිය ඇල්ලේ ඔයේ වෙඩි දාලා මාළු අල්ලන අපේ මාමාට හොඳ දෙයක් වුනා දැනට අවුරුදු 55 කට විතර කලින්. මිනිහා හොඳටම බීලා ඉඳලා තියෙන්නේ. ඔය අයිනේ හොඳ මාළු වලක් තෝරාගෙන, වෙඩිල්ල පත්තු කරලා ඒක කෝට් සාක්කුවට දාගෙන ගිනි පෙට්ටිය විසි කළා මාළු වලට.
පත්තු කරපු ගිනිකුරුවල ගිනි බෙහෙත් පොඩ්ඩක් හරි ඉතුරුවෙලා තියෙනවනම් ඒවා වේලලා ආපහු පාවිච්චි කරනවා අපේ ආච්චි අම්මා.
මම ඒ කලේ අම්මා වැඩට ගියාම ගෙදර උයනවා. එතකොට මගේ වයස අවුරුදු 10යි. එක දවසක් අම්ම මට දීලා ගියා රු.2 න් බඩු ගෙනත් උයන්න කියලා. මම මගේ වයසේම යාලුවෙක්ගේ අක්කා එක්ක කතා කර කර ලිප පත්තු කරන ගමන් පොල්ලෙලි අඟුරට රු.2 තියල ලිප පත්තු කරලා. හාල්වලට වතුර ලිපේ තියල කඩේට යන්න සල්ලි හෙව්වා. අම්ම ආවට පස්සේ මං කීවා සල්ලි නැතිවෙලා කියලා. අම්මා පාන් රාත්තලක් ණයට ගෙනත් අපි 8 දෙනාටම කපල දුන්නා අමුවෙන්ම. ඒ එදා. අද අපි අපි සතුටින් ඉන්නවා.
ජේ.වී.පී කාලේ, 70 ගණන්වල මුල. අපි රෑවෙනකොට ලොකු අම්මලාගේ ගෙදරට යනවා නිදාගන්න අම්මත් සමග, මැදියම් රෑ, සේරමලා තේ බොන්න කතාඋනා , කවුරුත් බයයි නිවසින් පිට තියන කුස්සියට යන්න. අවසානයේ අපේ අම්මා වතුර ලිප තියලා ලොකු අම්මාගේ දුවට කෙතලේට තේ කොළ ටික දාගෙන එන්න කීවිට ඒ අක්කා අත්ලට තේ කුඩුටික අරන් අම්මා කපන හකුරු කැලි ටිකෙන් එකක් අරන් බයේ බයේ කුස්සියට ගිහින් කේතලේ පියන අරිනකොටම අල්ලපු වත්තේ මුර ගේ ටකරම් වහලෙට වේලිච්ච පොල් අත්තක් වැටුනා සරාස් ගාලා. පහලට වැටුනේ වෙඩි වගේ ශබ්දයෙන්. අනේ අර අක්කා හිතුවේ ජේවීපි එකෙන් ඇවිත් අපිට වෙඩි තියනවා තමා කියලා. කම්පනයට, කන්න ගත්තු හකුරු කෑල්ල මුට්ටියට දාලා තේ කුඩු ටික කටේ දමාගෙන ගේ ඇතුලට දුවගෙන ආවා. කතා කරගන්නත් බැහැ නහයෙන් , කටින් තේ කුඩු පෙරාගෙන. මම ගොඩක් චුටීයි , එදා මම ලාම්පු එලියට ඒ අක්කාව දැක්කේ. එයා, කව්රුහරි එලියේ ඉඳන් වෙඩි තියලා කියලයි හිතලා තියෙන්නේ. අදත් අපිට හිනා ඒ සිදුවීමට.
පාසැල් ගිහිං ඇරිලා මම පෙම්වතාත් එක්ක මුහුදු වෙරළට ගිහින් ඉදිද්දී අපේ අයියගේ අතටම අහුවුණා. ඒ ළමයා අයියගේ යාලුවෙක් හින්දා එදා නම් මම අපේ අයියගෙන් ගුටි නොකා බේරුණා. හැබැයි අයියගේ යාලුවා කියන මගේ පෙම්වතා නම් පහුවෙනිදා අයියගෙන් ලොකු බැණුමක් ඇහුවා කියලා එයා මට පස්සේ කිව්වා.අයියා බැනලා තියෙන්නේ මගේ නංගි එක්ක යාලුයි කියාලා එයාට කිව්වෙ නැත්තෙ ඇයි කියලයි. දැන් නම් අයියා මට බණින්නේ නැහැ.මම හැම ඉරිදාටම පෙම්වතා එක්ක මුහුදු වෙරළට යනවා.අයියා අපිව දැක්කත් මුකුත් කියන්නේ නැහැ.
කටුනායක එයාපෝට් එකේදී තාත්තාගේ ඇදුම් බෑගය මාරු වෙලා, පස්සේ භාර දෙනකොට ඇතුලේ තිබුන චීස්, පෙයාස්, චොක්ලට්, මස්කට්, බූන්දි ඔක්කොටම විදලා; රෙදිටිකයි සපත්තු දෙකයි විතරක් තිබුනා.
මට අවුරුදු 14 විතර කාලේදී ඉස්කෝලේ ගිහින් ආපු මට අම්මා කිව්වා ‘මාර්කට් එකට ගිහිල්ලා වම්බටු 500 කුයි අමුමිරිස් 100 කුයි ගෙනෙන්න’ කියලා. මම අම්මාව කේන්ති ගස්සන්න හිතාගෙන ‘මොනවද අම්මේ කිව්වේ බටු 100යි, මිරිස් 500යි නේද?’ කියා. මේක මම පස් හය සැරයක්ම ඇහුවා. අම්මට වස කේන්තියි. මාර්කට් එකට ගිහිල්ලත් වැරදිලා මුදලාලිගෙන් අමුමිරිස් 500 අරගෙන, වම්බටු 100 ඉල්ලනකොට, ‘ළමයා මොකටද හත්මාලුවකටද’ කියලා මුදලාලි අහනකොට තමා මට අවුල තේරුනේ. මම සද්ද නැතුව ‘ඔව්’ කියලා එන්න හදන කොට මුදලාලි කිරන්නෙම නැතුව මල්ලට දැම්මා වමබටු කරල් දෙකක්. ගෙදර අරන් ඇවිල්ලා අම්මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහ ගත්තා විතරක් නොවෙයි පාරකුත් කෑවා.
කොළඹ තියෙන ලොකුම ඉස්කෝලෙක වැඩ කරපු කෙනෙක්, 2001 ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පිරිමි පාසැලක විදුහල්පති කෙනෙක් වෙලා ආවා. විනය කියලා ඉස්කෝලේ කෑවා. කැඩෙටින් කරන, හමුදාවේ වැඩකරන්න බලා හිඳපු ළමයින්ගේ කටේ හුණු කෑලි දමපු මනුස්සයෙක්ව විනය බාර ආචාර්යවරයා ලෙස පත් කළා. ඊට පස්සේ හොඳම ගුරුවරු නිකන් ප්‍රශ්න ඇති කරගෙන ඉස්කෝලෙන් යන තැනට ගෙනාවා. ඉස්සර ලංකාවේ රෑන්ක්ස් ගත්ත මම ඉගෙනගත්ත ඒ ඉස්කෝලේ කාලාම දැම්මා. හරිම දුකයි. ලඟදි ඉස්කෝලෙට ළමයෙක් ගන්න අල්ලස් අරගෙන වැඩ තහනම් උනා කියලා පත්තරෙන් දැක්කා. එත් ඉතින් ඊට පස්සේ අමාත්‍යංශයේ ලොකු තනතුරක් හම්බුවෙලා හොඳට වැඩ ටික කරගෙන යනවාලු. මෙහෙම අය ඉන්නකන් ලංකාවේ ඉස්කෝල ටිකට දෙයියන්ගේ පිහිට තමා.
ඉස්සර අපේ ගෙට අල්ලපු වත්තේ ඇන්ටි කෙනෙකුගේ පැණි දොඩම් ගහේ ගෙඩි ඉදිලා අතු බිමට බරවෙලා තිබුනේ. මේක දුටුවිට නංගියි මමයි ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා අල්ලපු වත්තට පැනල ගෙඩි කඩනවා. මේක දැක්ක ගමන් ඇන්ටි කෑ ගහලා එලෝගෙන එනවා. එතකො ට අපි දුවන්නේ නැතිව හයියෙන් කියනවා ’මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතියි, වැඩිය කඩන නරක ළමයි නොවේ අපි’ කියල, එතකොට ඇන්ටි කියනවා ‘හා එහෙනම් ගෙඩි දෙකක් විතරක් කඩාගෙන යන්න’ කියලා.
මම පොඩි කාලේ අමාරුවෙන් සියල් පෑනක් සල්ලිවලට ගත්තා, හැව්ලොක් පාරේ සිලනි මල් ශාලාව ළඟ තිබ්බ දෙමළ කඩයකින්. තීන්ත දාන්න ගිහින් හැමදාම යුනිෆෝම් එකේ තීන්ත ගාගන්නවා. ඒ දෙමළ කඩෙන් රැට බඩු ගන්න ඇතුලට ගියවිට විහිදුනු සුන්දර, මිහිරි සුවඳ තාම අද වගේ මතකයි. එතන නාරං බික්, කළු ඉරි ලොසින්දර තිබුනා.
මං මතුගම ඩොන් බොස්කෝ එකේ ඉගෙන ගන්න කාලේ, අපි කොළඹ ගියා පාසලේ අධ්‍යාපන චාරිකාවකට. ග්‍රහලෝකාගාරය බලද්දී ආර්ය සිංහල ඇඳුමෙන් ලස්සනට සැරසුණු මහත්මයෙක් තනිවම ප්‍රදර්ශන නරඹමින් යනවා. අපි කොල්ලෝ තුන්දෙනෙක් එකට ගියේ. අපිට හිතුනා මේ මහත්තයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා බලන්න. ඒ කාලේ ඉංග්‍රීසි කථා කරන්න ආසයි බයයි. අපේ ගුරුතුමා කියලා තිබුන කොල්ලනේ බය නැතිව කතාකරපල්ලා, මම හොඳට උගන්නල තියෙන්නේ කියල. ඒත් කලිසම් අඳින ටයි කෝට් දාන අයට අපි බයයි, ‘කඩුවට’ කැපිලාම යයි කියලා. ඒ නිසා අහිංසකයෙක් අල්ල ගත්තා. අපොයි දෙයියනේ එතුමා දක්ෂ ලෙස ඉංග්‍රීසි කතා කළා. අපි යන්තම් ගොත ගහ ගහ කියන කොට එතුමා බොහොම සතුටු වෙලා ඉංග්‍රීසියෙන් කිවා මේ ළමයින්ගේ ඉංග්‍රීසි උච්චාරණය ඉතා හොඳයි. බොහොම හොඳයි එහෙම තමයි බය ඇරෙන්න කතා කරන්න ඕනේ කියලා. අපි ස්තුති කරලා ඉක්මනින් මාරු වුනා.
මම ගමේ පාසලේ හැමදම පළවෙනියා. ඉතින් මේකේ කිසිම තරගයක් නැති නිසා මම ගියා නගරයේ ජනප්‍රිය පාසලකට. ඒ සමඟම මට එහි ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වෙන්න ලැබුනා. පළමු වාර විභාගයෙන් ළමයි 45ක් ගෙන් මම 25 වෙනියා; ලැජ්ජාවේ බැහැ.ගෙදර කට්ටිය බලාගෙන ඉන්නේ මගේ අලුත් වැඩ කොහොමද කියලා බලන්න. මම 25 මාරු කරලා 5 කරා; 2 තියෙන තැන ටිකක් තදේට බ්ලේඩ් එකෙන් පීවා. ඒත් වෙනසක් පේනවා. මම අනිත් පැත්තේ ලිව්වා ‘ඉහත වැරදීමක් මේ ළමයා 25 නොව 5’ කියලා.අපේ ගෙදර ඉන්නෙත් මං ජාතියේම අය, වැඩේ අතේ මාට්ටු. අන්තිමට තාත්තා අම්මාව ඇරියා ඇත්ත නැත්ත දැනගන්න. දැන් මම ලොකු මිනිහෙක්, අපේ අක්කා සමහර දාට මේක මතක් කරලා තාම හිනා වෙනවා.
දවසක් අපි දවස පුරාම ඉස්කෝලේ ක්‍රිකට් ගැහුවා. මහන්සිය වැඩිම වෙලා ගිහින් බිත්තියක් දෑතින්ම අල්ලා ගත්තා, ඇස් පියාගෙන. ටීචර් කෙනෙක් දැකලා බයවෙලා, මාව ළමයි ලවා උස්සලා ගෙනිච්චා ලයිබ්‍රරි එකට. එතනදී පවන් ගහලා, වතුර පොවලා, ගෙදරට කෝල් කලාම තාත්තා ආවා රූං ගාලා ඔෆිස් එකේ සේවිකාවක් එක්ක. මම එපා කියද්දී ඒ අය මාව කොළඹ ඇක්සිඩන්ට් සර්විස් එකට ගියා. එතනින් එක්ස්රේ අරං නිදහස් කළා. ගෙදර ගියාම අම්මාට වැඩියෙන්ම දැන ගන්න ඕන කලේ තාත්තා මොන සේවිකාව එක්කද ආවේ, එයා ඉඳගෙන හිටියේ කාර් එකේ ඉස්සරහද, පස්සේ සිට් එකේද කියලා. ඇය හිටියේ පස්සේ සිට් එකේ කියලා ඇත්ත කිව්වා.
අපි ටෙක්නිකල් කොලේජ් එකේ ඉන්දැද්දී විනෝද චාරිකාවක් සුදානම් කරන්න කතා උනා. ගුරුවරු එකඟතාවය පලකලත් තරයේ කියා සිටියේ මත්පැන් පානය, ගෙනයාම සහ මගදී මිලදී ගැනීම නොකළයුතු බවයි. අපිත් ‘හා’ කියල ගමන පිටත් උනා. නිට්ටඹුව හරියේදී අපේ නඩේ කොල්ලෙක් හොද විස්කි බෝතලයක් අරන් සර් ගාවට ගිහිල්ල ‘සර් මේන් එකෙක් බෝතලයක් ගෙනල්ලනේ, මොකද කරන්නේ කියලා’. ‘හා හා වැඩිය වෙරි වෙන්නේ නැති වෙන්න බීපල්ලා’ කිව්වා.දැන් කොල්ලන්ටත් ටිකක් වෙරි. මෙන්න එකෙක් ආයිත් බෝතලයක් අරන් සර් ගාවට යනවා ‘සර් මේ තව එකක් තියනවා සර්ලට’ කියල. ‘හා හා තියල පලයන්’ කිව්වා. මෙන්න දඹුල්ල පහුවෙනකොට සර් අහනවා ‘පුතේ ගෙනාපුවා ඉවරද’? කියලා.
කටුබැද්දේ NDT අවසාන වසර කරන කාලේ රත්මලානේ ස්ටේෂම කිට්ටුව බෝඩිමක නැවතිලා හිටියේ. පාඩම් කරලා ඉවර වෙලා, බොන එකේ සුවයක් තියේ දැයි දැන ගන්න, දවසේ වෙහෙස සුවසේ නිවා ගන්න, ඉඳලා, හිටලා අපිත් හීනියට අඩියක් ගහනවා. උම්බලකඩ කෑල්ලක්, රතු ලුණු ටිකක් ලියලා, ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා, දෙහි ඇඹුල් ටිකකුත් කලවම් කරගෙන එහෙම. කාටවත් කරදරයක් නම් නැහැ. වෙරි වැඩි වුනහම යහළුවෙක් දෙන්නෙක් ප්‍රියා සුරියසේන, පුන්සිරි සොයිසා, CT ෆර්නැන්ඩො, මිල්ටන් මල්ලවාරච්චිගේ වැනි සින්දුවක් ලයාන්විතව කියනවා ගිටාර් එක වයමින්. සුළඟත් එක්ක සින්දු හඬ ඈත දුරට පාවී යන්නේ නිසල රැයට අමුතු, චමත්කාරජනක වගේම පාළු, දුක්මුසු වගේ හැඟීමක් මුසු කරමින්. දෝංකාර දෙන ඒ චමත්කාර සංගීතයෙන් අහල ගෙවල් වල කි දෙනෙක් සතුටට/අමන්දානනදයට පත් වෙන්න ඇද්ද?
අපි කන්තලේ ඉන්න කාලේ තාත්තා ලොරියක් එලෙව්වා, එත් හැමදාම වැඩ නැහැ. මම උසස් පෙළ කෙරුවේ උදේට ඉස්කෝලේ ගිහිල්ලා හැන්දෑවට ටව්මේ හෝටලේක වලන් පිගන් හෝදන රස්සාවක් කරන ගමන්. ගොඩක් දවස් ඉස්කෝලේ ගියේ පයින් බස් එකට සල්ලි නැතුව. වැඩ ඇරිලා සමහර දවසට km 10 ඇවිදලා තියෙනවා, අලි ඉන්න පාරේ. තාත්තායි අම්මායි දන්නේ නැහැ මම පයින් ගාටන බව. අද මම ශීත කාමරේක ඉංග්‍රීසියෙන් කථා කර සෙක්‍රටරිස්ලාට ලියුම් ඩික්ටෙට් කරනවා. හවසට කාමරේ වැකුම් කරන්න එන වයසක මිනිහා මට කථා කරන්නේ සර් කියලා. මිනිහා කොළඹ සෙන්ට් තෝමස් කොලිජියේලු ඉගනගෙන තියෙන්නේ.
මම ගියේ කොළඹ 7 උසස්ම පිරිමි විද්‍යාලයකට. හැම සඳුදාම උදේ වැඩ පටන් ගන්නේ ස්කූල් ඇසෙම්බ්ලි එකෙන්. මුළු ඉස්කෝලෙම සහභාගී වෙනවා ඒකට. ‘දවසේ සිතුවිලි කතාව’ කරන්නේ ටීචර් කෙනෙක්, ඉංග්‍රීසියෙන්. ඉස්කෝලේ ගොඩක්ම හිටියේ ටයි කෝට් දාන සර්ලා සහ ජැන්දියට අදින මිස්ලා. ගුණපාල කියලා සිංහල උගන්වන සර් කෙනෙක් හිටියා. බස් එකෙන් එන්නේ. එයා ඇන්දේ ආර්ය සිංහල ඇඳුම. හොඳට විට එහෙම කාලා දත් රතු වෙලා හිටියේ. ඒ සර්ට ඉස්කෝලේ වෙන යාලු සර්ලා නොහිටපු ගානයි. ඉන්ටර්වල් එකට ස්ටාෆ් රූම් එකේ කොනකට වෙලා ඉංගිසි පත්තරයක් බල බල ඔහේ ඉන්නවා. ළමයි, අනෙක් ගුරුවරු ඔය සර්ව අල්ලාගෙන නිතරම සරදම් පාඨ කතා කරනවා – ඉංග්‍රීසි නොදන්නා සර් බොරුවට ඉංග්‍රීසි පත්තරයකින් මුහුණ වහගෙන ඉන්නවා කියලාත් කියනවා. ඔන්න එදා එයාගේ නම කියවුනා ‘දවසේ සිතුවිලි කතාව’ට. කන් පැලෙන්න අත් පුඩි පාරක් ආවා. ‘උසස් පවුල්වල’ උඩඟු ළමයින් එදා අත්පුඩි ගැහුවේ සරදමට, මොකද මෙතෙක් කිසි ගුරුවරයෙක් සිංහලෙන් ‘දවසේ සිතුවිලි කතාව’ කරලා නැහැ. මෙතුමා සිංහලෙන් මුල් ගුරුතුමාගෙන් අවසර ඉල්ලනකොට මුළු සභාවම මහා හයියෙන් හිනා උනා, සෙසු ගුරු මණ්ඩලයත් එක්ක, මුල් ගුරුතුමාටත් හිනා ගියා. ගුණපාල සර් අද නම් හොඳටම පල් වෙනවා කියලා මට දුකක් ඇති උනා. ‘අනේ සර් ගිහිල්ලා ඉඳගන්න’ කියලා පුංචි සිතින් මටම කියා ගත්තා. මෙන්න විනාඩි 2ක් විතර ගියාට පස්සේ මේ මනුස්සයා ඉංග්‍රීසියෙන් දේශනය කරන්න පටන් ගත්තා; ඉතා චතුර සහ විචක්ෂණ ලෙස – තල් අත්තට බොරළු වැටෙනවා වගේ තඩි, විශාල, ලස්සණ, ඉංග්‍රීසී වාග් මාළාව හරියට ගලා යන නදියක් වගේ. මම හිතන්නේ ගොඩාක් ගුරුවරුන්ටත් තේරුනේ නැහැ, ඒ තරමට අධ්‍යාත්මික බවින් උසස්, ඉහලම මට්ටමේ ඉංග්‍රීසි වලින් කරන ලද කථාව. එයාගේ දේශනය තිබුනේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම පිළිබඳවයි. මට එහා පැත්තේ හිටපු උගත්, මිතුරා මට හොරෙන් මිමිනුවා ‘මේ මනුස්සයා කථා කරන්නේ නියම කේම්බ්‍රිජ් ඉංග්ලිෂ්’ කියලා. හරියට පැයකින් කතාව ඉවරවුනා. මීයට නිශ්ශබ්ධව තිබුණු සභාවේ හැමෝම විනාඩි 2ක් පුරා අත්පුඩි ගැහුවේ වාඩිවී සිටී අසුන් වලින් නැගිට, හිටගෙන. එදායින් පස්සේ කිසි කෙනෙක් (ගුරුවරු ඇතුළු) ගුණපාල සර්ට හිනාවෙන්න ගියේ නැහැ.
වැස්ස දවසට පාසල් යන්න හරිම කම්මැලියි. උදෙන්ම අම්මාට මොකක් හරි නැති ලෙඩක් කියලා දවල් වෙනකන් නිදා ගත්ත කාලය මතක් වෙනවා. දවල්ට වත්ත පහල පොකුණේ ලස්සන ලස්සණ මල් පිපිලා; ලස්සණ පාසි උඩ පාවේනවා. ඒවා බලන්න යනවා වැස්සේම. කලින් හිටපු ඉස්ගෙඩියෝ දැන්ගෙම්බෝ වෙලා කොහේදෝ හැංගිලා ඉඳන් බක බක ගානවා.
අම්මා ,මාත් එක්ක ලඟින් වාඩිවෙලා ඉන්නවා, අළුත් ඉස්කෝලේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න. මම අම්මට කියනවා ‘අම්මා ඔයා තමයි මේ ලෝකේ දෙවෙනියටම ලස්සනම කෙනා’. ‘කවුද එතකොට ලස්සනම කෙනා’ කියා මගෙන් අම්මා අසනවා. ‘ඒත් ඔයාම තමයි,හැබැයි ඒ ඔයා හිනාවෙනකොට’ කියා මම කියනවා.
ඉස්කෝලේ යන කාලේ එක කකුලක තුවාලයක් නිසා එකකට සෙරෙප්පුවකුයි අනිකට සපත්තුවකුයි දාගෙන යනවා. උප විදුහල්පති වරයෙක් හිටියා බොරුවට වැරදි හොයන. දවසක් ඩිටෙන්ෂන් කියලා ඉස්කෝලෙන් පස්සේ මාව තියා ගත්තා. හවස අම්මා තාත්තාට විස්තරේ කීවාම තාත්තා කිවා ‘මෝඩ මිනිහෙක් කියලා’. මට නේද හරි සැටිස්. මොකද ලේසියෙන් තාත්තා මගේ පැත්ත ගන්නේ නැහැ.
අපේ ගෙදර තිබුනේ ගාල්ල ඇල්පිටිය ප්‍රධාන පාර අයිනේම; අපිට පොඩි කඩයකුත් තිබුනා. ගෙදර ඉස්සරහ කෑල්ලේ දවල්ට ඉන්නේ ආච්චි විතරයි. මයිනා ඉන්නේ කඩේ කෑල්ලේ එල්ලපු කුඩුවේ. කඩේ ඇරලා ආච්චි කුස්සියේ වැඩ කරන වෙලාවට කඩේට කවුරු හරි අවොත්, මයිනා කෑ ගහනවා ‘අම්මේ කඩේට ආවෝ’ කියලා. දවසක් මේ මයිනාව මාතර කෙනෙක් (ඒ ගමේ නෑ ගෙදරක ආපු ගමන් ) හොරෙන් අරන් ගිහින්. දවස් තුනකට පස්සේ මයිනා ඇවිත් ‘අම්මේ මං ආවෝ’ කිව්වා. ආච්චි හරි සතුටෙන් සිටියේ. කාලයක් ගිහින් මයිනා මැරුණහම මේ ආච්චි ඇඩුවේ තමන්ගේ දරුවෙක් මලා වගේ. පාංශුකූලෙත් දුන්නා. තුන් මාසේ දානෙත් දුන්නා.
මට එතකොට වයස 19යි. කොලඹ උසස් අධයාපනය ලබනවා. සති අන්තයේ ගෙදර යනවා නුවර, සමහර දිනවලට කොලඹ රැකියාව කරන එක් කුස උපන් අයියත් සමග එකට යනවා. එදත් එවැනි දවසක්. නමුත් අප දෙදෙනාට ලැබුනේ දෙපලක ආසන දෙකක්. බසය කොළඹ – නුවර නගරාන්තයක්. මා ලග වාඩිවී හිටියා කාගේ හරි පුතෙක්, කඩවතට එනකොටම මා කකුලට තට්ටු දාන්න අරං. ටිකක් බලපුවම වැරදීමක් නොවන බව වැටහුනා. මා අතක් ගෙන ඔහුගේ කකුල උඩින් තියා කතාකරන්න පටන් ගත්තා. නුවරට එනවිට සියළුම පවුලේ තොරතුරු ගෙදර සහ ජංගම දුරකථන අංක සියල්ල මා ලග (කඩුගන්නාවෙන් බහින්න ඕන මිනිහා නුවරට එනකම් ආවා). නුවර රේල් ගේට්ටුව පසුවෙද්දී ඉදිරි අසුනේ ඉන්න අයියාව මා පෙන්නා කීවා ‘ඒ ඉන්නේ මගේ අයියා, මං දුන් ඔය දුරකථන අංකයත් එයාගේ. මින් පස්සේ බස් එකේදී ගැහැනු ළමයින්ගේ කකුල් අතගාන්න එපා, අම්මාට කියල ඉක්මනට කසාදයක් බැදගන්න. ඔයාට බැරිනම් දුරකතනයෙන් මම ඔයාගේ අම්මට කියන්නම්’ කියා. ඒ ළමයා දහස් වරක් සමාව ඉල්ලා බැස ගියා.
10 වසරේ ඉන්න කොට අවසානේ වාර විභාගේ ප්‍රතිපල දුන්නේ පාසලේ නිවාඩු දෙන දවසේ. රිපෝට් එකේ සිංහලයි බුද්ධාගමයි සමාජ අධ්‍යනයයි හැරෙන්න අනිත් ඔක්කොම විෂයන් වලට ලකුණු 35 ට අඩුයි. අම්මා තාත්තාට මීට පෙර කියල තිබුණා ‘දැන් කොල්ලගේ නැටිල්ල වැඩියි’ කියලා. තාත්තා අනතුරු අඟවල තිබුනේ. අම්මා කිව්වා ලකුණු අඩුවෙන් අරගෙන එහෙම ගෙදර එන්න එපා කියලා. දැන් මොකද කරන්නේ. ගත්තා මකනේ මැකුවා ඉලක්කන් ටිකම. 65 යි 80 අතර ලකුණු දා ගත්තා හිටියේ 26 වෙනියා වෙලා. ඒකත් 6 වෙනියා කරගත්තා. ගියා ගෙදර. අම්මා රිපෝට් එක ඉල්ලුවා, මමත් පැනල දුන්නා. දෙපාරක් අම්මා ඔලුව හෙල්ලුවා. හිනා වුනා. තාත්තාට හොරෙන් කෝල් කලා. මෑන් දුවගෙන ආවා කඟවේනා වගේ, ආවේ, ‘වංක වැඩ’ කියලා ගුණසේන එකෙන් ගහපු පුංචි පොතකුත් අර ගෙන. දෙන්නම මට ගැහුවේ නැහැ. ඊළඟ ටර්ම් එකේ ඉඳලා මාව හොස්ටල් එකේ බෝඩ් කළා. මේගොල්ල මට කියන්නේ නැතුව ප්‍රින්සිපලුත් හම්බ වෙලා. තාත්තා තදයා හින්දා ප්‍රින්සිපල් මට කථා කලේ ‘පුතා’ කියලා. කිසිම ප්‍රශ්නයක් ඇති උනේ නැහැ.
මගේ ලකුණු මාරු වෙලා රිපෝට් එකට වැටිලා තියෙන්නේ කියලා ගෙදර ඇවිල්ල කිවුවා, 39 වෙනියා හොඳ නැති නිසා.
‘අනේ,අනේ, මගේ ලකුණු හොරා ගත්තා නේද’ නංගි මගෙන් අහනවා. නංගිගේ සාමාන්‍යය 35යි, මගේ 75යි.
ඒ 2001 නොවැම්බර්, මම A ‘L කරලා රිසල්ට්ස් බලාපොරොත්තුව ඉන්නවා. කෝච්චියේ පෙට්ටිය ඇතුලේ මෑන් කෙනෙක් හීනියට වක්කර වක්කර බොනවා. මිනිහා පේරාදෙණියෙන් නැග්ගේ (අපි නැග්ගේ කොටුවෙන්). හැට්න් වලට එනකොට මෑන්ට හොඳ ගණන්. ගල් බෝතල් ½ කට නීට් පිටම මිනිහා වැඩේ දීලා. හැබැයි වෙරි නැති පුසා වගේ ඉන්නවා. වඩේ එහෙමත් අරගන කෑවා. තවත් ගල් බෝතl ½ක් හොරෙන් ගත්තා බෑග් එකෙන්. මගේ පොඩි නංගි එහෙම හිටපු හින්දා තාත්තා හොඳින් කිවුවා වෙන පෙට්ටියකට යන්න කියලා. මිනිහා ෆූට් බෝඩ් එක ළඟ ස්ටේෂන් 3-4 විතර පහුවෙනකම් හිටගෙන ගිහිල්ලා හපුතලෙන් බැහැලා ගියා සිගරේට් එකක් දල්වා ගෙන. අපි බයේ හිටියේ යෝදයා දුම්රියෙන් වැටිලා මැරෙයිදා කියලා. එතකොට රෑ 6ට විතර ඇති. තාත්තාව දැක්කහම ප්ලැට්ෆෝම් එකේ ඉඳං වේව් කළා. තනිකඩ රජයේ සේවකයෙක් වෙන්න ඕනේ කියලා අම්මා කිව්වා. මුද්දක්වත් තිබ්බේ නැහැ අතේ. එතකොට අවුරුදු 50ක් විතර ඇති. දැන් ඒ අන්කල් කොහි ඇතිද?
දවසක් යාළුවෝ එක්ක එකතු වෙලා පේර කඩන්න ගියා පාසලට යාබද වත්තක. ආපසු එද්දී ගේට්ටුවෙන් ඇතුලු වෙනකොට තරු පෙනුනා. විවේක කාලය අවසන් වෙලා නිසා. වතුර බොන්න ගිය විදිහට පන්තියට ඇතුළු වුණා. එහෙත් අපි කාගෙවත් පොත් බෑග් නැහැ පන්තියේ. අපි ළමයෙක්ගෙන් ඇහුව්වා කෝ අපේ බෑග් කියලා? එයා කිවුවා උප විදුහල්පති අරගෙන ගියා කියලා. කට්ටියටම ඔෆිස් එකට එන්න කිවුවාලු බෑග් ගන්න. කව්රුත් බයයි ඔෆිස් එකට යන්න. අපිව දැකලා උප විදුහල්පති ‘ආ ළමයි මොකද මේ වෙලාවේ? කට්ටියම ඔෆිස් එක ළග’? අපේ බය ටිකක් අඩු වුණා සර් හොදින් කතා කළ නිසා. ‘සර් අපේ බෑග් ගන්න’. ‘මොන බෑග්ද ළමයි’? අපි වතුර බොන්න ගිය විදිහට සර්ට කිව්වා, එනකොට බෑග් නැහැ කියලා. සරුත් අපිත් එක්ක ඇවිල්ලා පන්තියට ‘කෝ මේ ළමයින්ගේ බෑග්’ කියලා ඇහුවා. ඔෆිස් එකට යන්න කියපු ගැහැනු ළමයා අපේ බෑග් පන්තියේ කබඩ් එකට දාලා. එදා ඒ ගැහැනු ළමයා ගුටි කෑවා හොදට. පස්සේ දන්නේ අපිව බය කරන්න විහිලුවට කරපු දෙයක් කියලා.එයා හිතුවේ නැතිලු අපි ඔෆිස් එකට යයි කියලා. අපිත් ගියා නෙමෙයි යැවුනා බයට.
මතු සම්බන්ධයි ……