අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (13කොටස)
Posted on October 24th, 2025

චානක බණ්ඩාරගේ

ඔන්න පහුදිය දවසක මම ගියා දේශනයක් අහන්න. මහා තර්ක විතර්ක ගොඩක්. මිනිස්සුන්ට ලංකාවේ ඕනෑම  තැනක ජීවත් වෙන්න පුලුවන්ලූ. හැබැයි, එතකොට උතුරේ පරම්පරා ගානක් හිටපු සිංහලයෝ උතුරට ආපසු යන්නේ නැද්ද කියලා ඇහුවහම හ්ම් නැහැ. ලබන සතියේ තවක් රැස්වීමක්‌.  බලමු එදාට මොකක්ද මේ අය  කියන්නේ කියා.

අවම තරමින් 25% කට පමණ වූ භුමි ප්‍රදේශයක්  මේ රටේ මහ ජාතිය වන ජන කොටසට එහි ඉඩමක් මිලදී ගෙන, නිවෙස් තනා තම පවුල් සමඟ ජීවත්වීමට නොහැකි නම්, එය ඔවුන්ට සිදු වන මහඟු අසාධාරණයකි.

දෙසැම්බර් 12, 13 සහ 14 යන දිනවල ‘ශ්‍රී ලාංකික දිනය’ නමින් වැඩසටහනක් කොළඹ කොළඹ මහ නගර සභා පිටිය හා විහාර මහා දේවී උද්‍යානය පරිශ්‍රයේදී ක්‍රියාත්මක කිරීමට රජය සියළු කටයුතු සුදානම් කරමින් පවතී. මෙයට ශ්‍රී’ ලාංකික දිනය’ වශයෙන් නම් කිරීමට ඇති හේතුව කිම? අප දන්නා පරිදි නම් ශ්‍රී ලංකා දිනය යනු අපි සෑම වසරකම පෙබරවාරි 4 වෙනිදාට සමරණ නිදහස් දිනයයි. ඒ දිනයේත් අගය අඩු කිරීමක්ද මේ?

මෙය සියළුම ජාතීන් හා ආගම් නියෝජනය වන අයුරින් වන මහා සංස්කෘතික උළෙලක් බව රජය පවසයි. අප දන්නා මහා සංස්කෘතික උළෙල නම් අප්‍රේල් මස පැවැත්වෙන සිංහල සහ හින්දු අළුත් අවුරුද්දයි. රටේ ජනතාවගෙන් 90%ට පමණ එය අදාලයි. එම දින ආශ්‍රිතව මේ උත්සවය පැවැත්වුවා නම් වචනයේ පරිසමාප්තයෙන්ම එය මහා සංස්කෘතික උත්සවයක් වේ. අප්‍රේල් මාසයේ දිනවල එය පැවැත්වීම පිළිබඳව අපේ මුස්ලිම්, බර්ගර් සහ ආදී වාසි සහෘදයන් කිසිසේත් විරුද්ධ නොවී, එයට ඉමහත් ආශාවෙන් එක් වෙනවාට කිසි සැකයක් නැත.

කොළඹ මහ නගර සභාව විසින් කළ යුතු කාර්යයන් අපමණයි – අප මෙම ලිපි පෙලෙන් ඒවා දක්වා තිබේ. ඔවුන්ගේ උපරිම අවධානය මේ මංගල්‍යය වෙනුවෙන් දැන් කැප කිරීම නිසා කළ යුතු අත්‍යාවශ්‍ය කාර්යයන් අඩාල නොවේ යයි අප උදක්ම පතමු.

රුපියල් කෝටි කීයක් රජය මෙම උළෙල වෙනුවෙන් වියදම් කරනවාද?

ශ්‍රී ලංකා දිනය නම් එය මුළු ශ්‍රී ලංකාවටම අදාළ විය යුතුයි. 

නමුත්, කොළඹ පමණලූ මෙම සංදර්ශනය පැවැත්වෙන්නේ. එතකොට සෙසු පළාත්වල අය? බකං නිලාගෙන ඉන්න වෙයි.

අනික දින 3ක් තිස්සේ නම් පැවැත්වෙන්නේ ‘දිනය’ වෙන්නේ කොහොමද?

රජයක් විසින් මිනිසුන් කිසිම ප්‍රදේශයක බලෙන් හෝ අනුග්‍රහයදී සාමුහිකව පදිංචි කල යුතු නැත.

උතුරේ හෝ නැගෙනහිර සිංහල ජනාවාස රජය මැදිහත්වී ඉදි කිරීම අවශ්‍ය නැත. නමුත්, තම කැමැත්තෙන් කිසියම් පලාතක ජීවත්වීමට යන අය වැලැක්වීමත් වැරදියි, විශේෂයෙන්ම වාසය කිරීමට සුදුසු ඉඩම් ඇති ප්‍රදේශ සොයා.

ප්‍රභාකරන්ගෙන්  පහර කෑ, යුද්ධයෙන් පසු, 2010දී, උතුරේ අවතැන් වූ, යාපනයේ උපන්, දෙමළ කතා කරන, ආපසු උතුරට යාමට තැත් කල සිංහලයන්ට, එවකට වූ රජය මඟින් ඔවුන්ට උතුරේ  නැවත පදිංචි වීම පිණිස නිසි පහසුකම් දීම කෙසේ වෙතත් කලේ කෙසේ හෝ ඔවුන් උතුරෙ නැවත පදිංචි වීම වැළක්වීමයි.

ඒ අයගේ පරම්පරා ගණනාවක්  කලින් උතුරේ පදිංචිව සිටි, දෙමළ කථා කරන සිංහළ පවුල්ය. මෙයින් පවුල් 150ක් පමණ නියෝජනය කරන පිරිසක්, නැවත උතුරේ පදිංචි වීම සඳහා ඉඩම් ඉල්ලා 2010දී මාස ගණනාවක් යාපනය (පරණ) දුම්රිය ස්ථානයේ කඳවුරු බැඳ ගෙන සිටියහ. මන්ද, කලින් ඔවුන් සිටි යාපනයේ ඉඩම් දැන් වෙනත් දෙමළ අය විසින් අල්ලාගෙන සිටින නිසාය.

කිසිම උදවු උපකාරයක් නොකළ එවක වූ රජය ඔවුන් ආපසු දකුණට යා යුතුයයි කියා සිටී අතර, ඒ සඳහා ශ්‍රී ලංගම බස් රජය විසින් නොමිළේ  ලබා දුනි. එක් සිංහල පොලිස් ASP වරයෙක් ඔවුන්ට තර්ජනය කළා ආපසු දකුණට නොගියහොත් ඔවුන්ව අත් අඩංගුවට ගන්න්නා බවට.  ඒ මිනිසුන් බොහෝ දෙනෙක් ‘පරාජිතවී’ නැවත දකුණට  ගියහ.  

උතුරේම නතරවූ ‘දැඩි මතධාරී’ සිංහලයෝ කිහිප දෙනෙක් එක්වන්ව, යාපනයට කිමි 7 පමණ පහලින් වූ නාවට්කුලී සිංහල ගම්මානය (පවුල් 59) ‘බලෙන්ම’ මෙන් බිහි කරගත්හ.   ඒ 2010 දීය. කේ සකුන්තලා ඒ අය අතර විය.

මේ ගම්මානය කිසිසේත් එවකට සිටි රජය මඟින් ඇති කල එකක් නොවේ.  

උතුරේ නව ගම්මානයේ නතර වූ මේ අය අද ඉතා දුකසේ ජිවත් වෙත්; සමහරුන්ට තවම ඇත්තේ ටකරං මඩුය. එසේ නැත්නම් බාගෙට බිත්ති බැන්ද ගෙවල්ය. රැකියාවක් වත් හරියට නොමැත.

නැවත උතුරට එන්න බලාගෙන දකුණට වී සිටින අය විශාල ගණනක් සිටී.

යාපනයට සැතප්‍ම 7 දකුණින් පිහිටි එම ගමේ සහ එම පන්සලේ යාපනයට ශ්‍රී ලංකාවේ දකුනෙන් යන අයට/සිංහල වන්දනා නඩ වලට ලැගුම් ගන්න පහසුම්කම් තිබේ. එයටත් දැන් චාවකච්චේරිය ප්‍රාදේශීය සභාව තහංචි දමා ඇත.

ඔවුනට අවශ්‍ය දිනපතා දකුණෙන් උතුර බලන්න යන බස් නැවත්වීම?

මේ දේවලින් ජය ගන්නේ බෙදුම්වාදීන්.

මේ අසාධාරණයට ලක් වූ අයට ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මේ ප්‍රශ්ණය යහපත් ලෙස නිරාකරණය වේවා!

යාපනයේ සිංහල මහා විද්‍යාලය

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ පසු ප්‍රභාකරන් විසින් මුළුමනින්ම විනාශ කරන ලද යාපනයේ සිංහල මහා විද්‍යාලය (ආරම්භය 1937) නැවත විවෘත කරන බවට පොරොන්දු විය.

යාපනයේ මහ රෝහළට  යාබදව ඒ හිස් ඉඩම තවම තිබේ.  

දැන්, මේ රජයට එය කිරීමට කොන්දක් තිබේද?

1983 වසන විට 2,000ට අධික ශිෂ්‍යයන් ගණනක් අධ්‍යාපනය ලැබූ මේ විදුහලේ තිබු රසායනාගාර පහසුකම් යාපනයේ වෙනත් කිසිම පාසැලක තිබුනේ නැතිලු. සිරිමා බණ්ඩාරනායක රජයේ හිටපු ඇමතිවරු වන මෛත්‍රිපාල සේනානායක, KB රත්නායක මහතුන් මේ පාසලේ දීප්තිමත් ආදී ශිෂ්‍යයන් වේ.

රජය සතු මෙම විද්‍යාලය සතු ඉඩමේ කොටසක් බලහත්කාරයෙන් අසල්වැසි දෙමළ  ජනයා විසින් අල්ලාගෙන ඇත. ඉදිරියේදී තවදුරටත් මෙය සිදු විය හැක. තාප්පයක් හෝ කටු කම්බි වැටක් ගසා මධ්‍යම රජය සතු මෙම වටිනා ඉඩම ස්ථාපිත කර ගත යුතුයි.

යාපනයේ සිංහළ මහා විද්‍යාලය යළි පිහිටවීමට මේ රජයට හැකිවේවා යයි අප උදක්ම පතමු!

නැත්නම්, නුදුරු අනාගතයේදී මේවා නැත්තටම නැති වෙනු ඇත (පාසල් නොමැති කම උතුරේ කලින් සිටි සිංහළ ජනයා නැවත යාපනය සහ අවට ප්‍රදේශවලට නොඒමට ප්‍රධාන හේතුවකි). 

ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභා වලට දීම

ප්‍රභාකරන් විසින් 1970 අග සහ 1980 මුල උතුරේ සිංහලයන් පලවා හරින විට එහි අඩු තරමින් සිංහල ස්ථිර පදිංචිකරුවෝ 50,000 තරමවත් සිටි බවට එහි එකල ජිවත් වූ වැසියෝ පවසත්. යාපනයේ පමණක් සිංහලයෝ 33,000 ස්ථිර පදිංචි කරුවන් ලෙස සිටි බවට කියති.

නමුත්, අද දකුණු වවුනියාව සහ  වවුනියාව දිස්ත්‍රික්කයේ නැගෙනහිරට වෙන්නට ඇති බෝගස්වැව, වෙහෙරතැන්න,  නන්දිමිත්‍රගම, නාමල්ගම, වැලිඔය, හැලඹවැව, ජනකපුර වැනි ප්‍රදේශ අත්හල පසු, වවුනියාවෙන් ඔබ්බට, උතුරු  පළාතේ ස්ථිරව ජිවත්වන මුළු සිංහලය ගහණය 500ක් වත් නැති තරම්ය.

ළඟදීම එන පළාත් සභා චන්දයෙන් උතුරේ දෙමළ පළාත් සභාවක් පිහිටුවීමෙන් අනතුරුව උතුරේ ඉඩම් අයිතිය/පාලනය සහ කළමනාකරණය මුළුමනින්ම උතුරු පළාත් සභාවට ජාජබ රජය දුන හොත් (විය හැකියි), එම උතුරේ මහා ඇමතිට අවශ්‍ය නම් උතුරේ ඉඩම් තමිල්නාඩුවේ  අයට වුවත් දිය හැකි වේවි? (මධ්‍යම රජයටද ඉඩම් ප්‍රමාණයක් ඉතුරුවෙන බව සැබවි). එය එවැනි බලයකි.

සිංහලයන්ට කෙසේ වෙතත් වයිකෝ වැන්නන්ට  උතුරට පැමිණ උතුරු පළාත් සභාවට යටතට අයත් වන ඉඩම්වල ගොවිපල් පටන් ගැනීමට හැකිවේවි?

දැනට උතුරේ ඉඩම් හිමි, වවුනියාවෙන් ඉහල වාසය කරන සිංහලයන් ඉතාම අතලොස්සගේ  (යාපනයේ නාවට්කුලි, මන්නාරමේ මඩුපාර, සිලාවතුර, කෝකිලායි ආදී) උතුරේ ඇති ඉඩම් අයිතීන් අවශ්‍ය නම් අවලංගු කිරීමට උතුරේ මහා ඇමතිට හැකිවේවි? කොටින්ම සිංහලයන්ට උතුරේ වවුනියාවෙන් ඔබ්බට ඇති උතුරේ ඉඩම්වලට පා තැබීම පවා තහනම් කිරීමට උතුරේ මහා ඇමතිට අවශ්‍ය නම් හැකි වේවි; විශේෂයෙන්ම පොලිස් බලතලද මහා ඇමති යටතට පත්වන නිසා?

මෙවිට නාගදීපය, නාග විහාරය වන්දනා මාන කිරීමට හෝ වෙනත් කටයුත්තකට දකුණේ සිට උතුරට යන සිංහලයාට බහුතර ඉඩම් පළාත් සභාවට අයත්වන නිසා උතුරට ඇතුල්වීමට පෙර මහා ඇමතිගෙන් හෝ මහා ඇමතිට යටත් පොලිස් නිලධාරියාගෙන් අවසර ගත යුතුය කියා නීතියක් පැනවුවහොත්? පොලිස් බලතල දුන් පසු උතුරේ සිංහල පොලිස් නිලධාරින් නැතුවම යා හැකියි?

අද වවුනියාවෙන් ඔබ්බට A9 මාර්ගයේ ඇති දැවැන්ත දැන්වීම් පුවරුවල සිංහල වචනයක්වත් සඳහන් නොවේ. යාපනයට කොළඹ සිට දුම්රිය පැමිණි බව ශබ්ධ විකාශනයෙන් දෙමලෙන් සහ ඉංග්‍රීසියෙන් පමණක් දැනුම් දුන් බව ලියුම්කරු සිය අත්දැකීමෙන් දනී; නමුත් මාතර හෝ පාදුක්ක නගර වල භාෂා 3න්ම ‘බිල් බෝඩ්’ දක්නට ලැබේ; ඒ දුම්රිය ස්ථානවල භාෂා 3න්ම නිවේදන ශබ්ධ විකාශනයෙන් නිකුත් කෙරේ.

සංහිඳීයාව දෙපාර්ශ්වයටම ක්‍රියාත්මක විය යුතුයි.

යුද්ධය අවසන් වී සෑම වසරකම වාගේ සියළු රජයන් හැකි තරම් යුධ හමුදා කඳවුරු වසා දැමු බව හෝ කුඩා කල බව අප සැවොම දනිත්. මේ ක්‍රියාවන් ඉදිරියටද තවදුරටත් සිදුවීමට බොහෝ ඉඩ ඇත.

මන්නාරම මඩුපාර සිංහළ මහා විද්‍යාලය 

1985දී  සිසුන් 330ක් පමණ අධ්‍යාපනය ලැබූ මන්නාරම මඩු පාරේ සිංහළ මහා විද්‍යාලය උතුරේ මහ ඇමති විග්නේස්වරන් විසින් 2016දී වසා දමනු ලැබුවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් එය නැවත 2022දී විවෘත කරන ලදී.  අද එහි ඇත්තේ සිංහල ශිෂ්‍යයන් අතලොස්සකි. ඔවුන් සිංහල බසින් අධ්‍යාපනය හදාරති.

එහි වැඩ කරන ගුරුවරියන් 5 දෙනා ස්වේච්චාවෙන් දකුණේ සිට පැමිණ සේවය කරති. ඔවුනට රජයේ පත්වීම්/පඩි නැත.

ඒ අය නඩත්තු කරන්නේ මේ ලියුම්කරුද සම්බන්ධ උතුරේ සිංහලයන් වෙනුවෙන් වැඩ කරන සංවිධාන මඟිනි.  

මේ පාසලේ තම දරුවන්ට සිංහලෙන් ඉගැන්වීම සඳහා දකුණේන් දෙමව්පියන් මන්නාරමට පැමිණියත් ඔවුන් බොහෝ දෙනෙකුට තම දරුවන් සමඟ ආපසු දකුණට යාමට සිදු විය. ඒ, උතුරු පළාතේ රජයේ ආයතන විසින් ඔවුන්ට දැක්වූ කුඩම්මාගේ සැලකිළියි.

මේ අයට අස්වැසුම ලබා නොදීමට වගකිවයුතු රජයේ නිලධාරින් වග බලා ගත්හ.

රැකියාවක් සොයා ගන්නා තුරු අස්වැසුම ලබා දෙන මෙන් කොතරම් ඉල්ලීම් කලත් ‘රතු පටි’ භාවිතා කර, ඒ සහනාධාරය ඒ අහිංසකයන්ට නොදීමට අදාළ රාජ්‍ය නිලධාරින් වග බලා ගත්හ.

දැන් මෙහි ස්වේච්චාවෙන් වැඩ කරන ගුරුවරියන් 5 දෙනාද ආපසු දකුණට ගිය හොත්, සිංහළ ගුරුවරුන් නොමැති නිසා මෙම විදුහල නුදුරු අනාගතයේදී නැවතත් අභාවයට යා හැක.

මන්නාරම මඩු පාර සිංහළ මහා විද්‍යාලයට ස්ථිර සිංහළ දන්නා ගුරුවරයෙක් හෝ දෙදෙනෙක් රජය විසින් වහාම පත් කළ යුතුයි; ඉන්පසු මේ දර්ශනීය විදුහල ගොඩ නැගීමට රජය කටයුතු කළ යුතුයි.

මේ විදුහල ප්‍රදේශයේ දෙමළ විදුහලකට අනුයුක්ත කිරීමේ සැලැස්මක් තිබු අතර එයට කිසි සේත් අනුමැතිය නොදිය යුතුය.

ළමුන් 50 අඩු පාසැල් වසා දැමිය යුතුය යන රජයේ වර්තමාන ප්‍රතිපත්තිය මෙම විදුහලට අදාළ නොවිය යුතුයි.

මෙම පැරණි විද්‍යාලය ආරක්ෂා කර දීම ජාජබ රජයේ වගකීමයි. එය මන්නාරම සහ අවට  කලින් සිටි සිංහළ ජනයා නැවත මන්නාරම සහ අවට ප්‍රදේශවලට පැමිණීමට ප්‍රධාන හේතුවකි. 

මන්නාරම සිලාවතුර – සිංහළ විද්‍යාලය    

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසු ඔහුගේ රජය විසින් මෙම පාසැල 2022 දී නැවත විවෘත කරන ලදී. මේ නිසා  විලච්චිය, මැදවච්චිය, අනුරාධපුර වැනි ප්‍රදේශවල නෑදෑ නිවෙස්වල නැවතී පාසල් ගිය ළමුන් නැවත  මන්නාරම සිලාවතුරට පැමිණ එහි ඉගෙනුම ලබත්. එහි විදුහල්පති ස්වාමීන්වහන්සේ ඉතා මහඟු කාර්යයක්, ඉතා දුෂ්කර, කම්කටොළු මැද්දේ සිදු කරති.

පාසැල නැවත විවෘත වීම නිසා සිලාවතුර ගමේ සිංහල ජනගහනය ඉහල ගොස්, ගම පාළුවීම වැලකි තිබේ.

ඉතා හොඳ, කාර්යශූර සිංහල ගුරු මණ්ඩලයක් මෙම විදුහල අද සතුය.

කළින්, මේ ගමේ ජිවත්වූ සිංහල ළමයි අවට තිබෙන මුස්ලිම් පල්ලි මඟින් පවත්වා ගෙන යන දෙමල කථා කරන පාසල්/පෙර පාසල් වලට යාම නිසා මේ ළමුන් නිවසේදීද දෙමලෙන් කථා කිරීමට පෙලෙඹුනහ.  සිංහල බෞද්ධ දෙමව්පියන්ට මෙය මහත් පස්චත්තාපයට/කණසල්ලට කරුණක් ව තිබුණි.

මෙම රජය මඟින් සිංහල ගුරුවරුන් වැඩි වැඩියෙන් මෙම පාසැලට  පත් කල යුතුය. සිංහල පෙර පාසැලට පාලිකාවක් පත් කල යුතුය. පාසලේ අභිවෘධිය තකා මුදල් වෙන් කළ යුතුයි.

එවිට මෙම පාසැල් දෙකම දිගටම පවත්වා ගෙන යා හැකිවේ; ළමුන් සංක්‍යාවද වැඩිවනු ඇත.

දැනට මෙම පාසැල් බොහෝ දුරට පවත්වා ගෙන යන්නේ මෙම ලියුම්කරුද අනුබද්ධිත දකුණේ සිංහල ප්‍රජා සංවර්ධන සංවිධාන විසිනි.

යෝධ වැව, මන්නාරම (1)

යෝධ වැව ආරම්භයේ (කත්කලන් කුලම, මුරුන්කන් සිට කිමි 3ක් දකුණට), අනුරාධපුරය යුගයට අයත්, ‘අභය’ පිළිම කලාව අනුව නිර්මිත, කළු ගලින් නිම කරන ලද  බුද්ධ පිළිම දෙකක් (6’ වඩා උස) කිසිම ආරක්ෂාවක් නොමැතිව බිම දමා තිබුණි. එකක  සිරස කඩා බිම දමා තිබුණි.

මේවා කිසිවෙකුට නොපෙනෙන, වැසී යන සේ එම ස්ථානයේ මනා ලෙස කෙසෙල් වගාවක් ආරම්භ කර තිබුණි. රාජු නැමැත්තෙක් මෙම කෙසෙල් වගාව කරගෙන ගොස් තිබුණි.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ප්‍රතිමා ඇතුලත් යාර 400 ක ප්‍රදේශය කටු කම්බි ගසා, මෙම ස්ථානය පුරාවිද්‍යා සංරක්ෂිතයක් ලෙසට පත් කරන මෙන් අප රජයෙන් ඉල්වා සිටියද යහපාලන රජය එය කලේ නැත.

මෙයට අදාළ වූ  අදාළ වූ ගැසට් නිවේදනය ඉතා කඩිනමින්  නිකුත් කල යුතුවේ.

මන්නාරම පොලිසිය යොදවා දිනපතා මෙම බුද්ධ නිර්මාණ ආරක්ෂා කල යුතුවේ.

යෝධ වැව, මන්නාරම (2)

ඉහත ස්ථානයට (කත්කලන් කුලම – මුරුන්කන් සිට කිමි 3ක් දකුණට)  ආසාන්නව මෑතකදී ඩෝසර් කරන ලදෑයි සැක කල හැකි ස්තුපයක නටඹුන් දැන් ඉතිරිව ඇත. මෙයද 1වෙන සියවසේ (දේවානම් පියතිස්ස රජ සමයේ) නිර්මිත එකක් විය හැක.

ඩෝසර් කලත් මෙම ස්තුපයේ පේසා වළලු හානි වී නොමැති බවයි මතුපිට නිරීක්ෂණයකින් පෙනී යන්නේ.   

මෙම ස්ථානය පුරාවිද්‍යා සංරක්ෂිතයක් ලෙසට පත් කරන මෙන් අප රජයෙන් ඉල්වා සිටිමු. අදාළ වූ ගැසට් නිවේදනය ඉතා කඩිනමින්  නිකුත් කල යුතුවේ.

ත්‍රිකුණාමලය – පුලිකන්දිකුලම සිංහල විද්‍යාලය

ත්‍රිකුණාමලයේ සිට කිමි 50 පමණ ඊසාන දෙසින් පිහිටි මේ පාසල ඉතා දුෂ්කර එකකි. දැනට ගුරුවරුන් 2ක් ස්වේච්චාවෙන් ගුරු වෘත්තියේ යෙදෙත්. සුදුසුකම් ඇති, උගත් මේ ගුරු භවතුන් දෙදෙනා රජයේ සේවයට අනුබද්ධ කරන්නේ නම්, මායිම් ගම්මානයක්ව තිබු මෙම ගමට ඉමහත් සෙතක් සැලසේ.

පාසලේ ජල ෆිල්ටරය කඩා වැටි තිබු නිසා සිසුන් අපිරිසිඳු වතුර පානය කළහ.  

මෙයින් මේ ළමුන් ඉදිරියේදී වකුගඩු රෝග සදා ගැනීමට ද බොහෝ ඉඩ තිබේ. පාසලට ජල ෆිටරයක් ඉතා ඉක්මනින් ලබා දීමට කටයුතු කරන මෙන් අප උදක්ම ඉල්වා සිටිමු .

දෙහිවත්ත, ත්‍රිකුණාමලය  

පළවෙන සියවසට අයත් බෞද්ධ ස්ථුපයක් තිබෙන අධි පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමියක් 2016 පමණ සිට හින්දු දේවාල භූමියක් බවට පත් කර ගත්හ. දෙවන පෑතිස් රජ සමාජයේ ගල් කුළුණු (30 පමණ) ත්‍රී ශුල කොටා ඒවා හින්දු පුරාවස්තු බවට හැඟවීමක් කර ඇත.

මෙම කෝවිල යුද්ධයේදී මිය ගිය කොටි ත්‍රස්තවාදියෙක් සිහි කිරීම වෙනුවෙන් මෑතකදි සාදන ලද්දක් බව අසල්වාසීන් ද අප සමඟ කීහ. 

බෞද්ධ සඳකඩ පහන්, පාදෝවන,කොරවක් ගල් දැන් මෙම හින්දු කෝවිලට අයත් ඒවා මෙන් භාවිතා කරත්.

බෞද්ධයන්ට අති උතුම් වූ ශ්‍රී පතුලක් කෝවිලේ පොල් තෙල් පහන් පත්තු කරන ස්ථානයක් ලෙසටත් පවත්වා ගෙන යති.

බෞද්ධ පන්සලේ ඇති බෞද්ධ ස්ථුපයද  තව නොබෝ දිනකින් කඩා බිඳ දමනු ඇත?

අපගේ ඉල්ලීම මත පුරා විද්‍යා නිලධාරින් මෙම ස්ථානයට වරක් ගියත් අප දන්නා පරිදි පුරාවිද්‍යා නාමපුවරුවක් වත් එම ස්ථානයේ තවමත් ඉදි කර නැත. 

අප දන්නා පරිදි අද දිනට කිසිම පුරාවිද්‍යාත්මක ආරක්ෂාවක් මෙම ඉතා වටිනා වූ භූමියට නොලැබේ.

මෙම ස්ථානය බෞද්ධ පුරාවස්තු/නටඹුන් සහිත ස්ථානයක් ලෙසින් ගැසට් නිවේදනයක් නිකුත් කර, අදාළ පුරා විද්‍යා නාම පුවරු මෙම ස්ථානයේ ස්ථාපිත කරන මෙන් අප රජයෙන් ඉල්වා සිටිමු.

යාපනයේ නාවට්කුලි සිංහල ගම්මානයේ වැසි ප්‍රේමසිරි විජේසිරිගේ අවාසනාවන්ත කථාව

යාපනයේ නාවට්කුලි සිංහල ගම්මාන වාසි ප්‍රේමසිරි විජේසිරි  (උපන් දිනය 27/8/55) 1969  සිට උතුරේ (යාපනයේ) පදිංචි, මාතර සිට ඒ ප්‍රදේශයට ගොස් පදිංචි වී සිටී සිංහල අයෙකි. ඔහුගේ යාපනයේ නාවට්කුලී සිංහල ගම්මාන නිවාස අංකය: 40

1983දී ජාතිවාදී අරගල නිසා යාපනය අතහැර ගිය ප්‍රේමසිරි යුද්ධය අවසන් වූ පසු නැවත 2009දී යාපනයට ගොස් එහි මෑතක් වන තුරු ජීවත්ව, දැන් ආපසු මාතරට ගොස් ජිවත් වෙයි.

ඔහු යාපනයේ ඉතා සාර්ථක ආහාර කඩයක් කරගෙන ගිය කෙනෙකි. ඔහුගේ ඉතා ප්‍රනීත, රසවත් ආහාර එම පළාතේ කවුරුත් මිලදී ගෙන, ඉතා අශාවෙන් අනුභව කළහ.

ප්‍රදේශයේ හෝටල්/කඩ හිමි කිසියම් පිරිසක් ප්‍රේමසිරි පිළිබඳව පෙත්සම් ගසා නාවට්කුලි සිංහල ගම්මානය ඉදිරිපස ඔහුගේ ආහාර රථය කයිතඩි මහජන පරීක්ෂක (PHI) විසින් තහනම් කරන ලදී. මේ තහනම ගැන මධ්‍යම රජය අප දැනුවත් කලත් එය පිළිබඳව නිතීමය බලය තිබුනේ විග්නේස්වරන්ගේ පළාත් සභාවට නිසා ඔවුනට කළ හැකි දෙයක් නොවීය.

විදේශගතව සිටී නිසා මෙම ලියුම්කරුට ප්‍රේමසිරි වෙනුවෙන් නිතී මඟින් අධිකරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවක් නොවීය.

ගෙදරීන් සාදා ගෙන එන නිසා ඉඳි ආප්ප සහ ව්‍යංජන විකිණීමේ තහනමක් සහ තේ කඩයක් පවත්වා ගෙන යාමේ තහනමක් යෙදු බව PHI පවසා තිබුණි. ප්‍රේමසිරිට රෝල් සහ වඩේ පමණක් විකිනීමට අවසර දී තිබුණි.

ගෙදරදී ඉඳි ආප්ප සහ ව්‍යංජන ඉතා පිරිසිඳුව සාදා ගෙදර සිට මීටර 200 පමණ ඈතින් තිබු ආහාර කඩයට ආහාර රැගෙන ගියේ ප්‍රේමසිරිගේ බිරිඳයි.

නැවත ව්‍යාපාරය පවත්වා ගෙන යායුතු නම් ආහර කඩය ස්ථිර ගොඩනැගිල්ලක ස්ථාපිත කර, ඉඳි ආප්ප වැනි ආහාර එම ස්ථිර ගොඩනැගිල්ල තුල පමණක් සෑදිය යුතු යයි PHI නියෝග කර ඇත. තේ හදනවා නම් ගලාගෙන යන ජලය (ටැප්) අත්‍යාවශ්‍ය බව දන්වනු ලැබීය.

ගෙදරින් ආහාර සාදා වෙනත් ස්ථානවලට ඒවා ගෙනවුත් විකුණන අය චාවකච්චේරි ප්‍රදේශයේ බොහෝයි. යාපනය නගරයේද ඇත.

ඒ අයට තහනම් නියෝග නිකුත් කර නැත්තේ මන්දැයි මෙම ලියුම්කරු PHI ගොස් හමුවී ප්‍රශ්ණ කල විට PHI දෙමළෙන් පමණක් ඔහු සමඟ කථා කරගෙන ගියේය. MOHට කථා කල විට PHI නියෝගය හරි බව ඉංග්‍රීසියෙන් පවසා කෙසේ නමුත් ඔහු හමුවීමට එන ලෙස පැවසීය. ඒ හමුව නොපවැත්විණි.

ආහාර කරත්තයක් තල්ලු කරගෙන යන වෙනත් අය ඉතා සාර්ථක ලෙස සිය ස්වයං  රැකියාවේ නියුක්තව සිටින බව ප්‍රේමසිරි සැමදා දිටීය. ඔහුට පමණක් ඒ වාසනාව අහිමි විය.

ජීවත්වීමට ආදායමක් සහ ක්‍රමයක් නොමැති වීම නිසා ප්‍රේමසිරිගේ බිරිඳ යාපනය අත හැර මාතර බලා ගියාය. ඉන්පසු ප්‍රේමසිරිද මාතර බලා ගියේය.

ප්‍රේමසිරිට මෙන්ම නාවට්කුලි වාසි විජේරත්න විජේදාසට අයිස් ක්‍රීම් ව්‍යාපාරයක් පවත්වා ගැනීමට අවසර නොදුන්නේ කයිතඩි PHIය. නිවසේ සිට අනුරාධපුරයේ සහ මිහින්තලේ සාර්ථක ලෙස අයිස් ක්‍රීම් නිපදවා අලෙවි කල විජේදාසට (ඔහු යාපනයේ උපන් සිංහල කෙනෙකි) යුද්ධයෙන් පසු නැවත යාපනයේ පදිංචි වුය් නාවට්කුලි සිංහල ගම්මානයේය. දැඩි දේශප්‍රේමියෙක් වූ විජේදාස සියල්ල එපාවී, නාවට්කුලියේ තම නිවස පවා විකුණා දමා, දැන් මැදවච්චියේ පදිංචිව සිටී.

මතු සම්බන්ධයි ….

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress