පෑලියගොඩ මාලිමා මන්ත්‍රිනිය කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්
Posted on November 6th, 2025
උපුටා ගැන්ම හිරු පුවත්
පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී දිස්නා නිරංජලා කුමාරි යන අය නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජීගේ” සමීපතම ඥාතියෙකු බවට තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය කියයි.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ එප්පාවල කටියාව යාය 10 ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් සම්බන්ධ සිද්ධිය විමර්ශනය කරන අවස්ථාවේදී බවද පොලිසිය සඳහන් කරයි.
එප්පාවල කටියාව යාය 10 ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත අදාළ විදුහල්පතිවරයාට අයත් එප්පාවල ප්‍රදේශයේ පිහිටි අදාල හෝටලය වටලා තිබුණා.
එහිදි හෙරොයින් කිලෝ ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් හෝටලය පිටුපස වළදමා තිබියදී සොයා ගැණුනු අතර ඒවායෙහි වෙළෙඳ පොළ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව අදාළ විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට ගත් අතර සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන දිස්නා නිරංජලා කුමාරි නමැති මන්ත්‍රීවරිය බව ද පසුව අනාවරණ වුණා.
සැකකාර විදුහල්පතිවරයා සහ අදාළ මන්ත්‍රීවරියගේ 26 හැවිරිදි දෙවැනි පුත්‍රයා වන හිරාන් මියුරංග බාලසූරිය නමැත්තා ද පසුගියදා හෙරොයින් ග්‍රෑම් 21ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඉපලෝගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව ඔහුට ආධාර අනුබල දුන් තරිදු ධනංජය නමැති ඔහුගේ මිතුරෙකු ද පසුගිය 04වැනිදා අත්අංගුවට ගත් අතර මෙම හෙරොයින් සම්බන්ධ තොරතුරු අනාවරණ වී ඇත්තේ ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුවයි.
තරිදු ධනංජය නමැත්තා බන්ධනාගාරගතව සිටින විදුහල්පතිවරයාගේ පුත්‍රයාගේ සුවදුක් බැලීමට ගොස් ඇති අතර එහිදී ගල්නෑව ප්‍රදේශයේ පිහිටි නිවසෙහි සඟවා ඇති හෙරොයින් පාර්සලයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගේ පුත්‍රයා ඔහුගේ මිතුරාට දැනුම් දී තිබෙනවා.
එහිදී ඔහු මිතුරාට පවසා ඇත්තේ එය වෙනත් ස්ථානයක සඟවන ලෙසයි.
ඒ අනුව අදාළ මිතුරා විසින් එම හෙරොයින් පාර්සලය වෙනත් ස්ථානයක සඟවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ හෙරොයින් පාර්සලය හෝටලය පිටුපස සඟවන ලෙසයි අත් අඩංගුවේ පසුවන තරුණයා තම පියා වන විදුහල්පතිවරයාට පවසා තිබෙන්නේ.
ඒ අනුව හෙරොයින් පාර්සලය සැඟවූ මිතුරා විසින් එම හෙරොයින් පාර්සලය යළිත් විදුහල්පතිවරයා වෙත ලබා දී ඇති අතර ඉන් පසුව එය හෝටලය පිටුපස සඟවා තිබුණා.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් විදුහල්පතිවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයෙකු ඩුබායි හි රැඳී සිටින අතර ඔහු ‘ඩුබායි ශෂී’ ලෙස හදුන්වන බවයි.
එම පුද්ගලයා ‘කොස්ගොඩ සුජී’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ සබඳතා පවත්වා ඇති බවත් ඒ අනුව ‘ශෂි’ නමැත්තා ඩුබායි හි සිට සිය පුත්‍රයා සමග හෙරොයින් ජාවාරම සිදු කර ඇති බවත් සැකකාර විදුහල්පතිවරයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ මාලිමා මන්ත්රීවරියද නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස්ගොඩ සුජීගේ” ඥාතියෙකු බවයි.
පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී දිස්නා නිරංජලා කුමාරිගේ පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසද පෑලියගොඩ පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කළේ ඒ අනුවයි.
මේ අතර අත්අඩංගුවේ පසුවන විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.
එහිදී සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණ හමුවේ කියා සිටියේ පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
කරුණු සලකා බැලූ තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්චි සැකකාර විදුහල්පතිවරයා සහ සහ අනෙක් සැකකරු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දුන්නා.
මෙලෙස රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන්නේ, ගල්නෑව පාර, ඇඳගල එප්පාවල පදිංචි බී. ජයන්ත බාලසූරිය (59) නමැති විදුහල්පතිවරයා සහ නල්ලමුදාව පාර, ඇඳගල, එප්පාවල පදිංචි එච්. ටී. ධනංජය වික්‍රමසිංහ (30) නමැති සූපවේදියෙක්.
මේ අතර පෑලියගොඩ නගර සභාව අද රැස්වූ අවස්ථාවේදී මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා. ඒ, ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරියගේ සැමියා හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය හේතුවෙන්.
එවැනි පසුබිමක සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ වන පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී දිස්නා නිරංජලා කුමාරි නමැත්තිය සිය නාගරික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රී හෙට්ටිආරච්චි ලබාදුන් තවත් නියෝගයකට අනුව, සැකකරුවන් දෙදෙනාගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර විමර්ශන පොලිස් නිළධාරින්ට ලබා දෙන ලෙසට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල කළමනාකාරිත්වයට නියෝග කළා.
එමෙන්ම, සැකකරුවන්ගේ ජංගම දුරකථනවලට අදාල විශ්ලේෂණ වාර්තා විමර්ශන පොලිස් නිළධාරින්ට ලබා දෙන ලෙසට ද සියලුම රාජ්‍ය සහ පෞද්ගලික දුරකථන සමාගම්වල කළමනාකාරිත්වයට තවදුරටත් අධිකරණයෙන් නියෝග නිකුත් වුණා.
එප්පාවල ඇඳගල ප්‍රදේශයේ පිහිටි සැකකාර විදුහල්පතිවරයාට අයත් නිවසක් සහිත හෝටලයක් පරික්ෂා කර හෙරෝයින් කිලෝ 1 යි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400 ක් සමඟ සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බවත් සැකකාර විදුහල්පතිවරයා විදුහල්පති තනතුරේ රාජකාරි කරන අතරවාරයේ දිර්ඝකාලයක් සිට මෙම හෙරොයින් ජාවාරම කරගෙන ගොස් ඇති බවට මුලික පොලිස් විමර්ෂණවලදි අනාවරණය වු බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.
මේ පිළිබඳව වැඩිදුර සහ නිශ්චිත තොරතුරු අනාවරණය කර ගැනිම සඳහා තව දුරටත් විමර්ශණ ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළා.