ලොකු බස්  
Posted on November 10th, 2025

චානක බණ්ඩාරගේ

10/11/25 දින සිදුවූ බිහිසුණු තලාව බස් අනතුරෙන් පසුවයි.

10/11/25 සඳු දින අනුරාධපුර තලාව ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරින් 6 දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

ඉතා පටු මාර්ගයක වේගයෙන් ධාවනය වූ මෙම බස් රථ අනතුරෙන් මැරුණු සහ තුවාල ලැබුවන් අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ද වුහ.

නොචියාගම දක්වා තලාව සිට ධාවනය වූ මෙම බස් රථය ලොකු එකකි. පල්ලමකට වැටී ඇත.

පොඩි බස්රථයක්  නම් දීවේ (මගී 26, 35, 42 වැනි) ඊයේ මෙම බස් අනතුර බොහෝ දුරට සිදු නොවනු ඇත.  මියගිය/ආභාදිත  සිසුන් අපොස උ’පෙළ දිගටම ලියනු ඇත.

අති බිහිසුණු ගැරඬි ඇල්ල (මැයි 2025), රවාණා ඇල්ල (සැප්තැම්බර් 2025)  අනතුරු නිසා විශාල බස් මගීන් සංඛ්‍යාවක් මිය ගියහ. මේවාද ඉතා විශාල බස් විය.

දියුණු රටක නම් ප්‍රවාහන ඇමති මේ එක් අනතුරක් හෝ සිදුවූ සැනින් ඉල්ලා අස්වේ; නැත්නම් රාජ්‍ය නායකයා විසින් ඔවුන්ව ඉවත් කරනු ලබයි.

මේ ශ්‍රී ලංකාවයි.

ලොකු බස් ධාවනය නිසා මීළඟට සිදුවන බිහිසුණු  අනතුර කවදාද? එහි වින්දිතයෝ ඔබ හෝ මම විය හැකියි.

ලොකු බස් අප රටේ ඉතා පටු පාරවලට කොහෙත්ම ඔරොත්තු නොදේ. බොහෝ  පාරවල  බස් දෙකක් මාරු වෙන්නේ නූලක වැනි ඉඩක් තබාය.  වාහන අනතුරුවලට මෙය ඉතාම හොඳ අවස්ථාවක්.

දියුණු රටවල මෙවැනි දේට ඉඩ නොදේ.  

ලොකු බස් අනතුරක් සිදු වූ විට තුවාල වෙන්නේ හෝ මැරෙන්නේ පොඩි වාහනේ යන අය සහ පාරේ ගමන් කරන්නන්.

ලොකු බස් රියදුරන් නිතර මුළු පාරම අල්ලා ගනිමින්, අධික ශබ්ධයෙන්, කන් අඩි පැලෙන හෝන් ගසමින්, ඩීසල් කළු දුම් පිට කරමින්, බසය තුල අනවශ්‍ය සින්දු අධික  ශබ්ධයෙන් වාදනය කරමින්, සිතු සිතු තැන නතර කරමින්, අපට කෝචෝක් කරමින් බස් එලවන්නේ අනතුරක් වුවත් ඔවුනට වන ශරීර හානිය ඉතා අවම බව දන්නා නිසයි.

මේ ලොකු බස් ඉතාම අවදානම් ලෙස මාර්ගවල ධාවනය කරන අන්දම, විශේෂයෙන්ම බස්/බස් රේස් යාම, ඉතා අනතුරුදායක ලෙස වේගයෙන් ඉස්සර කිරීම් පිළිබඳව යු ටියුබ් වීඩියෝ ඇත. ලොකු බස් නිසා වන ඉතා භයානක අනතුරු නිසා ශ්‍රී ලංකාවට ඒම ප්‍රතික්ෂේප කරන විදේශ සංචාරකයෝ එමටය.

ලොකු බස් නිසා ප්‍රධාන නගරවල අධික රථ වාහන තදබදයක් ඇතිවේ. එම බස් අපේ ප්‍රධාන නගර තුල ධාවනයට ලොකු වැඩිය.

එක් බසයක් වාහන 5 පමණ ඉඩ ප්‍රමාණයක් ගෙන මුළු මාර්ගයම වසා ගනී. ඉදින්, ට්‍රැෆික් ගොඩ ගැසේ.

ලොකු බස් මහජනයා විශාල ලෙස ගැවසෙන පටු මාර්ගවල අධික වේගයෙන් යයි. බොහෝවිට ත්‍රි විලර්/පොඩි මරුටි/ඇල්ටෝ වැනි  කුඩා වාහන  කුඩු පට්ටම් වී යාමට මෙය හේතුවකි.  

බහුතරය බස් වලින් ගමන් කරන අපේ ශ්‍රී ලංකාවේ බස් මගී ප්‍රවාහනය සඳහා රජය සහ පුද්ගලික අංශය විසින් යොදවා ඇති අප්‍රමාණවත්ය – ඇත්තෙන්ම මෙය ආපස්සට ගමන් කිරීමක්.

සාඩින් මෙන් පිරිච්ච බස් එකක හිටගෙන යන මඟින් සිතනවා ඇති ‘අනේ මේ මම පෙර ආත්මේ කල පවක්ද විඳින්නේ’  කියා.

බස් මගී ප්‍රවාහනය වැනි අති වැදගත් කර්තව්‍යයක මුලික වගකීම් පෞද්ගලික අංශයට පවරා ආණ්ඩුව හාන්සි පුටුවට වී බලා සිටින බව පෙනේ. පුද්ගලික අංශයේ මුලික අරමුණ උපරිම ලාභ ලැබීමයි. රජය වැඩි බර කරට ගත යුතුවාක් පමණක් නොව මගී හිතකාමී ප්‍රතිපත්ති  බිය නැතුව සකස් කල යුතුයි. 

මැදියම් රෑ වෙනකම් වත් නගරාසන්න බස් සේවා තිබිය යුතුයි, දැන් තිබෙන රෑ 7 ට 8 ට  ඉවරවෙන තත්ත්වය වෙනුවට.  මුල් මාස 6 විතර පාඩුවට දුවන්න සිදු වේවි. නමුත්, මිනිසුන් පුරුදු වු පසු ප්‍රධාන නගරවල  රාත්‍රී මගී ධාවන සේවා ලාභදායි වේවි.

ශ්‍රී ලංගම සහ පුද්ගලික අංශයේ බස් විශාල ප්‍රමාණයෙන් වැඩි කරන්නේ නැතුව මගී ප්‍රවාහනය දියුණු කිරීමට නොහැක.

රාත්‍රී 8න් වීතර පසු මේ රටේ බස් ධාවනයක් (දුර ගමන් සේවා නොවේ) නැති තරම්ය.  අඩුව පිරවීමට ත්‍රී විල් හොඳ සේවයක් කරයි, නමුත් කීදෙනාටද ඒවාට ගෙවීමට මුදල් තිබෙන්නේ?

එදා, රාත්‍රී 930 චිත්‍රපටය බලා අවසන් වූ විට පවා ගෙදර යාමට බස් තිබුනි – CTB පමණක් තිබුණු කාලේ – 1980 පෙර.

JRගේ පුද්ගලික බස් හඳුන්වා දීම (1979) MH මොහොමඩ් සමඟින් CTB මුළුමනින්ම වාගේ මරා දැමිය.

අක්කර සිය ගණනක් විශාල වූ, බස් දහස් ගණනක් තිබු  වේරහැර CTB  ඩිපෝව අද කෝ?

අද මගී ප්‍රවාහන ප්‍රතිපත්තියට මුල් තැන දෙන බවට පෙනෙන්නේ බස් මගියා සුරක්ෂිත කිරීම වෙනුවට ප්‍රය්වට් බස් හිමියා සුරක්ෂිත කිරීමටය කියා පෙනේ.

ප්‍රය්වට් බස් සංගම් මැතිවරණවලදී ප්‍රධාන පක්ෂ වලට සල්ලි පොම්ප කරනවාලු?

රජය ගත යුත්තේ බස් මගීන්ගේ පැත්තයි.

පෞද්ගලික බස් මඟී කාල සටහන් සාදන විට ඒ අය හදන්නේ සෑම බස් එකක්ම පිරී, ඉතිරී යන විදියේ කාල සටහන්ය.

ලොකු බස් භාවිතයේ තවත් අවාසියක් නම් බස් එකම ලෝඩ් වෙනකම් ඔවුන් තැනින් තැන නවතා සිටීමයි. ගමන පටන් ගත්තාට පසු තැන තැන නවත්වාගෙන සිට – එක ‘කෑල්ලක්’ හරි වැඩියෙන් දා ගැනීමට බලයි. මෙයට බස් මගීන් කියන්නේ කොටනවා කියායි.

තමන් පිටි පස්සෙන් බස් එකක් එනවා දැක්කහම තමා කොටන බස් එක අද්දලා යන්නේ.

කෙටීම නිසා මගීන් අන්ත අසරණ තත්ත්වයට පත් වෙති.

මේවා ‘මොනිටර්’ කිරීමට කිසිවෙක් නැත. අඩුම තරමින් මගීන්ට ක්ෂණිකව පැමිණිලි කිරීමට ඒ සඳහාම වෙන්වූ හොට් ලයින් නොම්බරයක් වත් නැත. මගීන්ට SMS පණිවුඩයක් මඟින් බලධාරීන්ට එවලේම දැනුම් දිය හැකියි. – බසය තුල වන අකටයුතු.

එසේ තිබුනා නම්, මගී ප්‍රවාහන අධිකාරියට එවලේම බස් රියදුරු ඇමතිය හැකියි.

මේ වසරේ සිදුවූ තලාව, ගැරඬි ඇල්ල, රවාණා ඇල්ල දරුණු ලොකු බස් රිය අනතුරු, මිය ගිය සහ අභාධිත වූ අසරණ බස් මගීන් යළි සිහිපත්  වේ.

බස් ඇතුළු මගී ප්‍රවාහන ප්‍රශ්ණ විසඳීමට කිසිම ප්‍රවාහන ඇමතිවරයෙකුට ඒකායන උවමනාවක් තිබුනේ නැත. ඔවුන් බොහෝ බස්/දුම්රිය ප්‍රශ්ණ හඳුනා ගත්තේද නැත.

හැමදාම කලේ වස්තු බීජය සොයා ගොස් එයට නිශ්චිත ප්‍රතිකර්ම යෙදීම වෙනුවට පැලැස්තර ඇලවීමයි.  මාධ්‍ය සංදර්ශන නම් අඩු නැතුව තිබේ. මෙයින් මගී ජනතාව සැමදා රැවටේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ වැඩ ඉතා අසතුටුදායකයයි කියන්නේ මෙවැනි හේතු නිසයි.

කිසිදා හොඳට වැඩක් කරන්න පුළුවන් දක්ෂයෙකුට ප්‍රවාහන ඇමතිකම ලැබී නැත.

ප්‍රවාහන නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රවාහන ඇමතිවරයා ලෙස පත් කළහොත් අමාත්‍යාංශයේ වැඩ මීට වඩා කාර්යක්ෂම සහ උද්යෝගිමත්ව සිදු වනු ඇත. විද්‍යාරත්න, හේවගේ වැන්නන්ද මේ ඉතා වැදගත් ඇමති තනතුර දැරීමට සුදුසුකම් ලැබුවෝයි.

ලොකු බස් මුළුමනින්ම නැති කරන්න කියනවා නොවේ. සමහර නගර තුල  සහ  දුර ගමන් සේවා සඳහා ඒවා ඔබී. අධිවේගවල මේවාට වේගයෙන් යා හැක.

නමුත්, මහ නගර තුල මේ ලොකු බස් දිවෙන සංඛ්‍යාව අවම කල යුතුය. එවිට නගරවල ට්‍රැෆික් ප්‍රශ්ණය අඩු වෙනවා පමණක් නොව නගර දුෂණයද අඩුවී, නගරවල අශෝභනත්වයද අඩු වේ.

ලොකු බස්, පොඩි බස් සම්මිශ්‍රණය කර මාර්ගයට දැමිය යුතුයි, එවිට බස් මගියාට වාසියක් සිදුවේ. ලොකු බස් මෙන් නොව පොඩි බස් ඉක්මනට ලෝඩ් කර ගනීමට පුළුවන – ආසන ගණනට.

පසුගියදා ශ්‍රී ලංගම විසින් ආනයනය කරන ලද රතු පාට පාන් ගෙඩි වැනි මධ්‍යම සහ ¾ ප්‍රමාණයේ බස් තමා මේ රටට වැඩියෙන්ම හරියන්නේ. ඒවා නිසා සිදුවන දරුණු සහ සාමාන්‍ය මාර්ග අනතුරු අඩුය. ශ්‍රී ලංකාවේ පටු මාර්ග වලට ඒවා ඉතා අගනේයි.

කණගාටුව, මේවා වැඩි හරියක් දුවන්නේ උතුරේ සහ නැගෙනහිර වීමයි. මේවා හරියටම හරියන්නේ කඳු සහිත මධ්‍යම පලාතට, නමුත් ලබාදී නැත.  

ලොකු බස් අධි කඳුරට ධාවනයෙන් (අධික හෙළ/බෑවුම්, වංගු, පල්ලම් ඇති ප්‍රදේශ)  වහාම ඉවත් කර ගත යුතුයි – තවත් දැවැන්ත ජීවිත හානි ඉදිරියේ තවදුරටත් සිදු වීමට කළින්.

වැදගත් ගමන් යන්න, ජෑන්ඩියට ඇඳපු ගෑනු පිරිමි, තෙරපිච්ච බසයක ගොස්, හොඳ පන ගිය පසු  බස් එකෙන් බසින විට ඔවුන් තුල දවසේ වැඩ කිරීමට තිබු ධනාත්මකභාවය රිනාත්මක බවට මේ රටේ බස්, (දුම්රිය) සංස්කෘතිය පත් කර ඇත.   

උදේ කාර්යාලයට ගොස් වැඩ කරන්න පුළුවන් වූ හොඳ මානසිකත්වයක් නොවෙයි, මොටවූ මානසිකත්වයකුයි තෙරපුණු/මිරිකුණු  බස් (සහ කෝච්චි) වලින් සේවයට  පැමිණෙන අපගේ බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මහත්ම මහත්මීන්ට  තිබෙන්නේ. ඔවුන්ට දොස් කිව නොහැකියි.  

නැවතත්, රජයේ මූළික වගකීම මගීන්ගේ සුව පහසුව සැලසීම විනා පෞද්ගලික බස් ධාවකයන්ගේ පදයට නැටීම නොවේ. අද, මගී ප්‍රවාහනය තනිකරම වාගේ පෞද්ගලික බස් මුදලාලිලා අතට ගොසිනි. ඔවුන් ඉදිරියේ රජය අසරණ වීය.

පිටකොටුව බස් නැවතුම් පොළ නවීකරණය කිරීමේ රජයේ වැඩ පිළිවෙල ඉතා අගනේය.

ඉතාම හොඳ දේ නම් ශ්‍රී ලංගම සහ පුද්ගලික බස් දුර ගමන් සේවා පිටකොටුවේ එකම බස් ස්ටෑන්ඩ් එකකින් ධාවනය කර වීමයි. එවිට දුර ගමන් යන බස් මගීන්ට කෙටි කාලයක් තුල වැඩි බස් රථ සංඛ්‍යාවක් තුලින් තම ගමන් තීරණය ගත හැකි වනු ඇත.

මහනුවර බෝගම්බර මෙය කදිමෙට ක්‍රියාත්මක වේ.

පිටකොටුවේ ශ්‍රී ලංගම බස් වෘත්තිය සමිති කියන පරිදි වැඩ කිරීමට ගිය හොත් අමාරුවේ වැටෙන්නේ බස් මගීන්ය.

ශ්‍රී ලංගම සභාපතිවරයා එම විශාල ආයතනය පාලනය කරන්නේ ඉලෙක්ට්‍රොනික් සහ සමාජ මාද්‍ය වීඩියෝ මඟින්ද?

ශ්‍රී ලංගමට අවශ්‍ය ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය හඹා යන සභාපතිවරයෙක් නොවේ; නිහඬ වැඩ කාරයෙකි.

චැසිය පහත බස් ගෙන්වීමට රජය හදයි.  මේවා ඉතා මිල අධිකයි. ලාබෙට බස් හුඟක් ගෙන්වමු.  දැන් තිබෙන සහ වැඩිමනත්ම බාගේ සහ ¾ බස්. රට සශ්‍රීක වූ කල්හි ඉතා සුඛෝපභෝගී බස් ගෙන්විය හැකියි.

ඉදිරියේදී, ප්‍රයිවෙට් බස් පවා වැඩිපුරම බාගේ, ¾  බස් විය යුතුයි. බස් මුදලාලිලාට සල්ලි හම්බුකිරීමේ ආසාව පිණිස මහජන ජීවිත බිලි  දිය නොහැක. රිය අනතුරු, වාහන තදබදය අවම කිරීමට මේ දේ කල යුතුමවේ.

නගරවල පාරවල් මීට වඩා ලොකු කිරීමට ඉඩ නැත.

ඉතාම ලාභ දායි මාර්ගයක් වන බොරැල්ල – කොළඹ (103) මාර්ගයේ 2%ක් වත් ලංගම බස් නැත.  හැබැයි පුද්ගලික අය  මගීන් ප්‍රවාහනය කරන්නේ මගීන් බහුල වෙලාවල පමණි.  උදේ 5 පෙර සහ සවස 8න් පසු බෙහෙතකටවත් බස් එකක් හොයා ගන්න අමාරුය. මුළු රටේම තත්ත්වය මෙයයි.   රජයේ මගී ප්‍රවාහන  බලධාරීන් නිදිය; නැත්නම් බස් මුදලාලිලාට යට වෙලාය.

තවත් ලාභදායි මාර්ගයක් තමා 138 පිටකොටුව – මහරගම; ලංගම බස් නම් ඉතාම අවමයි.

138 හෝමාගම – කඩවත මාර්ගය යළි ස්ථාපිත කල යුතුයි (දැන් පිටකොටුවෙන් අවසන් වේ)  ඒ වගේම 174 කොට්ටාව -බොරැල්ල බස් සේවය කළින් තිබුනාක් මෙන් කොට්ටාව – පිට කොටුව දක්වා දීර්ඝ කල යුතුයි.

ඒ වගේමයි පෞද්ගලික බස් මුදලාලිලා විසින් ඔවුන්ගේ වාසිය පිණිස වසා දමන ලද කොළඹ ධාවනය වූ  171, 104, 134, 168, 131, 172, 195, 145, 155, 150, 167 බස් මාර්ග. මේවා කඩිනමින්  යළි විවෘත කළ යුතු වේ. ඒ අයට එපා නම් මේවායේ ශ්‍රී ලංගම බස් පමණක් දිවිය යුතුය.

යාපනයේ බස් සේවය ඉතා ඉහලයි. පුද්ගලික වගේම, පිරිසිඳුවට තබාගන තියෙන  ලංගම බස් බහුලයි.  මිනිසුන් හොඳට ඉඳගෙන යත්.

කොළඹ – යාපනය වැඩ කරන සමහර ලංගම බස් වල ඔටෝමැටික් ඉදිරි සහ පසුපස දොරවල්.  

ඇතැම් රූට් වල, ප්‍රය්වෙට් බස් වල මඟින් උතුරා යාමටත්, ශ්‍රී ලංගම බස් වල බොහෝ විට එසේ නොවීමටත් හේතුවක් තිබිය යුතුයි නේද?

ශ්‍රී ලංගම බසයක් සෑම විටම වාගේ  යන්නේ ප්‍රයිවෙට් බසය මගීන් සියල්ලා නංවා/හුරා ගෙන ගිය පසුව බොහෝ විට හිස්වයි. මෙයට පෞද්ගලික බස් රථ මාෆියාව හේතු වේ. පොලිසිය මැදිහත් වී මේ ප්‍රශ්ණ විසඳිය යුතුයි.

අවුරුද්ද, නත්තල වැනි දිනවල බස්/දුම්රිය ධාවනය වෙන්නේම නැත.  ඉස්සර පවුල් පිටින් අවුරුදු දවසේ නෑගම් ගියේ බස් වල. හැමෝටම ත්‍රී වීල් වලට ගෙවන්න සල්ලි නැත.

බස් සේවකයන්ට  (ඩ්‍රය්වර්/කොන්දොස්තර)  ට්‍රිප් එකක් ඉවර වු පසු හොඳ විවේකයක් නොදුන්නොත් මාර්ග අනතුරු වැඩි විය හැකියි. සමහර බස් මුදලාලිලා විවේකයක් දෙන්නෙම නැත, රියදුරන්, කොන්දොස්තරවරුන් හරියට මැෂින් කියාය ඔවුන් හිතන්නේ.

දියුණු රටවල කියන්නේ පැය 4 ක් යමෙක් එක දිගටම බසයක්  එලවනවානම් අනිවාර්යයෙන්ම  විනාඩි 10ක වත් විරාමයක් ගත යුතුයි කියායි.

මෙහෙ වගේ නොවෙයි එංගලන්තයේ බස් රථයක ගමන් කිරීමත් සතුටක්. එයා කන්ඩිෂන් කරපු බස් වල මගීන් හිටගෙන යන්නේ ඉතාම කලාතුරකින්. හැමෝටම හොඳ සුවපහසු ආසනයක් ලැබෙනවාමයි.  ඒ රටවල ‘ඉහල’, ‘පහල’ හැම පන්තියකම අය බස් වල යනවා.

මැලේසියාවද  මේ අංශයෙන් අපට වඩා හුඟාක් දියුණුයි – ඉතා සැප පහසු බස් මඟින් සඳහා ඔවුන් යොදවා තිබෙනවා. ටැක්සි සියල්ල  හයිබ්‍රිඩ් වාහන.

ඕස්ත්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇමති කෙනෙක් හැමදාම නිව් කාසල් ඉඳලා සිඩ්නි වලට කෝච්චියෙන් වැඩට පැමිණියේය. වැදගත් දේ කියන්නේ ඔහු ඒ කාලේ ඒ ප්‍රාන්තයේ ප්‍රවාහන ඇමති.

ශ්‍රී ලංකාවේ මෙවැන්නක් සිදු වේද?

බස්, කෝච්චි මගීන්ගේ ප්‍රශ්ණ, දුක අවබෝධ කර ගැනීමට නම් ප්‍රවාහන ඇමති ඒවායේ ගමන් කළ යුතුයි.

බස් රථයක සෑම මගියෙකුටම සුව පහසු ලෙස හිඳගෙන යා හැකි නම්, ඒවා කාල සටහන් අනුව වැඩ කරනවා නම් එය බස් මගියාගේ ජයග්‍රහණයයි.  එය ඉෂ්ට කර දිය හැකි නම් එය මාලිමා රජයේ ජයග්‍රහණයයි.

බස් රථයක පොල් පැටේව්වා වගේ මිනිස්සු පීරී ඉතිරි යනවා නම්, එය පුද්ගලික බස් රථ හිමියාගේ ජයග්‍රහණයයි. මන්ද, ඔවුන්ගේ මල්ල තරවන්නේ එවිටයි.

අද අලුතෙන් පුද්ගලික බස් මාර්ග පර්මිට් එකක් ගැනීම කළුනික සොයනවා වැනි අමාරු දෙයකි. දෙන්නේම නැත – පුද්ගලික බස් මාෆියාව මේ රටේ ඉතා තදින්ම රජ කෙරේ.

මේ 2025 – ඒ කියන්නේ 21 වන ශත වර්ෂයේ, මිනිසුන් බස් වල යන්නේ 1970/80 ගණන් වල ගිය විදියටමය. දරුණුව පාපුවරුවේ එල්ලිලා යාම නම් යම් තරමක් අඩුවී ඇත්තේ පොලිසියෙන් දඩ කොළ ලියන නිසාය.

මගී ප්‍රවාහන බලධාරීන්ගේ ඉල්ලක්කය විය යුත්තේ 2028  වනවිට, සෑම බස්/දුම්රිය මගියෙකුටම සුව පහසුව ආසනයක ඉඳ ගෙන යාමට හැකි වන, බස් හිඟයක් නැති   මගී ප්‍රවාහන සේවයක් නිර්මාණය  කිරීමයි. රජයේ නාස්තිකාර බොරු වියදම් නවතා, දුෂණ, අක්‍රමිකතා, අපරිපාලනය  නැවත්තුවහොත් හෝ රජය රට හොඳින් පාලනය කල හොත්, මෙය අනිවාර්යයෙන් කිරීමට පුළුවන් දෙයකි.

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress