වික්ටෝරියා වේල්ල හදපුහැටි සහ එහි සැඟවුණු විස්මිත කතාව.
Posted on December 1st, 2025

(ජර්මානු වෛද්‍ය විද්‍යා ශාස්ත්‍ර මහාචාර්‍ය නිශාන් සී විජේසිංහ විසින් නිකුත් කරන ලද විශේෂ මහජන නිවේදනයකි).

වික්ටෝරියා ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් හොයාගන්න එංගලන්තයට ගිය ජේ.ආර්. ජනාධිපතිතුමා සහ ගාමිණී දිසානායක ඇමතිතුමා මුණගැහෙන්නේ දෙවන එලිසබෙත් මහ රැජිනවයි. එතනදී ජනාධිපතිතුමා අපූරු යෝජනාවක් කරනවා. එතුමා කියනවා ලංකාවේ හදන්න යන මේ දැවැන්ත ජලාශයට, රැජිනගේ ආත්තම්මා වන වික්ටෝරියා රැජිනගේ නම දාන්න අපි කැමතියි, හැබැයි ඒකට අපිට ඔබතුමියගේ රටෙන් ණයක් ඕන කරනවා කියලා. ඇත්තටම එතන තිබුණු ස්වභාවික දිය ඇල්ලේ නම වික්ටෝරියා නිසා ඒ නම යොදාගන්න සැලසුම් කරලා තිබුණත්, මේ නම පාවිච්චි කරලා රැජිනගේ හිත දිනාගන්න ජනාධිපතිතුමා සමත් වුණා. මේ කතාවෙන් ගොඩක් සතුටු වුණු එලිසබෙත් රැජින, මේ ව්‍යාපෘතියට ණයක් නෙවෙයි ආධාරයක් විදියට සම්පූර්ණ මුදල ලබාදෙන්න එංගලන්ත රජයට නිර්දේශ කළා. ඒ වෙලාවේ එංගලන්ත අගමැතිනිය වුණු මාග්‍රට් තැචර් මැතිනියත් මේකට එකඟ වුණේ එක කොන්දේසියක් උඩයි. ඒ තමයි මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු එංගලන්තයේ ඉංජිනේරු සමාගමකට පැවරිය යුතුයි කියන එක. ඒ විදියට තමයි රුපියල් මිලියන 8900ක දැවැන්ත ආධාරයක් අපේ රටට ලැබුණේ.

මේ අභියෝගාත්මක ඉදිකිරීම භාර වුණේ ලෝක ප්‍රකට බැල්ෆෝ බීටි සහ නටාල් සමාගමටයි. මධ්‍යම කඳුකරයේ මහා මූකලනක් වෙලා තිබුණු, පාරක් තොටක්වත් නොතිබුණු තෙල්දෙණිය ප්‍රදේශය මේ දැවැන්ත ව්‍යාපෘතිය නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මෙහි තිබෙන විශේෂම කාරණය තමයි වික්ටෝරියා වේල්ල කියන්නේ “ද්විත්ව ආරුක්කු” හැඩයේ කොන්ක්‍රීට් වේල්ලක් වීම. මීටර් 122ක් උස සහ මීටර් 522ක් දිග මේ වේල්ල හදන්න එකම යකඩ කම්බියක්වත් පාවිච්චි කරලා නැහැ. ඒ වගේම කොන්ක්‍රීට් මිශ්‍රණය සකස් කරලා තියෙන්නේ අයිස් වතුර පාවිච්චි කරලයි. විනාඩි තුනක් ඇතුළත අදාළ ස්ථානයට කොන්ක්‍රීට් එක දාන්න බැරි වුණොත් ඒ සම්පූර්ණ තොගයම අහක දාන්න තරම් ඔවුන්ගේ ප්‍රමිතිය ඉහළ මට්ටමක තිබුණා. ලංකාවේ දක්ෂ ඉංජිනේරුවරයෙක් වුණු චන්ද්‍රා පෙරේරා මහතාත් නේවාසික ඉංජිනේරුවරයා විදියට මේ දැවැන්ත නිර්මාණයට දායකත්වය ලබාදුන්නා.

අවසානයේදී 1985 අප්‍රේල් මාසයේදී මාග්‍රට් තැචර් අගමැතිනිය අතින් විවෘත වුණු වික්ටෝරියා ජලාශය අදටත් අපේ රටට කරන සේවය අති විශාලයි. මෙගාවොට් 210ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට ලබාදෙනවා වගේම, මහවැලි සී කලාපයේ සහ බී කලාපයේ කුඹුරු අක්කර ලක්ෂ ගණනකට දියවර සපයන්නෙත් මේ ජලාශයෙන්. 

ගංවතුර පාලනය කරන්න තියෙන ස්වයංක්‍රීය සොරොව් පද්ධතිය නිසා මහියංගනය වගේ පහළ ප්‍රදේශ ගංවතුරෙන් ආරක්ෂා වෙනවා.

 සුද්දන්ගෙන් අපේ රටට අරගෙන ගිය සම්පත් වලට හිලව් වෙන්න ඔවුන් ලවාම මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් කරවා ගන්න එදා හිටපු නායකයන්ට තිබුණු දූරදර්ශී බව අදටත් අපි අගය කළ යුතුමයි.

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress