” අනුරාධපුරය පහු කරගෙන යාපනයට සිල් ගන්න යන්නේ වෛරයෙන් “
Posted on January 20th, 2026
උපුටාගැණීම මුහුනුපොත
පසුගිය දින දෙක තුන පුරාවට මේ පිළිඹඳ ලිපි බොහෝ ප්‍රමාණයක් මා විසින් කියවූවත් එය ඒ ඒ පුද්ගලයින් විසින් අල්ලාගත් තැන පිළිඹඳ මා හට ගැටළුවක් මතු විය.
ජනාධිපතිවරයා යාපනයේදී කළ ප්‍රකාශය, හුදෙක් දේශපාලන කතාවක් නොව, සාමකාමීව වන්දනාවේ යන සමස්ත සිංහල බෞද්ධ ජනතාවගේම චේතනාව සහ ආත්මගෞරවය ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමකි. සිංහල ජනතාව දෙස වෛරයෙන් බලන ලෙස උතුරේදී මෙවැනි පණිවිඩයක් ලබා දීම හරහා ඔහු උත්සාහ කරන්නේ යුද්ධයෙන් පසු අප අමාරුවෙන් ගොඩනැගූ ජාතික සමගිය ඔවුන්ගේ දේශපාලනය වෙනුවෙන් පාවා දීම බව පැහැදිලිව පෙනේ.
ජනාධිපතිවරයා “අනුරාධපුරය පසුකර යාපනයට සිල් ගන්න යන්නේ වෛරයෙන්” යැයි පවසන විට, එයින් ගම්‍ය වන්නේ සිංහල බෞද්ධයන්ගේ ආගමික වතාවත් පිටුපස ඇත්තේ වෛරී සහ ආක්‍රමණශීලී චේතනාවක් බවයි. එය, එවැනි චේතනාවක් සිහිනයකින් හෝ නොසිතා වන්දනාවේ හෝ විනෝද චාරිකා යන හෝ සිල් ගැනීමට යන බහුතරයක් සිංහල ජනතාවට කල මහත්වූ අපහාසයකි.
ජනාධිපතිතුමාගේ කතාව එවෙලේම පරිවර්තනය කෙරුණි. එනම් ශ්‍රී ලංකික දෙමල ජනතාවට ඉතා පහසුවෙන් එම පණිවිඩය යන්නට ඇත. මෙය සාමාන්‍ය දෙමළ වැසියා සහ සිංහල වැසියා අතර ඇති සුහදතාවය ආපසු හැරවීමක් වන අතර මේ කතාවෙන් පසු ඔවුන් සිතනු ඇත්තේ සිංහල මිනිසුන් යාපනයට පැමිණෙන්නේ පන්සල් වලට අයිතිවාසිකම් කීමට බවය. ඔවුන් සිතනු ඇත්තේ සිල් ගන්නවා යනු දේශපාලන කුමන්ත්‍රණයක් බවය.
නායකයෙකු මෙවැනි කතා කියන විට විට, අන්තවාදී අදහස් දරන පිරිස් වලට එයින් අනුබලයක් ලැබේ. පන්සල් අපේ යන පටු අයිතිවාසිකම් අරගලයක් ආගම්වාදී අදහස් ඇති ජනතාව අතර ඇති කිරීමට මෙවැනි කතා උත්තේජනයක් සපයනු ඇත.
කුරුන්දි විහාරය, තිස්ස විහාරය හෝ තිරියාය වැනි ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නවා වෙනුවට, ඒවා වෛරය පතුරවන ස්ථාන ලෙස හඳුන්වා දීමෙන් සිදුවන්නේ ප්‍රශ්නය තවත් උග්‍ර වීමය. මෙය දෙමළ ජනතාව තුළ බෞද්ධ උරුමයන් කෙරෙහි අනවශ්‍ය බියක් ඇති කිරීමට හේතු වනු ඇත.
සමහරවිට ජනාධිපති තුමා පවසන අදහසින් සුළු පිරිසක් එසේ සිල් ගන්නට ඇත. එහෙත් එය ඒ අයුරින් ප්‍රකාශ නොකර එය සමස්ත දකුණේ ජනතාව වෙනුවෙන් සාමන්‍ය්කරණය කිරීම ඔහු විසින් කරන ලද විශාල වරදකි.
දකුණේ මිනිසුන් යාපනයට යන්නේ නාගදීපය හෝ වෙනත් සිද්ධස්ථාන වන්දනා කිරීමට පමණක් නොවේ. ඔවුන් එහිදී දෙමළ ජනතාවගේ කඩසාප්පුවලින් බඩු මිලදී ගනිති, ඔවුන්ගේ හෝටල්වල නවාතැන් ගනිති. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් මේ සැබෑ මානුෂීය ගනුදෙනුව අමතක කර, සියල්ල වෛරී දේශපාලනයක් ලෙස හුවා දක්වා ඇත.
අප අද භුක්ති විඳින මේ සාමය නිකම්ම ලැබුණු දෙයක් නොවේ. එය වසර තිහක සාපලත් යුද්ධයක නිමාවකි. ඒ වෙනුවෙන් අපේ රටේ රණවිරුවන් දහස් ගණනක් සිය ජීවිත පූජා කළහ. එමෙන්ම, මියගිය ඒ සෑම මිනිසෙකුම ඔහු රණවිරුවෙකු වේවා, සිවිල් වැසියෙකු වේවා, අවසානයේ නොමඟ ගිය LTTE තරුණයෙකු වේවා ඔවුන් සියල්ලෝම මේ ශ්‍රී ලංකා මාතාවගේ දරුවන්ය.
මීට වසර පහළොවකට පෙර යාපනයට යනවා තබා දකුණේ බස් රථයකට, කෝච්චියකට නැගීමට පවා අප බියෙන් ගැහෙමින් සිටි අයුරු. පාරක් පාරක් ගානේ තිබුණු චෙක්පොයින්ට්, ඕනෑම මොහොතක ඇසෙන්නට ඉඩ තිබුණු බෝම්බ හඬවල් සහ මරණ බිය එදා උතුරටත් දකුණටත් පොදු විය. එදා දෙමළ මවක් තමන්ගේ දරුවා ගැන බිය වූවා සේම, සිංහල මවක්ද තම දරුවා ගැන බියෙන් පසුවිය.
අද ඒ කළු අඳුරු යුගය නිමවී ඇත. අද කොළඹ මිනිසා යාපනයටත්, යාපනයේ මිනිසා කොළඹටත් යන්නේ කිසිදු බියකින් හෝ සැකයකින් තොරවය. ඒ ගමන පිටුපස ඇත්තේ වෛරය නොව, දශක තුනක් තිස්සේ මගහැරුණු එකම රටක සහෝදරත්වයේ බැඳීමයි. යාපනයේ වෙළඳසැලකින් බඩු ගන්නා සිංහල මිනිසා හෝ දකුණේ රෝහලකින් ප්‍රතිකාර ගන්නා දෙමළ මිනිසා අතර ඇත්තේ මිනිස්කම මිස ආක්‍රමණශීලී චේතනාවක් නොවේ.
කෝටි ප්‍රකෝටි ගණනක ජාතික ධනය අළු දූවිලි කරමින්, පරම්පරා ගණනාවක කඳුළින් සහ ලෙයින් ලබාගත් මේ නිදහස, ජනාධිපතිවරයා අද සතයකටවත් මායිම් නොකරන බවක් පෙනේ. යාපනයට යන සිංහල මිනිසා තුළ වෛරය දැකීමෙන් ඔහු කරන්නේ අතීතයේ මියගිය ඒ දහස් සංඛ්‍යාත ජීවිතවල කැපකිරීමට අපහාස කිරීමකි.
අපට අවශ්‍ය වී ඇත්තේ මළගියවුන්ගේ අළු මත නැවත වෛරයේ ගිනිදැල් අවුලුවන නායකයින් නොව, ඒ සොහොන් කොත් මත සාමයේ මල් පීදීමට ඉඩහළ හැකි නායකත්වයකි. ඡන්දය වෙනුවෙන් මිනිසුන්ගේ හදවත් තුළට විෂ පොවනවා වෙනුවට, සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝය යන හැඟීම ඇති කිරීම පාලකයෙකුගේ පරම වගකීම නොවන්නේද?
අවසානයේ මියගියේත්, දුක් වින්දේත් මේ රටේ මිනිසුන්ය. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ වෛරය පෑරීම නොව, සාමකාමීව එකට ජීවත් වීමට ඉඩක් ලබා දීමයි. දේශපාලන වාසි තකා ජාතීන් අතර සැකය වපුරන ඕනෑම නායකයෙකුට අප එක හඬින් පැවසිය යුත්තේ එකම දෙයකි
‘අපේ සාමය ඔබේ ඡන්ද ගුලියක් කර නොගන්න!’
ප්‍රසංග අල්විස්