අපේ රටේ ජනතාව පාලකයෝ පත් කරගන්නේ අවස්ථාවාදීව හිතලයි: මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
Posted on January 21st, 2026
උපුටා ගැන්ම හිරු පුවත්

අපේ රටේ ජනතාව අවස්ථාවාදීව සිතා පාලකයින් පත්කර ගන්නා බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ප්‍රකාශ කරනවා.
උන්වහන්සේ මේ බව පැවසුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වූ අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (21)දින සිදුකෙරුණු අවස්ථාවේදී අනුශාසනාවක් කරමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් මෙසේද පැවසුවා.
අපේ රටේ ජනතාව මට හිතෙනවා එක වෙලාවකට ටිකක් මෝඩද කියලා.
බොරු පොරොන්දුවලට පොඩි පොඩි සිල්ලර පොරොන්දුවලට අපේ රටේ ජනතාව බොහෝවිට පාලකයින් පත්කර ගන්නවා.
පාලකයින්ගේ ගැඹුර, රටට තියෙන ආදරය, රටට තියෙන ගෞරවය ගැන ඒගොල්ලන් හිතන්නේ නැහැ. අවස්ථාවාදීව හිතලා පාලකයින් පත්කරගන්නවා.
අපේ රටේ පාලකයෝත් අවස්ථාවාදීව කටයුතු කරනවා. අපේ රටේ පාලකයෝ අපේ සංස්කෘතිය වෙනුවෙන් ලබාදෙන තැන මොකක්ද කියලා අපිට පේනවා.
අපේ රටේ පාලකයෝ අපේ ආගමට ලබාදෙන තැන පැහැදිලියි.
අපේ රටේ පාලකයෝ අපේ ජාතියට ලබාදෙන තැන පැහැදිලියි.
ඒවා ගැන අමුතුවෙන් විවරණය කරන්න දෙයක් නැහැ.