බලංගොඩ කස්සප හිමි සම්බන්ධ නඩුවේ සම්පූර්ණ ගොනුවේ පිටපත් ලබාදීමට අධිකරණයෙන් නියෝග
Posted on January 21st, 2026
උපුටා ගැන්ම හිරු පුවත්

Share Post
වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් කර බුදුපිළිමයක් තැන්පත් කිරීමෙන් වෙරළ සම්පත් පනත කඩකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් දස දෙනා සම්බන්ධ සිද්ධියේ සම්පූර්ණ නඩු වාර්තාව සැකකාර පාර්ශ්වයගේ නිතීඥවරයාට ලබා දෙන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් අධිකරණ රෙජිස්ට්රාර්වරයාට අද (21) නියෝග කළා.
මෙම සිද්ධියට අදාලව සැකකාර පාර්ශ්වය වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
මෙම මෝසම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නිතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව පවතින එක් චෝදනාවක් ඉවත් කර ගැනීමට නීතිපතිවරයා අභියාචනාධිකරණයේදී එකඟතාවයක් පළ කර ඇති බවයි.
මෙම නඩුව ඉකුත් 19 වන දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අදාල එකගතාව සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දුන් බව ද නිතීඥවරයා අධිකරණයට සඳහන් කළා.
එදින පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් නීතිපතිවරයාගේ එම ස්ථාවරයට පටහැනිව යමින් විරෝධය පළ කළ බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඒ බව ඉකුත් 19 වන දින මෙම නඩුව කැඳවීමට අදාලව ඉකුත් 20 දින ජාතික පුවත්පත්වල පළ වූ ප්රවෘත්ති මගින් හෙළිදරව් කර ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය අධිකරණයට විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ 2024 අංක 8 දරණ පනත, අධිකරණ සංවිධාන පනතේ 55 වගන්තිය , දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ චෝදනා ගොනු කළ යුතු තත්ත්වයක් පැන නැගී ඇති බවට මෙහිදී නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
ඒ අනුව ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරීමට අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කරමින් පවතින බව සඳහන් කළ නීතිඥවරයා ඒ සඳහා මෙම නඩුවේ සම්පූර්ණ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙසට ඉල්ලීය.