කතානායක සහ පෞද්ගලික ලේකම් ධුරවලින් ඉවත් විය යුතුයි – දයාසිරි කියයි
Posted on February 5th, 2026

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

කතානායකතුමාට එරෙහිව අල්ලස් කොමිසමට ලැබී ඇති පැමිණිල්ල විභාග වී අවසන් කරන තුරු කතානායකතුමාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එම තනතුරුවල ක්‍රියා කිරීම සුදුසු නොවන නිසා ඔවුන් එම තනතුරුවලින් ඉවත් විය යුතු බවත් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් සහ ආණ්ඩුවෙන් තමා ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කතානායකතුමාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිල්ලට අදාල කාරණයක් සම්බන්ධයෙන් තමා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අද පෙරවරුවේ උත්සාහ ගත්තද ඊට කතානායකවරයා ඉඩ ලබා නොදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කතානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල හැන්සාඩ් ගත කිරීමෙන් සහ සභාගත කිරීමෙන් අනතුරුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම පැමිණිල්ලට අදාල පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු කතානායකතුමාත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාත් එම ධූරවල කටයුතු කිරීම සුදුසු නොවන බවයි.

එම නිසා ඔවුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් වන ලෙසට සදාචාරාත්මකව තමා ඉල්ලීමක් කරන බවද දයාසිරි ජයසේකර කියා සිටියේය.

අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල මගින් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා රැසක් එල්ල වී ඇති නිසා කතානායකවරයා පාර්ලිමේන්තුවේ කතානායක වශයෙන් කටයුතු කිරීම සුදුසු නොවන බවත් විපක්ෂය ඉල්ලා සිටින්නේ මෙම පරීක්ෂණ අවසන් වන තුරු කතානායක ධූරයෙන් ඉවත් වන ලෙස කියාත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress