සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දේශපාලනිකයි – මහාචාර්ය රොහාන් ගුණරත්න
Posted on February 25th, 2026

Courtesy HiruNews

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න සඳහන් කර ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලනික ක්‍රියාවලියක් ලෙස පෙනෙන බවයි.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ජාතික ආරක්ෂක වෘත්තිකයෙකු වන ජෙනරාල් සුරේෂ් සලේ මුළු ජීවිතයම ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා කැප කළ අයෙක් බවයි ඔහු සඳහන් කරන්නේ

ජෙනරාල් සලේ කිසිදු වරදක් කළ අයෙකු නොවන අතර 2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට ද ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව මහාචාර්යවරයා පවසනවා.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් සිටි සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දේශපාලනික වශයෙන් සිදුකළ කටයුත්තක් ලෙස පෙනී යන බවයි මහාචාර්ය රොහාන් ගුණරත්න වැඩි දුරටත් පවසන්නේ.

මේ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතු වූ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස සිටින අය ගැනද විමර්ශනය කළ යුතු බවද ඔහු පවසනවා.

ජෙනරාල් සලෙයි අත්අඩංගුවට ගැනීම කණ්ඩායම් දෙකක් විසින් සමරන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ ඉන් පළමු කණ්ඩායම පාස්කු ඉරිදා සංහාරය සිදු කළ ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් බවත්, දෙවැනි කණ්ඩායම පාස්කු සංහාරය පිළිබඳ ව්‍යාජ ආඛ්‍යාන සහ කුමන්ත්‍රණ න්‍යායන් ගොතමින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට දොස් පවරන දේශපාලන රැඩිකල්වාදීන් බවයි.

මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරය – ජාත්‍යන්තර ප්‍රජාවට පාඩම්” යන ග්‍රන්ථයේ කතුවරයා ලෙස තමා එම ප්‍රහාරය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර අපරාධකරුවන් හඳුනාගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ නායකයින් ජාතික ආරක්ෂාව සමඟ සෙල්ලම් නොකළ යුතු බවත් ජාතියක් සුරක්ෂිත කිරීම සඳහා ද්විපාර්ශ්වික ප්‍රවේශයක් තිබිය යුතු බවත් පෙන්වා දෙන මහාචාර්ය රොහාන් ගුණරත්න පවසන්නේ පරිණත පාලනයක ස්වභාවය එය බවයි.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress