සපුමල්ගස්කඩ ආරණ්‍ය සේනාසනාධිපති අති පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි නාහිමිගේ ඕස්ට්‍රේලියා සංචාරය
Posted on March 26th, 2026
සංගදාස අකුරුගොඩ
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය දරන්නාවු සපුමල්ගස්කඩ ආරණ්‍ය සේනාසනාධිපති අති පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි නාහිමියන් ලබ්න අප්‍රේල් මස මෙල්බර්න්හි බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ සති 3ක පමණ කාලයක් වැඩසිටීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පුරාණ බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන, විශේෂයෙන්ම මුලතිව්හි කුරුන්දි විහාරය, ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීමට දරන උත්සාහයන් නිසා පුළුල් ලෙස පිළිගැනීමට ලක්ව ඇති ශාන්තබෝධි නාහිමියන්, වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ක්‍රි.ව. පළමුවැනි සියවසට අයත් පුරාණ පබ්බතාරාම පරිශ්‍රයක්වූ සපුමල්ගස්කඩ රජමහ විහාරයට අමතරව බෝගස්වැව ශ්‍රී සාලවනොරාමයේත්, මුලතිව්හි පිහිටි වැලිඔය හංසවිල ස්වර්ණහංස විහාරයේත් විහාරාධිපති වසයෙන් කටයුතු කරයි. ඒ අතර තුර, උන්වහන්සේ වද්දමන පබ්බත විහාරය, විශුද්ධාරාම රජ මහා විහාරය සහ සුගන්ධිපුරම් විහාරය ඇතුළු උතුරු පළාතේ විහාරස්ථාන කිහිපයක කටයුතු අධීක්ෂණය කරමින් එම ප්‍රදේශයන්හි නැවත වරක් බුද්ධාගම යලි ස්ථාපිත කිරීමට, ඉමහත් වෑයමක යෙදී සිටී.
මහාවංශයට” අනුව ක්‍රි.පූ. 109-104 කාලය තුළ කල්ලාටනාග රජු විසින් ඉදිකරන ලද කුරුන්දි විහාරය, බුදුන් වහන්සේ සිය දෙවන ලංකා සංචාරයේදී වැඩසිටි ස්ථානයක් ලෙස සැලකේ. 1933 දි, එවකට පැවති රජය විසින් කුරුන්දි විහාර සංකීර්ණ භූමිය සහ ඒ අවට පිහිටි තවත් විහාර සංකීර්ණ භූමියත් විශේෂ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද අතර එය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විෂය පථයටද අයත් කර ඇත,
2018 දී, බොහෝ විට විදුලිය හෝ නල ජලය පවා නොමැතිව දුෂ්කර තත්වයන් යටතේ, ශාන්තබෝධි නාහිමියෝ පුරාණ කුරුන්දි ආරාමය පුනර්ජීවනය කිරීමේ මෙහෙයුම ආරම්භ කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා මුදල් නොමැති බැව් පැවසුවද, උන්වහන්සේ බෞද්ධාලෝක පදනමේ සහ වෙනත් දායකයින්ගේ අනුග්‍රහය ඔවුනට ලබාදී, වැඩ ආරම්භ කරවන ලදි.
මුලතිව්හි කුරුන්දි විහාරයේ කාර්යයෙන් සිදුකරන අතර තුර, උන්වහන්සේ වව්නියාවේ වනාන්තර රක්ෂිතයක් තුළ පිහිටා ඇති සපුමල්ගස්කඩ පුරාවිද්‍යාත්මක ස්ථානය සංරක්ෂණය කිරීම සාර්ථකව මෙහෙයවිය. පුරාවෘත්තයට අනුව, මෙම ස්ථානයේ විශේෂයෙන් ඉදිකරන ලද ශාලාවක කෙටි කාලයක් දළදා වහන්සේ තැන්පත් කර ඇති අතර, එම ස්ථානයේ ඇති නටබුන් වූ ගොඩනැගිලිවලින් එකක් තවමත් දළදා මාලිගාව (ධාතු මන්දිරය) ලෙස හැඳින්වේ.
සපුමල්ගස්කඩ ආරාමයේ ප්‍රධාන නාහිමි ලෙස, උන්වහන්සේ වනගතව වාසය කරන භික්ෂූන් වහන්සේලාගේ ප්‍රජාවකට නායකත්වය දෙන අතර ආරණ්‍යයේ අධ්‍යාත්මික සම්ප්‍රදායන් පවත්වාගෙන යයි.
අනුරාධපුර යුගයේ මුල් කාලීන ආරාම භූමියක් වූ, වද්දමන පබ්බත විහාරය විනාශකාරී ක්‍රියාවලින් සහ ආක්‍රමණවලින් ආරක්ෂා කිරීමට උත්සාහ කරන 2023 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක ප්‍රධාන පෙත්සම්කරුවෙකු වූයේ ශාන්තබෝධි නාහිමිය. මීට අමතරව උතුරු පළාතේ තවත් බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයක් සංරක්ෂණය කොට අරක්ෂාකරගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුලු අධිකරණ පද්දතිය තුල, ඍජුව හෝ වක්‍රව නඩු 10කට ආසන්න සංඛයාවක උන්වහන්සේ කටයුතු කරමින් සිටී.
උතුරු ප්‍රදේශයෙන් වැඩි කොටසක්, වසර 30 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා රජයේ පාලනයෙන් ගිලිහී තිබීමේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශ විය නොහැකි විය. 2009න් පසු මෙම ප්‍රදේශවලට ප්‍රවේශ වීමේ නිදහසට අමතරව, මුලතිව්, වව්නියාව, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි වනාන්තරවල සැඟවී තිබූ පුරාණ බෞද්ධ ස්ථාන සියගණනක නටබුන් හමුදාව විසින් සොයාගෙන ඇත. බෙදුම්වාදීන් සිදුකල 30 වසරක ජනවාර්ගික ගැටුම් හමුවේ, මෙම විහාරස්ථාන කිහිපයක භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුට සහාය දුන් බෞද්ධ ගම්මාන ද අතුරුදහන් වී ඇත.
ජනාකීර්ණ ප්‍රදේශයන්වූ මන්නාරම, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල බෞද්ධ නටබුන් විනාශ වී තිබුනද, වනාන්තර වලින් පිරි වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙක තුල වැඩිවශයෙන් දක්නට ලැබෙන බෞද්ධ නටබුන් පහසුවෙන් සංරක්ෂණය කර, එමගින් නැවත වරක් උතුරේ බුද්ධාගම ස්ථාපිත කරලීමට, ජාතික සැලැස්මක් සහ ජාතික මමත්වයක් ඇති ලොව පුරා විසිර සිටින සිංහල-බෞද්ධයින්ගේ සහයෝගය ශාන්තබෝධි නාහිමියන්ට ලබාදිය යුතුවේ.
අති පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි නාහිමිගේ ඔස්ට්‍රේලියා සංචාරය පිළිබඳ වැඩි විස්තර පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.
රංජිත් සොයිසා: +61478 087 408 ගයාන් ද මෙල්: +61400 306 434 දුර්ගා අල්විස්: +61419 832 310
සංගදාස ඇකුරුගොඩ