කලාකීර්ති කලාසූරී ආචාර්ය එඩ්වින් ආරියදාස
Posted on January 23rd, 2021

මාධ්‍ය නිවේදනය විදුර වික්‍රමනායක ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය.

දශක ගණනාවක් පුරා ස්වර්ණමය පරිච්ඡේදයක් ඉතිහාසයට එක් කළ ජනමාධ්‍ය ලෝකය දික්විජය කළ කලාකීර්ති කලාසූරී ආචාර්ය එඩ්වින් ආරියදාස නම් වූ ඒ අසහාය යුග පුරුෂයාණන් අප අතරින් සමු ගත්තේ අපේ රටේ සියලූම දෙනාට උගත හැකි බොහෝ දේ ඉතිරි කර තබමින්.
එමෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම විවිධ වූ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ තම විශ්මිත කෞෂල්‍යයන් තුළින් රට වෙනුවෙන් මිල කළ නොහැකි සේවාවක් ඔහු ඉටු කළා.
1922 දෙසැම්බර් 03 දා දකුණු ලක උණවටුන ප්‍රදේශයේ ජන්ම ලාභය ලැබූ එඩ්වින් ආරියදාසයන්ගේ 98 වන ජන්ම දිනයේ දී හමුවීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයක් සේ ම සැම දා සිතේ රැෙදන මතකයකි. අපේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක උපදේශකවරයෙකුසේම විශිෂ්ඨ පරිපාලකවරයකු ලෙස ද කටයුතු කරමින් රටට දැයට අමිල සේවාවක් සිදු කළ ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රවල පවා අවධානයට ලක්වෙමින් දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ අපේ රටේ අග්‍රගන්‍යතම ඡ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියායී. විශිෂ්ට ග්‍රන්ථ කර්තෘවරයෙකු, පරිවර්තකයෙකු, ජනමාධ්‍ය පර්යේෂකවරයෙකු සිනමා හා සාහිත්‍ය විචාරකයෙකු මෙන් ම පරිසරවේදියකුද වූ එඩ්වින් ආරියදාසයන් අපේ රටේ අසහාය විශ්වකෝෂයක් බදු විය. ඔහු විසින් නිර්මාණය කළ පදනම් මතින් අපේ රටට දායාද වූ මාධ්‍යවේදීන් ඇතුළු ප්‍රවීනයන් බොහෝමයි.
සියවස් ගණනාවකට නොමැකෙන මතකසටහන් සම්භාරයක් අපේ රටට ඉතිරි කර තබමින් දැයෙන් සමුගන්නා අසහාය ජනමාධ්‍යවේදියාණන්ට නිවන් සුව අත්වේවායී ප්‍රාර්ථනා කරන අතර මාගේ සාතිශය සංවේගය මෙයින් ප්‍රකාශ කර සිටිමි.
විදුර වික්‍රමනායක
ජාතික උරුම ප්‍රාසාංග කලා හා
ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress