රට තුල ඩොලර් හිඟයක් පවතින අවස්ථාවේ පානීය ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සිදුවන නාස්තිකාර මිලදී ගැනීම් සම්බන්ධයෙන්.
Posted on March 3rd, 2022

ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය

ගරු ජනාධිපතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

රට තුල ඩොලර් හිඟයක් පවතින අවස්ථාවේ පානීය ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සිදුවන නාස්තිකාර මිලදී ගැනීම් සම්බන්ධයෙන්.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රටපුරා කිලෝමීටර් 40 ලක්‍ෂයක් ජල නල එලීමට සැලසුම් සකස් කරමින් සිටී. වෙනුවෙන් අවශ්‍ය වන නව ජල පිරිපහදු ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන්ද සැලසුම් සකස් කරමින් සිටින අතර සමහරක් ඒවා වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීම්ද ආරම්භ කර තිබේ.

බෙදා හැරීමට අවශ්‍ය ජලය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ජල පිරිපහදු ඉදිකිරීමටත් පෙර දැන් මුලින්ම සිදුකරනුයේ මහා පරිමාණයෙන් පයිප්ප මිලදී ගැනීම සහ රටපුරා ජල නල එලීම් සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමයි. මෙම මිලදී ගැනීම් මෙන්ම ජල නල එලීම් සඳහා කොන්ත්‍රාත් ලබාදීම තරඟකාරී මිල කැඳවීම්වලින් තොරව මණ්ඩලය මගින් තීරණය කල ඒකක මිලකට (unit price) තෝරාගත් අයවලූන් හට ලබාදෙන බව දැනගන්නට තිබේ.

මෙම ක්‍රමවේදයන් මහා පරිමාණ වංචා දූෂණවලට ඉඩකඩ සලසනු ඇති බව අප අදහස් කරමු. ජලය නිෂ්පාදනය වෙනුවෙන් පිරිපහදු සෑදීමට පෙර ජලනල එළීමත් මහා පරිමාණයෙන් පයිප්ප ගෙනැවිත් ගොඩගැසීමත් මහා නාස්තිකාර ක්‍රියාවලියක් බව පෙනේ. මේ වනවිට වරායේ ඇති කන්ටේනර් 150 පම භාණ්ඩ ගොඩබෑම සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිවීමෙන් දිනෙන් දින ප්‍රමාද ගාස්තු එකතු වන අතර මෙය මහා ඩොලර් නාස්තියකි. තවද මිලදී ගැනීම් වෙනුවෙන් ඩොලර් මිලියන 100 පමණ හදිසි ණය පහසුකම්ද (Supplies Credit) ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.

එපමණක් නොව පයිප්ප මිලදී ගැනීම් මෙන්ම තවත් යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙනුවෙන් ඩොලර් මිලියන 800 කටත් වඩා වැඩි මුදලක් ඉල්ලා සිටීමට යන බවද දැනගන්නට තිබේ.

ජල පිරිපහදු සෑදීම ආරම්භ කිරීමටත් පෙර මහා පරිමාණයෙන් පයිප්ප ගෙන විට ගබඩා පහසුකම් නොමැතිවීමෙන් රටපුරා එළිමහනේ මේවා ගොඩගසා තැබීමට සිදුවනු ඇත. දීර්ඝ කාලයක් එසේ තිබීමෙන් මේවායේ තාක්‍ෂණික ගුණාත්මක භාවයත් විනාශ වනු ඇත. මෙය මහා නාස්තියකි.

රටේ ජනතාවට ආහාර, ඉන්ධන සහ බෙහෙත් වර්ග ගෙනඒමට නොහැකි ඩොලර් අර්බුදයක් ඇති අවස්ථාවක ජල සම්පාදන මණ්ඩලය තුල සිදු කිරීමට යන මෙම ඩොලර් නාස්තිය බරපතල අපරාධයක් බව පෙන්වා දෙන අප සංගමය මෙම අවිධිසත් ක්‍රියාවලිය පිළිබඳව වහාම සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

එමෙන්ම ජල පිරිපහදු ඉදිකිරීම් වෙනුවෙන් මහා පරිමාණ ණය ලබා ගැනීමට නොහැකි තත්වය තුල නව ක්‍රමයක් ලෙස ටෙන්ඩරය ලබාගන්නා කොන්ත්‍රාත්කරුට ව්‍යාපෘතියට අවශ්‍යවන ණය මුදල සොයා ගෙන ව්‍යාපෘතිය සිදු කිරීමටත් පසුව ණය මුදල ජල සම්පාදන මණ්ඩලය මගින් ගෙවීම නැවත (Contractor Financing) යන ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යයි. මෙම ක්‍රමය දූෂණ වංචා සඳහා ඉතාම පහසු වනු ඇත.

මහා පරිමාණයෙන් භාණ්ඩ ඇනවුම් කිරීමත්, කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමත් මණ්ඩලීය ඉංජිනේරුවරුන් හෝ නිලධාරීන්ගේ ඉල්ලීම් මත සිදු නොවන අතර මේ වෙනුවෙන් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව පෙනේ. හදිසි නොවන ආයතන අවශ්‍යතාවයන් වෙනුවෙන් ක්‍රියාත්මක වී සිටියද වත්මන් දෛනික අවශ්‍යතාවයන් එනම් ජලපිරිපහදු වෙනුවෙන් අවශ්‍ය රසායන ද්‍රව්‍ය වෙනුවෙන් ණයවර ලිපි ලබාගැනීමට නොහැකිවී තිබේ. අනුව ඉදිරියේදී පානීය ජලයද ජනතාවට සැපයිය නොහැකි වනු ඇත. පාරිභෝගික නව ජල සම්බන්ධතා ලබාදීම නැවැත්වීමට සිදුවනු ඇත. ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් ලබාදෙන ජල සම්පාදන මණ්ඩලයේ විනාශයටත් ජනතාව අපහසුතාවයට පත්වීමටත් හේතුවන ඉහත අවිධිමත් ක්‍රියාවලිය නිවැරදි කිරීම වෙනුවෙන් ඔබතුමා මැදිහත්වනු ඇතැයි අප බලා පොරොත්තුවෙමු.

ස්තූතියි.

මෙයට,
ඉංජිනේරු උපාලි රත්නායක
ප්‍රධාන ලේකම්‍
ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය.

සම්බන්ධීකරණය0714817185
Coordinating – +94 714817185

01.
ගරු ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා
02.
සියලූ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය වෙත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress