ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය වරලත් ආයතනයක් බවට පත් කිරීමට අමාත්‍ය මනුෂ නානායක්කාරගෙන් තීරණයක්
Posted on November 17th, 2022

Manusha Media

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය වරලත් ආයතනයක් බවට පත් කිරීමට තීරණය කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

එය දකුණු ආසියාවේ විශිෂ්ටත ම සේවා මධ්‍යස්ථානය බවට පත්කිරීමටත් කටයුතු කළ යුතු බවත්, ඒ සදහා ආයතනයට හැකියාවන්, සම්පත් සහ නායකත්වය ඇති බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.

ඒ අද (17) දින පැවැති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

සම්මන්ත්‍රණය ඇමතූ අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ව වැඩබිම් තුළ අනතුරු 4000ක් පමණ වාර්තා වන බවත්, ඒ හේතුවෙන් වසරක දී වැඩකරන දින ලක්ෂ හයක් පමණ අහිමි වන බවත්, එය වාර්තා වන ප්‍රමාණය පමණක් බවත් ය.

සේව්‍ය සේවක විෂය දැනුම වර්ධනය කිරීම තුළින් වැඩ බිමෙහි ආරක්ෂාව සහ සුරක්ෂිතතාව තහවුරු කිරීමෙන් ඵලදායීතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ‘වෘත්තීය සුරක්ෂිතා සහ සෞඛ්‍ය කළමණාකරණ පද්ධතිය හරහා ආරක්ෂාව ජයග්‍රහණය කරමු‘ (Win Safety Through OSH Management System ”) යන මැයෙන් මෙවර සැසිය සංවිධානය කර තිබුණි.
ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය කම්කරු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අතර, වෘත්තීය අනතුරු සහ රෝගාබාධ වැළැක්වීම තුළින් නිරෝගීමත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම උදෙසා වන වැඩසටහන් සහ ඒ සදහා අවශ්‍ය පුහුණුවීම් සහ අධ්‍යාපනය ලබා දෙයි.

සම්මන්ත්‍රණය ඇමතූ අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පවසා සිටියේ ය.

ඉකුත් සදුදා අපි 2023 අයවැය ඉදිරිපත් කළා. ජාතික ඵලදායීතා කොමිසමක් ස්ථාපිත කිරීම එහි ප්‍රධාන යෝජනාවක්. ඒ වගේ ම සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමත් තවත් වැදගත් යෝජනාවක්. මේ හරහා අපේ ශ්‍රම බලකාය ආරක්ෂා කර ගන්නත්,ඵලදායීතාව සම්බන්ධයෙන් ඇති අඩුපාඩු ගැන සේවා යෝජකයන්ට තියෙන අනවශ්‍ය බරත් ඉවත් කරන්න පුළුවන් වේවි. හැබැයි රැකියා ස්ථානයේ විය හැකි අනතුරු මගහැර අපට මේ කිසි ම ආර්ථිකයක ඵලදායීතාව ගැන කතා කරන්න බෑ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තොරතුරුවලට අනුව වෘත්තීය අනතුරු සහ රෝගවලින් වාර්ෂික ව මිලියන 2.2ක් මිය යනවා. මිලියන 270ක් බරපතල එහෙත් මාරාන්තික නොවන අනතුරු වලට ලක් වෙනවා. තවත් මිලියන 160ක ප්‍රමාණයක් කෙටි හෝ දිගු කාලීන රෝගීන් බවට පත් වෙනවා. ගෝලීය දළ නිෂ්පාදිතයෙන් 4%ක් මේ අනතුරු සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වයන්වලට වියදම් වෙනවා.

ලංකාවෙත් වාර්ෂික ව වැඩබිමේ අනතුරු 4000ක් පමණ වාර්තා වෙනවා. ඒ වාර්තා වෙන ප්‍රමාණය විතරයි. ඒ නිසා වාර්ෂික ව වැඩකරණ දින ලක්ෂ හයක් පමණ අහිමි වෙනවා. මේ වගේ වාතාවරණයක් ඇතුළේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයට පැවරී තිබෙන්නේ ඉතා වැදගත් කාර්ය භාරයක්.

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍යායතනය ආරම්භයේ සිට ම වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් දැනුම සහ පුහුණුව ලබා දීමත්, පර්යේෂණ කෙරෙහිත් යොමු වූ ආයතනයක්. ලංකාවේ සියලු ම කර්මාන්තවල පාහේ සුදුසුකම් ලත් වෘත්තීය සුරක්ෂිතතා සෞඛ්‍ය වෘත්තිකයන් යොදවලා තියෙනවා. ඒ නිසා ම දැන් අපි විදේශ රැකියා වෙළෙදපොළ දෙසටත් අවධානය යොමු කළ යුතු ව තිබෙනවා.

අමාත්‍යංශයට පැමිණි පළමු දිනයේ සිට ම මම කියපු දෙයක් තමයි ජාතික සෞඛ්‍ය සහ වෘත්තීය සුරක්ෂිතා ආයතනය වරලත් ආයතනයක් බවට පත් කිරීමටත්, එය දකුණු ආසියාවේ විශිෂ්ටත ම සේවා මධ්‍යාස්ථානය බවට පත් කිරීමටත් අපි කටයුතු කළ යුතුයි කියන එක. මේක කරගන්න ආයතනය සතුව හැකියාවන්, සම්පත් සහ නායකත්වය තියෙනවා.

ඒ වගේ ම එළැඹෙන වසරේ සිට ඒකාබද්ධ අලෙවිකරණ සන්නිවේදන සැලැස්මක් හරහා ජාතික මට්ටමේ දැනුවත් කිරීමක් සිදුකිරීමටත්, එමගින් ආයතනය පෞද්ගලික අංශයේ ආයතනයක් මෙන් ව්‍යාපාරික සහ කාර්යක්ෂමතාව වර්ධනයටත් කටයුතු කරමු. නූනත ම තාක්ෂණය සමග ඉතා පුළුල් වූ සේවාවක් සපයන, විධිමත් තොරතුරු පද්ධතියක් සහිත වරලත් ආයතනයත් බවට පත් කර ගමු.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්, ජාතික සෞඛ්‍ය සහ වෘත්තීය සුරක්ෂිතා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්, අමාත්‍යංශයේ සහ ආයතනික ඉහළ කළමණාකාරීත්වය, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, ආයතන කළමණාකරුවන් සහ වෘත්තීය සුරක්ෂිතතා නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress