අධිරාජ්‍ය විරෝදී කැරලි වලට නායකත්වය දුන් නිසා අක්කර ලක්ෂ දහතුන් දහසක ඉඩම් විහාරස්ථානවලට අහිමි වුනා.-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on November 25th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

විහාරස්ථාන දහ හතරක් පුජා භූමි ලෙස ප්‍රකාශයට පත්කළ ඊට අදාල සන්නස්පත්‍ර ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  2022.11.25 දින අරලිය ගහ මන්දිරයේදී අද සිදුකෙරිණි.

  රත්නපුර කූරගල රජමහා විහාරය, කුරුණෑගල නිකසලා නුවර රජමහා විහාරය, මැද්දේපොල රජමහා විහාරය, බිංගිරිය දේවගිරි රජමහා විහාරය,  කොටහේන පරමානන්ද පුරාණ විහාරය, කෑගල්ල මාම්පිට ගල්ලෙන් රජමහ විහාරය, අම්පාර මගුල් මහා විහාරය, පියංගල රජමහා විහාරය, මාතර කොළවෙනිගම රජමහා විහාරය, ත්‍රිකුණාමලය ඇතානැගි කන්ද පුරාණ රජමහා විහාරය, බඹරගල ආරණ්‍ය සේනාසනය, සංඛමලේ රජමහා විහාරය, ත්‍රිකුණාමලය ආසිරිකන්ද රජමහා විහාරය, ත්‍රිකුණාමලය නාගලෙන රජමහා විහාරය පූජාභූමි සන්නස්පත්‍ර ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.   

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –  

 සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ඇප කැප වුණු, රාජ්‍ය පාලනයට සහාය වෙමින් විහාරස්ථානවල මහ සඟරුවන ඉතිහාසය පුරා විශාල මෙහෙයක් ඉටු කළා. ඒ හේතුවෙන්  වෙහෙර විහාරස්ථාන ඉදිරි පරම්පරාවන් වලට දායාද කිරීමට හැකිවුණා.  

  මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ දිනයේ සිට ශාසනික කටයුතු වඩාත් ශක්තිමත්ව පිහිටුවීමට රජදරුවන්ට පුළුවන්කම ලැබුණා. මහ සඟරුවන ඓතිහාසික ශිෂ්ටාචාරයක් බිහිකිරීමට කටයුතු කළා.  

 ගම්බිම් පෝෂණය කොට, ස්වාධීන, ස්වයංපෝෂිත ශක්තියක් ඇති කළ ජාතියක් ගොඩනැගුණා. ලොවම මවිත වූ ඒ උතුම් ශිෂ්ටාචාරය පිළිබදව කෙරෙන අධ්‍යයනයත් තවමත් අවසන් වි නැහැ. එය මුළු ලොවම අපි දෙස බලන අවස්ථාවක්.  බුද්ධ ශාසනය එලෙස පෝෂණය කරමින් පවත්වාගෙන යාමට අපේ මහ සඟරුවන දක්වන දායකත්වය වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව, පෝෂණය, පැවැත්ම හා සංවර්ධනයට රජයේ සහාය හිමිවෙනවා.

1815 මාර්තු 02 අපේ රට සුදු පාලකයින්ට යටත් වූ දවසේ කතිර කොඩිය බිම හෙළු වාරියපොල ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේයි. 1815 දි මෙරටට සුදු පාලකයින් පැමිණ වසර 150 ක් ගතවෙලා. තවත් අවුරුදු 75 පෙරාතුව අපට නිදහස ලැබුණා.  1815 න් පසුව 1818 සහ 1948  අතර පැවැති කැරළිවලට නායකත්වය දුන්නේ මහ සඟරුවන. ඒ නිසා විහාරස්ථානවලට අයත් අක්කර ලක්ෂ 13000ක්  භූමිය ඒ විහාරස්ථානවලට අහිමි වුණු බව සම්බුද්ධ ශාසන වාර්තාව සටහන් කරනවා.

 රාජ්‍ය නායකයන් අණපනත් මගින් පූජාභූමි බවට පත් කළ අපේ රටේ ඓතිහාසික සිද්ධස්ථාන සංරක්ෂණය කිරීම, දියුණු කිරීම, සංවර්ධනය කිරීම මගින් රටේ ජනතාවට මෙන්ම මෙරටට පැමිණෙන  ලක්ෂ සංඛ්‍යාත විදේශික ජනතාවට ද අවශ්‍ය පහසුකම් ලබාදීමේ කර්තව්‍යය  ඉටු කිරීමට පියවර ගත්තා. අද දිනයේ ද මේ ගත්තා වූ පියවර තුළින් එම අවශ්‍යතාවයන් සංවර්ධනය කිරීමට පියවර ගන්නවා.

 තේ, රබර් පොල් හෝ ඇඟලුම් නෙවෙයි අපිට ලොවට දායක කළ හැකි උත්තම දේ. ශ්‍රී ලංකාවට ලොවට දායක කළ හැකි උත්තම දේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තහවුරු කිරිමයි. බුද්ධ වචනය ලොව පුරා ගෙන යාමට පුළුවන් වීමේ මගයි.  

පූජාභූමි අමාත්‍යවරයාව සිටියදී වැඩිම පූජාභූමි ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කරමින් සංවර්ධනය කිරිම අගයමින් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ ඓතිහාසික කූරගල රජමහා විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරත්න හිමියෝ අතින් සමරු තිළිණ ප්‍රදානයක් ද මෙහිදි සිදුකෙරිණි.

මෙම අවස්ථාවට, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක, සමන්ප්‍රිය හෙරත්, යදාමිනී ගුණවර්ධන, කපිල අතුකෝරාල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress