ශ්‍රී ලාංකික මාක්ස්වාදීන් සිංහලයාට හෝ බෞද්ධාගමට පක්ෂපාතී වී නොමැත
Posted on August 29th, 2025
චානක බණ්ඩාරගේ
19/8/25 දින ලංකාවෙබ්හි පළවූ ‘Sri Lankan Marxists have not been pro – Sinhala or pro – Buddhist’ යන ඉංග්‍රීසී ලිපියේ සංශෝධිත සිංහල පරිවර්තනය, එම මුල් ලේඛකයා විසින්ම
ආචාර්ය එන්.එම්. පෙරේරා ආදී ආනන්දීයයෙක් බව සත්‍ය නමුත් වැඩිහිටියෙකු ලෙස ඔහු බුදු රජානන් වහන්සේට සැබෑ ලෙස වන්දනා කිරීමේ අරමුණෙන් බෞද්ධ විහාරස්ථානයකට ගොස් තිබේද නැද්ද යන්න සැක සහිතය. සමසමාජ පක්ෂය කිසි විටෙකත් සිංහලත්වය, බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ පක්ෂයක් නොවේ. ඔවුනගේ අනෙක් මාක්ස්වාදී සහකරු, කොමියුනිස්ට් පක්ෂය ද එසේමය.
ඩී.එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක උතුරේ, උතුරු මැද පළාතේ (රජරට) සහ නැගෙනහිර ‘ජනපද’ පිහිටුවීම පිළිබඳව කාර්යබහුලව සිටියදී, මෙම මාක්ස්වාදීන් එයට දැඩි ලෙස විරුද්ධ විය. උතුරට, රජරටට සහ නැගෙනහිරට පදිංචියට නොයන ලෙස එන්.එම්. දකුණේ ජනතාවගෙන් අයැද සිටියේය. ඔවුන්ට මැලේරියාව වැළඳෙන බව පවසමින් ඔහු ඔවුන්ව බිය ගැන්වීය. උතුරේ සහ රජරට කපුටන්ගේ ප්‍රමාණයේ මදුරුවන් සිටින බවට ඔහු බොරු ප්‍රකාශ කළේය.
ප්‍රභාකරන්ගේ භීෂණයෙන් රට බේරා ගත්තේ ඩීඑස් සහ පසුව ඩඩ්ලිගේ ජනපද වලට ස්තූතිවන්ත වන්නට බව අප කවුරුත් දනිමු. ඊලාම් යුද්ධ සමයේදී, ඩීඑස් සහ ඩඩ්ලි විසින් පිහිටුවන ලද කෘෂිකාර්මික ජනාවාස – පදවිය, ශ්‍රී පුර, වැලි ඔය, ගල් ඔය, අරන්තලාව, කන්තලේ ආදිය – අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර වැනි විශාල නගර සඳහා අත්‍යාවශ්‍ය ආරක්ෂක පද්ධතියක් සැපයීය.
මේ ‘මායිම් ගම්මාන’ නොතිබුනේ නම්, ප්‍රභාකරන් අනුරාධපුර, පොළොන්නරුව ආදී ප්‍රදේශවලට පහසුවෙන් සම්ප්‍රාප්තව අහිංසක ජනයා බොහෝ දෙනෙකු මරා දැමීමට අවස්ථාව තිබුණි.
දෙවන ලෝක යුද්ධ සමයේදී එන්.එම් සහ තවත් කිහිප දෙනෙකු කෙටි කාලයක් සිරගතව සිටියහ. නමුත් ඒ නිදහස් අරගලයේ නියැලීම නිසා නොවේ. ඔවුන් 1942 අයවැයට විරුද්ධ විය. රට යුද්ධයක යෙදී සිටි බැවින් (2වන ලෝක යුද්ධය), ඔවුන් ස්වභාවිකවම සිරගෙට යවන ලදී. එන්.එම් සහ සගයන් බන්ධනාගාරයෙන් පැන ගොස් ඉන්දියාවට පලා ගියහ. ඔවුන් ආපසු පැමිණි පසු, ඔවුන්ට ක්‍ෂමාව ලැබී සිය මන්ත්‍රී ආසන නැවත ලබා ගැනීමේ භාග්‍යය ලැබූණි.
ඉන්දියාව මෙන් වූ ශක්තිමත් අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් (ගාන්ධි) ශ්‍රී ලංකාවේ නොතිබූණි. නිදහස බන්දේසියක බහා අපට මහා බ්‍රිතාන්‍යය පිළිගැන්වීය.
අනගාරික ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය පාලකයනට එරෙහිව තනි සටනක් කළේය. බ්‍රිතාන්‍ය විරෝධියෙක් වීම නිසා ඔහු බොරු චෝදනා යටතේ බොහෝ කලක් ඉන්දියාවේ සිර අඩස්සියේ සිටියේය. ධර්මපාලතුමා නිදහස් කර ගැනීම සඳහා අතිමහත් කැපවීමකින් සටන් කළේ වෛද්‍යවරයෙකු වූ ඔහුගේ සහෝදරයායි.
ඩී.ආර්. විජේවර්ධනගේ ලේක්හවුස් ආයතනය ධර්මපාලතුමාට දරුණු ලෙස පහර දුන් අතර, ධර්මපාල හොරෙක් ලෙසට බොරු චෝදනා පවා එල්ල කළේය. ඩී.එස්., එෆ්.ආර්. සේනානායක, සර් ඩී.බී. ජයතිලක ඇතුළු පිරිස ධර්මපාල රටට කරන මෙහෙය නොපිළිගත් අතර රහසින් ඔහුට පහර ගැසුහ. ධර්මපාලතුමා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට මේවාද හේතු විය. නමුත් ඔහුගේ භෂ්මාවශේෂ ඉන්දියාවේ සිට වැඩම කර ශ්‍රී ලංකාවේ තැන්පත් කිරීමේ දැවැන්ත උත්සවයේදී, ඩී.එස්., සහ සර් ඩී.බී. ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළහ. එහිදී ඔවුහු ධර්මපාල වෙනුවෙන් ‘හොසනා’ ගායනා කළහ.
ධර්මපාලතුමා ජීවත්ව සිටියදී ඔහුට ඉහළ ගෞරවයක් හා පිළිගැනීමක් මෙරට නොලැබීම, විශේෂයෙන්ම ‘ප්‍රභූ’ පන්තියෙන් නොලැබීම පිළිගත යුතු කරුණකි. නමුත්, පොදු නිර්ධන සිංහල ජනයා සැමවිටම ඔහුට ආදරය කළහ.
බ්‍රිතාන්‍යයන්ට දණ නොගසා තරුණ එඩ්වඩ් හෙන්රි පේදිරිස් නිර්භීතව තම ජීවිතය පූජා කළේය. කිසිදා නොකළ වරදකට ඔහුව කොළඹ බන්ධනාගාරයේදී වෙඩි තබා ඝාතනය කරන ලදී.
70 දශකයේ මුල් භාගයේ සහ 80 දශකයේ අග භාගයේදී රෝහණ විජේවීර ශ්‍රී ලංකාවේ කුරිරු ත්‍රස්තවාදී කැරලි දෙකක් මෙහෙයවීය. නූතන ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදය හඳුන්වා දුන් මිනිසා ලෙස ඔහුගේ නම ඉතිහාසගත වේ (ශ්‍රී ලංකා ත්‍රස්තවාදයේ පියා). ප්‍රභාකරන් තුල පවා මුල් ත්‍රස්තවාද බීජය රෝපණය කරන ලද්දේ විජේවීරයි.
ජවිපෙ අරගල දෙකම අන්ත අසාර්ථක ඒවා විය. ඒවායේ ප්‍රථිපලයන් ලෙස දහස් ගණනකට ජීවිත/ අත් පා නැති විය. රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට සිදු වූ හානිය කියා නිම කල නොහැකි තරම්ය.
ජවිපෙ අරගල දෙකම සිංහල සහ හෝ බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් වූ සටන් නොවේ.
මේ කැරළි පිළිබඳව විජේවීරගේ අරමුණ හුදු ආත්මාර්ථකාමීත්වය සහ ඊර්ශ්‍යාව විය. එකළ, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ආණ්ඩු කෙරෙහි ඔහු තුල වෛරයක්/ද්වේශයක් විය.
රටේ ආරක්ෂාව දුර්වල බව විජේවීර දිටීය; එයින් ප්‍රයෝජන ගත හැකි බව ඔහුට හැගින.
විජේවීරගේ විශිෂ්ට සංවිධානාත්මක කුසලතාව සහ මුඛරිත්වය නිත්‍යානුකූල ලෙස බලයට ආ රජයන් අවී මඟින් පෙරළා දැමීය යුතුය යන ප්‍රබල මතය තරුණයින් තුල ගොඩ නැංවීමට සමත් විය.
විජේවීර මේ තරුනයන්වද රැවටුවේය. උලපනේ වතුයායේ සැඟවී සිටියදී, ඔහු අතිශය සුඛෝපභෝගී ලෙස ‘රජෙකු’ මෙන් ජීවත් විය. විස්කි පානය කිරීම සහ චෙස් ක්‍රීඩා කිරීමෙන් කාලය ගත කළේය. සැඟවී සිටියදී දරුවන් පස් දෙනෙකු බිහි කළේය. අල්ලා ගන්නා අවස්ථාවේ ඔහුගේ බිරිඳ 6 වන දරුවා අපේක්ෂාවෙන් සිටියාය.
විජේවීරගෙන් පසුව, රජයන් විසින් මෙම පවුල දීර්ඝ කාලයක් රැකබලා ගන්නා ලදී.
1987/88 දී විජේවීර ප්‍රභාකරන්ට ඇලුම් කළේය. ප්‍රභාකරන්ගේ යුද්ධය නිසා දකුණ හමුදාමය වශයෙන් දුර්වල බව විජේවීර දැන සිටියේය. එයින් ප්‍රයෝජන ගෙන ඔහු තම ත්‍රස්ත ව්‍යාපාරය ඉතාම කුරිරු ලෙස දියත් කළේය.
රජයට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් විජේවීර ප්‍රභාකරන් සමඟ ලිඛිත නොවන ගිවිසුමක් ඇති කර ගත්තේය – එල්ටීටීඊය උතුරෙන්/නැගෙනහිරින් රජයට පහර දෙන අතර ජවිපෙ දකුණෙන් රජයට පහර දීම.
මෙය කිසිසේත් දේශප්‍රේමියෙකුගේ නොව දේශද්‍රෝහියෙකුගේ චින්තනයයි.
රජයට අවශ්‍ය වුයේ දකුණේ අමතර යුද්ධයක් ඇති වීම නොවේ. නමුත්, විජේවීරට අවශ්‍ය වුයේ එයයි. ඔහු ඒ දේ කළේය.
මූළිකව, ප්‍රභාකරන්ට සහ සහ විජේවීරට වුයේ එකම මානසිකත්වයකි – ශ්‍රී ලංකාව විනාශ කර එය සමූලඝාතනය කිරීමයි. තම අභිමතාර්ථයන් උදෙසා මනුෂ්‍ය ජීවිත නැති කිරීම ඔවුන් දෙදෙනාට සුළු දෙයක් විය.
ශ්‍රී ලංකාව යම් හෙයකින් බිඳ වැටුණි නම් (ඒ වගට ඉතා ආසන්න විය), ප්‍රභාකරන් සහ විජේවීර ශ්‍රී ලංකාව එකිනෙකා අතර බෙදා ගනු ලබනවා ඇත.
නමුත්, බටලන්ද, සූරියකන්ද ආදී ප්‍රදේශවල වූ දේ කිසිසේත් අනුමත කළ නොහැකිය.
ජවිපේ ඉල් මහ විරුවෝ දේශප්‍රේමීන් නොවේ.
දේශප්‍රේමියෙකු කිසි විටෙකත් රජයේ පොලිස් භටයන්, සොල්දාදුවන් මරා දමන්නේ නැත, පොදු දේපළ සිත් පිත් නොමැතිව විනාශ කරන්නේ නැත.
මෙම ත්‍රස්තවාදීන් ලංවිම ට්‍රාන්ස්ෆෝමර් සිය ගණනක් පුපුරුවා හැර, ශ්‍රී ලංගම බස් රථ/පොදු වාහන දහස් ගණනකට ගිනි තබා, විවිධ හමුදා ඉලක්කවලට පහර දුන්හ; කොළඹ කොටුවේ පිහිටි විශිෂ්ට, පෞරාණික වටිනාකමක් තිබු සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල පවා (1987 දී සුනේත්‍රා රණසිංහ අමාත්‍යවරිය වූවාය) ඔවුන් විසින් ගිනි තබා විනාශ කරන ලදී.
රෙක්ස් ද කොස්තා, විජය කුමාරණතුංග, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, ප්‍රේමකීර්ති ද අල්විස්, දොස්තර ග්ලැඩිස් ජයවර්ධන, සාගරිකා ගෝමස්, පුජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි, රංජිත් වික්‍රමරත්න වැනි වැනි අහිංසකයන් ජවිපෙ ඝාතනය කළේය.
මෙවැනි දරුණු අපරාධ සිදු කළ අය, සමහරවිට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළ අය – කිසිදා යහපත් මිනිසුන් වේ යයි සිතීම සැක සහිතය.
සමහර ජවිපෙ ප්‍රවීනයන් දැන් ඔවුන්ගේ අපරාධ වීර ක්‍රියා ලෙස පම්පෝරි ගසන ආකාරය අමුතුය. සමහරු හමුදා ස්ථානවලට පහර දුන් ආකාරය සහ ට්‍රාන්ස්ෆොර්මර් විනාශ කිරීම ආදිය ගැන විවෘතව පවසති. නීතිය යටතේ, ඔවුන්ට එවකට නඩු පවරා නොමැති නම්, දැන් ඔවුන්ට නඩු පැවරිය හැකිය. බරපතල අපරාධ නීති කාලාවරෝධයක් නොමැතිව ක්‍රියාත්මක වේ.
නැවතත්, රටේ ජන ජීවිතවලට සහ පොදු දේපලවලට බරපතල අපරාධ සිදු කල මේ අයට කිසිසේත් ශ්‍රී ලංකාවට අවංකවම ආදරය කළ නොහැක. මේ නිසා, ඔවුන් කිසිදා දේශප්‍රේමීන් නොවේ.
මෑත කාලයේ පොදු දේපළ, මහජන මුදල් සොරකම් කල අයද (මෙවැනි දේශපාලනඥයෝ බොහෝයි) කිසිදා දේශප්‍රේමීන් නොවේ.
තමන් ඉපදී හැදී වැඩුණු රට කෙරෙහි ඔවුන්ගේ වූ ආවේණික වෛරය/ආදරය නොමැතිකම නිසාය ඔවුන් මෙවැනි තදබල වැරදි වලට පෙලභේන්නේ. මේ විෂම අදහස් තවමත් ඔවුන් තුල තිබිය යුතුය.
බලයේ රැඳී සිටීම සඳහා ඔවුන් රට දියුණු/සංවර්ධනය කිරීම් කරන නමුත්, ශ්‍රී ලංකාව ගොඩනැගීමේ සැබෑම වූ, සත්‍ය ආශාවක්, චින්තනයක් ඔවුනට තිබේද? මේ ලියුම්කරුගේ අදහස නැත යන්නය.
මෙම තර්කය අනුව, මාක්ස්වාදී (ජවිපෙ) සහ වෙනත් බොහෝ ශ්‍රී ලාංකික නායකයින් ශ්‍රී ලංකාවට , විශේෂයෙන්ම සිංහලත්වයට, බෞද්ධාගමට සැබවින්ම ආදරය නොකරන නිසා, ඔවුන්ට පහසුවෙන් මේ රට කැබලිවලට බෙදීමේ මනස සකසා ගත හැක.
බෙදුම්වාදී සහ වෙනත් සිංහලත්වයට/බෞද්ධාගමට විරෝධී න්‍යාය පත්‍ර අනුව වැඩ කිරීමට මේ අය කැමැත්තක් දක්වන්නේ, සිතන්නේ ඒ නිසායි.
විජේවීර කිසිදා බෞද්ධයෙකු නොවීය. ඔහු කතෝලික කාන්තාවක් සමඟ විවාහ විය, නමුත් ඔහු ක්‍රිස්තියානි ආගම ඇදහු බවටද කිසිදු වාර්තාවක් නොමැත.
ජනතා විමුක්ති පෙරමුණ අදේවවාදී – නිරාගමික දේශපාලන පක්ෂයකි. මාක්ස්වාදීන් වශයෙන් අප ඔවුන්ගෙන් මෙය අපේක්ෂා කළ යුතුය.
එන්.එම්. සහ විජේවීර අතර ඇති ප්‍රධාන වෙනස නම්, පළමුවැන්නා විශිෂ්ට මහත්මා ගති පෙන්වන්නෙකු වීමයි. මාක්ස්වාදියෙකු වුවද, ඔහු ප්‍රජාතන්ත්‍රවාදය තදින් විශ්වාස කළේය. විජේවීර මෙන් නොව එන්.එම්. (සහ ඔහුගේ සගයන්) කිසි විටෙකත් මිනීමැරුම් වැනි අපරාධ චේතනාවලින් යුක්ත වුවන් නොවුහ.
එදා සිටී සමසාමාජ/කොමියුනිස්ට් නායකයන් හොරුද නොවුහ.
විජේවීර අතිශය කෲර, හිතක් පපුවක් නැති අයෙක් විය. කළින් සඳහන් කළාක් මෙන්, මනුෂ්‍ය ජිවිතවල අගය ගැන සැලකීමක් නොදැක් වූවෙකි.
මාක්ස්වාදී පොල්පොට් කාම්බෝජයේ වැඩිහිටියන් සියල්ලන්ම පාහේ මරා දැමීය. කණ්නාඩි පළදින්නන් බුද්ධිමතුන් යයි පැවසූ ඔහු ඒ අයට බියව ඔවුන් බොහෝ දෙනනෙක් මරා දැමීය. උතුරු වියට්නාමයේ ද එවැනිම මානසිකත්වයක් පැවතුනි, වාසනාවට දැන් එසේ නොවේ.
මාක්ස්වාදී ස්ටාලින් රුසියානු ඕතඩොක්ස් ක්‍රිස්තියානි පූජක පක්ෂයේ සෑම සාමාජිකයෙකුම වාගේ සහ එම ඇදහිල්ලේ බොහෝ ඇදහිලිවන්තයන්ව ඝාතනය කළේය; හෝ ඔවුන්ව කම්කරු කඳවුරුවලට යවා දමන ලදී.
මාක්ස්වාදී මාඕ සේතුං චීනයේ බෞද්ධ විහාරස්ථාන රාශියක් විනාශ කළේය. සංස්කෘතික විප්ලවය අතරතුර (1966 – 1976) තිබතයේ බෞද්ධ භික්ෂු ආරාම සහ විහාරස්ථාන 6,000 ක් පමණ විනාශ වූ බව විශ්වාස කෙරේ.
ක්‍රිස්තියානි අධ්‍යාපනයක් සහ හැදී වැඩීමක් ලැබුවද, මාක්ස්වාදී කැස්ත්‍රෝ කියුබාවේ කතෝලික පල්ලියේ බලපෑමට එරෙහිව කටයුතු කළේය.
2024 සැප්තැම්බර් මැතිවරණයට පෙර, වත්මන් ජාතික ජන බලවේග නායකයින් සිංහල විරෝධී, බෞද්ධ විරෝධී හැඟීම් විටින් විට ප්‍රකාශ කළහ. ඒ සමහර දේ පහත සඳහන් වේ:
- අප සම්ප්‍රදායෙන් මිදිය යුතුයි. සම්ප්‍රදාය හොඳ නැහැ, මොකද එය ආර්ථික වර්ධනයට බාධාවක්.
- රාජ්‍යය ආගමෙන් වෙන් විය යුතුය. රාජ්‍යය කිසිදු ආගමකට ආධාර/අනුග්‍රහ ලබා නොදිය යුතුයි.
- බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය අහෝසි කළ යුතුයි.
- වසර 76ක් තිස්සේ ශ්‍රී ලංකාවට දෙමළ අගමැතිවරයෙකු බිහි කිරීමට නොහැකි වීම ගැන අප රටක් වශයෙන් ලැජ්ජාවට පත්විය යුතුයි.
රුවන්ඩාවේ ජනගහනයෙන් 9% ක් පමණ ටුට්සි ජාතිකයන් වන අතර, 90% කට වඩා හුටු ජාතිකයන් වේ. වත්මන් ටුට්සි ජනාධිපති ධුරයේ සිට, රුවන්ඩාවේ ඉහළම තනතුරු ටුට්සි ජාතිකයන්ගෙන් පිරී ඉතිරී ඇත.
කොංගෝවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DCR) නැගෙනහිර කොටසේ වාසය කරන හුටුවරුන්ට එරෙහිව යුද්ධයක් දියත් කිරීමට M23 ටුට්සි කැරලිකරුවන්ට උදව් කිරීම සම්බන්ධයෙන් රුවන්ඩාවට තදින් දොස් නැගේ.
ඕනෑම පුද්ගලයෙකුට, මානසික නිදහස, සංස්කෘතික නිදහස, ඕනෑම පලාතක ජීවත්වීමේ නිදහස සහ රාජ්‍යයේ අනිසි බලපෑමෙන් තොරව බියෙන් තොරව ජීවත් වීමේ නිදහස තිබිය යුතුයි. මේවා ආර්ථික නිදහසට වඩා වැදගත්ය.
මෙම ලේඛකයා දෙමළ අගමැතිවරයෙකු පත් වීම ගැන විරුද්ධ නැත, නමුත් රුවන්ඩා ආකාරයේ තත්වයකට නොවැටීමට අප ප්‍රවේශම් විය යුතුය.
කුසලතා මත තේරී පත්වන මේ රටේ දෙමළ හෝ මුස්ලිම් ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු අප සාදරයෙන් පිළිගත යුතුයි. නමුත්, කෝටා මත පදනම්ව ඉහළ තනතුරුවලට එන අයගේ තත්ත්වය මීට වඩා වෙනස්ය.
වත්මන් අගමැතිනි හරිනි එම තනතුරට පැමිණියේ කාන්තාවක් වීම නිසා නොව; ඇගේ අධ්‍යාපන සුදුසුකම් හා පෙන්වන ලද කුසලතා නිසාය.
අද, ජාතික ජන බලවේගය මාස 10 කට වැඩි කාලයක් බලයේ සිට ඇත. ඔවුන් මෙම කාලය තුළ සිංහලයට, බුද්ධාගමට බරපතල හානියක් සිදු කර නොමැත. නමුත් අනාගතය අවිනිශ්චිතය. ඉදිරියේදී කුමන ආකාරයේ ප්‍රථිපල ඔවුන් නිසා ලැබේදැයි කිසිවෙකුට කිව නොහැක.
පහත සඳහන් සිදුවීම් කනස්සල්ලට හේතු වේ:
- ඔවුන් බුද්ධශාසන අමාත්‍යවරයෙක් පත් නොකළහ.
- ඔවුන් ජය මංගල ගාථාව ඉතා වැදගත් පොදු උත්සවයකින් ඉවත් කළහ.
- උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස සිංහලයෙකු පත් කිරීමට ඔවුන් අසමත් විය.
- ඔවුන් යාපනයේ අලුතින් ඉදිකරන ලද ජනාධිපති මන්දිරය (කාමර 27, අක්කර 200) වෙනත් කටයුත්තක් සඳහා පැවරීමට සැලසුම් කරමින් සිටිත්. අනාගත ජනාධිපතිවරයෙකු යාපනයේ සිටින විට ආරක්ෂිතව වාසය කරන්නේ කොහේද?
- දෙමළ ඩයස්පෝරාව සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට ජාතික ජන බලවේගය පක්ෂයේ ධූරාවලිය අසාමාන්‍ය උනන්දුවක් දක්වයි. මේ ඩයස්පෝරා අයගෙන් බොහෝ දෙනෙක් දෙමළ ඊළාම් අදහස අත්හැර නොමැති බව අපි කවුරුත් දනිමු.
- දෙමළ ඩයස්පෝරාවට උතුරේ වටිනා ඉඩම් ලබා දීමට රජය සැලසුම් කරයි. නැවතත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඊළම විශ්වාස කරන්නෝය. යුද්ධයෙන් පසු, උතුරේ ආයෝජනයට කෝටි ගණනින් මුදල් යොදවනවා කියා වසර ගණනාවක් දකුණේ නායකයන්ට ඔවුහු පම්පෝරි ගැසුහ. අපේ නායකයන් සැමදා මේ රැවටිලි වලට අසු වන්නේ ඇයි?
- රටේ සෑම ප්‍රදේශයකම ජීවත් වීමට සියලු ජනතාවට මාර්ග සිතියමක් නිර්මාණය කිරීමට මෙම රජයද අසමත් වී ඇත. උතුරු හා නැගෙනහිර බොහෝ ප්‍රදේශවල ජීවත් වීමට කැමති දකුණේ සිංහලයන්ට එම පලාත්වල රජයේ නිලධාරීන්ගෙන් කුඩම්මාගේ සැලකිලි ලැබේ.
- සිසුන් 50 ට අඩු පාසල් වසා දැමීමට රජය ගත් තීරණයත් සමඟ, රනිල්ගේ රජයට ස්තූතිවන්ත වන්නට මන්නාරමේ සහ වවුනියාවේ මෑතකදී නැවත ආරම්භ කරන ලද සිංහල පාසල් නැවත වසා දැමීමට නියමිත බවද මේ ව්‍යංගාර්ථයෙන් පවසන්නේ?
- අභිමානවත් සිංහල බෞද්ධ ඉතිහාසය ව්‍යාජ ලෙස විකෘති කරන පුද්ගලයින්ට ප්‍රමුඛත්වය සහ අනවශ්‍ය පිළිගැනීම් ලබා දීම.
- රාවණාගේ යැයි කියනු ලබන ‘ගුවන් යානා’ සොයා ගැනීම සඳහා NPP රජයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙනුවෙන් අනවශ්‍ය දැවැන්ත වියදමක් රජය දැරීමට යයි. මෙම ව්‍යාපෘතිය සඳහා කාබන් කාල නිර්ණය කිරීමේ පිරිවැය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන ගණන් වැය වනු ඇතැයි විශ්වාස කෙරේ. ව්‍යාජ ශ්‍රී ලංකා ඉතිහාසයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රසිද්ධ කුප්‍රකට පුරාවිද්‍යා මහාචාර්යවරයෙකු මෙම ව්‍යාපෘතියටද සම්බන්ධ ව සිට ඇති බවට වාර්ථා වේ.
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා, පාසල්වල ඉතිහාසය ඉගැන්වීම සීමා කිරීමේ සැලැස්මක් ජාතික ජන බලවේගය පක්ෂයට ඇති බව පෙනේ.
- අපගේ වත්මන් පාසල් ඉතිහාස පොත්වල සහ අනෙකුත් සංසදවල, විශේෂයෙන් අන්තර්ජාලයේ නොකඩවා නිපදවෙන ව්‍යාජ ශ්‍රී ලංකා ඉතිහාසය නිවැරදි කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පෙනේ. පහත වැරදි සමහරක්:
- විජය උතුරු ඉන්දියාවෙන් වසර 2500කට පෙර මෙහි පැමිණියා වෙනුවට මේ රටේ ප්‍රාරම්භාකයා අප්‍රිකානු හෝමෝ සපියෙන් බවට පාසැල් සිසුනට උගැන්වීම.
- මිහිඳු මාහිමියන්ගේ ආගමනයත් සමඟ මුළු රටම බෞද්ධ වූ බව (වැද්දන් කිහිප දෙනෙකු හැර) මෙය හොඳින් ළමුනට නොඋගැන්වේ.
- දේවානම් පියතිස්ස රජුගේ කාලයේ ආරම්භ වූ මහා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳව සිසුනට නොඋගැන්වීම. ඒ වෙනුවට වසර 7,000 – 40,000 කට පමණ පෙර, මෙහි නොතිබූ, ව්‍යාජ උසස් ශිෂ්ටාචාරයක් ඉතා මෑතක සිට ප්‍රවර්ධනය කිරීම – මෙහි අරමුණ ශ්‍රේෂ්ට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය දියාරු කර හැරීමය.
- මහා රජවරු – දුටු ගැමුණු, ධාතුසේන, විජය බාහු ආදීන් – වර්තමාන පොත්/ඉතිහාස කතා වල ඔවුන්ගේ ශ්‍රේෂ්ටත්වය ගැන කිසිවක් සඳහන් නොවේ.
- පණ්ඩුකාභය, දේවානම් පියතිස්ස යන මහා රජවරු – ඔවුන් දෙමළ විය හැකි බවට සැකයක් නිර්මාණය කිරීම; කුවේණිද දෙමළ විය හැකි බවට මත පළ කිරීම.
- වෙනත් රටවලට පවා සහල් අපනයනය කළ, දිග් විජය ජයගත් මහා පරාක්‍රම බාහු වික්‍රමයන් ගැන වර්තමාන ඉතිහාසය පොත්/පාඩම් බොහෝ නිහඬය. දරුවන් මේ ගැන නොදනී.
- සීගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් නොවිය හැකි බවට පළ කිරීම.
- ශ්‍රී ලංකා භූමියේ මුල් වැසියන් හෙළයන් නොව දෙමළ ජනතාවය යන මතයක් ඉතා සියුම්ව ඇති කිරීම. හෙළ ජනතාව (උදා: බලන්ගොඩ මානවකයා) විජයගේ සිංහ වංශය (700ක් පිරිවර) සමඟ මිශ්‍ර වීමෙනි සිංහල ජාතිය බිහිවුයේ.
තවද;
- සහල් සහ යකඩ මුලින්ම සොයාගත්තේ ශ්‍රී ලංකාවේ යයි මතයක් නිර්මාණය කිරීම (නැත, චීනයේ). මෙවැනි දේ කරන්නේ ඉතා පිරිසිඳු සහ නිරවුල් වසර 2500 පැරණි ශ්‍රී ලාංකික ඉතිහාසය ව්‍යාකුල, අවුල් ජාලයක් බවට පත් කිරීමටය.
- බාර්ලි සහ ඕට්ස් ශ්‍රී ලංකාවේ වසර 7000ට පෙර සමු වීය යන්න (නැත, ඊශ්‍රායලයේ සහ මැද පෙරදිගින් – වසර 4000 – 5000 පමණ පෙර මේවා සොයා ගතී).
- ශ්‍රී ලංකාවේ සිංහයන් සැරිසැරූ බවට (මෙම කථාව ගොතා ඇත්තේ මහාවංශයේ සඳහන් සිංහබාහු පුරාවෘත්තය බොරු කිරීමේ චේතනාවෙන් විය හැක).
- රාවණා රජු දෙමළ ජාතිකයෙකු බව. ඔහු ඇත්තටම සිටියා නම් (මිත්‍යා කථාවකි) හෙළයෙකි.
- යාපනයේ දෙමළ රජවරුන් ඉතා උසස් කර දක්වා තිබේ. ඔවුන් ඇත්තටම සිටියාද? සමහර ප්‍රමුඛ ඉතිහාසඥයින්/විද්වතුන් පවසන්නේ නැත කියාය. පෘතුගීසින් එනවිට උතුරේ සංකිලි (රජ) සිටියා නම්, ඔහු කෝට්ටේ රජුගේ (8 වෙනි වීර පරාක්‍රමබාහු) උප රජෙකු වූ බව පෙනේ.
කලින් සඳහන් කළ පරිදි, ඓතිහාසිකව, ජනතා විමුක්ති පෙරමුණ සිංහල සහ/හෝ බුද්ධාගම කෙරෙහි කිසිදු විශේෂ අනුග්‍රහයක් දක්වා නැත (අනිත් ජාතීන්ට හානියක් නොවන පරිදි). ජාතික ජන බලවේගය මෙයින් වෙනස් වනු ඇතැයි අප බලාපොරොත්තු තබා ගනිමු.
ශ්‍රී ලංකාව යනු ගතානුගතිකත්වය, සාරධර්ම, විනය, සිරිත් විරිත්, ආගම, සංස්කෘතිය, ඉතිහාසය වැනි දේ පිළිබඳව ඉහළ අගයක් තබන සමාජයක් බව ජාතික ජන බලවේගය මතක තබා ගැනීම වටී.
අප සමාජය වනාහි සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, වැදි කදිම සම්මිශ්‍රණයකි.
ලිබරල් මතවාදයට තැන දෙනු පිණිස අපගේ මුල් බැස ගත් සම්ප්‍රදායනට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමට ගියහොත් එය සියළුම ජාතීන්ගේ ඉමහත් දෝෂාරෝපණයට ලක්වන කරුණක් බව ජාතික ජන බලවේගය දැන සිටීම වටී.
සිංහලයන්ට සහ බුද්ධාගමට සාධාරණ ලෙස සැලකීම පසෙකලා, ජාතික ජන බලවේගය අවම වශයෙන් සිංහලයන්ට සහ බුද්ධාගමට ආසාධාරණ ලෙස සැලකීමක් නොකරනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු.
මෙම මාස 10 තුල NPP රජයට අදාළ වෙනත්, සමහර කරුණු ඉතා සංෂික්ප්තව:
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඔවුන් සංවර්ධනය කරනු ඇත, නමුත්, එයට කාලයක් ගතවේ (SJB ද එය කරනු ඇත, සමහරවිට මොවුනටද වඩා හොඳට).
IMF ආධාර සහ අනුදැනුම, ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් දෙක වන චීනය සහ ඉන්දියාව අතර වූ අපගේ භූ ගෝලීය පිහිටීම, අධි සීග්‍රයෙන් ඉහල යන අපේ සංචාරක කර්මාන්තය, ට්‍රම්ප්, ෂී, මෝඩි, EU, ජපානය, UK – මේ සියල්ලෝම ශ්‍රී ලංකාවට දෙන සම්පූර්ණ සහයෝගය ආදිය නිසා ඉදිරියේදී අපේ ආර්ථිකය හොඳින් ඉහල යනු ඇත – නමුත්, වැඩ වර්ජන, උද්ගෝෂණ, අරගල, කඩාකප්පල් කිරීම්, කකුල් මාට්ටු අවම වුවහොත් පමණි.
රටේ ඉදිරි ගමන කෙසේ හෝ කඩාකප්පල් කිරීමට ඇතැම් යු ටියුබ් කරුවෝ පුදුමාකාර උත්සහයක් ගනිත්.
වාහන ආනයනය සඳහා ආර්ථිකය විවෘත කිරීම, කොටස් වෙළඳපොලේ සීග්‍ර වර්ධනය, විරැකියාව පහළ යාම රජයේ ධනාත්මක ආර්ථික ප්‍රගතියේ සංකේතයි.
කෘෂිකර්ම සහ අදාළ අමාත්‍යාංශ, අධ්‍යාපන, ප්‍රවාහන, සෞඛ්‍ය යන අමාත්‍යංශන් ඉතා දුර්වල ප්‍රගතියක් මෙම මාස 10 තුල දක්වා ඇත. රජය අපකීර්තියට පත් කිරීමට මේ අය සමත් වී ඇත.
හොරු ඇල්ලීම ජනතාවගේ එකම අපේක්ෂාවයි. මහ හොරුන්ට සුළු චෝදනා යටතේ නඩු පැවරීම පුරවැසියාට ප්‍රශ්නාර්ථයක් වී තිබේ.
බිලියන ගණනින් වත්කම් හිමි දුෂීත දේශපාලනඥයන් සහ උසස් නිලධාරීන් ඒවා සොයා ගත් ආකාරය අල්ලස් සහ දුෂණ මර්ධන කොමිසන් සභාවට පැහැදිලිව පෙන්වීමට නොහැකි නම් එයම බරපතල නඩු නිමිත්තකට කාරණයකි.
මේ දක්වා අප දන්නා පරිදි NPP දේශපාලනඥයන් අල්ලස් හා දූෂණයට සම්බන්ධ නොවීම ගැන NPP රජයට ප්‍රසංශා කළ යුතුය. මෙය වසර 76 ක් තුළ රටට සිදුවූ විශිෂ්ටතම දෙයකි. මෙය ඔවුන් දිගටම පවත්වා ගෙන යනු ඇතැයි මුළු රටේම අපේක්ෂාවයි.
නමුත් කළින් කී පරිදී, පුරවැසියාට වඩාත්ම වැදගත් දේ මෙයයි – මානසික නිදහස, සංස්කෘතික නිදහස, ඕනෑම තැනක ජීවත්වීමේ නිදහස සහ රාජ්‍යයේ අනිසි බලපෑමෙන් තොරව බියෙන් තොරව ජීවත් වීමේ නිදහස. මේවා ආර්ථික නිදහසට වඩා වැදගත්ය.