අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (7 කොටස)
Posted on October 4th, 2025

චානක බණ්ඩාරගේ

ඉස්සර දැව සංස්ථාවෙන් වනාන්තර අක්කරයක් කපනවා නම් කැලෑ  දෙපාර්තමේන්තුවෙන් ඒ ගමන්ම අක්කර 2ක් වත් කැලේ වවනවා. අද එය එසේ සිදුවන්නේ නැහැ.

අපේ කැලෑ කපා ස්වාභාවික පරිසරය සහ කාලගුණය වෙනස් කරගැනීම සහ වන ජීවී ගහනය අඩු කර ගැනීමට වඩා හොඳයි අපට අවශ්‍ය ලී වැඩි ප්‍රමාණයක් පිටරටින් ගෙන්වීම. මැලේසියාව, ඉන්දුනීසියාව රටවලින් අඩුවට ගන්න පුළුවන්.

සමහර රජයේ කාර්යාල තවමත් වැඩ කරන්නේ අතින් ලියන පොත්/ලෙජර්/ටය්ප් රයිටර් වලින්.  මේවාත් එක්ක දුර යන්න බැහැ – 20 වැනි ශත වර්ෂයේ තාක්ෂණය දැන් හරියන්නේ නැහැ. බොහෝ නිලධාරින් නව තාක්ෂණය දන්නේ නැහැ.

පොලිසියේ පැමිණිලි තවමත් ලියන්නේ අතින්, ලොකු පොතේ.

තවමත් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන්නේ දැනට වසර 100 පමණ සිට ඕලන්දයේ සිට ගෙන්වන දුම්රිය ටිකත් පතයි. අධික මිලක් ගෙවා මේ ටිකට් පත් කඩදාසි ඕලන්දයෙන් ගෙන්වා ගන්නේ. මේ පරිගණක අවධියේ ටිකට්පතක් කොම්පියුටරය මඟින් එවලේම නිකුත් කරන වැඩ පිළිවෙලක් සැකසුවොත් නරකද, මුදල් විශාල ප්‍රමාණයක් (විදේශ විනීමය) මේ රටේ ඉතිරි වෙනවා නේද?

හොඳ පරිගණක දැනුමක් ඇති පාසැල් සිසුවෙක් උනත් අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක නිපදවලා දෙයි, දැන් එච්චර අමාරු නැහැ.

හැබැයි මේ සඳහන් කල වෙනස්කම් ඉතා ප්‍රවේශමෙන් කරන්න ඕන, දැනට කෙරෙන වැඩත් කඩාකප්පල් කර ගන්නේ නැතිව.  

දැන් වසර 40ක් විතර ඉඳලා කියනවා අපේ රටේ කෝච්චි විදුලිබලය මඟින් ක්‍රියා කරන්න හදනවා කියලා. මේ අතින් ඉන්දියාව අපට වඩා බොහෝ දීර්ඝ දුරක්  ගිහින්.

කෝච්චි විදුලි බලයෙන් දුවන්න යෙදෙව්වා නම් ඩීසල් සඳහා යන විශාල වියදම ඉතිරිකර ගන්න ලැබෙනවා  පමණක් නොවෙයි පරිසර දුෂණය අඩු, මීට වඩා බොහෝ වේගයෙන් යන දුම්රිය සේවයක් අපට ලබා ගන්න තිබුනා.

සමහර අය රජයේ විශ්‍රාම වැටුප් දෙකක් ගන්නවා, නැතිවූ ස්වාමියා හෝ බිරිඳගේ එකත් සමඟ. මෙය අසාධාරණයි.

එකවර රජයේ විශ්‍රාම වැටුප් 2,3 ගත්ත ඉතා බලවත් දේශපාලනඥයෝ හිටියලූ.  මෑතකදීත් අරං.

කොහොමද දී ඇති  දේශප්‍රේමී ආදර්ශය.

 ‘මට මගේ ආධාර කරුවන්ට රක්ෂා දෙන්න පුළුවන් ඇමතිකමක් නෙවෙයි හම්බ වූනේ’ කියා එක් පසුගිය රජයක හිටපු ඇමතිවරයෙක් අඩාපාලි කීවවා. මේකෙන් මේ අය කියන්නේ රජයේ රැකියාවක් ලබා ගැනීමට නම් චන්ද කාලයේදී දේශපාලනඥයයෝ  පස්සේ ගිහින් ඒ අයට වැඩ කිරීමයි අවශ්‍ය  යයි කියන එක. උසස් අධ්‍යාපනික සහ වෘත්තිය සුදුසකම් වෙනුවට දේශපාලනඥයට පෝස්ටර් ඇලවුවා නම් ඇති.

සුදුස්සාට සුදුසු තැන්, රජයේ රැකියාවන් දීමේදී දිය යුතුයි. තවමත් (2025) මේ දේ සිද්ධ වෙන්නේ නැහැ හරියට.

රජයේ රැකියා 60,000 ළඟදීම දෙන්න යනවා, බලා ඉඳිමු දෙන හැටි.

උගතුන් කොන් කරනා සමාජයකට අනාගතයක් නොමැත.

රටේ ජනාධිපතිතුමා කොටුවේ ජනාධිපති මන්දිරයේ වාසය කල යුතුයි.  රටේ අගමැතිතුමා අරලියගහ මන්දිරයේ වාසය කල යුතුයි.  රාජ්‍ය ප්‍රධානී නිළ නිවෙස් තමන්ට ඕන ඕන විදියට හිතු මතේ වෙනස් කරන්න ගියොත් රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව ජනතාව තුල ඇති විශ්වාසය සහ ගෞරවය පළුදු විය හැකියි. 

දියුණු රටවල මේ දේවල් ව්‍යවස්ථාගත කරලා තියෙන්නේ.

ට්‍රම්ප් වයිට් හවුස් හි නොසිටියොත් දේශාභියෝගයක් ගෙනේවි ඔහුව ජනාධිපති ධුරයෙන් ඉවත් කරන්න.

රටේ ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට ජීවත්වීමේ අයිතිය අපේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙනවා.

මේ රටේ මහ ජාතිය හිතන්නේ මේ රටේ පළාත් 7යි කියලා?

උතුරු මැද පලාතෙන් පහළට පමණක් මෙන් මේ මහ ජන කොට්ටාශයේ පදිංචිය සීමා වීම නිසා ඒ  පළාත් 7 අද බොහෝ ජනාකීර්ණ වෙලා.  ඉඩම් හිඟ වීම නිසා අද බොහෝ විට  පවුලකට පර්චස් 7-10 වැනි ඉඩමක සිය නිවස හදා ගන්න වෙලා, ඉස්සර තිබු පර්චස් 25 -30න් නිවසක් සදා ගැනීමේ පුරුද්දට එරෙහිව.   පර්චස් 2න් ගෙයක් කොම්පඥවිදියේත්, පර්චස් 1න් ගෙයක් බම්බලපිටියේත්  හදා ගත් මහත්තයෙක් සහ නෝනා කෙනෙක්ව දන්නවා.

මහා නගර වැසියන්ට නල මඟින් ගැස්, ෆය්බර් ඔප්ටික් තාක්ෂණයෙන් ඉතා අධි වේගී ඉන්ටර්නෙට් පහසුකම් දිය හැකි නම් ඉතා අගෙයි, එහෙත් මේවා කරන්න නම් රට ගොඩාක් පොහොසත් වෙන්න ඕනා.

අප කළින් ලිපියකින් පෙන්වා දුන්නා මහ නගරවලට මළාපවාහන පද්ධතීන් (drainage systems) ඇති කිරීමෙන් වෙන විශාල වාසිය. දැනට මේ පද්ධතීන් ශ්‍රී ලංකාවේ තියෙන්නේ කොළඹ සහ යාපනයේ පමණයි.

මේ සෑම අවස්ථාවක්ම ඉදිරියේදී අපට සපල කරගැනීමේ හැකියාව තියෙනවා.

රජයන්ට කාලය, අවකාශය සහ සහයෝගය ලබා දිය යුතුයි.

රට දියුණු වෙනවා දැකීමේ ඊර්ශ්‍යාකාරයෝ (දේශීයව) බොහෝයි.

ගුවන් පථයේ මුල්ලක බොහෝ කාලයක් ගාල් කර තිබු ශ්‍රී ලංකාව නමැති යානය දැන් ටේක් ඕෆ් කරලා,

ඉහලටම ක්‍රමයෙන් නැඟ යන්න තමා තියෙන්නේ; උග්‍ර වායු කම්පන, ඝන සුළි කුණාටු, තද වැසි පරයා.

යානය තුල ගමන් කරන සියළු වැසියන් සීට් බෙල්ට් පැළඳ මේ සත් ක්‍රියාවට සහාය දිය යතුයි.  යානයේ ගමන් කරන්නන් අතර එහි දොර හැර සියළු දෙනා ප්‍රපාතයට ඇද දැමීමට මාන බලන අය සිටින බව සියල්ලෝ වටහා ගත යුතුයි.

බස්නාහිර පළාතේ ඉඩම් වලට නොර්වේ ආධාර මත පරිගණකයෙන් රජයෙන් නව ඉඩම් ඔප්පු නිකුත් කිරීමක් සිදු වුනා. හොඳ වැඩක්.  මෙය නැවත පටන් ගත යුතුයි.

MCC භීතිකාවක් මවලා යහපාලන යුගයේ ඇමරිකාවෙන් රටට හම්බ වෙන්න ගිය ඩොලර් බිලියන ½  මහඟු ත්‍යාගය අපට නැතිව ගියා. ඒ මුදලෙන් වැඩි කොටසක් කොළඹ ට්‍රැෆික් අර්බූදය විසඳන්නයි වෙන් කරලා තිබුනේ.

අපේ ඒ මුදල අරගත් නේපාලය සැහැල්ලු දුම්රිය සේවයක් ආරම්භ කළා.

දැන් බලයේ ඉන්න අයත් මේ බොරු භීතිකාව ඇති කරන්න එදා කටයුතු කළා (පොහොට්ටුවට අමතරව).

ඒ අයට දැන් තේරෙනේවා ඇති මොන තරම් විනාශයක්ද ඔවුන් මේ රටට කලේ, විපක්ෂයේ සිටින කාලයේ සෑම දේටම විරුද්ධ වෙමින්.

නිවාස ප්‍රශ්නය විසඳීමේ වැඩි බර පෞද්ගලික අංශය කරගහන්න ඕන. මේ සඳහා දැනට වඩා අඩු පොලියට නිවාස ණය නිවාස ඉදිකරන අයට ලබාදෙන්න ඕන. සිමෙන්ති, ලි, වානේ කම්බි,  වැනි නිවාස සැදීමට අවශ්‍යම ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල ඉතා අධිකයි, මේවායේ මිල අඩු කල යුතුයි.

ගංගා වැලි දැන් ඉතා මිළ අධිකයි, මිනිසුන්ට දරාගන්න බැහැ. අනෙක ඒවා ගොඩ කිරීමේදී වන පරිසර හානි අති මහත්.

ගංගා වැලි ප්‍රශ්ණය විසඳීමට – මනා පාලනයක් යටතේ විද්‍යාත්මකව, නිත්‍යානුකූලව  රටේ සුදුසු ප්‍රදේශවලින් පමණක් (එවැනි ප්‍රදේශ සීමීතයි) ඉතා ප්‍රවේශමෙන්  මුහුදේ වැලි ලබා ගෙන ඒවා ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයට ලබා දිය යුතුයි. සාමාන්‍ය ජලයෙන් සෝදා ගත් පසු මුහුදේ වැලි ගඟේ වැලි වලටත් වඩා හොඳයි.

වැල්ලෙන් වැලි ලබා ගන්නවා නම් ගත යුත්තේ තදින් වැලි මුහුදෙන් වැල්ලට ගොඩ ගහන කාලයට පමණයි. මේවා ගත්තට කමක් නැහැ කියන්නේ ගොඩ ගැසූ මේ විශාල වැලි කඳු රැල්ල සමඟ වාරකන් සමයේදී  ආපසු මුහුදටම ගසා ගෙන යන නිසා. ඊට පෙර අපට ප්‍රයෝජනයට ගත හැකියි.

පෝට් සිටියට යයි කියා උස්වැටකෙයියාව, පමුණුගම, සරක්කුව  පලාත්වල මහ මුහුදෙන් විශාල ලෙස වැලි ගන්නවා නැව් පැමිණ. පුදුමාකාර මුහුදු කෑමක්, පරිසර විනාශයක් ඒ ඉතා ලස්සණ ප්‍රදේශවලට  වෙලා තියෙන්නේ. මේ, කිසිසේත් මුහුදේ වැලි නොගත යුතු ප්‍රදේශවලින් වැලි ගැනීමක්.

මේ රජය රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව වහන්න යනවා යයි කියන්නේ ඇත්තක්ද? හේතුව?

සාමාන්‍ය ජනතාවට ගෙයක් හදා ගන්න මොන තරම් සේවයක් කරපු බැංකුවක්ද, වසර ගණනාවක් පැරණි.

විදේශිකයන්ට සින්නක්කර ඉඩම් මිලදී ගැනීමට ඉඩ දුනහොත් ශ්‍රී ලංකාවාසීන්ට කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, යාපනය, ත්‍රිකුණාමලය වැනි මහ නගර ප්‍රදේශවලින් ඉඩමක් මිලදී ගන්න තියා ඒ ගැන හිතන්නවත් බැරි වේවි. මේවා ලෝකයේ බොහෝ රටවල නොකරන වැඩ.

කලින් හැදු රජයේ ෆ්ලැට්වල තීන්ත ටිකක් තවරා තමන්ගේ රුව සමඟ ලොකු බෝඩ් ගහගෙන, අළුත් නිවාස සංකීර්ණයක් විවෘත  කළා කියලා පෙන්වීම හුදු ජනතාව රැවටීමක් පමණයි. 2010 – 2015 රජය මෙය බොහෝ සෙයින් කළා.

කළින් රජයන් කාලේ සමහර, නැවත ප්‍රතිසංස්කරණය කල රජයේ ෆ්ලැට් වල එක ෆ්ලැට් එකකට වියදම් කරලා තියෙන්නේ ලක්ෂ 2ක් නැත්නම් 3ක්ලු , ඒත් ලක්ෂ 6 කට විතර  බිල දාලා පෙන්නලා තියෙනවා.

නගර සභා, මහා නගර සභා සහ රජයේ ආයතන උනත් පෝසත්, ධනවත් අය ඉන්න ප්‍රදේශවලට තමා වැඩියෙන් කරන්නේ. ඒවායේ පේමන්ට් ‘පේව්’ කරනවා, දවසකට දෙවරක්  සමහර පැතිවල පාරවල් අතු ගානවා, කැඩිච්ච පාරවල් ඉක්මනට හදනවා, දිනපතා ලොරි වලින් කුණු එකතු කරනවා. දුප්පත් ප්‍රදේශවලට කුඩම්මාගේ සැලකිලි. හැමෝම වරිපනම් බදු ගෙවන්නෝ නොවේම්ද?

ගස් කොළන් බොහෝ සෙයින්  අඩු වුනත්, කොළඹ නගරය දැන් ඉස්සරට (1990/2000 ගණන් වලට) වඩා ලස්සනයි, ඒක බොහොම හොඳ දෙයක්. ඒත් කොළඹ දිළිඳු ප්‍රදේශ – තොටළඟ, මට්ටක්කුලිය, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ, වනාතමුල්ල  ගිහින් බලන්න අන්තිමයි. කොළඹින් පිටත ඔබේසේකරපුර, IDH, කොලොන්නාව, වැල්ලම්පිටියත් එහෙමයි.

මේවායේ  සමහර ප්‍රදේශවල  කිසි දියුණුවක් වෙලා නැහැ. කාණු ජරාවලින් පිරිලා, කුණු ගඳ ගහනවා. තැන තැන කුණු ගොඩ ගහලා. කාක්කෝ මේ කුණු අනිත් ප්‍රදේශවලට අරං යනවා. කුණු කන ඌරෝ පවා පාරේ ඉන්න ප්‍රදේශ තියෙනවා.

අද කොළඹ නගරය පිරිසිඳුව තබා ගැනීමට අබාන්ස් සේවකයෝ ඉතා හොඳින් මහන්සිවී තම රාජකාරිය කරනවා. ඒ අයට අපගේ සදා ප්‍රණාමය.

සුවෙන්, සතුටින් සිය පවුල සමඟ ජීවත්වීමට කැමති කවුරුත් බලන්නේ ඉඩ කඩ තිබෙන ඉඩමක ගෙයක් හදා ගෙන, ගස් වැල්, පලතුරු ටිකක් එහි වවාගෙන, බල්ලෙක් පුසෙක් ඇතිකරගෙන, නිහඬ, නිසල, පරිසර හිතකාමී  ජීවතයක් ගෙවීමටයි.  මෙවැනි තත්ත්වයන් උදා කරදීම උදෙසා රාජ්‍ය ආයතන තම ප්‍රතිපත්ති සකස් කර ගත යුතුයි.

තමන්ගේ ජීවිතය පර්චස් 6 වගේ සුළු වපසරියකට කොටු වුනහම ‘පුංචි පවුල රත්තරං’ සංකල්පයත් ඉබේටම ක්‍රියාත්මක වෙලා.

අපේ පාර්ලිමේන්තුවේ  දේශපාලනඥයෝ වැඩි කාලයක් යෙදෙව්වේ තමන්ගේ පුද්ගලික අයිතිවාසිකම්/ලැබීම් ගැන,  තම පක්ෂයේ තත්ත්වය නඟා සිටුවා ගැනීම වැනි වැඩ සඳහායි.  පාර්ලිමේන්තුවේ  අඳුරු මුළු වල, කොරිඩෝර් වල, ඒ සමහරක් අය දැමු  ඩීල් වලින් රටට නම් කිසිම සෙතක් වුනේ නැහැ; දේශපාලනඥයන්ට බොහෝ වුනා.

අන්තිමට, 2022දී,  මුළු රටම කඩා වැටුනා.

හරියට කලොත් අවුරුදු 30ක් ඇතුලත ශ්‍රී ලංකාව ධනවත් රටක් බවට පත් කරන්න හැකියි – සිංගප්පුරුව, දකුණු කොරියාව, තායිවානය වැනි සම තත්ත්වයේ ධනවත් රටක් (මැලේසියාවට එහා). 

අද රජයේ ඉන්න සමහර ඇමතිවරුන් දිගටම ඒ තනතුරුවල සිටියොත් නම් ඒ දේ කරන්න බැරි වේවි.

වැඩ නොපෙන්වූ ඒ සමහර ඇමතිවරු හොඳ, දක්ෂ අතට වෙනස් වෙන්න පුළුවන් තමන්ගේ වැරදි අවබෝධ කරගෙන.

ජ්‍යෙෂ්ට යයි කියා ගන්නා කට හැකර, වැඩ බැරි, බොරු ‘ෂෝ’ දාන  ඇමතිවරු අයින් කරලා දක්ෂ පසු පෙළ නවකයන් පුළුවන් තරම් ඉදිරියට ගෙන්න ඕන. නැත්නම් ලබන වර මෙම රජය පෙරළෙනවා නිසැකයි.

නැවත, ලබන වාරයේ,  දිනන්න ඕන නම් 75%ක වත් කාර්යක්ෂමතාවයක් රජයට නොනවත්වා පෙන්වන්න වෙනවා.  මේ තියෙන දැඩි විවේචනත් එක්ක.

ජනතාවත් ඉතා ලොකු මිම්මකින් දේශපාලනඥයන්ව දැන් මනින්නේ.

අපි කවදාවත් අහල නැති වුනත් ඉතා දක්ෂ, කැප වීමෙන් වැඩ කරන නවකයෝ මේ රජයේ පසු පෙලේ ඉන්න බව පේනවා.

වයස ප්‍රශ්නයක් නොවෙයි – තරුණ හෝ මුහුකරා ගිය  දෙගොල්ලම උනාට කමක් නැහැ.

අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම (වනජීවීද ඇතුළු), ප්‍රවාහන/වරාය ආදී අමාත්‍යංශ හොඳ ප්‍රගතියක් පෙන්විය යුතුයි. අවශ්‍යම අධිකරණ ප්‍රතිසංස්කරණ තියෙනවා.

ප්‍රවාහන දැන් පන ඇවිත්, යම් තරමකින් ‘වැඩ’ පෙන්වමින් යනවා.

අද තියෙන කැබිනෙට්ටුවේ සමහරු ඉතා හොඳ බව කිය යුතුයි; ඉතා මහන්සියෙන් දිවා රෑ නොබලා වැඩ කරනවා.

මුදල් ඇමති හොඳින් කලර්ස් දක්වා තිබෙනවා.

නාමල් කරුණාරත්න කෘෂිකර්ම ඇමති ලෙස පත් කල යුතුයි. 

දේශපාලඥයින්ට පමණක් බැනලා වැඩක් නැහැ. නිලධාරීන්, ජනතාවද වෙනස් වෙන්න ඕන.

අපි තවමත්: පරිසරය අපවිත්‍ර කරනවා, පගාව දෙනවා, පාරේ හෝන් ගහනවා, පාරේ බුලත් කෙළ ගසනවා, කාර්යාලයේදී වැඩ කරන්නේ නැහැ. පසුව, හැම දේටම  දේශපාලඥයන්ට බනිනවා.

පරාජය වූ දේශපාලනඥයන් චිට්  ක්‍රමයෙන් නැවත පාර්ලිමේන්තුවට පැමිණ ඇමතිකම්/මන්ත්‍රීකම්  දැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්.

ප්‍රජාතන්ත්‍ර විරෝධී චිට් මන්ත්‍රි ක්‍රමය මුළුමනින්ම අහෝසි කරලා නොදමන්නේ මන්ද, දැන් 2/3ටත් වඩා බලය තියෙනවානේ එය කරන්න.

එදා සමහර දේශපාලනඥයන් හැමදාම ඇමතිලා වෙලා සිටියා, මොන පක්ෂය බලයට ආවත්. මහ පුදුම සහගත තත්ත්වයක්. යම්තම් ඒ අය දැන් නැහැ.

අලුත් අදහස් ඇති, නැවුම්, තරුණ මාණ්ඩලික රාජ්‍ය නිලධාරින්  ඉන්නවා, ඒ අයට අතිරේක/සහකාර  ලේකම් වැනි උසස් තලයේ දොරවල් විවෘත  කර දිය යුතුයි. වෙනස් වන ලෝකයේ තාක්ෂනය/ගෝලීයකරණය ආදිය පිළිබඳව හොඳින්  දැනුම තිබෙන, නව පරපුරේ සිතුම් පැතුම් හඳුනන, වැඩිහිටියන්ට ගරු කරන, විනයවයත්, අල්ලස්/දුෂණ විරෝධීන් උසස්, වැදගත් තනතුරු සඳහා පත් කල යුතුයි.

සාර්ථක  ආණ්ඩුවක් සඳහා නම්  ආණ්ඩුවේ තනතුරු සඳහා පත් කරන අය ඉස්තරම්ම, වඩාත්ම සුදුසු, උගත් අය විය යුතුයි.

වැඩක් කරන්න හරියට බැරි වුවත් ඒ අයගේ වන්ධිභට්ටකම ප්‍රධාන තේරීම් සාධකය ලෙස පත්වීම් සඳහා සලකයි නම් ඒ රජයේ කටයුතු අසාර්ථක වීම නිසා  අයහපත් ප්‍රතිපල, විපාක විඳින්නේ අහිංසක ජනතාවයි.

නුසුදුස්සන් රජයේ සේවයට පත් කලහොත් (තරඟ විභාග සමත් නොවූ, හුදු දේශපාලනඥයන්ගේ ලැයිස්තුවට/උවමනාවට අනුව), අපට ලැබෙන්නේ අදක්ෂ, අකාර්යක්ෂම, බොහෝ විට දුෂීත, උකටලී රාජ්‍ය සේවයක්.

මේ රජයේත් ඉතාම වැදගත් අමාත්‍යංශ කිහිපයකම ස්ථිර ලේකම්වරු පරිපාලන සේවා විභාග සමත්ව  තම දක්ෂකම් සිවිල් සේවයේ පෙන්වා ඉහලට ආ නිලධාරින් නොවේ. පැරෂූට් කාරයෝ.

දේශපාලනඥයන් තම කාර්ය මණ්ඩලයට පවුලේ අය පත් කරගැනීම, තමන් යටතේ ඇති අමාත්‍යංශවලට එවැනි පත්වීම් කරගැනීම  බොහෝ දුරට 1977 පසු බිහිවූ නව සංකල්පයක්, මෙය ඉතා වැරදි දෙයක්. හොරකමට තෝතැන්නක්.

1970 – 1977 දක්වා රට පාලනය කල මැතිණියගේ කාලයේ තරම් පවුල් වාදය මේ රටේ රජ කල සමයක් තවත් නොතිබුණි. එතුමියගේ පවුලට අයත් විශාල පිරිසක්, කිසිදු ලෙසකින් සුදුසුකම් නොලබා,  රටේ ආණ්ඩුවේ ඉහළම තනතුරුවලට පත් කලා. ‘හත් අවුරුදු සාපය’ පොතෙන් දැක්වුයේ රටේ ගුවන් තොටුපොළ/ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ  සිට මහජන වැසිකිලිය/නාන ලිඳ/ගමේ අඩි පාර දක්වා සිය පවුලේ නම දා ගත් බවයි.

සාමාන්‍ය වැසියන්ට තබා ගත හැකි ඉඩම් ප්‍රමාණය අක්කර 50 සීමා කර, ඒ පවුලත් යම් ඉඩම් ප්‍රමාණයක්  අත් හැර දැමුවත්, ‘ෆැමිලි ට්‍රස්ට්ස්’,  ‘චැරිටබල් ට්‍රස්ට්ස්’ නම් කූට නිතී උපායන් සහ වෙනත් දේ මඟින් ඔවුන් සතුව තිබු ඉතාම වටිනා, සශ්‍රීක පොල්, වී සහ වෙනත් ඉඩම් අක්කර ගණනාවක් පවුල තුලම (හොරෙන්) රඳවා ගත් බවට ප්‍රබල චෝදනා එල්ල වුනා.

ඊ.එල්. සේනානායක මතු කල ‘බිංදුමතී’ චෝදනාව මතකද?

එවක රජයේ සිටී ඉඩම් ඇමති – ඉතා නිහතමානි සහ අවංක,  හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ස්වෙච්චාවෙන් සිය පවුල සතු ඉඩම් රජයට පවරා දුන්නා.

චන්දයකට පස්සේ විරුද්ධ පක්ෂයෙන් ‘ගෙම්බෝ’ වාගේ ආණ්ඩු පක්ෂයට පනින නව ප්‍රවනතාවක් ශ්‍රී ලංකා දේශපාලනයේ ඇත. මෙයට  ‘සැලුන් දොර’ කියාද කියත්.

ඒසේ පනින්නේ තමන්ට ආවේනික වූ පැහැදිලි දේශපාලන ප්‍රත්පත්තියක් නොමැති අයයි.  මැති, ඇමති, තානාන්තර බලාගෙන; පුද්ගලික ලාභ ප්‍රයෝජනයට.  තමන්ට චන්ද දීපු චන්දදායකයන්ට ගෞරව නොකිරීමක්.

හැබැයි පනින කෙනා නොයෙක් නිදහසට කාරණා දෙනවා – දෑත් ශක්තිමත් කරන්න පැන්නා  වැනි.

කිතුලට නැග්ග මිනිහටත් නිදහසට කියන්න කරුණක් තිබුනාලූ.

මේ පැනිලි පනින අය පමණක් නොව ඒවාට අනුබල දෙන අයත් වැරදියි.  ජනතාව තුල පක්ෂ දේශපාලනය, දේශපාලනඥයන් පිළිබඳව විශ්වාසය නැතිවී යනවා.

ජාජබ රජයක් යටතේ මේ පැනිලි ක්‍රමය අහෝසි කරනවා කීවා නේද?

ශක්තිමත් ආණ්ඩුවක් තිබීම හොඳයි; නමුත්, ඒකට, සුළු බහුතරයක් තිබ්බත් ඇති.  20 – 30 ගණන් මන්ත්‍රීවරු ‘බා ගන්න’ ඕන නැහැ.  ආණ්ඩුවක් කරන්න 2/3 බලය අවශ්‍යම නැහැ.

නාගරිකව ජීවත්වෙන දුප්පත් මිනිසුන්ගේ ගෙවල්, කඩ කඩලා මිනිස්සුන්ව ගහලා පන්නලා නව ව්‍යාපෘති කරනවා නම් ඒ මිනිස්සුන්ට ඒ නගරය තුලින්ම සාධාරණ වාසස්ථාන, කඩ කාමර ආදිය ලබා දිය යුතුයි.  2014දී බැස්ටියන් පාරේ මිනිස්සුන්ගේ කඩ කඩලා එලවපු හැටි දැක්කාහම දුක හිතුනා, සමහර මිනිස්සු අවුරුදු 20ට වැඩිය එක ස්ථානයේ හිටපු අය.  සමහර මිනිස්සු පාර මැද ඉඳලා ඒ තීරණ ගත් අයට සාප කළා.

චීනය නමැති කූඩයට පමණක් සියලු බිජු (බිත්තර) දමාගෙන රට දියුණු කිරීමට තැත් කිරීම අනුවන කමක්. චීනය ඓතිහාසිකව අපට සිටින ඉතාම හොඳ කළණ මිතුරෙක්.  අද ලෝක බලවතා, සමහරවිට ඇමරිකාවටත් වැඩිය.

චීනය ඉදිරියේදීත් අපේ හොඳම මිතුරෙක්.  එහි කිසි සැකයක් නැහැ.

නමුත්, සෑම රටකින්ම උපරිම සහය ගන්න ඕන, අඩුම තරමින් අමනාපකම් ඇති නොකර සිටීමට තරම් ප්‍රවේශම් වෙන්න ඕන. පසුගිය කාලවල එවැන්නක් (අමනාපකම්) නම් සිදු වුනේ නැහැ.

ඉන්දියාවේ ඉන්න බිලියන 1.4 ජනගහනයට භාණ්ඩ සහ සේවා සපයලාම  අපට ධනවත් රටක් වෙන්න පුළුවන්; මේක ඉන්දියාවට අප රට පාවාදීමක් හෝ අවනත වීමක්  නොවේ, අපේ රට පෝසත් කරන බුද්ධිමත් ආර්ථික වැඩපිලිවලේ කොටසක්. මේකට කියන්නේ ‘ලංකාව ඉන්දියාවේ හොංකොං’ විය යුතුයි කියලයි. ඉන්දියාව පාවිච්චි කරලා අපි පෝසත් වෙනවා, හරියට චීනය පාවිච්චි කරලා හොංකොං පෝසත් උනා වගේ. එහි කිසි වරදක් නැහැ.

ඉන්දියාවේ බිලියන 1.4  ජනගහනයක් ඉන්නවා. මේ අය තදින්ම තේ බොන අය. ඒ වගේම, අපේ රටේ වගේ නොවේ,  ඉන්දියාවේ හොඳ, විශිෂ්ට තත්ත්වයේ තේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. හරියට කථා කරලා ඉන්දියාවට අපේ රටෙන් තේ සපයන්න අවස්ථා උදා කරගත්තොත් එය ඩොලර් මිලියන් ගණනක ව්‍යාපාරයක්  ඇති කරගන්න පුළුවන්.

ඉන්දියාව අපේ රට  තුල ඒ අයගේ භාණ්ඩ වලින් ‘ෆ්ලඩ් කරාවි, ඒක නතර කරන්න අමාරුයි. දැනටමත් ඒ දේ වෙනවා. අපිත් අපට පුළුවන් භාණ්ඩ වලින් ඉන්දියාව ‘ෆ්ලඩ්’ කරන්න ඕන. අපට අපනයන භාණ්ඩ වර්ග නැතිකමයි/අඩුකමයි  තියෙන ලොකුම ප්‍රශ්නය. අපෙන් ඉන්දියාවට යවන අපනයන භාණ්ඩ වැඩි කරගන්න ඕන. දැනට යවන ප්‍රධාන භාණ්ඩය ප්‍රති අපනයන කල ඉන්දුනීසියා පුවක් නේද?

ඉන්දීය සේවකයන් මෙහි ගෙනැවිත් ඔවුනට රැකියා ලබා දීම, විශේෂයෙන්ම කම්කරු රැකියා,  අප රටේ අයට රැකියා අවස්ථා අහිමි වීමක්.

දකුණු ඉන්දියාවෙන් මෙහි එන අය ආපසු නොයාමේ සිරිත අවුරුදු සිය දහස් ගණනක් තිස්සේ සිදු වෙන්නක්.

ඉතා කදිම කොස්ගම අවි ගබඩාව වත් රැක ගන්න අපට බැරි වුනා. අපේ නොසලිකිල්මත් බව නිසා වටිනා අවි ගබඩාව, එහි ගබඩා කර තිබු  වටිනා අවි සමඟ අළු දුවිලි බවට පත් වුනා.

සාලාව ගින්නෙන් විනාශවුනු උණ්‌ඩ හා පතරොම් වල වටිනාකම රුපියල් බිලියන 18 කට අධික බව  කියනවා. කිසි උසස් නිලධාරියෙක් ඉල්ලා අස් වුනෙත් නැහැ.

පසුගිය වසර කිහිපයක සිට වෙසක් දන්සැල් ලියාපදිංචි කල යුතුයි කියා රජයෙන් නීතියක් පනවා තිබෙනවා. මෙයින් වෙසක්/පොසොන් සමයේ දන්සැල් සංඛ්‍යාව අඩු වෙනවා.

ආහාරවල පිරිසිඳුබව සහ සෞඛ්‍යසම්පන්න භාවය වැදගත් තමයි, නමුත්, වෙසක්/පොසොන් දන්සැල් කරන අය ඒ වැඩ කරන්නේ ඉතාම සද්භාවයන්, ආහාර/පාන වල පිරිසිඳු බව සහ සෞඛ්‍යායාරක්ෂිත භාවය පිලිබඳව ඒ අය කැප වෙලා වැඩ කරන්නේ.

බොහෝ දන්සැල් කරන්නේ පාසැල්/දහම් පාසැල්  සිසුන්, වෙනත් ගැටවරයන්, ත්‍රීවිල් රියදුරන් ආදීන්. මේ අයට රජයේ නිලධාරින් හමුවී දන්සැල් ලියාපදිංචි කරන්න අවශ්‍ය යයි කීවිට, ඒ  අදහස අත්හැරලා දානවා. ඇරත් කවුද කැමති සද්භාවයෙන් කරන වැඩක් උනත් ගිහින් දඩ කන්න, දන්සැල ලියාපදිංචි කලේ නැහැ කියලා.

බොහෝ දෙනෙක් දන්සැල් දමන තීරණය ගන්නේ අනිතිම මොහොතේ. එවිට ලියාපදිංචියට වටේ දුවන්න කාලයක් නැහැ.

වෙසක්/පොසොන් දන්සැල් අපේ සංස්කෘතියේ වැදගත් අංගයක්. මේවාට තද නීති දාලා හානි කරන්න/නැති කරලා දාන්න ඉඩ දෙන්න බැහැ.

කරන්න තියෙන්නේ නව ලය්සන් ක්‍රමයක් හඳුන්වා දීම නොවෙයි,  දන්සැල් සඳහා අදාළ නීති රීති (සාධාරණ) පැහැදිලිව හඳුන්වා දුන් පත්‍රිකා ග්‍රාම සේවක කාර්යාල වල ප්‍රදර්ශනය කිරීමයි. පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලවා දන්සැල් අහඹු ලෙස  පරීක්‍ෂාවට යොමු කරවීමයි.

දැන් වෙසක් තොරණ හදන එකත් බෙහෙවින්ම අඩු වෙලා. පන්සල් වල පෙරහැර වලට අලි, ඇතුන්  නැහැ. ඥානාන්විතව මේ ප්‍රශ්න දෙස බලා රජයන් අපේ මේ මගඟු සංස්කෘතිකමය දායාද රැක ගැනීමට ඉදිරියට ආ යුතුයි, විශේෂයෙන්ම, වෙසක්/පොසොන් තොරන්, දන්සැල්, බෞද්ධ පෙරහැරවල්.

චන්දයට කළින් මේ අය අපට ප්‍රබලව හැගෙව්වේ – අපි වමේ සහ දක්ෂිණාංශික ලිබරල්; සම්ප්‍රදාය, සභ්‍යත්වය, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර, සාරධර්ම, ඉතිහාසය, ආගම  මේ රටට වැඩක් නැහැ, ඒවා යල් පැන ගිය ඒවා. මෙවැනි භයානයක  ප්‍රකාශ ඔවුන් කළා.  අදත් එවැනි මතයන් දරනවානම්,  – එවැනි රජයකට මේ ශ්‍රී ලංකාවේ වැඩි පැවැත්මක් නොමැති බව ඔවුන් වටහා ගැනීම වටී.

උග්‍ර  වාමවාදී සහ කොමියුනිස්ට්, සාම්ප්‍රදා විරෝධීන් වූ ස්ටාලින්, මාඕ, පොල් පොට්, කිම් ඉල් සුං, කැස්ත්‍රෝ වැන්නන් සහ ඔවුන් නිසා එම රටවල සිදුවූ මහා ජන/ආගම් සංහාර මතක් වෙනවා.

මෙහි ඒවා සිදු නොවේවා!

වසර දහස් ගණනක් පැරණි සිංහළ අවුරුද්ද වගේමයි,  වෙසක් උත්සවයත්.  සිංහළ, බෞද්ධ සංස්කෘතිය, අපේ උරුමය ඉහලින්ම විද්‍යාමාන කරන එකක්.

රොබර්ට් නොක්ස්ගේ පොත කියවන්න (ඕලන්ද/ඉංග්‍රීසී  කාලයෙහි වූ  ශ්‍රී ලංකාව ගැන). එහි අපේ උසස්, උතුම් සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර ගැන කියනවා. ඒවා ඔහු මහ ඉහළින් වර්ණනා කරනවා.

ඒ කාලේ, සිංහල සහ හින්දු අවුරුද්දක් කියා එකක් තිබි නැහැ.  

මෑතකදී, සිංහල සහ හින්දු අවුරුද්ද, සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද වශයෙන් නම වෙනස් වුනා.

දෙමළ තෛය්පොන්ගල් උත්සවය ලංකාවෙත් (ද්‍රවිඩ), තමිල්නාඩුවෙත්, කේරලයේත්  මහ ඉහළින් ජනවාරි මාසයේ පැවැත්වෙනවා. සිංහල අවුරද්ද හා සමානයි; කිරිබත් උයනවා.

තමිල්නාඩුවේ/කේරලයේ අප්‍රේල් මාසේ අළුත් අවුරුද්දක් ගන්නේ නැහැ.

සිංහල අවුරුදු චාරිත්‍ර/වාරිත්‍ර, කෑම/කැවිලි, ක්‍රීඩා/උත්සව ඉතා උසස් ගණයේ. 1වෙනි ලෝකයේ දියුණු රටවල් වලවත් නැහැ. ඒ සමහර අයට ඊර්ශ්‍යායි අපත් සමඟ. මනුෂ්‍යත්වයේ උච්චතම බව නිරූපණය කරන මහා උළෙලක් එය.

පහුගිය සමහර වසරවල මහා බ්‍රිතාන්‍යයේ, කැනඩාවේ අගමැති වරු ශ්‍රී ලංකාවේ අප්‍රේල් අවුරුද්දට සුභ පතන විට එය සිංහල අයගෙත් අවුරුද්ද බව කියන්න බැරි වුනා. දෙමළ අයට පමණයි සුභ පැතුවේ.

මේ අතපසු වීම් ගැන, එතකොට කැනඩාවේ පසුගියදා බිහිකළ දෙමළ සංහාර    ස්මාරක ගැන, ඒ රටවල සිටින අපේ සිංහල අය කිසිම විරෝධයක් දැක්වුයේ නැහැ. ලක්ෂ සංඛ්‍යාත සිංහලයෝ ඒ රටවල ඉන්නවා. මික් කියන්නේ නැතුව ගෙවල් තුලට වී  සිටියා.  

සිය දහස් ගණනින් පාරට බහින්න ඕන දැවැන්ත අසාධාරණයි ඒ.

පන්සලේ බෞද්ධ වැඩක් නම් දහස් ගණනින් එනවා; සිංහල අයිතීන් ගැන රැස්වීමක් නම් අතේ ඇඟිලි ගණනට තමා එන්නේ. ඕස්ත්‍රේලියාවෙත් තියෙන්නේ ඔය තත්ත්වයමයි.

අනගාරික ධර්මපාල තුමා සිය සටන ගෙන ගියේ තට්ට තනියමයි. ඔහුව පාවා දුන්නේ අපේම අයයි.

ලෝක දෙමළ ඩයස්පෝරාවේ කොටසක් ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රශ්ණය පිළිබඳව බොහෝ බොරු ප්‍රචාරණ කරනවා. නමුත්, ඔවුන් එය ඉතා හොඳින්, කැප වීමෙන් කරන නිසා සැම විටම වගේ ජය ගන්නවා.

එක මවකගේ දරුවන් මෙන් තම ඊලාම් සිහිනය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් ඔවුන් කැපවී වැඩ කරනවා (ලෝක දෙමළ ඩයස්පෝරාවේ කොටසක්). යහමින් මුදල් පරිත්‍යාග කරනවා.

මෙහෙන් ගිය බටහිර රටවල සිටින සිංහලයෝ මර නින්දේය.  ඔවුන් බොහෝමයකට  අවශ්‍ය  තමන්ගේ සහ තම පවුලේ දියුණුව පමණයි. සෑම විටම උපරිමව සතුටුව සිටීමට බලත්. නිවසේ සතිපතා වැනි  වූ ඩිනර් පාර්ටි, මාසික ෆූඩ් ෆෙයාර්, නිරන්තර සංගීත සංධර්ෂණ/සාද, ඩිනර් ඩාන්ස්, බය්ලා සැන්දෑ, බිග් මැච් පාර්ටි, 31st night dance; ඕවා තමයි.

ශ්‍රී ලංකාවේ තම  දුක්විඳින සිංහල සගයන් ගැන, අපේ සිංහල උරුමය, සභ්‍යත්වය, බෞද්ධත්වය රැක ගැනීම, සිංහලයාට  මෙහි පළාත් 2ක වාසය බොහෝ සෙයින් අහිමිව තිබීම, උතුරු පළාතේ 2වෙනි පන්තියේ පුරවැසියන් මෙන් වෙසෙන අපේ සිංහලයෝ – මෙවැනි දේ ගැන ඒ බොහෝ අයට  වගේ වගක් නැත.

හැකිතරම් බටහිරකරණය වීම  තමා අපේ  බොහෝ අයගේ  ආසව – තරුණයෝ පමණක් නොව වැඩිහිටියෝද.

ඒ රටවල සිටින අපේ හින්දූන්, මුස්ලිමානුවන්, ලක්ෂණට ඔවුන්ගේ සංස්කෘතිය, සභ්‍යත්වය ආවේනිකත්වය  රැකගෙන ඉන්නවා.

අද වෙසක් දවසේට ඉස්සරින්දා කූඩු ටිකක් කඩෙන් අරං කඩදාසි අලවලා එල්ලනවා.  ඒ කූඩුත් බොහෝ විට ඇවිත් තියෙන්නේ චීනයෙන්. එදා  වෙසක් කූඩු හැදුවේ ගෙවල් වල. 

වෙසක් කුඩු හදන්න පටන් ගන්නේ වෙසක් එකට මාසයකට විතර කලින් ඉඳන්. මුළු පවුලම සහභාගි  වෙනවා. පුදුම ආදරයක්, සෙනෙහසක්, බැම්මක්  වෙසක් කූඩු හැදීම තුලින් ඇතිවුනා; පවුලේ සෑම සියලු දෙනාම  එකතු වෙලා ‘පැටවූ 6/8/10  අට පට්ටම් කුඩුවක් හදන වැඩෙන්; ලස්සණ තාරකා කූඩු. 

සමහර පැතිවල  අහල පහල නිවෙස් සමඟ මිත්‍රශීලී තරගෙට වෙසක් කූඩු හදනවා.

අරුම පුදුම කූඩු පුද්ගලයන් අතින් නිර්මාණය වුනා. සමහරක් ඒවායේ නිර්මානශිලී භාවය, යොදා ගත් තාක්ෂණ හිතාගන්නවත් බැරි තරමට ඉහලයි.

අද වගේ වෙසක් කළාපවල ප්‍රදර්ශණය කරන එකම  වාගේ, යන්ත්‍රානුසාරයෙන් හැදු, විශාල අඳුරු කූඩු එදා තිබුනේ නැහැ.

එදා මුළු මැයි මාසයම හැමෝගෙම වගේ  ජිවිත වෙසක් කාඩ් වලින් වෙලා ගත්තා. වෙසක් කාඩ් එකක් ඇරිය කෙනෙක් නොමැති තරම්.  පාරවල පෙව්මන්ට් වෙසක් කාඩ් අලෙවි කරන තාවකාලික කඩ මඩු වලින් වැසී යනවා.  ඒ තරමට වෙසක් කාඩ් ජනප්‍රියයි. අද වෙසක් කාඩ් එකක් යවපු හෝ ලැබිච්ච කෙනෙක් ‘බෙහෙතකටවත්’ හොයා ගන්න අමාරුයි.  වෙසක් කාඩ් සංස්කෘතිය මුලුමනින්ම වාගේ ‘මැරී’ ගොස්. 

අද ඊමේල්, ‘ෆේස් බූක්’, ‘ඉන්ස්ටර්ග්‍රෑම්’ වලට වහල් වූ, තදින්ම  ‘යාන්ත්‍රිකරණය’ වූ සමාජයක මෙවැන්නක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. 

වෙසක් කූඩු, වෙසක් කාඩ්, වෙසක් භක්ති ගී  සම්ප්‍රදායන් නැති/අඩු වීම තුලින් අප  නැති කරගන්නේ ඒ දේවල්  පමණක් නොවෙයි, අපේ අධ්‍යාත්මයයි, ගුණගරුක කමයි. අපේ වටිනා ගති සිරිත් සහ අප විශ්වාස කරන හෝ අදහන දේයි.

වෙසක් තොරන්, දන්සැල්, වෙසක් භක්ති ගී අපේ ජිවිත කාලය තුලම ක්‍රම ක්‍රමයෙන් අභාවයට යනවා අපට ඉදිරියේදී දක්නට ලැබේවි.

දැන් වෙසක් පමණක් නොව සියළු පොහෝ දින සිල් ඇත්තන් ඉස්සරට වඩා ඉතා අඩුයි.

අද තැන තැන තියෙන වෙසක් කළාප හොඳ සංකල්පයක් වෙන්නත් පුළුවන්. හැබැයි, එදා මුළු කොළඹ නගරයම එකම වෙසක් කළාපයක්.  වෙනත් ප්‍රධාන නගරද එසේම වුනා.

කොළඹට වෙසක් බලන්න එන  අය අද තිබෙන  වෙසක් කළාප කිහිපය (5 හෝ 6 ) නරඹලා ගෙදර යනවා. නමුත් කළින් කීවාක් මෙන්,  එදා, වෙසක් කළාපය යනු  මුළු නගරයමයි. කොළඹ නම් මුළු කොළඹම 1 – 15 දක්වා.

එදා වෙසක් සිරියෙන් නගර උතුරා ගියා.  

අද වෙසක් කළාප කරන්නේ මහ ජනතාව නොවෙයි. හමුදාව (යුධ, ගුවන්, නාවික), පොලිසිය, සිවිල් ආරක්ෂක, විශාල කොම්පැනි, TV ආයතන ආදියයි.

හමුදාවේ වෙසක් කටයුතු සඳහා වියදම් කරන්නේ රජයේ මුදල්. මෙයින් ජනතාවට ලැබෙන බුද්ධාලම්භන ප්‍රීතිය අඩුයි. කොම්පැනි සිය අලෙවි ව්‍යාප්ත කටයුතුද ඒ තුලින් කර ගන්නවා.

එදා ගෙවල්වල  පොඩිම පොඩි  කූඩු, ලොකු ඉතාම නිර්මාණශීලී කුඩු,  එළිය පෙට්ටි හැදුවා, අද නැහැ හෝ ඉතා අඩුයි.

ඔලු බක්කෝ,  තහනම් කිරීම මෝඩ, අනවශ්‍ය දෙයක්. යම් හෙයකින් සමාජ විරෝධී ඒවා නම්, පොලිසියට නියාමනය කරන්න පුළුවන්.

මහා සැණකෙළියක් වූ වෙසක් දිනවල රෑ වෙසක් සිරි නරඹන්නන් විවිධ ආකරයෙන්, අහිංසක ලෙස සතුට, විනෝදය ලබා ගත්තා. එහි වරදක් නැහැ.

ගොඩාක් අය වෙසක් කියා මධ්‍යම රාත්‍රී චිත්‍රපට නැරඹුවා, සර්කර්ස් බැලුවා. මුළු කොළඹම ෂඩ් වර්ණයෙන් බැබැලුනා, ශබ්ධ විකාශන යන්ත්‍ර වලින් බුදු ගුණ රැව් පිලිරෙව් වුනා.

වෙසක් දවස්වල රෑ නගරවල විදී අළුයම පහන් වනතුරු  වෙසක් සිරි නරඹන ජනයාගෙන් පිරි ඉතිරී තිබිය යුතුයි. අවාසනාවකට අද එහෙම නැහැ.

දැන් ගොඩක් දුරට තියෙන්නේ‘හේදිලා ගිය’ වෙසක් සහ පොසොන් උත්සව. තොරන් ඉතාම අඩුයි. ගෙවල්වල සරසිළි ඇත්තෙම නැහැ වගේ, වැඩිම උනොත් බෞද්ධ කොඩියක්. 2026 කෙසේ වේවිද?

සමහර දන්සැල් වලට හිඟන්නන්ව  ගන්නේ නැතිලු, ඔවුන් ළඟ ගඳයි කියා.

දන්සැලක ප්‍රධානතම පරමාර්ථය කුමක්ද – දානය. කුසගින්න නිවීම.

අද බෙන්ස්/BMW කාරයේ ඇතුලේ සිටම අයිස්ක්‍රීම් ඉලල්ලා, කාලා, සමහරවිට එක්කෙනා 10 විතර   කාලා යනවා.

දන්සැල් පවත්වන්නේ ඇයි, එහි ශික්ෂණය කුමක්ද යන්න දන්සැල් කරන්නන් දැන ගත යුතුයි.

අපේ හෙළ කළාව, හෙළ බස, හෙළ දැය, හෙළ සමය අපි නොරැක්කොත් ඒවා වැනසී යනවාමයි.

ඒවා රැක ගන්න ජනයාට තනිව බැහැ, රජය උදව් කල යුතුයි, මැදිහත් විය යුතුයි.

‘අපි රජය, අපිට ඕවා කරන්න/රකින්න බැහැ, ජනතාව ඕන නම් කරගන්න’ කියා රජයට ඕන වුනත් කියන්න බැහැ. ව්‍යවස්ථාවේ 9වෙනි වගන්තියෙන් රජය බැඳී සිටිනවා බුදු සසුනට ප්‍රමුඛත්වය දීමට සහ පෝෂණය කිරීමට.

අපේ දේශීය සංස්කෘතියේ උසස් කළා නිධානයක් වන පහත රට නැටුම අද අභාවයටම වගේ ගිහිං.

මෙයට මූළික හේතුවක් සියළු රාජ්‍ය  සහ පුද්ගලික අංශයේ සැළකිලි අප දේශීය කළාවේ මුදුන් මල්කඩ සේ සලකන උඩරට නැටුම් උදෙසා පමණක් වෙන් කිරීම.  

පෙරහැරවල අන් සියළු නැටුම් අභිභවා අද කාවඩි නැටුම් පෙරමුණ අරං. සමහර පෙරහැරවල කාවඩි කණ්ඩායම් 2, 3.

කාවඩි නැටුම් පසු කාලයේ කන්ද උඩ රට වඩුග රජුන්ගේ ආභාෂය නිසා නුවර පෙරහැරට එක්වූ අංගයක් විය හැකියි, පිරිසිඳු සිංහල බෞද්ධ සංස්කෘතික අංගයක් නොවේ.

මිනිසුන් බීගෙන නටන බවක්ද පෙනෙන්න තිබෙනවා සමහර කාවඩි පෙරහැර නැටුම් වල – විවිධ බයිලා තාල වලට.

ඉදින්, එසේ සිදුවන පෙරහර වල, එම පෙරහරේ  මුළින් පවත්වාගෙන ගිය වැදගත්, ශිෂ්ටසම්පන්න භාවයට එය අභියෝගයක්/තර්ජනයක්.

අද පාරට බැස්සහම පෙනෙනවා අපේ රටේ මොනතරම් ආබාධිතයින් සංඛ්‍යාවක් ඉන්නවද කියලා.  යුද්ධයට අමතරව හදිසි අනතුරු (වැඩියෙන්ම රිය අනතුරු) වලින් පිඩා විඳින අබාධිතයින් බොහෝයි. ඉඩක් ලැබුනොත් ඔවුනට කථා කරන්න, ඔවුන්ගේ කථා ශ්‍රවනය කරන්න.

අද කාලයේ ගෙදරින් එලියට බැස ගමනක් යන්න බය හිතෙනවා; ආපසු අනතුරක් නොවී ගෙදර එන්න ලැබේවීද කියා. ඔබ හෝ මම සදාකල් අබාධිතයෙකු වී දුක් විඳීමේ සම්භාවිතාව, දියුණු රටවල් හා සැසදීමේදී අපේ රටේ වැඩියි.

ශ්‍රමදාන කොච්චර හොඳ දෙයක්ද. ලංකාව ශ්‍රමදාන ලොවට හඳුවන්වා දුන් රටක්. මොන තරම් වැඩ කොටසක් ශ්‍රමදානෙන් කරන්න පුලුවන්ද. සෑම මසකම පලවෙනි හෝ අන්තිම ඉරිදා එම ගමේ/ නගරයේ ‘ශ්‍රමදාන ඉරිදා’ කරගන්න පුලුවන් නම්.

සූනාමි ඇවිත් විනාශ වෙච්ච බස්නැවතුම් පොළවල්, කෝච්චි පාරවල්, ගෙවල් දොරවල් එහෙම අපි  පොදුවේ වැඩ කරලා ඉතා ඉක්මනින් සෑහෙන දුරට  යථා තත්වයට පත්කර ගත්තා. ඉතාම හොඳ කර්තව්‍යයක්.  එදා ජවිපෙ සහෝදරවරු ඉදිරියෙන්ම සිටියා.

සුනාමි අවධියේ පුදුමාකාර ජවයකින්, රටට ආදරයකින් මුළු රටේම වගේ අය කටයුතු කලේ – උතුරේ ප්‍රභාකරන් පවා.

සුනාමියෙන් මුළු රටේ සියළු ජාතීන්ට අයත් ජනතාව එකසේ මිය ගියා. සුනාමි උපයෝගී කරගෙන  සියළු ජාතින් එක් සේසත් කරන්න එදා හිටපු රටේ පාලකයින්ට බැරි වුනා; යුද්ධය නැවත පටන් ගත්තා.

කෙනෙක්, එකතු වෙච්ච සුනාමි ආධාර පවා ගසා කෑවා.

1994 – 2005 කාලය තුල තමා වැඩිම ගණනක් රණ විරුවෝ LTTE නිසා මැරුනේ. සමහර එක් සටනකින් ඔවුන් 1,000කට වඩා ජිවිතක්ෂයට පත් වුනා. 750 – 800 එකවර මැරුණු අවස්ථා අපට මතකයි. ඉතා මෝඩ තීරණ ගත් අකාර්යක්ෂම, අධූරධර්ශි  පාලනාධිකාරිය ඒ ඛේධනීය මරණ වලට ඍජුව හෝ වක්‍රව වගකිව යුතුයි.

දේශපාලනයට අති ප්‍රසිද්ධ, කීර්තිමත්  නළුවෝ, ක්‍රීඩකයෝ, ගායකයෝ වැනි අයව  ගේනවා. මේවා දේශපාලනඥයන් චන්ද දිනන්න කරන වැඩ.

ඒ දේශපාලනඥයෝ රටට ආදරේ නැති ආත්මාර්ථකාමීන්.

ඒ අහිංසක මිනිස්සු දේශපාලනයෙන් සමුගන්නේ තමා ගොඩ නගාගත් හොඳ  නම පළුදු කරගෙන.

ඒ ඒ අංශ වලට දක්ෂ අය ඒවයින් ඉවත් වුනාට පසුවත් ඒ අංශම දියුණු කරන වැඩවල දිගටම යෙදෙන්න ඕන. ඒ ගොල්ලන්ට ඒ සඳහා දෙන්න පුළුවන් සහාය අති විශාලයි.  පුහු දේශපාලනයම බදා ගන්න ඕන නැහැ.

චියාන් කයි ෂෙක් තායිවානයට 1949 යනකොට ඒ රට පැල්පත් ගුහාවක්. අද තාය්වානය?

ඒ කාලේ කොල්ලුපිටියේ ලිබර්ටි හෝල්  එක පිටිපස්සේ පැල්පත් වත්තට කිවුවේ ‘කොරියාව’ කියලා. අද (දකුණු) කොරියාව කොහොමද? අපි ලක්ෂ ගණනින් එහේ වැඩට යනවා.

‘ආ ඒ ඕස්ත්‍රේලියාව, සිංගප්පුරුව නැත්නම් කොරියාව, අපි  ඒ රටවල් තරම් දියුණු නැතත්, දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ ගොඩක් රටවල් වලට වැඩිය අපි ගොඩක් හොඳයි’ කියලා කොයි දේටත් නිදහසට කරුණු ඉදිරිපත් කරන අය ඉන්නවා.’   මේවා මෝඩ නිදහසට කරුණු.

අපට ඕස්ත්‍රේලියාව, සිංගප්පුරුව, කොරියාවටත් වඩා දියුණු වෙන්න බැරි මන්දැයි කියා හිතන්න/අහන්න පුළුවන් පිට කොන්දක් හදා ගන්න ඕන.

සිංගප්පුරුව, අපි වගේ නොවේ, කිසිම ස්වාභාවික් සම්පතක් නැති රටක්. දියුණු වීමට ප්‍රධාන හේතු: හොඳ නායකත්වය, දුෂණ/වංචා නොමැති වීම, රාජ්‍ය පාලනයට දේශපාලන ඇඟිලිගැසීම් නොමැතිවීම, හොඳ අධ්‍යාපන ක්‍රමය, සුදුස්සාට සුදුසු තැන් ලැබීම, මනා ආදායම් බදු ක්‍රමයක් තිබීම, වෙහෙස මහන්සි වී වැඩකරන මිනිසුන් සිටීම සහ රටේ පිරිසිඳු කම.

අපි සිංගප්පුරුව තරමට දියුණු වෙන්න ඉස්සෙල්ලා, මලයාසියාව තරමටවත් දියුණු වෙන්න ඕන. ඉනිමගේ ඉහලටම නගින්නේ පල්ලෙහා පඩි පසු කරලා. 

දත් 32 මැද දිව වගේ තමා ඊශ්‍රායලය තිබෙන්නේ. කිසිම ස්වභාවික සම්පතක් නැහැ, තෙල් ඇතුළුව. අද 1වෙනි ලෝකයේ ධනවත්ම රටක්.  මේ තරම් දියුණු වුනේ ඒ ජනතාවගේ ආත්ම ධෛර්යය, කැපවීම අධිෂ්ටානය සහ නොපසුබස්නා වීර්යය නිසා.

ඔවුන්ගේ වර්ගවාදී, ගෝත්‍රවාදී ආකල්ප අප ඉතා පිළිකුලෙන් බැහැර කල යුතුයි.

ඉඩම් නඩුවක් නම් අවසානයේ තීන්දුව එනකොට නඩුව දාපු කෙනා සමහරවිට මියගිහින්.

තව ඉතා සිමීත කාලයක් ඇතුලත එහි චන්දයක් පවත්වෙනවා යන්න දැන දැන, විශාල මහජන මුදලක් වියදම් කර,  මහත් ප්‍රසිද්ධියක් දී ජනාධිපතිතුමාට ජපානයට යාම සුදුසු යයි කියා උපදෙස් දුන්නේ කවුද?

ගිය සතියේ ජනාධිපතිවරයාව මහ ඉහළින් පිළිගත් ජපන් අගමැතිතුමා දැන් නැහැ. ළඟදීම එහි අළුත් ආණ්ඩුවක්, නව අගමැතිවරියක්.

ආයි යන්න වේවිද?

සමහර පුද්ගලික සහ ලංගම බස් කොන්දොස්තරවරු ඉන්නවා උවමනාවෙන්ම මගීන්ගෙන් සල්ලි ගන්නේ නැහැ. මේ  අය කාටවත්ම වැඩක් නැති කොටසක්.

1/10/25 සිට ක්‍රියාත්මක වන අළුත් බස් ටිකට් නිතීය යටතේ මේ අයට වැඩ වරදීවි.

ඇතැම් රූට් වල, ප්‍රය්වෙට් බස් වල මඟින් උතුරා යාමටත්, ලංගම බස් වල බොහෝ විට එසේ නොවීමටත් හේතුවක් තියෙන්න ඕන.

141 රූට් එකේ ලංගම බසයක් යනවා, ප්‍රය්වෙට් බස් වලට පිටුපස්සෙන්මයි යන්නේ, ඕවර්ටේක් කරලා යන්නේ නැහැ.  ලංගම බස් එකේ සෙනග නැහැ, ඊට ඉදිරියෙන් යන ප්‍රය්වෙට් බස් එකේ උතුරන්න සෙනග, තවත් සෙනග පටවා ගන්නවා.

ප්‍රය්වෙට් බස් එකේ ‘කොන්දා’ ලංගම බස් එකට අතින් මොනවද සඥ්යා කරනවා දැක්කා කියලා කියපු මල්ලියෙක් ඉන්නවා. ඇත්තද දන්නේ නැහැ.

ඔය දේශපාලන වැඩ වලට, මැයි දිනේ ද ඇතුළුව, බස් වෙන්කරනවානම් මහජන ගමනාගමනය කඩාකප්පල් නොවෙන අයුරින් එය සිදු කල යුතුයි.

මිනිස්සු පිරෙන්න ඉන්නවනම් පමණක් බසයක්  ධාවනය විය යුතුය යන සංකල්පයෙන් සිටින බස් මුදලාලිලා අතට මගී ප්‍රවාහන යාන්ත්‍රනය  භාර දී, ඔවුනට ඕන විදියට කාල සටහන් හදා, බස් ධාවනයට ඉඩ දීම නිසා පසුගිය කාලයේ බස් මගීන් වැටුනේ කබලෙන් ලිපටය.

පුද්ගලික බස් අයිතිකාරයන්ගෙන් බස් සේවය යනු ලාභ ලබන නොව මහජන සේවයක් බව බලාපොරොත්තුවීම කළු ගලෙන් වතුර ලබා ගන්නවා වැනි වූ නිෂ්පල වැඩක්. ඒ අයට බැනලා වැඩක් නැහැ, රජය බලවත් විය යුතුයි. ප්‍රධානම දෙයක් ලංගම ශක්තිමත් කිරීම.

රෑ 7න් පස්සේ කොල්ලුපිටියේ ඉඳලා බොරැල්ලට කෙළින්ම යන්න බස් එකක් නැහැ, ආයි රෑ  9ට කොල්ලුපිටිය දුම්රිය පොළ ලඟින් තියෙන 177 ලංගම බස් එක හැර. ඉතා ශෝචනීය තත්ත්වයක්.

රැ 7න් පස්සේත් ඉතා කාර්යබහුලව දිගටම තිබිය යුතු පිටකොටුව, නුගේගොඩ, බොරැල්ල, මහරගම, පිළියන්දල  ටවුන් ඉතා ඉක්මනින් ජන ශූන්‍ය බවට පත් වෙනවා. මන්ද, ඉන් පසු, මගී ප්‍රවාහන සේවයක් නැතිම තරම් නිසා; ත්‍රී වීල් හැර.

රෑට කොළඹ සහ සෙසු මහ නගරවල ප්‍රධාන අභ්‍යන්තර රූට් වල රැ 12 වෙන තුරු  පැයෙන් පැයට වත් බස් ධාවනය කල යුතුයි, සෙනග අඩුකම වෙනම ප්‍රශ්නයක්.

මෙසේ දුවන්නේ නැති ප්‍රයිවෙට් බස් ධාවකයන්ට කිසියම් දඬුවම් ක්‍රමයක් ලබා දිය යුතුයි.

එදා, 1979 JRගේ ප්‍රයිවෙට් බස් එන්න ඉස්සර,  මිනිස්සු රැ 930 චිත්‍රපටය බලලා, එය ඉවර වෙලා ගෙදර ගියේ ලංගම  බස් එකෙන්; එතකොට් රැ 12ත් පැනලා.

මීගමුව බස් ස්ටෑන්ඩ් එක ඉතා හොඳට හදා තියෙනවා. කොපමන කලක් අද තියෙන පිරිසිඳු කම රැකේද?

දුර ඉඳන් කොළඹ යන බොහෝ බස් මිගමුව බස් ස්ටෑන්ඩ් එකට නොපැමිණ තෙල්වත්ත හන්දියේ නවත්වා යනවා. මේ නිසා මීගමුව බස් ස්ටෑන්ඩ් එකේ අගය පහල වැටෙනවා; මීගමුවේ මගීන්ට ඒ බස් ‘මිස්’ වෙනවා. සමහර අර්ධ-සීග්‍රගාමි බස්වත්  මිගමුව බස් ස්ටෑන්ඩ් එක හරහා ගියොත් මගීන්ට හොඳයි.

කුරුනෑගල, නුවර බෝගම්බර, අක්කරෙයිපත්තු, ත්‍රීකුනාමළය, මන්නාරම බස් ස්ටෑන්ඩ් ඉතා හොඳයි.

මඩකලපුව, කැකිරාව, අනුරාධපුරය (දිගු ගමන්), යාපනය බස් ස්ටෑන්ඩ් හොඳ මදි; පිරිසිඳු කමින් බාලයි.

බස් රියදුරු මහත්තුරු තේ බොන්න බස්‌ එක නවත්තන්නේ එයාලාට ‘සම්තිං’ එකක්‌ දෙන, ‘ගතම්’ එකක්‌ ගෙවන හෝටලයක්‌ ගාව විතරයි.  එතන කෑම කොහොමද, ටොයිලට් කොහොමද කියල එයාලට අදාල නැහැ.  එයාලාගේ ගාන දෙනවනං ඒ ඇති. 

සමහර බස්‌ කොන්දොස්‌තරවරුන් සහ රියදුරන්ට දහසින් බැඳි පියලි හෙවත් මුදල් තෑගි ලැබෙනවා. තවත් අයට ඇති වෙන්න කෑම බීම සමග රැගෙන යන්නටද කෑම මුලක්‌ ලැබෙයි.  තවත් තැන් වල සන්තෝසම බයිට්‌ පාර්සලයක්‌ සමග අරක්‌කු බාගයක්‌ හෝ බෝතලයකි.

බස් මගින් සඳහා වූ හෝටලයක  වැසිකිලයට යාමට එලියට බැස්‌සවිට එම හෝටලයේ  පිටුපැත්තේ වැසිකිලි පේලි දෙකක් තිබුනා. ඉන් දෙකක්‌ කාන්තාවන් සඳහා වන අතර ඉතිරි දෙක පිරිමින් සඳහාය. දිනකට සිය/දහස්‌ ගනනක්‌ පරිහරණය කරන නිසා ඒවායෙන් හමන දුර්ගන්දය ගැන කතා කරන්නට වචන නැත.

එම බස් මගීන් සඳහා වූ හෝටල් වල ප්‍රශ්න විසදන්න පුළුවන් අදාළ වූ රජයේ ආයතනවලට පමණයි. නමුත්, එවැන්නක් නොකෙරෙන්නේ බොහෝ අදාළ දේශපාලනඥයන්/උසස් නිලධාරින් බස් වල ගමන් නොගන්නා නිසාත්, මෙවන් ප්‍රශ්ණ තිබෙන බවක් ඔවුන් නොදන්නා විය හැකි නිසාත්ය.

කොළඹ සිට හිඟුරක්ගොඩ දක්වා නව නවීන මහජන වැසිකිලි පද්ධතියක් සාදන බව රජය පසුගිය දා ප්‍රකාශ කළා. හොඳ වැඩක්. හැබැයි කිමි 5න් 5ට අවශ්‍ය නැහැ. කිමි 40න් 40 වාගේ, ප්‍රධාන නගරවල  තිබුනා නම් ඇති.

එතකොට අනිත් පළාත්වලට?

පොලිසිය විසින් තදින් විමර්ශනය කරමින් යන, තවමත් නඩුව අසා අවසන් වී නැති, රටේ නමගිය අපරාධ පිළිබඳව ඇතැම් යු ටියුබ් කරුවන් හුදු විව්ස් ගැනීමේ හෝ වෙනයම් සදාචාර විරෝධී අරමුණින් යු ටියුබ් වැඩසටහන් කර මහජන ප්‍රදර්ශනයට දානවා. සමහරවිට අපරාධ චූදිතයන්, අපරාධයට සම්බන්ධ සාක්ෂිකරුවන් පවා මේ යු ටියුබ් කරුවන් බිය, සැක නැතුව ප්‍රසිද්ධියේ ස්වකීය වැඩසටහන් තුලින් ප්‍රශ්ණ කරනවා. මෙය සිදු කරගෙන යන  පොලිස් අපරාධ විමර්ශනයට බලවත් හානියක්, බාධා කිරීමක්.

ඇත්තටම, පොලිසියට ඉස්සෙල්ලා යු ටියුබ් කරුවා  විසින් අපරාධය ප්‍රසිද්ධියේ විමර්ශනය කරනවා පමණක් නොවෙයි අපරාධය පිළිබඳව නොමඟ යවන ප්‍රකාශ පවා ඔවුන්  කරනවා. ජනතාව  තුල ත්‍රාසය, කුතුහලය අවුස්සා ඔවුන් තම යු ටියුබ් ගිණුම් මාර්ගයෙන් උපරිම ලෙස මුදල් හම්බ කරගන්නවා.

දියුණු රටවල මෙසේ කරන අයව අපරාධ නිතීය යටතේ අත් අඩංගුවට ගෙන වසර ගණනාවකට සිර ගෙදර යවනවා.

මෙම ලිපිය ලියන ලියුම්කරු මෙවැනි වූ චූදිතයෙක් හට විදේශයකදී නීතිඥ සහාය ලබා දී තිබෙනවා (ඒ තැනැත්තා යු ටියුබ් කරුවෙක් නොවීය). මෙම බලවත් අපරාධයට ඇමරිකාව, එංගලන්තය, ඕස්ත්‍රේලියාව වැනි රටවල  හඳුන්වන්නේ ‘perverting the course of justice’ යන දරුණු අපරාධ චෝදනාවෙන්.  

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තියෙන මේ තරම් අමාරු, දුෂ්කර, අවහිර බාධා සහිත මාර්ගවල, අනතුරු වළක්වමින් රිය පදවන අපේ රියැදුරෝ, විශේෂයෙන්ම බස්, බර වාහන රියැදුරෝ ලෝකයේ  ඉන්න හොඳම  රියැදුරෝ ගොඩට වැටෙනවා.

මගී ප්‍රවාහන අධිකාරියෙන්, පළාත් අනුව (TV නාළිකා හවුල් කර ගෙන),  මගී ජනතා චන්දයෙන්  හොඳම බස් ඩ්‍රයිවර්, හොඳම කොන්දොස්තර,  හොඳම  බස් සේවය, හොඳම ටිකට් පරීක්ෂකවරු  තෝරන වැඩ සටහන් ඇති කරන්න ඕන. ඒ දිනන සෑම අයට තෑගි/සහතික  දෙන්න ඕන.

සෑම මාර්ගයකම අපේ දුම්රිය සේවය උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කෙරෙන්නේ නැහැ. උදා:

ඉතාමත් ජනාකීර්ණ වෙලාවල පවා (උදේ වැඩට පැමිණෙන සහ සවස වැඩ අරුණු)  දුම්රියයන්  අදාළ මාර්ගවල ධාවනය කරන්නේ පැය ½ට  එකක් වගේ. ඉතිං, උදේට වැඩට එන සහ වැඩ  ඇරිලා ගෙදර යන මිනිස්සු යන්නේ බාගෙට මැරිලා.

විනාඩි 5 හෝ 10 වරක් වත් එවැනි දුම්රියක් ධාවනය කරන්න බැරි ඇයි, දහස් ගණනක් මගීන් මේ මාර්ග භාවිතා කරන කාර්යබහුල වෙලාවල?

කොළඹ කොටුව සිට:

පොල්ගහවෙල/රඹුක්කන සහ මුහුදුබඩ (පානදුර/කළුතර සහ මීගමුව/හලාවත) සහ කැළණිවැලි

මාර්ගවල දුම්රිය කාළ සටහන් අරං බලන්න; මොන තරම් අඩු දුම්රිය ප්‍රමාණයක්ද දිනකට ධාවනය කරන්නේ කියා, උපරිමව මගීන් සිටින වෙලාවන්වල පවා. විනාඩි 25 – 30 මිනිස්සු සිය ගණන්, දුම්රිය වේදිකා වලට වී බලා සිටිනවා අදාළ දුම්රිය එනතුරු. ඉන්පසු, පසුව මිරිකිලා, තෙරපිලා යනවා.

නැවතත්, ඇයි විනාඩි 5න් 10ට මේවායේ දුම්රියන් ධාවනය නොකරන්නේ?

මිනිසුන් දුම්රිය භාවිතා කිරීම අවම කිරීමටද? සැප පහසුව, ලස්සණට මිනිසුන් හිඳ ගෙන යනවා දැකීමට දුම්රිය බලධාරීන්ගේ අසතුටුද?

කරන්න පුළුවන් දෙයක්:

දුම්රිය සේවයට අවශ්‍ය නම් ඉතා පහසුවෙන්, ධාවනය කරන දුම්රිය සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන් පවත්නා කාළසටහන් සංශෝධනය කරලා; හැබැයි කරන්නේ නැහැ. මගීන්ගේ දුක ඔවුන්ට වැඩක් නැහැ.

ඉතා ජනාකීර්ණ වෙලාවට සිඩ්නි, මෙල්බර්න් මෙට්‍රෝ සෑම විනාඩි 5ට වරක් වත් දුම්රියක් එහි සෑම   ජනාකීර්ණ මාර්ගයක ධාවනය කරනවා.  සියළු මගීන් ඉතා සතුටින් හිඳ ගෙන යනවා.

පැරිස්, ලන්ඩන්, නිව් යෝර්ක්, ටෝකියෝ  ඉතා ජනාකීර්ණ වෙලාවල මිනිත්තු 2න් 2ට වත් දුම්රියක් අධි ජානාකීර්ණ මාර්ගවල ධාවනය කරවනවා මගී තෙරපුම අවම කිරීමට.

නව දිල්ලිය, මුම්බායි දැන් දුම්රිය සේවා ඉතා හොඳයි. කාන්තාවන්ට වෙනම මැදිරි සලසා තියෙනවා. ඔවුන් හිඳ ගෙන යනවා.

කිසිදා අපට හොඳ ප්‍රවාහන ඇමති කෙනෙක් ලැබුනේ නැහැ, ඩලස් තරමක් හොඳයි.

දැන් ඉන්න කෙනා ගැන තව බලන්න ඕන. පසුව වාර්ථා කරමු.

 ත්‍රී රෝද රථ රියදුරු මහතුන් ඉතා දක්ෂ ලෙස අස්සෙන් රිංගා කොහොම හරි ගමන ඉදිරියටම  යනවා, මගියාව ඉක්මනට ගෙන යනවා.

අස්සෙන් රිංගා යාම නිසා සිදුවිය හැකි වාහන අනතුරුද බහුලයි. ඒ  අය හිතන්නේ ඉස්සරහ රෝදේ කොහොමහරි දාගත්තම, පිටිපස්සේ රෝද දෙකත් එම ඉඩෙන්ම  දාගන්න පුළුවන් කියලා.

සැමවිටම මීටර් ත්‍රීවිල් ටැක්සියක්ම පාවිච්චි කරන්න.

දුෂිත ත්‍රීවිල් රියදුරන් ඉන්නවා මීටරය තිබිද්දී එය නොදා පදවන්න බලන අය.

රෑට මීටර් නැතුව එලවන බොහෝ ත්‍රිවිල් රියදුරන් ඉන්නවා. ඇහුවහම බොරුවට කියනවා මීටරය කැඩිලා කියලා.

පොලිසියට හෝ අදාළ අධිකාරියට මේ වගේ අයව කෙලින්ම පැමිණිලි කල හැකි ක්‍රමයක් සැකසිය යුතුයි – එවලේම ගත හැකි හොට් ලයින් නොම්බරයක් වැනි.

නිර්මානශිලී නව අදහස් නොමැතිව මෙය දියුණු, පොහොසත් රටක් කල නොහැකියි (ජාජබ අභිලාශය මෙයනේ).

ත්‍රීවිල් ලියාපදිංචි කර රියදුරාගේ විස්තර ත්‍රිවිලයේ යන මගියාට දකින්නට පුළුවන් ලෙස සකස් කරන වැඩපිළිවෙලක් අවශ්‍යයි. ත්‍රීවිල් මිටරත් නිතර නිතර පරීක්ෂණයට ලක් කල යුතුයි, විශේෂයෙන්ම තමන්ගේම මීටර යොදා ගන්න අයගේ.

ලින්ක් මීටරය හොඳයි.

ඉදිරියේදී ත්‍රීවිල් ක්‍රමානුකුලව පාරවලින් ඉවත් කර නැනෝ, ඇල්ටෝ වැනි පොඩි කාර් ඒ වෙනුවට යෙදවිය හැකියි. දෙකේම ගාස්තුව බොහෝවිට එකයි. ත්‍රීවිල් හොඳ සේවයක් කළා, නමුත් දැන් යන්න කාලය ඇවිත්?

ත්‍රිවිල් නිසා පරිසර දුෂණය වැඩියි.  සමහරවිට ලොකු බස්/ට්‍රක්  වලින් පිටවෙන කාබන් මොනොක්සයිඩ් වායුව මගියාගේ/රියදුරාගේ පෙනහළුවලට කෙලින්ම යන්න පුළුවන්.

මේවා තදබල පිළිකා කාරක. අනතුරක් සිදු වූ විට වෙන ආපදාවේ  තරමත් වැඩියි. . අනික රටේ  දුප්පත් භාවයක් නිරුපනය කර පෙන්වනවා. 

ජපානයේ නිපදවන ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එහි ප්‍රදර්ශනාගාර වල තිබෙනවා; හරිම පිරිසිඳුයි, පරිසර හිතකාමියි. නමුත්, බොහෝ ගණන්.

මේ මෑතක් වනතුරුම අපට වඩා ‘පහලින්’ සිටි,  මලයාසියාවේ අදත් ත්‍රීවිල් නැහැ, කවදාවත් හඳුන්වා දෙන්නේ  නැහැයි කියා ඒ අය  කියනවා. සිංගප්පුරුවේ ටැක්සි හැටියට දුවන්න පුළුවන් සැප වාහන පමණයි.

මතු සම්බන්ධයි …….

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress