අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (12කොටස)
Posted on October 23rd, 2025

චානක බණ්ඩාරගේ

ගුණදායක කෑම, දිනපතා ව්‍යායාම, නිදහස් මනස, පිරිසිඳු වතුර, තරබාරුකම පාලනය; මේ වගේ දේවලින් බොහෝ ලෙඩ දුක් අපෙන් ඉවත් කර තබා ගන්න පුළුවන් – හර්ද, පිළිකා, දියවැඩියා, වකුගඩු, අංශබාග වැනි රෝගී තත්ත්ව.

ඇවිදීම, යොගා, පිහිනීම, විවිධ ව්‍යායාම, බය්සිකල් පැදීම, සෙමින් දිවීම ඉතා හොඳ  ව්‍යායාම වර්ග වේ. නිරොගීව, ක්‍රියාශීලීව දිගු කලක් ජීවත්වෙන්න පුළුවන් වේවි.   

නිරතුරුව භාවනා කරන්නා නිරෝගී පුද්ගලයෙකි.

අඩු තරමේ ගෙදර දොරේ වැඩ, කැත්තෙ උදැල්ලේ වැඩ හරි කරන්න. බැරිම නම් නිකමට හරි KM 2ක් විතර දවසකට ඇවිදින්න. දවසම පුටුවකට වී වැඩකරන අය, මේසය මත තිබෙන කොම්පුටරයේ වැඩ කරන අයට කිසිම ව්‍යායාමයක් ලැබෙන්නේ නැහැ.

දහවල් කෑම විවේකය ව්‍යායාමයට හොඳ අවස්ථාවක්. කාලා, පැය ½ක් විතර ඇවිදින්න යන්න. එවිට, මනසේ ඒකාකාරී බවින් මිදී පස්වරු භාගය හොඳින්, පිරුණු මනසකින්, වැඩි ජවයකින් වැඩ කරන්න පුළුවන් වේවි.

කෑම කන්න බැරිව ඉන්න, බොන්න බැරි  වැඩිහිටියෙකුට දෙන්න කියාපු ‘බෙහෙත’ එසන්ස් ඔෆ් චිකන්. හොඳට පන ඇවිල්ලා නැගිටිනවා.

පසුගිය දශක කිහිපය තුල  දුම් බිම අඩු උනත් අලුතින් බුලත් විට කන කාණ්ඩයක් ඇතිවෙලා තියෙනවා – ගම්වලින් නගරයට රස්සාවලට පැමිණෙන අය දුම් පානය නොකර බුලත්විට කනවා. මේ අය බොහෝ විට මුඛ පිළිකාවට ගොදුරු වෙනවා.

මුඛ පිළිකාව දුප්පතාගේ පිළිකාව. 

ඔබට කාලය, බුද්ධිය තිබේ නම් විවිධ මානසික රෝගීන්ට උපදෙස් දෙන පාඨමාලාවක් හදාරා එවැනි අයට සේවා කරන ස්වෙච්චා ආයතනයකට සම්බන්ධ වෙන්න.

දත් පරිස්සම් කරගන්න ඕනෙ නම් දවසට අඩුම තරමින් දෙවරක්වත්  දත් මදින්න, විදුරු මසුත් වෙනම මදින්න ඕන.

අද තියෙන ඇතැම් පළතුරු වලට රසායනික යහමින් භාවිතා කරලා තියෙන්නේ ඉදෙන්න කියලා සමහරු කියනවා.

අලිගැටපේර දිනපතා ආහාරයට ගැනීම හදවතට, පිළිකා නැසීමට ඉතා හොඳයි.

මාළු ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට හොඳ ආහාරයක්.

ගම්මිරිස් පිළිකා නාශකයක්, ආහාර ජීර්ණයට පහසු කරවන්නක්, සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස සුවකිරීමේ හැකියාව ඇති, ශරීරයේ බර අඩුකළ හැකි, සම පැහැපත් කිරීමට හා මානසික අවපීඩනය දුරුකිරීමේ හැකියාව ඇති මහා පුදුම බෝගයක්.

නායක්කර් වංශිකයෝ මහනුවර රජ වෙන්නට පෙර අපේ මිනිස්සු ආහාරයට යොදාගත්තේ ගම්මිරිස්; දකුණු ඉන්දියානු වඩුග රජ පවුලේ කට්ටිය (අද කර්ණාටක ප්‍රාන්තය)  මහනුවරට ආවිට, ඒ ගොල්ලන්ගේ ආහාරයට පාවිච්චි කරන්න මිරිස් ඉන්දියාවෙන් ගෙන්වා අපට පුරුදු කළා.

මේ අයගේ දැවැන්ත විජයනගර් රාජධානිය වසර 300කට අධික කාලයක් මුළු දකුණු ඉන්දියාවම පාලනය කළා (කණ්ණඩා, තෙලිඟු, මලයාලම්, දෙමළ යන භාෂාවන් එයට හසු වුනා). අවසානයට මේ රාජධානියේ අග නගරය වුයේ තමිල්නාඩුවේ වෙල්ලෝර් (1604 – 1646).  අපේ සිටී වඩුග රජවරු දෙමළ කථා කලේ මේ නිසායි – ඒ අය හැදුනේ, වැදුනේ මදුරාසියේ.

ඇඹිලිපිටියෙන් අමුවට ගත්ත කෙසෙල් කැන් කොළඹට එනකොට එදාම ඉදෙන්නේ කොහොමද? කාබයිට් ඉහින හින්දා. 

අද පළතුරු කඩවල කාබයිඩ් නොගහන පළතුරක් සොයා ගන්න අපහසුයි කියලයි සමහරු කියන්නේ. ඇත්තද දන්නේ නැහැ,

ඕනෑම ආහාරයක් පරණ නොවෙන්න අනුභවයට ගන්නවා නම් ඉතා හොඳයි, එතකොට පෝෂ්‍ය පදාර්ථත් වැඩියි.

අපේ බඩ ඇතුලට දාගන්න කෑම වල සම්භවය අප දැන ගැනීම ඉතාම හොඳ දෙයක්; මන්ද ලෙඩ වෙන්නේ අපි නිසා.

සමහර ටින් වල තියෙන සැමන් කෑවහාම කැරකිල්ල හැදෙනවා. ඒ ටින්වලින් නික්මෙන සුවඳත් එච්චර සුන්දර නැහැ, බෙහෙත් වගේ ගඳක්.

සැමන් කනවා හොඳට බලලා හොඳම බ්‍රෑන්ඩ් එකක් විතරක් ගන්න.

මාළු පාන් කියලා බේකරි වල විකුනනවා, ඇහුවහම කියනවා මාළු දාලා හැදුවේ කියලා. ඇත්ත නම්, සැමන් තමයි ගොඩක් වෙලාවට දාලා තියෙන්නේ. කන කොට සියුම් සැමන් කටු හැපෙනවා දැනෙනවා.

මික්ෂර් ඒක හදනකොට සැමන් හම්/කටු, සැමන් ටින් එකේ හොද්ද ඔක්කොම දාලා කළවම් කරලයි මාළු පාන් හදන්නේ, සමහර තැන්වල.

හොඳට පිරිසිඳුව, සෞක්‍යාරක්ෂකව හදන තැන්ද තියෙනවා.

සමහර කඩවල තියෙන කරවල, උම්බලකඩ ප්‍රමිතියෙන් අඩුයි, හරියට කුණු මාළු වේලලා හදලා වගෙයි. කරවල පුලුවන්නම් ගෙදර තමන්ම හදා ගන්න, වැල්ලෙන්ම  අලුත් පිරිසිඳු මාළු කුරියෙක් අරගෙන, ලුණු ගහලා  ගිනිගහන අව්වේ දවසක් වේලුවාහම  ඇති. 

ඉස්සර වගේ නෙවයි දැන්, කොහේ හරි තැලිච්ච නැති ගස්ලබු ගෙඩියක්, මැද පලුදු නොවෙච්ච අඹ ගෙඩියක් පලතුරු කඩේකින් සොයා ගන්න අපහසුයි.

අන්නාසි ගන්නකොට නැට්ට අග බලන්න,ගොඩක් ගෙඩි වල එතන තුවාල වෙලා, කළු වෙලා.

ලොකු සුපර් මාර්කට් එකකින් ගත්තු රඹුටන් ඔක්කොම වගේ ඇතුල නරක වෙලා තිබුණා.

කඩෙන් ගේන සමහර රතු සහල් සේදුවාම සුදු වෙනවා –  ඩයි වර්ග දාපු සහල්.

කැෆේන් හා සීනි වැඩිවශයෙන් අන්තර්ගත ශක්තිජනක පාන වර්ග මගින් තරුණ දරුවන්ගේ ලේ වල ග්ලූකෝස් හා ඉන්සියුලින් මට්ටම වැඩිවන බව කැනඩාවේ කල පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

පැණි කොමඩු කන්න; ඉතාම හොඳ, ගුණ කෑමක්.

ගොඩාක් වතුර බොන්න.

පලතුරු, පලා වර්ග ආහාරයට ගන්න.

ඔලිව් ඔයිල්, තැඹිලි තෙල් යොදාගෙන ‘හෙඩ් මසාජ්’ කරන්න.

පොල් වලින් අපට ලැබෙන ආහාර ද්‍රව්‍ය – පොල් වතුර, කිරි, තෙල්; මේවා ඉතාම රස තමයි, නමුත් අධික මේදය නිසා උවමනාවට වඩා ගත්තොත් හර්දයාබාද වැළදෙන්න පුළුවන් කියලයි කියන්නේ.

ඉස්සෝ, දැල්ලෝ, තක්කාලි, දෙල් රසයි තමයි හැබැයි ඌෂ්නයි; හමේ රෝග තියෙන අයටත් හොඳ නැහැ.

නැවත සකස් කරනු ලබන ආහාර වන සොසේජස්, බේකන්, සලාමි, හැම්, කොක්ටේල්ස්  ආදී මාංශ ආහාර වර්ග පිළිකාකාරක ආහාර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත.  මෙවැනි ආහාර දිනකට ග්‍රෑම් 50 ක් ආහාරයට එක්කර ගැනීම 18% කින් පිළිකා අවදානම ඉහළයාමට හේතුවන බවට විශ්වාස කෙරේ. 

රතු පැහැ මස්වර්ග පිළිකා කාරක ලෙස ක්‍රියාකිරීමේ හැකියාව වැඩි බව පර්යේෂකයෝ පෙන්වා දෙත්.

තෙල් සහිත කෑම බීම වැඩිපුර කෑම නිසා ශරීරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම ඉහළ යයි.

සීනි අධික ආහාර පාන ගත් විට සිදුවන්නේ එය රුධිරය සමඟ එක්‌වීමයි. රුධිරයේ ඇති සීනි මට්‌ටම ඉහළ යාම යනු දියවැඩියා රෝගය මතුවිමයි.

උදේට මුං ඇට. කඩල, කව්පි වගේ ධාන්‍ය කන්න, කොළ කැඳ පානය කරන්න. දවල්ට රතු හාල් බත්, මාළු, මැල්ලුම්, වට්ටක්කා වගේ දේවල් කන්න.

බිත්තර ගොඩාක් කන කෙනෙක් කහ මදය අයින් කරලා කන්න ඕන කොලෙස්‌ටරෝල් අඩු කර ගන්න.

ඔය කැළණි පාලමට ඔබ්බෙන් තොටළඟ ටකරන් මඩු/ගෙවල්  උඩ පපඩම් හදලා  වේලේන්න දාලා තියෙනවා. ඇත්තටම විකුනන්න තියෙන මේවා ප්‍රමිතියට අනුකූලද?

මේවා උඩ කාක්කෝ, පරෙවියෝ වගේ සත්තු ලගින්නේ නැද්ද?

ඉන්දියාවෙන්, පකිස්තානයෙන් අපිට ගේන හාල්, කඩල, මුං, කවුපි,  මිරිස්, පරිප්පු  ආදිය කොච්චර පරණද කියලා කවුරි හරි දන්නවද? ඒ රටවල ගබඩාවල තිබිලා, නැව් මඟින් අපට එනකොට මාස ගණන් ගිහිල්ලා වෙන්න බැරිද. මේවාට කෘමිනාශක නොගසා කොහොම තියාගන්නද?

ඔය කෑම ගෙන එන නැව්වල මොන තරම් මීයෝ, කැරපොත්තෝ ඇද්ද, වෙනත් අහිතකර කෘමි සතුන්. ගෝනි වලට මුහුදු වතුර ගැහුවත් ඒ ආහාර ඒ අය ඉවතලන්නේ නැහැනේ.

අපේ දඹුල්ල ආර්ථික මධ්‍යස්තානය වැනි තැන්වලට ගෙනෙන ධාන්‍යය නම් නෙලා ගත්ත හැටියේම ඒවා කියලා අපි දන්නවා. එතකොට ගුල්ලෝ වැනි සතුන්ගේ ආක්‍රමණ අඩුයි; කල් තියාගන්න බෙහෙත් ගහන්න ඕනත් නැහැ.

හැම විටම දේශීය ආහාරම ගන්න බලන්න.

බීජ පොඩි වුනත්, දේශීය අර්තාපල් පකිස්ථාන් ඒවාට වඩා නැවුම්, රසයි, ගුණයි.

අප බොන කිරි කෙතරම් ප්‍රවේශම් සහිතද? අප්‍රවේශම් සහිතව ලබා ගන්නා සහ විවෘතව  කල් තබා ගන්නා  කිරිවල ඇති බැක්ටීරියාමය අපද්‍රව්‍ය අපේ සෞඛ්‍යයට ඉතාම හානිකරයි.

ලංකාවේ කිරි එකතුකිරීමේ (ශීත කිරීමේ) මධ්‍යස්ථානවල, සමහර විට, තවමත් හයිඩ්‍රජන් පෙරෝක්සයිඩ් එකතු කරනවද, නරක් නොවෙන්න?

ඉස්සර කිරි බව්සර් වලටත් හයිඩ්‍රජන් පෙරෝක්සයිඩ් එකතු කලා, ශීත මධ්‍යස්ථානයේ කිරිවල කූල් ගතිය අඩු වූ විට.

හයිඩ්‍රජන් පෙරෝක්සයිඩ් කියන්නේ තුවාල හෝදන්න ගන්න සැර රසායණික ද්‍රව්‍යයක්.

කිරි රත් කරනකොට මේවා වාශ්පවී ඉවත් වෙනවා.

පාන්පිටි වලින් හදන කෑම කෑමට අපි අද තදින්ම ඇබ්බැහි වෙලා. මේක විදේශ අධිරාජ්‍ය වාදීන් යටතේ සිටි කාලයේ අප පුරුදු වු දෙයක්. තිරිඟු ඇටයක් වත් හදන්නේ නැති මේ රටේ අපි මේ තරම් තිරිඟු වලට වහල් වීම ඉතාම  නරක දෙයක්.

ඉස්සර කඩෙන් ගන්න පාන් ඇතුලේ මැරිච්ච ගුල්ලෝ හිටියා කළු පාටට. සමහර පාන් ගෙඩි කන්නම බැහැ.

PL 484 ආධාර ක්‍රමය යටතේ එදා අපට ඇමරිකාවෙන් ලැබිච්ච තිරිඟු පිටි.

අද උනත් මේ පිටරටින් එන තිරිඟු පිටි කොච්චර නම් පිරිසිඳුද කියලා අපි දන්නේ නැහැ.

අපේ රටේම වැවෙන සොයා, සෝගම්, මුන්, කවුපි,  කුරක්කන්, බඩ ඉරිඟු, මෙනේරි, තල, හාල් පිටි වලින් නිපදවන ආහාර වලින් හදන පාන්/ෂෝර්ට් ඊට්ස් කෑමට පුරුදු වෙමු. මේවාට යම් තරමක තිරිඟු පිටි කලවම් කරලා අවශ්‍යම නම්.

පිටරට ආහාර ද්‍රව්‍ය ආනයනය කරන සමහර වෙළෙන්දෝ බලන්නනේ එහි ගුනානත්ම අගයට වඩා, කොයිතරම් අඩු මිලට ඒ කෑම ගෙන්වලා කොයිතරම් වැඩි ලාභයක් ගන්න පුලුවන්ද කියන එකයි.

අඩුම වශයෙන් දවසකට පැය 8ක වත් නින්දක් ගන්න බලන්න. රාත්‍රී කාලයේ සුව නින්දක් ලබන කෙනා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට  හිමිකම් කියන බවයි ජර්මනියේ  සරසවියක වෛද්‍ය පර්යේෂකයන් කිවේ.

ඇවිදින මං තීරු කියලා ප්‍රදේශ හැදුවා, මිනිස්සු ඒවා හොඳින් පාවිච්චි කරනවා. ඉතාම හොඳයි.

හැබැයි ඕස්ත්‍රේලියාවේ සෑම පාරක්ම වගේ ඇවිදින මං තීරුවක්; ඒ තරම් හොඳට හදලා තියෙන්නේ. හොඳින් පළල, ගඩොල්/කළු ගල් අල්ලපු  පේව්මන්ට් එහි තියෙන්නේ සෑම පාරකම.

ඒ රටේ අමුතුවෙන් ඇවිදින මංතීරු කියලා හදන්න ඕන නැහැ.

පොළොන්නරුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 30%-40% ත් ප්‍රමාණයක්‌ දියවැඩියා රෝගයට ගොදුරුවූ අය බවට හඳුනාගෙන ඇත.

මස්, මාංශ අනුභවයෙන් තොරව (vegetarian) නිරෝගිමත්, සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගෙවිය හැකියි.

හිමාල වනයේ ඍෂිවරු ඉන්නවා සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක. කිසි ලෙඩක් දුකක් නැතුව අවුරුදු 90 -100 ජීවත්වෙනවා ඒ අය.

මම දන්න මහ කොමසාරිස්වරයෙක් හිටියා. තමන් මස් මාළු කන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ පම්පෝරි ගැහුවා. එයාගේ ගෙදර ගියහම කෑම මෙසේ නැති මසක් නැති තරම්. එයා තලු මර මර මස්, මාළු කන්නේ.

අපි තලු මර මර, දිව උඩ දාමින්, කන ඔය මස් කෑල්ල වෙනුවෙන් අසරණ, අහිංසක  සතෙක් තම ජීවිතය දන් දීලා තියෙනවා. සමහරු සතුන් මොන තරම් (පැය ගණන්) දඟලලද අන්තිමට මැරෙන්නේ.

හරක්, ඌරං, එළුවෝ මරණ තැනකට ගිහිං බලන්න. සත්තු මරලා ඉවර වුනහම ඒ ස්ථානය හරියට යුධ පිටියක් වගේ. ලේ විලක්. සමහර සත්තුන්ගේ වලිග කොට පැය ¼ ක්  – ½ක් ගිහිල්ලත් දඟලනවා.

බුද්ධාගමේ හැටියට නම් ඒ පිනම ඇති (තම ශරීරය දානය කිරීම), එම සතාට මනුෂ්‍යය ආත්මයක් ලබලා උපදින්න.

බුද්ධාගමේ හැටියට නම්, මස්, මාළු නොකෑමේ පිනම ඇති වෙන්න ඕන ඒ පුදගලයාට යළි හොඳ මනුෂ්‍ය ආත්මයක් ලබන්න.

දියුණු රටවල ඉතා ක්ෂණයකින් මසුන් පිණිස සතුන් මරනවා. එයින් ඒ සතා ලබන වේදනාව අඩුයි. අපේ රටේ වගේ කකුල් බැඳගෙන, විශාල වෙරක් දමා සතාගේ බෙලි කපන ක්‍රම, සතාගේ ඔලුවට මිටියෙන් ගැහීම, පිහියෙන් ඇනීම, පොරවෙන් ගැසීම  වැනි ක්‍රම, දියුණු රටවල නැහැ හෝ අඩුයි.

අපේ රටේත්  මෙවැනි අධි වේදනා රහිතව සතුන් මරණ ස්ථාන ඇතිකරනවානම් හොඳයි, නමුත්, එයින් අදහස් කරන්නේ නැහැ මරණ සතුන් ප්‍රමාණය බොහෝ සෙයින් වැඩි කලයුතුයි කියා.

මිනිස්සුන්ට මස් කන්න ඕන නම් ඒ සතුන් නිසි විධියට මරා දමන්න ක්‍රම රජයන් විසින් ඇති කල යුතුයි.

පාරේ යන වාහන (වැන්/ලොරි) සත්ව ඝාතකාඝාර  බවට පත් කරගෙන තියෙනවා. සමහරවිට මීට හේතුව නිත්‍යානුකුලව සතුන් මරන ස්ථාන රජයන් මගින් පිහිටුවලා නැති වීම හෝ මදි වීම නිසා වෙන්නැති.

මේ ප්‍රශ්ණ දිහා ප්‍රශ්ණයක් නැති විදියට ඉන්න බැහැ; ප්‍රශ්ණේට මුහුණ දීලා විසදන්න ඕන, මස් කන පුද්ගලයාට සහ දුක් වී මැරෙන අහිංසක සතාට (දෙගොල්ලන්ටම) සාධාරණයක් වෙන විදියට.

ඉස්සර මස් කඩවල PHI සීල් එක නොගැසූ මස් විකුනන්න තහනම්.

දැන් සමහර කඩවල සිල් එක ගහන්නේ මස් කඩේ අතුලේදී මස් කඩ හිමියමලු?

ලංකාවේ සත්ව මස් කර්මාන්තයක් නැහැ ඌරු සහ කුලුලු මස් හැරුණු කොට.

මේ මස් කන විදියට යම් දිනක මේ රටේ හරක්, එළුවෝ එකෙක් වත් නැති වෙයි. මී හරක් නම් දැනටමත් බොහෝ දුරට වඳ වෙලා ඉවරයි මිනිස්සු මරලා කාලාම. කැලේ කීප දෙනෙක් ඉන්නවා.

අපි වසරකට සංචාරකයෝ ලක්ෂ 40ක් අපේක්ෂා කරනවා, මේ ඉලක්කය පහසුවෙන් සපුරා ගනීවී  මේ යන විදියට. කෝ මේ අයට කන්න හරක්, එළු මස්?  මුදල් ගියත් කමක් නැහැ පිටරටින් තමයි ගේන්න වෙන්නේ.

ඕස්ත්‍රේලියාවේ බීෆ් තියෙනවා මුළු ලෝකෙටම උනත් ඇතිවෙන්න දෙන්න.

අපි දැනටමත් ලැම්බ් එහෙන් ගෙන්වනවා.

ඉන්දුනීසියාවේ එළුවෝ හදනවා මසට.

ඉදිරියේදී ඒමට නියමිත මහා සුද්දන්, චීන්නු සේනාවට හරක් මස් දෙන්න ගිහිං අපිට කිරි ටික ගන්නවත් වස්සියෙක් නැති වෙයි.

රජයන් මේ සත්‍ය ප්‍රශ්ණ ගැන කල්පනා කරනවද?

එම්. එස්‌. ජී. රසකාරකය සෞඛ්‍යට අහිතකරයි.

සමහර හෝටල්, බත්/තේ කඩවල පිරිසිඳු කම බලන්න ඒවායේ පිටිපස්සට යන්න ඕන. කුස්සිය, වැසිකිලි, පිළිකන්න, කානු ඉතා අපවිත්‍රයි. නහය වහගෙන යන්න වෙන්නේ.

මියෝ, මැස්සෝ, කැරපොත්තෝ, හුනෝ වගේ  අහිතකර සත්තු බහුලයි අපේ හෝටල් වල. එවැනි හෝටල් වලින් දිගටම කන අයට විවිධ රෝග සෑදෙන්න ඉඩ තියෙනවා. සමහර ප්‍රදේශවල  සැන්ටි බෝර්ඩ් මහත්තුරු ඉන්නේ නමට විතරයි.

නහයට ඇඟිල්ල දාලා හාර හාර කථා කරන අය ඒමට සිටිනවා. ඉතාම නරක පුරුද්දක්. සමහර හෝටල කෝකියෝත් උයන ගමන් කරන දෙයක්.

සමහර හෝටල කෝකියෝ වැසිකිලි ගොස් සබන් ගා ඉතා හොඳින් අත් සොදා ගන්නේ නැහැ. මේ අයගේ නියපොතු වල රැඳුනු අසුචි, කෑම වලට එක් වීම නිසා ‘ඇමිබයසිස්’ නමැති බඩ දඟලන සහ නිතර වැසිකිලි යාමට සිදුවන රෝග හැදෙනවා. මෙරටට පැමිණෙන බොහෝ විදේශිකයන්ට පැමිණ දින කිහිපයකින් පසු හැදෙන ලෙඩක්.

තවම බොහෝ තේ කඩ, ආපන ශාලා, කැන්ටින්වල වේටර් වරු කෑම (ෂෝට් ඉට්ස් වැනි) අතින් අල්ලනවා, කෑම අල්ලන අඬුවකින් නැතුව.  අප මිට වඩා ගොඩාක්  දියුණු විය යුතුයි.

අපේ ගොඩාක් තේ බොන හෝටල්, කෑම කන ආපනශාලා, මහජන කැන්ටින් පිරිසිඳු කමින් ඉතාම බාලයි.

අද ගොඩක් ගමේ කඩේ කියලා කියන තැන්වල, දේශීය බුෆේ තැන්වල  මැටි වලන් ඇරලා තියෙන්නේ රතු හාලේ බතට පෑහෙන ගෝවා, බීට්‌ රූට්‌, ලීක්‌ස්‌, කැරට්‌, කුකුළු මස්‌, පපඩම්, කට්ට සම්බෝල, පරිප්පු, මාළු ඇඹුල් තියල් සහ චටිනි. මේවා බටහිර කෑමට වැඩිය කොපමණ රසද. මිරිස්, තුන පහ වගේ ජාති හින්දා අපේ කෑම අපමණ රහයි.

මුන්නේසරම් ගොස් තල් කොලේ දැවටු කිතුල් හකුරු මගේ පවුලේ අයට අරං දුන්නා දැන් මතක් වෙනවා.

ළාවට රෝස්ට්  කරපු මුන් කිරිබත් කාලා තියෙනවද, නියමයි.

කැකුළු හාලේ බතුයි, කොච්චි මිරිස් දමලා හදන පොල් සම්බෝලයි තියෙනවනම් මට වෙන මොනවත් ඕනේ නැහැ කියා මෙල්බර්න් සිටින මගේ මිතුරෙක් නිතරම කියනවා.

දුප්පත් කමට පොල් ගන්න සල්ලි නැතිව, කිරි හොද්දක් නොහදා, වට්ටක්කා ඇට තලලා දාලා, කොච්චි හොද්ද එක්ක බත් කන අය අදත් ලංකාවේ කොපමණ නම් ඇද්ද?

හාල් ගන්න සල්ලි නැතිව බත් වෙනුවට මුරුංගා තම්බලා කන ළමයි ඉන්නවා අනුරාධපුර, හොරොව්පතාන පැත්තේ. ඒ අය ඒවා කනකොට නම් බලන් ඉන්න බැහැ, සසර කළ කිරෙනවා.

හුදු බඩගින්න නිසාම වැට මායිමේ තිබු  ජාපාල ගසේ අතුරිකිල්ලක් කඩා ගෙන  කා ඒ  දිනය පුරා පොල් කිරි පානය කරමින් බඩ අල්ලං හිටපු කෙනෙක් සිටියා. වාසනාවකට මැරුණේ නැහැ.

රසම  කෑමකි; උණු කුරහන් රොටී, ලාවට තෙල් දාපු ළුණු සහ සැර ලුණු මිරිස.

නෙලුම් අල සහ කොහිල අල එකට  පුලුවන්නම් කාලා  බලන්න; හරිම ගුණයි, රසයි.

මාතර ගියොත් මා කිරි පැණි ඇතිවෙන්න නොකා නම් එන්නේ නැහැ.

ඉස්සර, මාතර රිචර්ඩ් එකේ නියම මී කිරි තිබ්බා.  

කතරගම යන කොට අම්බලන්තොට, හම්බන්තොට  පැත්තේ හදන මී කිරි මඩුවටම  ගිහිල්ලාඒවා  ගන්නවා, ඒවා හදනවා බලන් ඉන්නත් පුළුවන්.

කතරගම බස් ස්ටෑන්ඩ් එක ළඟ කඩේකින් උදේට උණු උණු ආප්ප කෑවා තද කළු සීනි සම්බල් සහ කිතුල් හකුරු එක්ක. කවදාවත් අමතක වෙන්නේ නැහැ.

කහබිලියා කොළ අමුවෙන් කන්න එපා; වමනේ එන්න ගත්තොත් පොල් කිරි පොවන්න.

ඉස්කෝලේ බාලදක්ෂ කරන කාලේ කැකිරාව පැත්තේ කැලේක දවස් 4ක් කඳවරු ගහගෙන හිටියා. දිවුල්, පලු, වීර, ගල්සියඹලා වැනි රසවත් පලතුරු ගස් වලින්ම, නැගලා, කඩාගෙන කෑවා.

ඉඳල හිටලා ගෙදර එන යාලුවෙක් ඉන්නවා. එන්න ඉස්සෙල්ලම මිනිහ මගේ බිරිඳට කෝල් කරලා කියන්නේ කැකුළු හාලේ බතුයි, හාල්මැස්සොයි (මිරිසට උයලා), පරිප්පුයි, පොල් සම්බලූයි ඕනා කියලා. මිනිහගේ ඔය ‘මෙනියු’ එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

කහට කෝප්පයක් කිතුල් හකුරු කෑල්ලක් එක්ක බිවුවහම  පාළුව කොහෙන් බැහැල යනවද දන්නේ නැහැ

මගේ කතෝලික යාලුවෙක් මඩු පල්ලි ගිහිල්ලා තල් ගහේ  ලපටි බඩ (කොට්ටකිලන්ගු), එවෙලේම ගහෙන් කඩපු මි පැණි එක්ක කන්න එක් දෙමළ මිනිහෙක් දුන්නා කියා අපට ගෙනත් දුන්නා,  නියම මි පැණි කෑවේ එදා.

ඒ දෙමල මිනිහම කියා තියෙනවා ‘මාතියා අලුතින් මරපු වල් ඌරු මස්, මුව මස්, ගෝන මස් තියෙනවා, ඕනද’ කියලා. යාළුවා එපා කියලා.

ඔටු කිරි බීලා රටඉදිත් කෑවත් මට නම් අරාබි රටවල කෑම  අල්ලන්නේ නැහැ කියා මැද පෙරදිග අවුරුදු 10ක් සිටී කෙනෙක් කියනවා. ලංකාවේ කොහිල හොද්දට ඔය ඔක්කොම රට කෑම පරාද කරනවලු.

උදේට උණු ආප්ප මේසයක් දැක්කොත් මගේ කටට කෙල පෙරන එක නවත්වන්න බැහැ.

කිරිබත් කොච්චර රස උනත් අපේ ගෙදර කිරිබත් හදන්නේ විශේෂ සුභ දවසකට පමණයි. කොච්චර කිව්වත් අම්මගේ ප්‍රතිපත්තිය වෙනස් වුනේ නැහැ.

කැකුළු හාලේ කිරිබත් මාමය්ට් එක්ක කාලා බලන්න හරි රහයි.

පොල් සම්බෝලෙකට තව එලවලුවකුත් එකතු කරගෙන බත් ටිකක් කෑවා නම් ආයි මස් මාළු ඕන නැහැ.

පාන්දර නැගිටලා රණවරා කෝප්පයක් උණු උණුවේ බීලා හකුරු කෑල්ලක් හප හපා මිදුලට ආවා කාලේ අද මේ සිතල විදෙස් රටේ ඉඳගෙන මතක් වෙනවා.

තම්බපු කොසුයි පොලුයි දාගත්තහම වෙන මොනවත් ඕනේ නැහැ.

‘කොස් විකුනන්නේ කොහොමද?මැනලාද? කිරලාද? කොස් විකුණන්නේ කපලා පළු වලින්’.

අපේ ගෙදරට ඈත පළාතකින් ආවා හැම ඉරිදටම  අන්කල් කෙනෙක් ෆනෑන්ඩෝ කියලා. ඔහු වැඩියෙන්ම කැමති රොස්ට් කරපු කොස් ඇට වලට.

වරායේ කෑම එක කියනවනේ නේද හොඳම කෑම එක. රුපියල් 100ලු.

තාත්තා ඉරිදට ට්‍රිපොලි මාකට් ගිහිල්ලා ‘මුළු මාකට් එකම’ ගෙදර ගෙනවා. ඉරිදා දවල්ට  පිඟනේ මදි තියන්න තියෙන කෑම ජාති බෙදා ගන්න.

කාලයක් තිබුනා හැමදාම ගෙදර ඉරිදා දවල්ට තනිකරම සී ෆූඩ් ජාති හදනවා.

මගේ ඥාති මල්ලි කෙනෙක් ඉන්නවා ඔහුගේ ප්‍රියතම කෑම මුරුංග කොළ දාපු කකුළුවෝ හොද්ද.

මාළු පාට්ස් කියලා ලොකු මාළුන්ගේ බඩ ඇතුලේ තියෙන කොටස් ඉතා ගුණයි ලු, විටමින් වැඩි හින්දා.

හැදෙන ළමයින්ට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින්, ගැබිණි මව්  වරුන්ට අවශ්‍ය යකඩ (අයන්) සහ වෙනත් පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් මස් වල අඩංගුයි කියා කිව්වත් මස් වලට ආදේශක එළවලු, ධාන්‍ය, කිරි ආහාර  ඕන තරම් තියෙනවා.

අද ගොඩක් ගමේ කඩේ කියලා කියන තැන්වල, දේශීය බුෆේ තැන්වල  මැටි වලන් ඇරලා බලපුවහම තියෙන්නේ රතු හාලේ බතට පෑහෙන ගෝවා, බීට්‌ රූට්‌, ලීක්‌ස්‌, කැරට්‌, කුකුළු මස්‌, පපඩම්, කට්ට සම්බෝල, පරිප්පු සහ චටිනි. මේවා බටහිර කෑමට වැඩිය කොපමණ රසද. මිරිස්, තුන පහ වගේ ජාති හින්දා අපේ කෑම රහයි.

මගේ යාළුවෙක් – අගලවත්තේ, බෙල්ලන – බල කරවල කෑල්ලක් පුච්චලා දෙහි දාලා බත් දෙනවා යාළුවො 50ක් විතර එක පාරට නොකියා බස් එකෙන් ඇවිල්ලා ගෙදරට බහින දවස්වලට. එක දවසක් දුන්නේ කුනිස්සෝ දාපු තෙම්පරාදු සම්බෝලයයි, මිල්චාට් හාලේ බතුයි. රස කර කර යාළුවෝ සහ ඔවුන්ගේ පවුල් කෑවා කිවා.

දවසක් දෙනියායේ  ගිහිල්ලා කාපු සුදු කැකුළු හාලේ කිරි බත්, ඇඹුල් තියල් මාළු සහ   වම්බොටු මෝජු මතක් වෙනකොට අදත් කෙළ උනනවා.

වැව් මාළු හදලා තම්බපු මයියොක්කා එක්ක කාලා බලන්න, හැබැයි සැර බීම  බොන්න එපා.

පොලේ කරපිංචා මිටියක් රුපියල් 40යි. ඒකම මෙල්බෝර්න් වෙජි මාකට් එකේ රුපියල් 150යි.

අම්මා කේක් හදනකොට දාන්න ගේන මුද්දරප්පලම් අරන් හොරෙන් කනවා, ටින්කිරි එක්ක කලවම් කරලා, පුදුම රසක්.  හොරෙන් කන නිසාද?

පීටර් කුරුවිට මහත්මයා කතරගම ඉන්න හොඳම කලු දොදොල් නිෂ්පාදකයෝ එකතු කරලා TV වැඩසටහනක් රූපගත කළා – මහ පුදුම වැඩසටහනක්, ලෝකේ පුරාම වගේ cable TV වල ඒක පෙන්නුවා.  

පානම මහා මුකලන් කැලේ කිරි අල ගලවලා නෙලුම් කොලේ උඩ තියලා ලුණු මිරිස් සහ පොල් සමඟ කන හැටි පෙන්වන වැඩසටහනකුත් හදා එතුමා මුළු ලොවටම පෙන්වූවා.

ශ්‍රී ලංකාවට අපමණ කීර්තියක් අත් කර දී ඇති කුරුවිට මහත්මයා මහනුවර ක්වීන්ස් හෝටලේ ඉඳලා ජාත්‍යාන්තර රුපවාහිනියට උයලා පෙන්නුවා ‘ශ්‍රී ලංකන් බරමන්ඩි’ ඩිෂ් එකක් හදන හැටි. පසුබිම් සංගීතයට ගියේ ‘සුරාංගනී… සුරාංගනී….’ බයිලා වාදනය. මුළු බටහිර ලෝකයම වගේ දැක්කා අපේ ශ්‍රී ලන්කන් ඉවුම් පිහුම්.

ලංකාවට විශාල වශයෙන් ඕස්ත්‍රේලියාවෙන් සුද්දෝ එන්න ගත්තේ කුරුවිට මහත්මයයාගේ වැඩසටහන් වලින් පස්සේ (2012  විතර පස්සේ)

මගේ බම්බලපිටියේ මිතුරාගේ බිරිඳ ඉරිදාට රසට උම්බලකඩ කෑලියි, බී ලූනුයි, දෙහි,අමු මිරිසුයි දාලා හදන කටගැස්ම හොඳම කටගැස්ම කියා මා ඇයට කියා තිබෙනවා.

පිට රට සිට සැම වසරකම ලංකාවට එන මගේ අක්කා හැමදාම ඉල්ලන්නේ ගෙදරින් රසට හදන කෑමයි. එයා කියනවා හෝටල කෑම පිටින් ලස්සන වෙන්න පුලුවන්ලූ, ඒත් රසගුණ සහ පිරිසිදු අතින් ගෙදර කෑමට ගහන්න කෑම නැතිලු. ඉතා නුවණැති මගේ අක්කා කවදත් හරි බව මා දන්නවා.

පොළෙන් ඉදුණු බෙලි ගෙඩියක් අරං පිරිසිඳු කිතුල් පැණි එක්ක ගෙඩිය ඇතුලෙම තියාගෙන තේ හැන්දෙන් කනකොට හිතෙනවා අනේ අපේ රට කොච්චර වාසනාවන්ද කියලා.

පොලොස් හදනවා නම් පැය 2ක් විතර මැටි වළඳේ හින්දන්න ඕන. උයලා, කාලා ඉවරවෙලා ඉක්මනින් ෆ්‍රිජ් එකට නොදැම්මොත් ඉතුරු  පොලොස් පිළුණු වෙනවා.

සමහර හෝටල් වල පාරිභෝගියකන්ට කන්න ෂෝට් ඊට්ස් පුරවපු පිඟානක් මේසය මත තබා යනවා. බොහෝ පාරිභෝගිකයෝ ඒ කෑම අතින් අල්ලා බලා ආපසු දමනවා, හොරෙන් පොඩ්ඩක් කා ආපසු දමන අයත් සිටිනවා. අතින් අතට ස්පර්ශවන, තැලෙන කෑම ගැන කුමක් කිවමනාද?  ඒවා කන්න කවුරුවත් කැමති නැහැ.

මවක්, පියා හා දරුවන් දෙදෙනකු මීගමුව බස් ස්ටෑන්ඩ් එක අසළ හෝටලයක මේසයෙහි කෑම කමින් සිටියා. ඒ දරුවෝ කට්ලට් සහ රෝල්ස් කීපයක් ගෙන මදක් කා ‘ඌයියා මිරිස්’ කියා ඒවා පසෙක තබා තවත් කෑම වර්ග ගැනීමට අත දැමූහ. ඔවුන් ගිය පසු වේටර් ඒ කෑම පිඟාන අලුතින් කෑමට ආ යුවලකට ගෙනත් තිබ්බේය.

කරන්න තියෙන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය කෑම ගැන අසා ඒවා පමණක් මේසය මත පිඟානක තබා, කෑවත් නැතත්, බිලට එකතු කිරීමයි.

දවසක්  මීගමු වෙරල පැත්තේ ගියා පවුලේ අයත් එක්ක. එතන තියනවා කොත්තු හදන තැනක්. අපි හැමෝම කොත්තු කෑවා. වැඩිපුර කොත්තු පිඟානෙම ඉතුරු කරලා හැමෝම රැල්ල පාගන්න පහලට ගියා. මම කොත්තු ගහන හැටි බලන් හිටියා. අර අපි කාලා ඉතුරු කරපු කොත්තු ටික කලවම් කරනවා මම දැක්කා තවත් හදන කොත්තුවකට. ඒ කියන්නේ අපිත් කන්න ඇත්තේ කවුරුහරි කාපු කොත්තු වෙන්න ඇති.

ගලේ අඹරලා හැදූ පොල් සම්බෝලෙකුයි, මිරිසට හදපු අල හොද්දකුයි තියෙනවා නම් ඉදි ආප්ප 50 ක් 60 ක් නිකම්ම කන්න මට පුලුවන් කියා දුරින් අපේ අයියා කෙනෙක් වෙන කෙනෙක් කියනවා. ‘මගේ ඉදි ආප්ප ආසාව නැති වෙන්නේ මම නැති වුණදාට තමයි ඉතින්’ කියාත් ඔහු කියනවා.

මම පොල් ගානවා සම්බෝලෙකට. ලුණු, රතුළුණු, උම්බලකඩ, මිරිස්, ගම්මිරිස්, උම්බලකඩ දාල පොල්ටික පදම් කලා කියමුකෝ. පුළුවන්නම් පරිප්පු, අල බැදුමක් හදා ගන්නවා. ඊට පස්සේ කපපු පාන් පෙති එක්ක ගිල දානවා කට්ටිය එක්ක එකතුවෙලා.  පස්සේ බොන කහට කෝප්පේ නම් පංකාදුයි.

හොදට කට සැරට කාලා දැවිල්ල පිටම ඉඟුරු තේ එකක් බොන්න ඕනෑ. එවිට තමයි තේ එකේ රස වැඩියෙන් කටට දැනෙන්නේ.

ටවුන් හෝල් එක ඉදිරිපට දැන් තරමක අලුත් හෝටලයක් තියෙනවා  ප්‍රසිද්ධ හොස්පිටල් ජාලයක් කරන අයට සම්බන්ධ. කෝකි වරු සියලු දෙනා ඉන්නේ හිසකෙස් වැසූ තොප්පි පැළඳ ගෙන.  ආහාර කවුන්ටරයේ වැඩ කරන වේටර් වරු කෑම අල්ලන අඬුව අල්ලන්නේ තුනී රබර් අත්වැසුම් දමායි. සනිපාරක්ෂාවට මුල්තැන දෙන මෙවන් තැන් වලට පාරිභෝගිකයෝ නිරායාසයෙන්ම ඈදී එනවා, විදේශ සංචාරකයෝ පවා මතක තබාගෙන එවැනි හෝටල වල හොඳ  වෙබ් අඩවි වලට ලියනවා.

කොළඹ නගරයේ සහ දිස්ත්‍රික්කයේත්, වෙනත් ලොකු නගරවලත්  ලොකු පාලම්  යටින් ගලා බස්නා ඇල, වේලි දෙස බලන්න – ඒවා ඉතාම අපිරිසින්දුයි. බොහොමයකින් එන ගඳ ඒ ජලයට මිශ්‍රවූ මිනිස් අසුචි ගඳ – ගෙවල්වල ටොය්ලට් හරෝලා. 

මේවා අසළ ජීවත්වෙන/වැඩකරන  මිනිස්සු පමණක් නොවෙයි ලඟින් යන මිනිස්සුන්ගේ පවා ඔළු කැරකි අසනීප තත්ත්ව ඇති වෙන්න පුළුවන්.

ඒ වතුර ගෑවු අයට චර්ම රෝග හැදෙන්න පුළුවන්. නගර සභා මේවාට ස්ථිරසාර පිළියම් යෙදිය යුතුයි. 

එක් නගර  සභාවක් නව නගරාධිපති පත් කළාට පස්සේ ඒ පක්ෂය පම්පෝරි ගැහුවා; මාස 6න් පස්සේ බලන්න කරලා තියෙන වැඩ කොටස කියලා – තිබ්බ නගරය හඳුනා ගන්නවත් බැරි වෙයි කියලයි කිව්වේ. දැන් මාස 6ට ලඟයි, ඊයේ පෙරේදා වැස්ස වැස්සෙන් කොටුව දුම්රිය ස්ථානයත් යට වුනාලුනේ?

ඔක්කොටම ඉස්සෙල්ලා නගරේ තියෙන බෝක්කු, කානු පද්ධති සුද්ද කරලා ඉන්න.

මේ නගර සභාව කෝටි ගණන් වියදම් කර උත්සව පවත්වන්න නම හරිම දක්ෂයි (අතීතයේ), හැබැයි අත්‍යාවශ්‍ය දේට මුදල් නැතැයි  කියනවා.

නගර සභාවක් දේශපාලනඥයන්/තානාපතිවරුන්  ගෙන්වා කෝටි ගණන් වියදම් කර සාද පැවැත්වීම වැරදියි. පාර්ටි දානවා නම් ගෙන්වන්න ඕන තමන්ට වරිපනම් බදු ගෙවන පාරිභෝගික ජනතාව.

දැන් සිටින ප්‍රසිද්ධ නගරාධිපතිනිය අවංක, වංචා,දුෂණ නැති අයෙක් වීම ඉතා හොඳයි. නමුත්, ඒ මදි. ඔහු/ඇය සැම විටම ඉතා දක්ෂ සහ බුද්ධිමත්ව නගර සභාව මෙහෙය වන්න  ඕන; හැම තිස්සෙම කරන්න තිබෙන වැඩ ගැන  විමසිල්ලෙන් ඉන්න. අනුන්ගේ කපටි කථා වලට නොරැවටෙන්න ඕන.

තැනින් තැන ගොඩ ගහපු කුණු විසිකරන ස්ථාන නැතිවෙන්න ඕන.  කැඩිච්ච නැති පිරිසිඳු පේව්මන්ට් තියෙන්න ඕන.  ආපන ශාලා පිරිසිඳු වෙන්න ඕන. කාක්කෝ, අපිරිසිඳු බල්ලෝ,  වල් බළල්ලු අඳුරු තැන් වල හැංගිලා ඉන්න ඌරු මියෝ වගේ සත්තු නැති හෝ අඩු වෙන්න ඕන, අපිරිසිඳු බිත්ති සහිත රජයේ සහ පෞද්ගලික බිල්ඩින් පේන්ට් වෙන්න ඕන.

මහජන සෞක්‍යය පරීක්ෂක වරු, පරිසර පොලිසිය හරියට, අකුරට රාජකාරි කරනවානම්  නගර/ටවුම් වල තත්ත්වය ගොඩාක්  සතුටුදායක කරගත්තැකි.

ඔය නාගරික සංවර්ධන අධිකාරිය (එය හොර ගුහාවක් කියා බොහෝ අය කියනවා) – එය වහලා ඒ වැඩ නගර සහ මහ නගර සභාවලට පවරන්න. මේවාට අති විශාල නව ආදායමක් ලැබේවි වරිපනම් බදු හිමියන්ට හොඳ සේවාවක් සලසන්න.

ඉදිරියේ එන පළාත් සභා චන්දෙට දේශපාලන පක්ෂ අපේක්ෂකයන් තෝරනවලු. පළාත් සභා කියන්නේ හොරු හදන ෆැක්ටරි යන්න තමයි පොදු මහජන මතය. ඒවාට නොමිනේෂන් බොහෝ විට දෙන්නේ දේශපාලන මැරයන්, චන්ඩි සහ ප්‍රාදේශීය/නගර  සභා වල හොඳට හොරකම් කර පෙන්වූ අයට.

පළාත් සභා වලට තේරී පත්වෙන හොරුන් අතර ඉන්න මහම හොරු තේරිලා, බේරිලා දියවන්නාවේ පාර්ලිමෙන්තුවට  යනවා කියා කියනවා. එතන ගිහිං කරන්නේ නම් මහා පරිමාණයේ – කෝටි, ප්‍රකෝටි ගණනේ හොරකම්/ඩීල්.  

225ම හොරු කියන එක තමා මෑතක් වන තුරුම තිබු පොදු මහජන මතය.

225ම ප්‍රතිපත්තිය – නුඹ මගේ පිට කසපන්, මම නුඹේ පිට කසන්නම්.

දැන් ඇවිල්ලා ඉන්න අය ගැනයි මේ කියන්නේ – කවදාවත් හොරු හරියට අල්ලන්න මේ අය වැඩ කරන්නේ නැති බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා තිබෙනවා.

තල්මස්සු, ලොකු මෝරු නම් මේ අය කවදාවත් අල්ලන්නේ නැහැ.

දන්නවා ඇල්ලුවොත් මේ අයගෙනුත් දවසක පළි ගන්නවා කියා. ඒ විතරක් නොවේ යාළුවෝනේ.

බොරු මාධ්‍ය සංදර්ශන නම් ඉදිරියටත් තවදුරටත් අපට බලාගන්න පුළුවන් වේවි, විශේෂයෙන් චන්දයක් ලං වෙන කොට, රජය ඉතාම අපකීර්තියට පත්ව ඇති විට. එවිට, හොරෙක් දෙන්නෙක් හිරේ යවන්න වැඩ කරාවි, තව කිහිප දෙනෙක් (ලොකුම අය නොවේ) කුදලාගෙන ගොස් රිමාන්ඩ් ගත කරාවි.

කොනක ඉඳන් සියළු හොරුන් ඇල්ලීමක් නම් මේ අය කරන්නේ නැහැ, ජනතාවටත් ඒ හැටි ඒ ගැන හරි උවමනාවක් නැහැ.

අනෙක, පවරන නඩු මහා පරිමාණයේ චෝදනා නොවේ; සාපේක්ෂව සුළු ගණන් හොරකම් කරපුවා, සුළු වංචා, අපරාධ පිළිබඳව.

ඉස්සර, බොහෝ මිනිස්සු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු වෙන්න වළි කෑවේ පාරවල් හදන කොන්ත්‍රාත් වලින් ගසා කන්න බලාගෙන. පැවතී රජයන් ඒවාට උඩ ගෙඩි දුන්නා.

එක් වැඩපොලක ගංජා බීමට විරුද්ධව නිතරම කතා කරන අයෙක් රාත්‍රි වැඩපොළේ  නිදා ගන්නා අතර ගංජා කාරයෝ කීපදෙනෙක් මිනිහගේ බැගයේ සහ සාක්කුවේ  ගංජා පැකට් හංගා ආරක්ෂක අංශයට දැන්වුවා. අනේ අහිංසකයාගේ රස්සාව නැතිවුනා. අපමණ නින්දා අපහාස ඔහුට ආවා.

අසාධාරණය රජ කරන ලොවකය අප ජීවත් වන්නේ – ලෝකයේ කොහේත් තියෙන්නේ මේ ධර්මතාවය.

නොකරපු මිනී මැරුම් වලට එල්ලුම් ගස් ගිය මිනිසුන් සිටියා.

දඹදිව ධර්මාශෝක යුගයටත් වඩා පැරණි බ්‍රහ්ම අක්ෂර නව අනුරාධපුර කැනීම් වලදී පැරණි වළං, මුට්ටිවල සටහන් ව තිබී හමුවූ බව කියනවා එක් මහාචාර්යවරයෙක් (මෑතකදී නැසී ගිය). ඒ පිළිබඳව යු ටියුබ් වීඩියෝවක් වය්රල් වෙනවා මේ දවස්වල.

අද, පුරාවිද්‍යාවට සම්බන්ධ රටේ ඉහළ තනතුරු දරන සමහරු මේ මතය දැඩිව සමාජගත කරනවා.

මොවුන්ගේ අරමුණ මහාවංශය බොරු බව පෙන්වන්න. ඒ සඳහා ඔවුන් නොකරන දෙයක් නැහැ; මෙය ඉතා සංවිධානාත්මකව කරන දෙයක්.  ඔවුනට අවශ්‍ය මුළු ලොවම මනාව පිළිගත් ශ්‍රී ලංකා ඉතිහාසය හැකි තාක් දුරට අවුල් කරන්න. අවුල් කරන තරමට අපේ ඉතිහාසය ගැන සැක, දුර්මත ඇතිකරන්න පුළුවන්.

බෙදුම්වාදී ඩයස්පෝරාව කරන්නේද  මේ දෙයමයි. ඒ සඳහා ඔවුන් රුපියල් කෝටි ගණන් වියදම් කරන්න ලැහැස්තියි. දැනුත් එසේ කරනවා.

මේ බ්‍රහ්ම අක්ෂර හමුවුනාය යන ඊනියා සොයාගැනීම පිළිබඳව කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරන්නේ නැහැ, ඔවුන්ගේ කට වචනය පමණයි.

එසේ මතු කර ගත්තා නම්, ඒ කැනීම් (වලං, මුට්ටි) කෝ? ඒවා ඉදිරිපත් කර නැහැ.

එයට හේතුව එවැනි දේ නැති වීමයි.

මේ අයට අවශ්‍ය මහින්දාගමනයට ප්‍රථම මෙහි බුදු සසුන තිබුණාය යන මහා බොරුව ප්‍රචාරය කරන්න. සිංහලයාට ප්‍රථම මෙහි ලෝකයේ වෙන කොහේවත් නොතිබූ විශිෂ්ට ශිෂ්ටාචාරයක් තිබු බවත් එය ද්‍රවිඩ බවත් පෙන්වීමයි ඒ අයගේ ඒකයන වෑයම.

මොවුන් කරනුයේ තනිකරම මිත්‍යාව ප්‍රචලිත කිරීමක්. බෙදුම්වාදයට උඩ ගෙඩි දීමක්.

ඒ නයින්, මෙහි සත්‍ය ලෙස බිහිවූ ශ්‍රේෂ්ට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය/සංස්කෘතිය බොරුවක් බව ඒ අය පෙන්වන්න හදති.

ත්‍රස්තවාදී ප්‍රභාකරන්/ඇන්ටන් බාලසිංහම්, බෙදුම්වාදී විග්නේස්වරන් හැකිතරම් මහාවංශයට පහර ගැසුහ. එය බොරු බව කීහ. විග්නේස්වරන්ට අනුව දෙවානම්පිතිස්ස යනු ද්‍රවිඩ  රජෙක්!

යු ටියුබයෙන් නොනවතින ලෙස බොරු කියන එක් පුරාවිද්‍යා මහාචාර්යවරයෙකුට අනුව ශ්‍රී ලංකාවේ සිටී බොහෝ ශ්‍රේෂ්ට රජවරු –  පණ්ඩුකාභය, පරාක්‍රමබාහු පවා ද්‍රවිඩ. ඔහු කියන පරිදී සීගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් නොවේ. ඇත්තටම හිටියා නම්, හෙළ රාවණාගේ (ඔවුන්ට අනුව දෙමළ) කියාද කියන්නේ?

නැවතත්, අපේ පිළිගත් ඉතිහාසය බොරු සහ අවුල් කිරීමේ තැතක්.

කේම්බ්‍රිජ් විෂ්වවිද්‍යාලයෙන් පැමිණ මේ නව අනුරාධපුර කැනීම් වල සොයාගැනීම්  සාක්ෂාත් කළා කියනවා, මේවා සත්‍ය කථා නොවේ.

එහෙම පිළිගත්තා නම් ඒ කේම්බ්‍රිජ් වාර්ථාව කෝ? එහෙම එකක් නැහැ නේද?

හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ (1939 – 1963) PED දැරණියගල රට පිළිගත් පුරාවිද්‍යාඥයෙක්, බොහෝ වැදගත් සොයා ගැනීම් කළා. එතුමා මහාවංශයට ගෞරව කළා, මහාචාර්ය පරණවිතාන සමඟ ඉතා කිට්ටුවෙන් වැඩ කළා. එතුමාගේ වාසගම ඇති පසු කාලීනවූ  පවුලේ අයෙක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව බරපතල මතභේදාත්මක ප්‍රකාශ සිදු කළා.  

AI තාක්ෂණය මඟින් ඕනෑම බොරුවක් ඇත්තම විදියට නිර්මාණය කරන්න පුළුවන්. ඒවාටත් ලැහැස්ති වී සිටිමු.

ලීවර් සමාගමේ කම්කරුවෙක් වැඩ ඇරිලා එලියට එනකොට වයර් වගයක් කුඩේ ඇතුලේ හංගගෙන එනකොට සිකියුරිටියට අහු උනා. පාලනාධිකාරිය ඔහුගේ වැඩ වහාම තහනම් කළා. පසුව, දරුවෝ 5දෙනෙක්ගේ තාත්තා කෙනෙක් නිසා නැවත ස්ථාපිත කළා. හැබැයි නැවත නැවතත් ඔහු හොරකම් කළා.

ගෙදර හාල් නැති දවස්වල පොල් ගාලා පාන්පිටි වලින් රොටියක් හදාගෙන පුච්චන් කාපු පවුලක් ගැන දන්නවා. ඒ පවුලේ කිරි සප්පයෝ ඒ අහාරයට පුරුදු උනා.

තව ගෙදරක පාසැල් යන වයසේ ළමයි ටවුමේ කඩ වල වැඩට යැව්වා; වේටර්, වලන් පිඟන් හෝදන වැනි වැඩ ඒ  දරුවෝ කළා. 

නුගේගොඩ විජේරාම අසළ වයසක වෙළෙන්දියක් දිනපතා කිතුල් හකුරු මුල් 20 පමණ ගෙනත් එකක් රුපියල් 180 ගානේ විකුනනවා. හැමෝම හිතන්නේ කිතුල් හකුරු කියලා. මේවා හදන්නේ තල් සක්කර සමග සීනි දාලා කියලා දන්නේ නැහැ.

හැමර්ස්ලි නමැති කෝටිපති වයසක නෝනා කෙනෙක් මිය ගියා කොළඹ 7 බාන්ස් ප්ලේස් එකේ. මැරෙනකොට වයස 100යි. තනියම ජීවත්වූ මේ කාන්තාවගේ බුදලයෙන් වැඩි කොටසක් ලියා තිබුනේ තම බල්ලන් සහ පුසන්ගේ සුභ සිද්ධියටයි. එක් කොන්දේසියක් තිබුනා සතියකට වරක් ඒ අයට ඕස්ත්‍රේලියාවෙන් ගෙන්වූ බැටළු මස් ආහාරය සඳහා ලබා දිය යුතුයි කියා.

පොලිස් නිලධාරියා අප හොඳින්ම දන්නා අයෙකි.  ඔහු රාජකාරී කරන දිනක මීකිරි රැගෙන ආ වරෙන්තු කරුවෙක් ‘ඔබතුමාට පොඩි තෑග්ගක්’ කියා කිරිහට්ටිය මෙසය මත තියා හිසනමා ගරු කරඇත. ඉන් පසු පොලිස් නිලධාරියා අතින් මුදල්දී සීනි ගෙන්වා වරෙන්තු කරුට කිරි හට්ටියම කෑමට දී අවවාද කර ඇත.

එක රියදුරු සහායකයෙක් ඉන්නවා එන්ජිමට බ්රේක් ඔයිල් දාපු. වාහන හිමිකරුට මුළු එන්ජිමම අලුත්වැඩියා කරන්න වුණා. රුපියල් 40,000 ට වැඩියි පාඩුව.

එක්තරා නිවසක හොරා කෑම කන නිසා ගෙහිමියා සුනඛයෙක්ව කාර් එකේ දමාගෙන සැතපුම් 25 ක් පමණ දුරක ගෙනිහින් දාලා. දැන් ඉතින් ඒ කරදරේත් ඉවරයි කියලා ගෙදර ඇවිත් නිදාගෙන පහුවදා උදේ ඇහැරුනාලු. එතකොට සුනඛයා කන්පොට ගහ ගහ, වලිගය වන වන,  ගෙහිමියා ආදරයෙන් පිළි අරන් ස්තෝප්පුවේ ඉන්නවලු. ගෙහිමියාට තමන් ගැනම ලැජ්ජා හිතුනලු.

මං දන්නා කෙනෙක් වෝකර් ඇන්ඩ් ග්‍රේග් එකේ චීෆ් ඉලෙක්ට්‍රික් බාස් ලෙස වැඩ කළා. ඒ අය කුලියට ගෙයක් අරං හිටියා  කොළඹ 15හේ සමිට් පුර. දවසක් කුඩු රජෙක් ඔහුගේ  බෙල්ලට දැලි පිහියක් තියලා කියලා තියෙනවා ‘මම දන්නවා තමුසේ සී අයි ඩි ඒජන්ට්’කියලා, ‘ දවස් 2කින්  මෙහෙන් නොගියොත් කපනවා දැලි පිහියෙන් බෙල්ල’ කියලා. අහිංසකයෙක් වූ ඔහු එදාම  එයාගේ නෝනාවයි, ළමයි දෙන්නවයි, බඩු මුට්ටුයි ලොරියක දාගෙන, තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුව කුලියට ගත්තා කොළඹ 4රේ හේග් පාරේන්.

කාන්තාවක් හොදටම පිච්චිලා ගේනාවා රෝහලට.ඒ කාන්තාව කිව්වේ ලාම්පුව පෙරලුනා කියලා. ඒ කාන්තාව පුංචි දරුවෙකුට කිරි දෙන අම්ම කෙනෙක්. කිරි එරිලා අඩනවා, වාට්ටුව දෙකක් වෙන්න. කෙසේ වෙතත් දොස්තර මහත්වරුන්ට හොඳ කරන්න බැරි බව ලෙඩාටම කිව්වා. අන්තිමට කියන්න දෙයක් තියෙනවාද කියලා අහන කොට තමා කියල තියෙන්නේ ‘පුරුෂයා මට ගිනි තිබ්බා’ කියලා. පස්සේ එයා මැරුණා.

මේ ලඟදි, බොරැල්ල කනත්ත හන්දියේ රාලහාමි කෙනෙක් වාහන එකක් වත් නැති සේනානායක මාවතට අත වනනවා එන්න කියලා; අනිත් මාර්ග 3නේ වාහන කට්ටට පිරිලා.

මේක මම මගේ ප්‍රාථමික පාසැලේ කෙටි කථා සංග්‍රහයට ලියපු එකක් – ‘ඉස්කෝලේ ඉඳලා ගෙදර ආපු මම ‘බඩගිනියි’ කියලා ඉස්කෝලේ ඇඳුම් පිටින්ම වරිච්චි කුස්සියට ගියා. ‘පොඩ්ඩක් ඉන්න පුතේ’ කියලා අම්මා පිගානකට බත් එකක් බෙදන් ගෙනත් දුන්නා. බතුයි පෙර දා රැ ඉතිරිවෙලා තිබු, අම්මා විසින් දවල් නැවත තෙම්පරාදු කර තිබු පරිප්පුයි,  මම දමලා ඇරියා. කෑවට පස්සේ ‘අම්මේ, ඇයි අම්මා මාත් එක්ක කෑවේ නැත්තේ’ කියලා අහුවහම ‘වලඳේ  තියෙනවා පුතේ, පස්සේ කනවා කියලා’ කිවුවා. මම කෝකටත් කියලා කුස්සියේ දර ලිප උඩ තිබබිච්ච කළු ගැහිච්ච මැටි වලඳේ ඇළුමිනියන් මුඩිය උස්සල්ලා බැලුවා, අනේ වලඳේ අඩිය විතරයි, මුකුත්ම නැහැ. අම්මා හුරලම මට ගෙනත් තියෙන්නේ, එයාට දන්කුඩවත් නැහැ. මට ඇඩුම් ආවා, ‘අම්මා බඩගින්නේ නේද අම්මේ’ කියලා කියවුනා. ‘දුප්පත් කමත් වලිගෙ නැති ගොනා වගේයි පුතේ’ කියලා අම්මාත් ඇගේ කඳුළු බිංදුව ඇඳුමෙන් පිහි දා ගත්තා’.

ගාලු මුවදොර ගෝල් ෆේස් පිටිය නැවත කොළඹ මහ නගර සභා පාලනයට දෙන්න ඕන. ඒක අයිති ඒ අයටයි. වරාය අධිකාරිය පහතට වැටෙමින් තිබුණු පිටිය  තවත් නැතිම කරලා දැම්මා.

කොළඹ නගරයේ වාහන පාර්කින් මුදල් යන්නේ කොළඹ මහ නගර සභාවටද, එහි නාගරික මන්ත්‍රීවරුන්ටද? මොකද, කළින් සිදු වුයේ නාගරික මන්ත්‍රීවරුන්ගේ සාක්කුවට යන ක්‍රමයක්. කෝටි ගණන් මුදල්.

නගරයක්/ටවුමක් උනහම උස ලස්සන බිල්ඩින්, බඩු පිරිච්ච සාප්පු, පාරේ දෙපැත්තේ නවත්තපු ලස්සණ කාර් වගේ දේවල් පමණක් තියෙලා වැඩක් නැහැ. ඉස්සෙල්ලම බලන්න ඕන කානු පද්ධතිය දිහා.  හොඳට බැහැලා යන  කුණු ජරාව නැති කානු/ඇලවල් තියෙන්න ඕන.  පිරිසිඳු කානු  කොන්ක්‍රීට් පියන්වලින් වසා තිබිය යුතුයි.

මුරුංගා කොළ සහ කරල් වල වල ඇති ගුණය කියා නිමකළ නොහැකියි. 

මයියොක්කා හොඳ පිළිකා නාශකයක් කියනවා, ඒ වගේම හොඳයි මල් ගෝවා, බ්‍රොකලී, අලිපේර, කතුරුමුරුංගා, පැෂන් ෆෘට් කොළ, තක්කාලි යුෂ සහ ග්‍රීන් ටී ආදිය.

නිවාඩු දවසක වැව් මාළු, කොච්චි සම්බල්, මඤ්ඤොක්කා එක්ක හොඳම යාළුවා එක්ක ගඟ අද්දර ඉඳගෙන කිතුල් රා ටිකක් බොනවා. ඊට වඩා  සතුටක් තවත් තියේද?

පමණට වැඩිය අරිෂ්ඨ පාවිච්චි කරන්න එපා; අක්මාවේ සිරෝසිස් සැදි මැරුණු අය සිටිනවා.

කෘමිනාශක අනතුරු සහිතයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

මව්කිරි දීම උවමනාවෙන්ම ප්‍රතික්ෂේප කරන  මව්වරුන්ට මානසික අවපීඩනය වැඩිවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍යය පර්යේෂකයෝ කියති.

ටැප් එකෙන් අපට බොන්න සපයන වතුර පිරිසිඳු විනිවිද පෙනන සුදු බෝතලයකට දාලා දවස් කීපයකට පස්සේ පරික්ෂා කර බලන්න; සමහර දවස් වලට පතුලේ විවිධ අපද්‍රව්‍ය තැන්පත් වෙලා තියෙනවා දක්නට ලැබෙනවා.  මේවා අපේ බඩට ගිහින් වකුගඩු, අක්මා විනාශ කර දමන එක පුදුමයක් නොවෙයි නේද? සමහරවිට උණුකර පෙරලා ගත්තත් අපද්‍රව්‍ය වීදුරුවේ  අඩියේ තියෙනවා දක්නට පුළුවන්.

අපිරිසිඳු  වතුර බිව්වහම වකුගඩු, අක්මා අමාරු සහ වෙනත් අබාධ හැදෙන එක පුදුමයක්ද?

බොන වතුර අවුල් නම් රටම අවුල්; සෞඛ්‍යය වෙනුවට වැය කරන මුදල් විශාල වශයෙන් ඉතිරි කරගන්න පුළුවන් බොන වතුර ටික හරියට හදා ගත්තොත්.

සෑම විටම වතුර නටවා, පෙරා පානය කල යුතුයි.

බෝතල් කල වතුරත් ප්‍රම්තියෙන් තොරයි කියල ප්‍රවුර්ති ගියා නේද?

ටැප් වතුර පුරවලා බෝතල් වතුර විකුණන ව්‍යාපාර ඇල්ලුවා කියලා පත්තරේ තිබුනා මතකයි.

පත්තර කඩදාසිවල ඔතන ලද අමු මස් හෝ මාළු මිලදී නොගන්න.  ඒවායේ ඇති තීන්ත මස් හෝ මාළුවල තැන්පත් වී ශරීර ගත වේ. මස්,මාලු කොතරම් සේදුවත් ඒවායේ තැන්පත් වන ඝන ලෝහ වර්ග ඉවත් නොවේ. පිළිකා, වකුගඩු රෝග, හෘද රෝග, ඇතුළු බෝ නොවෙන රෝග සීග්‍රයෙන් ඉහළ යාමට මෙයත් හේතුවක් විය හැකියි.

කොත්තු, පරාටා, ෆ්‍රයිඩ් රයිස්, අල චිප්ස්  නිතර කන්න – හර්ද රෝග මාරයාත්  ලං කරගන්න.

හොඳම කෑමක් තමයි අල තෙල් දාලා, පරිප්පු, සැමන් ගොඩාක් ලියලපු බොම්බයි ළුණුයි තක්කාලියි එක්ක කැකුළු හාලේ බත්; එක දවසක් කාලා බලන්න.

අම්මා හදන කැවුම් මිශ්‍රණය අමුවෙන් කන තරම් රසක් කැවුම් බැඳපුවහම නැහැ.

පිනි ජම්බු, වෙරළු ගිනියම් පළතුරු නිසා අපේ ආතා අපට  වැඩිය කන්න දුන්නේ නැහැ. අරළු බුළු නෙල්ලි තමා දුන්නේ, හොඳට විරේක වෙනවා.

මගේ මිතුරෙක් දවසක් දඹදෙනියේ නයිට් කඩයකින් කොත්තු දෙකක් අරන්ගියා  රාත්‍රී ගමන් විඩාවට නිවසට ගිහින් කෑම පිළියෙළ කිරීමට අපහසු නිසා.  රාත්‍රියේ ඒ කෑම එක කන්න හැමෝම පිඟන් අරන් ලෑස්ති වෙලා බලද්දී.  ඔහුගේ පාර්සලේ සම්පුර්ණ කැරපොත්තෙක්.  රෝස්ට්වෙලා.  බඩගින්නේ හිටිය අය අනේ ඕකගේ ඇටකටු හැපෙන්නේ නැහැ කියල කැරපොත්තව විසික්කරලා කොත්තු දෙකම කෑවා. යාළුවා විතරයි එදා බඩගින්නේ හිටියේ. 

ඔහු පසුව මට කීවා ‘කඩේ හොඳ වෙලාවට ලගක නොතිබුනේ, නැතිනම් මම ගිහින් ඒ අයගේ ඔලුවේ හලන්නේ කැරපොතු කොත්තු’ කියා.

මම අහල තියනවා කනකොට බත් පතේ කෙස් ගහක් තිබිලා අහුවුනොත් ගෙදර ගෘහණිය කියනවලු අද ඔයාට කොහෙන් හරි සල්ලි හම්බුවෙයි කියලා.

2000 දශකයේ පාර්ලිමේන්තුවේ වැඩ කරන විධායක ශ්‍රේණියේ අයට වෙනම කන්න දානවා බුෆේ.  හැබැයි, කිසි වැඩක් නැහැ. චය්නිසි, ශ්‍රී ලන්කන්, සි ෆූඩ්, කෝල්ඩ් මීට්, හැම්, බේකන්, චීස්, ඇපල්, මුද්දරප්පලම් – මේ කිසි දෙයකින් අඩුවක් නැහැ. ක්ලාක්/පියන්  මහත්වරුන්ගේ කැන්ටින් එකේ කෑම වෙනයි, මේ කියන මොනවත් නැහැ; හැබැයි ඒ අයත් සමඟ ඉඳගෙන කන කෑම ටික රසයි.

කතුරු මුරුංගායි  තෙබු කොළයි එකට මලවලා කාලා බලන්න, නියමයි.

සමහර හෝටල වල මාළු හොද්දේ මාළු ඉතුරුකර හොදි ගත්තත්,  ඒ මාළු කැල්ලම ආයි දෙනවා ඊළඟ ‘කස්ටමර්ට’.

මොලයට සුව දෙන, සුව දායක  ග්‍රීන් ටී, සිනමන් ටී, හර්බල් ටි. උනුවට නිතරම බොන්න. කිරි දාන්න එපා.

අලිගැටපේර ඉඳ හිටලාවත්  ආහාරයට ගන්න.  හදවතට ගුණදායකයි.  ශරීරයේ බර අඩුකරගැනීමට,  සමේ පැහැය ඔපවත් කරගැනීමට හා ඇස්වල නීරෝගී බව හා ලස්සන වර්ධනය කිරීමට අලිපේර ඉතා කදිමයි.

එක් ගෘහිනියක්, දවාලට රූපවාහිනියේ තියෙන කේක් පන්ති, රුව අලංකරණය, කොණ්ඩා සැකසීම වැනි දේ නිතරම බලමින් ඉන්නේ. දවසක් ඇයගේ ගෙදරට හොරු පැනලා රෙදි වැලේ තිබුන වටිනා උත්සව ඇඳුම් වගයක් හොරු අරන් ගිහින්. කවුරුවත් වත්තට ඇතුළු වෙනවා දැනුනේ වත් නැද්ද කියල ගමේ කට්ටිය ඇහුවම ඒ බවලති කියලා තියෙන්නේ ගෙදරදී ෆේෂල් එකක් දමාගෙන ඇස් පිපිඥඥා පෙති වලින් වහගෙන පැයක් හිටපු නිසා කවුරුවත් ගෙදරට එනවා දැක්කේ නැහැ කියලා.

ඉදුණු දෙළුම්, මස් ගැලවෙන රඹුටන්, මැන්ගුස්ටින් මොන තරම් රහද?

වැලි අනොදා රසයි  කටුඅනෝදා වලට වැඩිය.

බැදපු කජු,  ලුණු මිරිස් කුඩු ඉහලා ගත්තාම තියෙන හොඳම කට ගැස්ම.   

අපි පොඩිකාලේ (1979) ඉදිච්ච ගල්සියඹලා ගොට්ටක්ම සත 25යි.

ඒ දවස්වල තිබුනා පාට කරපු කොන්ඩ කඩල, ගොට්ටක් සත 25යි. පැණි රසයි ඒවා.

පාසැලේදී ‘කඩලේ’ කියලා අහිංසක දෙමළ මිනිහෙක් එයාගේ පෙට්ටියේ විවිධ කඩල, ඉස්සෝ වඩේ හදාගෙන එනවා, පුදුම රසක්. බිග් මැච් එක දවසේ මිනිහ බීලා කෑ ගහනවා, එදාට කඩල විකුනන්නේ නැහැ.

ඉන්ටර්වල් එකේදී සමහර දඩබ්බර ළමයි කඩලේව වට කරගෙන කඩල ගන්නවා, සමහරු හොරකම් කරනවා.

ටොරන්ටෝ කඩේ ශ්‍රී ලංකා වෙජිටේරියන් කෑම මෙනු එක.  සුද්දා කියනවා එයා කෑවේ  -. රායිස් ෆ්රායිඩ්ස්,  වට්ට – කොක්,  කාර් – වීල්,  ගෝට් – කෝල්, බේබි ජ් ඈක්,  සෑම් – බෝල් කියලා.

බඩේ අමාරු හැදුනම පිළියන්දල ආච්චි හොඳ  වෙන්න දුන්නේ  සුදු බත් එක්ක ලුනුමිරිස් (උම්බලකඩ නැතුව).

මාළු ඩෙවල් රස වෙන්න නම් ලොකු බොම්බයි  ලුනු කෑලි, මාලු මිරිස් සහ තක්කාලි කෑලි ගම්මිරිස් වැඩියෙන් දාලා තියෙන්න ඕනා.

අම්මාට හොරෙන් කුස්සියට ගිහින් සීනි හැන්දක් එක්ක ෆ්‍රිජ් එකේ තියෙන ‘නෝනා මාර්ක්’ මිල්ක්මේඩ් ටින්කිරි හැන්දක් කලවම් කරලා රස බැලුවේ නැති කෙනෙක් වේ නම් එයා ලංකාවේ ඉපදුන කෙනෙක් නෙවෙයි.

හොඳට තුනපහ සමඟ සුදු ලුණු දාලා තැම්බුම් හොද්දක් හදා ගත්තොත් බත් කන්න ඒ ඇතිලූ.

යහළුවෙකුගේ උපන් දින සාදයකදී කිරි සහ මි පැණි සමග අයිස් ක්‍රීම් දාගෙන කෑවා, පස්සේ බලනකොට හැමෝම ඒ දේ කරනවා.

ලොකු අක්කා ඇමරිකාවෙන් ඉඳන් එනකොට පී නට් බටර් ලොකු බෝතලයක් ගෙනල්ලා කඩලා පාවිච්චි කරලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. කවදාවත් මේවගේ රස කෑමක් කා නැති මම දවස් දෙකෙන් පී නට් බටර් බෝතලයෙන් ¾ විතර ඇඟිල්ලේ තවර තවර කාලා ඉවර කළා. මට බනින්නේ  නැතුව අක්කා දුකින් වගේ කිවා ‘මල්ලි මම ආපහු ගිය ගමන්ම ඔයාට පීනට් බටර් බෝතල් 2ක් තැපෑලට දාන්නම් කියලා’.

මගේ දුරින් නැන්දා වෙන කෙනෙකුට නත්තලට පිටරටින් බඩු  පෙට්ටි 2ක් එකම සතිය ඇතුලත එවලා තිබුනා. එයාගේ දුව මැද පෙරදිග ඉඳන් එවපු පෙට්ටියේ තිබුනේ හාල්, සිනි, කඩල පරිප්පු, කිරිපිටි, සබන් කුඩු, එනසාල්, කරාබු නැටි ආහාරයට් ගන්න තෙල් වර්ග,රට ඉඳි, ගිනිපෙට්ටි,ඉටි පන්දම්, සබන්. ඇයගේ පුතා ලන්ඩන් වල ඉඳන් එවපු පෙට්ටියේ තිබුනේ විවිධ චොකලට්, රසකැවිලි වර්ග, බ්ලැක් බෙරී කෝර්ඩියල්, මුද්දරප්පලම්, ඇපල් ජූස්, ස්කීම් මිල්ක්, චීස් පෙට්ටි, පාස්ටා, ස්පැර්ගටී, ටුනා ටින්, ලොකු මයිලෝ ටින්, නෙස් කැෆේ බෝතල්, වෙජිමයිට්, මාමයිට්, පැනඩෝල් සහ පෙන්ලයිට් බැටරි වගේ දේවල්.

මගේ පියාණන් අධික රුධිර පීඩනයට බෙහෙත් ගත්තා. ෆාමසියේ බෙහෙත් දෙන කෙනා මිලි  ග්‍රෑම් 80 පෙති දීල. මට එක වරක් දුන්නු ගමන් වැටහුනා බෙහෙත් සැර වැඩියි කියල වහාම ප්‍රතිකාර නවත්වලා බෙහෙත් ටිකත් අරන් වෛද්‍යවරයා හමුවීමට ගියා.  එතුමා ලියා තියෙන්නේ මිලි ග්‍රෑම් 20යි.  ෆාමසියෙන් දුන්නේ 80. වාසනාවට ජීවිතේ බේරුනේ. මම ඉක්මනින් ක්‍රියාත්මක වුන නිසා එදා තාත්තාගේ ජීවිතය බේරුනා. 

එක්තරා රජයේ ෆාමසියකින් බෙහෙත් අරන් ආවා. බෙහෙත් ටික දෙන තාලෙන්ම මට තේරුනා වැරදි බෙහෙත් තමා මෙයා දෙන්නේ කියලා. හිතුවත් වගේ හරියටම හරි චෙක් කරලා බලපුවහාම. 

අපේ ප්‍රදේශයේ හිටියා රෙමානිස් කියලා හොඳ මේසන් වැඩ දන්න කෙනෙක්.  අපේ ආච්චිලා රේමානියා කියලා කිව්වේ.  මිනිහා වැඩ වෙලාවට නිතරම කණත් හිසකෙසුත් අතර හිඩැසේ පෑන සහ බිඩියක් රැඳවීම පුරුද්දක් කරගෙන හිටියා. පස්සේ මිනිහා ලොකු සල්ලිකාරයෙක් වුනා. දවසක් විවාහ මංගල උත්සවයකට කොළඹ ලොකු හෝටලයකට ගිහින් තියෙන්නෙත් අර පරණ පුරුද්දට පෑනයි බිඩියයි කනේ ගහගෙන.

අඹ යාලුවෝ දෙන්නෙක් කාලෙකට හමුවුණාම කරන්න තියෙන අනිත් වැඩ හැමදේම අමතක වෙනවා.

දවසක් ඇස් පෙනීම අඩු සීයා කෙනෙක් වීදුරුව වහල තියෙද්දී කෙල ගහල බස්එක ඇතුලේ හිටපු කීප දෙනෙක් නෑවිලා ගිහිල්ලා.

පිරිමි රා බොන වෙලාවට ගැහැණු මොනවද බොන්නේ? රණවරා තම්බපුවා හකුරුත් සමඟ.

හවස් කාලෙට කොළඹ රස්නේ කපා ගන්න චීස් කැල්ලක් එක්ක හොඳ කූල් ස්ටවුට් බෝතලයක් බොන්නම ඕනා.

මී පැණි වල ගිල්වපු සුදු ලූනු රසයි, ගුණයි.

කොළඹ උසස් සිනමා හලක ෆිල්ම් 2ක් එක දවසේ බැලුවා පොප් කෝන් කකා. යාලුවෝ කීවා මම පැකට් 6ක් කෑවාලු. 

මගේ හොඳම යහළුවාට ඉස්තරම්ම බ්ලැක් ලේබල් 2ක් අරගෙනමයි හැමදාම එන්නේ සිඩ්නි එයාපෝර්ට් එකෙන්. එකක් ඩොලර් 75, හැබැයි හොඳම බඩු. ඔහු ලැස්ති කරලා තියනවා බයිට් එකට කොක්ටේල් පී නට්ස්, ස්පැනිෂ් ඔම්ලට් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්.

කුරහන් පිටි තලප  අපි පොඩි කාලේ කෑවේ කිතුල් හකුරු සහ ලුණු මිරිස් එක්ක. රසයි ගුණයි දෙකම තිබුනා.

ඕස්ත්‍රේලියාවේ අපි කැඩ්බරි ෆ්රුට් චොක්ලට්, ක්‍රාෆ්ට් චීස් අඩු නැතුවාට කනවා. ෆූජි ඇපල්, ස්ට්‍රොබෙරිස් , කිවි ෆ්රුට් බහුලව තියෙනවා.  ටැස්මෙනියන් ගාලා ඇපල්, ජෝන් වෙස්ට් ටුනා වගේ කෑම කාලා දැන් ඇති වෙලා. කිසි වැඩක් නැහැ, කටට පුරුදු හෙරලි/ පොල් රස නැති නිසා.

ඕස්ත්‍රේලියාවේ ඉඳලා එවපු බඩු පෙට්ටි වල සෙලෝ ටේප් සීල් කඩලා ආයි වහලා හැලම් වල ඕස්ට්ලක් කාර්ගෝ හොඳ බඩු  සේරම වගේ කොල්ලා කෑවා. හොරු අල්ලන්න තාම හොයනවා, අමාරු වැඩක්. නැතිවූ බඩු අතර ඇඳුම් පැළඳුම්, විවිධ ආහාර පැකට්/බෝතල්, ලැප් ටොප් කම්ප්යුටරයට  අමතරව තවත් වටිනා භාණ්ඩ. ආයි නම් ‘personal effects’ බඩු පෙට්ටි ඒ අය මඟින්  එවන්නේ නැතැයි ශපත කර ගත්තා.

අප දන්නා ජපානයේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් ඉන්නවා සම්බෝලයි බතුයි, පරිප්පුයි  , බැදපු කරවළයි  මතක් කරනවලු හැමදාම.

බි ලූනුවලට ඉස්සර කිවුවේ බොම්බයි ලූනු කියලා. ඉන්දියාවෙන් ගෙන්වන්නේ. සමහරු බිග් අනියනස් කියනවා. සීනි සම්බල් හදන්න නියමයි.

කළටි පොල් සම්බෝලය මෝරපු පොල් සම්බෝලයට වඩා හොඳ වෙන්නේ එහි කිරි ගතිය වැඩි නිසාද?

කොමෝඩ් වැසිකිලියක වාඩිවී මළපහ කිරීම වෙනුවට ඇණ තියාගෙන එම කාර්යය කිරීම සුදුසුයැයි ජර්මනියේ පර්යේෂණකින් තහවුරු වී ඇත.

වතුර පාවිච්චිය නිසා කුඩා මල පහ කෑලි වැසිකිලිය උඩ සහ ඒ අවට බිම  විසිවීමත් ඇණ තියා පාවිච්චි කරන වැසිකිලිවල අඩුයි.

සමහර ටොයිලට් වල අවශ්‍ය තරම් වතුර නැහැ, බාල්දිය පොඩියි. මේවා මඟ හරවා ගත යුතූයි. ටෝයිලට් එක ඇතුලෙම, අතේ දුරෙන්,  හොඳට වතුර එන වතුර ටැප් එක තිබිය යුතුයි, ලොකු බාල්දියක් හෝ දෙකක් තිබිය යුතුයි. ටෝයිලට් බ්‍රෂ් එකක් තිබීම අනිවාර්යයි. මේවා සහ ටොයිලටය නිතරම (දිනපතාම) සෝදා පිරිසිඳු කල යුතුයි. පය්නොල් හොඳ විෂබීජ නාශකයක් වගේම, සැර ටොයිලට් ගඳ කඩලාම  දානවා.

දියුණු රටවල මිනිස්සු වතුර වෙනුවට පාවිච්චි කරන ටොයිලට් පේපර්, වතුර තරම් සනිපාරක්ෂණයක් දෙන්නේ නැහැ. නමුත්, වතුර හැම තැනම විසි කරගෙන ටොයිලට් අපවිත්‍රවිම ඒ මඟින් අඩුයි.  වතුර සහ ටොයිලට් පේපර් දෙකම පාවිච්චි කිරීම යහපත්. 

කරාම ඇර වතුර බාල්දි පුරවනවා වෙනුවට දැන් හෑන්ඩ් බිඩේ පාවිච්චි කරනවා. හොඳට වතුර පාර එන හෑන්ඩ් බිඩේ/ ටොයිලට් පේපර් හොඳ සංයෝගයක්, හෑන්ඩ් බිඩේ පාවිච්චි කරන අය ඒවා සෞක්යාරක්ෂව පාවිච්චි කරනවා නම්.

අපේ සමහර කෝච්චි ටොයිලට් වලින් මළ පහ තවමත් වැටෙන්නේ කෙලින්ම දුම්රිය පීල්ලට. යල් පැන ගිය මේ ක්‍රමවලින් අප ඉවත් විය යුතුයි.

ලොකු සහ පොඩි  ටවුන් වල සමහර තේ කඩ, හෝටල, සිල්ලර කඩවල අඳුරු තැන්වල හැංගිලා ඉන්න තඩි ඌරු මියෝ දැක්කහම ආයි ඒ තැන්වලට යන්න පවා  එපා වෙනවා, මේ සත්තු රාත්‍රී කාලයේදී මේ ස්ථාන රජ කරනවා නේද කියා කී දෙනාද හිතන්නේ.

සමහර සිල්ලර බඩු කඩ රෑට මියෝ බදු අරං.  කිසිත් නොදන්නා අපි  දවල්ට අල, හාල්, පරිප්පු, කරවල වගේ දේවල් මේ කඩවලින් ගන්නවා.  සමහර ආහාරවල මි බෙටි, මි කෙළ ආදිය තියෙන්න පුළුවන්.

මී මුත්‍රා අතේ, කකුල්වල ගෑවුනහම තමා මී උණ හැදෙන්නේ. මැරෙන්න පවා පුළුවන්.

ප්‍රධාන පෙලේ  මහ නගර සභාවකින් (කොළඹ) පාලනය වන ප්‍රසිද්ධ සුපර් මාර්කට් ගොඩනැගිල්ලක් තියෙනවා ‘බොරල්ල සුපර් මාර්කට්’ කියලා. බොරැල්ල හන්දියේමයි පිහිටා තිබෙන්නේ.  කඩ/ඔෆිස්  වලින් එය පිරිලා. නගර සභාවට කුළී ලැබෙනවද දන්නේ නැහැ, මොකද කළින් හිටපු නාගරික මන්ත්‍රීවරු බොහෝමයක් ඒවා ඒ අයගේ ආධාර කරුවන්ට සින්නක්කර පවරන්න කටයුතු කර තිබෙනවා කියා කියනවා. මෙහි අද තත්ත්වය – මිහිපිට අපායක් වගේ.

විශේෂයෙන්ම මස් කඩ පැත්තේ යන්න තියෙන්නේ මඩ පාග ගෙන, නහය වසාගෙන.  ඒ තරමට අපිරිසිඳුයි, දවල්ටත් ඌරු මියෝ එහෙ මෙහෙ දුවනවා. 

මේ මුළු ගොඩනැගිල්ල තුල කඩා වැටුණු විදුලි රැහැන් යටින් බෙල්ල පහත් කරගෙනයි යන්න වෙලා තියෙන්නේ.

පුදුමේ කියන්නේ පාටි දාන්න, සුඛෝපභෝගී යාන වාහන ගන්න, තරු 5 හෝටල් වගේ නිල නිවාස  නඩත්තු කරන්න නම් මේ නගර සභාවට සල්ලි තියෙනවා. 

ජා ඇල, වැලිකඩ, නුගේගොඩ සුපර් මාර්කට් ඉස්සර ඉතා හොඳ තත්ත්වයෙන් තිබුනා. දැන් බොරැල්ල එකේ පැත්තට ඒවාත් වේගයෙන් ගමන් කරනවා.

කොල්ලුපිටිය තාමත් හොඳ තත්ත්වයේ තිබෙනවා.

නගරයේ ගෙවල් දොරවල් පිරිසිදු කරනවානම් මියෝ, කැරපොත්තෝ, මැස්සෝ මදුරුවෝ  ඉන්නේ නැහැ, බොහොම අඩුයි. හැබැයි අල්ලපු ගෙවල්වලින් තමයි ඔය ප්‍රශ්න ගොඩාක් වෙලාවට ඇති කරන්නේ

මියෝ, කපුටෝ, ලේන්නු  කාපු  කෑම  ජාති  තියෙනවනම් ඒවා කපලා දාලා වත් කන්න එපා.

මියන් බොහෝ දුරට ගෙවල්වල බෝ කරගන්නේ අප විසින්මයි.

බොරැල්ලේ ඔලම්ස් පෙදස, කොටා රෝඩ් පාරවල දැන් කුණු ලොරිය එන්නේ සතියකට දවසක් විතර පමණයි එකත් ෂුවර් නැහැ; ඉස්සර සතියට දවස් 3ක් ආවා.

එළවලු පලතුරු වර්ග සෙල්ෂියස් අංශක 1 ක උෂ්ණත්වයේ ගබඩා කළොත් මාස 6 දක්වා කාලයක් නරක් නොවී තබාගන්න පුළුවන්. මේ ක්‍රමය තමා යුරෝපයේ ගිම්හාන කාලයේ එලවලු පළතුරු සීත කාලෙදිත් වෙළඳ පලට එන්නේ, අපිටත් පුළුවන් නිසි ගබඩා පහසුකම් තිබෙනවා නම් අපේ එළවලු පලතුරු කල්තබගෙන පිට රටින් මේවා ගෙන එන එක නවත්වන්න.

දඹුල්ලේ පමණක් නොව මුළු දිවයිනේම මොන තරම් එළවලු, පලතුරු තොග අහක යනවද හොඳ ගබඩා පහසුකම් නොමැතිකම නිසා.

හැබැයි නැවුම් එළවලු, පලතුරු (ෆ්‍රෙෂ්) වගේ නම් නැහැ ශිතකරනවල කල් තියා ගත්ත ඒවා.

ඔය පිටරටින් එන සමහර පලතුරු මාස ගණන් පරණයි; ඇයි, ඒවා  ශිතකරනවල බහා කල් තියාගන්න පුළුවන්නේ.

මම නම් ඔය රටින් එන ඇපල්. මිදී, දොඩම් වගේ පලතුරු කන්න එතරම් කැමති නැහැ. කොච්චර පරණ ඒවාද කියලා කවුද දන්නේ, ඇරත් අපේ රටේ නැවුම් පිරිසිඳු. අති රසවත්  පලතුරු ජාති මොනතරම් තියෙනවද” මෙහෙම කිව්වේ අපේ නැතිවූ මාමා කෙනෙක්.

ලංකාවේ මුල්ම ඒඩ්ස් රෝගියා විදේශ රටක නැවක වැඩකළ නැවියෙක්. ඔහු 1977 පමණ මිය ගියා. අද ඒඩ්ස් (HIV) රෝගීන් 10,000ට කිට්ටුවෙන්න ලංකාවේ ඉන්නවා. 10% පමණ තමයි මැරෙන්නේ. 95%ට රෝගය වැළදෙන්නේ අනාරක්ෂිත ලිංගික ක්‍රියා මඟින්.

මානසික අසහනය (ඩිප්රේෂන්) මේ සියවසේ මිනිස් වර්ගයා විනාශ කිරීමට තරම් වූ දරුණු රෝගයක්. මෙය ඉතා තදින් ලෝකය පුරාම පැතිර යනවා. බොහෝ දෙනෙක් ගණන් නොගන්නා සහ කථා කිරීමට අකමැති මේ රෝග තත්ත්වය නිසා මිනිස් ක්‍රියාකාරිත්වය හින වී සමහරු දිවි නසා ගැනීමට පවා පෙලඹෙනවා.

නිතරම දුකින් සිටීම, හිස්බව, බලාපොරොත්තු නැතිකම, ලැජ්ජාව, ව්‍යාකුලභාවය, කෑම අරුචිය හෝ වැඩිපුර කෑම, නින්ද නොයාම හෝ උවමනාවට වඩා නිදා ගැනීම වැනි තත්ත්වයන් මේ රෝගය නිසා ඇතිවිය හැකියි. 

කුඩා කාලයේදී  දෙමව්පිය ආදරය නොලැබීම, විශේෂයෙන්ම දෙමවිපිය ආදරය සෙසු සොයුරු/සොයුරියන්ට වැඩියෙන් ලැබීම, දුක, ව්‍යසනය, ස්ථානවලදී අඩු සැලකුම් ලැබීම, බාල වියේදී කාම අපරාධ වලට ලක්වීම, විවාහයේ ප්‍රශ්ණ මේ රෝගී තත්ත්වය ඇති වීමට හේතු සාධක වෙන්න පුළුවන්.

දීර්ඝ කාලයක් මේ රෝගයෙන් පෙලෙන්නන්ගේ මොලයේ ‘හිපොකැම්පස්’ ප්‍රදේශය හීනවී යාම නිසා මතක තබා ගැනීමේ හැකියාව සහ හැඟීම් (ඉමෝෂන්ස්) ප්‍රදර්ශනය කිරීමේ හැකියාව දුර්වල වෙනවා. රෝගය ඇති අය ක්‍රියාකාරීත්වයෙන් අඩුවී තනිවී, මුලුවී ඉන්න බලනවා. අඩුම තරමින්  ලෝකයේ 7 දෙනෙක්ගෙන් එක් අයෙක්වත් මේ රෝගයෙන් පිඩා විඳිනවා ඇතැයි (බොහෝ විට නිහඬව) උපකල්පනය කරනවා.

ඔබ දන්නා කෙනෙක් මේ කාලකන්නි රෝගයෙන් පිඩාවිඳින්නේ නම් ඒ අයට සැබවින්ම ආදරය දක්වන්න. අවශ්‍ය බව හැගේ නම් මානසික උපදේශකවරයෙකුට හෝ වෛද්‍යවරයෙකුට ඒ අයව පෙන්වන්න.

 ‘මම සියදිවී නසා ගන්නවා’ කියා  කියන අය ගැන ඉතා  වැඩි අවධානයක් දෙන්න. ඒ අය එසේ කියන්නේ ඒ ගැන හිතන නිසායි. ඔවුන්ගේ ප්‍රකාශ සුළුවෙන් තකන්න එපා. එවලේම නොකලත් කාලයක් ගියාට පසු හෝ කරගන්න බොහෝ ඉඩ තියෙනවා. බරපතල තත්ත්වයක් ඉදිරියේ  දී මතු වෙන්න පුළුවන්, එවිට ප්‍රමාද වැඩියි.  එවැනි රෝගී අයට බොහෝ අවශ්‍ය ආදරය, කරුණාව සහ සැලකිලිවන්තභාවය පෙන්වන්න  ඔවුන් එවිට ‘එලියට’ ඒවී.

සිය දිවි නසා ගැනීම ඉදිරියේදී මුළු ලෝකයටම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. ලංකාවේ ඇති තත්ත්වයන්/වාතාවරණය  අනුව මේ රට ලෝකයේ සිය දිවි නසා ගන්නන්ගේ ප්‍රමුඛතම රටක් වෙනවා.

සිය දිවි නසාගැනීම් අසා හෝ දැක පුරුදු අය එවැනි දේ කරන්න තියෙන බය, චකිතය අඩු වෙනවා.

අද පාසැල් සිසුන් පුදුමාකාර ලෙස සිය දිවි නසා ගන්නවා – දෙමව්පියන් ඇතිකරන ප්‍රශ්ණ නිසා.

එක් 16 හැවිරිදි පුතෙක් බේරුවලදී බෙල්ල වැල දාගෙන සිය දිවි නසා ගත්තා. ඒ අම්මා  මරණේ දා හැඬුවා, සිහි සුන්ව වගේ බිම වැටුනා. හැබැයි, අවුරුද්දේ දානයවත් දුන්නේ නැහැ දරුවට.

ඇය රුපලාවන්‍යාගාරයට නම් හැම මාසෙම වගේ ගියාලූ  (ළමයාගේ තාත්තා ඩිවෝස් වෙලා).

පුළුවන් සෑම විටම සතුටින්, ධනාත්මකව ඉන්න බලන්න; ඩිප්රෙෂන් පරාද කරන්න –  මොලයේ ‘හිපොකැම්පස්’ ප්‍රදේශය ආරක්ෂා කරගන්න.

ඇල්සය්මර් යනු අනාගතයේදී  මේ ලොවම ගොදුරු කරගන්නා මහා අවාසනාවන්ත ව්‍යසනකාරී, වැඩිමහල්ලන්ට හැදෙන ලෙඩක්. බොහෝ  වැඩිහිටි දෙමවුපියන්ට යන්තමින් හරි ඇල්සය්මර් තියෙන්න පුළුවන්. පස්සේ රෝගී තත්වය එන්න එන්න වැඩිවෙනවා. 

අන්තිමට කෑම ටික කන්නත් මතකය නැහැ. දු දරුවන් ඇල්සය්මර් ගැන හිතන්නේ නැහැ. වයස 70ට වැඩි වැඩිමහල්ලන් දිහා විමසිල්ලෙන් සහ පරීක්ෂාවෙන් සිටින්න. 

ආදරනිය දරුවාට ඇල්සය්මර් හැදුනු මව හෝ පියා දෙසැරයක් මැරෙනවා. පළමුව ඒ අයට තම දරුවාව පවා අඳුනා ගන්න බැරි වෙන අවස්ථාව. දෙවෙනුව, ඇත්තටම ඒ අය මැරෙන අවස්ථාව.  පළමුවැන්න, ඒ දරුවන්ගේ පැත්තෙන්, ඉතා ශෝකදායි තත්ත්වයක්.

පරිප්පු වගේ දේවල් 6 – 7 සැරයක් වත් පිරිසිඳු වතුරෙන් හෝදලා උයන්න. බලන්න ඒවායත් එක්ක එන දුවිලි වැනි සියුම් අපද්‍රව්‍ය කොපමණ ඒ සෝදා ඉවතලන වතුරේ තියෙනවද කියලා.  උඩින් පහලින් සැරයක්  දෙසැරයක් හෝදලා මදි , නමුත් සමහර කෑම කඩවල කරන්නේ එහෙමයි.

කඩෙන් ගන්න හාල් වල ගල්, වැලි නැහැ; ඒත් දුවිලි, පස් තියෙන්න පුළුවන්. ගොඩාක් වී වේලන්නේ මහ පාරවල්වල තබා ගෙන පැදුරු උඩවත් නොවෙයි  – වාහන යන තාර පාරවල. හාල් පිරිසිඳු වතුරෙන් 20 සැරයක් වත් හොදාලා මිසක් ලිපේ තියන්න එපා.

කොළ එළවලු, පලා වර්ග ටැප් වතුරෙන් වගේම විනාකිරි වලිනුත් හෝදන්න. මස් මාළු කනවානම් ඒවත් එහෙම හෝදන්න.

පුලුවන් නම් කොන්ඩිස්  වතුරෙන් වුනත් එළවලු සෝදලා උයන්න. විෂබීජ සේරම ඉවරයි.

 සමුපකාරේ/සිල්ලර කඩේ  විකුනන්න තියෙන කරවල/හාල්මස්සන්/වේලපු ඉස්සන්ට එහෙම මැස්සෝ වහනවා නම් හොඳට හොයලා බලන්න-  ගන්න එපා. පුලුවන්නම් ඉඹලත් බලලා, විතරක් මිලදී ගන්න. 

සමහර කරවල හොඳට වේලිලා නැහැ, අමුයි. ගන්න එපා.

සමහර මාළු වෙළෙන්දෝ පරණ/නරක්වූ මාළු විසි කරන්නේ නැතිව ඒවා කරවල හදන අයට විකුනනවලු, වේලලා විකුනන්න.

ලංකාවට ආවාහම හැමදාම ගුවන් තොටුපලේ සිට මීගමු පාරේ ගෙදර යන අතර මගදී තැඹිලි එකක් බිලා  තමයි ගෙදර යන්නේ, කප්පවලා ලොඳත් ඉල්ලගෙන කනවා.

ඇඹිලිපිටියේ කඩේකින් බත් කන්න ගියාහම මුදලාලි මගේ කනට කරලා අහනවා වල් ඌරු මස් සහ ගෝන මස් තියෙනවා, ගේන්නද කියලා; මම එපා කිවුවා.

කෑම කාලා අනිත් අය අයිස් ක්‍රීම් ඉල්ලනකොට මම  සාරවිටක් කාලා ලබන සතුට අපමණයි.

මගේ යහළුවෙක් කියපු කතාවක් – ‘අපේ කාර්යාලයේ අපි ටික දෙනා දවල් කෑම  එකට කන්නේ. එක එක්කෙනාගේ කෑම එකෙන් මාළු ජාති හුවමාරු කරගන්නවා. පියන්ගේ කෑම එකේ නිතරම වගේ තියෙන්නේ බැදපු බොම්බිලි කරවල, කවුරුවත් හුවමාරු කරගන්න කැමති නැහැ. සමහරු නහය වහ ගන්නවා. අපි මිනිහාගේ කෑම එක හැඳින්වුවේ දුප්පතාගේ බත් පත කියලා. දවසක් බොසුත් අප සමඟ එකතු උනා කෑම කන්න. මිනිහගේ කෑම එකෙත් මාළු වලට තිබුනේ බැදපු බොම්බිලි කරවල. මෙන්න බොලේ වෙනදට ඒවා කන්නේ කන්නේ නැති අය හරි රසයි කියා කියා  හුවමාරු කරගන්නවා. කවුරුවත් එදා කිවේ නැහැ දුප්පතාගේ බත් පත කියලා. මම මගේ අසුනට ආවහම ‘අනේ වාසේ’ කියලා කියවුනා’.

හැලප කන්න හරිම කැමති අපේ අයියාට අම්මා දවසක් පිටි ටික කොටන්න කියලා ලඟට ගෙන්න ගත්තා.   පස්සේ කිවා පිටි හලන්න කිවා. ඊට පස්සේ කිවා අනා දෙන්න කියලා. ආයි කිවා  පුතේ පොලුයි, පැණියි මිශ්‍ර කරලා හැලපේ හෙමිහිට හැඳි ගාන්න කියලා.  පස්සේ, ඒ ගුලි කැන්ද කොළවල අතුරලා, ඉඳිආප්ප තම්බනවා වගේ තැම්බෙව්වා. අන්තිමට කිවුවා මයේ සුදු පුතානේ අද හැලප හැදුවේ කියලා. එතකොටයි අයියාටත් තේරිලා තියෙන්නේ.  අයියා අද අප පවුලේ  හැලප එක්ස්පර්ට් වෙලා,  අපි එයාට කියන්නේ  ‘හැලප මැෂිම’ කියලා.

ඉදි අප්පන් 70ක් කිරි හොදි, කොළ පාට සම්බෝලේ සහ තෙම්පරාදු කුනිස්සෝ මැල්ලුම් එක්ක  කාලා මගේ ඥාති සොහොයුරා කැම්පස් එකේ  අක්බාර් නෙල් හෝල් එකේ 1972  තියපු වාර්තාව තාම කඩලා නැහැල්ලු.

බොහෝමයක්ම මානසික සහ ශාරීරික ප්‍රශ්ණ වලට විසඳුම නිතිපතා (දිනපතා නම් ඉතාම හොඳයි) ශාරීරික ව්‍යායාම. කෑම කනවා, වතුර බොනවා වගේ ශාරීරක ව්‍යායාම දිගු නිරෝගී සම්පන්න දිවියකට අවශ්‍යමයි.

හොඳට දහඩිය දාන්න දවසකට පැයක් කොහොමහරි හොයාගෙන ව්‍යායාම කරන්න; දියවැඩියා, හර්ද රෝග, පිළිකා කොහෙන් ගියාද කියලා නැහැ.  මනස පිරිසිඳු වෙනවා පමණක් නොවේ ලස්සන සිරුරකටත් හිමිකම් කාරයෙක් වෙනවා.

මතු සම්බන්ධයි …..

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress