36 වෙනිඉල්මහ විරු JVP සමරුව හා නොවැම්බර් 21  දින නුගේගොඩ පවත්වන JVP විරෝධය
Posted on November 20th, 2025

C. Wijeyawickrema, LL.B., Ph.D.

ජයතිස්ස හා රොස්ලින්” – අපට වෙච්ච දේ (1906)

පියදාස  සිරිසේන (1875-1946)

හැඳින්වීම (මෙම ලිපියේ අරමුණ):

අන්ද මන්දවූ රටක්!

සිංහල බෞද්ධයයි කියාගන්නා අතරමංවූ පක්ෂ දේශපාලකයින්!

කළු සුද්දන්ගේ පාලන රාමුවක් යටතේ ආණ්ඩුවේ මන්ත්‍රීන් 159+1 දෙනාත්, විරුද්ධ පක්ෂ මන්ත්‍රීලාත්, රටවැසියාත්, රජයෙන් පඩි ලබන හැම දෙනාත්, ලෝයර්ලාත් යන හැම පිරිසක්ම අන්ද මන්ද වී අතරමංවී සිටී. මුස්ලිම් හා දෙමළ මන්ත්‍රීන්ට මෙවැනි සංකාවක් නැත. අපේක්ෂා බංගවීමක් ඔවුන්ට සිදුවී නැත. පරාජිත මන්ත්‍රීලා ගලේ පැහැරූ බළලුන් වැනිය. බුද්ධ සාසනයට සිදුවෙමින් පවතින පරිහානිය හා ආණ්ඩුවේ කෙනහිලිකම් ඉදිරියේ පන්සල් අසරණවී සිටී. එහෙන් මෙහෙන් ඇසෙණ කතා හැර පන්සල් අතර සමඟියක් නැත.  ගෝඨාභය කෙරෙහි ඇතිවූ විශ්වාශ බංගත්වය නිසා මාලිමාවට චන්දය දුන් සිංහල බෞද්ධ  ජනයා ඉඟුරු දී නයි මිරිස් ගෙන කොටුවී සිටී.

එතෙක් බලයේ සිටි ආණ්ඩු කල නොයෙක් වැරදි හා දූෂණ දඩමීමා කරගෙන,  ජනයා රවටා බොරු කියා බලය අල්ලාගෙන, කඩිනමින් බොල්ෂෙවික් පාරේ යමින් සිටින, අනුර කුමාරලාගේ ආණ්ඩුව, මේ වනවිට ඉතාමත් ශීඝ්‍රයෙන් <කොට උඩ> යමින් සිටී.  සිංහල බෞද්ධ විරෝධී, මාක්ස්වාදී, totalitarianist, JVP ආණ්ඩුවකට, ඔවුන් ජනයාට දුන් පොරොන්දු ඉටුකරණ ලෙස ඉල්ලා නුගේගොඩට රැස්වීමේ තේරුමක් නැත. ඒ වෙනුවට, 2024 චන්දයේදී පාර්ලිමේන්තු චන්දයට මුහුණ දීමට පවා බියවූ පරාජිත පිරිස් දැන් ඇත්ත වශයෙන්ම කල යුත්තේ, නැවතත් ජනයා ඉදිරියට ආ යුත්තේ, තමන් පරණ පව් සොදාගත්, JVP කල්ලියට වඩා හොඳ සැලැස්මක් සහිත පංචස්කන්ධ බව පෙන්වා දෙමින්ය.

මෙහිදී, චන්ද දායකයා රැවටීම, විදේශ රටවල් සමඟ හොර ගිවිසුම් ගැසීම, බොල්ෂෙවික් පාලනයකට අර ඇඳීම, දිවයිනේ චිරාත් කාලයක සිට පැවත එන සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට පහරදීම, නිරාගමික අශීලාචාර සමාජයකට පාරකැපීම, වැනි කාරණා සියල්ලටම වඩා අතිශයින් භයානක වන්නේ, සිංහල බෞද්ධයින්ට ලෝකයේ ඇති එකම භූගෝලීය දූපත (භූමිය), අනුරකුමාර-ටිල්වින්-හරිනි ත්‍රිත්වය හා ඇමෙරිකන්/ඉන්දියන්/කැනඩා/UK/EU යන රටවල වසන දෙමළ කොටි චන්ද බලය (Tamil block vote) හා  ඩොලර් උපයෝගී කරගෙන, පලාත් සභා මර උඟුල හරහා දෙකට තුනට  කඩා  දකුණු ආසියාවේ පලස්තීනයක් බිහිවීමට ඉඩ සලසා දෙන ව්‍යපෘතියය.

එහෙත්, උවිඳු විජේවීර, යාපනේ අරුන් සිද්ධාර්ථ්, ගෙවිඳු කුමාරණතුංග, නාගානන්ද කොඩිතුවක්කු හා අද්මිරාල් සරත් වීරසේකර යන පස් දෙනා  හැර, මෙම මර උඟුලට විරුද්ධව කතා කරණ කිසිදු දේශපාලන”  පංචස්කන්ධයක්,  ආණ්ඩු විරෝධී යූටියුබ් නාලිකා, මුහුණු පොත්, සමාජ මාධ්‍ය හෝ දැනට පෙනෙන්නට නැත. නාමල්, සංජීව එදිරිමාන්න, ගම්මන්පිල, විමල්, පාඨලී චම්පික, දයාසිරිලා මේ ගැන නිහඬය. සජිත් නම් 13A+ (දයාන් ජයතිලක 2009 මැයි 19 යුද ජයග්‍රහණයට සතියකට පසු ජීනීවා ගොස් 13A + පොරොන්දුවී කල රණවිරුවන් පාවාදීම) ක්‍රියාත්මක කිරීමට එකඟ බව   ඉන්දියාවට ගොස් කියා සිටියේය.  මෙම මර උගුලේ ඉතිහාස කතාව විරුද්ධ පක්ෂවලට අමතක වුනා සේය.

විපක්ෂයේ 21 එකතුවට සෙනඟ එනවාද නැද්ද යන්න වැදගත් නැත. එයට නයි-මුගටි හැම දෙනාම සහභාගි වෙනවාද නැද්ද යන්නද වැදගත් නැත. වැදගත් වන්නේ එය ඉදිරියේ සිදුවිය යුතු ප්‍රතිපත්තිමය එකඟතාවයකට මුල් පියවර වන්නේය යන බලාපොරොත්තුවය. පලාත් සභා අහෝසිකර ඒ වෙනුවට ජන සභා සංකල්පය, ජල ද්‍රෝණි මත පදනම්ව, පක්ෂ දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක කල යුතුය, යන පැරඩයිම් වෙනසට එකඟ නොවන කුමණ ප්‍රතිපත්තියක් වත් දේශපාලකයාගේ වාසිය පිණිස  මිස රට ජාතියට යහපතක් ගෙන එන්නේ නැති බව JVP ආණ්ඩුවට විරුද්ධ/ රැවටුන, පරණ හා අළුත් සෑම පක්ෂ හා ජන කොටසක්ම අවභෝධ කර ගතයුතුය.

මෙය එක් එක් පුද්ගලයාගේ හෘදය ශාක්ෂිය පිළිඹඳ අර්බුදයකි. යාපනේ ස්වාධීන දෙමළ හින්දු මන්ත්‍රී අර්චුනා මොවුන්ට ආදර්ශයකි. දියවන්නා හෝටලයේදීත්, ඉන් පිටතදීත් ප්‍රභාකරන් ඔහුගේ දෙවියා යයි කියන්නේ ආඩම්බර යෙනි.   ඔහු තම හෘදය ශාක්ෂියට එකඟව ක්‍රියාකරමින් සිටී. ඔහුගේ මතය, මතවාදයෙන් පරදවන්නට හැකි සිංහල බෞද්ධ යයි කියා ගන්නා එකදු මන්ත්‍රී පුළුටක් දියවන්නා හෝටලයේ නැත. සෝම හාමුදුරුවන්ගේ භූමිකාව මතුවූයේ දුටුගැමුණු රජතුමාගේ භූමිකාව  නම කියන්නටවත් සිංහල බෞද්ධයින් මැලිවූ භයවූ චන්ද්‍රිකා-මංගල සමරවීර- S. B. දිසානායක කාලයකය. 21 දා එකතුවේදී පලාත් සභා අහෝසිකරන්නට කට අරින එක පංචකන්ධයක් වත් සිටී විද?

*1. ඉතිහාසය කන්නද? (මුර දේවතා සංකල්පය)

අම්පිටියේ සුමනරතන – ගලබොඩ අත්තේ ඥානසාර-බලංගොඩ කස්සප හිමිවරු

දිඹුලාගල නාහිමියන් ඝාතනය, අරන්තලාව භික්ෂු සංහාරය, R. ප්‍රේමදාස විසින් පොලිස් භටයින් 600 ක් බිලිදීම, ශ්‍රී මහ බෝධියට පහරදීම යනාදිය අමතක කලත්, ඉහත සඳහන් භික්ෂූන්ගේ භූමිකාව නොවැම්බර් 21 දින එකතුවන, අන්ත පරාදයකින් පසු යළි හිස ඔසවන්නට සදන, පංචස්කන්ධ විසින් අමතක කරන්නේ කෙසේද? සුමනරතන හිමියන් අවුරුදු 30 ක් පුරා මරණය අභියස මඩකලපුවේ ගෙන යන හුදකලා සටන හා ඥානසාර හිමියන් ශාරියා ආක්‍රමණයට විරුද්ධව ගෙන යන සටන නොසලකා හරිමින් සිටිනා පිරිසක් නොවැම්බර් 21  දා ඉදිරිපත් කරණ ප්ලෑන කුමක්ද? මේ එකතුවේ කී දෙනෙක් මඩකලපුවට ගොස් උන්වහන්සේගේ දුක් ගැනවිල්ල අසා බලා තිබේද? ඥානසාර හිමියන් පිළියෙල කල එක රටක්-එක නීතියක් වාර්තාව  නිකමටවත් කියවූ 21 දින එකතුවේ පංචස්කන්ධ සංඛ්‍යාව කුමක්ද? එය ගැන අලි සබ්‍රි හා මුස්ලිම්  ජාතිවාදී පක්ෂ දේශපාලකයින් විරුද්ධව කතා කරද්දී රනිල් ඔවුන් හා එකඟ විය. දැන් රනිල් එම වාර්තාව අනුමත කරණ වාද? මෙවැනි කරුණු මඟහැර  JVP ටිල්වින්, ලාල් කාන්තලා, හරිනි හා අනිකුත් පාපිසි වලින්ගෙන්  රට බේරා ගත හැකිද?  අතීතයේදී අනාගාරික ධර්මපාල තුමාට සිංහල දේශපාලකයින් පහර දුන්නා මෙන් ඥානසාර හාමුදුරුවන්ගේ මස් රාත්තලම ඉල්ලා කෑ නොගැසූ සිංහල දේශපාලකයෙක් සිටිනවාද? සිංහල බෞද්ධයින්ට විරුද්ධව පැනවූ නිතියක් වන ICCPR යටතේ ලංකාවේ  මුලින්ම නඩුවක් පැවරුවේ උන්වහන්සේටය.

1802 සිට ලංකා කොලනියේ ඉතිහාසය පාලක සුද්දන් (හා කළු සුද්දනුත්) පන්සලත් අතර ඇතිවු නොනවතින අරගලයක් නොවේද යන අළුත් ප්‍රශ්ණයක් ඇසූවිට, 1802-1873 (පානදුර මහා වාදය) දක්වා කාලය පුරාම පැවති බුද්ධාගම කියන්නේ බොරුවක් යන ක්‍රිස්තියානි පාලක-පූජක මතයේ සිට, එකිනෙක මත වැටෙන අවධි 11-13 ක් හඳුනා ගැනීමට මට  හැකිවිය.  එය රට බේරාගත් මුර දේවතා සංකල්පයේ ඉතිහාස කතාවය (කළු සුද්දන්ගේ පාලන සමය, තෙවන භාගය, (2025), 397-399).

පොලිස් හා ඉඩම් බලතල නැතුවත් 13- A යටතේ සිංහලයාට කරණ හිරිහැර

උතුරු නැඟෙනහිර පලාත් දෙකේ සිංහල ජනයාට දෙමළ හා මුස්ලිම් ග්‍රාම සේවකගේ සිට ඉහලින් සිටින නිලධාරීනුත්, ප්‍රදේශීය සභා නියෝජිතයිනුත් වෙනස්කම් කරන්නේ  පොලිස් හා ඉඩම් බලතල නැතිවය. දෙමළ නොදන්නා මේ සිංහලයින්ට සේවය කල හැකි සිංහල නිලධාරීන් හෝ සිංහල දන්නා දෙමළ නිලධාරීන් හෝ නැත. ඔවුන්ට දකුණට යන ලෙස මේ නිලධාරීන් එලිපිටම කියයි. සිංහල දරුවන්ට උප්පැන්න සහතික දෙන්නේ දෙමළ භාෂාවෙනි. උසාවි වල නඩු අසන්නේ දෙමළෙන් පමණය. සිංහල නීතීඥයින්ට ඉංගිරිස් වලින් කතා කරන්නටවත් ඉඩ නොදේ.. මෙය වර්තමාන තත්වයය. මීට හේතුව වී තිබෙන්නේ RP විසින්  16 වන ව්‍යවස්ථා  සංශෝධනය (1988 දෙසැම්බර් 17 දිනැති) මඟින් දෙමළ භාෂාව මුළු රටේම රාජ්‍ය භාෂාව කර ඇතත් සිංහල රාජ්‍ය භාෂාව වශයෙන් ක්‍රියාත්මක වන්නේ දකුණු පලාත් හතේ පමණක් වීමය.

15 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් (1988 දෙසැම්බර් 17) යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් යම් දිස්ත්‍රික්කයක මන්ත්‍රී ආසනයක් ලබා ගැනීම සඳහා  අවම වශයෙන් ලබා ගත යුතුව තිබූ  සියේට 12.5 ක චන්ද ප්‍රතිශතය සියේට 5 දක්වා අඩුකරණ ලදී.  මෙය අගමැති RP  විසින් සිය ජනාධිපති තරඟය සඳහා මුස්ලිම් චන්ද ලබා ගැනීම පිණිස ඔවුන්ට දුන් අල්ලසකි.  මේ නිසා මුස්ලිම් හා දෙමළ පක්ෂ වලට වාසියක් සිදුවේ.

යාපනේ තිස්ස රජ මහා විහාරයේ හෝ මුලතිව් කුරුන්දි විහාරයේ සිංහල බෞද්ධයින්ට වන හිරිහැර ගැන මීට පෙර 21 දින එකතු වීමට ඉන්නා විරුද්ධ පක්ෂ අය කල දේ කුමක්ද? ක්‍රිස්තියානි බලවේග විසින් කරණ මේ හිරිහැර ගැන ඔවුන් අවධානය යොමු කරනවාද? අළුත්ම උදාහරණය ත්‍රිකුණාමලයේ බෞද්ධ පන්සල් ඉඩමේ බුදුපිලිමයේ ප්‍රශ්ණයය. ඊට මැදිහත් වූයේ ගෝල්පේස් අරගලයටද සහභාගීවූ බලංගොඩ කස්සප හිමියන්ය. ත්‍රිකුණාමළ පන්සල් භූමිය රකින්නේ වයස 21 ක් වන තරුණ හාමුදුරු කෙනෙකි. මෙම හාමුදුරුවරු ඉටු කරන්නේ ජාතියේ මුර දේවතාවුන් වශයෙන් භික්ෂූන්ට පැවරුණු ඓතිහාසික වගකීමය. විදේශ ආක්‍රමණ වලින් රට ජාතිය බේරා ගැනීමේ සටන් වලදී පන්සල මූලිකත්වය ගත්තේය. අවුරුදු 550 ක ක්‍රිස්තියානි පාලනයකින් පසුව සිංහල බුද්ධාගම දියකර දමන්නට නොහැකිවූයේ මුර දේවතා සංකල්පය නිසාය.

ඊලම දමණය – යුද්ධය හා මත වාදය

සිංහල-දෙමළ භාෂා දෙක හා ඉතිහාසය ඉගැන්වීම අනිවාර්ය කිරීම වැනි තවත්  අත්‍යාවශ්‍ය කරුණු තිබුණත්  ඒකීය රටක්  ඉතුරු නොවේ නම් සිංහල බුද්ධාගමක් හෝ දිලිත් ජයවීර කියන අවිහිංසක සභ්‍යත්වය ඉතුරු නොවේ. ඉන්දියාවේ ද්‍රවිඩ රටක් සඳහා 1918 දී ආරම්භවූ  ව්‍යාපාරය අනුව යමින්, 1923/24 දී පොන්නම්බලම් අරුණාචලම් ලංකාවේ දෙමළ රටක් සඳහා දැරූ වෑයම, රේල් පාරේ හෙමින් ඉදිරියට යන කෝච්චියක් මෙන් මේ වන විට ගමනාන්තයට ලඟාවී සිටී. එය අඩියෙන් අඩිය ඉහළට පය තැබූ ඉණිමගක් වැනිය. 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමෙන් රටේ දෙමළ නිජ භූමියක් තිබෙනවාය යන මිථ්‍යාව ලේඛනගතවිය. 1965 දී ඩඩ්ලි-චෙල්වා ගිවිසුමෙන් ඊට ඔක්ෂිජන් ලැබුණේය. 1987  රජිව් ගාන්ධි  විසින් JRJ ට පැටවූ ගිවිසුම  හා  ඒ යටතේ ඉන්දියන් පණතක් කොපිකර 1988 දී ගෙනා, 13 වන සංශෝධන  ජරමරය, වර්තරාජා පෙරුමාල් උතුරු-නඟෙනහිර මහ ඇමති, ජනාධිපති R. ප්‍රේමදාසට භයෙන් 1990 මාර්තු මස ඉන්දියාවට පැනයාමෙන් ආරම්භ විය. පෙරුමාල් ට කලින් ඔහුගේ කැබිනට් ඇමති දයාන් ජයතිලක ඉන්දියාවට පැන ගොස්, පසුව R. ප්‍රේමදාස ගෙන් අභයදානය ලබා ඔහුගේ දාසයෙක් ලෙස හැසුරුණේය (1993 මැයි මස කොටින්ට ආයුධ දුන් ජනාධිපති RP ව කොටින් විසින්ම ඝාතනය කරණ ලදී). පසු කලෙක දයාන් සජිත්ගේ උපදේශයෙක් විය.

1994-2000 ජනාධිපති චන්ද්‍රිකා ගෙනා නීලන්-GL-ජයම්පති පැකේජ් ඩීල් එක හරහා රට කෑලි 9 කට 10 කට කැබලි කිරීමේ  කුමන්ත්‍රණය (ප්ලෑන), රනිල් විසින් ඉන් තමා බලාපොරොත්තු වූ දේ නොලැබෙන නිසා, රටේ කෙන්දරයේ හොඳකම නිසා, අවසාන මොහොතේදී පාර්ලිමේන්තුවේදී ගිනි තැබුවේය. 2002 පෙබරවාරි මස  අගමැති රනිල් විසින් එරික් සොල්හයිම් හා ප්‍රභාකරන් විසින් ලියු  CFA ගිවිසුමට  එය නොකියවාම අත්සන් කලේය.  එය ලෝක ඉතිහාසයේ සිදුවූ ලොකුම පාවාදීම (greatest  give away in history) යයි ස්කොට් ජාතික යුද වාර්තාකරු පෝල් හැරිස් විසින් ප්‍රකාශ කලේය. ලංකාවේ පදිංචිවීමට ඔහු කල ඉල්ලීම ප්‍රතික්ෂේප කල විදේශ ඇමති G. L,  කොටි බාලසිංහම් ගේ ඉල්ලීමට අනුව ඔහුව රටින් පිටුවහල් කලේය (2002 දෙසැම්බර් ඔස්ලෝ ප්‍රකාශණයට අනුව ඊලමක් වෙනුවට පෙඩරල් විසඳුමකට ටයිගර්ලා එකඟ වුණා යයි G.L. සිය ප්‍රීතිය ප්‍රකාශ කලේ ටයිගර් බාලසිංහම් ට His Excellency  කියා ආමන්ත්‍රණය කරමින්ය).

භාෂාව හා ආගම පදනම්වු චන්ද්‍රිකාගේ 2000 ප්ලෑන, රනිල්-සුමන්තිරන්-ජයම්පති-ලාල් විජේනායක  යන යහපාලන කල්ලිය විසින් 2018 දී පියර දමා ඉදිරිපත් කල විට, තම ප්ලෑන අවුරුදු කට පසුව පිළිගත්තා යයි කියමින් චන්ද්‍රිකා උදම් ඇණුවාය! දැන් 2025 වනවිට කොටි ඩයස්පෝරාවට අවශ්‍ය වන ආකාරයට මෙය අනුමත කර ගැනීම ටිල්වින්-අනුරකුමාරලාගේ අභිප්‍රායය.

නයි පැටව් ඔඩොක්කුවේ ඔබා ගැනීම

චන්ද්‍රිකා විසින් ගෙනා ISGA (2003, October) හා Ptom (2005 July, 2004 December ෂුනාමියට පසු) මර උඟුල් JVP විසින් උසාවි ගොස් උඳුරා දමන ලදී.  ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හැර වෙන කල හැකි කෙන්ගෙඩියක් මහින්ද අගමැතිට නොතිබුණි. 2009 යුද ජයග්‍රහණයට පසුව දයාන් ජයතිලකලාගේ මාක්ස්වාදී උපදෙස් අනුව උතුරු පලාත් සභාව සඳහා චන්දයක් තබන්නට ජනාධිපති මහින්ද තීරණය කලේය. එය 1987 ට හා 2009 ට පසුව පැවත්වු ප්‍රථම මැතිවරණය විය. 2013 සැප්තැම්බර් මස පැවත්වූ ඉන් දිණුවේ මධ්‍යස්ථ දමිල මතධාරියෙකු ලෙස දයාන් කතාකල දකුණේ සිංහලයින් සමඟ ජීවත්වූ විග්නේෂ්වරන් ය. එහෙත් පුදන කොටම කාපි යකා කිව්වා මෙන් මේ විග්නේෂ්වරන් සිංහල ආණ්ඩුව දෙමළ සමූලඝාතන කරනවා යයි යෝජනා සම්මත කිරීම ආරම්භ කලේය. සිය පුත්තු දෙන්නා සිංහල තරුණියන්ට ආලය කිරීම අනුමත කල ඔහු වර්තරාජා පෙරුමාල්ට වඩා කපටි අවස්ථාවාදී දුෂ්ට නයෙක් විය. 

යාපනේ මිනිසුන්ට නැවත ජීවිතය ගොඩ නඟා ගැනීමට අවශ්‍ය  මූලික අවශ්‍යතා (ජලය, වැසිකිළි, ගොවිතැන් සඳහා ඉඩම්, පාසැල්, ආරෝග්‍යශාලා) වෙනුවට පාරවල් වලට ප්‍රමුඛතාවය දී ආණ්ඩුව ඉල්ලාගෙන කෑවේය. චන්ද පවත්වන්නට කලින් අවුරුදු 50 කටත් වැඩි කාලයක් පුරා අරටු බැස තිබූ මතවාදයක්, මතවාදයෙන්ම පරාජය කල යුතු වන්නේය. මේ පිළිඹද කදිම නිදසුනක් වන්නේ යුදහමුදා කර්නල් රත්නප්‍රිය බන්ධුය. යාපනේ හා වන්නියෙන් 2018 දී ඔහුව කොළඹට මාරු කල විට දෙමළ ජනයා හඬා වැටුනේය.

Col. Rathnapriya Bandu has done what Prabakaran, Wigneswaran, Sivajilingam, Sumbanthiran, Sambanthan or even Tamil Nadu politicians could not do & do not want to do. (A Poignant Farewell at Vishvamadu in 2018: Rathnapriya Banda’s Work of Reconciliation | Thuppahi’s Blog)

කුලය හා ලේ අතර ඇති ගැටුම නිසා, අදටත් යාපනේ ජනයාට ලේ දන් දෙන්නේ  සිංහල හමුදා භටයින්ය!

අනුර කුමාරලාගේ හා විරුද්ධ පක්ෂ එකමුතුවේ හෘදය  ශාක්ෂි අවුල

මේ වනවිට වැළලී ඇති , එහෙත් මියගොස් නැති (burried but not dead), පලාත් සභා සඳහා චන්දය ඉල්ලා සිටීම JVP ආණ්ඩුවට කෝචැක් කිරීමක් වුනත්, ඒ ඉල්ලීම පලාත් සභා  මර උඟුලට නැවත ඔක්ෂිජන් පිඹීමක් නොවේද යන සරල කරුණ මේ විරුද්ධ පක්ෂ එකතුවට නොතේරෙන්නේ ඇයි? ඔවුන්  කරන්නේ අත්තේ අග සිට ගහෙන් අත්ත කපා දැමීම වැනි නැණවිකල් ක්‍රියාවක් නොවේද?.  පලාත් සභා ක්‍රමයට විරුද්ධ වන අයෙක්, සිය හෘදය ශාක්ෂියට එකඟව පලාත් සභා චන්දයක් ඉල්ලන්නේ කෙසේද? එක අතකින් හාමුදුරුවරුන්ට වඳිමින් යන ගමන්, අනිත් අතට තිස්ස විහාරයට හා දැන් අළුතින්ම ත්‍රිකුණාමළේ පන්සලට හිරිහැර කරමින් AKD කරගෙන යන්නේද ගෙන  තම හෘදය ශාක්ෂිය රැවටීමකි. කඩිමුඩියේ දළදා ප්‍රදර්ශන පවත්වා බුද්ධ සාසන  අමත්‍යාංශය ක්‍රිස්තියානි හෝ නිරාගමික අයට භාර දීම කරන්නේ කුමණ අරමුණ කින්ද?

තිස් අවුරුදු යුද්ධයකින් පසු 2009 මැයි මාසයේදී ප්‍රභාකරන් සමඟ දෙමළ කොටි බෙදුම් වාදය යුදමය වශයෙන් පරාද කලත්, ඊලම් මතවාදය, මතවාදයෙන්ම පරාද කලයුතු බව රාජපක්ෂ ආණ්ඩුවට එත්තු ගියේ නැත. සිංහල බෞද්ධ විරෝදී ව්‍යාජ උපදේශකයින්ගේ ග්‍රහනයට ඔවුන් අසුවිය. මේ නිසා  ඩොලර් පෑනෙන් ඊලමක් ලබා ගැනීම දැන් 2025 අග වන විට ලඟදීම සැබෑ වීමට  මඟ පෑදී අවසානය.

පලාත් සභා චන්දයකින් JVP+NPP පාපිසි පරදවා, 13A+ මර උඟුලට යළි පණදී සිය දිවි නසා ගැනීම නමැති මුග්ධ උපායක්”  වෙනුවට, ඔවුනුත් ඒකීය රටත් ගලවා ගැනීමට, පැහැදිලි ඓතිහාසික-භූගෝල විද්‍යාත්මක, ක්‍රියාමාර්ගයක් ඇත. එය වනාහි 1832 සිට රටේ පවතින කෝල්බෲක් සූත්‍රය  හෙවත් කොළඹ පැරඩයිම් එක වෙනුවට අළුත් රජරට පැරඩයිම් එකකට අනුගතව ජන සභා සංකල්පය  ක්‍රියාවට නැඟීමය. ගම, ගමට බලය ලබා දීම යනුවෙන්, ගෝල්පේස් අරගලකාරයින්, පෙරටුගාමීන් හා දැන් ගම බොල්ෂෙවික් කිරීමට වලිකන  JVP කාරයින්ද තටමන්නේ මේ ජන සභා සංකල්පයමය.  

*2. ඉතිහාසය කන්නද?

(රටක ඉතිහාසය කියන්නේ ඒ රටේ අතීත භූගෝල විද්‍යාවටය)

යමෙකුට ඉතිහාසය අරහං වන එක හේතුවක් නම් ඔහුගේ/ඇගේ සැඟවුණු කැත අතීතය ඉන් එලිවන නිසාය. අනිත් හේතුව නම් අන් අයගේ යහපත් අතීතයට ඇති ඊර්ෂ්‍යාව හා බයය (උදාහරණ වශයෙන් JRJ, R. ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල්, ටිල්වින්, ආනන්ද විජේපාල, හරිනි, 1971, 1988 JVP,  ක්‍රිස්තියානි පල්ලිය (Catholic Action), ගැන සිතා බලන්න). 1967 දී පේරාදෙණියෙන් පිටවු කාලයේ සිටම ලංකාවට සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යබව මට වැටහී තිබුණේය. 1971 දෙසැම්බර් මස අල්ලාගත් හා භාරවූ JVP කැරලිකරුවන්ගේ ශාක්ෂි සටහන් කර ගැනීමට රජයෙන් පත්කල සිවිල් නිලධාරීන් 200 දෙනාගෙන් එක් අයෙක් වශයෙන් එම කැරැල්ලේ සුලමුල ගැන හොඳින්

දැනගැනීමට අවස්ථාවක් මට ලැබුනේය. 1978  දී ජාතික විද්‍යා සභාවේ රක්ෂාවෙන් අස්වී ඇමෙරිකාව බලා  මා ලංකාවෙන් පිටවූයේ, JRJ විසින් රටට කරන්නට යන විනාශය ගැන ඉවක්” මට තිබූ නිසාය. හිටපු පාලකයින් එලවා දැමුවාට පසු බස් වල හා බස් හෝල්ට් වල  කොලපාට ගෑම නගරයෙන් මට ලැබුණ සංඥාවය. රත්නසිරි වික්‍රමනායකට වැඩකල විද්‍යා සභාවේ නිමල් චන්ද වියරුවට පසුදා, දින කීපයකට විද්‍යා සභාවේ නවතින්නට මගෙන් අවසර ඉල්ලීමෙන් ගම් වල වෙන දේ මට තේරුම් ගියේය. JRJ  බොරුකාර ගාන්ධි කෙනෙක්ම විය.

ඇමෙරිකාවේ සිට මා ලංකාවේ දේශපාලනය” ගැන මුලින්ම අදහසක්  ප්‍රකාශකලේ , An Alternative to the Devolution” Dilemma: Move the Capital to Raja Rata” (April, 21-24), යන මාතෘකාවෙන් 1998 දී අයිලන්ඩ් පත්තරයට ලියූ දීර්ග ලිපිය මඟින්ය.  13 වන සංශෝධන -පලාත් සභා මර උඟුල  යන නමින් මෙම අදහස තවදුරටත්  වර්ධනය කරමින්, දයාන් ජයතිලක වැනි 13A+ පප්පා වැන්නන්ට  පිළිතුරු සැපයීම මා විසින් දිගටම කරගෙන යන ලදි.  2024 දී මුද්‍රණය කල ” ලංකාව : කළු සුද්දන්ගේ පාලන සමය, දෙවන භාගය: 1948-2024 යන කෘතියේ, 24 වෙනි රචනාව ලෙස, ගෝල්පේස් අරගලකරුවන් ඉල්ලන සිස්ටම් චේන්ජ් එක හා ජන සභා  සිස්ටම් එක”  (part I), 280-92), යනුවෙන් ලිපියක් හා, එම පොතේ XXIV පිටුවේ කොළඹ වෙනුවට රජරට පැරඩයිම්” යනුවෙන් දේශපාලකයින් විසින් සලකා බැලිය යුතු ආකෘතියක්ද  (model) ඉදිරිපත් කරණ ලදී. 2025 නොවැම්බර්/දෙසැම්බර් වන විට පිටවීමට නියමිත කළු සුද්දන්ගේ පාලන සමය- 1948-2025, තුන්වන භාගය” යන කෘතියේ අනු මාතෘකාව වන්නේ <පලාත් සභා මර උඟුල – ජන සභා විසඳුම> යන්නය.

ඉතාමත් කෙටියෙන් කියනවා නම් ජන සභා විසඳුම කියන්නේ  දැනට පවතින දේශපාලන හා සිවිල් පාලන ඒකක වෙනුවට, භාෂාව, ආගම හෝ කුලය යන නිර්ණායක අනුව නොව, ස්වාභාවික මායිම් (natural/geographical boundaries) සහිත ජන සභා ඒකක පිහිටුවා, පක්ෂ දේශපාලනයෙන් තොර නියෝජිතයින් පත්කර ගන්නා , ජනයා බලවත් කිරීමකටය (empowerment of people, not politiicians). මේ පිළිඹඳ දීර්ග විග්‍රහයක් ඉහතින් සඳහන් කල පොත් වලින් හෝ ලංකාවෙබ් වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. අවශ්‍ය අයෙකුට එය ඊමේල් කර එවීමටද මම කැමැත්තෙන් සිටිමි (wijeychandra@gmail.com).  ස්වාභාවික මායිම් යනු ජල ද්‍රෝණි අනුව ජන සභා මායිම්  කිරීමය. මේ සඳහා බොරු නිර්ණායක කොමිෂන් අවශ්‍ය නැත. එය විදේශීය හා දේශීය බලවේග විසින් යෝජනා කරණ නියම ලෙසම ජනයාට තම ප්‍රදේශයේ බොහෝ දේ තීරණය කර, ක්‍රියාවට නැඟීමට ඉඩ ලබා දෙන ක්‍රමයකි (meaningful dvevolution). ජාතික මිස ජාති වාදයකට හෝ බෙදුම් වාදයකට ඉඩක් ඉන් නොලැබේ.

[AKD ට පැටලෙන ජාතිවාදය හා ජාතික වාදය අතර ඇති වෙනස

<ජාතිවාදියා යනු තම ජන වර්ගය  මිහිපිට සිටින උසස්ම  ජනයා ලෙස සිතා සෙසු ජන කොටස් පහත් කොට සලකන්නා බවත් (හිට්ලර්…), ජාතික වාදියා යනු තම ජනයා සෙසු හතුරන්ගෙන් බේරා රැකගන්නා පුද්ගලයෙක් බවත් (අනාගාරික ධර්මපාල…) යන වෙනස ජනාධිපති AKD ට නොතේරේ.  බෞද්ධ ජීවන රටාව ගොඩනැඟී ඇත්තේ මෙත්තා-කරුණා-මුදිතා-උපෙක්ඛා, සියළු සත්වයෝ (සතා සිව්පාවා ගහ කොළ පවා), නිදුක්-නිරෝගී-සුවපත් වේවා යනාදී මූලික සංකල්ප  අනුවය. බුදු දහමේ  උගන්වන සමානාත්මතාවාදය, සූරා කෑමට ලක්වන සමාජය පැතලි කිරීමට සිතූ මාක්ස්වාදයට වෙනස්ය.>]

ගම් මට්ටමින් ජනයා බලවත් කරලන මෙම පැරඩයිම් වෙනස් කිරීමේ අවශ්‍යතාවය ගැන උගත් පාඩම් හා සංහිඳියා කොමිෂමටද (LLRC, 2010/11) ලංකාවට පැමිණ ශාක්ෂි දී ඉදිරිපත් කල අතර එය එම කොමිෂම විසින්ද පිළිගත්තේය. ගෝල්පේස් අරගලකාරයින්ද මීට සමාන ඉල්ලීමක් කලේය. ඇමති බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ගෝඨාභයද එය ක්‍රියාත්මක කරන්නට සිතුවා පමණය.  ජන සභා සංකල්පයට සමානවූ ගැමි දිරිය යනුවෙන් තිබූ දේශපාලකයාගෙන් තොර වැඩ සටහන බැසිල් විසින් නතර කර දැම්මේය. ආණ්ඩුව විසින් සිය පාක්ෂිකයින් හරහා ගම් මට්ටමින් සිය බලය තහවුරු කර ගෙන බොල්ෂෙවික් පාරක යනවා වෙනුවට මෙම ජන සභා සංකල්පය ක්‍රියාවට නැගිය යුතුය.

වඳුරන්ට දැලි පිහි දීම (1931) හා බංගවේවා දේශපාලනය (1935)

1929 දී ඩොනමෝර් කොමිෂම විසින් ලංකා කොලනියට සර්ව ජන චන්දබලය දීමට යෝජනා කල අවස්ථාවේදී ඊට පක්ෂව පෙනී සිටියේ කම්කරු පක්ෂයේ නායක  A. E. ගුණසිංහ මහතා පමණය කියා මා අසා ඇත. අනිත් මන්ත්‍රීන්ලාගේ මතය වූයේ එය වඳුරන්ට දැලි පිහි දීමක් වගේය යන්නය.  එහෙත් අනුරාධපුරයේ රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී වශයෙන් 1931 දී තේරී පත්වුනේ සුදු ජාතික W. H.  ෆ්‍රීමන් නමැති හිටපු දිසාපති වරයාය. 1936 දී ඔහු නිතරඟයෙන් පත්විය. සිංහල බෞද්ධ ගැමියා තම හෘදය ශාක්ෂියට එකඟව ක්‍රියා කලේය. කොලනියේ සිංහල මන්ත්‍රීන් වූයේ සුද්දන්ට කත් ඇද ධනය හා බලය ලබාගත්, ඉන්ගිරිස් හා කැඩිච්ච සිංහල කතාකල කළු සුද්දන්ය.

මොවුන්ගේ හෘදය ශාක්ෂිය වුයේ සිය ක්‍රිස්තියානි හැව හංගා ගෙන බොරු බෞද්ධයින් ලෙස පෙනී සිට ගමේ හාමුදුරුවන් රවටා ගෙන චන්ද කිරීමය (මීට වෙනස් ස්වල්ප දෙනෙක් සිටින්නට ඇත).  මේ තමන්ම අටවා ගත් රදළ-හාමු-වලව් රොඩු  පංචස්කන්ධ හා ඔවුන්ට එකතුවු රට ගොස් ඉන්ගිරිස් ඉගෙනගෙන ආ ඔවුන්ගේ දරුවන්ගේ ක්‍රියාකලාපය අනුව දැලිපිහි ගත් වඳුරන් වූයේ මේ අය මිස ඔවුන් විසින් රවටන ලද ගැමි ජනයා නොවේ. සුද්දන් විසින් ඇතිකල රට සූරා කෑමේ හා බෙදා පාලනය කිරීමේ ක්‍රමයකට වහළුන්වූ මොවුන් එම ක්‍රමයම දිගටම පවත්වා ගෙන යෑමට ක්‍රියාකලේ සුද්දන්ගේ ආණ්ඩුකාලයේ ආණ්ඩුවේ නිලධාරීන් පවා ශූක්ෂම ලෙස පුද්ගලික ව්‍යාපාර වලට හවුල්වූ පරිදිමය.

කළු සුද්දන්ගේ පාලන සමය: 1948-2025

1931 දී සුද්දා විසින් දෙනලද සර්වජන චන්දබලයත් සමඟ ආරම්භ වුණ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නමැති සෙප්පඩ විජ්ජාව” යටතේ, පක්ෂ දේශපාලක කළු සුද්දන් විසින් 2022 වන විට බංකොලොත් රටක් බිහිකර ගත්තේය. 1948 න් පසු කාලය රටේ ඉතිහාසය හරියට නොදන්නා ව්‍යාජ පක්ෂ දේශපාලක පංචකන්ධ විසින් හඳුන්වන්නේ, 76 අවුරුදු ශාපය,” මුන් රට කෑවා” යන ගැලරියට ගැලපෙන ලේබල් වලින්ය.

මෙවැනි ලේබල් රනිල්, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාලන යනාදීන් විසින් එකිනෙකාට කලින් කලට එල්ල කලත්, ඉන් උපරිම වාසියක් ලබාගෙන රට රැවටුවේ අනුර කුමාරය.  ඊට විරුද්ධව විශේෂයෙන් දූෂණ චෝදනාවට මහජනයාට පිළිගත හැකි පිළිතුරක් දීමට ගතානුගත පක්ෂ දේශපාලනයින්ට නොහැකිවිය. රටේ ඉතිහාසයක්, භූගෝල විද්‍යාවක් නොදන්නා  කොට්ටහච්චි ලාබාල මන්ත්‍රීණියට අනුව, 1948 න් පසු කාලය, මූසල මුස්පේන්තු අඳුරු යුගයක් විය. ඇගේ දේශපාලන විද්‍යා දැණුමට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යටතේ යමෙකුට හිතාමතාම බොරු කීමටද අයිතියක් තිබේ.”  මෙය අනුර කුමාරගේ JVP  රැල්ලෙන් හා හරිනි අමරසූරියගේ  ජුලී චං NPP ආධාරයෙන් දියවන්නාට පාවූ පාපිසි වල මනස සංකේතවත් කරලයි. තවද එය 2025 වන විට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අනාථවී ඇති තරම පෙන්වා දෙන්නේය. බොරු කියන්නේ පාර්ලිමේන්තුවේදී, ඇත්ත කියන්නේ ඉන් පිටත දී යයි පාර්ලිමේන්තුවේදීම කියන ලද ලෝකයේ එකම රාජ්‍ය නායකයා අනුර කුමාරය.  අරගලයේ මුවාවෙන් පාර්ලිමේන්තුව ගින් තබන්නට උත්සාහ කලේ ලාල්කාන්ත ඇතුළු තුන් දෙනෙක් විසින්ය. ගාල්ලෙන් පාවුනු දෙමළ පාපිස්සක් වුන පෝල් රාජ් නම් ඇමතිනිය , පාර්ලිමේන්තු ක්‍රමය කණපිට හරවනවා යයි වහසි බස් දෙඩුවේය.

1931  සිට ලංකාවේ සිදුවූයේ (1) [පක්ෂ දේශපාලක] වඳුරන්ට දැලි පිහි දීමකුත්,  (2) [මාක්ස්වාදී/නිරාගමික] බංගවේවා දේශපාලනයකුත්  (3)  සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට උඩින්, යටින් හා වටකරගෙන පහරදීමත් නොවේද යන්න විමසා බලා අපක්ෂපාතී ලෙස රටට පෙන්වාදීමට එකදු විශ්ව විද්‍යාල ආචාර්ය පුළුටක්වත් රටේ නොසිටීම ඛේදජනකය. මෙම කාලය  හැඳින්විය යුත්තේ මෙම කළු සුද්දන්ගේ (ඉහත 1 හා 2 කොටස්) විසින් රට විනාශ කල/කරමින් සිටින අවධිය ලෙසය. එක් උදාහරණයක් පමණක් දෙනවා නම්,  1 කොටස විසින් යම් යම් යහපත් ක්‍රියාද නොකලා නම් AKDලාට හඳුන්නෙත්තිලාට සරසවි වරම් නොලැබේ. එහෙත් මාක්ස්වාදයේ නාමයෙන් ඔවුන් රටට කල විනාශයෙන් ගැලවීමට ඔවුන්ට නොහැකිය.

මෙම කළු සුද්දන්ගේ පාලන කාලයේ ආනිසංශ මාතෘකා තුනක් යටතේද  සළකා බැලිය හැකිය. ඒවා නම්:  (1) පක්ෂ දේශපාලන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර    (නාස් ලණු) වාදයක් යටතේ බංකොලොත් රටක් බිහිවීම (2)  බංගවේවා/බෙලි කපන අතීතයක් සහිත මාක්ස්වාදීන් ශූක්ෂම උපාය මාර්ග යොදා ගනිමින්, පවතින විකෘති-බලු පොර චන්ද ක්‍රමය හරහා ආණ්ඩු බලය අත්පත් කර ගැනීම හා (3) රට මුහුණපා සිටින තනි පක්ෂ (බොල්ෂෙවික්, totalitarianism) පාලනයක් අබියස රට බංකොලොත් කිරීමට දායකවූ, පැරදුණ පක්ෂ දේශපාලකයින්, ඊට විරුද්ධව රට බේරා ගැනීමේ අළුත් ප්ලෑනක් ගැන සිතන්නටවත් නොහැකිව නන්නත්තාර වී සිටීම,  යනුවෙනි.

හෘදය ශාක්ෂිය-අධ්‍යාත්මය

මෙම ලිපියේ අරමුණ වූයේ අන්ද මන්දව සිටින රටක දේශපාලනයේ හිරවී ඉන්නා පරණ හා අළුත් පංචස්කන්ධ වලට තමන්ගේ හෘදය ශාක්ෂිය  විමසා බැලීමට පරීක්ෂණයක් ඉදිරිපත් කිරීමය. මෙම හෘද ශාක්ෂි කතාව ජනප්‍රිය කලේ නාගානන්ද කොඩිතුවක්කු මහතාය.

මේ සඳහා ප්‍රශ්ණ 53 ක් අඩංගුය. මෙම එක් එක් ප්‍රශ්ණයට යමෙකුට එකඟ වීමට හෝ එකඟ නොවීමට හෝ හැකිය. එය යම් දේශපාලකයෙකුගේ රිපෝට් කාඩ් එකක් වැනිය. යම් චන්දයකදී මෙම ප්‍රශ්ණ පත්‍රය තමන්ගේ ගෙදරට එන චන්ද අපෙක්ෂකයාට දිය හැකිය. එහි ඇති චන්දදායකයාට වැදගත් ප්‍රශ්ණ ගැන අපේක්ෂකයාගෙන් කෙළින්ම විමසිය හැකිය.

අවශ්‍ය නම් එහි නැති අළුත් ප්‍රශ්ණ ද ඇසිය හැකිය.

දේශපාලන පංචස්කන්ධවල (පක්ෂවල) හෘදය ශාක්ෂිය පරීක්ෂා කිරීම (Bell the cat !)

1ඉංග්‍රීසින් විසින් සිලෝන් කිව්වේ අතීතයේදී විදේශික වෙළෙන්ඳන් විසින් සෙයිලාන් ලෙස හැඳින්වූ  සිංහලේ යන දිවයිනේ මුල් නමය.
2එම සිංහලේ නමැති රාජධානියේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමඟියෙන් ජීවත්විය.
31505 කතෝලික පෘතුගීසින්ගේ ආගමණයත් සමඟ, විශේෂයෙන් 1798 න් පසු ඉංග්‍රීසීන් විසින් යටත් වැසියා බෙදා පාලනය කිරීමේ උපාය යටතේ, ජනවර්ග කෙටවීම ආරම්භවිය.
4ලංකාව සිංහල සිංහල බෞද්ධයින්ට ලෝකයේ ඇති එකම බිම් කැබැල්ලය.
5ඊලමකට පාර කපා රට තවත් පලස්තීනයක් කරණ 13 වන සංශෝධනය අහෝසි කල යුතුය.
61917/23 කාලයේදී සිට ආරම්භවුණ ලෝකයේ වෙනම දෙමළ රටක් යන ව්‍යාපාරයට ලංකාව ගොදුරුවී ඇත.
7ලෝකයේ දෙමළ නිජබිම ටැමිල් නාඩු ප්‍රාන්තයය.
8එක රටක්-එක නීතියක් කාර්ය සාධක බලකායේ නිර්දේශ ක්‍රියාත්මක කල යුතුය.
9බුදු දහම සර්ව බලධාරී දෙවියෙක් අදහන අනිකුත් ලබ්ධීන්  සමඟ පාස්සන්නට නොහැකිය.
10බුද්ධ සාසනය හතුරන්ගෙන් රැකදීම රජයේ වගකීමකි.
11බහු ආගමික ඉන්ටර්ෆේත්/බහුජතික කතා බටහිර රටවල හා ජිනීවා ලණුය.
12ලංකාවේ අගමැති/ජනාධිපතිලාගේ පවුල්වල බෞද්ධ නොවන ලඟම ඥාතීන් සිටී.
13යසර් අර්ෆත් හා ගඩාෆි විසින් බිහිකල ගර්භාෂ යුද්ධය ලංකාවේද ක්‍රියාත්මකවේ.
14වහාබි හා ශාරියා ඉස්ලාම් අන්තවාදය රටපුරාම ක්‍රියාත්මකවේ.
15බෝන් අගේන් වැනි ක්‍රිස්තියානී මූලධර්මවාදීන්ගේ අයථා අන්‍යාගමීකරණය තහනම් කලයුතුය.
16ජාතිවාදියා යනු සෙසු ජාතීන්ට (ජන වර්ගවලට?) වෙනස්කම් කරණ, ඔවුන් හෙලා දකිණ හිට්ලර්වාදීන්ය.
17ජාතික වාදය යනු තම ජාතිය හතුරන්ගෙන් ආරක්ෂාකර ගැනීමට ජාතිකාණුරාගයෙන් (ධර්මපාලවාදය) ක්‍රියාකිරීමය.
18ආගමික අන්තවාදය යනු තම ලබ්ධියට, බලයෙන් හෝ වෙනත් අල්ලස් උපාය මඟින් අන්‍යාගමිකයින් බඳවා තබා ගැනීමය.
19ඉන්දියාවේ සිට මන්නාරමට පාලමක් දැමීමෙන් ලංකාව ඉන්දියාවේ කොටසක් බවට පත්වන්නේය.
20ලංකාව ඉන්දියාවට පූට්ටු කිරීමේ ක්‍රියාවලිය ආරම්භකලේ  අගමැති/ජනාධිපතිව සිටි  රනිල් වික්‍රමසිංහ විසින්ය
21එක්ටා ගිවිසුම වනාහි සිංහල බෞද්ධයාගේ විනාශයේ ආරම්භයය.
22ඇමෙරිකන් MCC ගිවිසුම සිංහල බෞද්ධයින්ට කරණු ලබන කොඩිවිනයකි.
23දස අවුරුදු ප්ලෑනකට අනුව රටේ අගනුවර රජ රටට (අනුරාධපුරය දෙසට) ගෙනයා යුතුය.
24 කොළඹ මාර්ග තදබදයට විසඳුම අහසින් ජපන් කෝච්චි දැමීමේ ප්ලෑන විශාල ධන විනාශයකි.
251832 කෝල්බෲක් සූත්‍රය වෙනුවට මුළු රටම ජන සභා සංකල්පයට අනුව  බෙදා මායිම් කල යුතුය
26දැනට තිබෙන GSN  (ග්‍රාම සේවා නිලධාරී) ඒකක 14,026 ස්වාභාවික මායිම් සහිත (ජල ද්‍රෝණි) ඒකක වශයෙන් අළුතෙන් සංවිධානය කලයුතුය.
27මෙම ස්වාභාවික මායිම් සහිත GSN ඒකක කීපයක්  එකතුකර රටතුල  ජන සභා ඒකක ඇතිකල යුතුය.
28පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශ ජන සභා ඒකකවල එකතුවෙන් සැදිය යුතුය.
29ජන සභාව පක්ෂ දේශපාලනයෙන් තොර නියෝජිත ආයතනයක් විය යුතුය.
30ජන සභා වලට ගම්වල සිටිනා ආගමික/ පොලිස්/ යුදහමුදා නියෝජිතයින්ද  සහභාගී කරගත යුතුය.
31 ජාතික ජන සභා කවුන්සිලයක් (සෙනේට් සභාවක්) පිහිටුවිය යුතුය.
32ජන සභාව තීරණ ගත යුතු වන්නේ සම්මුති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුකූලවය.
33අධ්‍යාපනය ලබා දිය යුත්තේ ලමයාගේ මව් භාෂාවෙන්ය.
34රජයේ හා පුද්ගලික සියළුම පාසැල් වල සිංහල හා දෙමළ අනිවාර්ය විෂයයන් කල යුතුය.
35ඉංග්‍රිසි තුන්වන භාෂාවක් ලෙස පාසැල්වල ඉගැන්විය යුතුය.
36රජයේ පාසැල් වල ඉංග්‍රීසි මාධ්‍යය ආරම්භ නොකල යුතුය.
37ඉතිහාසය හා භූගෝල විද්‍යාව අනිවාර්ය විෂයයන් කලයුතුය.
38 යම් රටක/ ප්‍රදේශයක ඉතිහාසය යනු ඒ රටේ (භූමියේ) අතීත භූගෝල විද්‍යාවය.
39සිංහල මව් භාෂාව  වන සිසුන්ට සිංහල සාහිත්‍ය විෂය හඳුන්වා දිය යුතුය.
40ලෝකයේ  ආගම් පිළිඹඳව තුලනාත්මක අධ්‍යයන විෂයක් හඳුන්වා දිය යුතුය.
41රජයේ සේවකයින් දේශපාලන කටයුතුවල යෙදීම තහනම් කලයුතුය.
42රජයේ සේවකයින් සඳහා (විශ්ව විද්‍යාලද අතුළුව) performance evaluation ක්‍රමය හඳුන්වා දිය යුතුය.
43විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබාදීම වෙනුවට රාජ්‍ය ණය ක්‍රමයක් හඳුන්වා දියයුතුය.
44සිරකරුවන් හිරගෙදරින් පිටත වැඩට යොදාගන්නා ක්‍රමයක් (public work projects) සැදිය යුතුය.
45දිස්ත්‍රික්/මනාප විහිළුව (බලු පොරය) අහෝසි කර  1978 ට පෙර පැවති මැතිවරණ කොට්ඨාශ චන්ද ක්‍රමයට නැවත යායුතුය.
46තම මන්ත්‍රීවරයා ආපසු කැඳවීමේ අයිතිය චන්දදායකයාට තිබිය යුතුය
47වතුකරයේ තනිකර දමිල  ජනාවාස සැදීමේ කුමණ්ත්‍රනය පරාද කල යුතුය
48මන්ත්‍රීවරයෙකුගේ ධූර කාලය වාර දෙකකට සීමා කල යුතුය
49මන්ත්‍රී හෝ ඔහුගේ/ඇගේ ලඟ ඥාතීන් රජය සමඟ කොන්ත්‍රාත්/බිස්නස් ගණුදෙනු නොකල යුතුය.
50සමරිසි-සමලිංගික ක්‍රියා ප්‍රවර්ධනය කිරීමේ සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණෙන් දේශීය හා විදේශීය ව්‍යාපාර ගෙන යන  කුමන්ත්‍රණයට රහසින්වත් ආණ්ඩුවේ මැති ඇමතිලා හෝ නිලධාරීන් සම්බන්ධ නොවිය යුතුය
 511988-89 වර්ෂයේ සිට ලංකාවේ සිදුවූ කැරළි, මනුෂ්‍ය ඝාතන, (රාජ්‍ය, ත්‍රස්තවාදීන්, LTTE, ඉන්දියන් හමුදා) විමසා බැලීමට කොමිෂන් සභාවක් පත් කල යුතුය 
52ICCPR නීතිය,  එහි පස්සිකො (come and examine, not come and believe)  මූල ධර්මය මත පදනම්වූ බුදු දහමට විරුද්ධව යොදා ගත හැකි ආයුධයකි. එය සංශෝධනය කල යුතුය.
53සුද්දන්ගේ කාලයේ පැනවු රටට හා විශේෂයෙන් සිංහල ජාතියට හා බුද්ධාගමට හානි ගෙන දෙන නීති සංශෝධනය කල යුතුය.
  
 Source:  ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, දෙවන භාගය, 1948-2024, (343-344 පිටු)

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress