දිත්වා අවතැන්වූවනට ඔවුන් කැමති නම් උතුරේ සහ නැගෙනහිර ජීවත්විය හැකි විය යුතුයි 
Posted on December 7th, 2025

චානක බණ්ඩාරගේ

දිත්වා සුළි කුණාටුවෙන් වැඩිපුරම පීඩාවට පත් දිස්ත්‍රික්ක වන්නේ මහනුවර, කෑගල්ල, බදුල්ල, නුවරඑළිය සහ අනුරාධපුරයය. සිය ගණනක් පුද්ගලයින් මිය ගිය අතර බොහෝ දෙනෙක් අතුරුදහන් වී ඇත. මරණ සහ අතුරුදහන් වූ සංඛ්‍යාවේ එකමුතුව 1,000 සීමාව ඉක්මවීමට හොඳටම ඉඩ තිබේ.

අපේ දිවයිනේ ජනගහනයෙන් 35% ක් පමණ ජීවත් වන්නේ නායයෑම් අවදානම වැඩි ප්‍රදේශවලය.

මේ නිසායි දීත්වා සුළි කුණාටුව මධ්‍යම කඳුකරයට මෙතරම් දරුණු ලෙස බලපෑවේ.

කොළඹට ආසන්නව පිහිටි බස්නාහිර පළාතේ හංවැල්ල, අංගොඩ, කොළොන්නාව, වැල්ලම්පිටිය යන ප්‍රදේශ දැන් ගංවතුරට දැඩි ලෙස ගොදුරුවන  ප්‍රදේශයි. පසුගිය වසර 20 තුළ නිතර සිදුවන ජල ආශ්‍රිත අනතුරු සහ ගංවතුර හේතුවෙන් මෙම ප්‍රදේශවල යම් දෙනෙකුගේ  ජීවිත අහිමි වී ඇත. මේ තත්ත්වය නිසා බොහෝ දෙනෙක් බොහෝ විට අවතැන් වෙති.

ගම්පහ යනු නිතර නිතර ජලයෙන් යටවන නව ප්‍රදේශයකි.                                                               

මෑතකදී, අවිධිමත් සංවර්ධනය, වගකීම් විරහිත ඉදිකිරීම්, නිසි සැලසුම් නොසලකා හැරීම වැනි හේතුන් නිසා ශ්‍රී ලංකාවට බොහෝ පාරිසරික විනාශයන් සිදුවී ඇත.

විශේෂයෙන් යුද්ධයෙන් පසු, විද්‍යාත්මක නොවන සහ පරිසර හිතකාමී නොවන අධිවේගී මාර්ග ඉදිකිරීම (දකුණු, කටුනායක සහ මහනුවර), දකුණේ නිෂ්ඵල වරායක්, ගුවන් තොටුපළක්, සුරියවැව කැලය කපා ක්‍රිකට් ක්‍රීඩාංගනයක්  වැනි විවිධ මහා පරිමාණ යටිතල ඉදිකිරීම්, මහා වන  විනාශ, සැලැස්මක් නොමැතිව ගස් කැපීම් (තේ වතු තුල පවා), ජල මූලාශ්‍ර වලට සිදු කරන හානි, නීති විරෝධී මැණික්/වැලි කැණීම් ආදිය මේ රටේ දැඩි පාරිසරික විනාශයට හේතු වී තිබේ.

දිත්වා පෙන්වා දුන්නේ කඳුරට යන ඉතා පරිසර සංවේදී ප්‍රදේශයේ මෙම තත්ත්ව ඉතාම දැඩිව ඇති බවයි.

උග්‍ර ඉඩම් හිඟයක් හේතුවෙන්, උතුරු නැගෙනහිර හැර අනෙකුත් බොහෝ පළාත්වල ජනතාව ජීවත් වන්නේ තදබද පීඩාකාරී තත්වයන් යටතේය. බොහෝ විට මිනිසුන් ජීවත් වන්නේ පර්චස් 10 ට වඩා විශාල නොවන ඉඩම් කට්ටිවලය. පර්චස් දෙකක ඉඩම් කට්ටිවල ජීවත් වන ජනතාව ගැන මෙම ලේඛකයා දනී.

නව විවාපත් තරුණ යුවල් සිය දෙමව්පියන්ගේ ඉඩමේම කුඩා නිවසක් තනා ජීවත්වනු දැකීමයි දකුණේ බොහෝ දුරට දක්නට ලැබෙන්නේ. මේවා බොහෝ විට පර්චස් 6 -10 කුඩා ඉඩම්ය. එකම ඉඩමේ ජීවත්වීම නිසා පවුලේ සාමාජිකයන් අතර නිතර මතභේධ, ආරවුල් හටගනී.

දිත්වාගෙන් බේරුණු, කඳු බෑවුම්වල සහ කඳු යට ජීවත්ව දිවි ගලවා ගත් බොහෝ දෙනෙක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමහර වින්දිතයින් වෙනත් ස්ථාන කරා යාමට කැමති බව වාර්තා වේ. ඔවුන් තමන් අත්විඳි දෙයින් ඉමහත් කම්පනයට පත්ව සිටිත්. මීළඟ වතාවේ තමනට වාසනාව නොලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.

කඳු බෑවුම් සහ කඳු යට ජීවත්වීම ඉතා භයංකර කර බව දිත්වා අපට පැහැදිලිව පෙන්වා දී තිබේ.

අනාගතයේදී තවත් බොහෝ දිත්වාවන් එනු ඇත.

මෙම සුළි කුණාටුවෙන්/ගංවතුරෙන් අපේ සහෝදර ජනයාට තම පවුලේ ලඟම ඥාතීන්, නෑදෑයන්, මිත්‍රයින් අහිමි වී ඇත. පැහැදිලිවම ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්  එම ජීවත් වූ  භූමිවල තවදුරටත් සිටීමට කැමති නැත.

ඔවුන්ගේ දුෂ්කර තත්ත්වය අප තේරුම් ගත යුතුය.

අද, ජීවත්වීමට සුදුසු ඉඩම් බොහෝ දුරටම ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වල පමණි. මේවායෙහි රජයේ ඉඩම් බොහෝය.

උතුරු මැද, ඌව, ගැඹුරු දකුණ සහ වයඹ රජය සතු යම් හිස් ඉඩම් ප්‍රමාණයන් ඇති බව ඇත්තය. නමුත්, අප වන ජීවීන්ද බලා ගත යුතුය.

අවතැන් වූ ජනතාව කැමති නම් ඔවුන්ව එකී ප්‍රදේශවලට රැගෙන ගොස් නව ජනාවාස සේ පදිංචි කළ යුතුය.

තනිව යාමට කැමති පවූල් වලට එසේ යාමට ඉඩ පහසුකම් සැළසිය යුතුය.

එසේ යන අයගෙන් අවශ්‍ය අයට වගා කිරීමට ඉඩම් ලබා දිය යුතුයි. හැකිතරමින් පහසුකම් මේ අසරණ ජනතාවට රජය සැළසිය යුතුය.

නැවතත්, නව වාසස්ථාන පටන් ගැනීමට හොඳම සහ සුදුසුම ඉඩම් ඇත්තේ උතුරු, නැගෙනහිරියි. වවුනියාවට ඉහළින් මන්නාරම, කිලිනොච්චි, කන්කසන්තුරේ/වැල්වැටිතුරේ සහ උතුරේ මුලතිව් දෙසට සහ පොතුවිල්ට ඉහළින් නැගෙනහිරින් මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දෙසට පදිංචියට සහ වගා කිරීමට සුදුසු හොඳ ඉඩම් බහුලව තිබේ.

අද පර්චස් 2, 5, 10 වැනි ඉතා කුඩා ඉඩම්වල හිරවී සිටින දකුණේ ජනයාට මනා සැලැස්මක් යටතේ මේවායෙහි ජීවත්වීමට අවස්ථාව සැලසීම රජය සතු මානුෂික යුතුකමයි, වගකීමයි.

1947 මහා ගංවතුරෙන් පසු DS/ඩඩ්ලි සේණානායක සුසංයෝගය උතුර සහ නැගෙනහිරට දකුණේ ජනයා ගොස් පදිංචි වීම උත්සුක කළහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (i)(h) වගන්තිය මගින් පුරවැසියන්ට ශ්‍රී ලංකාව තුළ නිදහසේ ගමන් කිරීමේ අයිතිය සහ ඔවුන් කැමති ඕනෑම තැනක පදිංචිය තෝරා ගැනීමේ හැකියාව ලබා දී ඇත. මෙය පුරවැසියන්ගේ නිදහස් අභ්‍යන්තර සංචලනය සහතික කිරීම මගින් ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කරන මූලික අයිතියකි.

දිත්වා ව්‍යසනයෙන් ජනතාව ආරක්ෂා කිරීමට රජය අපොහොසත් වූ බවට දැඩි විවේචනයක් පවතී. මෙහි යම් සත්‍යතාවයක් තිබේ.

මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වූයේ රජයේ ක්‍රියාකාරී ප්‍රවේශයට වඩා ප්‍රතික්‍රියාශීලී ප්‍රවේශය බව තර්ක කිරීම සාධාරණ ය.

පූර්ව අනතුරු ඇඟවීම් තිබියදීත්, සූදානමක් නොමැතිකම සහ රජයේ පැත්තෙන් ක්‍රියා කිරීමට සමස්ථයක් වශයෙන් අසමත් වීමක් දක්නට ලැබුණි.

ජලාශවල සියළුම පාහේ ජලය එක්වර මුදා හැරීමෙන් (මහනුවර, ගම්පොළ, කොතමලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවල සිදු වූයේ මෙයයි) ජලාශවල බැමි නොකැඩි බේරුනත් එම ප්‍රදේශ අවට ජනතාවගේ තත්ත්වය ඉතා නරක අතට හැරෙනු ඇතැයි යන්න නොතේරුන රජය මෝඩ රජයකි.

මෙහිදී, රජය බරපතල ලෙස නොසැලකිලිමත් වී තිබේ.

රජයට මේවා ගැන සිතීමට කාළය නොතිබුනා විය හැක. 21 විපක්ෂයේ රැස්වීම නිසාද? චිත්‍රපට බෙදාහරින්නන් මෙයට වඩා වැදගත් යයි සැලකු නිසාද?

පසුගිය වසර 30 – 40 තුල සියළු රජයන් ක්‍රියා කර ඇත්තේ මේ ආකාරයෙනි – වැව් ධාරිතාවය ඉහළ යන විට කිසි වගක් නොබලා වැව් වාන් දොරටු විවෘත කිරීම. මේ නිසා මොන තරම් අපරාධයක්/විනාශයක් මේ රටේ සිදුවී ඇද්ද?

වාර්මාර්ග අධ්‍යක්ෂ බලන්නේ උපරිමව වැව බේරා ගැනීමටයි. වැව් ජලය අපරික්ෂාකාරී ලෙස වාන් යැවීම නිසා වන ජනතා හානිය ඔවුනට අදාල නැතුවා සේය.

වැව් වාන් දැමීම ගැන අවසන් තීරණ ගැනීම සිදු කල යුත්තේ වාරි අධ්‍යක්ෂ ජෙනරාල් හෝ ජ්‍යෙෂ්ට වාරි ඉංජිනේරුවන් නොවේ, රජයයි. මේ රටේ වාරිමාර්ග ඇමති කෙනෙක් ඇත. වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්ව පත් කරන්නේ ඔහුය.

දිත්වා සුළි කුණාටු අවස්ථාව වෙනුවෙන් වාරිමාර්ග ඇමති කුමක්ද කලේ? කිසිත් නොමැති බවයි අපට නම් පෙනෙන්නට තිබෙන්නේ.

නැවතත්, එක්වර සියළු සොරොව් දොරටු විවෘත කිරීම වෙනුවට, ජනතාවට පූර්ව අනතුරු ඇඟවීම් ලබා දී,  රාත්‍රී කාලය මඟ හැර, ඒවා ඉතා ප්‍රවේශමෙන් අදියර වශයෙන් මුදා හැරිය යුතුව තිබුණි.

දියුණු රටවල් වැඩ කරන්නේ එලෙසයි.

වැව් ආරක්ෂා කිරීමට  වඩා ජන ජීවිතය ආරක්ෂා කිරීම වටී.

කබීර් හෂීම් හිටපු ඇමතිතුමා පවසන පරිදි වික්ටෝරියා ජලාශයේ සොරොව් 8ම විවෘත කර ඇත්තේ එක් වරය. එයින් මහා ජල කඳක් මහනුවර නගරයට සහ ඒ අවට ප්‍රදේශවලට සම්ප්‍රේෂණය වී ඇත.

අතිශය සුන්දර මහනුවර ප්‍රධාන නගරය සහ ඒ අවට – කටුගස්තොට, නිත්තවල, මහයියාව, ගන්නෝරුව, පේරාදෙණිය, පැණිදෙනිය වැනි ප්‍රදේශ  දැවැන්ත ලෙස වතුරෙන් යට වුනේ, ප්‍රධාන ලෙසින්,  මේ නිසාද?

පොල්ගොල්ල බැම්ම මඟින්ද මහවැලි ගඟ දැඩි අධි පීඩනයකට හසු කර තිබේ.

මෙවර තරම් මහවැලිය පිටාර ගැලු වෙනත් අවස්ථාවල් නොමැත.

කොත්මලේ සියළු වාන් දොරටු එක් වර විවෘත කර ඇත්තේ රාත්‍රී යාමයේය.

මේවා මෙසේ සිදු කල අයගේ මොළ පරීක්ෂාවට ලක් කල යුතුය.

මහා ජාල කන්දරාව ගලා යන්නේ මිනිසුන්ගේ ගෙවල්, බෝග වගාවන්, හරකා බාන, කුඹුරු ඉඩම් උඩින් බව බලධාරීන් නොසිතුවේ මන්ද?

කොත්මලේ ඉඩම් නාය යන නිසා ඉන් බේරීමට ගම්පොළට සිය දරුවන් සමඟ පැමිණ එහි තම නිවස සාදා ගත්  පියෙක් සහ ඔහුගේ පවුලේ සංවේදනිය කථාව මේ දිනවල නිතර අසන්නන්ට ලැබේ.

මෙවැනි ශෝකී කථා බොහෝය.

රජයට ක්‍රියා කිරීමට සති 2 ක කාලයක් තිබුණි.

ගම්පොළ මරණවලින් 80% ක්ම සිදුවී ඇත්තේ රජයේ අක්‍රියතාව නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පාර්ලිමෙන්තුවේදී පැවසීය.

ඔහු මෙම අගයට පැමිණියේ කෙසේදැයි නොදනිමු.

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය විසින් අම්බුලුවාව කුළුණ දුර්වල ලෙස සහ පරිසරයට හානීදායකව ඉදිකිරීම හේතුවෙන් ගම්පොළ ප්‍රදේශයේ දැඩි පාරිසරික හාණියක් ඇති වන්නට ඇතැයි සිතීම සාධාරණය.

මූලික වශයෙන් බැලූ බැල්මට, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව විවිධ ජලාශවල වාන් දොරටු අහඹු ලෙස විවෘත කිරීම, බොහෝ මරණවලට හේතු වූ දරුණු ගංවතුරට හේතු වී ඇති බව පෙනේ.

නාය යාමට හේතුව ඉවක් බවක් නොමැතිව කඳු කරයේ වන සංහාරය සහ ගස් කැපීමයි. එයට මේ රජය වගකිව කිව යුතු නොවේ. ගෝලීය ඌෂ්ණත්වය වැඩිවීම නිසා වන ගෝලීය පරිසර විනාශයක්ද සිදුවෙමින් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත්ව වැරදි කාලගුණ වාර්ථා විකෘති කර පැවසුවා යයි සිතීම උගහටය.

නමුත්, නොවැම්බර් 25 දින BBC මාධ්‍ය ආයතනය ශ්‍රී ලංකාව පිළිබඳව, දිත්වා වෙනුවෙන්, අතිශය දරුණු කාලගුණ අනාවැකි මතු කළේය. මිම් 500ක වර්ෂාවක් මේ රටට පතිත වන බව ඔවුන් පැවසීය.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එය නොසලකා හැරියාද? එසේ නම් නොසැලකිලිමත් බව  පිළිබඳව ඔවුනට එරෙහිව නඩු පැවරිය හැක.

නොසැලකිලිමත්ව ක්‍රියා කිරීම වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉහල ධූරාවලිය පමණක් නොව, වාරිමාර්ග අමාත්‍යවරයා සහ රටේ ප්‍රධාන විධායකයා වන ජනාධිපතිවරයා ද මෙම මරණ වලට සහ ඇතිවූ ව්‍යසනයට වගකිව යුතු බව දැන් පෙනෙන්නට තිබේ.

මේ පිළිබඳව නිශ්චිත නිගමනය දිය හැක්කේ ගරු  අධිකරණයට පමණි.

දැනට, ජනාධිපතිවරයා ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයකින් – අපරාධ හෝ සිවිල් නිදහස් ය.

සාපරාධී නොසැලකිලිමත් මිනීමැරුම්/අනතුරු ඔප්පු කිරීමේ නීතිපතිවරයා සතු භාරය ඉතා ඉහළය.

ඇතැම් යූ ටියුබ්කරුවන් ඉල්ලා සිටින්නේ විපක්ෂය රජයට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. ශ්‍රී ලංකාව වැනි Common Law රටවල නීතිය එලෙස ක්‍රියාත්මක නොවේ. අපරාධ නඩු පැවරිය හැක්කේ රාජ්‍යයට (ශ්‍රී ලංකාවේ – නීතිපතිවරයාට) පමණි – මෙම අවස්ථාවේදී අපරාධ චෝදනා විය හැක්කේ චේතනා විරහිත මරණ (manslaughter) සහ/හෝ මානුෂික තුවාල වලට (මානසිකද ඇතුලත්ය)  හේතු වූ සාපරාධී නොසැලකිල්ලයි.

නිතීපති වරයා රජයට එරෙහිව අපරාධ නඩු ගොනු කරතැයි සිතීම උගහටය.

එහෙත්, අවශ්‍ය නම්, නිර්භීත නම් ඔහුට එය කල හැක.

හානී සිදුවූ සිවිල් වැසියන්ට රජයට එරෙහිව සිවිල් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. මෙය තනිව හෝ කිහිප දෙනෙකුට එරෙහිව සිදු කළ හැකිය. සාර්ථක වුවහොත්, ඒ අයට සැලකිය යුතු වන්දි රජයෙන් සහ පුද්ගලික විත්තිකරුවන්ගෙන් අය කර ගැනීමට හැකි වනු ඇත.

සිවිල් නඩුවකදී, රජය විසින් ඔවුන්ට ලබා දිය යුතු නීතිමය රැකවරණය (duty of care)  පිළිබඳ බැඳීම උල්ලංඝනය කර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලිකරුවනට සිදුවනු ඇත.

තවද, වින්දිතයින්ට මූලික අයිතිවාසිකම් අයදුම්පත් ලබා ගැනීමේ හැකියාව ඇත (ගරු ශ්‍රේෂ්ටාධිකරණය ඉදිරියේ).

මෙම ව්‍යසනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය වහාම ඉල්ලා අස්විය යුතු බව සමහරු ඉල්ලා සිටිති. මෙය සිදු නොවිය යුතුයි.

පාර්ලිමේන්තුව ඇතිවූ බරපතල තත්ත්වය තවදුරටත් දැඩි ලෙස විවාද කළ යුතු වේ. රජය විසින් දෙනු ලබන  පිළිතුරු වලට අප සාවධානව සවන් දිය යුතුය.

මෙම ලිපියේ සඳහන් පරිදි ඇත්ත වශයෙන්ම රජය දිත්වා හැසිරවූ ආකාරය පිළිබඳව දැඩි  විවේචන තිබේ. මේවා වර්ධනය වී යම් දිනක මෙම රජය බිඳ වැටිය හැක. එය එදාට සිදු වුවාවේ.

නමුත්, වැඩිමනත් ජනතාවට අද තවමත් අවශ්‍ය වන්නේ මෙම රජය දිගටම පැවතීමයි.

රජය යුරෝපයෙන් සහ යුරෝපා සංගමයෙන් මූල්‍ය ආධාර ලබා ගැනීමට අපොහොසත් වීම සත්‍යකි, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නොර්වේ, ස්‌වීඩන්, ඩෙන්මාර්ක්, ෆින්ලන්ඩ් වැනි අති ධනපති රටවල් අපට කිසිත් දී නොමැත.

කැනඩාවද අප අමතක කර ඇත. 

සජිත් සිටයේ නම් මෙය ඉතා හොඳින් කිරීමට තිබුණි. ඔහු ආධාර ලබා ගැනීමේ, විශේෂයෙන්ම විදෙස්,  අති දක්ෂයෙකි.

එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය අපට යම් උදව් සුළුවෙන් කළහ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ එක්සත් ජනපද රජය අපට විශාල මූල්‍ය ආධාරයක් ලබා දුනි.  ජූලී චුන්ග් මැතිණියනි, ඔබට ස්තූතියි.

සමස්ථයක් ලෙස රජය පශ්චාත් ආපදා කටයුතු හොඳින් හසුරුවන බව පෙනේ. ඔවුන් පසුගිය සතිය තුළ බොහෝ හොඳ වැඩ කර තිබේ. ඌවේ සමන්ත විද්‍යාරත්න දක්ෂතා පෙන්වා තිබේ.

නමුත්, රජය ‘බීමත් නාවිකයා’ මෙන් අත්තනෝමතිකව මුදල් වියදම් කරගෙන යන බවක්ද පෙනේ. රුපියල් කෝටි, ප්‍රකෝටි ගණනින් විපතට පත්  ජනයාට මුදල් ආධාර විසි කරන බවට රජය පම්පෝරි ගසයි.

මේ වෙනුවෙන් භාණ්ඩාගාරයේ සියළු මුදල් වියදම් කිරීමට රජය ලැහැස්තිය. ටකරන් තහඩුවක් හුළගේ ගිය කෙනෙකුට රුපියල් ලක්ෂ ගණනක වන්දියක්?

මේවා කෝපයෙන් සිටින ජනයා බා ගැනීම සඳහා කරන පාගා ගෙවීමක් වීය නොහැකිද? සහ රජය විවේචනය කරන යු ටියුබ් කරුවනට බියවී රජය දක්වන ප්‍රතිචාරයක්ද?

මේ වියදම් කරන්නේ මාලිමාවේ මුදල් සංචිතයෙන් නොවේ; අපෙන් සුරා කන බදු මුදල්ය.

දිත්වා මේ රටට කරන ලද මුළු අලාභය ඩොලර් බිලියන 7ක් වශයෙන් ගණන් බලා තිබේ. මෙවැනි මුදලක් වර්තමානයේ භාණ්ඩාගාරයේ නැත.

එනම්, දිගටම ණය මඟින් රට කරවීමයි මාලිමා රජයේ බලාපොරොත්තුව.

IMF තමන්ගේ ගැඹුරු මුදල් පසුම්බියට ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩවීමට යන බව ආරංචියි. මෙය ඉතා හොඳ පුවතකි.

නමුත් මේ ණය මුදල් අප ඉදිරි පරම්පරාව යම් දිනකදී ගෙවිය යුතුය.

ඇතැම් යුටියුබ් කරුවන් ඉල්ලන පරිදි රජය (ජනාධිපති සහ ආණ්ඩුව) දැන් ඉල්ලා අස්වුවහොත් කවුද මේ රටේ  නායකත්වය භාරගන්නේ? මේ මොහොතේ එම වගකීම ලබා දිය හැකි වෙනත් දක්ෂයෙක් පෙනීමට නොමැත.

රට කබලෙන් ලිපට වැටෙනවාට අප කැමති නැත. ඇතැම් යු ටියුබ් කරුවන් කැමතිය; ඔවුන් මේ රටට ආදරය නැති අය විය යුතුය..

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress