ත්‍රී’මලේ පිළිම නඩුවේ ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදුවී ඇති අත්වැරදීම් හෝ දෝෂ නිවැරදි කිරීමටත්, ඉදිරියේදී එවැනි දේ සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතීඥවරයෙකු අධිකරණ සේවා කොමිසමේ ලේකම්ගෙන් ඉල්ලයි.
Posted on January 31st, 2026

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ BR/1784/PC/25 නඩුවේ (ත්‍රී’මලේ පිළිම නඩුව) ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදුවී ඇති අත්වැරදීම් හෝ දෝෂ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒවා නිවැරදි කිරීමට සහ ඉදිරියේදී එවැනි අත්වැරදීම් හෝ දෝෂ සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා 2026 ජනවාරි 30 දින අධිකරණ සේවා කොමිසමේ ලේකම් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත.

එම නඩුව 2026.01.19 දින ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේ ඇති වූ ක්‍රියාදාමයන් මගින් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කීරීම පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 105.3 ව්‍යවස්ථා සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 55 වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්ති යටතේ චෝදනා ගොනු කළ යුතු තත්ත්වයක් පැන නැගී තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් වන නෛතික තත්ත්වය අනුව ක්‍රියා කිරීමට එම නඩුවේ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් ලබා ගැනීමට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් එම නඩුව 2026.01.21 දින විවෘත අධිකරණයේ කැදවීමට මෝසමක් මගින් ඉල්ලීමක් කර ඇති බවත්, කරුණු තහවුරු කිරීමෙන් පසු සම්පූර්ණ නඩු වාර්තාවේ සහතික පිටපතක් ලබා ගැනීමට මහේසත්‍රාත්තුමා විසින් නියෝග කළ බවත් එකී ඉල්ලීමේ දැක්වේ.

එම ඉල්ලීමට අනුව 2026.01.21 දින නඩුව කැදවීමෙන් පසු දෙමළ භාෂාවෙන් ලඝු ලේඛනය කළ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 වන ව්‍යවස්ථාව අනුව එම නඩුවේ දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන්වල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමටද එම නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇති අතර එයටද නියෝග ලබා දුන් බවත් එම නීතීඥවරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම් වෙත පෙන්වා දී ඇත.

ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් විසින් 2026.01.23 වන දින එම නඩු වාර්තාවේ සහතික පිටපත එම නීතීඥවරයාට නිකුත් කර ඇති අතර, එකී සහතික පිටපත අධ්‍යයනය කිරීමේදී ලඝු ලේඛනය කිරීම / සටහන් ඇතුළත් කිරීමේදී අත්වැරදීම් හෝ දෝෂ කිහිපයක් සිදුවී ඇති බව නීතීඥවරයා විසින් එම නඩු වාර්තාවේ පිටු ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත.

2026.01.19 දින පෙ.ව. 10.15 සිට පෙ.ව.10.20 දක්වා කාලයක් දෙපාර්ශවය විසින් අධිකරණයේ කරුණු  දක්වා ඇති බවත්, විත්ති පාර්ශවයේ කරුණු දැක්වීම්/සටහන් පමණක් සහතික පිටපතේ තිබුණද, අනෙක් පාර්ශවයේ කරුණු/ සටහන් සහතික පිටපතේ නැති බවත්, 2026.01.19 දින පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් 2කගේ නම් පමණක් සටහන් කර ඇති අතර මෙම නඩුවට එදින පෙනී සිටි අනෙක් පොලිස් නිලධාරීන්ගේ නම් සටහන් කර නැති බවත්, මෙම නඩුවේ දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 වන ව්‍යවස්ථාව අනුව සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට 2026.01.21 දින එම නීතීඥවරයා විසින් එම අධිකරණයට කර ඇති ඉල්ලීම සහ එයට ලබා දුන් නියෝගය 2026.01.21 දින නීති කෘත්‍යයන්වල සදහන් වන්නේ නැති බව ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ රේජිස්ට්‍රාර් මහත්මිය එම නීතීඥවරයා වෙත ප්‍රකාශ කර ඇති බවත් අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානයට යොමු කර ඇත.

එම නඩුවේ ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදු වී ඇති අත්වැරදීම් හෝ දෝෂ නිවැරදි කරන ලෙසත් ඉදිරියේදී ඒ ආකාරයට අත්වැරදීම් හෝ දෝෂ සිදුවීමට අවස්ථාව නොදෙන ලෙසත් ගරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඔහු ඉල්ලා ඇත.

අධිකරණ සේවා කොමිසමේ ලේකම් වෙත යොමු කළ මෙම ඉල්ලීමේ පිටපත් ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් වෙතද, නීතිපතිවරයා වෙතද යොමු කර ඇත.

https://neethiyalk.blogspot.com/2026/01/blog-post_30.html

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන – දුරකතන 0712063394 (2026.01.31)

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress