ත්‍රිකුණාමල සිද්දියෙන් හෙළිවන පොලිස් මරිසිය
Posted on February 27th, 2026

මතුගම සෙනෙවිරුවන්

         දින විසි නවයකට පසු භික්ෂූන් වහන්සේලා සිවුනමක් සහ ගිහි දායකයන් පස් දෙනෙකුට  පසුගිය එකොලොස්වන දා  ත්‍රිකුණාමල මහාධිකරණයෙන් ඇප හිමිවුණි. මෙම නඩුව පවරා ඇත්තේ ත්‍රිකුණාමල වරාය පොලිසිය විසිනි. මෙම ලිඛීත පැමිණිල්ල 2025/11/17 දින වෙරළ සංරක්ෂණ නිළධාරී සුන්දරමූර්ති දීපරාජ් විසින්  කර ඇත. ත්‍රිකුණාමල කොටුව පාර ආසන්නයේ වෙරළ පැත්තට වන්නට පිහිටා තිබෙන ඉපැරණි ඓතිහාසික බෝධීය පදනම් කොට ගෙන පැවති බෝධීරාජ විහාරය අරභයා මෙම නඩුකරය ගොනුව පැවතිණ.මෙම විහාරයේ 1951 වසරේ සිට පවත්වාගෙන පැමිණි බෝධීවර්ධන දහම් පාසල නම් වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පළමුවන බෞද්ධ දහම් පාසල 2004 වසරේ දී සුනාමියෙන් විනාශයට පත් වූ පසු එය නැවත ගොඩ නැන්වෙන්නට මුල් ගල් තැබෙන්නේ 2025/11/16 දිනය.මෙතුවක් කල් ඒ ප්‍රතිසංස්කරණයට පමා වූයේ ඇයිද යන්න කෙනෙකුට ප්‍රශ්ණයක් විය හැකිය.නමුත් ඊට කාරණා බොහෝය.

      සුනාමියෙන් විපතට පත් දහම් පාසල පවත්වාගෙන පැමිණයේ ත්‍රිකුණාමල සම්බුද්ධ ජයන්ති බෝධී රාජ විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි පූජ්‍ය මිහිඳුපුර මහින්දවංශ නායක හිමියන් විසිනි. උන්වහන්සේ 2021 වසරේ දී අපවත් වන තෙක්ම මෙම දහම්පාසල යළි ගොඩ නැන්වීම පීලිබඳව අප්‍රමාණ වෙහෙසක්  දරා ඇත. 2006/12/27 දින  මෙම ප්‍රතිසංස්කරණයට විරුද්ධත්වයක් නොමැති බව දන්වා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අනිල් ප්‍රේමරත්න මහතා විසින් විහාරාධීපති ස්වාමීන් වහන්සේ  වෙත යවන ලද ලිපිය අනුව වැඩ ආරම්භ කලද උන්වහන්සේට අලුත් වැඩියා කරගත හැකි වූයේ විනාශ වූ බෝධී ප්‍රාකාරය පමණකි. මෙම ඉඩම පෙර රජය සතු ඉඩමක් විය. එයට පැවති ආණ්ඩු වලින් වාර්ෂික බලපත්‍රයක් පිරිනමා තිබුණි.එම තත්වය තුළ ස්ථීරව මෙම ඉඩමට  අයිතියක් කිව හැකි වන පරිදි උන්වහන්සේ රජය වෙත වරින් වර ඉල්ලීම් කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2008 වසරේ දී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාර භාරකාර මණ්ඩලය වෙත මෙම බෝධිය ඇතුලු ඉඩම හෙක්ටයාර් 0.1012 ප්‍රමාණයක වපසිරිය සහිත බදු කරයක් ලබා දී ඇත. ඉඩමේ අයිතිය තහවුරු වුවද නගර සභාව සහ ත්‍රිකුණාමල දේශපාලන අධිකාරිය දිගින් දිගටම උන්වහන්සේ හට මෙම ඉඳි කිරීම සිදු කරලීමට බාධා පමුණුවා ඇත. වෙරළ කලාපය ලස්සන කිරීමේ අදිටනින් යැයි මෙම ඉඩමද ඇතුළත්ව පයිනස් වගාවක් කරලීමට නගර සභාව කටයුතු කර ඇත.එහෙත් දහම් පාසල ගොඩ නනවන කල්හි ඒ වගාව ඉවත් කරන පොරොන්දුව මතය. මේඅතර පූජ්‍ය මිහිඳු පුර මහින්ද වංශ හිමියන් නැවත ජනාධිපතිවරයා වෙත කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් 2012 දී බදු කරය අවලංගු කොට පූජා ඔප්පුවක් ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ විය. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුක්තව 2014 වසරේ දී මෙම ඓතිහාසික ඉඩමට පූජා ඔප්පුවක් ලබා දී ඇත.

          2016 වසරේ දී මෙම ඉඩම වෙන් කර ගැනීම පිණිස කටයුතු කරන කල්හි නැවත රාජ්‍ය ආයතන වලින් අවසර ගත යුතු විය. විශේෂයෙන්ම වෙරළ කලාපය ආසන්න සීමාවේ වැඩ කරන හෙයින් බලපත්‍රයක් ගත යුතු විය. එය ද ලැබුණි. වැටද ඉඳි කෙරුණි.මේ කාල වකවානුවෙන් පසු දහම් පාසල නැවත ගොඩ නැන්වීම පිණිස ප්‍රතිපාදන ලබා ගැනීමට උත්සාහ කළද එය සාර්ථක නොවීය.එය දිනෙන් දින පමා වූ අතර 2021 වසරේ දී නායක හිමියන් අභාවයට පත් විය.පූජ්‍ය මිහිඳුපුර මහින්දවංහ හිමියන්ගේ ශිෂ්‍ය පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශතිස්ස හිමියන් විහාරය භාර ගත් පසු විහාරයේ නඩත්තුවද විදුලි බිල් ආදියේ ගෙවීම් කළ නොහැකි තත්වයක් යටතේ 2024 වර්ෂයේ දී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර පත්‍රයක් ලබාගෙන සුභ සාධක වෙලෙඳ සලක් එම ඉඩමේ වීවෘත කර දායකයෙකුට ලබා දී ඇත. එම වෙළෙඳ සල පවත්වාගෙන යෑමේ දී ද පෙර පරිදම දේශපාලන අධිකාරියේ බලපෑම් ඇති වූ අතර එහි කළ යම් අතිරේක ඉඳි කිරීමක් නිසාවෙන් වෙරල සංරක්ෂෙණ පනත ක්‍රියාත්මක කර කඩා ඉවත් කරන බවට ස්වාමීන් වහන්සේට ලිපියක් ලැබෙන්නේ 2025 වසරේ දීය.උන් වහන්සේ එම තීරණයට විරුද්ධව අභීයාචනා කළ නමුත් සහනයක් නොලැබුණි . පසුව කොළඹ අභියාචනාධිකරණයේ  තහනම් නියෝගයක් ගැනීමට තීරණය කර අත. ඒ නඩුව තුළ යම් සමථයක් ඇති වන තත්වයක් උදාවුවද එය තවදුරටත් තීන්දු කර නැත.

     මේ අතර මෙම සිද්දිය රටපුරා වේගයෙන් ප්‍රචලිත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධයන් ඉදිරිපත්ව දහම් පාසල නැවත ගොඩ නැගීමට උදව් කරන්නට ඉදිරිපත් විය.2025/11/16 දින එයට මුල් ගල් තැබෙන්නේ මේ නිසාය.එම දිනයේම එතනට පොලිසිය ළඟා වන අතර පැමිණිල්ලක් මත පැමිණි වගද ඉඳි කිරීම ඉවත් කර ගන්නා ලෙසටද ඉල්ලා ඇත. නමුත් පැමිණිල්ල පෙන්වා හෝ ඉඳි කිරීම් කැඩීමට ගත් උසාවි තීන්දුවක්ද පෙන්වා දී නොමැත.සැබවින්ම සිදුව පවතින්නේ මෙම ප්‍රදේශය පාලනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරුන් දෙදෙනා ගේ මැදිහත් වීම මත අදාළ වෙරළ සංරක්ෂණ නිළධාරියා විසින් වාචිකව පොලිසියට කරුණූ වාර්තා කිරීමයි. පසුව 2025/11/17 දින ලිඛිත පැමිණිල්ලක් සිදු කරන කල්හි බුදු පිළිම වහන්සේ පැහැර ගෙන ගොස් නඩු භාණ්ඩයක් බවට පත් කර ස්වාමීන් වහන්සේලාට පහර දී රෝහල් ගතව රට පුරා මහත් ආන්දෝලනයක් සිදු වී අවසන්ය.

     අනතුරුව 2026 ජනවාරි මස 14 දින මෙම ගැටුම සම්බන්ධව පොලිසිය පැවරූ නුඩුව උසාවියේ දී කැඳ විණ. එයට ඉදිරිපත් කරන ලද බී වාර්තාව අනුව විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු එතනට එනම්  2025/11/16 දින වැඩම කරලූ තවත් ස්වාමීන් වහන්සේලා තුන් නමක්ද දායක සභාවේ සතර දෙනෙකු ද කොළඹ සිට 17 දින පැමිණි දුලාර ගුණතිලක මහතා ද චූදිතයන් ලෙසට නම් කර තිබුණි.දණ්ඩ නීති සංග්‍රහයේ 146 වගන්තිය අනුව  නීති විරෝධී රැස්වීමක් පවත්වා වෙරළ සංරක්ෂණ පනතේ 14(1)වගන්තිය උල්ලංඝණය කල බව ද එහි සඳහන්ය.සැබවින්ම සිදු වූයේ මුල් ගල් තැබීමේ පින්කමකි. එය පොලිසියට නීති විරෝධී රැස්වීමක් වී ඇත. වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝණය කලේ යැයි චෝදනා කරන්නේ නම් එයට වගකිම දැරිය යුත්තේ විහාරාධිපති හිමියන් පමණි.අනෙක් දායක පිරිස බෞද්ධ උපාසක උපාසිකාවන් ලෙසට පැමණී අතර කොළඹ සිට පැමිණී භික්ෂූන් වහ්නසේද ප්‍රදේශයේ තවත් භික්ෂූන් වහන්සේලා දෙ නමක්ද පැමිණ ඇත්තේ පින්කමට සාභාගි වී  පිරිත් සජ්ජායනය කොට මුල් ගල් තැබීමටය. උන්වහන්සේලාට අමතරව පළාතේ නායක හිමිවරුන් ඇතුලු සියල්ල දහ අට දෙනෙකු  වැඩම කර සිට ඇත.

         පොලිසිය මෙතනදී ක්‍රියාකර ඇත්තේ ස්වභාවික යුක්ති මූලධර්මයන් කඩ කොටය. 16 වන දා සිද්දියට 17 වන ද පැමිණි අයෙකු සම්බන්ධ කර චෝදනා ගොඩ නැගීම පන්සලේ පින්කම නීති විරෝධී රැස්වීමක් ලෙසට උසාවියට වාර්තා කිරීම ලිඛිත පැමිණිල්ලක් හෝ උසාවි නියෝගයක් නොමැතිව බුදු පීළිම වහන්සේ පැහැර ගෙන යෑම මෙම අනීතික ක්‍රියා විය.එතනදී ඇති වූ කලබලයේ දී භික්ෂූන් වහන්සේලාට පහර දීම සිදු කරන ලද්දේ මන්ද යන්න දන්නේ ඔවුන්මය. අපට පෙනෙන ආකාරයට දේශපාලනඅධිකාරයේ සෘජු මැදිහත් වීම මෙයට සිදු වී ඇත. එක් මන්ත්‍රීවරයෙකුට අවශ්‍ය වී තිබුණේ ජුස් බාර් එක යැයි ප්‍රසිද්ධ සුභ සාධක වෙළඳ සල තමන් ගේ හිතවතෙකුට පවරා දීමටයි. අනෙක් මන්ත්‍රී වරයෙකුට අවශ්‍ය වූයේ පන්සල ඉවත් කර බෝධීය අසල කෝවිලක් ඇටවීමටයි.ඒ සඳහා මීට පෙර වරින් වර ඉල්ලීම් සිදු කර තිබුණි.මෙයට කලින් මේ ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කළ කිසිවෙකු මේ විහාරයට විරුද්ධ නොවීය. 2004 වසරේ මුල් මාසයේ දී දහම් පාසලේ වහළ අලුත් වැඩියා කර ඇස්බැස්ටස් සෙවිළි  තහඩු කර දී ඇත්තේ ද වරාය පොලිසියේ සුභ සාධක අංශයයි. එසේ නම් වර්තමානය තුළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරයෙකු මුල් වී පොලිස් සාර්ධර්මයන්ද පසෙක ලා නීතිය යුක්තිය අව භාවිතා කලේ මන්ද.සැබවින්ම ඊට හේතුව වන්නේ වර්තමානය තුළ පොලිසිය ඉතා තදින්ම මාලිමාකරණය වීමයි. පොලිස්පතිවරයාගේ සිට පහළටම අඩු වැඩි වශයෙන් එය සිදුව ඇත. ඒ තත්වය තුළ ගොරක දඩමස් කිරීමට දණ්ඩ නීති සංග්‍රහය යනුවෙන් ඉංග්‍රීසීන් විසින් නිර්මාණය කළ සීමා මායිම් නැති මාර්ගෝපදේශයක් තිබේ.මෙම නඩුවේ දී මුල් බී වාර්තාවෙන් චෝදනා දෙකක් ද  ඉන්පසු විත්තිකරුවන්ට එරෙහිව සම්පූර්ණයෙන්ම චෝදනා දහයක්ම ගොනු වන්නේ පොලිස් නිළධාරියෙකුට හිමි වී ඇති මේ වරප්‍රසාදය නිසාය. එය මහජනයා පෙළන ව්‍යවස්ථාව උල්ලංඝණය කරන අවියකි.එය භයානකය. මිනී මැරුමක් බලන්නට ගොස් තිටි තැනත්තෙකුට විරුද්ධව ද මිනී මැරුම් චෝදනා එල්ල කළ හැකිය. 1948 දී අප නිදහස ලැබුවායින්පසු දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධන ගෙන ආ නුමුත් අර්ථ නිරූපණ සහිත සංශෝධනයක් ඇති නොවීය. අධීකරණ ඇමතිවරයාගේ අවධානය යොමු විය යුත්තේ මහජනයා පෙළන මෙවැනි නීති මූල ධර්මයන් ස්වභාවික යුක්ති මූලධර්මයන්ට සහ ව්‍යවස්ථාවට ගැලපෙන පරිදි වෙනස් කිරීමටයි. ත්‍රිකුණාමල සිද්දියෙන් ලැබිය යුතු යහපත් ප්‍රතිඵලයක් වන්නේ එයයි.

මතුගම සෙනෙවිරුවන්

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress