යහපාලන රජය තම සේවය අත්හිටවූ හේතුව හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ජනපති කොමිසම හමුවේ හෙළිකරයි
Posted on February 20th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

යහපාලන රජය සමයේ රජයට පක්ෂපාතී අයුරින් ඇතැම් නඩු කටයුතු මෙහෙයවීමට තමන් අපොහොසත් වීම හේතුවෙන් තමන්ගේ සේවය අත්හිටවූ බව කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද කොමිසම හමුවට කැඳවුණේ පසුගිය ජනවාරි මස 24 වැනි දින ගොනුකළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි විමසීම සඳහායි.

එය කුමන පදනමක් මත සිදුකර ඇත්ද යන්න කොමිසම මෙහිදී ප්‍රශ්නකර සිටියා.

කොමිස හමුවේ සාක්ෂි දෙමින් තමන් යටතේ විභාග වූ නඩු කිහිපයක් සම්බන්ධයෙන් තමන්ට එල්ලවු බලපෑම් හිටපු අතිරේක මහේස්ත්‍රාත්වරයා අනාවරණ කළා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන අය රාජිත සේනාරත්න මහතාගේ බාලපුතුට විවාහ කරදීමේ අරමුණින් බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන සිටිමට අදාළ නඩුවක් තමන් විභාග කළ බවත්ල එහිදී තමන් අදාළ දැරිය පිළිබඳ සොයාබලා අධිකරණයට කරුණු වාර්තා කිරිම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්ත පරිවාස නිලධාරියෙකුට උපදෙස් ලබාදුන් බවත් කොමිසම ඉදිරියේ කියා සිටියා.

අදාළ පරිවාස නිලධාරිනියට බලහත්කාරයෙන් රඳවාගෙන සිටින දැරිය පිළිබඳ කරුණු සොයා බැලිමට රාජිත සේනාරත්න ඉඩ ලබානොදී එම නිලධාරිණියට ස්ථාන මාරුවක් ලබාදුන් බව හිටපු අතිරේක මහේස්ත්‍රාත්වරයා සිය සාක්ෂියේදී අනාවරණ කළා.

අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේද පිළිබඳ තැතිගැනීමක්ද තමන්ට පැවති බව හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී කොමිසම විමසුවේ විනිසුරුවරයෙකු එලෙස බියවිය යුතුද යන්නයි.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු පැවසුවේ තමන්ට නිරන්තරයෙන් විවිධ මාධ්‍යයන් හරහා විවේචන එල්ලවූ බවයි.

මීට අමතරව, තිස්ස අත්තනායක මහතාගේ කූඨ ලේඛන පිළිබඳ සිද්ධිය, නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳ සිද්ධිය, පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ නඩුව මෙන්ම නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධීන් වලට අදාළ නඩු විභාගවලදී තමන් ලබාදුන් තීන්දු සම්බන්ධයෙන් පසුගිය රජය දැඩි අප්‍රසාදයකින් පසුවූ බව සාක්ෂි ලබාදීමේදී අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

යහපාලන සමයේ රජයට පක්ෂග්‍රාහීව නඩු කටයුතු මෙහෙයවීමට තමන් අපොහොසත් වූ නිසා අවසන් ප්‍රතිඵලය සිය සේවය අත්හිටවීම බව අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

මේ අතර, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද තෙවනවරටත් දේශපාලන පළිගැනීමට ලක්වූවන් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

මෙහිදී කොමිසම විමසා සිටියේ විවිධ වකවානුවන්හිදී සාක්ෂිකරු 6 වතාවක් අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහයන්ගේ යම් රටාවක් තිබුණේද යන්නයි.

එහිදී හිටපු නාවික හමුදාපතිවරයා පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන් අත්අඩංගුවට ගැනීමට තැත්කිරීමේ සිද්ධීන්ට සෘජුව සම්බන්ධ බවයි.

තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පැවති සෑම අවස්ථාවකදීම ජිනීවා සමුළුව ක්‍රියාත්මකව තිබීම ඊට හේතුව බව ඔහු පෙන්වා දුන්නා.

මේ වසරේ පෙබරවාරි මාසයේ අග භාගයේ ජිනීවා සමුළුව රැස්වන බැවින් තමන්ව විවිධාකාරයේ අසත්‍ය සිද්ධීන් සඳහා ඇඳා ගැනීමේ උත්සාහයක් පවතින බව කරන්නාගොඩ මහතා කියා සිටියා.

මෙය යහපාලන රජයේ දේශද්‍රෝහි ක්‍රියාවක් බවයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆීලීට් වසන්ත කරන්නාගොඩ මහතා සඳහන් කළේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress