තරු පහේ හෝටලයකදී මෛත්‍රි-මහින්ද හමුවක් එජාපයේ 5ක් මෛත්‍රි හමුවෙන්න රජ ගෙදරට ගිහින් “මහින්ද – මෛත්‍රි එකතු වෙයිද?”
Posted on June 19th, 2015

Courtesy මව්බිම

“මෛත්‍රි යූඑන්පීය අතහැරල ආයෙමත් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවයිද?”
“ඒ කියන්නෙ මේ පාරත් එන්නෙ මෛත්‍රි – මහින්ද එකතුවෙන් එන සන්ධාන ආණ්ඩුවක්මද?”
මේ, පසුගිය සතිය ආරම්භයේදීම රටේ දේශපාලනය කෙරෙහි උනන්දුවෙන් පසුවන සියලු දෙනාගේම හිතට මතුවුණු සාධාරණ ප්‍රශ්නයය. මේ ප්‍රශ්න ජනතාවගේ හිතට ආවේ වෙන කිසිවක් නිසා නොව, මෛත්‍රි දඹදෙණියට ගොස් නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ නිවෙසේ සිට සිය පාක්‍ෂිකයන් අමතා කළ ආන්දෝලනාත්මක කතා කිහිපයක් නිසාය. එහිදී මෛත්‍රි කියා සිටියේ තමන්ට එජාපය සමඟ කිසිදු ගිවිසුමක් නොමැති බවත්, ඊළඟ මහ මැතිවරණයෙන් පසුත් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිවරයා බවට පත් කරන බවට පොරොන්දුවක් තමා දී නොමැති බවත්, ශ්‍රී ලනිපය බෙදී වෙන්වුවහොත් නියත වශයෙන්ම එජාප ආණ්ඩුවක් බිහිවන බවත්, එවිට ශ්‍රී ලනිප සාමාජිකයන්ට අත්වන ඉරණම සියල්ලන්ම දැනගත යුතු බවත්ය.

මෛත්‍රිගේ මෙම ප්‍රකාශය එක්තරා ආකාරයකට දෙබරයකට ගැසූ ගලක් පරිද්දෙන් වූයේ මෛත්‍රි මේ කරන්නට යන්නේ මොකක්ද කියා කාටවත් සිතාගත නොහැකි වූ නිසාය. මේ නිසා ශ්‍රී ලනිප පාක්‍ෂිකයන් සිතුවේ මෛත්‍රි නිවැරැදි පාරට ඇවිත් පක්‍ෂය සමඟි කර යළිත් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඇතැයි කියාය. එජාප පාක්‍ෂිකයන් සිතුවේ මෛත්‍රිට ඉහළට නඟින්නට අත දුන් එජාප ඉණිමගට පයින් ගැසීමට සූදානමින් සිටිනවා යැයි කියාය. ඒ නිසා සතිය ආරම්භ වූ සඳුදා දිනය වන විටම රටේ දේශපාලන කරළිය පැවැතියේ තරමක් උණුසුම් සහගතවය. ඒ උණුසුම කෙසේද කියනවා නම් සතිය අවසන් වන තෙක්ම එම උණුසුම්කාරී වාතාවරණය ඒ අයුරින්ම පැවැතීම හේතුවෙන් එය මනාව පැහැදිලි විය.
එම උණුසුම්කාරී වාතාවරණය තවදුරටත් ඉහළ නැංවීමට බලපෑ ඊළඟ හේතුව වූයේ මෛත්‍රිගේ මෙම ස්ථාවරය සම්බන්ධයෙන් එජාපය මෛත්‍රි මුණගැසී සාකච්ඡා කිරීමට තීන්දු කිරීමය. රනිල් විශේෂ කමිටුවක් පත්කළ අතර, ඊට මලික්, කිරිඇල්ල, කබීර්, රවි හා කරු ඇතුළත් වූහ. ඒ අනුව මෙම පස් දෙනා සඳුදා (15දා) රාත්‍රියේම මෛත්‍රි මුණගැසීමට පියවර ගත්හ. ඒ විජේරාමයේ පිහිටි මෛත්‍රිගේ නිවෙසේදීය.
සාකච්ඡාව ආරම්භ කරමින් එජාප නියෝජිතයන් මුලින්ම මෛත්‍රිගෙන් විමසා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය පිළිබඳවත්, දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විපක්‍ෂයේ විශ්වාසභංගය පිළිබඳවත්ය. ඔවුන් තවදුරටත් පෙන්වාදුන්නේ මේ වන විට පාර්ලිමේන්තුවේ යම්කිසි අසමතුලිතතාවක් මතුව ඇති බැවින් ආර්ථිකමය හා සමාජමය වශයෙන් ගැටලු ගණනාවක්ද ඉස්මතුව ඇති බවකි. එහිදී මෛත්‍රි ඔවුන්ට කියා සිටියේ එජාපය අපහසුතාවට පත්වන ආකාරයට තමන් කටයුතු නොකරන බවත්, නිසි වේලාවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමන් කටයුතු කරන බවත්ය. එවිට එජාප නියෝජිතයන් විමසා සිටියේ “කවද්ද විසුරුවන්නෙ?” කියාය.
“මම පාර්ලිමේන්තුව හරි වෙලාවෙදි විසුරුවනවා. හැබැයි මගෙන් කවද්ද කියලා දිනය විතරක් නම් අහන්න එපා” යන්න ඊට මෛත්‍රි දුන් පිළිතුර විය.
අනතුරුව එජාප නියෝජිතයන් විමසූ විශ්වාසභංග කතාවට ඍජු පිළිතුරක් දෙමින් මෛත්‍රි කියා සිටියේ තමන් ඔය කියන ආකාරයේ විශ්වාසභංග ගෙන ඒමට කිසිදු ඉඩක් තබන්නේ නැතැයි කියාය. මෛත්‍රිගේ එම පිළිතුරෙන් පසුව එජාප නියෝජිතයන් මෛත්‍රිගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ මැතිවරණ සමයේදී පොරොන්දු වූ පරිදි නිර්පාක්ෂික ජනපතිවරයකු ලෙස කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසය. නමුත් ඊට නම් මෛත්‍රිගෙන් ලැබුණේ තරමක වෙනස් ආකාරයේ පිළිතුරකි.
“මම කොහොමද නිර්පාක්ෂික වෙන්නේ? මම මේ පක්ෂයේ අවුරුදු 50ක් තිස්සේ ඉන්නවා. අනෙක මම ශ්‍රී ලනිපයේ හිටපු ලේකම්. දැන් සභාපති. එහෙම තියෙද්දි මට මගේ පක්ෂය ගැන නොබලා ඉන්න බැහැ” යන්න එහිදී මෛත්‍රි දුන් පිළිතුර විය.

පදනම් ආයතනයේ රැස්වීම උණුසුම් වෙයි

මේ ආකාරයට සඳුදා (15දා) දින පැවැති මෙම එජාප – මෛත්‍රි තීරණාත්මක හමුවෙන් පසු ඊට පසු දින කොළඹ පදනම් ආයතනයේදී තවත් රැස්වීමක් පැවැත්විණි. ඒ, මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවය. මෙම හමුව ඉතා උණුසුම්කාරී එකක් වනු ඇති බවට බොහෝ දෙනා මත පළ කර තිබූ ආකාරයෙන්ම එදින රැස්වීම බොහෝ උණුසුම්කාරී එකක් විය.
රැස්වීම ආරම්භයට පෙර පදනම් ආයතනයේ විශේෂ අමුත්තන්ගේ මැදිරියට ගිය ජනාධිපතිවරයා පක්ෂයේ ජේ‍යෂ්ඨයන් වූ අනුර යාපා, සුසිල්, ජනක බණ්ඩාර ඇතුළු තවත් කිහිපදෙනකුට එම ස්ථානයට පැමිණෙන ලෙස දැනුම්දීමට කටයුතු කළේය. සියල්ලන්ම එහි පැමිණීමෙන් පසු මෛත්‍රි පක්‍ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඔවුන් සමඟ කෙටි අදහස් හුවමාරුවක් කිරීමටද කටයුතු කළේය. එහිදී ජනක ඇතුළු සියලු දෙනාම කියා සිටියේ සැවෙම එකට එකතු කරගෙන මේ ගමන යෑමට කටයුතු කළ යුතු යැයි කියාය. එහිදී මෛත්‍රි ඊට පෙර දින එජාප නියෝජිත පිරිස පැමිණ තමන් සමඟ කතාබහ කළ සියලු කරුණු පිරිසට දැනුම් දීමට කටයුතු කළේය. මෛත්‍රි රැස්වීමට සහභාගි වූයේ ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයන් සමඟ පැවැති මෙම සාකච්ඡාවෙන් අනතුරුවය.
පක්ෂ මහ ලේකම් අනුර යාපා පිළිගැනීමේ කතාව කිරීමෙන් අනතුරුව මෛත්‍රි රැස්වීමේ අරමුණ පැහැදිලි කරමින් සිය කතාව ඉදිරිපත් කළේය.
“මම මේ රැස්වීම තියන්න තීන්දු කළේ එක්තරා සුළු පක්ෂයක නායකයෙක් සති අන්ත ඉංගී්‍රසි පත්තරයකට කියලා තිබුණ ශ්‍රී ලනිපය කඩලා අලුත් පක්ෂයක් හදනව කියලා. මේ කතාවම අපේ පක්ෂයේ අයත් ගම්වලට ගිහින් කියනවා. මොන පක්ෂයෙන් හරි මොන ලකුණෙන් හරි මහින්ද ගේනවා කියලත් කියනවා. ඕගොල්ලන් ලියලා තියාගන්න අපේ පක්ෂය කැඩුණොත් යූඇන්පී එක බලයට එන එක වළක්වන්න බෑ. අපේ පක්ෂය තරම් කැඩුණු පක්ෂයක් නෑ. හැබැයි ඒ කැඩුණු හැම පාරම යූඇන්පී එක ආණ්ඩු පිහිටෙව්වා. එදා මම පක්ෂයෙන් එළියට ගියාට මම වෙන පක්ෂවලට ගියේ නෑ. මට ඕන නම් 09 වැනිදාට පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණා. එහෙම කළා නම් අපි අන්ත පරාදයි. මටත් මේ කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ. මමත් කියන්නේ අපේ ආණ්ඩුවක් හදන්න ඕන. හැබැයි වෙන සුළු පක්ෂවලට යටත් වෙන්න එපා. දැන් ඔබතුමාලට කියන්න තියෙන හැමදෙයක්ම කියන්න. දැන් මම පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය දීලයි තියෙන්නේ. හැබැයි පක්ෂය කඩලා ඊළඟ ඡන්දෙ පැරදුණාම වෙන්න පුළුවන් දේවල් ඔළුවේ තියාගෙන කතා කරන්න. මෙතන මම ඉන්න හින්දයි මෙහෙම හරි බේරිලා ඉන්නේ” යනුවෙන් කියමින් මෛත්‍රි ශ්‍රී ලනිප නියෝජිතයන්ට අදහස් දැක්වීමට අවස්ථාව සලසා දුන්නේය.

වෙල්ගම නැඟිටියි: බන්දුල-ලක්ෂ්මන් වචන හුවමාරුවක

ඒ අවසරයෙන් මුලින්ම කතා කිරීමට පටන් ගත්තේ කුමාර වෙල්ගමය.
“ජනාධිපතිතුමනි, අපට හංගන්න දෙයක් නෑ. අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා පන්සල් ගාණෙ යන්නෙ ඡන්දෙ ඉල්ලන්න තමයි. එතුමා පසුබහින්නෙත් නෑ. ඔබතුමා පසුබහින්නෙත් නෑ. ජනතාව එතුමටත් ඉන්නවා, ඔබතුමාටත් ඉන්නවා. දැන් විශ්වාසභංග 3ක් ගෙනාවා. තාම එකක්වත් ගත්තෙ නෑ. ඒවට නම් වගකියන්න ඕන විපක්‍ෂනායකතුමා. මම කියන්නෙ මහින්ද මහත්තයවත් එකතු කරගෙන ඉදිරියට යන වැඩපිළිවෙළක් හදමු කියලයි.”
වෙල්ගමගේ මෙම කතාවෙන් අනතුරුව ධනසිරි අමරතුංගත්, ලක්‍ෂ්මන් සෙනෙවිරත්නත් අදහස් දැක්වූ අතර, ලක්ෂ්මන් කතා කරද්දී කී කතාවකින් ලක්‍ෂ්මන් හා බන්ධුල අතර වචන හුවමාරුවක්ද සිදුවිය. ඒ මහින්දට වඩා ජනතාව 20 ඉල්ලන බවට ලක්‍ෂ්මන් කළ ප්‍රකාශයක් නිසාය. ඊට බන්දුල සිනාසෙමින් දුන් උත්තරය නිසා ලක්‍ෂ්මන් කීවේ “ඔබතුමා මට හිනා වුණාට රටම ඔබතුමාට හිනා වෙනවා” යැයි කියාය. එවිට බන්ධුල ඇසුවේ “මගේ මොන කතාවටද රටම හිනාවෙන්නෙ” යැයි කියාය.
“ඇයි ඔබතුමා කිව්වේ 2,500කින් පවුලකට මාසයක් කන්න පුළුවන් කියලා” යැයි ලක්‍ෂ්මන් කියද්දී තව අයකු කීවේ ඔබතුමා අධ්‍යාපන ඇමැතිවෙලා ඉන්න කාලෙ කුරුණෑගල රස්සා 4,000ක් තිබ්බා, එකක්වත් දුන්නෙ නෑ. අන්න දැන් ඒ ඔක්කොම පුරවලා” යැයි කියාය. විජිතමුණි සොයිසා, “එතුමා හරියට තාල වර්ගයේ ගහක් වගේ. මුලක් නෑ, අතුත් නෑ, ගෙඩිත් නෑ, නිකන් කෙළින්ම ගිහිල්ල උඩ විතරක් පොඩ්ඩක් තියෙනවා” යැයි කීවේ අවට සිටි සියල්ලන්ම හිනහගස්වමිනි. ඒ අස්සේ කෙහෙළියත් විවාදය මැද්දට සම්බන්ධ වෙද්දී මෛත්‍රි “19යි, 20යි, විශ්වාසභංගයි ගැන මෙතැන කතා කරන්න එන්න එපා. ඒවා පාර්ලිමේන්තුවෙදි කතා කරන්න” යැයි කියමින් පිරිස නිහඬ කරද්දී විපක්‍ෂ නායක නිමල් එම විශ්වාසභංග ඉදිරියේදී ගන්නවා යැයි කියමින් ඊට උත්තරයක් දුන්නේය.
ඉන් අනතුරුව කතා කළේ ඩිලාන්ය.
“අපේ පක්‍ෂය කඩන්න ශ්‍රී ලනිපයෙ නොවන කිහිප දෙනෙක්ට ලොකු උණක් තියෙනවා. ප්‍රශ්නවලට විසඳුම රට කඩන එක නෙවෙයි. අපි ඡන්දෙකට යනව නම් අපිට මාර්කට් කරන්න පුළුවන් බඩුවක් ඕන. අපි 94 මාර්කට් කළේ චන්ද්‍රිකා. අපි කැමැති වුණත් අකැමැති වුණත් මේ පාර අපට මාර්කට් කරන්න තියෙන්නෙ මහින්ද විතරයි. මේනිසා මම කියන්නෙ අපි මහින්දවත් එකතු කරගෙන මේ ගමන යමු කියලයි” යැයි ඩිලාන් කියද්දී සුසිල්ද පක්‍ෂයේ සමඟිය ඉලක්ක කරගෙන අදහස් දැක්වීමක් කළේය. ඒ අනුව අවසානයේ තීන්දු වූයේ මෛත්‍රිත් – මහින්දත් එකතු කිරීමේ කටයුතු ඇරැඹීමට කමිටුවක් පත්කරන්නටය. නමුත් ඒ කමිටු කතාවට එස්.බී. ගේ නම් වැඩි ප්‍රසාදයක් නොවීය.
‘කමිටු දාල මොනව කතා කරන්නද? මෛත්‍රි – මහින්ද මුහුණට මුහුණ හම්බවෙලා මේ ගැන කතාකරගත්ත නම් ප්‍රශ්නෙ ඉවරයි. වැඩිය කට්ටිය දාගත්තම ඕක වෙන්නෙ නෑ” යැයි එස්.බී. කියද්දී මහින්දට පක්‍ෂව කතා කිරීමට උපාලි කොඩිකාර නැඟිට්ටද සභාවෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ උපාලිට සිය අදහස් දැක්වීම නිසි ආකාරයෙන් අවසන් කිරීමට ඉඩක් ලැබුණේ නැත. පසුව කමිටුව පත් කෙරුණු අතර ඊට සුසිල්, අනුර, ජෝන්, ඩිලාන්, ටී. බී. හා වෙල්ගම ඇතුළත් වූහ. ජෝන් කීවේ එදිනම රාත්‍රියේදී තමන්ගේ නාවල නිවෙසේ මෙම කමිටුවේ පළමු රැස්වීම සූදානම් කිරීමට කටයුතු කළ හැකි යැයි කියාය.

මම තීන්දුවක් ගන්නවා: රාජිත අනතුරු අඟවයි

කෙසේ වෙතත් මේ ආකාරයට ශ්‍රී ල. නි. ප. රැස්වීමේදී මහින්ද – මෛත්‍රි යළි එකතු කිරීමට කිසියම් පිරිසක් දරන උත්සාහය ගැන දැඩි නිහඬතාවයෙන් යුතුව බලා සිටි එක්තරා පුද්ගලයෙක්ද සිටියේය. ඒ වෙන කවුරුවත් නොව අමාත්‍ය රාජිත සේනාරත්නය. ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්දව පරාජය කිරීමට තිරය පිටුපස දැවැන්ත මෙහෙයුමක් කොට මෛත්‍රි සමඟ මුලින්ම ආණ්ඩුවෙන් එළියට බට කණ්ඩායමේ රාජිතද සිටි නිසා මෛත්‍රි – මහින්ද යළි එකතු කිරීමට සිදුකෙරෙන මේ උත්සාහය පිළිබඳව ඒ වන විටත් රාජිත සිටියේ දැඩි කෝපයෙන් යුක්තවය. රාජිතගේ ඒ කෝපය ඒ අවස්ථාවේදී එළියට නොආවද රැස්වීම නිමවා එළියට පැමිණෙන විට මාධ්‍යවේදීන් හමුවේත්, ඉන් අනතුරුව මහින්ද – මෛත්‍රි හාද කරන්නට කැස කවන පුද්ගලයන් හමුවේත් රාජිත සිය කෝපය මුදාහරින්නට කටයුතු කළේය.
ඒ අනුව මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් රාජිතගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ කළද ඊට කිසිදු අනුබලයක් නොදැක්වූ රාජිත එම අවස්ථාවේදී එතැනින් පිටත් වූයේ, “අයිසෙ, කාටවත් බලෙන් ප්‍රකාශ ගන්න බෑ. මම දෙන්නෙත් නෑ.” යැයි කියමින්ය. ඉන් අනතුරුව පසුදා උදෑසනම රාජිත කළේ මෛත්‍රි – මහින්ද එකතු කරන මෙහෙයුම පිටුපස ඉන්නා පුද්ගලයන්ට කතා කිරීමය.
“අපි මෙතැනට ආවෙ රාජපක්ෂලගෙ හොරකම්වලට විරුද්ධව කතා කරලයි. ඡන්දෙ කාලෙ අපි මෛත්‍රිත් එක්ක ස්ටේජ් නැඟල කිව්වෙ රාජපක්ෂලව පන්නනවා කියලයි. එහෙම කියල දැන් අපිට මෛත්‍රිවයි – මහින්දවයි එකතු කරන තැන්වල රෙද්දක් ඇඳගෙන ඉන්න පුළුවන්ද? රාජපක්ෂලව අගමැති කරන්න ඕන කියල අපිට රෙද්දක් ඇඳන් කියන්න පුළුවන්ද. එහෙම කරන්න ආවොත් මම දේශපාලනයෙන් විශ්‍රාම යනවා.” යනුවෙන් කියමින් එහිදී රාජිත මේ සියලුදෙනාටම දැඩි ලෙස ‍ෙදාස් කීමට කටයුතු කළේය.
රාජිත මේ ආකාරයට මෛත්‍රි – මහින්ද හාද කරන්නට යන පිරිසට දැඩි ලෙස ‍ෙදාස් තබා ඇති බව හා එසේ වුවහොත් රාජිත දේශපාලනයෙන් ඉවත් වන බව මොහොතක් යන්නට මත්තෙන් ජනාධිපතිවරයාගේ කනටද වැටිණි. ඒ අනුව කලබලයට පත්වූ මෛත්‍රි හැරෙන තැපෑලෙන් වහාම රාජිතට දුරකතන ඇමැතුමක් දීමට කටයුතු කළේය. මුලින්ම ඊට පෙර දින පදනම් ආයතනයේදී මාධ්‍යවේදීන් හමුවේ සිදුවූ සිද්ධිය පිළිබඳව රාජිතගෙන් විමසා සිටි මෛත්‍රි ඉන් අනතුරුව මහින්ද සම්බන්ධයෙන් වන ඔහුගේ අදහස් විමසා සිටීමට කටයුතු කළේය.
මෙහිදී රාජිත තම ස්ථාවරය ඍජුවම සහ ඉතා සංවේදී ආකාරයට මෛත්‍රිට දැනුම් දීමට කටයුතු කළේය. යම් හෙයකින් එය එසේ සිදුවුවහොත් තමන් ගැනීමට තීන්දු කොට තිබෙන දේශපාලන තීරණ පිළිබඳව රාජිත එහිදී මෛත්‍රිට පැහැදිලි කිරීමටද කටයුතු කර සිටියේය.
නමුත් මෙහිදී මෛත්‍රිද රාජිතට පැහැදිලිවම තම ස්ථාවරය දැනුම් දී සිටීමට කටයුතු කළේය.
“නෑ… මමත් කීයටවත් ඒකට ඉඩ දෙන්නෙ නෑ. මට වුවමනා මේ පක්ෂයේ එකමුතුකම හදන්නයි. මේ පක්ෂය ඇතුළෙ දක්ෂතා තියෙන අය විශාල පිරිසක් ඉන්නවා. මට ඕන ඒ සියලු දෙනාම පක්ෂයේ උඩට අරගෙන බලතල දෙන්නයි” යනුවෙන් මෛත්‍රි එහිදී රාජිතට දැනුම් දී සිටියේය. රාජිතත් සමඟ එම දුරකතන ඇමැතුම නිමා කළ මෛත්‍රි ඒ වහාම ඇමැතුමක් ගත්තේ එස්. බී.ට ය.

තාත්තට නොදෙන බව මෛත්‍රි නාමල්ගේ මුහුණටම කියයි

පවතින තත්ත්වය පිළිබඳ එස්.බී. සමඟද කෙටි වේලාවක් අදහස් හුවමාරු කරගත් මෛත්‍රි ඉන් අනතුරුව තවත් විශේෂ පුද්ගලයකුටද ඇමතුමක් ගැනීමට කටයුතු කළේය. ඒ වෙන කවුරුවත් නොව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂටය. එසේ කතා කළ මෛත්‍රි නාමල්ට දැනුම්දී සිටියේ එදිනම රාත්‍රියේ පැමිණ සිය නිවෙසේදී තමන්ව මුණගැසෙන ලෙසටය.
ඒ අනුව නාමල්ද එදිනම රාත්‍රියේ මෛත්‍රිව මුණගැසීමට විජේරාම මාවතේ පිහිටි මෛත්‍රිගේ නිවෙසට ගියේ ඒ වන විට මතුව තිබූ තත්ත්වය මත යහපත් පණිවුඩයක් මෛත්‍රිගෙන් ලැබෙනු ඇති බවට වූ බලාපොරොත්තුවෙන් යුතුවය. නමුත් එම හමුවේදී මෛත්‍රිගෙන් ලැබුණේ නාමල් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිචාරයක් නොව ඊට හාත්පසින්ම වෙනස් වූ ප්‍රතිචාරයකි. මහින්ද – මෛත්‍රි එකතු කිරීම සඳහා පක්‍ෂය ඇතුළේ මොන කමිටු පත්කර තිබුණත්, ඊළඟ මහ මැතිවරණයේදී මහින්දට අගමැති අපේක්‍ෂකත්වය දිය යුතු බවට කවුරු මොන කතා කියා තිබුණත් මෛත්‍රි ඒ සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය පැහැදිලිව නාමල්ට දැනුම් දී සිටීමට එහිදී කටයුතු කළේය.
“මට හිටපු ජනාධිපතිතුමාට අගමැති අපේක්‍ෂකත්වය දෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි, මම තීන්දු කළා එතුමට නාමයෝජනා නොදෙන්නත්. ඒක ඔබතුමා ගිහින් තාත්තට කියන්න. මම තීන්දු කරල තියෙනවා මේ ගැන හිටපු ජනාධිපතිතුමා එක්ක මුහුණට මුහුණ හම්බවෙලා කතා කරන්න. එතැනදී මම මේ ස්ථාවරය එතුමට දැනුම් දෙන්න සූදානමින් ඉන්නවා” යනුවෙන් මෛත්‍රි කියද්දී නාමල් ඊට වැඩි යමක් කියන්නට ගියේ නැත.
කෙසේ වෙතත් මෛත්‍රි නාමල් ගෙන්වාගෙන මෙවැනි ස්ථාවරයක් දැනුම් දී ඇති බව මහින්ද – මෛත්‍රි එකතුකරන කමිටුවේ සාමාජිකයන්ටද දැනගන්නට ලැබිණි. ඒ වන විටත් ඔවුන් සිටියේ ජෝන්ගේ ගෙදර මුණගැසී මහින්ද අගමැති කළ යුතු බවට වූ යෝජනාව තවදුරටත් සාකච්ඡා කොට සම්මත කර මෛත්‍රිට ඉදිරිපත් කිරීමේ අරමුණෙන් යුතුවය. ඉදිරි මහ මැතිවරණයේදී මහින්දට ශ්‍රී ලනිපයෙන් නාමයෝජනා ලබාගැනීමටත්, අගමැති තනතුර විවෘතව තැබීමටත්, අගමැති තේරීමේ කටයුත්ත නව පාර්ලිමේන්තුවේදී තීන්දු කිරීමටත් ජෝන්ගේ නිවෙසේදී රැස්වූ මෙම කමිටුව තීන්දු කොට තිබිණි. සිකුරාදා (19දා) දිනයේදී මෙම කමිටුව හමුවීමට මෛත්‍රි කාලවේලාව දී තිබුණත් බ්‍රහස්පතින්දා (18දා) දින පැවැති කැබිනට් තීන්දු දැනුම්දීමේ ර��

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress