කරුවලගස්‌වැව කළුවර අතරින් අංජනම් එළිය සොයා ගිය ගමන
Posted on October 9th, 2015

ජයසූරිය උඩුකුඹුර  Courtesy Divaina
(තව කොටසක්‌ හෙට)

දිනපතාම වාගේ අලුත් ප්‍රවෘත්ති සොයමින් සිටින අපිට නොයෙක්‌ ප්‍රවෘත්ති ගැන ලියන්නට ලැබෙන්aනේය. ත්‍රාසය භීතිය මුසුවූ පුවත් එදා බොහෝ විට අපට ලියන්නට ලැබෙන්නේ නගරයේ සිටය. නමුත් අද ඈත පිටිසර ගම්මානවලින් අසන්නට ලැබෙන ඇතැම් පුවත් ලොවම මවිත කරවන තරම්ය.

වයස අවුරුදු තුනක දැරියක්‌ හුදකලාවේ අලි, කොටි, වළසුන්ගෙන් ගහණ වනයක්‌ මැද කිලෝ මීටර් 15 ක්‌ ඇවිද ගොස්‌ අතරමංව පසුව මධ්‍යම රාත්‍රිය ද පසුව තිබියදී සොයාගත් පුවතින් ත්‍රාසය, භීතිය මෙන්ම විමතිය ද එක්‌කොට ඔබට කියන්නට අපට අවස්‌ථාව ලැබුණේය. මේ සිදුවීම පුවතට එහා ගිය යම් සිදුවීමක්‌ ඇති බව අප තේරුම් ගත්තේ එම පුවත පුරාවට මතුව පෙණුන අද්භූත සිදුවීම් පෙළක්‌ නිසාය. ලොව වෙනත් රටවලට වඩා අපේ රටේ පාඨකයන් පුවතක්‌ පසුපස හඹා යමින් එහි “අලගිය මුලගිය” තැන් කියවන්නට දක්‌වන රුචිය නිසාම අපි මේ පුවතට පසුබිම් වූ කරුවලගස්‌වැව ප්‍රදේශයට පෙරේදා (07 දා) ගියේ ඒ යටගියාව මතු කර ඔබට කියන්නටය.

පාන්දර 4.20 ට හලාවත, පුත්තලම හරහා අනුරාධපුරයට යන බසයකට මම පිටකොටුවෙන් ගොඩ වීමි. කරුවලගස්‌වැවට ගියෙමි.

අපේ සහෝදර මාධ්‍යවේදී හේමන්ත රන්දුණු පෙරදා රාත්‍රියේම පුත්තලම සහකාර පොලිස්‌ අධිකාරි ජයන්ත නානායක්‌කාර මහතාට කතා කොට මගේ පැමිණීම ගැන දන්වා තිබූ නිසා පොලිසිය මගේ පැමිණීම ගැන දැන ගෙන සිටියේය.

නගරයේ පොලිසියට වඩා ගමේ පොලිසිය කොතරම් වෙනස්‌ද? කතා බහ, පිළිගැනීම, ආගන්තුක සත්කාර මට මහත් සැනසීමක්‌ විය. පොලිස්‌ ස්‌ථානාධිපති නුවන් පෙරේරා මහතාගේ ආගන්තුක සත්කාරවලින් උදේ ආහාර වේල පිරිමසා ගත් මම ඔහුගේ සහයද ඇතිව දිනිති දැරිය කැලයේදී සොයා ගැනීමට කැප වූ පොලිස්‌ නිලධාරීන් සමඟ ද කතා බස්‌ කළෙමු.

“අපි එදා රාත්‍රී රාජකාරි සඳහා සූදානම්ව ඉන්නවිට 6.30 විතර කෙනෙක්‌ ඇවිල්ලා ළමයෙක්‌ අතුරුදන්වෙලා කියල කීවා. අතුරුදන්වෙලා තිබුණේ ගෑනු දරුවෙක්‌. මම ඒ වේලාවේ අනෙක්‌ රාජකාරි පසෙක තියලා නිලධාරීන්ට තුවක්‌කු සමග සූදානම් වෙන්න උපදෙස්‌ දුන්නා. අපි මේ දැරියගේ නිවසට යන කොටත් රාත්‍රි 7.00 පමණ උනා. මුළු ගමම එකතුවෙලා දරුවා හොයනවා. දැරිය කැලේට රිංගල කියලා අපිට දැනුණා. ගම්මු කැලේ ඇතුළේ රෑට ඇවිදින්න බයයි. දහවලටත් අලි මෙන්ම වෙනත් වන සතුන් ගැවසෙන කැලයක්‌ මේක. නමුත් මම ගම්මු උනන්දු කළා. පොලිසිය ඉන්න නිසා බය වෙන්න එපා. අපිත් එක්‌ක යමු කියලා. කැලේ ඇතුළේ අඩි පාරවල් කීපයක්‌ තිබුණා. ඒ නිසා පොලිසියත් ගම්මුත් කණ්‌ඩායම් තුනකට බෙදලා තුන් පැත්තකට කැලේ ඇතුළේ ගමන් කළා.

මේ අතරේ තමයි ගම්මුන් ගමේ තියෙන දේවාලයකට ගිහිල්ල ශාස්‌ත්‍ර අහලා තිබ්බේ. ශාස්‌ත්‍ර අහපු අයට දේවාලයෙන් කියල තිබුණා කැලේ නැගෙනහිර පැත්තට තමයි දරුවා ගමන් කරන්නෙ කියලා. ඒ පැත්තට පොලිසියේ අමිල ඇතුළු පිරිසක්‌ පිටත් කළා. එදින ප්‍රදේශයේ පින්න වැටුණු දිනයක්‌ නිසා පොළොව තෙත් වෙලා තිබුණේ. ඒ නිසා දැරිය කැලේ ඇතුළේ ගියත් අඩි සලකුණු තියෙන්න ඕනේ. දේවාලයෙන් කියපු විදිහට ගම්මු කැලේ ඇතුළට යනකොට අඩි සලකුණු දකින්න ලැබිලා. ඒ අඩි සලකුණු ඔස්‌සේ අපේ කණ්‌ඩායම් ඉදිරියට ගියා. එක තැනක දිය කඩිත්තක්‌ තිබුණා. අපේ අය ඒකට බැස්‌සාම අපේ දණහිසටත් උඩින් වෙන්න දිය කඩිත්ත ගැඹුරුයි. එතැනින් ගොඩවෙලා බැලුවාම ආයෙත් දැරියගේ පා සලකුණු තිබුණා. අඩි 3 ක්‌ පමණ උස වයස අවුරුදු 3 ක දැරියක්‌ මේ ගැඹුරු දිය කඩිත්තෙන් එගොඩ උනේ කොහොමද? අපිට කැලේ ඇතුළේදී හැඟුණේ පොලිසිය නොමග යවලා අපිත් අමාරුවේ දාන්න කවුරු හරි කටයුතු කරලාද කියලයි. අපි ඒ ගැන ගම්මුන්ට නොකියා ඕනෑම දේකට සූදානමින් දැරියගේ අඩිපාර දිගේ ගියා. නමුත් කැලේ ඇතුළේ තණබිස්‌සක්‌ හම්බ වෙනවා. මිසක්‌ එතැන අඩි පාර නෑ. දැන් ආයෙත් අපි අසරණ වුණා.

මේ අතර ආයෙත් ගම්මු දේවාලයේ ශාස්‌ත්‍ර අහන්න ගිහින්. ඔන්න දැන් කියනවා ශාස්‌ත්‍රයට කෙලින්ම තණබිස්‌සේ ඉදිරියට යන්න කියලා. දැන් ශාස්‌ත්‍රකාරියත් අපත් අතර සංවාදය ජංගම දුරකථන හරහා තමයි සිද්ධ වෙන්නෙ. ඒ අනුව අපි ඉදිරියට ගියා. දේවාලයේ ඉන්න අය කීවා ගම්මුන්ට දැරිය ගල්තලාවක්‌ ළඟ කටු පඳුරක්‌ අස්‌සේ ඉන්නෙ කියල. අපි ඉදිරියට ගියාම ගල්තලාව හමු වුණා. මේ වෙන කොටත් අපි කිලෝ මීටර් 12 කට වැඩිය ඇතුළට ඇවිල්ලා හිටියේ. වේලාව රාත්‍රි 2.00 ට පමණ. දේවාලයෙන් කියල තිබුණේ දැරිය පිපාසාවෙන් ඉන්න නිසා වතුර බොන්න වැවට යන්න පුළුවන්. එහෙම උනොත් දැරිය හොයා ගන්න බැරි වෙයි කියලයි. අපි ගල්තලාව ළඟ පුංචි වනරොද සම්පූර්ණයෙන් වට කළා. ඒ තුළ හිටපු දැරිය අපිට බේරාගන්න පුළුවන් උනා.

කවුරු මොනවා කීවත් මේ පොලිසියට මග පෙන්වීම ලැබුණේ දේවාලයෙන්. මේක අද්භූත සිද්ධියක්‌ කියලයි අපි හිතන්නේ. ඒ මොකො වුණත් විවිධ පැති ඔස්‌සේ අපි පරීක්‍ෂණ කර ගෙන යනවා. කොහොම නමුත් දැරිය බේරා ගන්න ලැබුණේ එයාගේ පිනක්‌ තිබුණු නිසාත් අපේ නිලධාරීන් ගම්මුන්ද ධෛර්මත් කර රාත්‍රි පුරාවට කැලයේ සෝදිසි කළ නිසාත් කියලයි මම හිතන්නේ. තව රසවත් අද්භූත කතා ගමේ අය දන්නවා. ගමට ගිහිල්ලම දැන ගන්නකෝ. මේ විස්‌තරය කළ පොලිස්‌ ස්‌ථානාධිපති නුවන් පෙරේරා මහතා අවසානයේදී කීවේය.

“මම ඔහුගෙන් සමු ගත්තේ ඔහු මට හඳුන්වා දුන් මග පෙන්වන්නා සමග පහරිය ගම ඇතුළට යන්නටය. පොලිසීයේ සිට කිලෝ මීටර් 15 කට වැඩිදුරක්‌ ගමට යා යුතුයි. අපි මෝටර් බයිසිකලයකින් ගමන ඇරඹුවෙමු. බසයක්‌ ධාවනය නොකරන මේ මාර්ගයේ ගම්මුන් නගරයට එන්නේ ත්‍රිරෝද රථ හෝ බයිසිකල් වලිනි. සැබැවින්ම මෙය හුදෙකලා ගමක්‌ බඳුය. අප යන අතරේ අතර මග හමුවූ ගම්මුන්ට මගේ මිත්‍රයා මාව හඳුන්වා දුන්නේ “මේ මහත්තයා පත්තරෙන්. අර ළමයා කැලේ අතරමං වෙච්ච කතාව ගැන ලියන්න ඇවිල්ලා. අපි දැන් ගමේ දේවාලයට යන්නෙ”යනුවෙනි. අපි දේවාලයට යන විටත් එහි බොහෝ පිරිසක්‌ ඇති බව තේරුම් ගියේ දේවාලයට ඇතුල් වන අඩි පාර ආරම්භයේ වාහන, බයිසිකල් කීපයක්‌ම නතර කර තිබූ බැවිණි. අප අපේ මෝටර් බයිසිකලය එහි නතර කර පා ගමනින් දේවාල භූමියට පියමැන්නෙමු. කැලෑ බදව පිහිටි මේ දේවාලය කුඩා කාමරයක පවත්වා ගෙන යන්නෙකි. දේවාලය ඉදිරිපස කැලේ රූස්‌ස ගසකි. නමුත් එහි අතු කපා දැන් කුඩා අතු ඉති විහිදී ඇත. ගස පුරාම ලෙලි පොල් එල්ලා ඇත. ගසේ එක්‌ පසෙක පහනක්‌ තැබීමට රතු තිර යොදා සකස්‌ කළ කුඩා කුටියකි. ඈත දුර ප්‍රදේශවලින් මෙන්ම ගම්මුද අප එහි යනවිටත් තම දුක්‌ ගැනවිලි දෙවියන්ට කියා පිහිට ලබා ගැනීමට පැමිණ සිටියහ. මට දේව ගැති මෑණියන් සමග කතා කරන්නට ඕනෑ විය. නමුත් ඇය දේවාලයේ රාජකාරි නිම කරන්නට තවත් හෝරා කීපයක්‌ ගත වන බව එහි ආවතේව කරන තරමක තරුණ කාන්තාව කීවාය. මේ නිසා මම එහි සිටි ගැමියන් සමග දැරියගේ කැලය මැද අද්භූත ගමන ගැන කතා කළෙමි.

මැය එහිම පදිංචිකාරියකි. දැරිය නැතිවූ දින ඇය සොයා ගන්නට දේවාලයේ සහය ලබා ගැනීමට රාත්‍රි 12.00 ට දේවාලයට පැමිණ ඇති ඇය නමින් ඩී. එම්. ඉනෝකා ය. වයස අවුරුදු 24 කි. මේ ඇය අපට කියූ කතාවය.

“සිද්ධිය වූ දිනයේ හවස 4.00 ට විතර අපිට ආරංචි උනා. සුද්දී (දිනිති දැරියට කියන සුරතල් නම) ගෙදර නෑ කියලා. අපිත් ගියා. ගෙදර වටේ කැලෑව හැමතැනම බැලුවා. හිටියේ නෑ. ඒ අතර අපි ළමයි දෙන්නෙක්‌ ගමේ දේවාලයට යවලා බලන්න කීවා. තවත් කෙනෙක්‌ පොලිසියට පැමිණිලි කරන්න ගියා. පොලිසියෙන් එන කොටත් ගම්මු කැලේට ගිහිල්ලා දරුවා සොයා ගන්න බැලුවා. රාත්‍රි නිසා සත්තු ඉන්න කැලේක ගම්මු ඇතුළට යන්න බය උනා. නමුත් පොලිසියේ මහත්වරු ඇවිත් ගම්මු උනන්දු කරවා ගෙන කැලේට ගියා. ඔය අතර දේවාලයට ගිය අයට කියලා තිබුණා දරුවා කැලේ ඇතුළේ නැගෙහිර දෙසට ගමන් කරනවා කියලා. පිරිමි අයට කතා නොකර ගෑනු කෙනෙක්‌ කතා කරන්න කියලා. දේවාලයෙන් පොල් ගෙඩියක්‌ පහනක්‌ දීලා තිබුණා. පොල් ගෙඩිය ළමයා මුණගැහුණාම ආපසු දේවාලයට අරන් එන්න කියලත් තිබුණා. නමුත් ගිය ළමයි අතින් පොල් ගෙඩිය බිඳිලා. දැන් වේලාව රාත්‍රී 12.00 ට විතර ඇති. මුළු ගමම පොලිසිය එක්‌ක කැලේ ඇතුළේ.

මම ආයෙත් දේවාලයට ආවා. ඒ මෑණියෝ වයසයි. එයා ගෙදර නිදාගෙන හිටියේ. බයිසිකලේකින් ඒ මෑණියෝa දේවාලයට එක්‌කර ගෙන ඇවිල්ලා තමයි රුපියල් 5/- ක්‌ බුලත් කොලේක තියල දීලා ශාස්‌ත්‍ර ඇහුවේ. ඒ එන කොට ළමයා කැලේ නැගෙනහිරින් උතුරු පැත්තට ගිහිල්ල කීවා. අඩි සලකුණු තියෙනවා. කීවා. අපි ඒ තොරතුරු කැලේ ඉන්න අයට දුරකථනයෙන් කීවා. නමුත් අඩිපාර තණ පිට්‌ටනියකදී නැතිsවෙලා කියල කැලේ ඉන්නඇයට කීවාම ආයේත් අපි දෙවියන්ගෙන් ඇහුවා. ඒ පාර තමයි ඒ තණපිටිය මැදින් කෙළින්aම ගමන් කරන්න කීවේ. දැරිය තණ බිමේ තුන්පොළක සෙම දාලා කියලත් කීවා. තණ බිම කෙළවරේ කැලය ඇතුළේ ගල් තලාවක්‌ පාමුල කටුපඳුරු අස්‌සේ දැරිය ඉන්නවා කීවා. අපි ඒ තොරතුරු කැලේ ඉන්න අයට කියන ගමන් දේවාලයෙන් දුන්නු පහනක්‌, පොල්ගෙඩියක්‌ සහ දෙහි ගෙඩියත් අරගෙන දැරියගේ ගෙදරට ගියා. පහන නිවෙන්නෙ නැතුව ආරක්‍ෂා කළා. ඒ වගේම දේවාලයෙන් කීවා දැරියට ගෑනු කෙනෙක්‌ කතා කරන්න කියලා. එවිට දැරිය කතා කරයි කියලා. අපි කැලේ හිටිය අයට ඒ සියල්ල තේරුම් කරලා දුන්නා. දේව හාස්‌කමට තමයි දරුවා හම්බ උනේ. දේවාලයෙන් කීවා හරි. දරුවා ඉඳලා තියෙන්නේ අංජනමෙන් කී විදියටම කටු ගොන්නක්‌ අස්‌සේ.

මේ දරුවාට කැලේදී කතා කළේ මනෝරි සේනාරත්න මහත්මියයි. ඇය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික කුමාර ජයලත් මහතාගේ බිරිඳයි. ඇය සමග අපි ඇගේ අත්දැකීම බෙදාගත්තෙමු. දරුවා නෑ කීවාම අපිත් ගියා. ඒ වෙලාවේ අපි දෙන්නා නාන්න වැවට ගිහිල්ල හිsටියේ. දරුවා අතුරුදන් කීවාම අපි දෙන්නා ඒ පැත්තට යන කොටත් ගමේ අය පිරිලා. පොලිසියත් ආවා. අපි දෙන්නත් පොලිසියත් ගමේ අය එක්‌ක කැලේට ගියා. මමත් මගේ මහත්තයත් වාසනාවකට වගේ දැරිය ගිය පැත්තට යන කණ්‌ඩායමට තමයි එකතු වුණේ. මුලදී කණ්‌ඩායම් තුනකට බෙදිලා තමයි කැලේට ගියේ. දේවාලේ තොරතුරුවලට අනුව දැරියගේ පා සටහන් තිබුණේ අපේ කණ්‌ඩායම ගිය පාරේ.

දේවාලයේ ඉන්න අය අපිට දුරකථනයෙන් දුන් උපදෙස්‌ අනුව ගල්තලාව ළඟට ගිහිල්ලා මම “සුද්දී මගේ පුතේ ඔයා කොහේද?” කියල ඇහුවා. එතකොට වනයම දෙදරුම් කන තරමේ දොaංකාරයක්‌ එක්‌ක “එන්නකෝ” කියල කීවා. ඒ ශබ්දයට අපි හැමෝම බය වුණා. ඇඟේ හිරිගඩු පිපුණා. පොලිසිය අවි අමෝරා ගෙන අපේ බය නැති කළා. ඔවුන් ඒ ශබ්දය ආව ප්‍රදේශය ගම්මු එක්‌ක වට කළා. මම ආයෙත් “සුද්දී, පුතා ඔයා කොහේද?” කියල ඇහුවා. ඒකට හඬක්‌ ආවෙ නෑ. මම නැවතත් කතා කළා. ඒ පාර “ඕ” කියල අපි හිටිය ළඟම කටු කැලේ අස්‌සෙන් ශබ්දයක්‌ ආවා. පොලිසියත් අපේ කට්‌ටියත් එක්‌ක ඒ තැන වට කරලා බලන කොට කටු කැලේ අස්‌සෙ හුඹසක්‌ වගේ තැනක දරුවා හිටියා. මගේ මහත්තයා එක පාරට පැනල කටු කැලේ අස්‌සෙන් ළමයා එළියට ගන්නකොට ළමයා ගැහෙන්න ගත්තා. ඒ වේලේ ළමයා මගේ අතට ගත්තාම ගැහිල්ල නතර උණා. ළමයාගේ ඇඟේ මඩවත්, තෙතමනයවත්, තුවාලවත් තිබුණේ නෑ. අපි ළමයත් අරගෙන කැලෙන් එළියට එනකොටත් වේලාව පාන්දර 3.00 ට විතර ඇති. එදා දවසේ කෑමක්‌වත් වතුර ටිකක්‌වත් නැතිව ගමේ අයයි පොලිසියේ අයයි මහන්සි වෙලා දරුවා හොයා ගත්තෙ දේවාලයේ මෑණියන්ගෙන් හරියට තොරතුරු කිය වුණ නිසා යෑයි මනෝරි කීවාය.

දේවාල භූමියේ තවමත් අපි රැඳී සිටියෙමු. තවමත් දේවගැති මෑණියන්ගේ දේව රාජකාරිය ඉවර නැත. නමුත් ඇගේ කටයුතු නිම වනතුරු සිටිය නොහැකි නිසා ඒ වනවිටත් පෝලිමේ සිටි අයගෙන් අවසර ගෙන මම ද බුලත් අතක රුපියල් 100 ක්‌ තබා දේව මැණියන්ගෙන් තොරතුරු විමසන්නට අවස්‌ථාව ලබා ගත්තෙමි. (මා බුලත් අත ඉල්ලා ගත්තේද එහි පැමිණ සිටි අයකුගෙන්ය.)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress