මේ මෙරට බිහිසුණුම –දුර්දාන්තම ආණ්ඩුවයි – නීතිඥ කල්‍යාණන්ද තිරාණගම
Posted on October 29th, 2015

සටහන : දර්ශන යූ මල්ලිකගේ යුතුකම සංවාද කවය

සැබෑ විපක්ෂයේ හඬ නිහඬ කරමින් , ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ,විරුද්ධ මතධාරීන් මර්ධනය කරමින් ,රට අධිරාජ්‍යවාදයට පාවාදෙමින් මේ තිබෙන්නේ ඉතිහායස පුරාම මෙරට පැවති බිහිසුණුම ,දුර්දාන්තම ,ද්‍රෝහීම ආණ්ඩුව බවනීතිඥ  කල්‍යාණන්ද තිරාණගම මහතා පෙන්වා දෙයි.

ඒ නිසා බය නොවී මේවාට මුහුණ දෙමු.මේ රට බේරා ගැනීමට වැඩ කරමු කියන කාරණයයි මම ඔබට කිව යුත්තේ.

පසුගියදා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී යුතුකම සංවාද කවය සංවිධානය කළ බිල්ලො ඇවිත් සම්මන්ත්‍රණයේ විශේෂ දේශනයක් පවත්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කල්‍යාණන්ද තිරාණගම මහතා:

මේ ආණ්ඩුව මේ රටේ පහල වුණු බිහිසුණුම ආණ්ඩුව. මොකද ආණ්ඩුවක් කරන්න ඕනෑ පළවෙනි දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම.මේ ආණ්ඩුව පටන් ගත්තෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා.දිගින් දිගටම මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටිනවා.ජනාධිපතිවරයා දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා.ඒ වගේම පාර්ලිමේන්තුව නිහඬ කරන්නට උත්සාහ ගන්නවා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතාකරන්න දෙන්නේ නෑ.පාර්ලිමේන්තු බලතල උදුරගන්න උත්සාහ කරනවා. මේ සියල්ල කරන්නේ ඇයි?

එසේම තව දෙයක් කිව යුතුයි , මේ කතාකරපු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, දූශණය පිටු දැකීම කියන එකක්වත් මේ ආණ්ඩුව තුල නෑ.

මම මේ කියන කාරණා සනාත කරන්න පුලුවන් කරුණු මගෙ ලඟ තියෙනවා, නිසා මට කියන්න පුලුවන් බයක් සැකක් නැතුව. පොඩි උදාහරණයක් අරන් බලන්න,නීතිය පාවිච්චි කරනවා දේශපාලන පළිගැනීම උදෙසා ආණ්ඩුවේ නායකත්වයට එරෙහිව කතාකරන සහ කරුණු දක්වන අය නිහඬ කිරීමට.

පොඩ්ඩක් ඔබ කල්පනා කරල බලන්න ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා රිමාන්ඩ් කිරීමේ සිද්ධිය. ඔහුව රිමාන්ඩ් කරේ මොකටද? 1999 වසරේ වෙච්ච වරදක් නිසාලු. 1999 වසරේ වරදක් උනානම්, එහෙම මිනී මැරුමක් උනා නම්, 2001 සිට 2004 වසර දක්වා එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවක් තිබුනා.ඒ එක්සත් ජාතික පක්ශ ආණ්ඩුව මේ ගැන කටයුතු කලේ නෑ. කරන්න බැරි නිසාද?

එහෙනම් මොකද්ද මේ කරේ?ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ බලතල උදුරගන්නකොට ඊට විරුද්ධව කතාකරපු මිනිහා තමයි ජනක බණ්ඩාර තෙන්නකෝන්. ඔහුගෙන් පලිගැනීම සඳහා කරන වැඩයි මේ. මේවා රටක සිදු නොවිය යුතු දේවල්.මේකෙන් පේනවා කොහෙටද මේ රට ගෙනියන්න හදන්නේ කියලා. සියලු විරුද්ධවාදීන්ගේ කට වහලා බලහත්කාරයෙන් මේ රට විජාතික කරණය කිරීමේ වැඩ පිලිවෙල තමයි මේ ක්‍රියාත්මක කරන්නේ.මේ ක්‍රමය දිගටම පැවතුනොත්, මට තේරෙන විදියට 2020 වෙනවිට ශ්‍රී ලංකාද්විපය කියන එක ඉතුරුවෙන එකක් නෑ.

එකක් ,ඉන්දියාවත් සමග ඔය කියන පාලම සහ උමග හැදුවොත්,මේ රට තව දුරටත් ද්වීපයක් වෙන්නෙ නෑ, එතකොට ද්වීපය ඉවරයි. ඉතිහාසයේ මුලුල්ලේම පැවතිලා අපේ රටේ අනන්‍යතාව ආරක්ශා උනේ පෝක් සමුද්‍ර සන්ධිය නිසා.ඒක නැති කරල මේ රටවල් දෙක එකතු කරන්න හදනකොට,ඉන්දියාවේ ඊලඟ ප්‍රාන්ත රාජ්‍ය ශ්‍රී ලංකාව වීම වලක්වන්න බෑ. ඒ විතරක් නෙවෙයි, ඒත් සමගම මේ රට තව කෑලි තුනකට හතරකට කැඩීම වලක්වන්න බෑ ,පැහැදිලියි ඔය ජිනීවා යෝජනා වල ඉලක්කයත් ඒක.ආණ්ඩුව සමග හවුල් වෙලා ඉන්න බොහෝ දේශපාලන බලවේග වල ඉලක්කයත් ඒක.

එතකොට තවදුරටත් මේ ශ්‍රී ලංකාද්වීපය ඒකීය රටක් වශයෙන් පවතිනෙ නෑ, ඒ විතරක් නෙවෙයි තව බොහෝ දේ අහිමි වෙනව අපිට.ඔබ දන්නවාදැයි මම දන්නෙ නෑ, 2002 දී රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආණ්ඩුව නීතියක් ගෙනාවා ලංකාවේ ජල සම්පත විකුනලා දාන්න. ඒ වෙලාවෙදි මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ඒ පනතට විරුද්ධව. ඒකෙදි කොළඹ තියෙන IWMI ( International Water Management Institute ) කියන ආයතනය වාර්ථාවක් ඉදිරිපත් කලා.ඒ ආයතනය එකදහස් නවසිය අනූ ගනන් වල ඇමරිකාවෙ පිහිටවපු එකක්. මොකද්ද ඒ වාර්ථාවෙන් කියන්නෙ, වසර 2020 වෙනකොට ආසියාවේම බීමට සුදුසු පිරිසිදු ජලය ඉතිරිවෙන්නෙ ලංකාවේ පමණයි.

එතකොට ජල සම්පත තෙල් වලට වඩා වටින දෙයක් වෙනවා.ඒ වටිනාකම කලින්ම දැකලා මොවුන් ඒ සඳහා පර්යේශණ කිරීමේ මධ්‍යස්ථානයක් ලංකාවේ පිහිටෙවුවා. ඒ මධ්‍යස්ථානය මගින් සැලැස්මවල් හදලා ඒ සම්පත කොල්ලකෑම සඳහා කල් ඇතුවම ලෑස්ති උනා.

ඒ වගේමයි අපේ ජෛව සම්පත කොල්ලකෑමට ලෑස්තිවීම.සිංහරාජ වනය කියන්නෙ ලෝකෙටම වටින ජෛව සම්පත අතින් අනූන වනාන්තරයක්.2003වසරෙදි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආණ්ඩුව කාලෙ සිංහරාජෙ ඇතුලෙ සියලුම ලඳු කැලෑ තිස් අවුරුද්දකට ඇමරිකාවට බදු දීමට වැඩපිලිවෙලක් ලක ලෑස්ති උනා.ඒක කරන්න ලැබුනේ නෑ රටේ ජනතාවගෙන් එල්ල වුනු විරෝධය නිසාත් 2004වසරේදී ආණ්ඩුව පෙරලුනු නිසාත්.

අන්න ඒ වගේ මේ රටේ පැවැත්මට ඉතාම භයානක විදියට බලපාන දේවල් සිදුවේගන යනවා මේ ආණ්ඩු කාලය තුලත්.

ඒ නිසා මේ ආණ්ඩුව ගෙනයන මේ වැඩපිලිවෙල පරාජය කිරීමට කටයුතු කිරීම මේ රටේ සකල දේශප්‍රේමී ජනතාවගේ යුතුක්මක්,වගකීමක්.ඇත්තවශයෙන්ම ඒ සම්බන්දයෙන් කරන්න බොහෝ දේවල් තියෙනවා.තියෙන කනගාටුවට කාරණය වන්නේ ඒ සම්බන්දයෙන් යමක් කල යුතු ,කල හැකි පිරිස් එ සම්බන්දයෙන් කිසිවක් නොකර සිටීම.

උදාහරණයක් වශයෙන් ගත්තොත් , අර අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂනයක් කලා කියල අපේ ස්වාමීන් වහන්සේලා 14 නමකුත්, තවත් මංත්‍රීවරු ඇතුලු පිරිසකුත් අත් අඩංගුවට ගත්තා.ඇත්ත වශයෙන්ම මේක පොලීසිය කරපු අත්තනෝමතික ක්‍රියාවක්, පොලිසියට එහෙම කරන්න බෑ.මම ඒ අවස්ථාවේ එතන හිටපු නාමල් වගේ මංත්‍රී වරුන්ගෙන් ඇහුව ඇයි ඔයගොල්ලෝ මේවට නිහඬව ඉන්නේ, මේ පොලීසියෙ ඔ අයි සී ට විරුද්ධව දාන්න මූලික අයිතිවාසිකම් නඩුවක්,මොකද එක තැනක පෙලපාලි තියන්න දෙනවා, තව තැනක වලක්වනවා උසාවි නියෝග අරගෙන. නීතිය භුක්ති විඳීමේ සමාන අයිතිවාසිකම කඩ වෙනවා එතන.

එහෙම කරන්න ඉඩ දෙන්න බෑ.මේක වලක්වන්න තිබුනා.ඒ විතරක් නෙවේ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රීලංකා නිදහස් පක්ශයේ මධ්‍යම කාරක සභාව රැස් වෙන එක වලක්වලා උසාවි නියෝගයක් ගත්තා,ඊට පසුවෙනිදම උසාවි ගිහින් ඒකට උත්තර බඳින්න තිබුනා, ඒව කරේ නෑ. පක්ශෙ ලේකම් එලියට දානකොට ඒකට විරුද්ධව කටයුතු කලේ නෑ.ඒ වගේ කලයුතු දේවල් වෙලාවට කලානම් මේ ගොඩක් දේවල් වලක්වගන්න තිබුනා.තියෙන අවාසනාව තමයි දේශපාලනයට සම්බන්ද නීතීඤ්ඥයන් ඉන්නවා, ඔවුන්ට මේවායේ පෙරමුණ ගන්න තිබුනා, මේවා වලක්වගන්න තිබුනා,. අපේ උසාවි වල තවමත් සෑහෙන ස්වාධීනත්වයක් තිබෙනවා.ඒවා පාවිච්චි කරන්න තිබුනා, මොකද එක පොලිස් නිලධාරියෙක් අත්තනෝමතික විදියට වැරදි දෙයක් කලානම්, ඒකට පියවර ගත්තනම්, ඊළඟ නිලධාරියා ඒ වගේ දෙයක් කරන්න කලින් දෙපාරක් හිතනවා.

ඒ නිසා මට කියන්න උවමනා, මේවට බය වෙන්න අවශ්‍ය නෑ. නඩු දානවා කියල බය කරාට බය වෙන්න ඕනෙ නෑ.නඩු දානවනම් ඕන තරම් නඩු දාන්න පුලුවන්.නඩුව ගෙනියන්න පුලුවන් ඊළඟ ආන්ඩුව වෙනස් වෙනකම්.මොකද ලංකාවෙ නඩු අහන පිළිවෙලට අවුරුදු දහයක් පහලවක් යනවා නඩුව අහලා ඉවර වෙන්න,එතකොට රටේ පාලන තන්ත්‍රය වෙනස්වීමත් එක්ක නඩු දාපු මිනිස්සුන්ටත් විරුද්ධව නඩු දාන්නට කාරණා එකතුවෙලා තියේවි.

ඒ නිසා බය නොවී මේවාට මුහුණ දෙමු.මේ රට බේරා ගැනීමට වැඩ කරමු කියන කාරණයයි මම ඔබට කිව යුත්තේ.

 

සටහන : දර්ශන යූ මල්ලිකගේ

යුතුකම සංවාද කවය

https://www.lankaleadnews.com/speech

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress