යුද හමුදා රෝහලේදී
Posted on March 9th, 2016

වෛද් රුවන් එම් ජයතුංග

2002 වසරේ සිට 2006 දක්වා මම කොලඹ යුද හමුදා රෝහලේ මානසික රෝග අංශයේ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ සේවය කලෙමි. මේ කාලය තුලදී ලංකාවේ යුද හමුදා සොල්දාදුවන් අතර පැතිරී ගිය යුද ආතතිය පිළිබඳව අධ්‍යනය කිරීමට මට හැකි විය​. 

මේ කාල සීමාව තුලදී  තුලදී මෙම අත්දැකීම් අලලා මම පොත් කීපයක් ලිව්වෙමි. එවා අතරින් Shell Shock to Palali Syndrome  ප්‍රධාන වේ. ලංකාවේ යුද හමුදා සොල්දාදුවන් අතර PTSD යනුවෙන් හඳුන්වන පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය අප දුටුවෙමු. මෙකී සොල්දාදුවන් සඳහා අප ඖෂධ මෙන්ම මනෝ ප්‍රතිකාරයන් යොදා ගත්තෙමු. එසේම යුද ආතතියට සාර්ථකව ප්‍රතිකාර කිරීමට විශේශ ඒකකයක් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කලෙමු. 

armyhospital

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ඊලාම් යුද්ධය විසින් කායිකව මානසිකව භක්‍ෂනය කරන ලද සොල්දාදුවන් අප දුටුවෙමු. එක් ලුතිනන්වරයෙකු පශ්චාත් වියසන ක්ලම්ථ අක්‍රමථාවයට ගොදුරු වී තිබුනේ ඔහුගේ දෙනෙත් ඉදිරියේ ඔහු සමග සිටි සොල්දාදුවන් සත් දෙනෙකු අර්ටිලරි ප්‍රහාරයක් නිසා කැබලී වලට විසිවී යනවා දැකීමෙනි. මෙම අර්ටිලරි ප්‍රහාරය නිසා ඔහුට කායිකව හානියක් නොවීය​. ඒ ඔහු ලිඳක් අසල සිටි නිසාවෙනි. කොන්ක්‍රීට් ලිං බැම්ම නිසා මෙම ලුතිනන් වරයාගේ දිවි ගැලවිනි. එහෙත් මෙම ක්‍ෂිතිමය අත්දැකීම නිසා ඔහු මානසික වශයෙන් කම්පනයට පත් විය​. ඔහු තුල ඇම්නීසියාව හෙවත් විස්මෘතිය ඇති වූයෙන් පරන්තන් සිට කොලඹ යුද හමුදා රෝහලට ඔහුව ගෙන ආ අයුරු පිළිබඳ මතකයක් නොවීය​. මේ සිද්ධියෙන් පසු ඔහුට එකී සිදුවීම සිහිනයෙන් පෙනීම​, සමහරක් විට භ්‍රාන්තියක් ලෙසට දර්ශනය වීම​, එම අද්දැකීම් ලැබූ ස්ථාන පුද්ගලයන් මඟ හැරීම​, විශාදය​, සුළු ශබ්දයකටත් තිගැස්ම , ජීවිතාශාවෙන් තොර වීම වැනි බොහෝ කාංසාමය ලක්‍ෂණ මතු විය​. අප වසර කීපයක් නොකඩමා මෙම නිලධාරියාට ප්‍රතිකාර කලෙමු. 

එක් සොල්දාදුවෙකු තදබල විශාදයට ලක්ව සිටියේ ඔහුගේ මිතුරා ක්‍රියාන්විතයේදී මිය යාම නිසාවෙනි. ඔහුගේ මිතුරා මිය ගියේ ස්නයිපර් ප්‍රහාරයක් නිසාය​. එහිදී මිය ගිය සොල්දාදුවාගේ මෘත ශරීරය ක්‍රියාන්විත භූමියේදී වලලා දැමීමට ඔහුට නියම කෙරුණි. මිතුරාගේ මිනිය පොරෝනාවක එතීමේදී ඔහුට මෘත ශරීරයේ උණුසුම දැනුනි. මෙය උතුරුකරයේ තිබෙන උෂ්ණ බව නිසා වන්නට ඇත​. එහෙත් මිතුරා වල දැමීමෙන් පසුව ඔහුට අහේතුවාදී සිතුවිල්ලක් ඇති විය​. එනම් මම මගේ මිතුරාව පණ පිටින් වැලලූවෙමි කියාය​. මේ සිතුවිල්ල නිසා තදවල වරදකාරී බවත් ඔහු තුල තිබුණි. මේ නිසා උක්ත සොල්දාදුවා විශාදයට ගොදුරු විය​. අප මේ සොල්දාදුවාව උපදේශන ප්‍රතිකාර මගින් සුවපත් කලෙමු. 

තවත් සොල්දාදුවෙක් යුද ආතතිය නිසා විඝටන  ආබාධයකට (Dissociative Disorder)  ලක් විය​. මේ නිසා ඔහු තුල මතකයේ අඩු වීම , සමහරක් අවස්ථා වලදී තදබල විස්මෘතියට ලක් වීම වැනි ලක්‍ෂණ දක්නට ලැබුනි. නමුත් ක්‍රියාන්විතයේදී ඔහුට නිසි ප්‍රතිකාර නොලැබුනේය​. එම නිසා මෙම විඝටන  ආබාධය තීව්‍ර විය​. වරක් මේ සොල්දාදුවා තම ගිනි අවිය විසි කොට සතුරු භූමියේ ඉබාගාතයෙන් ඇවිදිමින් සිටියේය​. ඔහුගේ වාසනාවකට  යුද මෙහෙයුමකට ගිය විශේෂ බලකායේ සොල්දාදුවන් කණ්ඩායමකට ඔහුව හමුවී තිබුණි. ඔවුන් මෙම රෝගී සොල්දාදුවා යළි කඳවුරට ගෙන එන ලදි. මොහුව අප වෙත යොමු කිරීමෙන් පසු රෝග නිර්ණය මෙන්ම මනෝ ප්‍රතිකාරද ලබා දෙන ලද්දේය​. 

යුද ආතතියට අමතරව සේවා ස්ථානයේ පීඩනයන්ට ලක් කිරීම නිසා ආතතියට පත්ව සිටි සොල්දාදුවන්ට අප ශක්ති ප්‍රමාණයෙන් පිහිට වූයෙමු. වරක් පනාගොඩ කඳවුරේ සේවා ආතතියට ලක්ව සිටි  සොල්දාදුවෙක් මා හමු වීමට පැමිනියේය​. ඔහුව ඉහල නිලධාරීන් විසින් බොහෝ අසාධාරණයන් ට ලක් කිරීම නිසා හෙතෙම සමායෝගී ආබාධයකට (Adjustment Disorder)  ලක්ව සිටියේය​. මෙම සොල්දාදුවා මම වාට්ටුවේ නවත්වාගෙන ප්‍රතිකාර කලෙමි. ඔහුගේ දුක් ගැනවිලි වලට සවන් දුන්නෙමි. එසේම මම හඳුනන බ්‍රිගේඩියර්වරයෙකුගේ සහායෙන් ඔහුට වෙනත් සේවා ස්ථානයක් ලබා දුන්නෙමි. 

මෙම සෙබලාගේ ටිකට් කපන අවස්ථාවේදී ඔහු මට හුදු විශ්වාසය නිසා රහසක් එළි කලේය​. එනම් මෙම සේවා ස්ථානයෙන් එල්ල වන පීඩනය නිසා ඔහුට වෙනත් සැලසුමක් තිබුනේය​. එය නම් ඔහුගේ කථාව ලිපියක ලියා එය සාක්කුවේ දමාගෙන  ඔහුට නිකුත් කර තිබෙන තුවක්කුව ගෙන පනාගොඩ ජනාකීර්ණ හංදියකට ගොස් සතර අත මිනිසුන්ට වෙඩි තබා අවසානයේදී තමනුත් සිය දිවි නසා ගැනීමය​. ඔහු පැවසූ පරිදි ඔහුගේ සාක්කුව තුල තිබෙන ලිපිය පොලිසිය විසින් සොයා ගනු ඇත​. එහිදී ඔහු මේ බිහිසුණ ක්‍රියාවට පොලඹවන ලද හේතුව හෙලිවේ. නමුත් මෙම සැලැස්ම ඔහු විසින් ක්‍රියාත්මක කරන නොලද්දේ අපගේ මැදිහත්වීම නිසාය​. 

අවසානයේදී ඔහු මට මෙසේ කීවේය​. ” සර් නොහිටින්න මම නිරපරාදේ මිනිසුන් ගොඩාක් දෙනෙක් මරපු මිනීමරුවෙක් වෙනවා. සර් බේරුවේ මගේ ජීවිතය විතරක් නොවෙයි පනාගොඩ හන්දියේ මගෙන් මැරුම් කන්න හිටපු අහිංසක මිනිසුන් ගේ ජීවිතත් සර් බේරුවා ” 

මෙම මැදිහත්වීම් තුලින් විශාල විපත්තියක් නිශේදනය කිරීමට හැකි වීම නිසා  මම සතුටු වූයෙමි. 

වෛද් රුවන් එම් ජයතුංග 

One Response to “යුද හමුදා රෝහලේදී”

  1. dingiri bandara Says:

    We need to have more psychiatric hospitals and treatment centers with well trained psychiatrist and psycho therapists, in order to treat the heroic soldiers who made so many sacrifices. I am not much of an organizer but am willing to contribute financially in what ever way I am able to and give any other support.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress