පෙරදිගට ගමනක් – 12- පොරකන දේශයක අතෘප්තිය
Posted on May 3rd, 2016

වරුණ චන්ද්‍රකීර්ති

හැම සංස්කෘතියක් ම මොන මොන විදිහට හරි වෙන වෙන අයත් එක්ක ගනුදෙනු කරලා, නෑදෑකම් යාළුකම් ඇතිකරගෙන තියෙනවා. ඉතින් මෙයට පෙර ලිපි කිහිපයකින් විස්තරකරපු විදිහට අපේ සංස්කෘතිය විවිධ බාහිර අංගවලින් පෝෂණයවෙලා තියෙන එක අරුම පුදුම දෙයක් නෙවෙයි. ඒත් අපේ තියෙන වෙනස තමයි මේ රටේ අධිපති සංස්කෘතියක් නැතිකම.

 ඩොමිනන්ට් කල්චර්” කියන්නේ සංස්කෘතික අධ්‍යයනවල දී යොදාගැනෙන මූලික ම සංකල්පයක්. අධිපති සංස්කෘතියේ සන්නිවේදන චර්යා, අදහස්, අගයයන්, විශ්වාස සහ භාවිතාවන් තමයි සමාජයක රජකරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ දැන් රජකරන්නේ සුදු-අංග්ලෝ-සැක්සන්-රෙපරමාදු සංස්කෘතිය. ඒ අතරිනුත් සුදු-වැඩිහිටි-පිරිමි ආධිපත්‍යය තමයි මුල් තැනැක් ගන්නේ. කළු හමක් තිබුණත් බැරැක් හුසේන් ඔබාමාට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වෙන්න පුළුවන් වුනේ ඔහු මේ අධිපති සංස්කෘතියෙන් මේච්චල් වුනු පුද්ගලයකු බව ඒ රටේ මිනිස්සු හඳුනාගෙන තිබුණු හින්දා. ඔහු ඒ රටේ අධිපති සංස්කෘතියේ භාෂාව ඉතාමත් චතුර විදිහට හසුරුවනවා. ඒ වගේ ම, රෙපරමාදු ආගම අදහනවා. ඒ රටේ අධිපති සංස්කෘතියේ අගයයන් අඩුවක් නැති ව පිළිගන්නවා. ඒවා මත පදනම් වෙලා හොඳ-නරක, හරි-වැරැදි දකිනවා.

මේ විදිහට ම තමයි මධුරාපුරයේ ඉඳලා මේ රටට ආපු වඩුග (තෙළිඟු) නායක්වරුන්ට කන්ද උඩරට රජකරන්න පුළුවන් වුනේ. එහෙම රජවුනු හතරදෙනාගෙන් ශ්‍රේෂ්ඨයා විදිහට සැළැකෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. ඔහු තරම් බෞද්ධයන් ගේ ගෞරවාදරයට ලක් වූ රජ කෙනකු මෑත ඉතිහාසයේ ඉඳලා නෑ. ලන්දේසීන් විසින් ගිනි තැබූ දළදා මාළිගාව නැවත ඉදිකරන්න, නැවැත උපසම්පදාව හඳුන්වලා දෙන්න, වෙහෙර විහාර පිරිවෙන් විශාල ප්‍රමාණයක් ඉදිකරන්න, දළදා පෙරහැරට නාථ දේවාලයත් සම්බන්ධ කරලා ඒක මහ ඉහළින් පවත්වන්න එතුමා මුල්වුනා. එතුමා තම දිගු කෙස් වැටිය කපලා එයින් මුස්නක් හදවලා ඒක දළදා හිමියන් වැඩසිටින කුටිය ඇමැදීමට පූජාකරන්නත් කටයුතු කරලා තියෙනවා. එතුමන් ගේ ශරීර ප්‍රමාණයට ඉදිකළ ප්‍රතිමා අද පවා මහනුවර මල්වතු මහා විහාරය ඇතුළු බොහෝ විහාරස්ථානවල දකින්න පුළුවන්.

බැරැක් ඔබාමා සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පිළිබඳ මේ විස්තරයෙන් පැහැදිළිවෙන්නේ රටක රජවීමට යමකු ඒ රටේ අධිපති සංස්කෘතිය පිළිගැනීම සහ ඒ අනුව කටයුතුකීරීම මූලික අවශ්‍යතාවක් බවයි. ඒ වැඩේට උපත හරි වර්ණය හරි අදාළ වෙන්නේ නෑ. මේ කාරණය තහවුරුකරන්න උදාහරණ වශයෙන් ගෙනහැර දැක්විය හැකි අවස්ථා තව ඕන තරම් තියෙන බව අපේ පාඨකයෝ දන්නවා. අධිපති සංස්කෘතිය කියන්නේ රටක පොදු අනන්‍ය බව පෙන්වන දෙයක්. සමාජයක් ඇතුළේ මොන බෙදීම් තිබුණත් ඒවා ඇතිවෙන්නේ මේ පොදු අනන්‍ය බව ඇතුළේ. උදාහරණයක් විදිහට, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් අගයයන් වටා සංවිධානය වී තිබුණට ඒවාට සම්බන්ධ වෙලා ඉන්නේ සුදු-අංග්ලෝ-සැක්සන්-රෙපරමාදු අධිපති සංස්කෘතියේ පාර්ශ්වකාරයෝ. ජාතික ප්‍රතිපත්ති කියන ඒවා හැදෙන්නේ, රැකෙන්නේ මේ පොදු බව ඇතුළේ. අපි වගේ ම බටහිර යටත්විජිත බලපෑමට කාලයක් තිස්සේ යටත්වෙලා හිටියත් මැලේසියාවට පුළුවන් වුනා තමන් ගේ අධිපති සංස්කෘතිය යම් ආකාරයකින් රැකගෙන වර්ධනය කරගන්න. ඉස්ලාම් ආගමේ ආභාෂය ලබපු සංස්කෘතියක් බටහිර ලිබරල් අගයයන්ට ඒ තරම් මුල් තැනක් නොදෙන එක මේ කාරණයට හේතු වෙලා තියෙනවා කියන්න පුළුවන්. කොහොම හරි භුමිපුත්‍ර සංකල්පය මුල්කරගත්ත තමන් ගේ ම වූ ජාතික ප්‍රතිපත්ති ගොඩනගාගන්න මැලේසියානුවන්ට පුළුවන් වෙලා තියෙනවා.

අධිපති සංස්කෘතියට අමතර ව සමාජයක විවිධාකාර සහ-සංස්කෘතීන් තියෙනවා. ජනවර්ගය, ආගම, භාෂාව, ස්ත්‍රී-පුරුෂ සාධක, වයස, ලිංගික නැඹුරුව වගේ කාරණා මත තමයි මේ විදිහේ සහ-සංස්කෘතීන් ඇතිවෙන්නේ. එක් එක් සහ-සංස්කෘතිය අනෙක් සහ-සංස්කෘතීන්ගෙනුත්, සමාජයේ ප්‍රධාන අධිපති සංස්කෘතියෙනුත් යම් යම් ආකාරවලින් වෙනස්. එහෙම නැතිනම් ඒ සහ-සංස්කෘතීන්ට අනන්‍යතාවක් ලැබෙන්න විදිහක් නෑ. මේ සහ-සංස්කෘතින්වල අය තම තමන් ගේ අයිතීන්, උවමනාවන් වෙනුවෙන් විවිධාකාරයෙන් සංවිධාන ගතවෙනවා. මේ වගේ වෙනස්කම් හින්දා ඕනෑ ම සමාජයක් ඇතුළේ යම් යම් ගැටුම්, අලකලංචි ඇතිවෙන්නත් පුළුවන්. ඒවා ගැන කවුරුවත් ඕනවාට වඩා කම්පාවෙන්නේ නෑ.

ඒත් අද අපේ සමාජය සංස්කෘතික ජංජාලයක් බටව පත්වෙලා. ප්‍රධාන සංස්කෘතික අගය පද්ධති දෙකක් ඒ ඒ පුද්ගලයා තුළත්, සමාජය තුළත් රජකරනවා. එක පැත්තකින් අපිට ම ආවේනික වූ සංස්කෘතික අගය පද්ධතියක් අපි හැමෝ ම ළඟ අඩු වැඩි විදිහට තියෙනවා. කලින් ලිපියකින් කියපු විදිහට අපේ මේ පැත්ත ඉතාමත් ශක්තිමත්. බ්‍රිතාන්‍ය කිරීටයට මුළු ලෝකය ම යටත්වෙලා තියෙන කාලෙත් අපි ඒ බලවතා ගේ පාර්ශ්වකාරයොත් එක්ක වාද විවාද කරලා අපේ කොඩිය ඉස්සුවා. අනෙක් පැත්තෙන්, අපි හැමෝ ම පුද්ගලාන්තික අගය පද්ධතියක් උඩ ගොඩනගපු ලිබරල් අදහසුත් යම් යම් ප්‍රමාණවලින් පිළිගන්නවා. ඒවාට ගරුකරනවා. අපේ මේ පැත්තත් ඉතා ම ශක්තිමත්. ලිබරල් අදහස් පිළි නොගන්න අයකු අපේ රටෙන් හොයන එක සමාන කරන්න පුළුවන් කෙනකු නොමැරුණු ගෙයකින් අබ ඇට ටිකක් ඉල්ලන වැඩේට.

මේ විදිහට එකිනෙකට හාත්පසින් ම වෙනස් අගය පද්ධති දෙකක් එක විදිහට ම ශක්තිමත් ව ඉදිරියට ඒම හින්දා අද මේ රටේ අධිපති සංස්කෘතියක් නැති සමාජයක් බිහිවෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ ගැන එක්තරා ආකාරයක වාදයක් තියෙන බව ඇත්ත. අපට ම ආවේනික අගයයන්ට මුල් තැන දෙය අය කියන්නේ අද මේ රටේ රජකරන්නේ ලිබරල් අදහස් කියලා. මේ නිරීක්‍ෂණයට පදනම් වුනු හේතු තියෙනවා. සමාජයේ ආධිපත්‍යය හොබවන සංස්කෘතිය නියෝජනය කරන අය තමයි ඒ සමාජයේ තීරක කාර්යයක් ඉටුකරන්නේ. මේ බලය හොබවන පිරිස සංඛ්‍යාත්මක ව විශාල විය යුතු නෑ. ඒ කියන්නේ සමාජයේ ජීවත්වන බහුතරයේ නියෝජනයක් අධිපති සංස්කෘතියක පැවැත්මට උවමනා කරන්නේ නෑ. ඒ විදිහට සංස්කෘතික ආධිපත්‍යය දරන අය තමයි සමාජයේ ආගමික සංස්ථා, රජය, අධ්‍යාපනය, ජනමාධ්‍ය, මුදල් ක්‍රමය, හමුදාව සහ ඒ වගේ තවත් තීරක දේවල් මෙහෙයවන්නේ.

අපේ රටේ මේ ආයතන නිශ්චිතව ම එක පැත්තකට බරයි කියලා කියන්න බෑ. කොහොම වුනත්, අපි කලින් ලිපියකින් පැහැදිළි කළා මේ සියලු ආයතන කොළඹ මුල් කරගෙන මෙහෙයවන ආකාරය. ඒ වගේ ම, ඒ ලිපියෙන් විස්තර කළා කොළඹ කියන්නේ මොන විදිහට හැදිලා වැඩිලා ලොකුවෙච්ච නගරයක් ද කියන එක. මේ නිරීක්‍ෂණය මත පදනම් වෙලා මේ රටේ ජනමාධ්‍ය ආයතන දෙස බැලුවොත් ඔබට පෙනේවී ඒවායේ අයිතිය කවුරුන් අතේ ද තියෙන්නේ කියන කාරණය. ඇත්තෙන් ම අයිතිය විතරක් නෙවෙයි. ඒ ආයතනවල සේවය කරන ජනමාධ්‍යවේදීන්ගෙන් අතිමහත් බහුතරය පවා ලිබරල් අදහස්වලින් පෝෂණය වුනු අය. ඔවුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් කොළඹ, ගාල්ල, මහනුවර නගරවල හරි ඒ ආශ්‍රිත ව හරි ඉගෙනගත්ත අය. එහෙම නොවන අය ඉන්නේ ඉතා ම සීමිත ප්‍රමාණයක්. මේ රටේ බොහෝ රාජ්‍ය අයතනවල මුල් පුටුවලට පවා එන්නේ ඒ විදිහට ලිබරල් අදහස්වලින් හොඳින් පෝෂණය වුනු අය. ඒ හින්දා තමයි මේ රටේ අද රජකරන්නේ ලිබරල් අදහස් කියන චෝදනාව ඉස්මතු වෙලා තියෙන්නේ.

ඒත්, අපිට එහෙම ම කියන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් ජනමාධ්‍යවේදීන් කටයුතුකරන්නේ රික්තයක නෙවෙයි. ඒ අය ලියන දේ, කියන දේ රටේ බහුතර ජනතාව විසින් පිළිගත යුතුයි. එහෙම නැතිනම් ඒ අයට රැකෙන්න බෑ. අඩු ගණනේ හොඳින් වෙළෙඳ දැන්වීම් ටිකක් ලබාගැනීමටවත් පත්තරයක් හොඳට අලෙවි කරගන්න ඕන. ගුවන්විදිලිය, රූපවාහිනය වගේ මාධ්‍යයකට නම් හොඳ ශ්‍රාවක, ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක්, පිළිගැනීමක් ලබාගන්න ඕන. ඒ හින්දා ජනමාධ්‍යවේදීන්ට බෑ හිතු හිතු විදිහට හැසිරෙන්න. තමන් ලියන දේ, කියන දේ රටේ අතිමහත් බහුතරයේ අගයයන්ට ගැලපෙන විදිහට ඉදිරිපත්කරන්න ඒ අයට සිද්ධවෙනවා. රජය කියන ආයතනයට රටේ බහුතරය ගේ අගයයන්, උවමනා එපාකම් ඍජුව ම බලපානවා. ඒ අය ජනතාව ගේ ඡන්දයෙන් තේරිලා බලයට එන අය. ඒ වගේ ම, අපේ රටේ භික්‍ෂුන්වහන්සේලාටත් විශාල සමාජ බලයක් තියෙනවා. මොන රටක වුනත් හමුදාව වගේ ආයතන පුද්ගලාන්තික ලිබරල් අදහස්වලින් පාලනය කරන්න, මෙහෙයවන්න බෑ. ඒක ඇමෙරිකා එක්සත් ජනපදයට වුනත් පොදුයි. අපේ රටෙත් හමුදාව ඇතුළේ සෑහෙන්න සමූහාන්තික, ලිබරල් නොවන අදහස් රජකරනවා. ඉතින් ලිබරල් අදහස්වලට වැඩියෙන් නැඹුරු අය පිළිගන්නේ නෑ අපේ රටේ තමන්ට ආධිපත්‍යයක් තියෙනවා කියලා. ඒ අය දකින්නේ ඒකේ විරුද්ධ පැත්ත.

ඇත්ත කතාව තමයි අපේ සමාජය තුළ මේ කාටවත් හරි හමන් ආධිපත්‍යයක් නැති එක. ඒ කියන්නේ දැන් මේ රටේ අධිපති සංස්කෘතියක් නෑ. දැන් අපේ රටේ තියෙන්නේ බිඳුණු, ඉරි තැලිච්ච සංස්කෘතියක්. සමාජය පුදුමාකාර විදිහට බෙදිලා. අපි හැම වෙලාවේ ම වගේ කරන්නේ එකිනෙකා එක්ක ගැටුම් ඇතිකරගන්න එක. එකිනෙකා විවේචනය කරන එක. විවේචනය කියන්නේ අපි පිළිගන්නා අගයයන්ට සාපේක්‍ෂව සිදුකරන දෙයක්නෙ. ඒ අගයයන් මත පදනම් වෙලා අපි කියනවා මේ දේ හරි, මේ දේ වැරැදි කියලා. ඒ වගේ ම මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා. ඒත් කවුරු හරි ළඟ එකිනෙකට වෙනස් අගය පද්ධති දෙකක් රජකරන කොට මොකද වෙන්නේ? තමන් කියන්නේ මොකක් ද කියලා තමන්වත් නොදන්න තත්ත්වයකට පත්වෙනවා. අද මේ රටේ තියෙන්නේ ඒ විදිහේ වාතාවරණයක්. ඉතින් අපි දවල් රෑ නැතිව එකිනෙකා ව විවේචනයකරනවා. බැණගන්නවා. කා කොටාගන්නවා.

මේ විදිහේ කා ගොටාගැනීම් හැම තැන ම දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් වෙබ් අඩවිවල වාර්තාකරන ප්‍රවෘත්ති, ලිපි ආදියට පාඨකයෝ දක්වන ප්‍රතිචාර ගෙනහැර දක්වන්න පුළුවන්. මේ අයගෙන් වැඩි දෙනෙක් කරුණු කාරණා සළකලා යමක් කියන්නේ නෑ. හුඟක් වෙලාවට කරන්නේ අසභ්‍ය වචනවලින් බැණගන්න එක විතරයි. එකිනෙකට වෙනස් අගය පද්ධති දෙකක් පිළිගන්න කෙනකුට පුළුවන් තමන් පිළිගන්න ප්‍රතිපත්ති පැත්තකට දාලා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඊට පටහැනි ප්‍රතිපත්ති ටිකක් කර පින්නගන්න. මේ දේශපාලනඥයන්ට විතරක් වැළැඳිලා තියෙන රෝගයක් නෙවෙයි.

අපේ සමාජයේ හැම තැන ම ගැටුම්. උද්ඝෝෂණ. වැඩවර්ජන, කලකෝහාල, කඩාකප්පල්කාරී වැඩ නැති දවසක් හොයාගන්න අමාරුයි. හැමෝ ම වගේ ඉන්නේ අතෘප්තියෙන්. අනාගතය ගැන වැඩි විශ්වාසයක් නෑ. මොනවාගෙන් මොනවා වෙයි ද කියලා කාටවත් හිතාගන්න බෑ. ඉතින් බොහෝ දෙනෙක් කෙටි කාලීන ඉලක්කවලින් ඔබ්බට හිත යොමුකරන්නේ නෑ. සෑහෙන පිරිසක් පුරුදුවෙලා ඉන්නවා බඩ පලලා බිත්තර ගන්නවා වගේ වැඩකරන්න. බිත්තර දාන කල් බලාගෙන ඉන්නේ කොහොම ද? ඒ එක්කම එක්තරා ආකාරයක භීතියකුත්, එහි ප්‍රතිඵලයක් විදිහට යම් විදිහක අකර්මන්‍යකමකුත් සමාජය තුළ පැතිරිලා. මේ අසහනය දැකලා ඒකෙන් තමන් ගේ බඩ පුරවාගන්න විජ්ජා පෙන්නන අයත් ඉන්නවා. ඉතින් බොහෝ පිරිස් කාලෙන් කාලෙට එක එක රැළි පස්සේ දුවන්නත් පුරුදුවෙලා. තමන් තුළ ඇතිවෙලා, පැතිරෙන අතෘප්තිය ඒ මාර්ගවලින් සමහන් කරගන්න පුළුවන් කියලා ඒ අයට හිතෙනවා වෙන්න පුළුවන්.

මේ කියන්නේ විවිධ අදහස් සමාජයක නොතිබිය යුතු බවක් නම් නෙවෙයි. දහසක් ගුරුකුල ඇතිවෙන එක සමාජයේ ප්‍රගමනයට හේතුවක්. ඒත් ඒවා ගොඩ නගාගන්න ඕන දැනුම උඩ. කරුණු කාරණා මත පදනම්වෙලා. ඒත් දැන් අපේ සමාජයේ අතිමහත් බහුතරයක් යමක් දැනගන්න, තමන් දන්න දේ තව තවත් වැඩි දියුණුකරගන්න උනන්දුවෙන්නේ නෑ. ඉගෙනගැනිල්ල විභාග පාස්කිරීමට සීමාවෙලා. ඊට අමතරව බොහෝ හිතලු පවා දැනුම විදිහට සමාජය ඇතුලේ බෙදා හදාගන්නවා. ඉතින් මේ විදිහට ප්‍රමාණවත් දැනුමක් නැතිව අන්ධවුනු සමාජයක් රවට්ටන්න හරි ලේසියි

අද මේ රටේ සිද්ධවෙන්නේ මෙහෙම දෙයක් නෙවෙයි ද?

වරුණ චන්ද්‍රකීර්ති෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress