අරාජික යුගයක මිනිසුනට පන්නරය දුන් විප්ලවීය සාහිත්‍යයේ පෙරටුගාමියෝ
Posted on May 7th, 2016

 ධර්මන් වික්‍රමරත්න

ඒ තැන තැන ටයර් සෑයවල් මත මහමඟ මළසිරුරු දක්නට ලැබෙන යුගයකි. රතු පාටින් හෝ කළු පාටින් ලියා ඇති පෝස්ටර් අතැතිව පාසැල් සිසුන් විදි බසින වකවානුවකි. ජවිපෙ ඇදිරිනීතිය නිසා පාළුවී ගිය මංමාවත් මසකට වරක්වත් ඇස ගැටෙන කාලයකි. වැඩිහිටියන්ගේ නොරිස්සුම් අවවාද තරුණයන්ට ලැබෙන අවස්ථාවකි. අසූව දශකයේ මැද භාගයේ සිට  නින්නාද වූයේ එජාප ආණ්ඩුව මගින් තලා, පෙලා, පාගා දැමූ ජනතාවගේ තෙරපී, මිරිකී තිබූ විරෝධාකල්පයයි.

Dharman Wickremaratneධර්මන් වික්‍රමරත්න විසිනි.

මෙම පීඩනය සෞන්දර්යාත්මකව විවරණය කිරීමට සහ එකී හඬට අනුපමේය සාධාරණත්වයක් ඉටුකරමින් කලාව ජනතාව උදෙසාම බව පසක්කල ඒ වෙනුවෙන් උඩුගම් බලා පිහිනූ කලාකරුවන් පිරිසක්ද විය. මුළු මහත් සමාජයට අතිශයින් පීඩාකාරි යුගයක් වූ එයට එරෙහිවීම යනු සියතින් ගෙලසිඳ ගැනීමක් බව ඔවුහු නොදන්නවාද නොවේ. ජනතාවාදී කලාවේ රසාතලය ඔපකිරීමට 80 දශකය අවසානයේදී දයාසේන ගුණසිංහ, සුනිල් මාධව ප්‍රේමතිලක, සුගතපාල ද සිල්වා සහ ගාමිනි හත්තොට්ටුවේගම ඉටුකල කාර්යභාරය අනුව විප්ලවීය සාහිත්‍යයේ පෙරටුගාමින් බවට ඔවුහු පත්වූහ. සමාජය තුළින් මතුව ආ මහා දෝංකාරය තමාගේ පංචස්කන්ධය තුළට උරාගෙන එය පුවත්පත් කලාව, ලේඛන කලාව, කවිය, නාට්‍ය කලාව සහ වීදි නාට්‍ය කලාව යන ක්ෂේත්‍රයන් හරහා මුදා හැරීමට ඔවුහු සමත්වූහ. ජන හදවතේ බුර බුරා නැගුණු වේදනාව සහ අභිමානයද ඔවුහු සිය නිර්මාණ වලින් විකසිත කළහ.

එපමණක් නොව පතාල පුවත්පත්, ගුවන්විදුලියක්, විදි නාට්‍ය, කාව්‍ය නිර්මාණ බිහිවූයේද තෝරාගත් එවැනි තරුණ කණ්ඩායම්වලට ඔවුහු ස්වෙච්ඡාවෙන් පැවැත්වූ අප්‍රසිද්ධ වැඩමුළු මගින් එළි දැක්වුණු විකල්ප නිර්මාණාත්මක සන්නිවේදන විධි ක්‍රම භාවිතය හේතුවෙනි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කොළඹ වෛද්‍ය පීඨය මගින් 1988දී ප්‍රකාශයට පත්කල වෙද සිසු හඬ වැනි මුද්‍රිත සහ රෝනියෝ පුවත්පත්, රාත්‍රී 7 සිට මෙගා හර්ට්ස් 4.432 කෙටි තරංග 1 ඔස්සේ විකාශනය වු රණහඩ ගුවන්විදුලියේ වැඩසටහන්ද එහි ප්‍රතිඵලයන් අතර විය.

dharman07051602අසූව දශකය අගභාගයේදී විප්ලවීය සාහිත්‍යයේ පුරෝගාමීන්වූ දිවයින ඉරිදා සංග්‍රහයේ සංස්කාරක දයාසේන ගුණසිංහ, දිවයින සිකුරාදා පුවත්පතේ 8වැනි පිටුවේ සංස්කාරක සුනිල් මාධව ප්‍රේමතිලක, දෙටු ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා සහ විවෘත විදි නාට්‍ය කණ්ඩායමේ නියමුවාවූ ගාමිණී හත්තොට්ටුවේගම(වමේ සිට).

අයුක්තිය අසාධාරණය ඉදිරියේ ඒ පිළිබඳව යථාර්ථවාදීව සිය නිර්මාණ මගින් කරුණු පෙළගස්සවන්නට කශේරුකාවක් තිබූ කලාකරුවන්වු ඔවුහු මිනිසුන් වෙනුවෙන් ඉපිද කලාව ජනතාව සඳහාම කැපකල සැබෑ කලාකරුවන්ය. සතුරන් සමඟ මිත්‍රකම්ද හොරුන් සමඟ ගනුදෙනුද ඔවුනට අවශ්‍ය වූයේ නැත. තමා පිළිගන්නා සත්‍ය ප්‍රකාශ කිරීමට කිසිවෙකුගේ අවසරද ඔවුනට අවැසි වූයේ නැත. සෑම කේෂේත්‍රයකම නොමියන මිනිසුන් සේ ජවිපෙ 2වැනි කැරළි සමයේ කලා කේෂේත්‍රයේ සඳාකල් ජීවමාන එම මිනිසුනට උපහාරයකි මෙය. ජීවිතයට වඩා කලාවට පෙම්බැදි ඉතිහාසයේ යුග පුරුෂයන්වු මොවුන්ගේ මතකය නිලඹර දිදුලන තාරකාවන් සේය.

ඉංගිරියේදී 1936 ජුනි 13වැනිදා උපන් දයාසේන ගුණසිංහයන් මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලය සහ හොරණ ශ්‍රීපාලිහි අධ්‍යාපනය ලැබීමෙන් පසු පේරාදෙණිය සරසවියට 1956දී ඇතුළත් විය. උපාධිධාරි ගුරුවරයෙකු වශයෙන් 1959දී ජීවන සටනට පිවිසි ගුණසිංහයන් 1963දී දිනමිණ ආධුනික වාර්තාකරුවෙකු විය. පසුව දිනමිණ සහ ඩේලිනිවුස් පුවත්පත්වල ප්‍රාදේශිය සහ විදේශීය ප්‍රවෘත්ති කර්තෘ විය. බ්‍රිතාන්‍යයේදී 1970දී පත්තර කලාව වසරක් ප්‍රායෝගිකව හැදෑරිය. සිළුමිණ විශේෂාංග කතෘවරයා වූයේ ඉන් පසුවය. දිවයින ඉරිදා සංග්‍රහයේ නිර්මාර්තෘවරයා සහ සංස්කාරකවරයාවූ ඔහු මෙරට අභිනව පුවත්පත් කලා සම්ප්‍රදායක ආරම්භකයෙකුද විය. නව පුවත්පතක් පාඨකයා වෙත ස්ථාවර කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ගුණසිංහයන් එම අභියෝගය නොබියව භාරගෙන ඉලක්කය ඉතා සාර්ථකව ජයගත්තේය.  අසූව දශකයේ සිටි වඩාත්ම අදීන සහ නිර්භීතම පුවත්පත් කලාවේදියා ඔහු බව අවිවාදිතය.

dharman07051603ගුණසිංහයන්ගේ සංස්කරණයෙන් 80 දශකයේදී වැඩිම අළෙවිය සහ ජනප්‍රියතම ඉරිදා පුවත්පතවූ දිවයින ඉරිදා සංග්‍රහය, සුනිල් මාධවයන් දිවයිනට ලියූ අතිශයින් ජනප්‍රිය සත්‍යවාදියකුගේ දිනපොත ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්වූ අන්දම, හත්තොට්ටුවේගමන් විදි නාට්‍යයකදී සිය කණ්ඩායමේ සාමාජිකයින් සමඟින් සහ සුගතපාලයන්ගේ මරාසාද් වේදිකා නාට්‍යයේ දර්ශනයක්.(ඉහළ වමේ සිට)

ගුණසිංහ විසින් ලියන ලද ඉරිදා දිවයින කතුවැකියද, ‘’සීයාගේ කෝලම’, ‘රයිගම්රාළ’, ‘උකුස්සා’, බූත රිපෝටර්, ’ලුනටික්කා’, ‘හෙනහුරාගේ කෝලම’, ‘සංගුරාගේ සංවාද’ ‘පොලිටික්කා’, ‘රණරාල’ ආදී අවසානය දක්වා ලියු තිරු ලිපි පුවත්පත් තීරු ලිපි කලාවේ වර්ධනීය අවස්ථාවක් වූ අතර ඒවායේ හාස්‍ය සහ උපහාසයට යටින් ප්‍රබල සමාජමය හරයක්ද ගැබ්ව තිබිණි. පුවත්පත් තීරු ලිපි කලාවේ විශාල පෙරළියක් ඇතිකල උකුස්සා තීරු ලිපිය මගින්  ප්‍රහාරයට ගොදුරු වන තැනැත්තාගේ නිලය බලය හෝ ප්‍රභූත්වය පිළිබඳව ඔහු කිසිම තැකීමක් නොකල අතර නිසි ඉලක්කය අල්ලා නිවැරදිව පහර දුන්නේය. තීරු රචනා කලාවේ සිංහ ලකුණ ඔහුය. පියදාස වැලිකන්නගේ, පියසේන කහඳගමගේ, ජයනාත් ගුණවර්ධන, රත්නායක වණසිංහ ආදී නව ලේඛක පරපුරක් බිහිකළේ ඔහු සිළුමිණේ සිටියදීය. පුවත්පත් කලාවේ දුහුනන්ව සිටි පිරිසකටම ඉරිදා දිවයිනේදී ඔහු අත දුන්නේය. වසර ගණනාවක්ම බොහෝ දිනයන්හිදී සේවය නිමකර නිවස බලා රාජකාරි වාහනයෙන් යන ගුණසිංහයන් සමඟ ලියුම්කරුද සිය නිවසට යෑම සදහා එක්විය. යනඑන අතරමඟ කෝට්ටේ බංගලා හන්දියේ දිවයින නියෝජ්‍ය කතුවරයෙකුවූ දයාරත්න රණසිංහගේ සාප්පුවේදී පැය කිහිපයක්ම අපි සතුටු සාමිචියේද යෙදුන අවස්ථාද බොහෝය.

dharman07051604.ජවිපෙ 2වැනි කැරළි සමයේදී දිවිය දෙවැනි තැනටදා දිවයින සහ ඉරිදා දිවයින පුවත්පත් හරහා නොබියව පෑන හැසිරවූ කිහිපදෙනෙක්(වමේ සිට) දිවයින කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න, ඉරිදා දිවයින මාණ්ඩලික කාටූන් ශිල්පී විනී හෙට්ටිගොඩ, නිදහස් කිවියෙකුවු චන්ද්‍රකුමාර වික්‍රමරත්න(අභ්‍යන්තර ගැටුමක් හේතුවෙන් 1991 ජුනි මස පොළොන්නරුව මැදිරිගිරියේදී වෙඩිතබා ඝාතනයකර තිබිණි) දිවයින ඉරිදා සංග්‍රහයේ මාණ්ඩලික විශේෂාංග ලේඛක චන්ද්‍රසිරි දොඩංගොඩ, නිදහස් ලේඛකයින් වශයෙන් කටයුතුකල ගුරුවරයෙකුවූ පියසේන කහඳගමගේ සහ බැංකු නිලධාරියෙකුවූ එච්.ඊ දයානන්ද(ආණ්ඩුවේ අර්ධ මිල්ටරි කණ්ඩායමක් වූ ප්‍රා සංවිධානය මගින් දයානන්ද 1988 දෙසැම්බර් 2වැනිදා කොම්පඤ්ඤවීදියේදී වෙඩිතබා ඝාතනය කරන ලදී).

දයාසේන ගුණසිංහගේ ලේඛන කලාව විවිධ ඉසව් ඔස්සේ පැතිරගිය ලිවිසැරියක් වූ අතර සාහිත්‍ය කලා විෂයේ ඔහු සතුව තිබූ ශක්තින් සහ ප්‍රතිභාව විවිධ කෘතීන් මගින් ප්‍රකාශයට පත්විය. ‘රන් තැටියක කඳුළු’, ‘නොවදිමි සිදුහත්’ සහ ‘දොරමඩලාව’ වැනි කාව්‍ය කෘතින්ද ‘කැනල් පාරේ නිශාචරයෝ’, ‘පොදුජනයාගේ මිනිසෙක් කථාවක්’, නදී තෙර කුමරිය’, ’මරුවාගේ හෝරාව’ හා ‘කේතුමතී හෝටලයේ රාත්‍රියක්’ වැනි කෙටිකථා, කාව්‍ය සහ පරිවර්තන ග්‍රන්ථ මගින් සාහිත්‍ය ලොවෙහි නිබද සැරිසැරිවේය. ඔහුටම ආවේනිකවූ ශෛලියකින් ඒවා නිර්මිතය. මේ ග්‍රන්ථවලට රාජ්‍ය සහ ජනතා සම්මාන කිහිපයක්ම හිමිවිය. ඔහු ගීත රචකයෙක්ද විය.

ලාංකීය පුවත්පත් කලාවේ ඓතිහාසික කතුවැකියක් සේ සැලකෙන 1986 ජුනි 2දා ඉරිදා දිවයින සංග්‍රහයේ කතුවැකියේ මෙසේ සඳහන්වූයේ ‘තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නා ලෙසට’ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කල ප්‍රකාශයක් පිළිබඳවය. ‘’එසේ කිව හැක්කේ පිරිමියෙකු නොව ගැහැනියක නොවන්නෙකුට යැයිද තමන්ට කල නොහැකිනම් කලහැකි අයෙකුට එම කාර්යය භාරදී ගෙදර ගොස් නිදාගත යුතු බවද’’ ගුණසිංහයන් සිය කතු වැකියෙන් අවධාරණය කලහ. එහි ප්‍රතිඵලය වූයේ දඬුවමක් වශයෙන් පඩි සහිතව අනිවාර්ය නිවාඩු ගන්වනු ලැබීමය. ‘’හෘද සාක්ෂියට එකඟව පුවත්පත් කලාවේ නිරතවීම හේතුවෙන් මා ලද අනපේක්ෂිත නිවාඩුව මාගේ සාහිත්‍ය මෙහෙවරට විවේකය පමණක් නොව ජීවිතය සහ මනුෂ්‍යත්වය පිළිබදව ඉතා දුර්ලභ ගණයේ අත්දැකීම් සම්භාරයක් සැපයූ බව’’ ගුණසිංහයන් කේතුමතී හෝටලයක් රාත්‍රියේ කෙටිකථා සංග්‍රහයේ ලියූ පෙරවදනේ සදහන්ය.  අවුරුදු කාලයේ වරෙක ඔහු පොදු ජනතාවගේ අවුරුද්ද හඳුන්වා තිබුණේ. ලියා තිබුණේ ‘සූර්යයා මේ වන විට පැමිණෙමින් සිටින්නේ මීන රාශියේ සිට මේස කිහිපයකට පමණි’ බවය. දිවයින පුවත්පතින් 1991දී විශ්‍රාම ලැබීමෙන් පසු සිවිදෙස සඟරාවේ කතුවරයා විය.  

dharman07051605සූව දශකය අගභාගයේ රටේ තිබුණේ මෙවන් වාතාවරණයකි. 01. මීගමු වෙරළේදී 1989 අගෝස්තු පුළුස්සා ඝාතනය කර තිබූ සරසවි සිසුවෙක්, 02. ආරක්ෂක අංශ මගින් දකුණේදී ඝාතනය කරන ලද සරසවි සිසුන් සහ තරුණයින් පිරිසක්, 03. ආරක්ෂක අංශවලට ඔත්තු සැපයූවේයැයි චෝදනා කොට ජවිපෙ කැරළිකරුවන් විසින් හක්මනදී සිව්දරු මවක් ඝාතනයකර ගසක බැද දමා තිබූ අන්දම, 04. ජවිපෙ කැරළිකරුවන් විසින් ගිනිතබා විනාශ කරන ලද බස්රථ කිහිපයක්.

වරප්‍රසාද අපේක්ෂාවෙන් ලිවීම මාධ්‍ය වෘත්තීය පාවාදීමක් ලෙස සැලකු ඔහු රාජ්‍ය හෝ සෙසු බලවතුන්ට කීකරු වූයේ නැත. අනිවාර්ය නිවාඩුවෙන් එම තනිවීම තුළ ඔහු විසින් ලියන ලද ‘දොරමඩවාව’ කාව්‍ය සංග්‍රහයේ පිළිගැනිමේ පාඨය ලෙස සඳහන්වූයේ ‘මිතුරු වෙසින් සිටි ගණුදෙනුකරුවන් හැලීගිය පසු ඉතිරිවූ මිතුරන් කිහිපදෙනාට’ යන්නය. දයාසේන ගුණසිංහ 1996 ඔක්තෝබර් 7වැනිදා මහරගම ගම්මනදී සිය ජීවිතයෙන් නික්මගියද ඔහු හා සමකල හැකි කිසිවෙකු මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉරිදා පුවත්පතක කර්තෘ පදවියකට පත්ව නැත. ඉදිරියටද එය එසේ වනු ඇත. එයට හේතුව සමස්ථ සමාජ සහ දේශපාලන සංස්කෘතිය බරපතල ලෙස වර්තමානයේ සෝදා පාළුවට ලක්ව තිබීමය.

හැත්තෑව දශකයේ තරුණ කවීන් ලෙස මතුව ආවේ ප්‍රරාක්‍රම කොඩිතුවක්කු, දයාසේන ගුණසිංහ, මොනිකා රුවන්පතිරණ, බුද්ධදාස ගලප්පත්තිය. අසූව දශකය ආරම්භයේදි කාව්‍ය ක්ෂේත්‍රය වෙනසකට ලක්වන්නේ 70 දශකය අවසාන වකවානුවේ බිහිවූ කවින්ගෙන්ය. එහි ප්‍රමුඛයා රත්න ශ්‍රී විජේසිංහය. එයට අමතරව නන්දන වීරසිංහ, සෙනරත් ගොන්සල්කෝරාළ, ජයවඩු විතාන, ස්වර්ණ ශ්‍රී බන්ඩාර, යමුනා මාලනී පෙරේරාය. අසූව දශකයේ පෙරළිකාර පරපුරේ කවි කිවිදියෝ ලෙස මතුව ආවේ කුමාර හෙට්ටිිආරච්චි, බණ්ඩාර ඇහැලියගොඩ, බන්දුල නානායක්කාරවසම්, ජගත් රණතුංග, කේ.එම්. අයි ස්වර්ණසිංහ, කුමාර ලියනගේ, නිරංග වික්‍රමසිංහ ආදිහුය. ජවිපෙ 2වැනි කැරළි සමයේදී කාව්‍ය ක්ෂේත්‍රයට ප්‍රබල බලපෑමක් එල්ලවූ අතර එහිදී පත්තර පිටු හරහා මතුවූ කවින් අතර ධර්මසිරි රාජපක්ෂ, චන්ද්‍රකුමාර වික්‍රමරත්න, කමල් පී අලහකෝන්, චන්ද්‍රසිරි දොඩංගොඩ, ගාමිණී දළුවත්ත, රෝහිත භාෂණ අබේවර්ධන ආදීහු දැක්විය හැක. ජීවිත පරිත්‍යාගවලින් මතුවන කම්පනය එම කවි පිටුවලින් නිරාවරණය විය. එහිදී මතුවුණු නිර්මාණශීලි විප්ලවවාදී කවියා චන්ද්‍රකුමාර වික්‍රමරත්නය. ජවිපෙ 2වැනි කැරැල්ල කෘර ලෙස තලාදැමීමෙන් අනතුරුවද පත්තර පිටු අතර සිටි කවීහු විකල්ප පුවත්පත් සහ සඟරාද උපයෝගි කර ගනිමින් පරාජය ඉදිරියේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටියහ. එම බොහෝ දෙනාට පන්නරයක් වූයේද විප්ලවීය සාහිත්‍යයේ පෙරටුගාමීන්ගේ ඇසුරබව නොකියා බැරිය.

dharman07051606අසූව දශකය අවසානභාගයේදී පවතින ක්‍රමයට එරෙහිව නව සාහිත්‍ය ප්‍රවණතාවයන් සහ රැඩිකල් සම්ප්‍රදායන් ඔස්සේ ජනතාවට ප්‍රාණවායුව දුන් කලාකරුවන් කිහිපදෙනෙක්(වමේ සිට). දේශපාලන නිර්මාණ සම්ප්‍රදායක් භික්ෂූන් අතර තහවුරු කිරීමෙහිලා පුරෝගාමී දායකත්වයක් දැක්වූ කොන්ගස්දෙණියේ ආනන්ද හිමි, ලේඛක මහාචාර්ය සෝමරත්න බාලසූරිය, කිවි මොනිකා රුවන්පතිරණ, දෙවැනි කැරැල්ලට ප්‍රබල උත්තේජනයක් සැපයූ පවන සංගීත ප්‍රසංගය ඉදිරිපත්කල නන්දා මාලනී, දේශපාලන කියවීමක් සහිත නාට්‍යයන්වන මකරාක්‍ෂයා නිපයූ ධර්මසිරි බණ්ඩාරනායක, මාඝාත සහ හෙණ නාට්‍යයන් ගෙන ආ කැලණි සරසවි සිසු අශෝක හඳගම, අත් නාට්‍යය නිපදවු ජයන්ත චන්ද්‍රසිරි, හිට්ලර් නාට්‍යය ගෙන ආ ඩග්ලස් සිරිවර්ධන, අසූව දශකයේ සිංහල කවිය නව මානයකට ගෙනආ බුද්ධදාස ගලප්පත්ති, කුමාර හෙට්ටිආරච්චි, කමල් පි අලහකෝන් සහ විදි නාට්‍ය කලාවේදි හත්තොට්ටුවේගමට යෝධ ශක්තියක් වෙමින් භිෂණයද නොතකා ගම් නියම්ගම් වලට ප්‍රබල කථිකාවන්ට ලක්වු විදි නාට්‍ය ගෙනයෑමට නායකත්වය දුන් විවෘත විදි නාට්‍ය කණ්ඩායමේ නිහාල් සුරංජි.

සුනිල් මාධව ප්‍රේමතිලක යනු කෘතහස්ත සාහිත්‍යධරයෙකු වන මීමන ප්‍රේමතිලකගේ දෙටු පුත්‍රයාය. වසර 1943 උපන් කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලත් සුනිල් මාධව මෙරට ජන හදවත් තුළ ලැගුම්ගත් සොදුරු කවියෙකි. අදීන මාධ්‍යවේදියෙකි. සිළුමිණ පුවත්පතට 1963 ඔහු එක්වන විට එහි ප්‍රධාන කතුවරයා වූයේ මීමන ප්‍රේමතිලකය. ප්‍රවෘත්ති කලාව පිළිබදව ඩිප්ලෝමාවක් බටහිර ජර්මනියේ හැදෑරූ ඔහු වසර 19ක් ලේක්හවුස් ආයතනයේ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකු වශයෙන් දිවයින ඉරිදා සංග්‍රහයේ සමාරම්භක කර්තෘ මණ්ඩලයට එක්විය. වරෙක එහි විශේෂාංග කතුවරයා විය.

මාධවයන් සංස්කරණය කල දිවයින සිකුරාදා පුවත්පතේ 8වැනි පිටුවේ ඔහු විසින් ලියනලද සත්‍යවාදියෙකුගේ දිනපොත විටෙක වෙඩි උණ්ඩයක් සේ හිත් පසාරු කරගෙන යයි. ස්ටීව් බිකොලා ගැන දිනපොතේ සඳහන් වන විට දෑසට කඳුළු උණන තරමේ සංවේදි තත්ත්වයකට පත්වේ. චේ, කස්ත්‍රෝ වැනි ගරිල්ලන් දිවි හිමියෙන් සටන් වැදුණු හැටි කියන විට  මව්බිම ගැන වඩවඩාත් ආදරය කරන්නට ලෝකය ගැන නැවුම් විදිහකට බලන්නට හැගීම් අවුලනු ලබයි. සමාජවාදී සිහිනය දකින අයට සහ ඒ වෙනුවෙන් අරගල කරන අයට එය යෝධ පන්නරයක් ගෙන ආවේය. ජවිපෙ 2වැනි කැරළි සමයේ ප්‍රබලතම ප්‍රකාශකයා බවට මතුපිටින් විවෘතවූ කලාකරුවාවූ ඔහු ඉටුකල සේවය ඉමහත්ය.

ලක්මිණ, ලක්දිව, හිරු සහ ලක්ජන, ලක්දන පුවත්පත්වල කතුවරයා වූ සුනිල් මාධවයන් ආධුනිකයන්ට නොපැකිලිව අත දුන්නේය. ඔහුගේ මඟපෙන්වීමෙන් ප්‍රගතිශීලි පුවත්පත් කලාවට අත්පොත් තැබූ පරපුරක ගමන් සඟයෝ බොහෝය. ලක්මිණ පත්තරය පටන් ගත්තේ බොරලැස්ගමුවේ වැව පාරේ පැරණි පැඟිරි මෝලකය. ලක්දිව පුවත්පත ඇරඹුණේ බොරැල්ල සුපර් මාර්කට් ගොඩනැගිල්ලේය.  ඔහු හොද පුවත්පත් කලාවේදියෙකු වුවද කිසිවෙකු තරහකර ගැනීමට අකමැති හෙයින් හොද පරිපාලකයෙකු නොවීය. එබැවින් ඇරඹූ බොහෝ පුවත්පත් හිරු දුටු පිනි මෙන් වියැකීයාමට එයද එක් හේතුවක් විය. ඔහු ලියූ ග්‍රන්ථ අතර හඬනු මැන නිදහස, නොනිමි ජීවිත කථාව, ශ්‍රේෂ්ඨයා, යෙව්ටුෂෙන්කො ඇතුළු කෘති ගණනාවක්ම මිනිසා මිනිසුන් වෙනුවෙන් එක්විය යුතු යුගයක් බව සපථ කළේය.

දිවයින පුවත්පතේ ලියුම්කරු සේවය කල වසර ගණනාවක් තුළ දකුණු පසින් ඇති මේසයේ සිටියේ ඔහුය. මාධවයන් පෙනී සිටියේ මිනිස් සමාජයේ අයිතින් වෙනුවෙනි. භීෂණ සමයේ 88/89 වසරයන්හිදී ලියුම්කරුද සිටියේ මාධවගේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ 4බී නිවසට ආසන්නවය. එකල සඳ බැස යන තෙක් බොහෝ රාත්‍රියන්හිදී ඔහු සමඟ ගතකල දිනයන් තවමත් වෘත්තීය ජීවිතයට සවිමත් අක්මුල්ය. මාධවයන් ජවිපෙ 2වැනි කැරළි සමයේ  පෙනී සිටියේ ජවිපෙ වෙනුවෙන් නොව ආණ්ඩු විරෝධී මතය නියෝජනය කල තරුණ පරපුර වෙනුවෙනි. බොහෝ දෙනා මෙය වරදවා වටහා ගනිති. විවිධාකාර අර්ථකථන සිය දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුගතව ප්‍රකාශ කරති. මාධවගේ එතිහාසික කාර්යභාරය අවසන් වුවද ජනතාවාදී පුවත්පත් කලාව වර්තමානයට කැඳවා ගැනීම සිදුවිය යුත්තේ එය ගෙඩි පිටින් ආරෝපනය කිරීමෙන් නොව ඉතිහාසයේ වේදිකාව මත ඒ වෙනුවෙන් කරනු ලබන නිසි ඇගයීමකිනි.

සිංහල නාට්‍ය කලාවේ සොදුරු ආඥාදායකයාවූ  සුගතපාල ද සිල්වාගේ සම්පූර්ණ නම අවලිකාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වාය. ඔහු උපන්නේ 1928 අගෝස්තු 4වැනිදා මාතර මිදිගමදීය. ව්‍යාපාරිකයෙකු වූ පියා චාර්ලිස් වූ අතර මව කුසුමාවතීය. ගම්පොල ජිනරාජා විදුහලේ ඇතුළු පාසැල් කිහිපයකම අධ්‍යාපනය ලත් ඔහු කලක් වැල්ලවත්තේ කේ.වී.ජී සිල්වා පොත් වෙළෙඳ සැලේද සේවය කළේය.

අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායම 60 දශකයේදී ගොඩනගමින් නාට්‍ය කලාවට බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්, දුන්න දුනුගමුවේ, ඇසල සඳ අවන්හල, මරාසාද් ඇතුළු නාට්‍ය 14ක් තිළිණ කළේය. එසේ වේනම් මිනිසුනි අසව්, සොදුරු ආඥාදායකයා, ඇටමැස්සා, හිට්ලර් එල්ලා මරයි, බිත්ති හතර ඇතුළු ග්‍රන්ථ රැසක් ඔහු රචනා කළේය. ඔහුගේ ‘අනේ දෙව්දත් නොදිටි මොක්පුර’ කෘතියෙහි සඳහන් වන්නේ ‘ජීවිතය කෙළ පිඩකි. අලුයම ලු මේ කෙළ පිඩ බුද්ධියේ අනුදක්නයට අල්ලා ජීවිතේ රෝග නිධානය සොයව්’ යන්නය.

ජවිපෙ 2වැනි කැරළි සමයේ සුගතපාද ද සිල්වා විසින් පිටර් වයිස් රචනයක්වු මරාසාද් නාට්‍යයේ සිංහල පරිවර්තනය සහ නිෂ්පාදනය ඉදිරිපත්කල අතර එය තරුණ පරපුරට ප්‍රබල කම්පන තරංග මාලාවක් ගෙන ගියේය. වැදගත්ම දේ යනු තමාගේ කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කනපිට පෙරළා අලුත් ඇහැකින් ලෝකය දෙස බලන එක බව එමගින් ජනිත කෙරිණි. මරාසාද් නාට්‍යයේද මෙසේද සදහන්ය. ‘බිඳී බිඳී යනවා සියල්ල: කලබැගෑනියට පත්වෙලා සියල්ල…. ඒක හොඳයි. ඒ තමා ප්‍රථම පියවර.. දැන් අපි ඊළඟ පියවර තබන්න ඕනෑ. ඔබ වෙනුවෙන් පාලනය කරන මිනිසකු තෝරාගන්න ඕනෑ…’. එකල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයට ආධාර මුදල් තරකිරීම සඳහා කොළඹ වෛද්‍ය පීඨ ශාලාවේදී රඟ දැක්වූයේද මරාසාද් නාට්‍යයයි. එය නිමවීමෙන් පසුව වෙනුර, කොල්ලුරේ ඇතුළු වෛද්‍ය සිසුන් සමඟ සුගතපාල රෑ පහන්වන තෙක් සිය නළු නිළි කණ්ඩායම සමඟ මරාසාද් ගී පද ඛණ්ඩ ප්‍රති ගායනාකළ අයුරු ලියුම්කරුට තවමත් මතකයෙන් බැහැර නොවේ. මරාසාද් නාට්‍යයේදී මරා සහ සාද් යන චරිත දෙකම එක වගේ ප්‍රබලව ප්‍රක්ෂේපණය වූයෙන් එම චරිත දෙක රඟපෑ නළුවන් දෙදෙනාටම රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දීමට සිදුවිය.

සුගතපාල ද සිල්වා 2002 ඔක්තෝබර් 28වැනිදා ජීවිත රඟ මඬලින් සමුගන්නාවිට ඔහුගේ වයස අවුරුදු 74කි. සිව්දරු පියෙකුවූ සුගතපාලගේ බිරිඳ ශීලා අක්කා ඔහු පසුපස සෙවනැල්ල මෙන් සිටිමින් අයෝමය ශක්තියක් දුන් සුන්දර ගැහැණියකි.

ගාමිණී හත්තොටුවේගමගේ යනු ශ්‍රී ලංකාවට විදි නාට්‍ය කලාව 1974 හදුන්වාදුන් පුරෝගාමියෙකි. සොයුරු සොහොයුරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක උපන් හත්තොටුවේගමයන්ගේ පියා කොළඹ නගර සභාවේ ලිපිකරුවෙකු වූ අතර මව ඉංග්‍රීසි ගුරුවරියකි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හත්තොටුවේගමයන් උපන්නේ 1938 නොවැම්බර් 30 වැනිදා ගාල්ලේ රිච්මන්ඩ් කන්දේ නිවසේදීය. පාසැල් කාලයේදීම නාට්‍ය රඟදැක්වීමට උනන්දුවක් දැක්වූ ඔහු සරසවි අධ්‍යාපනය අතරතුරදී ඇගමෙම්නන් නාට්‍යය ඉංග්‍රීසියෙන්ද ඇන්ටන් චෙකොෆ්ගේ මඟුල් පරස්තාව නාට්‍ය සිංහලෙන්ද ඉදිරිපත් කිරීමට සමත් විය.

රංග ශිල්ප ශාලිකාවේ ධම්ම ජාගොඩයන් සමඟ එක්විමෙන් ඔහුගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය 70 දශකය මුලදී ආරම්භවු අතර දිවියෙන් සමුගන්නා විටද 1974දී ආරම්භ කල විවෘත විදි නාට්‍ය කණ්ඩායමේ නියමුවා සහ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා විය. විදි නාට්‍ය යනු නාට්‍යමය ජවනිකාවක් හෝ නාට්‍යයක් ඇසුරෙන් යම්කිසි සේවාවක් හෝ මතවාදයක් ප්‍රගතිශීලි මතයක් ඔස්සේ නාට්‍ය අනුසාරයෙන් රඟ දැක්වීමය. ප්‍රථම ඓතිහාසික මෙහෙවර ආරම්භවූයේ 1974 පොසොන් පොහොයදා අනුරාධපුර ගම්මානයක සහ දුම්රියපොල වේදිකාවේදීය. හත්තොටුවේගමයන් වෘත්තියෙන් පේරාදෙණිය සරසවියේ ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙක් විය.

විදි නාට්‍ය කලාව 80 දශකයේ අවසාන භාගයේදී වඩ වඩාත් දේශපාලන අර්ථකථන පිළිබිඹු කරමින් සරසවි සහ වැඩපොලවලට, වැඩවර්ජන, උද්ඝෝෂණ වැනි ජනතා සටන් තිබු ස්ථානයන්ටද ගෙන යෑමට ඔහු සමත් විය. දරුණු භීෂණ වාතාවරණය යටතේද එම කාර්යයන් සිදුකල අතර විදි නාට්‍ය කරුවන් තිදෙනෙකු 1989දී ඝාතනයටද ලක්වී තිිබිණි. භීෂණ සමයේදී වීදි නාට්‍යයක ටයර් සෑයට එරෙහිව නැගුණු මේ දෙබස අදටද වලංගුය. ඒ ‘අමු අමුවේ ගොඩ ගැසුවා වළ නොදමා පිළිස්සුවා, ඔබ දුටුවා මම දුටුවා – හදිස්සියෙන් සෙනඟ මැදින්, කැලෑවලින් කඳුකරයෙන් – ගලාගෙන එන සිහින මැදින්, සටන් වැදී එනවා – නැවත නැවත එනවා’. යන්නය. විදුලි කොටන හෙණ ගෙඩියක් මෙන් ජනතාව අතරට විදි නාට්‍ය කලාව රැගෙන ගිය හත්තොටුවේගමයන් වසර 2009දී ජීවිතයෙන් සමු ගත්තේය. ඔහු ආරම්භ කල විවෘත විදි නාට්‍ය කණ්ඩායම ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක නිහාල් සුරංජිගේ මඟපෙන්වීමෙන් හත්තොටුවේගමයන්ගේ වාර්ෂිකව සැමරිමද සිදු කරමින් වර්තමානයේද ක්‍රියාත්මකවීම සැමගේ නොමද පැසසුමට ලක්වන්නකි.

මිනිසුන් මියයති. එහෙත් තමා මියගිය පසු පුරාවෘතයක් වියහැකි මිනිසුන් වේනම් ඔවුහු පරිපූර්ණ මිනිසුන්ය. ඒ අර්ථයෙන් ගත්කල අපගේ කථා නායකයින් අයත් වන්නේ එම කුලකයටය. කලාකරුවන් පූජනීයබව කියති. එසේම ගෞරවාන්විත බවද කියති. එහෙත් එය තීරණය වනුයේ ඔවුන් කලාව තුළත් සමාජය තුළත් හැසිරෙන ආකාරයේ ස්වභාවය අනුව බව ඉතිහාසය මගින් පසක්කර තිබේ.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected]) (The writer is a senior journalist who could be reached at[email protected] OR 011-5234384)

3 Responses to “අරාජික යුගයක මිනිසුනට පන්නරය දුන් විප්ලවීය සාහිත්‍යයේ පෙරටුගාමියෝ”

  1. Dilrook Says:

    Some of those involved in the resistance movement could have saved more Sinhala lives had they avoided a confrontational approach and followed a conciliatory approach. The feasibility of an approach is also important. For instance Nanda Malini’s “pavana” could have instead had kind advice to both the government and the youth to avoid confrontation than challenge the system and regime justifying unconventional resistance.

    The People’s Alliance made use of these deaths to grab power in 1994 but contrary to their promises didn’t punish the wrongdoers. Some were even promoted (including Colonel Fonseka and Janaka Perera at that time). Sinhala people must be careful not to let opposition politicians gain political mileage over their dead bodies. Such politicians will indirectly instigate violence. More dead bodies mean more votes for them.

    Jayaprakash Tissainayagam cannot be forgotten in saving many Sinhala lives and campaigning for justice against the killings in 1980s. He had his subsequent issues but his bold services in 1980s must be appreciated. Chandrika Kumaratunga also heavily and boldly campaigned for justice before 1995 along with Mahinda.

  2. Christie Says:

    ජේවීපී කාරයෝ කියන්නෙ එදත් අදත් ඉන්දියන් කාරයින්ගෙන් යපෙන උන්. උන් සින්හලයන් මරාදැමීම තමයි කරන්නෙ. අහින්සක සින්හලයන්ගෙ මොලහෝදල උන් හැමදාම දුප්පත් බවේ ගිල්වලා තියන එක තමයි සින්හල සමාජවාදීන්ගේ වැඩේ.

  3. Ancient Sinhalaya Says:

    Ungrateful Sinhalese have very short memories. Catholic-run UNPatriotic party saw jvp uprising as a
    tool to destroy Buddhist population and set about it killing close over 50,000. There was no rehabilitation
    like Sirima B did. In 1971 it was all over within 2 weeks and all the misled youth were rounded up,
    rehabilitated and released back to the society. But the UNPatriotic party? The Sinhalese killing machine
    went to overdrive. But with their propaganda machine, they buries all these brutalities and shows a different
    face and keep winning elections.

    UNPatritoics know tamils, mussies and catholics will always vote for them no matter what. So Sinhalese-
    killing, Buddhism-destroying party needs only a few Sinhala modayas’ votes and they will be in a win
    win situation.

    Look at now. During the last year, YAMA PALLAN HAVEN’T DONE ANY WORK. Only thing they
    do is mayhem and robbery. Still Sinhala modayas won’t see it. Jaathi Dhroheen are in a fools’ paradise.
    So it’s party time for the murderous gang. Murder, mayhem and robbery. Lose the next election. Come back
    after 5 years with a brand new set of lies. Short-memoried Sinhala modayas will believe every word
    and vote for the UNPatriotics!

    Work? What work? The YAMA PALLAN WOULD SAY. We never do any work.
    Only murder, mayhem and robbery! Now they got the ideal man. Ranil Wickramasinhalakiller to lead the gang.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress