‘ශ්‍රිලනිප ගමනක අවසානය’ට සිහින දුටු ජවිපෙට අත්වූ ශෝකාන්තය
Posted on May 21st, 2016

ධර්මන් වික්‍රමරත්න        

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ(ශ්‍රිලනිප) නායිකා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එජාප ආණ්ඩුව මගින් 1977 අගෝස්තු මස ත්‍රීපුද්ගල ජනාධිපති කොමිසමක් පත්කල අතර එහි වලංගුභාවය අභියෝගයට ලක්කරමින් ඇය අභියාචනාධිකරණය ඉදිරියට ගියාය. පරික්ෂා කිරීමට යන්නේ ජනාධිපති කොමිසන් නීතිය පැනවීමට පෙර සිදුවූ කාලයේ සිදුවීම් නිසා එය නීතියට පටහැනි බව අභියාචනාධිකරණයේ මතය විය. එජාප ආණ්ඩුව එහිදී සිදුකලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකර ඕනෑම නඩුකරණයක අධිකරණ බලය අභියාචනාධිකරණයෙන් ඉවත්කොට ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීමට පාර්ලිමේන්තුවට බලය ලබාදුන්නේය. ඒකපාක්ෂිකව ජනාධිපති කොමිසම විභාගය පවත්වාගෙන ගොස් 1980 සැප්තැම්බර් 25 ඇය බලය වැරදි අයුරින් පරිහරණය කිරීම පිළිබඳව වරදකරු කළේය. ඒ අනුව 1980 ඔක්තෝබර් 16 පාර්ලිමේන්තුවට යෝජනා දෙකක් ඉදිරිපත් කර සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අවුරුදු 7කට තහනම් කල අතර පාර්ලිමේන්තුවෙන්ද නෙරපා දැමීය.

Dharman Wickremaratneධර්මන් වික්‍රමරත්න විසිනි.

සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ වැඩපිළිවෙලට ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) හැර අන් සියළු විරුද්ධ පක්ෂ එරෙහි විය. සිරිමා බණ්ඩාරනායකට එරෙහිව පැවති පරික්ෂණ ආරම්භ කලවිට ජවිපෙ ඉදිරි පෙළ ක්‍රියාකාරින්වූ කෙළී සේනානායක, නන්දන මාරසිංහ, ආනන්ද නෙත්තිකුමාරද  සාක්ෂි දුන්හ. ප්‍රජා අයිතිය අහිමිවීමෙන් සිරිමා බණ්ඩාරනායකට දේශපාලනය කිරීමට හෝ දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දීමටද නීතිමය බාධා ඇතිවිය. ඇයට යළි ප්‍රජා අයිතිය හිිමිවූයේ 1986 ජනවාරි 1වැනිදාය. සිරිමාගේ ප්‍රජා අයිතිය අහිමිවීමත් සමඟම ශ්‍රිලනිප තුළ  අභ්‍යන්තර භේද ඇතිවිය. ශ්‍රිලනිපයේ නිල නායකත්වයට එරෙහිව අනුර බණ්ඩාරනායක, මෛත්‍රීපාල සේනානායක ඇතුළු පිරිසක් වෙනම කණ්ඩායමක් සාදාගෙන ක්‍රියා පිළිවෙතක් දියත් කළේය.

ශ්‍රිලනිප ගමනක අවසානය මැයින් රෝහණ විජේවීරද ජවිපෙ රැස්වීම් මාලාවක් රටපුරා පවත්වනු ලබන්නේ මෙම වකවානුවේදීය. ශ්‍රිලනිප රැස්වීම් කඩා කප්පල් කිරීම සඳහා වෙනමම කණ්ඩායමක්ද රහසිගතව සංවිධානයකර තිබිණි. ගම්පහ, රත්නපුර ආදී ශ්‍රිලනිප රැළි කඩාකප්පල් කල අතර ශ්‍රිලනිපය පරාජය කරමින් දෙවැනි බලවේගය බවට පත්වීමට ජවිපෙ විසින් ස්වකීය උපාය මාර්ගවලට ගමන් කිරීමේදී නිත්‍යානුකූල ක්‍රියාමාර්ග මෙන්ම සාදාචාර විරෝධී අදිසි ක්‍රියාමාර්ග වලටද යොමුවී තිබිණි. ජනාධිපති ජයවර්ධනගේ එජාප ආණ්ඩුවට සිය ප්‍රධාන ප්‍රතිවාදියාවු ශ්‍රිලනිප බෙලහීන කිරීමේ අවශ්‍යතාවය තිබුණද ජවිපෙ ප්‍රධාන විකල්පය කරගැනීමට අවශ්‍යතාවයක් නොතිබිණි.

dharman210516A02.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය මැයින්  ජවිපෙ නායක රෝහණ විජේවීර දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වූ රැස්වීම් මාලාවේ ප්‍රථම රැස්වීම සුගතදාස ගෘහස්ථ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති අවස්ථාවේදී විජේවීර එය ඇමතූ අයුරු.

සංවර්ධන සභා ඡන්දයට 1981 ජවිපෙ තරඟකලද මැතිවරණ කොමසාරිස්වරයා ජවිපෙ පිළිගත් පක්ෂයක් ලෙස ලියාපදිංචිකර නොතිබුණු බැවින් සංවර්ධන සභා මැතිවරණයට ජවිපෙ ඉදිරිපත් වූයේ ස්වාධීන කණ්ඩායමක් වශයෙනි. එජාප ආණ්ඩුවේ මර්ධනකාරි ක්‍රියාපිළිවෙතට විරෝධය පළකරමින් ප්‍රතිපත්තිමය හේතුමත ශ්‍රිලනිප සමගින් කොමියුනිස්ට් සහ සමසමාජ පක්ෂ දෙකද  සංවර්ධන සභා මැතිවරණය වර්ජනය කළෝය. එයට ප්‍රධාන හේතුව වූයේ උතුරේ හැර සෙසු සියළු දිස්ත්‍රික්කවලදී එජාප ආණ්ඩුවට බලය ලැබෙන ආකාරයට දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය සකස්කර තිබීමය.  ජවිපෙ කියාසිටියේ  ශ්‍රිලනිප නොහැකියාව සහ අර්බුද මත ඡන්දය වර්ජනය කල බවය.

සිංහල ප්‍රදේශවලදී එජාපය සමඟ ජවිපෙ ස්වාධීන කණ්ඩායමද දෙමළ ප්‍රදේශවලදී එජාපය සමඟ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණද තරඟ කළහ. ඡන්ද දූෂණ රැසක් සිදුවූ එම මැතිවරණයේදී ජවිපෙ ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් 13ක් තේරී පත්විය. ඒ අනුව දිස්ත්‍රික්ක වශයෙන් කොළඹ 4(උපතිස්ස ගමනායක, මහින්ද පතිරණ, ශාන්ත බණ්ඩාර, වින්සන්ට් සමරසේකර), ගම්පහ 3(වාස් තිලකරත්න, ගුණරත්න වනසිංහ, ජයසිංහ ලොකුතාඹුගල), ගාල්ල 2(ලයනල් බෝපගේ, ධර්මදාස ජයසිංහ),  බදුල්ල 2(වික්‍රමපාල හේරත්, ජී යසපාල),  හම්බන්තොට 1(පියසේන රාමනායක) සහ අනුරාධපුර 1(සිසිර රන්දෙණිය) වශයෙනි.  එම සංවර්ධන සභා නියෝජිතයින් 13 විවිධ හේතුන් මත ඉවත්වීමෙන් හෝ  ඉවත්කිරීමෙන් පසු ජවිපෙ මගින් වෙනත් නියෝජිතයින් ලෙස ගාමිණී ජයලත් ඇතුළු කිහිප දෙනෙක් පසුව පත්කරන ලදී. මෙය ජවිපෙ ලබාගත් ප්‍රථම මැතිවරණ ජයග්‍රහණය වේ. එය බහුජන දේශපාලනයට ජවිපෙ තැබූ ඉදිරි පියවරක් විය. ජවිපෙන් පත්වූ මෙම නියෝජිතයින් 13 දෙනා ලැබුණු වැටුප පක්ෂ අරමුදලට බැරකරමින් නව සම්ප්‍රදායක්ද හදුන්වා දුන්නේය. ලක්ෂ 25 මැතිවරණ අරමුදලක් ගොඩනැගීම 1981 නොවැම්බරයේදී ආරම්භ විය. එයට ප්‍රථම 1977 මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ජවිපෙ අපෙක්ෂකයින් ආසන 4කට ඉදිරිපත් කලද ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි විය.

ජනාධිපතිවරණය 1982 ඔක්තෝබර් 21වැනිදා පැවති අතර එහිදී එජාපයේ ජේ.ආර්. ජයවර්ධන ඡන්ද 3,450,811ද ශ්‍රිලනිපයේ හෙක්ටර් කොබ්බෑකඩුව ඡන්ද 2,548,438ද තෙවැනි තැනට පත් ජවිපෙ රෝහණ විජේවීර ඡන්ද 277,479ක්ද ලබාගැනීමට සමත් විය. ශ්‍රිලනිප අපේක්ෂක කොබ්බෑකඩුවගේ ඡන්දය පවා හොරට දමා තිබිණි. මැතිවරණ සිතියම හකුලා තැබීමේ එජාප ආණ්ඩුවේ තවත් පියවරයක් වශයෙන් 1983 නියමිත මහ මැතිවරණය නොපත්වා ජනමත විචාරණයකින් තවත් වසර 6කට එනම් 1989 අගෝස්තු 4 වැනිදා දක්වා පාර්ලිමේන්තු කාලය දීර්ඝකර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට 1982 නොවැම්බර් 4වැනිදා පාර්ලිමේන්තුවට 4වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස යෝජනාවක් ඉදිරිපත් කර තුනෙන් දෙකකින් සම්මත කරගන්නා ලදී.

dharman210516A03ජනාධිපතිවරණය 1982 ඔක්තෝබර් 20වැනිදා පැවැත්වීම වෙනුවෙන් 1982 සැප්තැම්බර් 18වැනිදා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව එජාප නායක සහ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන, ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව සහ ජවිපෙ ජනාධිපති අපේක්ෂක රෝහණ විජේවීර මෙහි වේ. පසුපස වමේ ජනාධිපති ජයවර්ධන සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් රත්නසිරි වික්‍රමනායකය.

ඒ අනුව 1982 දෙසැම්බර් 22 ජනමත විචාරණය පැවති අතර ආණ්ඩුවේ යෝජනාවට පක්ෂ අයට ලාම්පුවත් විපක්ෂ අයට කළය ලකුණද හිමිවිය. නැක්සලයිට් කුමන්ත්‍රණ චෝදනාව මත විජය කුමාරතුංග ඇතුළු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන සිටි අතර ශ්‍රිලනිපයද අභ්‍යන්තර අර්බුද නිසා බෙදී දුර්වලවී තිබිණි. ජවිපෙ මුළු බරම කළය දිනවීම සඳහා යෙදවීය. ආණ්ඩුවට පක්ෂව ඡන්ද 3,141,223ක් ලැබී තිබුණු අතර විපක්ෂයට ලැබුණේ 2,605,983ක් පමණි. එජාප ආණ්ඩුව ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය සියයට 9.4කි. එහිදී නීති විරෝධී ක්‍රියා විශාල ප්‍රමාණයක් එළිපිට සිදුවූ අතර තවත් දූෂිත මැතිවරණයක් බවට එය පත්විය. ජවිපෙ නායක විජේවිර එයට එරෙහිව ප්‍රතිඵලය අවලංගුකර ගැනීමට උසාවි නියෝගයක් ලබාගැනීමට නඩු දෙකක් අභියාචනාධිකරණයට සහ දිස්ත්‍රික් අධිකරණයට ගොනු කළද ජවිපෙ 1983 ජුලි තහනමත් සමඟම පෙත්සම්කරු හෝ පෙත්සම්කරුගේ නීතිඥයින් නැති තත්ත්වයක් තුළ ඒවා නිෂ්ප්‍රභා විය.

සමානුපාතික මැතිවරණ ක්‍රමයක් යටතේ මහ මැතිවරණයකින් එජාපයට බලයක් ලබාගැනීම අසීරු බව ජනාධිපති ජයවර්ධනට අවබෝධ විය. මැතිවරණ ආසන 168න් 48ක්ම එජාප ආණ්ඩුව පරාජවී තිබිණි. එජාප ආණ්ඩුව ජනමත විචාරණයෙන් පරාජයට පත් උතුරු නැගෙනහිර ආසන 19 හැර ඉතිරි ආසන 29න් 18ක අතුරු මැතිවරණ පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව එම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී අතුරු මැතිවරණ 1983 මැයි 18 පැවැත්වීමට කටයුතු යොදන ලදී. නිතරග ගිවිසුමක් තුළ එම ආසන වලින් 5ක් ජවිපෙටත් ඉතිරිය ශ්‍රිලනිප ඇතුළු වාමාංශික පක්ෂවලට ලැබෙන සේ එකඟතාවයක් ජවිපෙ යෝජනා කළේය. එහෙත් ශ්‍රිලනිප එකඟවූයේ එක් ආසනයක් ලබාදීමට පමණි. ජවිපෙ තංගල්ල(විජිත රණවීර), දෙවිනුවර(කේ.එච් ජයන්ත), කඹුරුපිටිය(ප්‍රේමචන්ද්‍ර මුණසිංහ), බෙලිඅත්ත(ඊශ්වරගේ ආරියසේන), සහ රත්ගම(වෛද්‍ය කේ.එස්.එන් ප්‍රනාන්දු) යන ආසන 5කට තරඟකල අතර හබරාදූවේදී ස්වාධීන අපේක්ෂක හිටපු මන්ත්‍රී නීතිඥ ප්‍රින්ස් ගුණසේකරට සහාය දුන්නේය. අතුරු මැතිවරණ ප්‍රතිඵල අනුව ආසන 18න් 14ක් එජාපයට හිමිවූ අතර සෙසු ආසන අතර ශ්‍රිලනිප සහ ම.එ.පෙ අපේක්ෂකයින් දිනාගන්නා ලදී. ජවිපෙ තෙවන තැනට පත්වූවද ජයග්‍රහණයක් නොවීය. දෙවැනි කැරළි සමයේදී අතුරු මැතිවරණ අපේක්ෂකයින්වූ වෛද්‍ය ප්‍රනාන්දු දෝහියෙකු සේ සලකා ජවිපෙ මගින්ද ඊශ්වරගේ ආණ්ඩුවේ ආරක්ෂක අංශ මගින්ද ප්‍රේමචන්ද්‍ර අණ්ඩුවේ අර්ධ මිල්ටරි කණ්ඩායමක් වූ ප්‍රා මගින්ද ඝාතනයට ලක්විය.

dharman210516A04මැතිවරණ ඉතිහාසයේ නවතම අත්දැකීමක්වූ 1982 දෙසැම්බර් 22 පැවති ජනපතිවරණයේදී කළය ලකුණට ඡන්දය පාවිච්චිකර එජාප ආණ්ඩුව පරාජය කරන ලෙසට ජවිපෙ නායක රෝහණ විජේවීර රූපවාහිනියෙන් ජනතාව ඇමතූ අවස්ථාව. මෙහිදී පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමට පක්ෂව ලාම්පුවටද එයට එරෙහි වන්නේනම් කළය ලකුණට ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවට සිදුවූ අතර මැතිවරණයේදි නිති විරෝධී ක්‍රියා රැසක් එළිපිටම සිදුවිය. එජාප ආණ්ඩුවේ සළකුණ වූ ලාම්පුව සියයට 54.7 ඡන්ද ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. ජනමත විචාරණය වංචාවක් බව කියමින් එහි ප්‍රතිඵල අවලංගු කරගැනීමට විජේවීර අධිකරණය ඉදිරියේ නඩු පැවරුවද ජවිපෙ පක්ෂ තහනම 1983 ජුලි සිදුවූ හෙයින් පෙත්සම්කරු හෝ පෙත්සම්කරුගේ නීතිඥයින් නොමැති හෙයින් අදාල පෙත්සම නිෂ්ප්‍රභා විය.

ජවිපෙ 2වැනි කැරැල්ල 1986 ආරම්භ කිරීමෙන් පසු ඇතිවූ පළාත් සභා විරෝධය හේතුකොටගෙන පළාත් සභා මැතිවරණයට ප්‍රධාන විපක්ෂයවු ශ්‍රිලනිප තරඟ නොකළේය. එම පළාත් සභා මැතිවරණ වයඹ, උතුරු මැද, ඌව සහ සබරගමු පළාතේ 1988 අප්‍රේල් 28වැනිදාද බස්නාහිර සහ මධ්‍යම පළාතේ 1988 ජුනි 02වැනිදාද දකුණු පළාතේ 1988 ජුනි 9වැනිදාද, උතුරු නැගෙනහිර පළාතේ 1988 නොවැම්බර් 19වැනිදාද පැවැත්විණි. ශ්‍රිලනිප තරඟ නොකල හෙයින් පළාත් සභා මැතිවරණයේදී ප්‍රධාන විපක්ෂය බවට පත්වූයේ ශ්‍රී ලංකා මහජන, කොමියුනිස්ට්, සමසමාජ සහ නව සමසමාජ පක්ෂ ඇතුළත් එක්සත් සමාජවාදී පෙරමුණය. එහිදී පළාත් සභා මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා මහජන පක්ෂය 83, ලංකා සමසමාජ පක්ෂය 26, කොමියුනිස්ට් පක්ෂය 25, නව සමසමාජ පක්ෂයට 5 හිමිවිය. එම පළාත් සභා මැතිවරණ කාලයේදී එක්සත් සමාජවාදී පෙරමුණේ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් 223ක් ජවිපෙ කැරළිකරුවන් අතින් මරණයට පත්විය. ඒ අතර මහජන පක්ෂයේ 117ක්ද සමසමාජයේ 23ක්ද, කොමියුනිස්ට් පක්ෂයේ 41ක්ද, නව සමසමාජයේ 22ක්ද එයට සහයෝගය දුන් ජනතා සංගමය ඇතුළු කණ්ඩායම්වල 20ක්ද විය. ආණ්ඩුව මගින් සෑම පළාත් සභා අපේක්ෂකයෙකුටම රිවෝලරයක්ද, ඔවුන් එක් අයෙකුගේ ආරක්ෂාවට රීපීටර් තුවක්කු සහිත ආරක්ෂක භටයින් තිදෙනෙක්ද ලබාදී තිබිණි.

dharman210516A051982 ජනාධිපතිවරණයෙන් එජාපය ජයගත් පසු ‘නැක්සලයිට් කුමන්ත්‍රණයක්’ ක්‍රියාත්මක වන බව පවසමින් ශ්‍රිලනිප ලේකම් රත්නසිරි වික්‍රමනායක, උප ලේකම් විජය කුමාරතුංග ඇතුළු නායකයින් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබූ අතර එහිදී බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන විජය කුමාරතුංගගේ සුවදුක් බැලීමට ඔහුගේ බිරිඳ චන්ද්‍රිකා බණ්ඩාරනායක පැමිණි සිටි අවස්ථාව. පසෙකින් සිටිනුයේ බන්ධනාගාර නිලධාරින්ය.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමඟම ජවිපෙ 2වැනි කැරැල්ල උත්සන්න කල අතර එජාප පාලනය පරාජය කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ජාතිය ගලවා ගැනීමේ ආණ්ඩුවක් ගොඩනැගීම තේමාකරගත් වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට ජවිපෙ 1988 ජුලි මස තීරණය කළේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් වසර අවසානයේ පැවැත්විය යුතු බැවිනි. මේ අනුව ශ්‍රිලනිප සමඟ 1988 අගෝස්තු සිට සැප්තැම්බර් මුල දක්වා ජවිපෙ විසින් සාකච්ඡා පවත්වන ලදී. ජවිපෙ වෙනුවෙන් එයට එක්වූයේ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහ සහ මධ්‍යම කාරක සභික ආනන්ද ඉඩමේගමය. එය පසුව ශ්‍රිලනිපය සමඟ යම් එකඟතාවයකට පැමිණි පසු මහජන එක්සත් පෙරමුණ, එක්සත් ලංකා ජනතා පක්ෂය සමඟද එම පක්ෂ 4 සමඟ කිසියම් එකඟතාවයකට පැමිණි පසු මුස්ලිම් කොංග්‍රසය, ලිබරල් පක්ෂය, ද්‍රවිඩ සංගමය සහ ප්‍රජානත්ත්‍රවාදී කම්කරු සංගමයද සාකච්ඡාවන්ට එක්කර ගන්නා ලදී. ඒ අනුව මෙය ජාතිය ගලවා ගැනීමේ පෙරමුණක් සඳහා පක්ෂ 8 සාකච්ඡාව ලෙස නම් කරන ලදී.

ජවිපෙ 2වැනි කැරළි සමයේදී ජාතිය ගලවාගැනීමේ පෙරමුණක් සඳහා පක්ෂ 8 සාකච්ඡාවන් 1988 ජුලි සිට ඔක්තෝබර් දක්වා සම්බන්ධීකරණය කරන ලද්දේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගිනි. අන්තරය වෙනුවෙන් එම සාකච්ඡාවලට සහභාගි වූයේ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු චම්පික රණවක සහ ජයවර්ධනපුර සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ 84/85 කණ්ඩායමේ ලුණුවිල මණ්ඩිරිප්පුව පදිංචි මාලසිංහ ආරච්චිගේ ෆ්‍රැන්සිස් ගාමිණීය. සිංහළ කතෝලිකයෙකුවූ මාරසිංහ පවුලේ බාලයා වන අතර පියා ජෝජ් අප්පුහාමිය. ඔහු වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ අධ්‍යාපනය ලත් අතර ජයවර්ධනපුර සරසවියේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 87/88 සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය. පක්ෂ 8 හවුල්කාර පක්ෂයක්වු එක්සත් ලංකා ජනතා පක්ෂයේ ලේකම් වෛද්‍ය ගාමිණී විජේසේකර සමඟ වාහනයකින් ගමන් කරමින් සිටියදී නාවලදී ආරක්ෂක අංශ මගින් 1988 ‍දෙසැම්බර් 8වැනිදා පැහැරගෙන ගිය අතර පසුව ගාමිණීගේ මළසිරුර 1988 දෙසැම්බර් 11වැනිදා මොරටුවේදී හමුවිය. විවාහකයෙකුවූ ගාමිණී ඝාතනය වීමෙන් පසු ඔහුගේ වැන්දඹු බිරිඳ සමඟ ඇලෙක්ස් අවාහ විය. අන්තරේ අනෙක් නියෝජිතයාවූ පාඨලී එම්පික රණවක ජවිපෙට සම්බන්ධවන්නේ 1982දිය. ඔහුට අධ්‍යාපන පන්ති පවත්වන ලද්දේ එවකට ජවිපෙ පානදුර සංවිධායක චන්ද්‍රසිරි ගුණතිලක නොහොත් කපිලය.(සමූපකාර කළමණාකරුවෙකු වූ ගුණතිලක ජවිපෙ දෙවැනි කැරළි සමයේදී බොරැල්ලේදී අත්අඩංගුවට පත්වී 1989 නොවැම්බර් මස ඝාතනයට පත්විය). චම්පික රණවක 1986 අවසානයේදී ජවිපෙන් ඉවත්වූවද 1988 දෙසැම්බර් ජනාධිපතිවරණ නාමයෝජනා දක්වා ජවිපෙට හිතවත්ව ජාතික චිත්තක මතවාදයට පක්ෂව කටයුතු කල අයෙකි. වර්තමානයේ ඔහු කැබිනට් ඇමතිවරයෙකි.

dharman210516A061988 දෙසැම්බර් 19වැනිදා පැවති ජනාධිපතිවරණ ඡන්දයේදී එජාප විරෝධී ජාතිය ගලවා ගැනීමේ ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් ජවිපෙ මගින් 1988 අගෝස්තු මස අගසිට ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදෙන 1988 නොවැම්බර් 10 දක්වා ජවිපෙ මගින් උපක්‍රමික ක්‍රියාමාර්ගයක් වශයෙන් සාකච්ඡාවාර ගණනාවක් පවත්වන ලදී. දෙවැනි කැරැල්ල තුළ ශ්‍රිලනිප සතුරාගේ අන්තයට උපක්‍රමිකව තල්ලු කිරිම එම ක්‍රියාමාර්ගයේ අදිසි  අරමුණ විය. ඉහළ වමේ සිට ජවිපෙ වෙනුවෙන් එම සාකච්ඡා මෙහෙයවූ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහ සහ මධ්‍යම කාරක සභික ආනන්ද ඉඩමෙගමද, ශ්‍රිලනිප වෙනුවෙන් සහභාගිවූ නායිකා සිරිමා බණ්ඩාරනායක, විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක, හලීම් ඉෂාක්, උපලේකම් ඉන්ද්‍රපාල අබේවීර, අනුරුද්ධ රත්වත්තේද, මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් සහභාගිවූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ තරුණ සමිති නායක බන්දුල ගුණවර්ධනද, එක්සත් ලංකා ජනතා පක්ෂය වෙනුවෙන් සහභාගිවූ නායක රුක්මන් සේනානායක සහ වෛද්‍ය ගාමිණී විජේසේකරද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක එම් එච්. එම් අෂ්රොෆ්ද, ද්‍රවිඩ සංගමය වෙනුවෙන් එහි නායක කුමාර් පොන්නම්බලම්ද, ලිබරල් පක්ෂය වෙනුවෙන් එහි නායක ආචාර්ය චානක අමරතුංගද, අබ්දුල් අසීස්ගේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය වෙනුවෙන් අෂ්රොෆ් අසීස්ද මෙහි වේ.

මෙම පක්ෂ 8 සාකච්ඡාව සිදුවන අතරේ 1988 සැප්තැම්බර් ඒ සඳහා වගන්ති 45කින් යුත් වැඩපිලිවෙලක් ජවිපෙ විසින් ඉදිරිපත් කරන ලදි. විධායක ජනාධිපති ධූරය හිස් කිරිම, ආණ්ඩුව ඉල්ලා අස්වීම, අපක්ෂපාති භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම, පළාත් සභා විසුරුවා හැරීම, ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කිරීම, භාරකාර ආණ්ඩුවක් යටතේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම ආදී කිසිදා ඉටුකල නොහැකි සේ පෙනෙන ඉල්ලීම් රැසක් එ් අතර විය. එම සාකච්ඡාවන්ට ශ්‍රිලනිප වෙනුවෙන් නායිකා සිරිමා බණ්ඩාරනායක, විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක, හලීම් ඉෂාක්, උපලේකම් ඉන්ද්‍රපාල අබේවීර, අනුරුද්ධ රත්වත්තේද, මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ තරුණ සමිති නායක බන්දුල ගුණවර්ධනද, එක්සත් ලංකා ජනතා පක්ෂය වෙනුවෙන් නායක රුක්මන් සේනානායක සහ වෛද්‍ය ගාමිණී විජේසේකරද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක එම් එච්. එම් අෂ්රොෆ්ද, ද්‍රවිඩ සංගමය වෙනුවෙන් එහි නායක කුමාර් පොන්නම්බලම්ද, ලිබරල් පක්ෂය වෙනුවෙන් එහි නායක ආචාර්ය චානක අමරතුංගද, අබ්දුල් අසීස්ගේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය වෙනුවෙන් අෂ්රොෆ් අසීස්ද සහභාගි වූහ. වාර කිහිපයක් එම සාකච්ඡාවන් පැවැත්වූයේ සිරිමා බණ්ඩාරනායකගේ රොස්මිඩ් නිවස, රැක්මන් සේනානායකගේ වුඩිලන්ඩ්ස් නිවස, හලීම් ඉෂාක්ගේ නිවස, අනුරුද්ධ රත්වත්තේගේ නිවස සහ බන්දුල ගුණවර්ධනගේ නිවසේදිය. පක්ෂ 8 සාකච්ඡාවේ සියලු විස්තර මුස්ලීම් කොංග්‍රසයේ නායක එම්.එච්.එම් අෂ්රොෆ් විසින් එජාප ජනාධිපති අපේක්ෂක අගමැති ප්‍රේමදාසට රහසිගතව නොකඩවා ලබාදී තිබිණි.

රටතුළ පවතින විරෝධය හේතුවෙන් එජාපය විසින් මීලඟ ජනාධිපතිවරණයේ සිය අපේක්ෂකයා ලෙස රණසිංහ ප්‍රේමදාස නම් කළේය. නාම යෝජනා 1988 නොවැම්බර් 10වැනිදා භාර ගැනීමට තිබිණි. ජවිපෙ ඉදිරිපත් කළේ කිසිදා එජාප ආණ්ඩුව මගින් ඉටු නොකරන ඉල්ලීම් වුවද ශ්‍රිලනිපය සාකච්ඡා දිග්ගස්සමින් ගියේ දිගටම ඇදගෙන යෑමේ ප්‍රතිපත්තියක පිහිටුවාය. ජවිපෙ පක්ෂ 8 සාකච්ඡාව ආරම්භ කළේම සිය උපක්‍රමික ප්‍රවේශයේ දිගුවක් වශයෙනි. දෙවැනි කැරැල්ලෙන් ජවිපෙ ගොඩනගාගෙන තිබූ සමාජ බලය ශ්‍රිලනිපය සමඟ සාකච්ඡාවේදී බලපැම් සහගතව යොදා ගැනීමට කටයුතු කල අතර සාකච්ඡා අසාර්ථක කිරීමේ වගකීම ශ්‍රිලනිපය වෙත පවරා සමාජ බලවේගයන් ඉදිරියේ ශ්‍රිලනිප තනිකර පහරදීමටය.

ජාතික විමුක්ති අරගලයක් තුළින් සමාජවාදය දිනාගැනීමට රාජ්‍ය බලය ලබාගැනීමේදී ජනතා විරෝධයට පත්වී ඇති එජාපයම ජනාධිපතිවරණයෙන් පසුවද තවදුරටත් බලයේ සිටීම මගින් ආණ්ඩු විරෝධී බලවේගයන් කළමණාකරණය කරගැනීමේ වාසි සහගත තත්ත්වයක් නිර්මාණ වන බව ජවිපෙ දේශපාලන මණ්ඩලය 1988 ජුලි සාකච්ඡා ආරම්භ වනවිටත් තීරණයකර තිබිණි. එම උපක්‍රමික අවශ්‍යතාවයට අනුව 1988 ජනාධිපතිවරණයේදී ශ්‍රිලනිප සමඟ සාකච්ඡා පවත්වා කල නොහැකි ඉල්ලීම් ඉදිරිපත් කර සාකච්ඡා බිදවැටී ශ්‍රිලනිප ජනපතිවරණයට තරඟකල විට දෙවැනි කැරැල්ලේ අරගලය තුළ ශ්‍රිලනිප සතුරගේ දේශදෝහි අංශයට ඇදදැමීම ශ්‍රිලනිප ඇතුළු පක්ෂ 8 සාකච්ඡාවේදී ජවිපෙ අවසාන උපක්‍රමය විය. වසර 1988 නොවැම්බර්, දෙසැම්බර් යන කාලයේදීම මතවාදීව සහ ප්‍රහාරාත්මක වශයෙන් ශ්‍රිලනිපයට එරෙහිව කටයුතු කිරීම එම උපක්‍රමික ක්‍රියාමාර්ග අනුව ජවිපෙ අවතීරණ විය. මෙය ජවිපෙ දෙවැනි කැරැල්ල තුළ ඔවුන් ගනු ලැබූ අතිශයින්ම දුර්වල තීරණයක්වූ අතර එයට හේතු වූයේ සන්නද්ධ හැකියාව පිළිබඳව ජවිපෙ ඇතිකරගෙන තිබූ අධි තක්සේරුව සහ රාජ්‍ය යන්ත්‍රණය පිළිබඳව තිබූ අඩු තක්සේරුවද විය. ශ්‍රිලනිපයට ප්‍රහාර එල්ල කිරීමෙන් ගම් මට්ටමින් ඉතිරිව සිටි ආණ්ඩු විරෝධී බහුතර ජනතාවගේ කෝපය සහ වෛරයද ජවිපෙට එල්ල විය. එහි ප්‍රතිඵලය වූයේ 2වැනි කැරැල්ලේ සංවිධාන ව්‍යූහය නිරාවරණය වීමෙන් අතිවිශාල අනාරක්ෂිත භාවයකට ජවිපෙ කැරළිකරුවන්ට මුහුණදීමට සිදුවීමය.

ජවිපෙ ඉදිරිපත් කල පොදු වැඩපිළිවෙලට මුහුණ දීමට සූදානම් නොවී තරඟවැදීමත් සමඟම ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ජවිපෙ තීරණය කල අතර ඒ වෙනුවෙන් සන්නද්ධ අංශයේ මුළු බර යොදා කටයුතු කළේය. ශ්‍රිලනිප වෙනුවෙන් සිරිමා බණ්ඩාරනායක ජනාධිපතිවරණයට තරඟකිරීමට ගත් තීරණයත් සමඟම ජවිපෙ ප්‍රහාරයන් ශ්‍රිලනිප සංවිධායකවරුන් සහ ක්‍රියාකාරින් වෙත යොමුවිය. ශ්‍රිලනිප රැස්වීම්වලට බෝම්බ ප්‍රහාර ගසමින් කඩාකප්පල් කල අතර ශ්‍රිලනිප සංවිධායකයින් සහ ක්‍රියාකාරිකයින් සිය ගණනක් මරාදමා තිබිණි. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වර්ජනය කල ජවිපෙ එය කඩාකප්පල් කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරණ ලදී. එජාපයෙන් ජනාධිපති ප්‍රේමදාස තරඟකල අතර ශ්‍රිලනිප ඡන්ද කැඩීම සඳහා මහජන පක්ෂයෙන් ඉදිරිපත්වූ ඔසී අබේගුණසේකරටද අගමැති ප්‍රේමදාසගේ සහාය අනියමින් හිමිවිය.

ජනපතිවරණය පැවැත්වූ 1988 දෙසැම්බර් 19වැනිදා දිනය ඉතිහාසයේ කිසිම මැතිවරණයකදී නොවූ විරූ තරම් අර්බුදයන්ගෙන් පිරී පැවතිණි. රටපුරාවට දියත්වූ ජවිපෙ ප්‍රචණ්ඩකාරි ක්‍රියා යටතේ මැතිවරණ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම පාහේ අඩාල විය. වෙඩි තැබීම්, ගිණිතැබීම්, පහරදීම්, බෝම්බ ගැසීම් සහ ඡන්දය දැමීමට එන ඡන්දදායකයින් ඝාතනය කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ වරම ප්‍රචණ්ඩත්වයෙන් යටවිය. එකම ඡන්දයක්වත් ප්‍රකාශ නොවූ ඡන්ද මධ්‍යස්ථාන 270ක් විය. ඡන්ද 100 අඩුවෙන් වැටුණු මධ්‍යස්ථාන 402කි. එජාප ආණ්ඩුවේ හිතවාදී සංවිධානාත්මක පිරිස් හොර ඡන්ද මහා පරිමාණයෙන් දැමුවේ ප්‍රචණ්ඩත්වයට මුවාවෙමිනි. ජවිපෙ ඡන්ද වර්ජනයේ සම්පුර්ණ වාසිය එජාපය විසින් නෙලාගන්නා ලදී. එජාපයේ ආර්. ප්‍රේමදාස ඡන්ද 2,569,199ක්ද ශ්‍රිලනිපයේ සිරිමා බණ්ඩාරනායක ඡන්ද 2,289,860ක්ද මහජන පක්ෂයේ ඔසී අබේගුණසේකර ඡන්ද 235,719ක් ලබාගෙන තිබිණි. රණසිංහ ප්‍රේමදාස වැඩි ඡන්ද 279,331කින් ජනාධිපති වශයෙන් ජනාධිපති ධූරයට පත්විය. ජනාධිපති ප්‍රේමදාසගේ පත්වීමට අභියෝග කරමින් විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක විසින් ඡන්ද පෙත්සමක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම 1988 දෙසැම්බර් 19 ජනාධිපතිවරණයට සහ 1989 පෙබරවාරි 15 මහ මැතිවරණයට ඉදිරිපත්වූ ශ්‍රිලනිප අපේක්ෂකයින්ට සහාය දුන් ශ්‍රිලනිප ආධාරකරුවන් සහ හිතවතුන් 200කට ආසන්න පිරිසක්ද ජවිපෙ කැරළිකරුවන් අතින් මෙසේ ඝාතනයට ලක්විය. එම ඝාතන බොහොමයක් සිදුවූයේ ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදුන් 1988 නොවැම්බර් සිට මහා මැතිවරණය නිමාවට පත්වූ 1989 පෙබරවාරි 16වැනිදා දක්වාය. එයට පෙර ශ්‍රිලනිප සාමාජිකයෙකු ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතනයට ලක්වූයේ 1988 පෙබරවාරි 07වැනිදා දික්වැල්ලේදී ඊ.ජී.ජේ පතිරත්නය. ජවිපෙට එරෙහිව කටයුතු කිරීම නිසා කලක් ජවිපෙ සාමාජිකයෙක්වූ පතිරත්න ඝාතනය වූවද ජවිපෙ සමඟ ඇති ඇයි හොදැයිය හේතුවෙන් ශ්‍රිලනිප ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමට එහිදී තීරණයක් ගෙන තිබිණි.

ජනාධිපතිවරණයෛන් ජයගත් ජනාධිපති ප්‍රේමදාස පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර නාමයෝජනා භාරගැනීමේ කාලය 1988 දෙසැම්බර් 30 සිට 1989 ජනවාරි 6 දක්වා බවට නිවේදනය කළේය. ඒ අනුව මහ මැතිවරණය 1989 පෙබරවාරි 15වැනිදා පැවැත්වීමට කටයුතු යොදන ලදී. ශ්‍රිලනිප මෙම මැතිවරණයට තරඟ කිරීමට තීරණය කල බැවින් ජවිපෙ කැරළිකරුවන් ශ්‍රිලනිප ප්‍රහාර එල්ලකිරීම වඩාත් සංවිධානාත්මකව සිදුකරන ලදී. මහ මැතිවරණයට නාම යෝජනා ලබාදුන් විපක්ෂයේ අපේක්ෂකයින් 15 දෙනෙකු ජවිපෙ මගින් ඝාතනය කල අතර ඉන් 11 දෙනෙකු ජවිපෙ සමඟ 1988 ජුලි සිට ඔක්තෝබර් දක්වා ජාතිය ගලවාගැනීමේ පෙරමුණක් ගොඩනැගීමේ අරමුණින් සාකච්ඡා කරන ලද පක්ෂ 8 නියෝජිතයන් විය. එසේ ඝාතනයට ලක්වූ 9 දෙනෙකු ශ්‍රිලනිපයටද 1අයෙකු ලිබරල් පක්ෂයට, එක් අයෙකු ද්‍රවිඩ සංගමයටද අයත් විය. එක්සත් සමාජවාදී පෙරමුණේ අපේක්ෂකයින් 4 දෙනෙකුද ඝාතනය වූ අපේක්ෂකයින් 15 දෙනා අතර විය.

dharman210516A07ජාතිය ගලවා ගැනීමේ පෙරමුණක් සඳහා පක්ෂ 8 සාකච්ඡාව සම්බන්ධ කිරීමේ කාර්යයට උරදුන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙනුවෙන් සාකච්ඡාවන්ට සහභාගිවූ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු චම්පික රණවක සහ ජයවර්ධනපුර සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසු ලුණුවිල පදිංචි මාලසිංහ ආරච්ඡිගේ ෆ්‍රැන්සිස් ගාමිණී වේ. ඔහු 1988 දෙසැම්බර් 8 පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී(ඉහළ වමේ සිට),  සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ජනපතිවරණයද නිමවි මහමැතිවරණය 1989 පෙබරවාරි 15 පැවැත්වීමේදි එයට තරඟකල ශ්‍රිලනිප අපේක්ෂකයින් 9දෙනෙකු ඇතුළු අපේක්ෂකයින් 15 දෛනෙකු ජවිපෙ මගින් ඝාතනය කරන ලද අතර එයට අයත්වූ ශ්‍රිලනිප උපලේකම් කළුතර අපේක්ෂක ඉන්ද්‍රපාල අබේවීර 1989 ජනවාරි 10 වැනිදාද ශ්‍රිලනිප මාතර අපේක්ෂක සරත් සේපාල රත්නායක 1989 ජනවාරි 6වැනිදාද ඝාතනය විය( පහළ දකුණේ වමේ සිට). ශ්‍රිලනිප ආධාරකරුවන් 200කට ආසන්න පිරිසක්ද ජනාධිපතිවරණ සහ මහ මැතිවරණයේදී ඝාතනයට ලක්විය.

ජවිපෙ ප්‍රථම ඝාතන ඉලක්කය හසුවු ශ්‍රිලනිප අපේක්ෂකයා වූයේ පක්ෂ 8 සාකච්ඡාවට ශ්‍රිලනිප වෙනුවෙන් සහභාගිවූ ශ්‍රිලනිප උපලේකම් කළුතර ආසන සංවිධායක සහ කළුතර දිස්ත්‍රික් මහ මැතිවරණ ශ්‍රිලනිප අපේක්ෂක ඉන්ද්‍රපාල අබේවීරය. කැරළිකරුවන් විසින් 1989 ජනවාරි 10වැනිදා සවස 4.30ට පානදුර මොරොන්තුඩුවේදී ඔවුන් ගමන්ගත් වාහනයට වෙඩිතබා බෝම්බ ගැසීමෙන් ඉන්ද්‍රපාල අබේවීර සමඟ ශ්‍රිලනිප තවත් කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකුවු විජයලාල් මෙන්ඩිස් සහ ක්‍රියාකාරිකයෙකු වූ මාර්ටින්ද ඝාතනය කළහ. ඉන්ද්‍රපාලගේ ඝාතනයෙන් පසු ඔහුගේ දියණිය වූ සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර කළුතර දිස්ත්‍රික්කයටම නම්කල අතර එහිදී තරඟවැදී ඡන්ද 51,494ක් ලබා ගනිමින් ශ්‍රිලනිප ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වුවාය. ඝාතනයට ලක්වූ විජයලාල් මෙන්ඩිත්ගේ සොහොයුරාවූ සුමිත්ලාල් මෙන්ඩිස් වර්තමානයේදී බස්නාහිර පළාත් සභාවේ සන්ධානයේ පළාත් අමාත්‍යවරයෙකි. මාතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකුවූ ගාල්ල මහින්ද විද්‍යාලයේ කිර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නීතිඥ සරත් සේපාල රත්නායක කැරළිකරුවන් විසින් 1989 ජනවාරි 06වැනිදා ඝාතනය කල අතර ඔහු සමඟ නිවසේ සිටි ශ්‍රිලනිප ක්‍රියාකාරිකයින් 5 දෙනෙකුද කපා කොට ඝාතනයකර ගස්වල එල්ලා තිබිණි. සරත්ගේ මවට පමණක් දිවි බේරා ගැනීමට එහිදී හැකිවිය.  බණ්ඩාරනායක ආණ්ඩුවේ 1956 දෙනියායේ මන්ත්‍රීවරයාවූ සේපාල රත්නායකගේ පුත්‍රයාවූ සරත්ගේ මරණ  පරික්ෂණය පැවැත්වූයේ මොරවක මහේස්ත්‍රාත් සමන් වික්‍රමාරච්චි විසිනි.

බදුල්ල දිස්ත්‍රික් ශ්‍රිලනිප අපේක්ෂක සහ හපුතලේ ශ්‍රිලනිප සංවිධායකවරයා වූ පී.බී රත්නායකද ජවිපෙ කැරළිකරුවන් විසින් 1989 ජනවාරි 27වැනිදා වෙඩිතබා ඝාතනය කරන ලදී. පී. බීගේ ඝාතනයෙන් පසු ඔහුගේ වැන්දඹු බිරිඳවූ හේමා රත්නායක බදුල්ල දිස්ත්‍රික්කයට නම්කල අතර ඇය එහිදී තරඟ වැදී ඡන්ද 28,635ක් ලබාගෙන ශ්‍රිලනිප ලැයිස්තුවේ ප්‍රථමයා විය. එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප අපේක්ෂක සහ මොණරාගල ශ්‍රිලනිප සංවිධායකවරයාවූ බී. සුමේධ ජයසේනද කැරළිකරුවන් විසින් 1989 ජනවාරි 24වැනිදා ඝාතනය කරන ලදී. ඔහුගේ ඝාතනයෙන් පසු වැන්දඹු බිරිඳවු ඩී.එම් ගුණවතී දිසානායක නොහොත් සුමේධා ජී. ජයසේන මොණරාගල දිස්ත්‍රික්කයට නම්කල අතර ඇය එහිදී තරඟ වැදී ඡන්ද 26,193ක් ලබාගෙන මොණරාගල දිස්ත්‍රික් ශ්‍රිලනිප ලැයිස්තුවේ ප්‍රථමයා විය.

dharman210516A08එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ සංවිධායකවරයා වශයෙන් අසූව දශකයේදී සුවිශේෂි කාර්යභාරයක් කල අක්මීමන මන්ත්‍රී රිචඩ් පතිරණ, 1989 පෙබරවාරි 15 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 67 දෙනාගෙන් මුල් පෙළේ කිහිපදෙනෙක් වන මහින්ද රාජපක්ෂ, එස්.බී දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා සහ මංගල සමරවීර. (ඉහළ වමේ සිට)

එමෙන්ම මහ මැතිවරණයේ ශ්‍රිලනිප අපේක්ෂකයින් වූ මාතර අබ්දීස් මොහොමඩ් හුසේන් 1989 ජනවාරි 21වැනිදාද පොළොන්නරුවේ ආර්.ආර්.ජී. ජයවීර 1989 ජනවාරි 24වැනිදාද, කෑගල්ලේ හෙක්ටර් ජයරත්න 1989 පෙබරවාරි 3වැනිදාද, මහනුවර සෝමපාල අමරකීර්ති 1989 පෙබරවාරි 12වැනිදාද ජවිපෙ කැරළිකරුවන් විසින් වෙඩිතබා ඝාතනය කරන ලදී. ජවිපෙ සමඟ ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ සාකච්ඡාවලට එක්වු තවත් පක්ෂ දෙකක් වන ලිබරල් පක්ෂයෙන් තරඟ කල ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ඕ කාරියවසම් 1989 ඔක්තෝබර් 26වැනිදා වත්තලදීද, සමස්ථ ලංකා දුවිඩ කොංගසයේ කේ. පී ශ්‍රිවගුරුනාදන් 1989 ජනවාරි 27 වෙඩි ප්‍රහාරවලින් ඝාතනයට ලක්විය. මහ මැතිවරණයට තරඟකල එක්සත් සමාජවාදී පෙරමුණේ අපෙක්ෂකයින්වූ පළාත් සභා මන්ත්‍රී  සෝමදාස ගල්කන්ද 1989 පෙබරවාරි 5 කළුතරදීද, නිමල් කුරත්න 1989 ජනවාරි 24 නුවරදීද, වෛද්‍ය ආර්.ඒ. ජයවීර 1989 පෙබරවාරි 5වැනිදා කුරුණෑගල ගොකරැල්ලේදීද, එස් පුලේන්ද්‍රන් 1989 ජනවාරි 27 ත්‍රිකුණාමලයේදීද කැරළිකරුවන්ගේ ප්‍රහාරවලින් ඝාතනයට ලක්වූහ.

දේශපාලන පක්ෂයක් න්‍යායික කොතරම් නිවැරදි වුවද දේශපාලනයේ මතුවන අවස්ථාවන්ට අනුකූලව එම පක්ෂය ගනු ලබන තීරණය වන්නේ අදාල පක්ෂයේ මහජන බලවේගය අනුවය. කිසියම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් පිළිබඳව නිගමනය කරන මිනුම් දණ්ඩ වන්නේ ඔවුහු තමා ගැන කියාගන්නා දේවලින් නොව අනුගමනය කරන ප්‍රතිපත්ති මොනවාද, ක්‍රියාකරන්නේ කෙසේද යන කරුණු කාරණා මත පදනම්වය. ශ්‍රිලනිප ගමනක අවසානය දකින්නට ගිය ජවිපෙ 1988 දෙසැම්බර් ජනාධිපතිවරණයේදී අනුගමනය කල උපක්‍රමික ක්‍රියාමාර්ගයන් අවසානයේ පාරාවලල්ලක් බවට හැරී ජනපතිවරණයෙන් රණසිංහ ප්‍රේමදාස බලයට පත්වීමෙන් පසු වසරක් තුළදී ජවිපෙ 2වැනි කැරැල්ල ශෝකාන්තයකින් නිමාවට පත්විය.(The writer is a senior journalist who could be reached at [email protected] OR 011-5234384) ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර.දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected]

              

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress